රතු ඉන්දියානු නායක සියැටල්

වොෂින්ටන් නගරයේ ශ්‍රේෂ්ඨ නායකයා අපිට අයිති ජන්ම භූමිය මිලදී ගන්න කැමති කියලා ලියුමක් එවලා තියෙනවා. එතුමා ඒ ලිපියේ සුබ පැතුම් එක්ක මිතුරුකමේ හස්තයත් දිගු කරනවා. ඒ උනත් අපි වගේ පොඩි මිනිසුන්ගේ මිතුරුකමෙන් එතුමාට නම් කුඩා ප්‍රයෝජනයක්වත් නැහැ කියලා අපි දන්නවා. මොනවා උනත් එතුමාගේ කාරුණික භාවය අපි අගය කරනවා.
ඔබතුමාගේ ඉල්ලීම අපි අහක දාන්න අදහසක් නැහැ. මොකද අපි මේ භූමිය විකුණුවේ නැත්නම් ඔබගේ මිනිස්සු තුවක්කු අමෝරාගෙන ඇවිත් අපේ භූමිය උදුරා ගන්නවා කියලා අපි දන්නවා..
මේ නිල් අහස.. පොළවේ උණුසුම විකුණනවා මිලදී ගන්නවා කියන අදහස අපිට පුරුදු නැහැ. මොකද.. සුළඟේ නැවුම් බව.. ජලයේ කාන්තිය අපිට අයිති නැති නිසා.. මේ දේවල් අපිට අයිති නැත්නම් කොහොමද අපි විකුණන්නේ?
මේ මිහිතලයේ සෑම බිම් අඟලක්ම මගේ පරපුරට ශුද්ධවූ වස්තුවක්. ඉර එලියට දිලිසෙන දේවදාර ගස් වල කිනිති.. වැලිතලාවෙන් පිරුණු වෙරළ.. අඳුරු වනාන්තර වල මිහිඳුම් සළු.. වගේම සිහින් නදින් ගී ගයන හැම ප්‍රාණියෙක්ම අපේ මතකයේ සහ අත්දැකීමේ තියෙන පූජනීය වස්තු..
මහ ගස් අතරින් තියෙන හැම අඩි පාරවල්ම අපිව අරන් යන්නේ ඒ මතකයන් වලට.
ඔබගේ මිනිස්සු මරණෙන් පසුව මේ මිහිකත අමතක කරලා දිව්‍ය ලෝකයේ සැරිසරනවා.. මේ මිහිකත සෑම රතු මිනිසෙක්ගේම මෑණියන්… ඒ නිසා අපි මරණෙන් පසුවත් මෙහිම රැඳෙනවා… අපේම සුන්දර මෑණියන්ගේම නැත්නම් මේ මිහිතලයේම කොටසක් වෙනවා…
සුවඳ දෙන මල් අපේ සහෝදරියෝ.. පිනි මුවා, අශ්වයා, මහා රාජාලියා… මේ ඔක්කොම අපේ සහෝදරයෝ.. නීල කඳු ශිඛර, තණ නිල්ල… අශ්ව පැටියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුම.. මේ ඔක්කොම එකම පවුලක අය..
මහා ගංගාවන්ගේ ගලා යන දිදුලන දිය දහර නිකන්ම ජලය විතරක් නෙවෙයි. එය අපේ මුතුන් මිත්තන්ගේ රුධිරය.
අපි මේ භුමිය ඔබට විකුණුවොත්… එය අපට ශුද්ධවූ වස්තුවක්ව තිබුණා කියලා අමතක කරන්න එපා. එය ඔබේ දරුවන්ටත් කියලා දෙන්න..
පොකුණු වල පැහැදිලි ජලතලාවේ පතිත වන සෑම අඳුරු ඡායාවක්ම අපේ මතකයන් ජිවන සිදුවීම්.. ගලා යන ජලයේ මිමිණුම් අපගේ මුතුන් මිත්තන්ගේ කටහඬ…
ගංගාවෝ අපේ සහෝදරයෝ… අපේ පිපාසය නිවනවා.. ඔරු පාරු ගෙනියනවා.. අපේ දරුවන් පෝෂණය කරනවා…
අපි මේ භුමිය ඔබට විකුණුවොත්… ගංගා අපේ සහෝදරයන්ව සිටි බව අමතක කරන්න එපා. එය ඔබේ දරුවන්ටත් කියලා දෙන්න..
ඔබගේ සහෝදරයන්ට දක්වන කරුණාව මේ ගංගා වලටත් දක්වන්න..
නීල කඳු පන්ති හිමිදිරි උදෑසන වසා සිටින මිහිඳුම් සළු, උදාවන හිරු එළියෙන් පලා යන්නාසේ ඔබගේ මිනිසුන්ගේ ආක්‍රමණය ඉදිරියේ අපි හැමදාමත් පලා ගියා.. ඒ උනත් අප පියවරුන්ගේ භෂ්මාවශේෂ සහිත මේ මිහිතලය අපට පූජනීයයි. අප පියවරුන්ගේ සොහොන් බිම් අපට පූජනීයයි.
මේ කඳු පන්ති මේ තුරුලතා අපට කැපවුණු භූමියන්.. සුදු මිනිසුන් වන ඔබ අපගේ සිරිත් විරිත් නොදන්නා බව අපි දන්නවා. පිටස්තර ඔබට එක් බිම් කඩක් තවත් බිම් කඩකට වෙනස් නොවේ.
පොළව ඔබට සහෝදරයෙක් නොව සතුරෙක්. ඒ පොළව අත්පත් කරගත් පසුව එය අමතක කර තවත් බිම් යටත් කර ගැනීමට ඔබගේ මිනිස්සු ඉදිරියට ඇදෙයි.. ඒ පසු කරන පොළවේ පිහිටි ඔබගේ පියාණන්ගේ සුසානයද කිසිඳු තැකීමක් නොමැතිව පසු කර යති.
පොළව ඔබට මිලදී ගත හැකි හෝ කොල්ල කෑ හැකි බැටළුවෙක් හෝ දීප්තිමත් පබළු වැලකට වඩා වෙනසක් නැත.
ඔබගේ කෑදර කම විසින් මේ භූමියේ සාරය උරා ගත පසු ඉතිරි වනු ලබන්නේ හිස් කාන්තාරයක් පමණකි.
ඔබගේ නගරවල දර්ශනය අපේ රතු මිනිසුන්ගේ ඇස් වලට වේදනාවක්. සමහර විට එසේ වන්නේ අප වනචාරී ම්ලේච්ඡයන් නිසා වෙන්න ඇති.. සුදු මිනිසුන්ගේ නගරයන්හි නිසංසල තැනක් කොහිද? එහි ඇත්තේ ඝෝෂාව පමණි. අපගේ දෙසවනට එය මහා හිරිහැරයකි.
අපට එලෙස සිතෙන්නේ අප ම්ලේච්ඡයන් නිසා වෙන්න ඇති.. ම්ලේච්ඡයන්ට එබඳු දේ වටහා ගැනීම පහසු නැත.
උලමා ගී ගයන රාත්‍රීය.. පොකුණක ගෙම්බන්ගේ තර්ක විතර්ක නොඇසෙන ජීවිතයක හරයක් ඇතිද? සමා වෙන්න.. මම නූගත් රතු ඉන්දියානුවෙක්… එනිසා මට මේ දේවල් තේරුම් ගත නොහැකිය.
අලුත් වැස්සට තෙමෙන දේවදාර ගස් මුදුනින් නැගෙන සුවඳ.. සීතල සුළඟේ පාවී අපව සනසනවා.. සුළඟ අපිට හිතවත්.. වනයේ සිටින සතුන්.. තුරුලිය.. රතු මිනිස්සු.. අපි සියලු දෙන මේ සුළඟ නැත්නම් ප්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නවා…
ඔබගේ මිනිසුන් මළ මිනිසුන්සේ සුළඟේ සුවඳවත් නොදනී.
අපි මේ භුමිය ඔබට විකුණුවොත්… සුළඟ අපිට ඉතා වටිනා බව අමතක කරන්න එපා. එය ඔබේ දරුවන්ටත් කියලා දෙන්න..
අපේ මුතුන් මිත්තන්ට ජීවය ලබා දුන් සුළඟම ඔවුන්ගේ අවසන් හුස්මත් ආපසු ලබා ගත්තා.. ඒ හුස්ම අපගේ දරුවන්ට ලබා දුන් ප්‍රාණ වායුවයි.
ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස රැකිය යුතුය. ඒ අතරතුර තණපත් අතරින් ගලා යන මඳ සුළඟේ පහස ඔබටත් විඳිය හැක..
ඔබගේ දරුවන් දෙපයින් නැගිට සිටිනුයේ අපගේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂ වලින් පෝෂණයවූ භූමියක බව ඔවුනට කියා දෙන්න. භුමිය අපේ මෑණියන්. මෑණියන් හෙවත් මවු භූමියට සිදු වන ඕනෑම හොඳක් හෝ නරකක් එහි සිටින දරුවන්ටත් උරුම වේ.
භූමියට කෙළ ගැසුවොත් එය ඔබටම කරන කෙළ ගසා ගැනීමකි.
අප දන්නා පරිදි මේ භුමිය මේ මහ පොළව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළවට අයිතිය.
ජීවිතය කියන දැල මිනිසාගේ නිර්මාණයක් නොවේ. ඔහු එහි නූල් පොටක් පමණි.
අපගේ වර්ගයා වෙනුවෙන් ඔබ පිහිටවනු ලබන රක්ෂිත භූමියට යාම පිලිබඳ අපි සලකා බලන්නෙමු. මැරෙන තුරු අපි එහි සාමයෙන් ජීවත් වන්නෙමු. අප පරපුරේද වැඩි දෙනෙක් තවත් ඉතුරුවී නැත. තව ශීත ඍතු කිහිපයක් ගෙවී ගිය කළ අප වෙනුවෙන් වැලපීමට පරපුරේ කුඩා දරුවකු හෝ ඉතිරි නොවෙනු ඇති..
මිනිස්සු ජීවත් වී මියයයි. එය සෑම වීර ගෝත්‍රිකයකුටම අදාලය..
අන්තිම රතු මිනිසාත් පොළවෙන් අතුරුදහන්වූ පසු ඔවුන්ගේ මතකය තණ බිම් හරහා පාවෙන වලාකුළක ඡායාවක් වී අපගේ මිනිසුන්ගේ ජීවන සුවඳ සහ මතකයන් රඳවා තබා ගනු ඇති.. කිම්දයත් අප මිනිසුන් මේ පොළෝ තලයට ආදරය කළේ කිසිවක් නොදන්නා කිරි දරුවකු තම මවගේ හද ගැස්මට ආදරය කරන්නාක් මෙනි…