“මුදලාලි මහත්තයා මට පෑන් ඉරි මකන්න පුලුවන් හොඳ මකනයක් දෙනවද?”
“සුජාතා, පොඩ්ඩක්, මේ කස්ටමර් බලන්න.”
“කොල්ලා ශිෂ්‍යත්වේ සෙන්ට්‍රල් එකට පාස්. මුකුත් අරං දුන්නෙත් නෑ. පොත් ටික නම් දහම් පාසලින් හම්බ උනා. ඊයේ රෑ ගෙදර වැඩ කරද්දි පෑන් ඉරි මැකෙන්නේ නැහැ කිව්වේ, හම්බ වෙච්ච මකනෙන්.”
“මම බැලුවේ මකනයක්වත් අම්මා අප්පා නැති දරුවට අරං දෙන්න කියලා. පිං පඩියෙනුයි කිරි කපලයි* එපැයි ඔක්කොම කරන්න.”
“මහත්තය, ඒ කස්ටමර් ගාව තියෙන්නෙ දෙකයි පනහයි. හොඳ මකනයක් රුපියල් තිහක් වෙනවානේ. කිව්වට වැඩිය කන් ඇහෙන්නෙත් නැහැ වගේ.”
“කමක් නැහැ, දෙකයි පනහ අරගෙන ඒ මකනෙ දෙන්න. බෑග් එකට කවකටු පෙට්ටියකුත් දාන්න.”
කමිසයේ බොත්තම් දමමින් හති දමන සිසුවකු බෑගයද සමඟ කඩය තුලට දිව ආවේය.
“මම දැක්කා ආච්චි අමිමා එනවා. ඒකයි දුවගෙන ආවේ.”

“මොකෝ කොල්ලෝ බොත්තම් ගලෝ ගෙන?”
“සෙල්ලමි කලා කිළුටු වෙන හින්දා ගැලෙව්වා.”
සිසුවා පිලිතුරු දුන්නේ ආච්චිගේ කණට ළංකර මහ හඬින්ය.
“ඒක මිසක්. ආ මේක විභාගේ පාස් උනාට මගෙන්. දා ගනින් බෑග් එකට… ඉක්මන් කරහං, දැන් පඤ්ඤගුල බස් එක ගියොත් ඊළඟ සීටීබී එක පහට.”
ඊළඟ දිනයට පොත් කඩය විවෘත කලා පමණී.
“මුදලාලි මහත්තයෝ.. මුදලාලි මහත්තයා..”
කෑගසමින් කඩය වෙත ආවේ ඊයේ දින පැමිණි වයසක ගණුදෙණුකාරියයි. සිසුවාද පසෙකින් සිටියේ හැඬුම්බරවය.
“බලන්න, මූ කරපු නොසණ්ඩාල වැඩේ, මකනයක් අරං දීලත් මූ පෙට්ටියක් හොරකං කරලනෙ. කඩෙන් ගත්තද ඉස්කෝලෙන් ගත්තද දන්නේ නැහැ. මහත්තයගේ මේ වගේ පෙට්ටියක් එහෙම නැති වෙලාද බලන්න.”
සිදුවූ දෙය තේරුම් කර දෙන්න උත්සහ කලද ඇයට ඇසෙන පාටක් නැත. ඇය තව තවත් දරුවාට බැන වදියි.
“මම පහේ බස් එකේ ආවේ, ඉල්ලුව නම් වැඩිපුර ගස් ටිකක කිරි කපලා හරි අරං දෙනවනෙ තොට. මුගේ තාත්තා වගේ හිරේ තමයි යන්‍න වෙන්නේ මේකටත්.. ඒ දුකට මුගේ අම්මත් මලා. මම තමයි උඹ හිරේ ගියහම මැරෙන්න ඉන්නේ, මුදලාලි මහත්තයෝ.. මේකව නලවන්නේ නැතුව බලනවද නැති වෙලාද කියලා. මට ඇහෙන්නේ නැහැ. කියන ඒවා.”
“මෙන්න මේක කියවන්නකෝ. කෑ නොගහ..”මුදලාලි දුන් කොළය කියවූ පසු ඇගේ බැණුම් හඬ නතර විය.

“කොල්ලා, වෙලාවට වරෙං බස් එකට. මම කිරි ටික අකුලපු ගමන් එනවා”
.ප.ලි. *කිරි කැපීම යනු රබර් කර්මාන්තය ආශ්‍රීත වචනයකි
Such a heart touching story!
බොහොම ස්තුතියි.