ගල්කිස්සේ හන්දියේ ජනප්‍රිය මැක්ඩොනල්ඩ්ස් අවන්හල ඇතුලත ඈතම කොනට වන්නට පිහිටි මේසයක් අසලින් වාඩි වූයේ ජීවිතයේ සැඳෑ සමය ගෙවන අවුරුදු අසූවකට පමණ කිට්ටු වයසැති මහළු ජෝඩුවකි. නම හරි හැටි නොදැන සිටියද මේ කතාව වෙනුවෙන් අපි ඔවුන්ට ජුවන් සහ මේපල් යැයි කියමු.
සම්ප්‍රදාය අනුව ආහාර ඇණවුම් කිරීමට මෙකී අවන්හලේ කවුන්ටරය අසලට යා යුතු වුවද ඒ ගැන මේ යුවල හරියටම දැනගෙන නොසිටියා විය යුතුය.
පාසැල් ජීවිතය අවසන් වූ වහාම තම පළමු රැකියාව වශයෙන් මෙකී අවන්හලේ සේවයට බැඳුණු සමන් ප්‍රධාන පිවිසුමෙන් ඇතුළුවූ මේ දෙපල ගැන දුර ඈත තියාම අවධානය දී සිටියේ අවන්හලේ සාමාන්‍ය සේවාව කෙසේ වුවද දුර ඈත වෙසෙන තම සීයා සහ ආච්චි වැනි වූ එකී දෙපලට හැකි පමණ පිහිටක් වීමේ අදිටනින් යුතුවයි.
කලබල තරමක් අඩුවූ බැවින් කවුන්ටරයෙන් ඉවතට ඇවිද එකී යුවල අසලට පැමිණි සමන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව ඉතා කාරුණිකව විමසා සිටියේ කවුන්ටරය වෙත පැමිණිය යුතු බවද නොපවසාය.
“අපිට එක බර්ගර් එකකුයි එක ෆ්‍රයිස් (Fries) එකකුයි ගන්න පුළුවන්ද?”
ජුවන් සමන්ගෙන් ඉල්ලා සිටියේය.
“මැඩම්ට මොනවද ඕනේ?”
“අපි දෙන්නටම තමයි ඒ බර්ගර් එක. අපි බෙදාගෙන කන්නේ.”
නැවතත් ඔහුම ඇය වෙනුවෙන් පිළිතුරු දුන්නේය.
ඉල්ලීම භාරගත් සමන් වහා එය සම්පූර්ණ කර ජුවන් සහ මේපල් වෙතටම ගෙන ආවේය.
“ළමයෝ. මේක කන්න අපිට පොඩි පිඟන් දෙකක් ගන්න පුළුවන්ද?”
වහා එකී ඉල්ලීමද ඉටු කළ සමන් ඉන් අනතුරුව කවුන්ටරයේ සිට ඔවුන් දෙස බලා සිටියේ හරියටම ගණන් කරමින් දෙදෙනා එකතුවඅඩකට වන්නට ෆ්‍රයිස් බෙදා ගන්නා අයුරුය.
ජුවන් කවුන්ටරයේ සිටින ඔහුගේ මිතුරු සමන් වෙත අත වනනු පෙනේ.
“අපිට පොඩි පිහියක් ගන්න පුළුවන්ද මේ බර්ගර් එක කපාගන්න. අපි හැම දෙයක්ම බෙදාගෙන කන්නේ..”
තවත් සුහද ඉල්ලීමකි. කඩියෙකු මෙන් වේගවත් සමන් එකී ඉල්ලීමද මැනවින් ඉටු කර දී නැවත ඈතට ගොස් ඔවුන් දෙපල දෙස බලා සිටියේ වැඩි පිරිසක් අවන්හලේ නැති නිදහස භාවිතා කරමිනි.
මේපල් ආච්චි බර්ගර් එක කන නමුත් අත රැඳි ඉතිරි භාගය සමඟ ජුවන් සීයා තවමත් සප්පායම් නොවෙමින් ඇය දෙස බලා සිටිනු පෙනේ.
කොයි තරම් ආදරයක්ද? ඇතැම් විට ඇයගේ පංගුව මදිවේ යයි සිතා මෙසේ කරන්නේ යැයි සමන් කල්පනා කළේය. කෙලින්ම ඔවුන්ගෙන් මේ ගැන විමසීම වැඩිහිටියන් නිසා සුදුසු නැති වුවත් මේ යුවලට හැකි පමණින් යම් උදව්වක් උපකාරයක් කිරීම සුදුසු යැයි සමන් තීරණය කළේය.
ඒ හේතුවෙන් නැවත ඔවුන් අසලට පැමිණි සමන් මෙලෙස කාරුණිකව විමසා සිටියේය.
“මහත්මයා. මොකක් හරි අඩුපාඩුවක් ද?”
“නැහැ නැහැ කිසිම අඩු පාඩුවක් නැහැ අපි දෙන්නා බෙදාගෙනනේ කන්නේ.”
“ඕන දෙයක් කියන්න. තව බර්ගර් එකක් මං ගානේ දෙන්නද?”
“නැහැ ළමයො. මේ හොඳටම ඇති. අපි හැමදේම බෙදාගෙන කන්නේ.”
“එහෙනම් ඇයි ඔබතුමා කන්නෙ නැත්තෙ?”
කුතුහලය ඉක්මවා ගිය තැන සමන් නැවතත් ඔහුගෙන් විමසා සිටියේය.
“මං කලිනුත් කිව්වේ අපි බෙදාගෙන කන්නේ. එයා කාලා ඉවර වෙනකන් මම ඉන්නේ දත් කුට්ටම ඉල්ලගන්න..”
Where there is a will, there is a way.