නත්තල් නිවාඩුව ලඟයි. බෝඩිමේ (පාසල් නේවාසිකාගාරයේ) නත්තල් උත්සවයට හැමදෙනාම ලෑස්ති වෙනවා. මේක තමයි අවුරුද්දේ ලොකුම පාටි එක. (අපිට තියන) පාටි කිව්වට නැති දෙයක් නැහැ. ගීතිකා කියන්න. තරඟ වලට ඉන්න. සරසන්න.. වැඩ ගොඩයි.
10 වසරට තමයි මේ වැඩේ බාර. 11 වසරේ අය්යලා බෝඩිමෙන් තාවකාලිකව සමු ගන්න..(අඬන) අන්තිම වෙනකන්ම නම කියන්නේ නැති නත්තල් සීයා එන. මහ පාන්දර වෙනකන් පවුඩර් බිමට දාලා රේඩියෝ කැසට් එක හයියෙන් දාලා නටන නත්තල් උත්සවේ…
මේ කාලේ ගොඩක් පන්ති වලට අන්තිම වාර විභාගේ ඉවර වෙලා නිසා සතියේ බෝඩිමේ කාලසටහන ගැන නම් ලොකු ගානක් නැහැ.
පියතුමාත් එතුමාගේ සහයට සිටින ගුරුතුමාත් ඒ බව දන්නවා. ඒ නිසා වෙනදා වගේ සැර නැහැ. නීති අඩුයි. මොකද ලොකු වැඩ ගොඩක් මේ උත්සවේට ලෑස්ති වෙන්න හැමෝටම තිබ්බ නිසා.
තනි තනි තරඟ වගේම හැම පන්තියකටම සහභාගී වෙන්න පුළුවන් තරඟ තියෙනවා…ඒ තරඟ අතින් ලොකුම තරඟය තමයි නාට්‍ය තරඟය..
මුළු පාටිය පුරාවටම සැරින් සැරේ හය වසරේ ඉඳන් උසස් පෙළ වෙනකන් කට්ටිය වෙන වෙනම නාට්‍යය පෙන්නනවා..
තෑගි මොනවා උනත් මේක දිනන එක වර්ල්ඩ් කප් එක ඉස්සුවා වගේ…
අනිත් එක ටොම් බෝලා. ලොතරැයියක් වගේ.. අංක ටිකට් එක. (මම හිතන්නේ Bingo කියලා සමහර රටවල් වල තියන විනෝද ක්‍රීඩාව.) ඒකත් මුළු රෑ පුරාම යනවා. හොඳ තෑගිත් තියනවා.
නොවැම්බර් මාසේ අන්තිම හරිය. බෝඩිමේ ඉඩ තියන තැන්වල කට්ටිය හෝ ගාලා හොරෙන් පුරුදු පුහුණු වෙනවා. අනිත් පන්ති වල අය නාට්‍යයේ කෑලි දැකලා කොපි කරයි කියලා.
අපේ කට්ටියට තාම හරියට පිටපතක්වත් නැහැ. මොකද අපි තමයි මේ පාර පාටිය ලෑස්ති කරන්නේ…අපි 10 වසර. ඒ වැඩ නිසා අපේ කට්ටියත් හරිම කලබලේ.. එහාට මෙහාට දුවනවා..
මේ දවස් වල අවසන් වාර විභාගෙ ඉවර නිසා ප්‍රතිපල දෙනකන් ඉස්කෝලේ පොඩි නිවාඩුවක් දීලා.
බෝඩිමේ කට්ටියයි වෙන පොඩි පොඩි වැඩ වලට (ක්‍රීඩා පුහුණුවීම් වගේ..) එන අනෙක් පාසල් සිසුන් ටික දෙනෙකුයි විතරයි දවල් කාලේ ඉස්කෝලේ ඉන්නේ..
ඉස්කෝලේ අවුරුද්දේ අන්තිම කාලේ නිසා පාසලේ පාලක පියතුමන්ලටත් වෙන වැඩ වැඩියි. බෝඩිම භාර පියතුමාත් වැඩිය පෙනන්නට නැහැ.
බෝඩිමේ තියන වටිනාම කාලය තමයි සෙල්ලන් කරන්න දෙන කාලය..
කොළඹ සුවඳ හමන ලස්සන බේරේ වැව ළඟ තිබ්බ ක්‍රීඩාංගනය හවස් කාලේ පිරිලා තිබුනේ අපේ බෝඩිමේ කොල්ලන්ගෙන්… ෆුට්බෝල්, ක්‍රිකට් සහ බාස්කට් බෝල්.. හැම ක්‍රීඩා පිටියකම වයස් බේදයක් නැතුව කැමැති විදිහට කට්ටිය සෙල්ලම් කළා.
කලින් කිව්වා වගේ කාල සටහන තිතට වැඩ නැහැ. මොකද විභාගේ ඉවර නිසා.
ටිකක් කළුවර වැටෙනකන්ම සෙල්ලන් කරපු කට්ටිය ඊළඟට ගියේ නාගන්න… අපේ කට්ටිය පොඩි කතාවකුත් දාගෙනම ග්‍රවුන්ඩ් එකෙන් ආවේ නත්තල් උත්සවේට කරන්න තියන වැඩ ටික ගැන..
සාමාන්‍ය දවසක නම් මේ වෙලාවට නාලා තේ එකක් එහෙම බීලා. ඔරසන් කියලා. සැපට පාඩම් කරන ශාලාවට යන වෙලාව…
කොලින්ජාඩියේ ප්‍රශාන් අපේ සෙට් එකේ පැහැපත්ම සාමාජිකයා කිව්වොත් වරදක් නැහැ. (හැබැයි රෑට කළුවර උනහම පේන්නේ දත් ටික විතරයි.)
ඕනෑම හොඳ වැදගත් වැඩක් කරන්න හැදුවොත් ඒකෙ මොලේ ප්‍රශාන්ගේ කියලා පියතුමා දැනගෙන හිටියා. කොච්චර ගුටි කෑවත් රිදෙන්නේ නැති DNA වලින් ශරීරය හැදිලා තිබ්බ නිසා මේ මොලේ ගැන ප්‍රශාන්ට ප්‍රශ්නයක් තිබ්බේ නැහැ..
කට්ටියට සුපුරුදු තේ වෙලාව පහු වෙලා තිබ්බ හින්දා පොඩි බඩගින්නකුත් තිබ්බා.
හවස හය විතර වෙනකන් සෙල්ලන් කළේ කාල සටහන ගැන ලොකු බැලිල්ලක් නැති නිසා.. කළුවරත් වැටිලා.. ෆුට්බෝල් ගහලා එන ගමන් ප්‍රශාන් දැක්කේ බාස්කට් බෝල් පිට්ටනිය එහා පැත්තේ තිබ්බ කොස් ගස් පේලිය..
ප්‍රශාන්ගේ මොලේ ගැන කවුරුත් ප්‍රශ්න නොකලට තිබ්බ ලොකුම ගැටලුව ගස් නගින එක නම් නෙවෙයි. ඒකට අපේ කටුනායක අමිත් හිටියා..
ඕනෑම ගහක් ගලක් උඩ යන්න පුළුවන්. වලිගෙ විතරයි පොඩ්ඩක් අඩු වෙලා තිබ්බේ..
තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි කොස් උයන්න විදිහක් නැති කම. එකම උත්තරේ කන්න පුළුවන් ගෙඩියක් කඩන එක..
ඒ කියන්නේ වැල හරි වරකා හරි. පූගොඩ උදුල්, නිට්ටඹුවේ රිද්ම මේ ගැන විශේෂඥයෝ. හංවැල්ලේ මමත් ටිකක් විතර.. කට්ටියම ගහ යටට එකතුවෙලා ගෙඩි ගැන වාර්තාවක් දෙනවා… තංගල්ලේ ගිම්හාන ඔක්කෝටම වැඩිය කොස් ගැන පරීක්ෂණ කරලා තියනවා.
ගෙදර ගියහම හදිසි බඩේ අමාරු හදා ගන්න හොඳම බෙහෙත අමු කොස් කියලා තමයි මෙතුමාගේ පිළිගැනීම උනේ.
අපේ බෝඩිමේ 10 වසරේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා වුන ගිම්හාන කියන අමු ඇත්ත අපි ඉස් මුදුනින්ම ඒ කාලේ පිලිගත්තා..
කට්ටියම සාකච්ඡා කරලා අන්තිමට බෝඩිමේම සීනියර් අය්යලා දෙන්නෙක්ගේ මල්ලි කෙනෙක් උන (එතකොට අපිට වඩා අත්දැකීම් වැඩියිනේ.) කටුනේරියේ ලක්මාල් පෙන්නපු ගෙඩිය කඩන්න තීරණය කළා.
පරම්පරාවම බෝඩිමේ ඉන්නකොට තියන අත්දැකීම් සුළුවෙන් තකන්න බැහැනේ..
මේ වෙනකොට ඉස්කෝලේ මීටර් සියය රෙකෝඩ් එක තිබ්බ බේරුවල කසුනුයි ඉස්කෝලේ ෆුට්බෝල් ටීම් එකේ කැප්ටන් නැෂනල් ගහන මාරවිල චාමිකයි තමයි ප්‍රධාන වශයෙන් ඔත්තු බලන්න හිටියේ.
ඒක නිසා කිසිම භයක් අපේ අයට ඇති වෙන්න ඇති කර ගන්න හේතුවක් තිබ්බේ නැහැ.
අනිත් කට්ටියත් සුදානම් ශරීර පිටින් හිටියේ හතර අතේ බල බල.. ක්‍රිකට් ටීම් එකේ හිටිය වග මිතුන් ෆුට්බෝල් ටීම් එකේ වෙන්නප්පුවේ ඇන්ටන් එක්ක ඒකල නිහාල් කළුවරේම බාස්කට් බෝල් ගහනවා වගේ රඟ පපා හිටියේ පියතුමෙක් එනවද කියලා බල බල.
මොකද එතැන ඉඳන් බෝඩිමටයි පියතුමන්ලාගේ නවාතැනටයි වැඩි දුරක් තිබ්බේ නැහැ.
අනික කාල සටහන නැති නිසා සෙල්ලම් කරන එක වැල වරකා කඩනවා තරම් ලොකු වරදක් නෙවෙයි කියලා හිතලා.
වැඩේ හරි..ගෙඩිය බිම.
කාටත් වැඩිය හොඳට ඇස් පේන කුලියාපිටියේ ශාන් එක පාරටම කවුරු හරි එනවා කිව්වා.
කොළඹ ෆීලික්ස් ඒක තහවුරු කලේ කසුනුයි චාමිකයි දුවගෙන ආපු නිසා. මේ වෙද්දී අනිත් කට්ටිය එක්ක බාස්කට් බෝල් ගහ ගහ හිටපු බෝලේ අතේ තිබ්බ කෑගල්ලේ මංජුලට වැඩිය ගානක් නැහැ වෙන දේවල්. මිනිහා දිගටම තනියම බාස්කට් බෝල් ගහනවා.
අන්තිමට කට්ටිය හැංගෙන්න යනවා දැක්කේ නැති, ශාන් අනතුරු අඟවලා කියපු දේ ඇහුණේ නැති මංජුල තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා ඈතින් එන පියතුමාව.
කෑගහලා පියතුමාගේ දිග නම අකුරු දෙකකට කෙටි කරලා මේ වෙද්දීත් අනතුර දැනගෙන හැංගෙන්න ලෑස්ති වෙලා හිටියා අනිත් අය පැත්තට හැරිලා මංජුලයා කියන කොට පියතුමාටත් අනිවාර්යෙන් ඇහෙන්න ඇති.
මේක උනාට පස්සේ හොඳවයින් කන්න වෙනවා කියලා දැනගෙන මංජුලයා තනි කරන්න බැරි නිසා කට්ටිය ඉස්සරහට එද්දී පියතුමෙක් නැහැ.
මේක නම් අද ක්‍රිකට් ගහද්දි හොර කරපු නැති එකේ වාසනාව වෙන්න ඇති කියලා තමයි ෆිලික්ස් කිව්වේ.
මොකද ඇත්තම කිව්වොත් මංජුල පිටිපස්ස හැරිලා කෑගහපු කෑගැහිල්ලට අපේ කට්ටියටම දුවන්න පාරවල් නැතුව හිටියේ…
අන්තිමේදී කට්ටිය තීරණය කළා වරකා හරි වැල ගෙඩිය හරි මෙතන තියන් කන්න බැහැ කියලා.
මොකද උන දේත් එක්ක මෙතන ඉන්න එක කොහෙත්ම ඇඟට ගුණ නැහැ.
කට්ටිය ගෙඩියත් අරන් බෝඩිමට ගිහින් හොරෙන් කමු කියලා තීන්දු කරගෙන යන්න පිටත් උනා.
හිමිහිට පුරුදු ආරක්ෂක විධි අනුගමනය කර ගෙන පඩිපෙළ පටන් ගන්න තැන තියන ලොකු දොර ගාවට ආවා.
කිසිම සද්දයක් නැහැ. වෙනදට මේ වෙලාවට කට්ටිය නාට්‍ය පුරුදු වෙන සද්ද ගීතිකා කියන සද්ද ගොඩක් ඇහෙනවා. පාඩම් කරන්න නැති නිසා. කට්ටිය කලින් රෑ කෑමටවත් ගිහින්ද?
පරිසරය නිකන් මළ ගෙයක් වගේ. මංජුල මොනවා හරි කියන්න හැදුවත් ශාන් ඉක්මනින්ම මංජුලගේ කට වැහුවා.

මහ දොරෙන් ඇතුළු උනා විතරයි. එක තත්පරයක් ගියේ නැහැ. එතකන් දොර ළඟ හැංගිලා හිටිය බෝඩිම භාර පියතුමා එක පාර ඉස්සරහට ආවා. කරන්න කිසිම දෙයක් නැහැ.
බඩුත් එක්කම පොලිසියට අහු වෙලා. බෝඩිමේ අනිත් මුළු ජනතාවම බෝඩිම තිබ්බ තට්ටු දෙකකම උඩ පඩි පෙලේ ඉඳන් අපි දිහා බලන් ඉන්නවා. මොනවා කරන්නද? ලැජ්ජාවේ පණ යනවා.
“කොහෙද තොපිලා මේ අවේලාවේ ගියේ..?”
“සෙල්..ෆාදර්..”
“කට වහනවා.. ලක්මාල් එනවා ඔය ගෙඩිය අරන් මෙහෙට.. කට්ටියම පෝලිමට හිට ගන්නවා.”
ගෙඩිය දුටු ඉහල සිටින ජනතාව සෙමින් ඔච්චමට සිනාසෙන හඬ ඇසේ. අනිවාර්යෙන්ම අනිත් පියතුමා බෝඩිමේ පාලක පියතුමාට ඔත්තුවක් දී විය යුතුය.
අපි සියලු දෙනා හිට්ලර්ගේ නඩු විභාගයක් මැද තනි උනු අහිංසක සෙබළ කණ්ඩායමක් වැනිය…
පේලියට සීරුවෙන් සිටගෙන සිටියදී පෙලේ කෙළවරම සිටින ලක්මාල් බොහෝ අමාරුවෙන් කර තබා සිටින ගෙඩිය දැක හිනා යන්නට ආවද දරුණු ඒකාධිපතියකු ඉදිරියේ අප සෙබළ මුලගේ අවසානය එය විය හැක.
“කෝ බලන්න උඹලා කරලා තියන හපන්කම.”
පියතුමා ලක්මාල් ඉදිරියේය.
“ඈ බොල මී හරක් රැල. උඹලා මේ අමු කොස් ගෙඩිය කැඩුවේ කොහේ තම්බන්නද?”
සියලු දෙනාම නැවත බැලුවේ දාඩිය පෙරමින් ගෙඩිය ඔසවා ගෙන සිටි ලක්මාල් දෙසය. ඔහුගේ අත්දැකීම් අපගේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම පරාජය කර ඇත.
සෙමින් ඇසුණු සිනා වෙඩි හඬවල් කාලතුවක්කු ප්‍රහාර වී පහලට ඇසේ. දැන් නම් අප ආයුෂ ඉවරවීමට බොහොම කිට්ටුය.
“හිටගනිල්ලා පඩි පෙලේ පෝලිමට.. රෑ කෑමට බෙල් එක ගහනකන් තොපි මේ අමු කොස් ගෙඩිය තිය ගෙන පඩි පෙලේ උඩටයි පහළටයි ගෙඩිය මාරු කර කර පලයල්ලා..”
ලැජ්ජාව මදිවට හිස් බඩ ශාරීරික ව්‍යායාමයක්. විකල්ප නැත. මුළු ලෝකයම ඉදිරියේ දහය වසරේ අප කීර්ති නාමය කීතු කීතු වලට කැඩී ඇත. හොරකමක්. ඊටත් වඩා තේරුමක් නැති අමු කොස් ගෙඩියක් වෙනුවෙන්?
ඒ මදිවට අඩි සියයකට වැඩි පඩිපෙළ මහා ජනතාව ඉදිරිපිට නොනවත්වා තරණයක්… අඩුම ගානේ සෙල්ලං කර ගස් නැග පැමිණි අපට ස්නානයටවත් අවසර නැත…
ගුටි කෑවා නම් මීට වඩා සැපය.
පැයක පමණ කාලයක් ගෙඩිය කර තබා ගෙන අප සියලු දෙනා එකට නිහඬවම පෝලිමට පඩි පෙලේ ඉහල පහල ගියේ අප බෝඩිමේ ලොකු කුඩා සැමගේ ආශීර්වාද මැදය.
අටට බෙල් එක වැදුණු සැනින් නිවන් ගියා සේය…
අන්තිමේදී මුළු බෝඩිමම අපට කිවේ කොස් Gang එක කියලාය. ඒකෙත් වරදක් නැත. හදිසියේවත් ගෙඩිය වැල ගෙඩියක් උනා නම් තත්වය මීට වඩා කැත වන්නට තිබුණි.
ඒ නිසා ලක්මාල්ගේ තේරීම දුර දිග බලා කල එකක් බව අද අපිට වැටහේ. (වැල Gang…)
නත්තල් පාටියට පිටපතක් නොතිබූ අපගේ නත්තල් නාට්‍යයට කතා වස්තුව වූයේ කොස් ගෙඩියය.
හොඳින් පුරුදු පුහුණු වී සිටි නිසා නාට්‍යය අතර මග ප්‍රේක්ෂකයන්ගෙන් ඇසුණු හූ හඬවල් ඒ දවසේ නම් දිරි දීමක් විය.

ඇත්ත කොස් ගෙඩිය වෙනුවට වේදිකාවේ තිබ්බේ පාට කරන ලද පාපන්දුවකි. ඒ නිසා විනිශ්චය මණ්ඩලයේ සිටි පියතුමන්ලාගේ දඬුවම් නම් නැවත ලැබුනේ නැත. එලෙසම තෑගිද නැත. අදටත් අපේ කට්ටිය සෙසු බෝඩිම් මහ ජනතාව දුටු තැන හඳුන්වන්නේ කොස් Gang එක නමිනි. එය අපගේ නොසැලෙන සහෝදර ශක්තියට සැමදා ආඩම්බරයකි.
(අපේ කට්ටියම ලොකු ලොකු තැන් වල ඉන්න නිසා නම් පමණක් මනංකල්පිතයි)
Photos: Emil J and Hostel Social Media Page
කැනඩාවේ කොස් කඩනවාද?
කඩනවා නම් කඩමු.
හොස්ටල් එක මතක් උනා. ?
සොඳුරු මතක.