නිකන් හම්බ උන ටිකට් එක නිසා හැදුන උණ.
හරියටම කිව්වොත් අවුරුදු පහකට ඉස්සෙල්ලා ඒ කියන්නේ 2016 අවුරුද්දේ මුල් කාලේ වගේ වෙද්දී මගේ FlySmile ගිණුමේ(Sri Lankan Air Line එකේ Points ගිණුම) මීට පෙර මම සංචාරය කරලා තිබ්බ ගමනුත් එක්ක Points එකතුවෙලා නොමිලේ ටිකට් එකක් වෙන් කර ගන්න අවස්ථාවක් මට උදා උනා.
මේ වගේ චාන්ස් එකක් ආවහම ඉවසිල්ලක් නැහැ. අප්‍රේල් අවුරුද්දට එන උසාවි නිවාඩුවටත් තව ටිකක් කල් තියනවා. (මගේ වෘත්තිය නීතිඥ)
තාම මාර්තු මාසේ පටන් ගත්තා විතරයි. මොකද කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට ජාතික රුපවාහිනියේ කාලෙකට පස්සේ යනවා දැක්කා ළඟදීම එන ජාත්‍යන්තර ක්‍රිකට් Tournament එකක් ගැන පෙර දැන්වීමක්.

ඉන්දියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානය. මාර්තු 8 වෙනිදා පලවෙනි වටේ පටන් ගන්නවා. තව ටික දවසයි. අල්ලපු රටනේ. වැඩේ ලෑස්ති කරගෙන යන්න අමාරුවක් වෙන්නේ නැහැ කියලා හිතුවා.
වාසනාවකට පලවෙනි වටේට ලංකාව නැහැ. අපි දෙවැනි වටේට තේරිලා හිටියේ.
ලංකාවේ ඉපදුන හින්දා කොහොමත් ක්‍රිකට් වලට පිස්සුවක් තියනවානේ.. වැඩිය කල්පනා කලේ නැහැ. මාර්තු 19 ඉන්දියාවට ගොඩ බහින්න ටිකට් එක බුක් කරන්න ප්ලෑන් කලා..
ඊට කලින් පාස්පෝර්ට් එක දුන්නා Gabo Travel එකේ වැඩ කරන පාදුක්කේ යාලුවෙකුට වීසා එක ගහ ගන්න.
එල්ෆන්ට් House Cream Soda
ඉස්කෝලේ කාලේ ඉඳන් අඳුරන යාලුවෙක් වෙච්ච නවදිල්ලියේ මේ දවස්වල පදිංචි වෙලා ඉන්න මීනුකාට කෝල් එකක් දුන්නා. ඔය පැත්තේ එනවා කියන්න. ඒකට විතරකුත් නෙවෙයි ඉතිං…
ඉන්දියාවේ දුරකථන අංකයක් නැතුව එහෙ කෝච්චි වල ටිකට් වෙන් කරන්න බැහැ. හරිම කරදරයක් විදේශිකයෙකුට ටිකට් වෙන් කරන්න ගියහම. (Online System එකක් තිබුනත් ලේසි නැහැ දුරකථන අංකයක් නැතුව.) අන්න ඒ වැඩේ බාර දෙන්න.
ගාස්තුව හැටියට මීනුකා ඉල්ලුවේ එල්ෆන්ට් House Cream Soda. වැඩේ ලාබයි. කොහොම උනත් වැඩේ නොකලත් Cream Soda වගේ බීමක් අරන් එන්න බැහැ කියන්න කොහොමත් බැහැ.
මොකද මීනුගේ වත්තල මහ ගෙදර ගියහම නැන්දා හදන අයිස් කෝපි වීදුරු දෙකකට වැඩිය මම හැමදාම ලැජ්ජාවක් නැතුව බොන එක අමතක කරන්න බැරි නිසා. (මම එහෙ එන්න කලින්ම මීනුකාගේ අම්මා ලොකු ජෝග්ගුවක් හදලා තියනවා. ඒ ණය ගෙවන්නත් එපැයි.)

පාදුක්කේ මල්ලි වීසා එක ගහලා ගෙදර කිට්ටුවටම ගෙනත් දුන්නා. ඊට පස්සේ Booking.com එකෙන් ඉක්මනටම හොටේල් ගැන බැලුවේ Ground එක කිට්ටුවෙන්ම නතර වෙන්න තැනක් හොයා ගන්න.
ලංකාවේ ප්‍රතිවාදියෝ
ආ.. කියන්න අමතක උනා නේ. ලංකාවේ පලවෙනි මැච් එක තිබ්බේ 17 වෙනිදා. මූලික වටයෙන් දිනන රටක් එක්ක. මූලික වටේට හිටියේ Hong Kong, ඇෆ්ඝනිස්ථානය, Scotland වගේ රටවල්..
පළවෙනි මැච් එක අපි ඒ වගේ රටක් එක්ක කොහොමත් දිනන නිසා (අනික එච්චර දිග නිවාඩුවක් ගන්න එක ලේසි නැති නිසා) 20 වෙනිදා තියන West Indies මැච් එකට යන්න තමයි මම ලෑස්ති උනේ.
අපි හිටියේ පළවෙනි Group එකේ. West Indies ඇරුනහම දකුණු අප්‍රිකාව, එංගලන්තය තමයි ඒකෙ හිටපු අනිත් රටවල්. ඒ වගේම මූලික වටයෙන් දිනලා එන රට.
කලින් කිව්වා වගේම ටිකට් එක නොමිලේම Srilankan Airline එකෙන් හම්බ උනා. ඒක මම Sri Lankan AirLine Website එකට ගිහින් අර ගත්තා. ගෙවන්න ඕන උනේ බදු විතරයි.
මූලික වටයේ අපේ පළවෙනි තරඟය තිබ්බේ 17. ඒකට තේරිලා හිටියේ ඇෆ්ඝනිස්ථානය. කොල්කටා වල තමයි මැච් එක තිබ්බේ. ගෙදර ඉඳන් බැලුවා. අපි දිනුම්. දැන් ඉතින් යන දවස එනකන් ඉවසිල්ලක් නැහැ.

ඔක්කොම ලෑස්තියි.
මගේ උසාවියේ වැඩ ටිකයි, ඔප්පු වල වැඩයි චාන්දනීට (මගේ කාර්යාලයේ මම ගියහම වැඩ බලන ලොක්කී) බාර දුන්නා.
පලවෙනි මැච් එක තිබ්බේ බැංගලෝර් වල. දැන් වීසා හරි.. හෝටලේ හරි.. Cream Soda ගත්තා… වැඩ ටික බාර දුන්නා… යන්න තමයි තියෙන්නේ… අම්මටයි තාත්තටයි කියලා..
තව දෙයක්. මම මෙතන වෙළඳ නාම ගැන කතා කරන්නේ දැන්වීම් හැටියට නෙවෙයි. ඒක ඔයගොල්ලන්ට සංචාරය කරන්න උදවු වෙයි කියලා හිතලා.
ඒක නිසා වැරදියට තේරුම් ගන්න එපා.. කාගෙන්වත් අනුග්‍රහයක් අරගෙන නෙවෙයි…
හැබැයි ලංකාවට සම්බන්ධ ව්‍යාපාර වලින් මිලදී ගන්න පොඩි උනන්දුවක් නැත්තේම නැහැ. Buy Local කොහේ ගියත් ඔලුවේ තියන දෙයක්.
අඳුරන මූණක්
හොඳයි.. අපි කතාවට ආපහු එමු. 19 වෙනිදා ආවා. කාත් එක්ක Airport එකට ආවද කියලා නම් දැන් මතක නැහැ. කටුනායක Airport එකේ ආගමන කටයුතු ඉවර කරලා Flight එක එනකන් බලාගෙන ඉද්දි දැකලා පුරුදු මූණක් හම්බ උනා.
ශ්‍රී ලංකන් ක්‍රිකට් Logo තියන Hand Luggage එකක් එක්ක. Jeffrey Vandersay.
මම වගේම හෙට තියන මැච් එකට බැංගලෝර් යනවා. දෙන්නා අඳුරගෙන (ඇත්තටම මම ගිහින් මාව අඳුරලා දීලා) දෙන්නා එක්ක පොඩි කයියක් දාගෙන ඉද්දි Flight එකත් ආවා.

Flight එකේ අන්තිමට එලියට ආවේ මමයි Jeffreyයි. දෙන්නගෙම වීසා කටයුතු ඉවර උනාට පස්සේ Jeffreyට සුබ පතලා මම ටැක්සියක් ගන්න එලියට ආවා. මගේ පළවෙනි ඉන්දියානු ගමන.
හැබැයි මම හොඳට විස්තර කියවලා ලෑස්ති වෙලා ආවේ. (Wikitravel, TripAdvisor වගේ Website) ඒක නිසා එක පාරට කඩාගෙන පැන්න ටැක්සි Driver හමුදාවට මම නම් යටත් උනේ නැහැ.
එඩිතරව ලාංකීය පපුව දීලා මම කෙලින්ම ගියේ පොලිසියට.

ටැක්සි හමුදාව
කට්ටිය හිතනවා ඇති ටැක්සි හමුදාවට බයේ කියලා. එහෙම දෙයක් නෙවෙයි. ඉන්දියාවේ ප්‍රධාන නගරවල විශේෂයෙන් ගුවන් තොටුපලවල් දුම්රිය ස්ථාන ආශ්‍රිතව තියනවා පොඩි පොලිස් මුර පොලක්. බස් නැවතුමක් වගේ.
මෙතනට ගිහිල්ලා අපි යන්න ඕනේ තැන කිව්වහම අපිට පොලිස් නිලධාරියා දෙනවා පොඩි කූපන් එකක්. ඒකෙ සඳහන් කරලා තියන මුදලට වඩා ටැක්සි රියදුරාට අර ගන්න බැහැ.
මේ විදිහට කූපන් එක අරන් මම ආවා ටැක්සි පෝලිමට ආපහු. ඒක බලපු රියදුරා මාව නියමිත ස්ථානයට අරන් ගිහින් ඒකෙ තියන ගාන විතරක් අය කළා.
මම වෙන් කරලා තිබ්බ හෝටලේ නම Signature Inn. වැඩි ගානක් නම් උනේ නැහැ. හෝටලේ කට්ටියත් බොහොම සුහදශීලිව මාව පිලි ගත්තා.
බඩගින්න පොඩ්ඩක් තිබ්බත් ඔක්කොම අමතක කරලා.. බෑග් එකත් නතර වෙන කාමරේට විසි කරලා… ඉක්මනට එලියට දුවලා ගියේ ටිකට් එක ගන්න.
හෙට හවස මැච් එක. තාම ටිකට් නැහැ.
හෝටලේ තිබ්බේ හතර මං හන්දියක. ඒක නිසා ත්‍රීවීල් එකක් නතර කර ගන්න එක නම් ලොකු ගැටළුවක් උනේ නැහැ.
ත්‍රීවීල් එකේ මීටරයක් තිබ්බත් ඒක වැඩ කලේ නැහැ. මම හොයල බලලා Book කරපු විදිහටම බැංගලෝර් වල චින්නසාමි Stadium එකට ලොකු දුරක් තිබුනේ නැහැ. කිලෝ මීටර් තුනක් වගේ දුරක්.

ටිකට් කවුන්ටර් එක කිට්ටුව පාර මැද්දෙම නතර කරලා මගෙන් ඉල්ලපු ගාන අරගෙන ත්‍රීරෝද රථයේ රියදුරා කිසිම ගානක් නැතුව පාර මැද්දෙම බහින්න කියලා කිව්වා. සමහර විට මමත් ඉන්දියානුවෙක් කියලා හිතන්න ඇති.
මමත් ඉතින් ලොක්කා වගේ බැහැලා මහ සද්දෙන් කෑගහන හෝන් හඬවල් මැද්දේ චින්නසාමි Stadium එකේ Ticket Counter එක ලඟට ගියා.
ඒ විදිහට පාර පැනලා… අපිටත් පුරුදු නැතුවැයි?
බාර් පෝලිම
පෝලිම තියනවා ලංකාවේ පෝය දවසට කලින් බාර් එක වහන්න ඔන්න මෙන්න වගේ. මමත් හිමිහිට ගිහින් හිට ගත්තා. ටික වෙලාවක් යන්න කලින් මගේ පිටි පස්සෙත් පෝලිම… මට දැන් විශ්වාස නැහැ මේක ලංකාවේ මැච් එකක්ද ඉන්දියාවේ මැච් එකක්ද කියලා.
පිටිපස්සේ ඉන්න මනුස්සයත් මට මොනවද කියනවා. මම ඇහෙන්නේ නැහැ වගේ හිටියා. මම දන්නේ නැති භාෂාවක් නිසා. පෝලිම හිමිහිට යනවා. ඒ අස්සේ මගේ Phone එකේ Roaming දාලා තිබ්බ නිසා කෝල් එකකුත් ආවා.
අත්‍යවශ්‍ය නැත්නම් උස්සන්නේ නැහැ.. ගාන කැපෙනවා වැඩි නිසා.. බලද්දී මීනුකා.. මම ඉන්දියාවට ආවද කියලා බලන්න. මේ කලබල අස්සේ ආවා කියන්නත් බැරි උනා.
මම කෝල් එකට කථා කරලා ඉක්මනට තිබ්බා. පෝලිමේ පිටිපස්සෙන් කවුරු හරි මගේ පිටට තට්ටු කරනවා. මොකක් හරි මරාලයක් පාත් වෙන්න යන්නේ නොදන්නා භාෂාවකින් කියලා තමයි මම නම් හිතුවේ.
අලුත් මිත්‍රයා.
“උඹ ලංකාවේද මචං?”
පැහැදිලි සිංහලෙන් මට පිටිපස්සේ හිටපු කෙනාටත් පිටිපස්සේ ඉඳන් කෙනෙක් මගෙන් අහනවා.
“ඔව් මචං..”
ලංකාවේද කියලා අහන්න ඕනේ නැහැනේ පොරගෙන්. පැහැදිලි සිංහලෙන් කථා කලහම.
“කෝල් එක ආපු වෙලාවේ සිංහලෙන් කථා කරපු හින්දා අඳුර ගත්තේ…”

අලුත් මිත්‍රයෙක්. නම නිශා. ගම මොරටුව. වෘත්තියෙන් ගිටාර් වාදකයෙක්. මට මතක විදිහට එදා මැච් එක බලන්න ඇවිල්ලා හිටියේ ස්විට්සර්ලන්තෙ ඉඳන්. ඒ කියන්නේ මම වගේම ක්‍රිකට් පිස්සෙක්..
මොරටුවේ උනහම සංගීතයයි ක්‍රිකට් පිස්සුවයි (ඌරු මසුයි) අනිවාර්යෙන්ම තියෙන්න එපැයි.. පෝලිම වැඩි වේගෙන් ඉස්සරහට යන්නේ නැති හින්දා අපි දෙන්නාට අඳුර ගන්න ඕන තරම් වෙලාව තිබ්බා.
නිශා ඒ වෙනකොටත් ටිකට් එකක් අරන් තිබ්බේ. ඒත් ඒක පල්ලෙහා Stadium එකක එකක්. ටිකක් සැප පහසු ආසන වෙන් කරපු ටිකට් එකක් ගන්න පුළුවන්ද බලන්න තමයි ඇවිල්ලා හිටියේ.
මට මතකයි නිශා කෙලින්ම කිව්වා මෙහෙ උන් එක්ක නම් මැච් බලන එක ලේසි වැඩක් වෙන්නේ නැහැ කියලා. කාලයක් ඉන්දියාවෙත් ජීවත් වෙලා තියන හින්දා මට වැඩිය හොඳට නිශා දන්නවා.
බටහිර ඉන්දීය කොදෙවුද ඉන්දියාවද?
Experience නැති උනත් මමත් ඉස්සෙල්ලම හිතුවේ නිශා හිතපු එකම තමයි. වෙන රටවල් දෙකක් ගහන මැච් එකකට මෙච්චර සෙනඟ. එක්කෝ මුන්ට West Indies කියන එකේ West කියන කෑල්ල ඇහිලා නැතුව අන්තිම කෑල්ල India කියලා ඇහිලද කොහෙද..
ඒක නිසා ඉන්දියාව ගහන මැච් එකක් කියලා හිතන් ටිකට් ගන්න ඇවිල්ලා වෙන්න ඇති.
වැඩි වෙලාවක් ගියේ නැහැ. බාර් එකේ දොර වැහුවට පස්සේ පෝලිමේ හිටපු කට්ටිය දුකෙන් ගෙදර යනවා වගේ එක පාර ඉස්සරහ හිටිය පෝලිමේ කට්ටිය පෝලිමෙන් අයින් වෙලා පාරට යන්න පටන් ගත්තා.
ටිකට් ඉවරයි?
වෙන්න යන වැඩේ නම් හොඳ නැහැ වගේ. පපුවත් පොඩ්ඩක් ගැහෙනවා. කරන්න දේකුත් නැහැ. ටිකට් ඉවර වෙලාද කොහෙද? අන්තිමට මට ඉස්සරහ හිටපු කෙනත් හස්ත සංඥාවෙන් ටිකට් නැහැ කියලා පෙන්නලා යන්න ගියා. දැන් අපිට ඉස්සරහ පෝලිමේ කවුරුත් නැහැ.
මමයි නිශායි බලාපොරොත්තු බින්දුවටම බැහැලා තිබ්බත් කවුරුත් නැති පෝලිමේ ඉස්සරහටම ගියා.
ලොකු Stadium එකේ තාප්පේ කිට්ටුව පොඩි කාර්යාලයක් වගේ තිබ්බ ටිකට් දෙන තැන තාම ඇරලා.
කවුන්ටරේ ජනේලෙන් කොන්ද නමලා ටිකට් තියනවද කියලා දුකෙන් වගේ ඇහුවහම එතන හිටපු මනුස්සයා කොම්පියුටරේ දිහා බලලා ඕනවට එපාවට තුන්දාහේ (ඉන්දියානු රුපියල් තුන්දාහක්) ඒවා විතරයි තියෙන්නේ කියලා කිව්වා.
ඉඩෝර කාලේ ආපු වැස්ස වගේ. බිත්තර ආප්පයක බිත්තරේ වගෙයි… කැමති උපමාවක් අර ගන්න. එච්චරම සන්තෝසයි.
මහජන සම්පතෙන් රුපියල් 100ක් ඇදුනා වගේ..(හරිම උපමාව. ඊට වැඩිය දිනලා නැහැ)
කට්ටිය ගිහිල්ලා තියෙන්නේ අඩු ගණන් ටිකට් හොයා ගෙන ඇවිල්ලා ඒවා නැති නිසා වෙන්න ඇති. මටයි නිශාටයි. ටිකට් දෙකක් දෙන්න කියලා හැරෙන තැපෑලෙන්ම කිව්වා.
ආපහු පැළඳගෙන හිටපු කන්නාඩි කුට්ටම උඩට දාලා කම්පියුටරේ දිහා බලපු ඉන්දියන් ජාතිකයා කිව්වා එක ටිකට් එකයි තියෙන්නේ කියලා.
දැන් මොනවා කරන්නද? නිශා කිව්වා උඹ ගනින් මචං මට එකක් තියන නිසා කියලා. දෙන්නට මැච් එක බලන්න වෙන්නේ තැන් දෙකක.
මම මගේ Seylan Visa ක්‍රෙඩිට් කාඩ් එක දුන්නා. ටිකට් එක දෙන්න කියලා.
World Cup එකක්ද? නැත්නම්
ඉන්දියාවේ කට්ටියට මැච් පෙන්නනවද?
ඉන්දියා ක්‍රෙඩිට් කාර්ඩ් Only කියලා මෙන්න අර මනුස්සයා එක පාරම කියපි. වෙලාවට මම Airport එකේදී සල්ලි මාරු කර ගත්තේ.
යකෝ මේක Worldcup එකක්. මෙහෙමද Rest Of The World අපිට සලකන්නේ? පොඩි කුණුහරපයක් කියවෙන්න ආවත් අමාරුවෙන් නතර කර ගත්තා. (කිව්වත් කාටවත් තේරෙන එකකුත් නැහැ.)
අන්තිම ටිකට් එක
මොනවා උනත් වෙලාවට මුළු Stadium එකටම තිබ්බ අන්තිම ටිකට් එක හම්බ උනා.
පිටරට කාඩ් වලින් ගෙවන්නත් බැහැ. ලංකාවේ උන් දෙන්නට එකම තැන වාඩි වෙන්න විදිහකුත් නැහැ. ඒ වෙලාවේ පොඩ්ඩක් තරහ ගියත් අන්තිම ටිකට් එක හරි හම්බ උන එකේ සතුට නම් තිබ්බා.

තව පොඩ්ඩක් වෙලා පොඩි කයියක් ගහලා මේ මැච් එකේ එකට ඉඳ ගන්න බැරි උනත් ඊළඟ නවදිල්ලි මැච් එකේ එකට සෙට් වෙමු කියලා අපි දෙන්නත් දෙපැත්තට ගියා..
ඊළඟට
බැංගලෝර් වල නිදි නැති රෑ දෙකක් Link එක