Dark Light
ක්‍රීඩාංගනය නිකන් 96 ලෝක කුසලානේ Semi Final එක වගේ. ඔලුවට අත් තියා ගත්ත මිනිස්සු. කේන්තියෙන් කෑ ගහන මිනිස්සු… එකම දේ.. විසි කරන්න බෝතල් නැති එක විතරයි.

දිනය: 2016-03-20

ස්ථානය: බැංගලෝර් එම්. චින්නසාමි ක්‍රීඩාංගනය 

වෙලාව: රාත්‍රී 7.00

කතාව මුල ඉඳන් කියවන්න කැමැති අයට Link එක

ශ්‍රී ලංකා කණ්ඩායම: මැතිව්ස්(නායක), චන්දිමාල්, ඩිල්ෂාන්, තිරිමාන්න, තිසර, කුලසේකර, හේරත්, කපුගෙදර, මිලින්ද, දුෂ්මන්ත සහ ජෙෆ්රි(මගේ ගමන් සගයා)

බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම: Sammy(නායක) Charles, Gayle, Samuels, Fletcher, Bravo, Russell, Ramdin, Brathwaite, Badree, Benn

මම බියර් හොයන්න ගිහින් එද්දිම වගේ ටොස් එක දැම්මා. බටහිර ඉන්දීය කොදෙවු දිනුවහම දුන්න විශාල ප්‍රීති ඝෝෂා සද්දය හැටියට නම් ඉන්දීය ප්‍රේක්ෂකයන් කොදෙවු කණ්ඩායමේ පැත්තට සහයෝගය දක්වනවා වගේ..

SL WI cricket Toss

IPL නිසා වෙන්න ඇති. මොකද ගේල්ගේ කණ්ඩායම. RCB රෝයල් චැලෙන්ජර්ස්. ඒකෙත් පාඩුව අපිට තමයි. 39900ක් විතර අනිත් පැත්තට අත්පුඩි ගහද්දි 100 විතර අපේ කට්ටිය ඇඳුම්, කොඩි වලින් තැන් තැන් වල ඉන්නවා වගේ පේනවා. මම හිටපු කොටසෙත් කීප දෙනෙක් හිටියත් ආසන වෙන් කරලා තිබ්බ නිසා යන්න නම් විදිහක් තිබ්බේ නැහැ. 

මැච් එක පටන් ගන්න ඉස්සෙල්ලා ජාතික ගීය කියන වෙලාව. තාම බියර් තියන තැන හොයා ගත්තෙත් නැහැ. ඒත් බොලයක්වත් මිස් කරන්නත් බැහැ. මම ඇවිල්ලා ආසනයෙන් වාඩි උනා.

SL v WI 2016 world cup

තවත් පොඩි වෙලාවකට පස්සේ. ඒ කිව්වේ හරියටම 7.30ට මැච් එක පටන් ගත්තා. ඩිල්ෂානුයි චන්දිමාලුයි තමයි Opening ආවේ. 

මට හොඳට මතකයි Andre Russellගේ දෙවැනි බෝලෙට ඩිල්ෂාන් ගහපු 6. මුළු ක්‍රීඩාංගනයම දැන්නම් ලංකාවට වගේ. ආ.. අමතක උනා නේ. ඩිල්ෂානුත් RCB එකට සෙල්ලන් කරපු ක්‍රීඩකයෙක් කියලා..

වටේ හිටපු ඉන්දියානු ප්‍රේක්ෂකයෝ 6 ගහපු වෙලාවේ මට පහේ ඒවා දැම්මේ ලංකාවේ T-Shirt එකක් ඇඳන් හිටපු නිසා වෙන්න ඕනේ. ඊළඟ බෝලේ තවත් 4ක්. ආයෙමත් ඉන්දියානු ප්‍රේක්ෂකයෝ පුටු උඩ. කැමරාව එහෙම ලඟට එද්දී ඒක ඉස්සරහට යන්න කට්ටියම පොර කනවා.

මේ කෑගහන සද්දෙට නම් කට්ටියම එක්කෝ බීලා නැත්නම්… අනේ මන්දා.. කොහේ හරි මට පේන්නේ නැති තැනක තියන් බියර් විකුණුනවා වගේ… ඒත් කාගේ අතේවත් බියර් කෝප්පයක්වත් පේන්න නැහැ. පෙප්සි අරගෙන යන අය නම් වටේට එනවා..

පළවෙනි ඕවරේ ලකුණු 13යි. මේ විදිහට ගියොත් 200 නම් ගේමක් නැහැ වගේ. ඒත් කොදෙවු කණ්ඩායම විශ්වාස කරන්න පුළුවන් ටීම් එකක් නෙවෙයි. ගේල්ගේ Ground එක. රසල්, බ්‍රාවෝ වගේ Super Hittersලා. අනික IPL නිසා කට්ටියම හොඳට දන්න Ground… මේ හැම වාසියක්ම අපිට වැඩිය ඒ අයට තියෙනවා.

04 වෙනි ඕවරේ පලවෙනි බොලේ. කොදෙවු Team එකේ පලවෙනි ඕවර් 04 දැම්මේ 04 දෙනෙක්. කාර්ලොස්‌ගේ බෝලෙට විකට් එකක්. විනිසුරු ටික වෙලාවක් ගිහින් තමයි ඇඟිල්ල ඉස්සුවේ..

මොකද උනේ කියලා Cricinfo site එකට ගිහින් බලද්දී තියෙනවා Out නැහැ කියලා. (TV Umpireට දාන පහසුකම නැහැ LBW වලට මේ කාලේ) අය්යෝ… මෙච්චර ෆෝම් එකේ හිටපු ඩිල්ෂාන්. ලකුණු 20යි විකට් එකයි.

ඒ ඕවරේම පස්වෙනි බෝලේ චන්දිමාල්ගෙන් හයේ පාරක්. ඕවරේ ඉවර වෙද්දී ලකුණු 30යි. විකට් 01යි. නරකම නැහැ. 

චන්දිමාල්ව පොඩ්ඩක් උඩින් තියලා කතා කළා විතරයි. තේරුමක් නැහැ වගේ. ඊළඟ ඕවරේ පලවෙනි බෝල 05න් 04ක්ම ලකුණු නැහැ. PowerPlay කියලා අමතක වෙලාවත්ද?

ඉවරයි. විකට් 03යි. 200 හීනේ නැති වෙලා යනවා වගේ. ලකුණක් නැති එකකට අන්තිම බෝලේ දුවන්න ගිහින් චන්දිමාල් Runout. මම කියපු දේවල් ඇහිලද මන්දා. කමක් නැහැ. මෙච්චර වෙලා බෝල කාපු එකේ Out උන එකමයි හොඳ කියලා හිත හදා ගත්තා. ඕවර්ස් 05යි. ලකුණු 32යි විකට් 02යි. 

chinnasamy ground bangalore

තිරිමාන්නයි කපුගෙදරයි. නරකම නැහැ අන්තිම ඕවරේ. මම කිව්වේ PowerPlay එකේ අන්තිම ඕවරේ. හතරේ පාරවල් 02ක් එක්ක ලකුණු 09යයි. ලංකාව 41/2…. මදි මදි.. හොඳටම මදි.. පටන් ගත්ත විදිහට මම හිතුවේ අඩුම 60ක් වත් ගහයි කියලා.

අලුත් ඕවරේ පලවෙනි බොලේ. Samuel Badreeගේ නැටුමක්. තිරිමාන්න ගෙදර… 41/3යි

අලුතෙන් ආවේ නායකයා. මැතිව්ස්.. ඊළඟ ඕවර 02 ගියාට පස්සේ ඒ කියන්නේ 07 වෙනි ඕවරේ අන්තිම වෙද්දී ලංකාව 47/3. මීට වැඩිය හොඳයි ටෙස්ට් මැච් එකක් බලන්න ආවනම්. ප්‍රේක්ෂකයොත් මලානික වෙලා.. එක හතරේ පාරක් නැහැ. 

08 වෙනි ඕවරේ තමයි වෙන්න පුළුවන් නරකම දේ උනේ. Samuel Badree දෙපාරක් නැටුවා. නුවර පෙරහැර වගේ.. Badree නටනවා.. අපේ අය Out වෙලා Pavilion එකට යනවා. කපුගෙදර Out මිලින්ද ලකුණු 0ට Out…. 

ඒ මදිවට මිලින්දගේ Catch එක ගත්තේ ගේල් නිසා මුළු ප්‍රේක්ෂකාගාර ඔක්කොම හුරේ දානවා…කලින් විකට් වලට නම් මේ තරම් කෑ ගැහුවේ නැහැ. මේ විදිහට ඉන්දියානුවෝ කොදෙවු Team එකට Support එක දුන්නොත් ගන්න දෙයක් නැති වෙයි වගේ… අනේ දෙවියනේ 150ක්…. 200ක් ඕනේ නැහැ..

10වෙනි ඕවරේ ඉවර වෙද්දී  54/5යි. ඊළඟ ඕවර 10ට 10 ගානේ ගහන්න විතරයි තියෙන්නේ… ගේමක් නැහැ…මැතිව්ස් තිසර.. අය්යයි මල්ලියි.. දෙන්නම මගේ ඉස්කෝලේ… ගහන්න බැරි නම් ඇති වැඩකුත් නැහැ…

15 වෙනි ඕවරේ වෙනකන් බලන් ඉන්න උනා හතරේ පාරක් දකින්න.. හිතා ගන්න පුළුවන්නේ ලංකාවට මේ වෙද්දී වෙලා තියන හදිය…ඕවර් 15යි. 81ට විකට් 05යි..  10 ගානේ ගැහුවොත්.. එක්කෝ ඕනේ නැහැ.. කෝ මේ බියර්.. 

මොනවා උනත් තව ඕවර් 05යි නේ කියලා හිත හදා ගෙන බියර් බොන්න යන ආසාව නැති කර ගත්තා.. මොනවා හරි Magic එකක් මේ දැන්වෙයි දැන්වෙයි කියලා හිතා ගෙන.. 

16 ඕවරේ නරකම නැහැ.. ලකුණු 9ක්. නෝ බෝල් එකට හම්බ උන Free Hit එකෙන් වැඩක් ගත්තා නම් මීට වැඩිය දෙයක් කරන්න තිබ්බා… මොනවා කරන්නද? 90/5යි

17 ඕවරේ දෙවැනි බෝලේ. බ්‍රාවෝ කෑගහන්නේ LBW එකක් ඉල්ලලා වගේ. මැතිව්ස්.. දෙයියනේ.. තුන්වෙනි විනිසුරුට… පේන විදිහට නෝ බෝල් බලන්න වගේ.

කෝ මේ Cricinfo. හිතුවා හරි. ෆුල් ටොස් එකක්ලු… උස බලන්න… Ground එකේ TV Screen එකේ උත්තරේ ආවා විතරයි බ්‍රාවෝගේ නැටුම…..91/6යි.

දැන් නම් බය තියෙන්නේ 100ක්වත් ගහන්න බැරි වෙයි කියලා..කුලසේකර.. අලුත් බැට්ස්මන්..

ගේල් පේන්න නැහැ.. Ground එකෙන් එලියට ගිහින් වගේ.. මොකද දන්නේ නැහැ. සමහර විට අපේ ලකුණු මදි නිසාද දන්නේ නැහැ.. 17 ඕවරේ ඉවර වෙනකොට 94/6යි.

ඊට පස්සේ ඕවරේ තමයි බලපු හොඳම ඕවරේ. ලකුණු 16ක්. තිසරගේ හයේ පාරයි හතරේ පාරයි එක්ක… ඕවා මෙච්චර වෙලා කොහෙද තිබ්බේ… දැන් ඉන්දියානුවන්ගේ Support එක තිසරට.. පාට වෙනස් කරන කටුස්සෝ…(විහිලුවට මිස අපහාසයට නොවේ.) 18 ඉවර වෙද්දී 110/6යි

මේ අන්තිම ඕවර 02කට 30ක් ගැහුවොත්…

හිතෙන් ගණන් හදන එකේ ඉවරයක් නැහැ.. එකතු කරන ගාන වැඩි වෙනවා මේ වගේ ලොකු ඕවරයක් ආවහම. ඒත් මගේ ගණන් හීන විතරයි.

ඊලඟ ඕවරේ ලකුණු 8යි. කුලසේකර Out උනා. විකට් නම් ලොකු ප්‍රශ්න නෙවෙයි මේ වෙලාවේ හැටියට. තිසරට ගහන්න හම්බ උනොත් ඇති. 19 ඉවර වෙද්දී 118/7යි.

අන්තිම ඕවරේ.. අන්තිම බෝල 6… බ්‍රාවෝ.. ලේසි මනුස්සයෙක් නෙවෙයි… ඒත් අපේ තිසරත් ලේසි මනුස්සයෙක් නෙවෙයිනේ.. පලවෙනි බෝලේ එක ලකුණයි. දෙවැනි බෝලෙත් එක ලකුණයි.. තුන්වෙනි බෝලෙත් එක ලකුණයි….

ඊට පස්සේ බෝල දෙක තමයි බෝල දෙක.. උඩරට පහතරට සියලු දස්කම් විස්කම් පාමින්.. හේරතුයි තිසරයි දෙන්නම පෙරහැරේ ගෙදර… බ්‍රාවෝ….!!! එකම නාට්‍යයක්..

කොහොම හරි මාත් එක්ක එක Flight එකේ ආපු ජෙෆ්රිටත් අන්තිම බෝලේ ගහන්න හම්බ උනා.. ඒකට තමයි Team Work කියන්නේ.. අපි හැමෝටම ගහන්න දෙනවා..

Jeffrey Vandersay
කටුනායකදී හම්බ උන අඳුරන මූණ Jeffrey Vandersay

20 ඉවරයි 122/9යි.

ලකුණු ගැන වැඩිය හිතන්නේ නැතුව මේ විවේක කාලේ හිතන්න තීරණය කලේ ටිකට් එකේ ගහලා තිබ්බ Hospitality කියන වචනේ ගැන.

ලොකු Buffet එකක් වැඩි පෝලිමක් නැතුව කීප තැනකින් ආරම්භය පටන් ගන්න පුළුවන් විදිහට දාලා තිබ්බා. කෑම ඔක්කොම ඉන්දියානු… සාමාන්‍ය බත්, බුරියානි, රොටි වර්ග… ඇතුළු වර්ග කිහිපයක මස් මාළු එළවලු… ඒ Buffet එකේ නම් වරදක් කියන්න නැහැ… ඒත් මම තවම හොයන්නේ බියර්… පේන තෙක් මානයක නැහැ.

Buffet එකට තිබ්බ කෙටි පෝලිමක හිට ගත්තේ T-20 මැච් එකක විවේක කාලය වැඩි වෙලාවක් නැති නිසා. පිඟන් තියන තැන හිටපු චෙෆ් මල්ලිගෙන් පිඟාන ගන්න කලින් කෝ බියර් කියලා ඇහුවහම මනුස්සයා ශාලාවේ කොණක් පෙන්නුවා.

ලංකාවේ සංගීත සංදර්ශන වලට ගිහින් තියන අය දැකලා ඇති අවසර නැති වෙළඳාම් කරන අය හැංගිලා බඩු විකුණන හැටි. අන්න ඒ වගේම මේ බියර් විකුණන මනුස්සයා බියර් විකුණනවා කියලා කිසිම සඳහනක් නැහැ. ශාලාවේ කොණක හැංගිලා වගේ ඉන්නවා. කිසිම පෝලිමක් නැහැ. රෙද්දක් වගේ එකකින් මේසයක් වැහිලා. ඒක ඇතුලේ තමයි මෙයා ඉන්නේ. ලාවට මූණ පේනවා.

මම ඉක්මනින් පෝලිමෙන් අයින් වෙලා කාන්තාරේ ක්ෂේම භුමිය හොයා ගෙන ගියේ වතුර තිබහේ ඉන්න ඔටුවෙක් වගේ.

ඉන්දියානු රුපියල් සීයයි. කෑම ශාලාවෙන් එලියට ගෙනියන්න බැහැ. මොනවා කරන්නද කඩි මුඩියේ Buffet එක අමතක කරලා බියර් වීදුරු 02ක් අර ගත්තා.

මැච් එක පටන් ගන්න යන සද්දේ ඇහෙනවා. ඉන්දියානු රොටි දෙක තුනක් එක්ක එළුමස් ව්‍යංජනය බෙදා ගත්තේ බයිට් එකටයි රෑ කෑමටයි දෙකටම හරි යන්න. කෑම ශාලාව ඇතුලේ තිබ්බ TV වලින් අපේ කට්ටිය එලියට එනවා පේනවා. රකින්න. ඉක්මනට හැමදේම ඉවර කලේ බෝලයක් මිස් කර ගන්න බැරි නිසා.

Johnson Charles සහ Andre Fletcher දෙන්නා තමයි Opening ආවේ. ගේල් නැහැ. මේ මනුස්සයට මොනවා වෙලාද? Cricinfo එකේ කියන විදිහට Injury එකක්. ලංකාවේ වාසනාව. ගේල්ට එන්නම බැරි නම් විකට් 9 ගන්න තියෙන්නේ.. මැච් එක දිනන්න..

පලවෙනි ඕවරේ. නායකයා. මැතිව්ස්.. කොදෙවු ක්‍රීඩකයෝ දෙන්නා බැට් කරන්න එද්දී ක්‍රීඩා පිටියේ කොණකින් පටන් We Want Gayle කියන සද්දේ දැන් මුළු Stadium එකේ හැම තැනින්ම ඇහෙනවා.. මම ඉතින් Gayle කියන කෑල්ල හයියෙන් කියන්නේ නැතුව We Want Wicket කියලා කියපු එක නම් කාටවත් ඇහෙන්න නැතුව ඇති.. ඒ තිබ්බ සද්දෙට…

පලවෙනි ඕවරේ ඉවර වෙද්දී 13/0

දෙවැනි ඕවරේ හේරත්.. Fletcherට ආච්චි වැහිලා වගේ. ගේල් නැති පාඩුව හිටියට වැඩිය හොඳට Cover කරනවා. දෙවැනි ඕවරේ ඉවර වෙද්දී 23/0 Fletcher 22යි. We Want Gayle… We Want Gayle…

indian cricket fans
RCB Army

ඊළඟ ඕවරේ කුලසේකර.. 29/0

අපිත් කොදෙවු කණ්ඩායම වගේමයි. පලවෙනි ඕවර 04 දාන්න 04 දෙනෙක්. ජෙෆ්රි… Come On ජෙෆ්රි.. මම කියලා දීපු විදිහට (මම කියලා දීපු දෙයක් නැහැ..) බෝලේ දාන්න.. 

ඒ ඕවරේ දෙවැනි බෝලේ.. අය්යෝ කපුගෙදර…Charles අය්යාගේ Catch එකක් ලෙස්සිලා ගිහින් අත අරිනවා.. මම හිතුවා හරි.. රෑට පින්න එක්ක රකින එක නම් ලේසි නැහැ. අනික ලකුණ 122යි ගැහුවේ.

සුපිරි ඕවරයක්. එක ලකුණයි දුන්නේ.. Catch එක ඇල්ලුවා නම්…30/0

හේරත් දාපු ඊලඟ ඕවරේ ලොකු Pressure එකක් උනා නම් උනේ Gayle ඇවිල්ලා Bench එකේ ඉඳ ගත්ත එක TV Screen එකේ පෙන්නපු එක. ආයේ කට්ටිය ෆෝම් වෙලා.. We Want Gayle..

හොඳ සලකුණක්ද නරක සලකුණක්ද කියලා හිතා ගන්න බැහැ… මොනවා උනත් දැන් නම් ඕනේ විකට්. ඕවරේ ඉවර වෙද්දී 39/0

6 වෙනි ඕවරේ දෙවැනි බෝලේ ජෙෆ්රි දැම්මේ.. Charles Out. මුළු ක්‍රීඩාංගණයම ලංකාව වගේ වෙලා. ඔල්වරසන් දෙනවා..

විනාඩියක් ගියේ නැහැ.. ඔල්වරසන් හඬ වෙනස් උනා.. ආපහු We Want Gayle… ගේල් වෙනුවට පිටියට ආවේ Samuels… මිනිස්සුන්ට කේන්ති ගිහින්.. දැන් ඉස්සරටත් වැඩිය හයියෙන් අයිතිවාසිකම් වෙනුවෙන් බැංගලෝර් ජනතාව කෑ ගහනවා.. We Want Gayle… We Want Gayle… මේක නම් පිස්සුවක් වගේ…

We Want Gayle..
We Want Gayle…

ජෙෆ්රිගේ ඕවරේ එක ලකුණක් නැහැ. Wicket Maiden. මාත් එක්ක එකම Plane එකේ ආපු ශක්තිය… We Want Gayle…. සමා වෙන්න… We Want Wicket….. Come On ශ්‍රී ලංකා…

7-8 ඕවර දෙකේ ලොකු දෙයක් උනේ නැහැ. බැංගලෝර් ගේල් හමුදාව සැරින් සැරේ කෑ ගහපු එකට අමතරව. ඒ අස්සේ එක්කෙනා දෙන්නා මං ලඟට එනවා සෙල්ෆි ගහන්න. මම ලංකාවේ T-Shirt එකක් ඇඳගෙන ඉන්න හින්දා වෙන්න ඇති.

කැමරාවක් ඉස්සරහින් යනකොට මිනිස්සු පිස්සුවෙන් වගේ ඒක ඉස්සරහට පේලි 3-4ක ඉඳන් පනිනවා… පොර කනවා… පොලිස් නිලධාරිනුත් මැච් එක බලනවා. ඔක්කොම වැඩ නතර කරලා… ඉන්දියානු ක්‍රිකට් ආදරය…එහෙමත් නැත්නම් වන්දනාව…

police india watching match

9 වෙනි ඕවරේ දැම්මේ මිලින්ද. දෙවැනි බෝලේ චන්දිමාල් Samuelsව Stump කළා. කියන්න ඕනේ නැහැනේ. කට්ටියගේ සද්දේ… මිලින්ද ගැනවත්.. චන්දිමාල් ගැනවත්… ලංකාව ගැනවත් නෙවෙයි… ගේල්…. ඒත් අවාසනාවකට ගේල් ආවේ නැහැ. TV Screen එකේ ගේල් පෙන්නනකොට කට්ටිය පිස්සුවෙන් වගේ කෑ ගහනවා. ඒත් පිටියට බැස්සේ Denesh Ramdin. දුක තමයි RCB.

10-11-12 පන්දු වාර ලේසි උනේ නැහැ ලොකු ලකුණු ගානක් ගහන්න. අපේ කට්ටිය සෑහෙන උනන්දුවෙන් පන්දු රකිනවා. දඟ පන්දු යවන්නන් අස්සේ චමීර ඇවිල්ලා හොඳ ඕවරයක් දැම්මා. මට මතක විදිහට පැයට හැතැම්ම 90 විතර පන්දු කීපයක් එක්ක.. කට්ටිය හැම බෝලේටම ඔල්වරසන් දෙනවා. විකට් යන්න කියලා… මොකද ඒ අයට ඕනේ ගේල්.. මමත් සැහෙන්න Busy මේ වෙලාවේ. සෙල්ෆි ගහන්න එන අය නිසා…

13 වෙනි පන්දු වාරේ 5 වෙනි බෝලේ තමයි හොඳම නාට්‍යය උනේ. මිලින්ද දාපු බෝලෙට Denesh Ramdinගේ විකට් එක ඉගිලිලා ගියා. ක්‍රීඩාංගනයේ ඝෝෂාව කියන්න ඕනේ නැහැනේ.

මේ Pressure එක කොදෙවු Bench එකටත් දැනෙන්න ඇති. ගේල් නැගිටලා ආවා..දැන් නම් සැණකෙළියක් වගේ. අහස් කූරු විතරයි අඩු… ඒත් මේ සතුට වැඩි වෙලාවක් තිබ්බේ නැහැ. විනිසුරු දෙපල ඇවිත් ගේල් එක්ක කතාවක්. වෙන්න යන දේ නම් තේරෙන්නේ නැහැ. මොනවා උනත් ගේල් ආපහු අනිත් පැත්තට ගියා.. නැත්නම් විනිසුරු යැවුවා…. 

ක්‍රීඩාංගනය නිකන් 96 ලෝක කුසලානේ Semi Final එක වගේ. ඔලුවට අත් තියා ගත්ත මිනිස්සු. කේන්තියෙන් කෑ ගහන මිනිස්සු… එකම දේ.. විසි කරන්න බෝතල් නැති එක විතරයි. 

මට නම් ඔය කිසි ගානක් නැහැ. විකට් එක ගිය සතුට එක්ක සෙල්ෆි පෝලිමත් වැඩි වෙලා මම නිකන් Celebrity කෙනෙක් වෙලා හිටියේ…මට මෙහෙම නම් ඉන්දියාවේ ඇත්තම Celebrityලාට මුන් කොහොම වදයක් දෙනවා ඇතිද?

පස්සේ Cricinfo එකෙන් දැක්කේ පන්දු රකිනකොට එළියේ හිටපු වෙලාව වැඩි නිසා විනිසුරු ගේල්ව එලියට යැවුවා කියලා.. 

මෙතනින් එහාට වැඩි විස්තරයක් මැච් එක ගැන කියන්න අදහසක් නැහැ. අපේ අතින් මැච් එක ගිලිහිලා යනවා වගේම ගේල් එන්නේ නැති නිසා ඉන්දියානු ප්‍රේක්ෂකයොත් නැගිටලා යන්න පටන් ගත්තා..

Sl V WI 2016 world cup

මම නම් මොන දේ උනත් කෙලින් ඉන්නවා නම් අන්තිම බෝලේ වෙනකන් බලනවා. අපිත් ලේසියෙන් පැරදුනේ නැහැ. ඕවර 18ක් ගියා.. කොදෙවු කණ්ඩායමට දිනන්න. ඩිල්ෂාන්ගේ හොර Out එක දුන්නේ නැත්නම් Catch මිස් උනේ නැත්නම් මීට වඩා හොඳ සටනක් බලා ගන්න තිබ්බා..

ඒත් ඉතින් මගේ යාළුවන්ගෙන් නම් පරාජය ගැන මට බේරුමක් තිබ්බේ නැහැ.

ss cricket
screenshot cricket lost

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Devils oven Ice cave

මිදුණ දිය පාරක් දිගේ යකාගේ උදුනට

ශීත කාලය කියන්නේ කැනඩාවට ඒ තරම් සැප පහසු කාලයක් නෙවෙයි. ඒත් සමහර වෙලාවට අපි හිතන්නේ නැති සුන්දරත්වයක් කටුක පරිසරයත් එක්ක සොබා දහම නිර්මාණය කරනවා.
දුම්රිය ගමන්

ලෝකයේ දිගම මගී දුම්රිය මාර්ග

ශ්‍රී ලංකාවේ රූගත කෙරුණු The Bridge on the River Kwai චිත්‍රපටය අදාල කතාවේ සත්‍ය සිදුවීම සිදුවූ ප්‍රදේශය පසු කරමින් අග්නිදිග ආසියාවේ ඉහත කී ගමනාන්ත දෙකට අමතරව මැලේසියාවද පසු කරමින් සති අන්තයන්හි මෙම දුම්රිය ගමන් කරයි.
Melbourne Cricket ground

ක්‍රිකට් උණ

වෙන රටවල් දෙකක් ගහන මැච් එකකට මෙච්චර සෙනඟ. එක්කෝ මුන්ට West Indies කියන එකේ West කියන කෑල්ල ඇහිලා නැතුව අන්තිම කෑල්ල India කියලා ඇහිලද කොහෙද..
Total
1
Share