මීට ඉහතකදී ඔබට මතක ඇති අපි Hike එකක් අතරතුර ජලය සොයා ගැනීමේ ක්‍රම කිහිපයක් ගැන කථා බහ කළා. අද මේ මාතෘකාවේ අරමුණ වන්නේ එකී ක්‍රම වලට අමතරව විවිධ සතුන් ආශ්‍රයෙන් හදිසි අවස්ථාවකදී වතුර ළඟ පාතක ඇතිදැයි සොයා බැලීමට උපකාරී වන ආකාර ගැන කියා දීමටයි.
විවිධ අත්දැකීම් මත සහ කරුණු ආශ්‍රිතව මෙකී කතාබහ ඉදිරියට ගියත් මෙහි සඳහන් තොරතුරු වෙනත් හේතු පාදක කරගෙන වෙනස් විය හැකි බව කාරුණිකව සලකන්න.
අපට Hike එකකදී දකින්නට ලැබෙන විශේෂ වර්ග වල සතුන් ආශ්‍රිතව දැන් මේ ගැන කෙටියෙන් විමසා බලමු.
ක්ෂීරපායි සතුන්.
බොහොමයක් ක්ෂීරපායි සතුන් ජල අවශ්‍යතාවය විසඳා ගත හැකි දුරක ජීවත් වන්නට ප්‍රිය කරන අතර ඔවුන්ගේ විවිධ ආහාර රටාවන් අනුව එකී සතුන් අපට කිට්ටුවෙන් දකින්නට ඇත්නම් කෙතරම් දුරට අප ජල මුලාශ්‍රයකට කිට්ටුව සිටීදැයි අනුමාන කළ හැකියි.
තණ බුදින සතුන් (උදා: මුවන්, ගෝනුන් වැනි) සෑම මොහොතකම වතුර කිට්ටු ස්ථානයක ආහාර අවශ්‍යතාවයන් සපුරා ගන්නා අතර හිමිදිරියේ හිරු අවදි වන විට (Dawn) සහ සවස හිරු බැස යන යාමයේ (Dusk) ජලය පානය කරනු දක්නට ලැබේ.
මෙවැනි සතුන්ගේ අඩි පාරවල් බොහෝ විට දිවෙන්නේ ජලය සහිත ස්ථානයක් වෙතයි. ඒ නිසා යම් අවබෝධයක් සතුන්ගේ අඩි සලකුණු ගැන දැන සිටීම ජලය සොයා ගැනීමට ඔබට පහසුවක් වනු ඇත.
මෙකී අඩි පාරවල් ඔස්සේ කඳු පල්ලම් බහින්න. කඳු උඩට අඩි පාරවල් ගොස් ඇත්නම් විරුද්ධ දිශාවට (පහලට) ගමන් කරන්න.
එලෙසම එකී සතුන් දකින්නට ඇත්නම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව නිහඬව අවබෝධයෙන් සිටින්න. බොහෝ විට ඉහත කී වෙලාවන් තුල ඔවුන් ඔබව වතුර ඇති ස්ථානයකට රැගෙන යනු ඇත.
මාංශ භක්ෂක සතුන්ගේ (උදා: දිවියන්, කොටියන් වැනි) අඩි පාරවල් හෝ හැසිරීම් ජලය සොයා ගැනීමේදී එතරම් වැදගත් නොවෙන්නේ මාංශ අනුභවයේදී එකී ආහාර හරහා ඔවුන් ජල අවශ්‍යතාවය සපුරා ගන්න බැවිනි.
ඒ නිසා ශාක භක්ෂකයින් තරම් ඔවුනට වතුර පිලිබඳ අවශ්‍යතාවයක් පැන නොනගී.
ඒ අනුව ඔවුන්ගේ අඩි සලකුණු හෝ ක්‍රියාකාරකම් බොහෝ විට අපට හොඳ නිගමනයක් ලබා දෙන්නේ නැත.
කුරුල්ලන්
ධාන්‍ය ආහාර වශයෙන් ලබා ගන්නා කුඩා පක්ෂීන් සහ පරවි කුලයට අයත් පක්ෂීන් සෑම විටම ජලයට කිට්ටුවෙන් වාසය ප්‍රිය කරයි.
තණ බුදින සතුන් මෙන් ඔවුන්ද ඉර නගින සහ බසින අවස්ථාවල ජලය සොයා යයි.
විශේෂයෙන් මෙකී කුරුල්ලන් කෙලින් එක දිගට සහ පහතින් පියඹා යයි නම් ඔවුන් බොහෝ විට ඉගිලෙනුයේ ජලය වෙතටයි. වතුර පානයෙන් පසු නැවත පැමිණෙන කුරුල්ලන් ඉහත කී ආකාරයට නොව ගසින් ගසට විවේකයක් ලබා ගනිමින් පියඹා යයි.
ජලය ආශ්‍රිතව ජීවත් වන කොක්කු, පාත්තයන් වැනි කුරුල්ලන් සහ මස්, මාළු ආහාරය සඳහා ලබා ගන්නා කුරුල්ලන්ගේ පියඹා යාම මත ජලය ඇති තැන නිර්ණය කිරීම අපහසුය.
කෘමියන්
මී මැස්සන් ජලය ඇති ස්ථානයක් සොයා ගැනීම සඳහා පහසු සන්නිවේදකත්වයක් සපයයි. බොහෝ විට මොවුන් තම මී වදයේ සිට කිලෝමීටර් 6-7කට වඩා දුරට පියඹා යන්නේ නැත.
හදිසි ජල අවශ්‍යතාවයකදී මී වදයේ පැණි වුවද ඔබට පිහිටක් වනු ඇත. එලෙසම මී මැසි ක්‍රියාකාරිත්වය කුඩා ජල එකතු වෙත ඔබව යොමු කරනු ඇත.
ගසක ඉහලට නගින කුඹීන් පෝලිමක් නිරීක්ෂණය කළහොත් ඔබට කුඩා දෙබලක, හිලක රැඳී ජලය සොයා ගැනීමට හැකි වනු ඇත.
ඔබ නොසිතන තැනක ජලය රැඳී ඇති බවට සලකුණු මෙවන් කුඩා කෘමින් අපට ලබා දෙයි.
පියඹා යන මැසි මදුරුවන්ද අපට ජලය සොයා ගැනීමේදී ඇතැම් විට පහසු නිගමනවලට උදවු වනු ඇත.
උරගයන්
සර්පයන් වැනි උරග කුලයේ සතුන් හට වැඩි ජල අවශ්‍යතා නොමැති අතර බොහෝවිට පොළවේ ඇති තෙතමනයෙන් සෑහීමට පත් වෙයි. එම නිසා මෙවන් සතුන් අපට ජලය සොයා ගැනීමේදී උපකාරී වන්නේ නැත.