Dark Light
එක පාරටම මර හඬ දීලා කෑ ගහනවා වගේ සද්දයක් එක්ක මම ඇහැරුනා. වෙලාව 11.30යි. පැය භාගයක්වත් හරියට නින්ද ගිහිල්ලා නැහැ.

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙවු මැච් එකට ක්‍රීඩාංගණයේ තිබ්බ අන්තිම ටිකට් එක ගත්ත එකේ සතුටටයි.. ඒ එක්කම තියන බඩගින්නයි එක්ක.. කොහෙවත් නතර වෙන්නේ නැතුව කෙලින්ම ගියේ හෝටලේට.

ඒ කිව්වේ Signature Inn එකට.

ගිය සතියේ කතාව (පලවෙනි කොටස-ක්‍රිකට් උණ) මෙතනින් කියවන්න.

ටිකට් කවුන්ටරේ ඉඳන් ආපහු ත්‍රීවීල් එකක් අරගෙන ඇවිත් හෝටලේම තිබ්බ රෙස්ටුරන්ට් එකෙන් මම කෑම ඇණවුම් කළා. 

මට මතක විදිහට හෝටලේ බියර් තිබ්බේ නැහැ. වේටර් මල්ලි හෝටලේ ඉස්සරහම තියන බාර් එකෙන් ගෙනල්ලා දුන්නා බියර් එකක්.

බැංගලෝර් වල වට පිට බලන්න ඕනේ කියන ආසාව තිබ්බත් දැන් නම් හොඳටම මහන්සියි. 

කෑම ටික එන්නත් වැඩි වෙලාවක් ගියේ නැහැ. කොච්චර හොඳට හෝටලේ පෙනුමට හදලා තිබ්බත් කෑම බෙදුවේ ඉන්දියාවේ Street Food විදිහට. ඒ වගේම කෑම වැඩි ගානක් උනේ නැහැ.. ගොඩක් ලාබයි.

මට නම් ඕන දෙයක් ඔට්ටුයි. ඕන විදිහකට කන්න ලෑස්තියි. පොලිතින් බෑග් වල තිබ්බ කෑම පිඟානට බෙදාගෙන බටර් චිකනුයි බතුයි පපඩනුයි . 

Indian food

ඕනේ උනේ නැත්තේ කිරි වගේ තිබ්බ දියර යෝගට් එක විතරයි. ලංකාවේ අපිට යෝගට් බත් එක්ක කන පුරුද්දක් නැහැනේ. ෂොපින් බෑග් එකේ තිබ්බ විදිහට අතුරුපසට ගන්නත් බැහැ. අපරාදේ..

රස නම් පට්ට. සමහර විට බඩගින්න නිසා වෙන්න ඇති. එක් කෙනෙකුට තනියම කන්න බැරි තරම් වැඩි බත් එකක්. ඒත් පුළුවන් උපරිම කාලා දෙවැනි බියර් එකත් ඕඩර් කලේ දෙහි කෑල්ලකුත් තියන නිසා.. (වැඩි වෙනවට නෙවෙයි Corona  බියර් එක වගේ බොන්න හරිද?)

ඇත්තම කිව්වොත් ඕනේ වෙලා තිබුනේ හොඳ සැප නින්දක්. ගමන් මහන්සියයි. ටිකට් එක ගන්න විඳපු කට්ටයි නිසා.

ඒක නිසා කාපු ගමන් කාමරේ ඇතුලට ගියා. 

හතර මං හන්දිය

හවස වැඩ ඇරෙන වෙලාව වගේ. මම ජනේලෙන් එලිය බැලුවා. වාහන තරඟෙට හෝන් ගහනවා. හතර මං හන්දියක හෝටලේ තිබ්බේ. ඒක නිසා යුද්ධයක් වගේ.

හන්දියට ඇතුල් වෙද්දී හෝන් ගහන්නේ නැති වාහනයක් තිබ්බා නම් තියෙන්න ඇත්තේ හෝන් එක කැඩුණු වාහනයක් විතරයි වෙන්න ඇති. ඒ තරමට හෝන් සද්දේ. 

පාර එහා පැත්තේ හෝටලේටත් වැඩිය ලොකු තට්ටු ගෙවල්. තට්ටු 3කට විතර යටින් පේන පාර. ඒක නිසා ලොකු View එකක් නම් මට තිබ්බේ නැහැ. තවම වෙලාව 7-8 වගේ. බාර් එක වහලා නැතුව ඇති කියලා හිතලා ගියා පාර පැත්තට තව බියර් එකක් ගේන්න.

පොඩ්ඩක් වෙලාව ගත කරන්න විදිහක් හොයා ගත්තොත් රෑ උනහම Traffic එක අඩුවෙලා සද්දේ ටිකක් අඩු වෙයි කියලා හිතලා.

බාර් එක නම් ලංකාවේ බාර් වලට දෙවැනි නැහැ.

පිනට බොන්න ඉල්ලන මිනිස්සු කීප දෙනෙකුත් හිටියා. ඒ වගේම පෝලිම. අපේ වගේම ඉස්සරහ දැල් ගහලා තිබ්බත් දේව රූප කොඩි ගහලා ලස්සනට සරසලා තිබ්බා. 

හොඳට දෙපැත්ත බලලා පාර පැන්නා. ලොකු පාරක් නෙවෙයි. අතුරු පාරක්. බියර් විතරයි තිබ්බේ. ගොඩක්ම ඉන්දියාවේම නිෂ්පාදන. කලින් ගත්ත බියර් Brand එකම අර ගත්තා. Kingfisher Strong.

අපේ Lion Special Brew එකට කිට්ටුයි. හැබැයි ඒ තරම්ම සැර දැනෙන්නේ නැහැ.

ඇල්කොහොල් ප්‍රමාණය 8.8. මගේ අත්දැකීම් එක්ක 10න් 6.5ක් වගේ ලකුණු දෙන්න පුළුවන්. නරක නැහැ.

kingfisher strong beer
10/6.5

බියර් එක බිව්වත් නින්දක් නම් එන පාටක් නැහැ. සද්දේ වැඩි හින්දා. TV එක දාගෙන පරණ India Cricket මැච් එකක් බැලුවා. ESPN එකේ යන.

ඉන්දියාව දිනපු T20 එකක්. කොයි වෙලාවේ Dialog හරි PeoTv එකේ හරි ඉන්දියන් Cricket Channel එකක් බැලුවොත් දකින්නේ මේවා නිසා ලංකාවේදීම මේ තත්වෙට පුරුදු වෙලා ආවේ.

යුද්ධෙ

ජනේලේ කොහොමත් AC එක නිසා වහලා දාලා තිබ්බේ. ඒත් සද්දේ එන එකේ කිසිම අඩුවක් නැහැ.

දැන් රෑ 11ටත් කිට්ටුයි. කරන්න දේකුත් නැහැ. එහෙමම ඇඳට වෙලා ඇල වෙලා හිටියා. 

එක පාරටම මර හඬ දීලා කෑ ගහනවා වගේ සද්දයක් එක්ක මම ඇහැරුනා. වෙලාව 11.30යි. පැය භාගයක්වත් හරියට නින්ද ගිහිල්ලා නැහැ. මොනවාද වෙන්නේ කියලා දොර දිහා බැලුවේ ඒකවත් ඇරලද නිදා ගත්තේ කියලා බලන්න. නැහැ. එකත් හොඳට වැහිලා.

බලද්දී සද්දේ එන්නේ පාරේ එහා පැත්තේ. මහල් නිවාසෙන්. කවුරු හරි ගෑණු කෙනෙක් බනිනවා කාට හරි. ඉවරයක් නැතුව. තේරෙන්නෙත් නැහැ කියන දේ. පේන්නෙත් නැහැ හරියටම. කට හඬ මහ පාරේ උද්ඝෝෂණයක බැටරි ස්පීකරයක් වගේ.

මේ යුද්ධෙ පාන්දර 03 වෙනකන් ගියා. මට කෙසේ වෙතත් මේ කෑ ගහන කෙනාට මහන්සියක් නැද්ද මන්දා? මොනවා කරන්නද.. TV එක දාගෙනම පාන්දර වෙද්දී තමයි දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා තිබ්බේ.

මේ ඔක්කොම එක්ක වාහන හෝන් සද්දෙත් කිසිම වෙලාවක නතර උනේ නැහැ. 

හැම තිස්සෙම මතක තියාගන්න කවද හරි ඉන්දියාවේ ගියොත් හතරමං හන්දියක තියන හෝටලයක් නම් ගන්න එපා..

මැච් දවස

මැච් දවස උදා උනා. හවස් උනා තේරුනෙත් නැහැ. මැච් එක තියෙන්නේ රෑට. T20 නිසා.

හෝටලේ ගාව ඉඳන් වැඩි දුරක් නැති නිසා පයින්ම යන්න තීරණය කළා. බැංගලෝර් නගරයත්, ජන ජිවිතේත් බලා ගෙනම. 

කලින්ම ටිකට් එකේ පිටි පස්සේ තිබ්බ කොන්දේසි ටික කියවලා තිබ්බේ. Professional කැමරා තහනම්. ඒක නිසා දුරකථනෙන් තමයි ෆොටෝ ගන්න වෙන්නේ.

ඒ උනාට රෑ කෑම නොමිලේම තිබ්බා. ඔව් ඉතින් ඉන්දියානු රුපියල් 3000ක් ගෙවුවහම විශේෂයක් තියෙන්න එපැයි. නැද්ද?

මැච් ටිකට් එකේ Hospitality කියලා ගහලා තියන එකේ කොන්දේසි සහ පහසුකම් දැක්කේ මේක කියෙව්වට පස්සේ. පාඩු නැහැ වගේ.

Match ticket SL-WI
අන්තිම තත්පරේ වැඩකරපු වාසනාව..

ඊටත් වඩා මට සතුටු සල්ලි වලට අර ගන්න බියර් තියෙන බව සඳහන් කරලා තිබ්බ එකට.

මම හිතා ගෙන හිටියේ ඉන්දියාවේ තරඟ වල කිසිම වර්ගයක ඇල්කොහොල් දෙන්නේ නැහැ කියලා.

මගේ පොඩි කැමරා බෑග් එකේ තියන කැමරා බඩු අයින් කරලා පර්ස් එකයි, ෆෝන් එකයි, ටිකට් එකයි ඒකට දා ගත්තා. පාස්පෝර්ට් එකත් එක්ක.

හිමිහිට ෆෝන් එකෙන් Map එක බලාගෙන Ground එක පැත්තට යන්න පිටත් උනා. 

ත්‍රීවීල් එකේ ගිය ගමන වගේ නෙවෙයි. ඇත්තම යුද්ධෙ පෙනුනේ පාරට බැස්සට පස්සේ.

දිග පොලු තියා ගත්ත කොට කලිසම් ඇඳ ගත්ත පොලිස් භටයෝ. දිග කලිසම් ඇඳ ගත්ත (මම හිතන විදිහට) පොලිස් නිලධාරියෝ.

ඒ අය පහු කරගෙන ගුටි කන්නේ නැතුව රේස් යන්න හදන 3-4 දෙනා පටවා ගත්ත Helmet නැති Bike පෙරහැර. (මම හිතන්නේ පොලිස් භටයින්ටත් මහන්සියි. දිගටම ගහලා. ඒක නිසා ගොඩක් අය බේරිලා යනවා.)

දඩ කොළ ලියන පාටක් නම් දැක්කේ නැහැ. 

පාරේ මැද

පාරේ මැදත් මිනිස්සු නිදා ගෙන ඉන්නවා. මැද තියන පොඩි පේමන්ට් එකේ. අයින දිගට චායි(ඉන්දියාවේ තේ) විකුනනවා. කෑම කඩ, විට කඩ, සැලුන්.. නැති දෙයක් නැහැ.

ඒ වගේම විශ්වාස කරන්න බැරි තරම් වීදි දරුවෝ බිම නිදි. නැත්නම් සල්ලි ඉල්ලනවා. මහ බලවතෙක් කියන ඉන්දියාවේ ඇත්ත තත්වේ අපි හිතනවට වැඩිය ගොඩක් වෙනස්. අති දුෂ්කර ජිවිත ගෙවන පංතියේ ප්‍රතිශතය ලංකාව වගේ කීප ගුණයකින් වැඩියි.

ඒ කිලෝමීටර් තුන ඇතුලත පාර දිගටම උන දේවල්, දැක්ක දේවල් පොතක් පිරෙන්න ලියන්න පුළුවන්. ඒත්  තව විස්තර කියන්න තියන හින්දා එක සිද්ධියක් විතරක් කියන්නම්.

ලොකු මහ පාරක් උනාට හැමෝම හිතුන හිතුන තැන් වලින් පාර පනිනවා.

Map එකේ හැටියට මමත් දැන් පාරේ අනිත් පැත්තට යන්න ඕනේ. කහ ඉරක් හෙව්වට එහෙම දේවල් පේන්නවත් නැහැ.

ලංකාවේ පාරවල් පැනලා අත්දැකීම් තිබ්බට මේ වාහන යන විදිහට මෙහෙ මිනිස්සු පනින විදිහටම පනින්න පොඩි බයකුත් හිතට එනවා. අඳුරන්නේ නැති රටක නේ.

ඒ වගේම කොල්ලුපිටිය හරියේ ගාලු පාර වගේ පාර පළලයි.

තව ටික දුරක් එහෙට මෙහෙට ගිහිල්ලා බලනකොට ඈතින් සුදු පාටට පාර පනින්න වගේ හදපු සලකුණක් පාරේ බිම පේනවා.

පනින්න ඕන තැනට වැඩිය ටිකක් ඈතින් උනත් මේ මරාල අස්සේ පාර පනින එකට වඩා කහ ඉරකින් පාර මාරු උනොත් මැරුණත් Travel Insurance එකෙන් සල්ලි හම්බ වෙයි කියලා එතනට ඇවිදගෙන ගියා. (ඇත්තටම Travel Insurance එකක් අරන් තිබ්බේ නැහැ.)

වාහන නතර කරන පාටක් නම් නැහැ. ඒ වගේම එකම පෝලිමට පිළිවෙලට එන්නෙත් නැහැ. අස්සෙන් අස්සෙන් රිංගනවා.

ලංකාවේ අපිත් හොඳට එලවන්නේ නැති උනාට ඒ වගේ දෙගුණයක් තුන් ගුණයක් තත්වේ නරකයි කිව්වහම හිතා ගන්න පුළුවන් නේද?

පුදුම වැඩේ කියන්නේ කවුරුත් මේ කහ ඉර පාවිච්චි කරන්නෙත් නැහැ. දෙවියන්ටත් කියලා පලවෙනි අඩිය තිබ්බා.

හෝන් විමානයයි. ඒක කොහොමත් සාමාන්‍යයි. මම පාරට බැස්ස හින්දා නෙවෙයි. වාහන රියදුරන්ට වැඳලා වගේ පලවෙනි භාගේ Cross කරලා පාරේ මැද තියන පේමන්ට් එකට ආවහම තමයි තරු විසි උනේ.

පාර මැද්දේ පේමන්ට් එක අඩි 5ක් විතර උසයි. ලාවට එහා පැත්ත පේනවා.

කහ ඉර (සුදු ඉර) පාරේ මැදින් ඉවරයි. එහා පැත්තට නැහැ.

මේ පේමන්ට් එක අලුත් ඉදිකිරීමක් වගේ. වාහන පෝලිම නිසා ලඟට එනකන් මම මේක පැහැදිලිව දැක්කේ නැහැ.

මිනිස්සු මෙතනින් පාර පැනලා නැත්තේ මේ නිසා. දැන් මම ඉන්න තැන(පාර මැද්දේ) කකුල ගාවින් Bike, ත්‍රීවිල් යනවා. එක එක හෝන් සද්ද එක්ක.

මොනවා කරන්නද? ජිව්තේ දෙවියන්ට බාර කරලා පාර මැදින්ම පේමන්ට් එක Cross කරලා පනින්න පුළුවන් තැනක් හම්බ වෙනකන් ඇවිදගෙන ගිහින් පුළුවන් උන ගමන් පාරේ එහා පැත්තට පැන්නා. (Mission Impossible Part-X)

ඉන්දියානු පාර පැනීමේ ක්‍රමයට පුරුදු වෙන්න ඕනේ ටිකක්. (ලංකාවේ විදිහට වැඩිය සැහෙන්න වෙනස්) ඊට පස්සේ නම් ගානක් නැති වෙයි. මොනවා උනත් හිතට නම් ආවේ ලොකු හයියක්… ඒ පැනිල්ලත් එක්ක.

කොහොම කොහොම හරි Queens Road එකේ චින්නසාමි Stadium 2B කියන ගේට්ටුව ගාවට ආවා. මැච් එක පටන් ගන්න පැය භාගයක් විතර තියනවා. හැබැයි ඇතුලෙන් එන සද්දේ නම් අපේ කොළඹ ප්‍රේමදාස එකේ මැච් එකක් පටන් ගන්න කලින් සද්දෙට වැඩිය ගොඩක් වැඩියි.

ඒ වගේම ඇතුලට යන්න ලොකු පෝලිමක් තිබ්බේ නැහැ.

එක්කෝ කට්ටිය දැනටමත් ඇතුලට ගිහිල්ලා. නැත්නම් මේ ගේට්ටුවෙන් වැඩිය යන්න කට්ටියක් නැතුව ඇති.

ගේට්ටුවෙන් ඇතුලට යනවාත් එක්කම එතන හිටපු ආරක්ෂක නිලධාරියා මාව නතර කළා. ඉස්සෙල්ලම ඉල්ලුවේ ටිකට් එක. මම ඒක දුන්නා.

කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මගේ පොඩි කැමරා බෑග් එක පෙන්නලා එක පාරම ඉංග්‍රීසියෙන් No කිව්වා.

මම ලංකාවේ ක්‍රිකට් T-shirt එකක් ඇඳගෙන ඉන්න නිසා ඉන්දියාවේ නෙවෙයි කියලා තේරුම් ගන්න ඇති.

මම English වලින්ම පැහැදිලි කළා මේකෙ කැමරාවක් නැහැ. මගේ වටිනා බඩු ටික විතරයි තියෙන්නේ කියලා.

ඒ එක්කම පිටි පස්සේ මම දැක්ක කුණු ගොඩක්. විසි කරපු කඩලාවත් නැති වතුර බෝතල්.

මට මතක් උනේ 1996 World Cup එකේ Semi Final එක. (අපේ කට්ටියට වතුර බෝතල් වලින් ගහපු) අනිවාර්යෙන් ඊට පස්සේ වෙන්න ඇති බෝතලයක්වත් අරන් යන්න දෙන්නේ නැත්තේ..

ආරක්ෂක නිලධාරියා සුහදශීලිව මට යන්න දුන්නා. කිසිම ගැටළුවක් උනේ නැහැ.

විශාල Stadium එකක්. 40000ක ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්න පුළුවන්. දැනටමත් ක්‍රීඩාංගනය පිරෙන්න කිට්ටු වෙලා. ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයෝ නම් වැඩිය පේන්නට නැහැ. (100ක් වත් නැහැ) ක්‍රීඩකයන් පෙර පුහුණු වීම් කරනවා. ඔවුන්ට ඔලවරසන් දෙන ප්‍රේක්ෂකයින් නිසා තමයි සද්දේ..

හැමදේම අමතක කරලා මම ගියේ බියර් Stole එක හොයා ගෙන. මැච් එකට කලින් පොඩ්ඩක් රත් වෙන්න.

මොකද මේ Crowd එකත් එක්ක කොහොමත් රත් වෙලා තමයි මැච් එක බලන්න වෙන්නේ. 

ලොකු Buffet එකක් තිබ්බා. තවම ඇරලා නැති. ඒක අපේ රෑ කෑම වෙන්න ඕනේ. බියර් කොහෙද කියලා හැම තැනම පීරලා බැලුවා. පේන්න නැහැ.

ජාතික ගීය කියන වෙලාවත් ඇවිල්ලා…ටීම් දෙකේ කට්ටිය පෝලිමට එලියට එනවා… වැඩි වෙලාවක් නැහැ.. මගේ Mission එක ඉවර කරන්න. අදත් නිදි නැති දිග රැයක්… අනිවාර්යෙන්ම…

SL v WI 2016 world cup

ඒත් මට තාම හොයා ගන්න බැරි උනා….මම ඉන්න Stadium කොටසේ බලපු නැති තැනක් නැහැ. අහපු නැති පේන්න හිටපු වැඩ කරන කෙනෙක් නැහැ… කෝ ඇත්තටම මේ බියර්?

බියර් හොයා ගත්ත හැටි සහ මැච් එකට උන දේ…Link එක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
දුම්රිය ගමන්

ලෝකයේ දිගම මගී දුම්රිය මාර්ග

ශ්‍රී ලංකාවේ රූගත කෙරුණු The Bridge on the River Kwai චිත්‍රපටය අදාල කතාවේ සත්‍ය සිදුවීම සිදුවූ ප්‍රදේශය පසු කරමින් අග්නිදිග ආසියාවේ ඉහත කී ගමනාන්ත දෙකට අමතරව මැලේසියාවද පසු කරමින් සති අන්තයන්හි මෙම දුම්රිය ගමන් කරයි.
Devils oven Ice cave

මිදුණ දිය පාරක් දිගේ යකාගේ උදුනට

ශීත කාලය කියන්නේ කැනඩාවට ඒ තරම් සැප පහසු කාලයක් නෙවෙයි. ඒත් සමහර වෙලාවට අපි හිතන්නේ නැති සුන්දරත්වයක් කටුක පරිසරයත් එක්ක සොබා දහම නිර්මාණය කරනවා.
Match ticket SL-WI

We Want ගේල්..

ක්‍රීඩාංගනය නිකන් 96 ලෝක කුසලානේ Semi Final එක වගේ. ඔලුවට අත් තියා ගත්ත මිනිස්සු. කේන්තියෙන් කෑ ගහන මිනිස්සු… එකම දේ.. විසි කරන්න බෝතල් නැති එක විතරයි.
Total
0
Share