කොවිඩ් වසංගතය පටන් අරගත්ත සමයේ එහි බලපෑම මම හිටපු අත්ලාන්තික් කැනඩාවේ පිහිටා තියන නිව් බ්‍රන්ස්වික් (New Brunswick) කියන පලාතට නම් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැහැ.
මොකද ලංකාව වගේ ලොකු මේ පලාතේ ජනගහනය ලක්ෂ හත (700,000)ක් විතර වගේ නිසා. (ඒත් 2022 වෙද්දී මේ තත්වය වෙනස්) වැඩි ජන ඝණත්වයක් නැති හේතුව නිසා මේ කාලයේදී වසංගතය ලොකුවට පැතිරිලා තිබ්බේ නැහැ.
උතුරු අර්ධ ගෝලයේ ශීත කාලයේ දරුණුම මාසයක් තමයි පෙබරවාරි කියන්නේ. මේ ගමන යන දවසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ අට(-08)ක් වගේ.
හැබැයි ලස්සනට දිලිසෙන්න ඉර පායපු දවසක්.
දෙපාරක් හිතන්නේ නැතුව මම උදේට කාපු ගමන් පිටත් උනේ New Brunswick Facebook Hiking කණ්ඩායමක කතා කර කර හිටිය විශේෂ තැනක් බලන්න.
මම හිටපු නගරයේ (Moncton) ඉඳන් පැය දෙකක විතර ගමනකට පස්සේ පැරණි ගල් අඟුරු ආකාර පිහිටි ප්‍රදේශයක් වන මින්ටෝ කියන පොඩි ගමට ආවා.

මින්ටෝ කියන්නේ වැඩි ජනතාවක් ඉන්න (ජනගහණය 2305) ගමක් නම් නෙමෙයි.
New Brunswick පලාත කොහොමත් ප්‍රසිද්ධ විශ්‍රාම යන වයසේ ඉන්න කැනේඩියානුවන් අතර. විශ්‍රාමිකයන් වැඩි නිසා ඔවුන්ට සාමාන්‍ය ජීවිතය හදිසියේ ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ.
මම මේ පල්ලෙහා පින්තුරේ පේන පාලම පහු කරන යන්න එද්දී හම්බ උන වාහනේ පදවපු තැනැත්තා මටත් කලින් පාලම ගාවට ඇවිල්ලා ඇති බව මම දුර තියාම දැක්කා.
ඒත් ඔහු මම ඈත එනවා දැක වාහනය අනිත් කොණේ මා එනතුරු නතර කරගෙන හිටියා.
මොකද මේ පලාතේ අයට කිසිම හදිස්සියක් නැහැ එදිනෙදා ගමන් යන්න.
තවත් කතාවක් තියෙනවා මේ පලාතේ කැනේඩියානුවෝ හතර දෙනෙක් එකම වෙලාවේ හතරමං හන්දියකට ආවොත් කවුරුත් යන්නේ නැහැ. අනිත් අයට ඉඩ දිදී ඉන්නවා කියලා..
අපේ ලංකාව වගේමයි නේද?

වාහනේ හිටපු තැනැත්තාගේ සිනහව සහ අත වැනීමට පිළිතුරු වශයෙන් අත වනලා හිනා වෙලා (සුබ පතන්න හෝන් එක ගහන්නේ නම් නැහැ මෙහෙ) ඊට පස්සේ මේ පාලම පහු කරපු ගමන් තියන Tracy පාර තමයි මගේ අවසාන හැරවුම උනේ.
Tracy පාර
ටිකක් කැලෑ පාරක් නිසා හිම අයින් කරලා නැති වෙයි කියලා පොඩි බයක් හිතේ තිබුණත් වාසනාවකට වගේ මගේ ගමන අන්තිම වෙන පාලම (Yeamans Brooke) ලඟට වෙනකන් කිසිම ගැටළුවක් ඇති උනේ නැහැ.
හිම අයින් කරලා නැත්නම් ඇවිදින්න වෙන දුර ප්‍රමාණය වැඩි වෙනවා. මේ පාරවල් වල මුල හරියේ තියෙන ගෙවල් කිහිපයක් ඇරුණහම වෙන කවුරුත් පදිංචියක් නැහැ. දඩයම්කරුවන් භාවිතා කරන ලැගුම් පොළවල් වගේ Cottage කිහිපයක් නම් මග දිගට තියෙනවා. මේ හේතුව නිසා මේ පාර දිගටම අනිත් පාරවල් වගේ හිම අයින් කරන්න පළාත් ආණ්ඩුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ නැහැ.

හිම පාරේම දෙපැත්තට අයින් කලාට පස්සේ Tracy පාරේ හරවන්න තරම් ලොකු ඉඩක් ඉතුරු වෙලා නැහැ. මම නතර කරන්න ඕන පාලම ගාව උනත් වාහන දෙකකට විතරයි ඉඩ තියෙන්නේ.
මොනවා උනත් අද මගේ වාසනාව නම් හිතුවට වැඩිය හොඳයි. පාලමට ටිකක් ඈතින් වෙන්න තියන දඩයම්කරුවන්ගේ Cottage එකේ මිදුලෙත් හිම අයින් කරලා තිබ්බා. එතනින් මට කිසි ගැටළුවක් නැතුව වාහනේ හරවා ගන්න පුළුවන්.
අනික එක වාහනයයි අද ඇවිල්ලා තිබ්බේ. ඒක නිසා වාහන නතර කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ.

මෙතන නාම පුවරුවක් නැහැ. අඩුම ගානේ Google සිතියමේවත් මම යන තැන ගැන කිසිම සටහනක් නැහැ.
හම්බ උන විස්තර ටික ලැබුණේ Facebook එකේ Hiking කණ්ඩායමේ දැකලවත් නැති යාලුවන්ගෙන්. හැබැයි ඒ ලබා දුන්න විස්තර නිසා මට මේ වෙනකන් පාර නම් වැරදුනේ නැහැ.
පාලම ගාවින් පල්ලෙහාට හොඳට පෙනෙන්නට තියෙන හිමේ අඩි පාරවල් නිසා යන්න ඕන පැත්ත හිතා ගන්න වැඩි අමාරුවක් උනේ නැහැ. පාලමේ එක පැත්තකට ගොඩක් අඩි පාරවල් තියෙද්දී අනිත් පැත්තේ තිබ්බෙම නැති තරම්.
ඒක නිසා වතුර පාර දිගේ අයිස් උඩින් ඇවිදින්න ඕන පැත්ත ගැන දෙපාරක් හිතන්න ඕනේ උනේ නැහැ. .

මම දැන් ටිකකට කලින් කිව්වා වගේ මම යන්නේ වතුර අයිස් වෙන්න මිදුන දිය පාරක් උඩින්. මේ විදිහට මිදෙන කන් කාටවත් අයිස් ගුහා බලන්න යන්න බැහැ. මොකද වතුර උද ඇවිදින්න බැරි නිසා..
ඒක නිසා හරියටම මිදුනද කියලා දැන ගෙන එන්න ඕනේ. ඒ වගේම හිම සහ අයිස් වලට සුදුසු විදිහට ලෑස්ති වෙලා එන්න ඕනේ. ඇයි සීතලට? පැය තුන හතරක් ගත වෙන නිසා මම නම් සීතලට හොඳට ලෑස්ති වෙලා ආවේ…

පොඩි මින්ටෝ
දැන් නම් ටිකක් රත් වෙලා ඉන්න හින්දා යන්න අමාරුවක් නැහැ. ඒත් ඔක්කොටම කලින් මේ ප්‍රදේශයේ අයිතිකාරයාගෙන් අවසර ගන්න ඕනේ.
මෙයාට නමක් නැති නිසා මම ගමේ නමම දැම්මා. පොඩි මින්ටෝ කියලා. ඔලුව හොලවලා යන්න කියලා කිව්වා වගේ මම දැක්කේ Pocket Hip Flask එකේ තිබ්බ අන්තිම Tequila ටික බිව්වට පස්සේ…

පොඩි මින්ටෝ පහු කරගෙන වැඩි දුරක් යන්න කලින් මට පලවෙනි ගුහාව හම්බ උනා. ගොඩක් අය මේ ගුහාව විතරක් බලලා ආපහු හැරිලා ගිහිල්ලා තිබ්බා.
මේකත් හරිම ලස්සනයි. එක දිගට අයිස් තට්ටු.. කන්දෙන් වැටෙන ජලය දිය පාර හොයා ගෙන යන ගමනෙදි ගල් වෙලා. සොබා දහමට කොයි තරම් ලස්සන දේවල් නොමිලේම නිර්මාණය කරලා දෙන්න පුලුවන්ද?

පලවෙනි ගුහාව
ගුහාව ඇතුලට ගියා. ලොකු ඉඩක් නම් නැහැ.
පොලොවෙන් සද්දේ එන්නේ හරියට උල් සපත්තු දෙකක් (පරණ සිංහල පොත් වල මුදලිහාමිගේ කතාවේ එන) දාගෙන ටයිල් උඩ ඇවිදිනවා වගේ. (මම දාගෙන හිටියේ සපත්තුවට යටින් Crampon කියන අයිස් උඩ ඇවිදින්න පුළුවන් පතුල් දෙකක්)
අයිස් ලස්සනට මිදිලා. සමහර තැන් වලින් වතුර බිංදු වැටෙනවා. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. අයිස් දිය වෙන්න පටන් අරන්. දවස් 2-3කට කලින් උෂ්ණත්වය සෙල්සියස් අංශක එක(+1)ක් උනා. ඒක නිසයි එහෙම වෙලා තියෙන්නේ..
මේ හින්දා මම ඉස්සරහට තියන දිය පාර උඩින් යද්දී වැඩියෙන් පරිස්සම් වෙන්න ඕනේ.

අඩි පාර
පාර මැදට වෙන්න Snowmobile ගිය පාරවල් තියෙනවා. ඒ වගේම අඩි පාරවල් තියනවා. ඒක නිසා බය නැතුව විශ්වාසයෙන් අඩිය තියලා යන්න පුළුවන්.
හැබැයි එන්න එන්නම දෙපැත්තේ වලවල් නම් වැඩියි. ඒක නිසා වැරදිලාවත් අයිනට නම් යන්න හොඳ නැහැ. ඊළඟ ගුහාව බලන්න යන්න පිටත් වෙන අතරතුර මම ආපහු පිටිපස්ස හැරිලා බැලුවේ පලවෙනි ගුහාවේ ලස්සන…

පලවෙනි ගුහාවේ ඉඳන් දෙවෙනි ගුහාවට ටික දුරක් තිබුණා. දැන් නම් සීතලට ඇඟ හොඳට හැඩ ගැහිලා. කිසිම අමාරුවක් නැහැ.
ඒ වගේම අවට පරිසරයේ තියෙන්නේ අමුතුම නිහඬතාවයක්. ඒ නිශ්ශබ්දතාවය එක්ක හිමිහිට මට ඇහෙනවා මගේ කකුල් යටින් ඇති අයිස් යටින් වතුර ගලන සද්දේ…
අපේ සීමාවෙන් පිට දේවල් නැත්නම් Extreme දේවල් සමහර වෙලාවට අපේ ජීවිතේට අලුත් ලස්සනක් එකතු කරනවා. හැමදාම රැකියාවට යනවා වගේ සාමාන්‍ය දේවල් ඒ විදිහෙ ලස්සනක් අපිට දෙන්නේ නැහැ.
මේ භයානක අයිස් ගොඩ විතරක් නෙවෙයි… ගහක් කොලක් නැති කාන්තාරයේ වැලි රටා, බොන්න බැරි වතුරෙන් පිරුණු මුහුදු රැලි… මේ වගේ දේවල් වලින් අපේ ඇස් වලට දෙන්නේ සතුට එක්ක ලස්සනක්. එහෙම නේද?
අයිස් යටින් ගලා ගෙන යන වතුර වගේ සිතුවිලිත් එක්කම ප්‍රධාන ගුහාවේ පටන් ගැන්මට ආවා. මේක නම් හිතුවට වැඩිය සෑහෙන්න විශාලයි.
6-7 දෙනෙක්ට අත පය දිග ඇරලා රාත්‍රිය ගත කරන්න තරම් ප්‍රධාන ගුහාව ලොකුයි. පොඩි පොඩි ගුහා රාශියක් ඒ එක්කම තියනවා. එකම ඡායාරූපයකට ගන්න එක නම් හිතන්නවත් බැහැ.

අපේ අවි.
වෙනදට නම් මම පොඩි බෑග් එකක් හරි අරන් එනවා.
ඒත් වෙනදා වගේ දිග Hike එකක් නොවන නිසා අද නම් අරන් ඇවිත් තිබ්බේ මගේ බෙල්ලේ එල්ලගෙන ආව කැමරා 02යි, (GoPro Hero 8, Nikon Coolpix P610) සාක්කුවේ දාගෙන එන්න පුළුවන් බඩු ටිකකුයි විතරයි.
බෑග් එක අරන් ආවා නම් මම අනිවාර්යෙන්ම අරන් එන එකක් තමයි හිස් පොඩි සිලි සිලි බෑග් එකක්. Trail එකේ විසි කරලා තියන ප්ලාස්ටික් බෝතල්, කෑන් වගේම Trail එකට අයිති නැති දේවල් පුළුවන් විදිහට එකතු කරන්න.
යකාගේ උදුන ගුහාවේ ලොකුම ගුහාව ගාවට ආවහම මම දැක්කා. කවුරු හරි පිරිසක් ඉවත දාලා ගිය කෑන් බෝතල් ටිකක්. අවාසනාවකට මං ළඟ අද බෑග් එකක් නැහැ.
මේක හොඳට මතක තියා ගන්න. Trail එකක අපි තියලා එන්න ඕනේ අපේ අඩි සලකුණු (Leave No Trace) විතරයි… මම මේකට කෙටියෙන් කියන්නේ අපේ අවි (අපේ අඩි විතරයි) කියලා..ඔයගොල්ලන්ගේ යාලුවන්ටත් ගමන් යද්දී මේ දේ මතක් කරලා දෙන්න. අපේ අවි. නැත්නම් LNT

ප්‍රධාන ගුහා
ප්‍රධානම ගුහාවේ නම් පල්ලෙහට අයිස් බිත්ති නැහැ. ඒත් ඒ එක්කම තියෙන පොඩි ගුහාවේ පල්ලෙහාට යනකම් අයිස් බිත්ති පිහිටලා තිබ්බේ ලස්සන කාමරයක් හැදිලා වගේ.
ඒ අයිස් බිත්ති මැදින් ඉර එළිය ලස්සනට ඇතුලට වැටෙන්න ජනේලයක් වගේ සිදුරකුත් තිබ්බා.
පොලව නම් කලින් තිබ්බ අයිස් ගුහාව වගේමයි. වීදුරුවක් වගේ දිලිසෙන්න මැදිලා.
අයිස් බිත්ති සුදු නිල් පාටට ඉර එළිය වැටිලා දිලිසෙනවා. අලුතින් වැටුන පවුඩර් වගේ හිම ටිකකුත් කාමරේ ඇතුලට එන්න හදනවා.

සමහර අයිස් බිත්ති මැදින් කඩා ගෙන වැටිලා. ඒකට හේතුව වෙන්න ඇත්තේ මම අර කලින් කිව්ව උෂ්ණත්ව වෙනස තමයි.
ඒත් නැවත ආපු ඍණ උෂ්ණත්වය හින්දා පේන්න තියන කිහිප තැනක ඇරෙන්න ගොඩක් තැන්වල අයිස් බිමටම කඩා පාත් වෙලා නැහැ. ඒ වගේම මැදින් කඩා ගෙන වැටිලා තියෙන සමහර අයිස් බිත්ති ආපහු එකතු වෙන්න හදනවා. එකත් අලුත්ම මෝස්තරයක්.

ප්‍රධාන ගුහාවත් එක්කම එක දිගට නිර්මාණය වෙලා තියන ගුහා කිහිපයක් මේ වගේම ලස්සනට තිබ්බා. හැබැයි ඒවා ප්‍රධාන ගුහාව තරම් ලොකු නැහැ.
අන්තිම කොණට වෙන්න තිබ්බ ගුහා බලන්න ගියේ නැත්තේ කවුරුත් ගිය අඩි පාරවල් පැහැදිලිව පේන්න තිබ්බ නැති නිසා.
මොකද, වැහිලා තියන හිම තට්ටුව නිසා මොන විදිහට ඊට යටින් තියන අයිස් මිදිලද කියලා හරියටම මට කියන්න බැහැ. ඇති තරම් ලස්සන දැක්ක නිසා වැඩි අවධානමක් ගන්න ඕනේ නැහැනේ?
අඩුම ගානේ මගේ Hiking Backpack එකේ තියන ප්‍රථමාධාර පොඩි බෑග් එකවත් මම අරන් ආවේ නැහැ.
මේ විදිහේ අයිස් ගුහා වැඩි කාලයක් දකින්න නැහැ. කැනඩාවේ සමහර තැන් වල දිය ඇලි මිදිලා අයිස් ගුහා හැදිලා තියෙනවා.
සමහර තැන් වල කඳු වල පිහිටීම සහ පොලවේ ආනතිය නිසා මේ විදිහට අයිස් බිත්ති හැදිලා තියෙනවා. කොහොම හැදුනත් අමුතුම සුන්දරත්වයක් දරුණු සීතලත් එක්ක එකතු වෙලා තියෙන්නේ.
පැය කිහිපයක්ම මේ Trail එකේ නොදැනීම ගත උනා.
පොඩ්ඩක් ඉස්සරහට ගිහින් හොයලා බැලුවත් Snowmobile පාරවල් ඇරෙන්න මිනිස්සු ගිය Trail එකක් නම් තිබ්බේ නැහැ.
මේ කාලේ ඉරත් ඉක්මනට පල්ලම් බහිනවා. ඒක නිසා යකාගේ උදුනට ආයුබෝවන් කියන්න කාලේ හරි වගේ.
ඒ වගේම කන්ද පැත්තට වෙන්න තිබ්බ අලුත් හිම වල සත්තුන්ගේ අඩි පාරවල් කිහිපයකුත් පිහිටලා තිබ්බා.
ගොඩක් වෙලාවට Beaver කෙනෙක් වගේ පොඩි සතෙක් වෙන්න පුළුවන්.

මේ ගුහාව තියන ප්‍රදේශය Google සිතියම් වල නැහැ.
අනිත් සහෝදර Hiking යාළුවන්ට දැනගන්නත් එක්ක මම ඒක එකතු කළා. දැන් කට්ටියට පාර වරදින්නේ නැතුව එන්න පුළුවන්.

ආයුබෝවන්
යකාගේ උදුනේ අයිස් ගුහාවලට මම අද ආයුබෝවන් කිව්වත් වසන්තය එද්දී එයාගේ බිත්ති ටික නැති වෙලා වෙනස්ම කෙනෙක් වෙනවා. බලන්න යන්නත් ලේසි වෙන එකක් නැහැ. දිය පාර දිගේ එන්න වෙන නිසා.
ඊළඟ ශීත කාලයට මේ විදිහෙම මෝස්තරයක් එක්ක අලුතෙන් ඉපදෙනවා.
හිමිහිට මම පාලම ලඟට ආපහු ඇවිදගෙන ආවා. මේ ගමනේදී තව දෙන්නෙක් ඇරෙන්න (පොඩි මින්ටෝ එක්ක තුන්දෙනයි) කවුරුවත් හම්බ උනේ නැහැ.
දැන් නම් වෙලාව හරි, මින්ටෝ ගම මැද්දට ගිහින් පොඩියට මොනවා හරි සප්පායම් වෙන්න. පොඩි බඩගින්නකුත් තියන නිසා.
සමහර විට Snowmobile වලින් සෙල්ලම් කරපු අයත් එකතු වෙලා ඇති. පොඩි බියර් එකක් බොන ගමන් කතාවක් දාන්න.

බොහොම ස්තුතියි කතාව කියෙව්වට සහ මාත් එක්ක මේ ගමන යන්න එකතු උනාට. කතාවට කැමති නම් ඒ වගේම මොනවා හරි දෙයක් දැන ගන්න තියෙනවා නම් Comment එකක් දාන්න.
මම කැමතියි පුළුවන් විදිහට උත්තර දෙන්න.
Snowmobile ගැන, හිම කාලේ කැනඩාවේ පාරවල් ගැන වැඩිදුරට දැන ගන්න කැමැති නම් උඩ තියන වීඩියෝ එක බලන්න. ඉස්සරහට ඒ ගැනත් තව කතා කරමු.
මේ කථාව යාළුවන්ට කියන්න කැමතිනම් පල්ලෙහා තියන Social Media Link පාවිච්චි කරලා Share කරන්නත් ඔය ගොල්ලන්ට පුළුවන්.
ඔබ සියලු දෙනාට ජය.. මාත් එක්ක ඉස්සරහටත් හරියට ඇවිදින්න එකතු වෙන්න.
මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing. WeVideo
වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
Good
Thank you