දුම්රිය යනු බොහෝ දෙනෙකුගේ තම එදිනෙදා ජීවිතයේ කොටසක් ලෙසත් විනෝදාංශයක් වශයෙන් සංචාරය කරන අයගේ අතිශය සුවපහසු ගමනාන්ත සපයන්නෙකු ලෙසත් හැඳින්විය හැකිය.
ලෝකයේ ජනප්‍රිය ගමනාගමන ක්‍රම අතරින් තවමත් දුම්රිය කැපී පෙනෙන්නට හේතු කිහිපයක් තිබේ.
ඒ හේතු අතරින් මූලිකව ලැබෙන සුවපහසු තාවය හැරුණු කොට පරිසර හිතකාමි පොදු ප්‍රවාහන ක්‍රමයක් ලෙසට දුම්රිය සේවයට ඇති වැදගත්කම කිසිවකුට දෙවැනි වන්නක් නොවේ
මේ ලිපියේ අරමුණ වන්නේ නිතර දෙවේලේ භාවිතා කළ හැකි ලෝකයේ දීර්ඝතම දුම්රිය ගමන් කිහිපයක් ගැන විස්තර ඔබ වෙත ගෙන ඒමටයි.
ඔබ ගිය දිගම දුම්රිය ගමන මතකද?
The Trans-Siberian Express ට්‍රාන්ස් සයිබීරියානු එක්ස්ප්‍රස් (TSR)
සම්පූර්ණ දුර : කිලෝ මීටර් 9289
ගතවන කාලය : දින 6 කට වැඩි කාලයක්
ගමනාන්ත : රුසියාවේ මොස්කව් නගරයේ සිට රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරය දක්වා

ලෝකයේ වේලා කලාප (Time Zone) 8 ක් පසු කරමින් සෑම දින දෙකකට වතාවක් මෙකී දුම්රිය රුසියාවේ විශාලතම නගරයේ සිට සුන්දර බයිකල් විල සහ උරල් කඳු පංති අතරින් නැගෙනහිර රුසියාවේ ජපන් මුහුද දක්වා ගමන් කරයි.
1904 වසරේ සිට සම්පූර්ණ සේවයේ යෙදෙන මාර්ග ද්විත්වයකින් යුත් මෙකී ගමන් මාර්ගය රුසියානු දුම්රිය සේවය මඟින් පාලනය වේ.
සංචාරක ආකර්ශණයක් සහ මඟී ප්‍රවාහන සේවයක් මෙන්ම මෙකී දුම්රිය මාර්ගය රුසියාවේ අපනයන වලින් 30%ක ප්‍රමාණයක් මෙහෙයවයි.
මේ ගමන පුරාවට නගර 87ක් සහ ගංගා 16ක් පසු කරන ට්‍රාන්ස් සයිබීරියානු මඟී දුම්රිය නැවතුම් 64ක නතර කරයි.
මෙකි දුම්රිය මාර්ගය ඉදිකිරීමට වසර 25ක් ගතවූ අතර කම්කරුවන් 60,000 දායක විය. එකී කම්කරුවන්ගෙන් බහුතරයක් හමුදා සෙබළුන් සහ හිරකරුවන් වේ.

පළමු, දෙවැනි සහ තුන්වන පංති තුල රුසියාවේ සංචාරය කිරීම සඳහා ඇති හොඳම ආකාරය ලෙසට හැඳින්වෙන මෙකී ගමන් මාර්ගය මතින් චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට ඇති මාර්ග සමඟ සම්බන්ධ විය හැකිය.
ගාස්තුව:
පළමු පංතිය නිදන මැදිරිය – රුපියල් 240,000 පමණ (2021)
දෙවැනි පංතිය නිදන මැදිරිය – රුපියල් 120,000 පමණ (2021)
Canadian කැනේඩියන්
සම්පූර්ණ දුර : කිලෝ මීටර් 4466
ගතවන කාලය : දින 3 – 4 ක්
ගමනාන්ත : කැනඩාවේ ටොරොන්ටෝ සිට කැනඩාවේ වැන්කුවර් දක්වා

මෙකී දුම්රිය ගමන මෙහෙය වන්නේ කැනේඩියානු VIA දුම්රිය සේවය වන අතර නැවතුම් 65ක (නැවතුම් 55ක නතර කරන්නේ ඉල්ලීම මතයි) නතර කරනු ලැබේ.
කැනඩාවේ විශාලතම නගරය වන ඔන්ටාරියෝ පළාතේ ටොරොන්ටෝ සිට ගමන ආරම්භ කර බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ වැන්කුවර් නගරයෙන් ගමන නිම කරන සතියට දෙවතාවක් සේවයේ යෙදෙන මේ ගමන් මාර්ගය සුන්දර රොකී කඳු පන්තිය හරහා ගමන් කරයි.
මෙකි පළාත් නම් සඳහන් කරන්නට හේතුව නම් ශ්‍රී ලංකාවේ පැරණි දුම්රිය එන්ජින් (කැනඩාවේ නිෂ්පාදිත) තවමත් කැනේඩියානු පළාත් නම් සහිතව ධාවනය වන බව ලාංකීය දුම්රිය රසිකයන් දන්නා නිසාය.
මෙකී දුම්රිය එන්ජින් (Class M2) කොළඹ සැලැස්ම යටතේ කැනඩාවෙන් ලැබුණු පරිත්‍යාග වේ.

ඉහත කී මඟී දුම්රිය සේවය වර්ෂ 1955 දී ආරම්භ වූ අතර Skyline මැදිරි හරහා ලැබෙන දර්ශන සංචාරකයන් මන්මත් කරවයි.
ගාස්තුව :
Economy පංතිය : රුපියල් 71,000 (2022)
Prestige පංතිය : රුපියල් 744,000 (2022)
Indian Pacific ඉන්දියන් පැසිෆික්
සම්පූර්ණ දුර : කිලෝ මීටර් 4352
ගතවන කාලය : දින 4ක්
ගමනාන්ත : ඔස්ට්‍රේලියාවේ පර්ත් සිට සිඩ්නි දක්වා
ඔස්ට්‍රේලියාවේ දිගම දුම්රිය මාර්ගය මෙන්ම එක කෙලින් ලෝකයේ ඇති දිගම දුම්රිය මාර්ග කොටස (කිලෝමීටර් 478 එක දිගට කෙලින්) සහිත ඉන්දියානු සාගරයේ සහ පැසිෆික් සාගරය යා කෙරෙන මෙම දුම්රිය සේවය බොහෝ විට සංචාරකයන් ඉලක්ක කරගෙන ඇති මාර්ගයකි.
වර්ෂ 1970 ප්‍රථම ගමන ඇරඹු බොහෝ විට සතියට දෙවතාවක් ගමනේ යෙදෙන මෙම දුම්රිය ප්ලැටිනම් සහ ගෝල්ඩ් යනුවෙන් ප්‍රධාන පංති දෙකකින් යුක්තයි.
නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියාව සහ බටහිර ඔස්ට්‍රේලියාව යන ප්‍රාන්ත හරහා මේ ගමන යෙදී ඇති අතර Great Southern දුම්රිය සේවය මෙකී ගමන් මෙහෙයවයි.
අන්තර්ජාල සේවාවන් නොමැතිව තවත් අසල්වැසි මඟීන් සමඟ එකතුව සමාජගත වෙමින් සුන්දර දසුන් සහිත නිල් කඳු වැටිය (Blue Mountain), Nullarbor Plain වැනි සංචාරක ආකර්ෂණ හරහා මේ ගමන ඔබටත් යා හැකිය.
ගාස්තුව:
Gold සේවාව (Single) : රුපියල් 360,000 සිට ඉහලට (2021)
ප්ලැටිනම් සේවාව (Single) : රුපියල් 600,000 සිට ඉහලට (2021)
විවේක් එක්ස්ප්‍රස් Vivek Express
සම්පූර්ණ දුර : කිලෝ මීටර් 4264
ගතවන කාලය : දින 4ක්
ගමනාන්ත : දකුණු ඉන්දියාවේ කන්‍යාකුමාරි සිට ගිනිකොණදිග ඉන්දියාවේ දිබ්රුගාර් දක්වා
ඉන්දියානු උපමහද්වීපයේ දිගම දුම්රිය ගමන වන මෙය සතිපතා තමිල්නාඩු ප්‍රාන්තයේ සිට ඇසෑම් ප්‍රාන්තය දක්වා අංක 15905/15906 යටතේ ගමනේ යෙදෙයි.
ඉන්දියානු දාර්ශනිකයකු සහ ආගමික නායකයකු වන ස්වාමි විවේකානාදන් යන අයගේ 150 උපන් දින සංවස්තරය වෙනුවෙන් වර්ෂ 2013දී ඇරඹු මේ ගමන නැවතුම් 57 ක් පසු කරමින් ප්‍රාන්ත 9 හරහා ගමන් කරයි.

ගාස්තුව :
දෙවන පංතිය නිදන : රුපියල් 3000 පමණ (2022)
වායු සමනය කරන ලද two-tire : රුපියල් 11,500 පමණ (2022)
කැලිෆෝර්නියාවේ California Zephyr
සම්පූර්ණ දුර : කිලෝ මීටර් 3924
ගතවන කාලය : පැය 51 විනාඩි 20
ගමනාන්ත : ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ සිට සැන් ෆ්රැන්සිස්කෝ නගරය දක්වා
ඇමෙරිකාවේ ප්‍රධාන දුම්රිය සේවයක් වන Amtrak දුම්රිය සමාගම මෙහෙයවන දිනපතා ගමනේ යෙදෙන මේ දුම්රිය ගමන වර්ෂ 1983 සිට ගමනේ යෙදෙයි.
ගාස්තුව :
රුපියල් 35,600 පමණ (2022)
Eastern and Oriental Express නැගෙනහිර සහ ඔරියන්ටල් එක්ස්ප්‍රස්
සම්පූර්ණ දුර : කිලෝ මීටර් 1930
ගතවන කාලය : දින 3 – 4ක කාලයක්.
ගමනාන්ත : සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් දක්වා

ශ්‍රී ලංකාවේ රූගත කෙරුණු The Bridge on the River Kwai චිත්‍රපටය අදාල කතාවේ සත්‍ය සිදුවීම සිදුවූ ප්‍රදේශය පසු කරමින් අග්නිදිග ආසියාවේ ඉහත කී ගමනාන්ත දෙකට අමතරව මැලේසියාවද පසු කරමින් සති අන්තයන්හි මෙම සුඛෝපභෝගී සංචාරක දුම්රිය ගමන් කරයි.
සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කරන ලද සෑම දුම්රිය මැදිරියකම නිදන සහ උණු වතුර සහිත නාන කාමර පහසුකම්ද ඇත.
ගාස්තුව :
රුපියල් 1.173,000 සිට ඉහලට (2022)