Dark Light
හාමු හාමු…. අපිට ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නැහැ… සමා වෙන්න හාමු අපිට රිවස් එකක් නැහැ…..

නේවාසිකාගාරයක ඉද්දි ප්‍රවාහන සේවා ගැන නම් වැඩිය කතා බහක් වෙන්නේ නැහැ. දිනපතා පාසල් එන යන අයට නම් මඟ තොටදී සිදු උන සෑහෙන්න කතා ඇති..

අපි කට්ටියට එවන් අත්දැකීම් සීමිත උනත් අද මේ කතාව වාහන සහ ප්‍රවාහනය සම්බන්ධ සිදුවීම් කිහිපයක් ගැන. අපේ බෝඩිමට අදාල…

Book travel visa at iVisa.com

ගිය සතියේ කතා කරපු නත්තල් උත්සවේ වගේම අපි දින ගැන ගැන ඉන්න තවත් වාර්ෂික විශේෂ අවස්ථාවක් තමයි දින 2-3ක් යන බෝඩිමේ විනෝද චාරිකාව..

කලින් කිව්වා වගේ නත්තල් උත්සවය ලෑස්ති කරන 10 වසරේ අයම තමයි මේකත් සංවිධානය කලේ.

ඒ කාලේ හැටියට 10 වසර කියන්නේ ලොකු වගකීම් හම්බ වෙන අවුරුද්දක්… බෝඩිමේ අපිට..

මුලින්ම කියන්න යන මේ විනෝද චාරිකාව යනකොට අපි බෝඩිමට ආපු අලුත. ඒ කියන්නේ 6 වසර.

කලින් දවසේ කතාවේ කියපු නම් වලට අමතරව අපිත් එක්ක හිටියා 4 වසරේ කුලියාපිටියේ ශාන්ගේ මල්ලි කෙනෙක්. කුලියාපිටියේ බ්‍රැන්. මුළු බෝඩිමේම හිටපු පොඩිම එකා.

10 වසරේ අය්යලා මේ වැඩේට සෑහෙන කට්ටක් කනවා. මාස 2-3ක් තිස්සේ. එහෙම කට්ටක් කන්නේ වැඩේ හරියට කලේ නැත්නම් මුළු බෝඩිමේම අපහාසයට උපහාසයට ලක් වෙන්න වෙන නිසා.. 

Take a food journey around the world

දවස් ගානක් තිස්සේ ගුණසිංහපුර පැත්තේ ඇවිදිනවා බස් එකක් හොයන්න. (බෝඩිමෙන් එලියට යන්න චාන්ස් එකක් නිසා සමහර වෙලාවට බොරුවටත් බස් හොයන්න යනවා.)

ඒ වගේම යන චාරිකාවේ කෑම, වියදම් කටයුතු, බලන තැන් වගේම නවතින තැන් හොයන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි.

හරියට කලේ නැත්නම් අවුරුදු ගානක් කතා අහන්න වෙන ලොකු වගකීමක්.

10 වසරේ අය්යාලට මේ අවුරුද්දේ චාරිකාවේ නවාතැන් හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. මොකද අපේ වයසේ තංගල්ලේ ඉඳන් ආපු ගිම්හාන නිසා.

ඒ වෙනකොට බෝඩිමේ ඈතින්ම පදිංචි සාමාජිකයා උනෙත් ගිම්හාන. තංගල්ලේ කිව්වට එහෙ ඉඳනුත් හූ ගානක් තියලා ඉටි පන්දම් 4-5ක් නිවෙනකන් ඇවිදින්න ඕන දුරක තමයි ගිම්හාන හිටියේ. 

හරියටම කිව්වොත් වලස්මුල්ල. ඒ කාලේ චාරිකාව ලෑස්ති කරද්දී ගමේ නම වැඩිය කිව්වේ නැත්තේ වලස්සුන්ට බෝඩිමේ අනිත් කට්ටිය බය වෙයි කියලා..

ඒත් මනුස්සයා(ගිම්හාන) අපේ වයසේ නිසා යන ගමනේ තියන භයානකකම අපි හොඳින්ම දැන ගෙන හිටියා. ගිම්හානගේ ගෙදර හිටිය අලියා(මේ ගොල්ලෝ හිටියේ වලව්වක) මදිවට වලස්සු ඉන්න වලස්මුල්ල…

මොන දේ උනත් ගමන යන්න තියන උනන්දුව උපරිමයි. ජූලි මාසේ වාර විභාග ඉවර වෙලා නිවාඩුවට කලින් ප්‍රතිඵල එන අතරතුර කාලයේ තමයි මේ ගමන වැටිලා තිබ්බේ. 10 වසරේ අය්යලා ලෑස්ති කරලා තිබ්බ බස් එක මහ රෑම ඉස්කෝලේ බෝඩිම ඉස්සරහට ගෙනල්ල පාක් කරලා තිබ්බා.

Blue Lotus SPF 30 Moisturizer

අපේ බඩුත් ටික ටික රෑම පටවන්න කියලා පියතුමා කිව්වා. මොකද පාන්දරම ගමන පිටත් වෙන නිසා..

මට මතක විදිහට බස් එක රාගම-කොළඹ දුවන FUSO වර්ගයේ බස් එකක්.

බෝඩිමේ 70-80ක පිරිසක් ඉන්න නිසා දිග හොඳින් ඉඩ තියෙන බස් එකක් වෙන්න ඕනේ. (දවස් ගානක් බස් හොයන්න යන එක පියතුමාට සාධාරණීකරණය කලේ දිග බස් වැඩිය නැහැ කියලා)

අපි පොඩිම අය නිසා ආසන වල තුන් දෙනෙක් විතර ඉන්න පුළුවන්. ඒත් O/L සහ A/L කට්ටිය සාමාන්‍ය විදිහට තමයි ආසන වල වාඩි උනේ.

මේ කට්ටියම බලා ගන්න පියතුමා සමඟ ගුරුතුමෙකුත් හිටියා. සැප පහසුව, ඉඩකඩ ගැන ලොකු ගැටළුවක් අපිට නම් කොහෙත්ම තිබුණේ නැහැ. 

බෑග් ටිකත් එක්ක බේසම් 3-4ක් පොඩි ලී කෑලි කිහිපයක්දා ගත්තා. සිංදු කියන්න. වෙන ලොකු සංගීත භාණ්ඩ තිබුනේ නැහැ. දැන් නම් කට්ටියම ගමනට 99% ලෑස්තියි.

Time Keeper

හෙට උදේ පාන්දරම නැගිටින එක තමයි තියෙන්නේ. බෙල් එක ගහන්න භාරව ඉන්න Time Keeper ගාව විතරයි එලාම් එකක් තියෙන්නේ.

කලින් කොටසේ කියන්න බැරි උනා. පාසලේ නේවාසිකාගාරය මේ වෙද්දී පිහිටලා තිබ්බේ තට්ටු දෙකක.

අවුරුදු 100කට කිට්ටු යුරෝපියානු ක්‍රමයට ගොඩ නගපු අලංකාර ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ලේ දකුණු පැත්තේ දෙවන සහ තුන්වන මහල් වල තමයි බෝඩිම තිබ්බේ. 

Time Keeper කියන්නේ බරපතල රාජකාරියක්. උඩ බෝඩිමට සහ පහල බෝඩිමට (අපි එහෙම තමයි බෝඩිම් දෙක නම් කලේ. පල්ලෙහා හිටියේ 6 වසරේ ඉඳන් 8, අනිත් අය උඩ) වෙන වෙනම Time Keeperලා දෙන්නෙක් හිටියා. මේ දෙන්නා තමයි බෙල් එක භාරව හිටියේ.

Book travel visa at iVisa.com

මේ වගේ එක එක රාජකාරී ගොඩක් හැම දෙනාටම බෙදලා දීලා තිබ්බා. පාසැල් වාරයකට සැරයක් මේ අපේ රාජකාරී මාරු කරනවා. ඒවා ගැන විස්තර පස්සේ කියන්නම්.

උඩ බෝඩිමේ Time Keeper Bell එක ගහනකොට පල්ලෙහා බෝඩිමේ Time Keeper Bell එක ගහනවා. 

චාරිකාවේ දවස නිසා කවුරුත් Time Keeperගේ එලාම් එක එක්ක සෙල්ලන් කරන්න යන්නේ නැහැ. නැත්නම් එලාම් වෙනස් කරලා පාන්දර දෙකට Bell ගහපු දවස් තියනවා. ඉස්කෝලේ යන්න.

අනික ගොඩක් වෙලාවට Time Keeper ජොබ් එක පියතුමා දෙන්නේ නැගිටින්න කම්මැලි කෙනෙක් බලලා. වාරයක් තිස්සේ කරන්න වෙන දඬුවමක් වගේ. 

මේ දවසේ නම් කිසි ගැටළුවක් උනේ නැහැ. උඩ බෝඩිමේ Time Keeper එක දිගට Bell එක ගහගෙන යද්දී විනාඩියක් යන්න කලින් පල්ලෙහා Bell එකත් ගැහුවා.

කට්ටිය දත් මැදලා මූණ හෝදලා තිබ්බ හොඳම ඇඳුම් (ඉරිදා පල්ලියට යන්න අඳින) ඇඳ ගත්තා. 

මුළු ගමනේම ගොඩක් කෑම අපි යන මඟ දිගට තියන බෝඩිමේ සිසුන්ගේ ගෙවල් වලින්ම නොමිලේම ලෑස්ති කරලා තිබ්බා. ඒක නිසා එළියෙන් ලොකුවට කෑම වලට වියදමක් නැහැ.

Logo 468x60

බස් එකේ පළමු පන්තිය- First Class

පෝලිමේ පඩිපෙළෙන් බැහැලා බස් එකටත් පොලිමේම ඇවිත් නැගලා වයස පිළිවෙලට ඉඳ ගත්තා. පිටි පස්සේ ආසන අයිති උනේ වයසක සෙට් එකට.

අපි 6 වසරේ.. පොඩිම පන්තිය. ඉස්සරහම පෝලිම් වල. බ්‍රැන් ඉස්සරහම පුටුවේ. 4 වසරේ නිසා. මොනවා කරන්නද? ඒ දවසේ නම් අපිත් කවදා පිටිපස්සට යයිද කියලා තමයි හිතුවේ.. පිටිපස්ස ආසන අපිට නිකන් ප්ලේන් එකේ පළමු පන්තිය වගේ.. 

ඔරසන් කියලා ගීතිකා කියලා ඉවර වෙද්දී අපි පානදුරට කිට්ටු කරලා.. ඔරසන් කිව්වට පස්සේ පියතුමා නිදි.(නිදි කිව්වට කන් දෙක ඇහැරලා) පලවෙනි පන්තියේ ආසන අස්සෙන් පලවෙනි බේසම එලියට ආවේ ගීතිකා කියනකොට.

ලොකු බේස් එකක් නැතිව හිමිහිට ගීතිකා වලට බේසම සද්ද උනා.

පානදුර පැන්නට පස්සේ බේසමට කිසිම නිවාඩුවක් තිබුණේ නැහැ. ගාල්ලට කිට්ටු වෙද්දී පලවෙනි බේසම පැලුනා කියලා අයිතිකාරයට දැනුම් දුන්නා. (බේසම නේවාසිකාගාරයට එද්දී නිවසින් රැගෙන ආ යුතුයි.) ගාලු කොටුව තමයි උදේ කෑමට නවාතැන. ඒකට අනුග්‍රහය බෝඩිමේම අය්යා කෙනෙක්. 

ඉර වැඩිය සැර නැහැ. දවස පටන් ගත්තා විතරයි. කෑම කාලා ආපහු ගමන පටන් ගත්තා. ඊළඟට යාල. ඒ යන අතරතුර තිබ්බ වැවක් ගාව නතර කරලා දවල් කෑම ගත්තා.

රන්න

යාල ගිහින් වලස්මුල්ල එද්දී යන්න තියෙන්නේ රන්න හරහා. 

රන්නේ ඉඳන් වීරකැටිය පාර තමයි අපිට තිබ්බ ලඟම පාර. ඒ කාලේ සෑහෙන්න දුෂ්කර වගේම පාලු පාරක්. Highway එක වගේම මත්තල ගුවන්තොටුපල තිබ්බේ නැහැ. Google Map තියා සිතියම් පොතක්වත් තිබුණද මතක නැහැ.

ජංගම දුරකථන දැකලා තිබ්බේ ඉස්කෝලේ Auditorium එකේ ඉඳල හිටලා පෙන්නන English Film වල විතරයි. පාරේ ඉන්න මිනිස්සු තමයි උදවු කලේ යන්න ඕන ලේසිම පාර හොයා ගන්න.

අපේ හිත්වල තිබ්බ ලොකුම බය වලස්සු. ඒත් ලොකු අය්යලා නම් එහෙම බයක් පෙන්නුවේ නැහැ. එක්කෝ බය අමතක වෙන්න සින්දු කිව්වා.

බේසම් කීපයක් මේ වෙද්දී ඉවරයි. ඊළඟ වාරේ එනකොට ගොඩක් අයට අලුතින් බේසම් ගේන්න වෙයි වගේ. 

Matcha Green Tea by Purlisse

කළුවර වැටී ගෙන එනවා. පියතුමා 4 වසරේ බ්‍රැන්ටයි 6 වසරේ අපි කීප දෙනෙක්ටයි පැත්තකට කතා කළේ තේ බොන්න බස් එක නතර කරපු වෙලාවේ.

අනිත් අය ඉන්න තැනින් ඈතට කතා කරපු හින්දා පොඩි බයකුත් හිතට ආවේ මොන වැරැද්දට දඬුවම් කරන්න යනවද කියලා දන්නේ නැති නිසා. 

අපි ඔක්කොම මේස් සපත්තු දාලා හිටියේ..

පියතුමා ලියුම් කවරයක් එලියට අරගෙන ඒක ඇතුලේ තිබ්බ සල්ලි අපි කට්ටියට දීලා කිව්වා කාටවත් පෙන්නේ නැති වෙන්න ඒ සල්ලි මේස් එක ඇතුලේ හංග ගන්න කියලා.

අලි වලස්සු මදිවට හොරු කිව්වලු. 

හිතින් බය වෙලා හිටියත් අපිට භාර දීපු රාජකාරිය ගැන උපරිම අවධානයෙන් හිටියේ.

මෙහෙම දෙයක් වෙයි කියලා අපිට කිසිම පෙර බයක් තිබුන නැති නිසා එක පාරටම Action Film එකක භයානක මොහොතක් එන්න ඔන්න මෙන්න වගේ හැඟීමක් හිතට ආවේ.

දැන් අනිත් අය සිංදු කියනවා ඇහුනත් අපි කට්ටිය සිංදු කියන එක නතර කරලා ජනේලෙන් බලන්නේ හොරු කොයි වෙලාවේ පනියිද කියලා.. 

බස් එකත් ඉගිල්ලිලා යනවා. වැඩිය රෑ වෙන්න කලින් වලස්මුල්ලට යන්න. පියතුමාත් නැගිටලා රියදුරු මහත්තයා ගාව හිටගෙන.

අපි හොඳ ගානට රත් වෙලා. ඒත් ජනෙල් වීදුරු ඔක්කොම වහලා දැම්මා. කට්ට කළුවර. කැලෑවක් මැදින් යනවා වගේ. 

මේ කිසි ගානක් නැති පලවෙනි පංතිය(පිටි පස්සේ ආසන) දිගටම ගායන හැකියාව පෙන්නනවා.

ඒ අයත් නොදන්නා රහසක් අපි දන්න නිසා ලොකු බරක් ඔලුවට අරන් කිසිම සද්දයක් නැතුව සැරින් සැරේ මේස් එක අත ගගා බල බල අපි හිටියේ. 

එක පාරම ලොකු සද්දයක් බස් එක යටින් එන්න පටන් ගත්තා. ජනේලේ ළඟ හිටපු වෙන්නප්පුවේ ඇන්ටන් කිව්වේ අපේ බස් එක කොට ගොඩක් උඩින් යනවා කියලා.

අපේ පපුවේ සද්දේ තවත් වේගෙන් ඇහෙනවා.

මොන දේ උනත් සල්ලි තියන තැන නම් කියන්නේ නැහැ කියලා පොඩි බ්‍රැන් පිටිපස්ස හැරිලා කියද්දී අපි ඔක්කොම ඇඟිල්ලෙන් සද්ද කරන්න එපා කිව්වේ පාරට කොටන් දාපු හොරු මේ දැන් පනියි කියලා හිතපු නිසා. 

අද වෙනකම් අපි දන්නේ නැහැ කොටන් උඩින් ගියාද වලක වැටුනද කියලා..

තිබ්බ බය නිසා කාගෙන්වත් ඒ වෙලාවේ ඇහුවේ නැහැ. ඒ වගේම ගමනේ ඉතිරි කොටසේ විනෝද උන දේවල් එක්ක කාගෙන්වත් අහන්නත් අමතක උනා.

චාරිකාවේ උන ඔක්කොම ලියන්න ගියොත් අද මේ කතාව ඉවරයක් කරන්න වෙන්නේ නැහැ. (අලියා ගැන එහෙම පස්සේ දවසක කියන්නම්) 

Book travel visa at iVisa.com

අද අපි වාහන ගැනනේ කතා කරනවා කියලා කිව්වේ.

ඒක නිසා ඒ චාරිකාවේම උන තවත් වාහන සම්බන්ධ දෙයක් කියන්නම්. තව ලියන්න වෙලා තිබ්බොත් තව එක කතාවක් කියලා අදට නතර වෙන්නම්.

වලස්මුල්ලේ ගිම්හානගේ ගෙදර රෑ නතර වෙලා ඊළඟ දවසේ ආපහු එද්දී ගමන් චාරිකාවේ ඊළඟ නගරයට යන්න තිබ්බේ ඉතා පොඩි පාරක..

වාහන දෙකකට හැරෙන්න අමාරු තැන් ගොඩක් මේ පාරේ තිබුණා.

මේ වගේ පටු ප්‍රදේශයකට අපේ බස් එක ඇතුල් කරලා තියෙනකොට අපි ඉන්නවා දැක දැකම ලංගම බස් එකක් ඒ පටු ප්‍රදේශයට අනිත් පැත්තෙන් ඇතුල් කළා.

උදේ නිසා ඒ බස් එක පුරවලා හිටියේ වැඩට යන මඟී ජනතාව. 

අපේ රියදුරු මහතා අමාරුවෙන් බස් එක අයිනට කරලා නතර කර ගත්තා. ලංගම බස් රථයත් මූණටම ඇවිත් නතර කලේ අපි පිටිපස්සට යයි කියලා හිතලා වෙන්න ඇති.

අපි අයිනට ගත්තත් බස් දෙකකට එක පාර මාරු වෙන්න බැහැ.

රියදුරු මහතා පියතුමාගේ මූණ දිහා බැලුවේ පිටිපස්සට ගන්නම් කියන අදහසින් වෙන්න ඕනේ. පියතුමා අතින් සංඥා කරලා කිව්වේ නොගන්නා ලෙසයි. 

“පිටිපස්සට ගන්න ඕනේ නැහැ ඔහොම ඉන්න.”

පියතුමා ආසනයේ ඉඳගෙනම අපේ රියදුරු මහතාට කිව්වේ ලංගම බස් රියදුරු මහතාගේ නොනවතින හෝන් සද්දේ ඇහෙද්දී. 

හෝන් එක ගහන අස්සේ ලංගම බස් එකේ කොන්දොස්තර මහතා බැහැලා ඇවිල්ලා පිටිපස්සට ගන්න කියලා අතින් පෙන්වා හිටියා.

අපේ බස් එකේ කොන්දොස්තර මහතා පිළිතුරු වශයෙන් කිව්වේ මුලින් ඇතුළු උනේ අපි හින්දා අපිට ඉස්සරහට යන්න අවස්ථාව දෙන්න ඕනේ කියලා.

මොනවා කිව්වත් අපි කියන දේ ලංගම බස් රථය අහන පාටක් නම් නැහැ වගේ…. ලංගම බසයේ රියදුරු මහතා සැරින් සැරේ හෝන් එක නාද කරගෙන බනින සද්දේ ඇහෙද්දී බස් එකේ ඉන්න මඟීනුත් කලබල වෙලා වගේ අපිට පේනවා.

පියතුමා බස් රථයේ එන්ජිම නතර කරන්න කියලා අපේ රියදුරු මහතාට මේ අතරතුර කියා හිටියේ ඒ කිසි දෙයක් ගණනකට අරං නෙවෙයි.

මෙතෙක් නිහඬව යුද්ධය දිහා බලා සිටි අපේ කට්ටිය ඕනෑම දේකට ලෑස්තියි.

ඒත් අතින් පයින් සටනකට පියතුමා සිටින තුරු අවසර නැති බව දන්න පළමු පන්තියේ කට්ටිය ඒ සටන පටන් ගත්තේ අලුත්ම සිංදුවකින්.

අපි මුලදී වචන දැන ගෙන හිටියේ නැති උනත් දෙවැනි පාර සිංදුව කියන කොට ඒක කිව්වේ නැත්තේ පියතුමා සහ ගුරුතුමා විතරයි.

හාමු හාමු….

අපිට ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නැහැ…

සමා වෙන්න හාමු අපිට රිවස් එකක් නැහැ…..

බේසම පැලෙන්න ගහලා කොල්ලෝ 80ක් යටිගිරියෙන් කෑ ගහනකොට අපි නම් හිතුවේ  ලංගම බස් එකේ කට්ටියත් සිංදු කියන්න පටන් ගනියි කියලා.

අවාසනාවකට ඇහුනේ නොනවතින හෝන් නාදය විතරයි.

ලංගම බස් එකේ ඉන්න අයගෙන් එක්කෙනා දෙන්නා බිමට බහිනවා පේනවා. ඒත් අපේ සද්දේ නිසා කවුරුත් කිට්ටුවට නම් ආවේ නැහැ.

විනාඩි 10කට වැඩිය ගියා. තවම බස් දෙකම හැල හොල්මනක් නැහැ.

අපේ සිංදුවද එකම එකක්. වෙනසක් නැහැ.. පියතුමාත් ආසනයේම ඉඳ ගත්ත ගමන්මයි.

“අපිට මුළු දවසම උනත් ඉන්න පුළුවන්. බලමු කාටද හදිස්සි වෙන්නේ කියලා.”

අපේ රියදුරු මහතාට පියතුමා කියා සිටියා. 

හාමු හාමු….

අපිට ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නැහැ…

සමා වෙන්න හාමු අපිට රිවස් එකක් නැහැ…..

දැන් බැහැපු මඟීන් කිහිප දෙනෙක් ලංගම බස් රථයේ රියදුරු මහතා එක්ක කතාබහ කරනවා පේනවා. ඒ අයටත් එන්ජිම නතර නොකරපු ලංගම රියදුරු මහතා සැරින් කතා කරනවා වගේ. 

පේන විදිහට මඟීන්ගෙන් ලංගම බස් එකේ රියදුරු මහතාට බලපෑම් වැඩි වෙනවා වගේ. දැන් 10-15 දෙනෙක් රියදුරු මහතාගේ ජනේලේ ගාව.

මේ  සියලු දෙනාට රතු ඉර වැදෙන්නට යනවා වගේ. පියතුමාගේ සිතුවිල්ල හරියටම හරිය. අපිට මොන රතු ඉරිද?

තවත් වැඩි වෙලාවක් එකම සිංදුව කියන්නට ඕනේ උනේ නැහැ.

ලංගම රියදුරු මහතා සෙමින් බසය පිටිපස්සට ගන්නට පටන් ගත්තේ වෙන කරන්න දෙයක් තිබ්බේ නැති නිසාද කොහෙද.

පළමු පන්තියෙන් ඇරඹුණු හූ හඬ නතර උනේ පියතුමාගේ ඉල්ලීම නිසා. ඒත් ලංගම බසය පහු කරගෙන ඉස්සරහට යද්දී දීපු හූ හඬ නම් පියතුමා නතර කලේ නැහැ.

Try The World

වාහන ගැන අන්තිම කතාව ඉස්කෝලේදී වෙච්ච එකක්.

කතා නායකයා කොලින්ජාඩියේ ප්‍රශාන්. කතාව අපිට බෝඩිමට ඇවිල්ලා කිව්වේ රහසක් හැටියට නිසා ඒ නම හෙළිදරවු කරන්න නම් බැහැ. (ඒත් කතාව නම් රහසක් උනේ නැහැ.)

පාසලේ උත්සවයක් පැවැත්වුණු දිනයක්. වාහන රාශියක් සැම තැනම ගාල් කරලා තිබ්බා.

ක්‍රීඩාංගනය පිරෙන්නම වාහන නිසා සෙල්ලන් කරන්න තිබ්බේ සීමිත ඉඩක් සහ බාස්කට් බෝල් පිටියේ විතරයි.

ප්‍රශාන්ට මේ අස්සේ අලුත් ක්‍රීඩාවක් මතක් උනා.(නැත්නම් මනුස්සයා අලුත් ක්‍රීඩාවක් හොයා ගත්තා) වාහන වල හුලං ඇරීම. වාහන කීයක ඇරියාද  කියලා නම් කවුරුත් දන්නේ නැහැ.

කොහොම උනත් ළඟ ඉන්න මිතුරන් කියන දේ ඇසීමේ පුරුද්දක් ප්‍රශාන්ට කොහෙත්ම තිබ්බේ නැහැ.

මේ අතරතුර වැඩිහිටියෙකු ලඟට ඇවිල්ලා ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශාන්ගෙන් විමසුවේ..

Are You (පාසලේ සිසුන් පොදුවේ හඳුන්වන නම )? කියාය.

තවමත් බිම ඉඳගෙන රෝදය පරීක්ෂා කරන ප්‍රශාන් හට කලබලය සහ බිය නිසා ප්‍රශ්නය වැටහුණේ නැහැ. (නැතුව ඉංග්‍රීසි නොදන්නා නිසා නෙවෙයි.)

පිළිතුර වූයේ…

නැහැ අංකල්.. චුට්ට චුට්ට ගියා යන්නය…

අදටත් Are You පාසලේද යන්න විමසන විට ප්‍රශාන්ට අපි දෙන උත්තරය චුට්ට චුට්ට ගියා යන්නයි…  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts

මකන කෑල්ල.

“කොල්ලා ශිෂ්‍යත්වේ සෙන්ට්‍රල් එකට පාස්. මුකුත් අරං දුන්නෙත් නෑ. පොත් ටික නම් දහම් පාසලින් හම්බ උනා. ඊයේ රෑ ගෙදර වැඩ කරද්දි පෑන් ඉරි මැකෙන්නේ නැහැ කිව්වේ, හම්බ වෙච්ච මකනෙන්.”
canada වීසා

බොරු කතා

ඔබට මෙවන් පණිවිඩියක් හෝ දැන්වීමක් ලැබුනේ නම් ඒ ගැන විස්තර අපගේ Facebook පිටුව හරහා විමසන්න. එහි සත්‍ය අසත්‍යතාවය මැන දීමට ඔබට උදවු කරන්න කැමති අතර මා කිසි විටක ඔබට ඇති Hiking සහ Camping ගැන ප්‍රශ්න ඇරෙන්නට ආගමන උපදෙස් ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.
Total
41
Share