Dark Light
නිවස වෙතට ගොස් එහි සිටි මිතුරන්ද සමඟ රාත්‍රී ආහාරය ගත් පසුව නිවස තුලට වී නිදා ගන්නා ලෙස ඔවුන් සිදු කළ ඉල්ලීම සුහදව පසෙකලා මාගේ නිදන පද්ධතියද රැගෙන කූඩාරම බලා නැවත ගමන ආරම්භ කළේ කුණාටුවේ උච්චම අවස්ථාවේදියි.

කැනඩාවේ වැඩිවන කෝවිඩ් තත්වය හේතුවෙන් සිකුරාදා දිනයේ (2022-ජනවාරි-07) මම සුපුරුදු වැඩ රාජකාරී කළේ නිවසේ සිටයි.

දින කිහිපයක සිටම කාලගුණ නිවේදන මඟින් දන්වා තිබූ පරිදි 2022 වර්ෂයේ පළමු ප්‍රධාන ඝණයේ (Major) හිම කුණාටුව අද දින සවස් යාමයේ ආරම්භ වීමට නියමිත බව මා මෙන්ම මා ජීවත් වන ප්‍රදේශයේ සියලු දෙනාම මේ සතියේ ආරම්භයත් සමඟ හොඳින් දැනුවත්ව සිටියා.

සිකුරාදා දිනයේ වැඩ කරන අතරතුර ජනේලයෙන් ගත් පින්තූර 02ක්.
සිකුරාදා දිනයේ වැඩ කරන අතරතුර ජනේලයෙන් ගත් පින්තූර 02ක්.

හිම කුණාටු යන්න මා පදිංචි ඇට්ලාන්ටික් කැනඩාවේ, නිව් බ්‍රන්ස්වික් පළාතට කොහෙත්ම නැවුම් අත්දැකීමක් නොවේ. එකී හේතුව නිසාම කුණාටුවට නිසි පරිදි මුහුණ දීමට අවශ්‍ය සියලු කටයුතු සහ කළමනා වෙනුවෙන් සෑම සියලු දෙනාම අවශ්‍ය පරිදි පෙර සූදානම් වෙනු ලබනවා.

මෙකී සූදානම් වීමේ කාරණා අතරට මූලිකව ගැනෙන්නේ වාහන පෙර සූදානම් කිරීම (ටයර් මාරු කිරීම, ප්‍රධාන පාරෙන් ඇතුලට නතර කිරීම ඇතුළු බොහෝ දේ.), ආහාර පාන, බෙහෙත් රැස් කිරීම සහ එකී දිනයට නියමිත අනෙකුත් වෙනත් රාජකාරී අවලංගු කර නිවසට වී විවේකීව සිටීම වැනි වැදගත් කාරණාවන්…

Shop The Warming Store Today.

බොහොමයක් සේවා (බස් රථ, රජයේ කාර්යාල සහ අනෙකුත් වැඩ කරන ස්ථාන.) සහ වෙළඳ ස්ථාන කුණාටුවේ ආරම්භයත් සමඟම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම නතර වුවද ගෙදර සිට වැඩ කිරීම නිසා අද මා හට එකී වරප්‍රසාදය හිමිව තිබුණේ නැහැ.

පසුගිය වසන්ත (Fall) කාලයේදී Hiking ගමනකදී මාගේ මිතුරෙකු විසින් භාවිතා කළ කූඩාරමක් සීත සමයේදී භාවිතා කිරීමට සුදුසු වේදැයි පරික්ෂා කර බැලීමට අවස්ථාවක් පැමිණෙන තුරු මා විමසමින් බලා සිටියා.

මෙකී කූඩාරමේ වෙළඳ නම The North Face Stormbreak 1(ස්ට්‍රෝම් බ්‍රේක් 1) වන අතර මෙම ලිපියේ සඳහන් කරුණු එකී ටෙන්ට් එක හෝ මෙහි පහත විස්තර කරන කිසිඳු භාණ්ඩයක් සම්බන්ධව ප්‍රවර්ධනමය කටයුතු කිරීමක් නොවන බවත් හුදෙක්ම මාගේ අත්දැකීම බෙදා ගැනීම සඳහා පමණක් බවත් කාරුණිකව සලකන්න.

හිම කුණාටුව
මෙහි මැද ඇති තැඹිලි පාට ටෙන්ට් එක සීත කාලයට සුදුසුදැයි බැලීම මගේ ප්‍රධාන අපේක්ෂාවයි.

කැනඩාවේ ශීත කාලයේදී ඉර බැසීම වඩාත් ඉක්මනින් සිදුවේ. සවස 5ට මාගේ සතියේ වැඩ කටයුතු අවසන් වනවාත් සමඟම ඉරත් සෑහෙන්න පහලට බැස ගොස් තිබිණි. කුණාටුවේ තත්වය වැඩි වෙමින් පැවතුන අතර වාහන ගමනාගමනයද මේ වනවිට සෑහෙන දුරට අඩාලව තිබුණි.

කූඩාරමත් සමඟ එහි මා විසින් භාවිතා කරන නිදන පද්ධතිය පරික්ෂා කිරීමද තවත් අතිරේක අපේක්ෂාවක් විය.

300x50

සෙල්සියස් අංශක ඍණ 9 සහ ඍණ 29ක අගයන් සහිත නිදන බෑග් (Sleeping Bag) දෙකක්ද වර්ග දෙකක Sleeping Pad දෙකක්ද සීත කාලයේ Camping සඳහා යොදා ගැනීමට මම අදහස් කළේ උෂ්ණත්ව වෙනස් වීම් ඉහල පහල යාම අනුවයි.

නිසි පරිදි සීතලට ඔරොත්තු දෙන ආකාරයේ නිදන පද්ධතියක් නොමැති අවස්ථාවක Hypothermia රෝගී තත්වය උත්සන්න වී ඔබගේ මරණය පවා සිදු විය හැකිය. ඒ හේතුවෙන් භාණ්ඩ භාවිතයේදී මාගේ ප්‍රධාන අවධානය යොමුව තිබුණේ අධික සීතලෙන් සහ වැඩිවන හිමෙන් ආරක්ෂාව වීම වෙතයි.

අද රාත්‍රියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ හතකි. නමුත් Feels Like නැත්නම් ඇඟට දැනෙන උෂ්ණත්වය සුළං හමන වේගය අනුව ඍණ අංශක 20 දක්වා ඉහල යා හැකිය.

ඍණ 29ක නිදන බෑගය තුල උෂ්ණත්වය වැඩිවීම නිසා මා හට සුවපහසු නින්දක් නොලැබීමට ඉඩ ඇති බැවින් ඍණ 9 බෑගය සමඟ වෙනත් අතිරේක විකල්ප ක්‍රම උපායන් කිහිපයක් වැඩි උණුසුමක් ලබා ගැනීමට භාවිත කිරීම මගේ එකම පිළිතුරයි.

අනෙක් කාරණය නම් එකී නිදන බෑගයේ Extreme හෙවත් දැරිය හැකි උපරිම සීතල වශයෙන් ඍණ 27ක උෂ්ණත්වයක් දක්වා තිබීමයි. මෙය මගේ තීරණය තවදුරටත් ස්ථිර කිරීමට පිහිට විය.

බොහොමයක් නිදන බෑග් වල දක්වා ඇති සුවපහසු (Comfort) උෂ්ණත්වයට අමතරව ඔබ ඇඳ සිටින ඇඳුම් හරහා අතිරේක උණුසුමක් ලැබේ.

ඒ නිසා වඩාත් සුවදායක නින්දකට ඔබගේ Sleeping Bag එකේ නියමිත උෂ්ණත්වය සහ රාත්‍රි උෂ්ණත්වය කිට්ටුවෙන් සමාන වේ නම් සුදුසු අඩු ඇඳුම් ගණනක් පැළඳ සිටින්න. නැත්නම් ඇඳුම් රහිතව බෑගය තුල නිදන්න.

අද තත්වයේදී පරිසර උෂ්ණත්වය සහ බෑගයේ උණුසුම (ඍණ 9) අතර වෙනසක් ඇති බැවින් තවත් ඇඳුම් කිහිපයක් වැඩිපුර පැළඳීමට මා තීරණය කළ අතර අවශ්‍යතාවය පරිදි එකී ඇඳුම් එකින් එක වැඩි රස්නය නිසා අවදි වුවහොත් ඉවත් කිරීම මගේ සැලැස්මයි.

හිම කුණාටුව අතරතුර නිවස පිටුපස මා ඉහත කී ටෙන්ට් එක සවිකිරීම වහා ආරම්භ කරන්නට තීරණය කළ අතර දැනටමත් අඩි එකහමාරක පමණ හිම තට්ටුවක් පතනය වී ඇත. MSR Operator™ Backcountry & Basecamp Shovel එක යොදා ගෙන සුළං තදින් හමා නොයන ස්ථානයක් සොයා බලා හිම අස් කිරීම සෙමෙන් ආරම්භ කළෙමි.

වැටෙන හිම ඉවත් කළ යුතු බැවින් සවලක් අත්‍යවශ්‍ය වේ.

මෙකී The North Face Stormbreak 1(ස්ට්‍රෝම් බ්‍රේක් 1) කූඩාරම බිත්ති දෙකකින් යුක්ත වේ.

කූඩාරමක ඇති කොටස් ගැන දැන ගන්න කැමති නම් පහත වීඩියෝව බලන්න.

මුලින්ම මා හිම සහ වැලි සහිත ස්ථානවල Camping කරද්දී ටෙන්ට් එක සවි කිරීම වෙනුවෙන් භාවිතා කරන Snow Tent Stake 4ක් සමඟ අමතර දිගු ෂෙපර්ඩ් හුක් වර්ගයේ ටෙන්ට් Stake 4ක් භාවිතා කරන්නට අදහස් කළේ කූඩාරම සමඟ පැමිණි කුඩා ෂෙපර්ඩ් හුක් Tent Stake 8 ඉවත්කර ඒ වෙනුවට විකල්පයක් වශයෙනි.

ටෙන්ට් එකේ පළමු බිත්තිය සවි කිරීමට අදහස් කරමින් හිම ඉවත් කළ ස්ථානයට පැමිණි මට සිදුවූ පළමු ඇබැත්තිය නම් පොළවේ අධික රළු බවයි. ඍණ උෂ්ණත්වය සමඟ ජලය පමණක් නොව පොළවේ පසද මිදෙයි. මෙකී මිදීම නිසා ටෙන්ට් Stake සවි කිරීමට සාමාන්‍ය පොළවකට වඩා වැඩි ශක්තියක් වැය කිරීමට සිදුවේ.

Stake සවි කිරීම සඳහා මා භාවිතා කළේ කුඩා දර කොටයක්ය. කූඩාරමේ ප්‍රධාන බිත්තිය Snow Stake 4 යොදාගෙන සවි කළ අතර දෙවන බිත්තිය හෙවත් Rain Flyer එක වෙනුවෙන් මා යොදා ගත්තේ අනෙකුත් දිගු ටෙන්ට් Stakeය.

දෙවැනි ඇබැත්තිය වූයේ මුල් කොටස සවි කළ පසු අනෙකුත් ටෙන්ට් Stake 4 සොයා ගැනීමටයි. තද හිම වැස්ස හේතුවෙන් එකී ටෙන්ට් Stake 4 වැසී ගොස් තිබූ අතර තරමක අඩ අඳුර සහ හිමේ සුදු පැහැය හේතුවෙන් එකී Stake 4 සොයා ගැනීමට විනාඩි 5 පමණ කාලයක් මහන්සි වෙන්නට විය.

හිම කුණාටුව
නැතිවුණ Stake 04 පෙනෙන තැනක තබන්න පරිස්සම් උනා.

මෙකී කාලය අතරතුර මගේ පළමු ටෙන්ට් බිත්තිය මතට හිම වැටී තිබූ අතර එකී බිත්තියේ ඇති දැල මතටද හිම පතිතවී තිබුණේ අධික වේගයෙන් කුණාටුව හමා යාමත් සහ හිම වැටීමත් නිසාය.

දෙවන බිත්තිය සවි කිරීමේදී ෂෙපර්ඩ් හුක් Stake, Snow Stake තරම් වැඩි පහසුතාවයක් ඇති කළේ නැත. කෙසේ වුවද වැඩි වන හිම තට්ටුව නිසා Stake ද හිමෙන් වැසී යාමෙන් අමතර වාසියක් ඇති කළේ පස් මතින් වැසී තද වන ආකාරයටය.

හිම කුණාටුව

හිම දියවීමක් සිදු නොවන්නේ නම් මෙය හොඳ උපක්‍රමයකි. එහෙත් උෂ්ණත්වය සෙල්සියස් 0 වඩා ඉහල යන්නේ නම් සැලකිලිමත් වන්න.

හැකි පමණ පළමු බිත්තිය මතට වැටුන හිම ඉවත් කළ පසුව Rain Flyer එක හෙවත් දෙවැනි බිත්තිය සවි කර ගත් මම රාත්‍රිය මිදුලේ ගත කිරීමට සියල්ල සුදානම් වී අවසන්ය.

නිවස වෙතට ගොස් එහි සිටි මිතුරන්ද සමඟ රාත්‍රී ආහාරය ගත් පසුව නිවස තුලට වී නිදා ගන්නා ලෙස ඔවුන් සිදු කළ ඉල්ලීම සුහදව පසෙකලා මාගේ නිදන පද්ධතියද රැගෙන කූඩාරම බලා නැවත ගමන ආරම්භ කළේ කුණාටුවේ උච්චම අවස්ථාවේදියි.

හිම කුණාටුව
ටෙන්ට් එක සවිකර නිවසට පැමිණි අයුරු

නිදා ගැනීමට ප්‍රථම සපත්තු ගලවා දැමුවත් කූඩාරමේ කුඩා ඉඩකඩ සපත්තු තැබීමට තරම් ප්‍රමාණවත් වූයේ නැත. කකුල් දමන පැත්ත අවසානයේ සපත්තු දෙක තැබුවත් එය එතරම් සුදුසු නොවන බව වැටහී ගියේ සපත්තුවේ රැඳී හිම මාගේ ශරීර සහ නිදන භාණ්ඩ වල උෂ්ණත්වය හේතුවෙන් දියවී ගොස් තෙත්බරි විය හැකි බැවිනි.

ඇත්තටම මේ කුඩා ඉඩ කඩ තුල බෑගයක් තබා ගැනීමට තරම්වත් ඉඩක් නොමැත. මා එතරම් උස නැති බැවින් සපත්තු දෙක අපහසුවෙන් රඳවා තැබුවද තරමක උස පුද්ගලයෙකුට එය පහසු කාර්යයක් නොවනු ඇත.

මෙය තනි පුද්ගල කූඩාරමක් වන අතර මේ වර්ගයේම ද්විත්ව පුද්ගල ටෙන්ට් එකක් ඇත. බරින් වැඩි වුවද එය තනි පුද්ගලයෙකුට වඩාත් සුදුසු වනු ඇත.

Rain Flyer එකේ දොර පැත්තට වන්නට (මෙය තනි දොර කූඩාරමකි) ඉඩ තිබුණද Foot Print එකක් නොමැතිව සපත්තු හෝ බෑගයක් තැබීම මෙවැනි කාලගුණයක කිසිසේත් සුදුසු නොවේ. සපත්තුව ඇතුලත සහ මේස් වියලිව තබා නොගැනීම වහා අසනීප වීමට අත වැනීමකි.

දොර අසල පිරුණු හිම

මතක තබා ගන්න. ඉහත කී පරිදි පරිසරයේ ශීතල මත පමණක් නොව ඔබ තෙත බරිත වීම, තෙත ඇඳුම් පැළඳීම මතද Hypothermia රෝගී තත්වය ඇතිවිය හැකිය.

මා පැළඳ සිටි Jacket එක ගලවා Sleeping Bag එකේ කවරය ඇතුලට දමා ගෙන කොට්ටයක් පිළියෙළ කර ගතිමි. ටෙන්ට් එකේ පළමු බිත්තිය මත ඉවත් නොවුණු මුලින් වැටුණු හිම තවමත් ඇත. ඍණ උෂ්ණත්වය නිසා එකී හිම ජලය නොවේවා යැයි පතමින් වැඩිදුරටත් මගේ ආරක්ෂාවට මුහුණ දක්වාම මමී වර්ගයේ නිදන බෑගයෙන් වසා ගතිමි.

හමා යන සුළඟ හොඳින් ඇසේ. මා විසින් අනෙකුත් තුන් කාලයන්හි (03 Season) භාවිතා කරන NEMO hornet™ultralight 2P වර්ගයේ ටෙන්ට් එක හා සසඳා බැලීමේදී අද පවතින තද සුලඟට The North Face Stormbreak 1 ටෙන්ට් එකේ සෙලවීම ඉතාම අඩුය. එය හිතට ටෙන්ට් එක පියඹා නොයන බවට විශ්වාසය ඇති කරවන සැනසීමකි.

අනෙක් පැත්ත ලී වැට සමඟ සම්බන්ධ කර ඇති ආකාරය උදය කාලයේදී

ටෙන්ට් එකේ එක පැත්තක් එහි ඇති අමතර Guy -Line සමඟ අසල පිහිටි ආලින්දයට සවිකිරීම මෙකී සෙලවීම අඩුවීමට තවත් උදවුවක් වී ඇත.

තුන් කාලය යනු ශීත කාලය ඇතුලත් නොවන සරත්, ග්‍රීෂ්ම සහ වසන්ත කාලයන්වේ. ලංකාව තුල භාවිතා කිරීමට සුදුසු තුන් කාලයට ඔබින (03 Season) ටෙන්ට් පමණකි.

හිස වසා ගැනීමට පෙර – දැලෙහි ඇත්තේ ටෙන්ට් එකේ දෙවැනි කොටස සම්පූර්ණ වීමට කලින් වැටුණු හිම වේ.

අනෙකුත් ටෙන්ට් වර්ග නම් 03+ Season ටෙන්ට් සහ 04 Season ටෙන්ට්ය. (මේ ගැන විස්තර ඉදිරියේදී)

හිම ඉතා ඉක්මනින් පිරෙයි. නමුත් මා විසින් සිදු කළ හිම ඉවත් කිරීම නිසා බයක් සිතට නොදැනෙන්නේ තව දුරක් හිම පිරීමට ඉඩ කඩ ටෙන්ට් එක අවට ඇති බැවිනි. කෙසේ වෙතත් සැරින් සැරේ හිම ප්‍රමාණය පරික්ෂා කර ඉවත් කළ යුතුය.

වැඩිවන හිමට Sleeping Pad එක නැවී ඇති අයුරු

වඩාත් විශාල Snow Stake තිබුණේ නම් හෝ DeadMan ක්‍රමයට Stake වැලලුවේ නම් හිම මතම කූඩාරම ඉදි කර තරමක් ගැඹුරට වලක් ටෙන්ට් එක වටා හෑරීම සුදුසුය. එවිට ටෙන්ට් එක මතට වැටෙන හිම වලින් වල(Hole) පිරී යන නිසා වැඩි කාලයකට හිම ඉවත් කිරීමක් සිදු කළ යුතු නොවේ.

දැන් එකී ටෙන්ට් එක මතට වැටෙන හිම සහ අනෙකුත් වැටෙන හිම දෙකම එකතු වන්නේ කූඩාරම අසලටමය. ඒ නිසා ඉක්මනින් වටේට වන්නට හිම පිරෙනු ලැබේ.

කරුණු කෙසේ වෙතත් සුව නින්දක් රාත්‍රිය පුරා ලැබුණි. දෙවතාවක් අවදි වූයේ හිම ඉවත් කිරීමට සහ ඇඳ සිටි එක් කමිසයක් ගලවා දැමීමටයි.

උදයේ ගොඩගත් ටෙන්ට් Stake

ඉහත කී අපහසුතා සහ පහසුකම් හේතුවෙන් මේ ටෙන්ට් එක 03+ Season කූඩාරමක් බව අදහස් කළෙමි. කුණාටුවට ඔරොත්තු දීම සතුටුදායක කාරණයක් වුවද ඉඩකඩ සහ සැප පහසුව ශීත කාලයට ප්‍රමාණවත් නැත.

Logo

මෙවන් පරික්ෂා කිරීමක් මා විසින් නිවස අසලම සිදු කළේ මෙහි ඇති අනාරක්ෂිත බව නිසාය. ඔබත් යම් අත්හදා බැලීම් සිදුකරන්නේ නම් වඩාත් සුරක්ෂිත ස්ථානයක පළමුව කර බලන්න. හැකි සෑම විටම ආරක්ෂාව සහ පුහුණුව ගැන සැලකිලිමත් වන්න.

1 comment
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
malimawa Hiking and navigation skills මාලිමාව

ප්‍රශ්න – 02 කොටස

සිතියම් නැතුව මාලිමාව 02 කොටසේ ප්‍රශ්න... Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්....
Mirror Compass Malimawa

මාලිමාව

මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු ගැන කතා කරමු.
Taut-Line Hitch

Taut-Line Hitch

දැඩි සුළං තත්වයක් තුලදී පවා කූඩාරම සමඟ මේ ගැටය භාවිතා කර ඇති අතර මාගේ අත්දැකීම් අනුව කිසිඳු ගැටළුවක් කාර්යක්ෂමතාව සහ ශක්තිය සම්බන්ධව මෙතෙක් පැන නැගී නොමැත.
pace count ranger beads

රේන්ජර්ස් බීඩ්ස් 2.0

සුප්‍රසිද්ධ උතුරු ඇමරිකානු Hiking මාර්ගයන්හි උපයෝගී කරගන්නා සහ ලෝකයේ බොහෝමයක් පළපුරුදු Hike කරන පුද්ගලයන් ඇතුළු හමුදා භටයින්, දඩයක්කරුවන් ගොඩබිමේදී භාවිතා කරන ඉතා සරල ක්‍රමවේදයකින් යුත් සහ අඩු බරක් සහිත උපකරණයක්..
Total
46
Share