මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු ගැන කතා කරමු.

මාලිමාව හඳුනා ගනිමු.

චුම්බක උතුර පෙන්වන උපකරණයක් ලෙසට මාලිමාව සරලවම හඳුන්වා දිය හැකියි. චීන ජාතික සොන්ග් රාජ වංශිකයන් විසින් ක්‍රිස්තු වර්ෂ 11-12 ශත වර්ෂයන්හිදී උතුර සමඟ අනෙකුත් දිශාවන් සොයා ගැනීම සඳහා උදවු වෙන මාලිමාව පැරණි ලෝකයේදී ප්‍රථම වරට ගමනාගමනය සඳහා යොදා ගත් බවට නූතන ඉතිහාසඥයින් පිළිගනු ලබනවා.

ලංකාවට මාලිමාවක් අවශ්‍යද?

මාලිමාව භාවිතා කිරීම හේතු කිහිපයක් නිසා අපට (Hiking සහ Back-Country කෑම්පින් කරන) ලංකාවේ ගමන් බිමන් වලදී වැදගත් විය හැකියි.

සිතියම්

ඔබත් මමත් දන්නා ආකාරයට ලංකාවේ නිතර Hike කරන ස්ථානයන්ට තිබෙන සිතියම් ප්‍රමාණය ඉතාම අඩුයි. එලෙසම සකසා ඇති සිතියම් සඳහා අපට ඇති ප්‍රවේශයද හිතන තරම් පහසු නැහැ. සමහර වෙලාවට මෙසේ සිදු වීමට හේතුව අපගේ දිවයිනේ පෙර පැවති ආරක්ෂක ගැටළු සහ තත්වයන් විය හැකියි.

තවමත් ලංකාවේ Hiking සහ Back-Country කෑම්පින් තිබෙන්නේ ළමා අවදියේ. ඒ හේතුවෙන් Hiking Trail අපට අවශ්‍ය ආකාරයට විස්තර සහිතව සිතියම් ගත කරන්නට තවම ලොකු උනන්දුවක් ඇතිවී නැහැ. එසේ වුවද ඇතැම් රජයේ වනෝද්‍යානවල සරල සිතියම් මිලදී ගැනීමේ හැකියාව සහ ප්‍රවේශය තිබෙන බව මා දැක තිබෙනවා. නැතිනම් දැක බලා ගත හැකි අයුරින් විශාල නාම පුවරු වල මෙකී සිතියම් ප්‍රදර්ශනය කර තිබෙනවා.

Horton Plains Map
හෝර්ටන් තැන්නේ දක්නට ලැබෙන සවි කර ඇති ඉතා පැරණි සිතියමක්.

මේ ආකාරයන්ට හෝ අපට සිතියම් පහසුකම අලුතෙන් ජනප්‍රිය වී ඇති බහුතරයක් Hiking Trail වල නම් දන්නා තරමින් ලබාගන්නට නැහැ. ඩිජිටල් මාදිලියෙන් තිබෙන සිතියම් වුවද (Google, AllTrail) අපගේ Hiking Trail සහ Back-Country ගැන එතරම්ම පැහැදිලි විස්තර ලබා දෙන පහසුකම් නොවෙයි.

කාලගුණ වාර්තාව

අපගේ කාලගුණ දෙපාර්තමේන්තුවේ නිවැරදි අනුමාන සහ කාලගුණික තොරතුරු ගැන අපි හොඳාකාරවම දන්නවා. එහෙම නේද? මම කියපු කරුණ නිවැරදි නම් සහ ඔබ අන්තර්ජාලය උපයෝගී කරගෙන කාලගුණය ගැන නිතර දෙවේලේ අවධානයෙන් සිටිනවා නම් දෙවන හේතුව ඔබට ලොකුම ප්‍රශ්නයක් නොවෙනවා යැයි ඔබ සිතන්න පුළුවන්.

කෙලෙස දැනුවත් වුවත්, කාලගුණ වාර්තාව පිලිබඳ නිතර සොයා බැලුවත් අහසේ වලාකුළු වැඩි දවසක, මෝසම් වර්ෂාව ඇද හැලෙන වෙලාවක වගේම රාත්‍රී කාලයේ නුපුරුදු නොදන්නා පළාතක Hike එකක් කරන විට මොන චණ්ඩියාටත් මාලිමාවක් නොමැතිව දිශාව සොයා ගැනීම නම් ලේසි පහසු කටයුත්තක් නොවෙයි.

Flight Over Island
මා විදේශ ගතවන දවසක වලාකුලෙන් බර ලංකාවේ අහස උඩින් පෙනුන හැටි.

විද්‍යුත් උපකරණ

අප මුහුණ දෙන තුන්වෙනි ගැටළුව ලෙසට මිනිස් වාසස්ථාන බහුලව ඇති ප්‍රදේශයකින් ඈතට යන විට දුරකථන සංඥා ප්‍රබලත්වයෙන් අඩු වීම හෝ නොමැති වීම හැඳින්විය හැකියි. මෙකී ගැටළුව ලංකාවේ පමණක් නොව දියුණු රටවල පවා තිබෙන ප්‍රශ්නයක්. මා මේ දිනවල ජීවත් වන කැනඩාවේ පවා මේ අකරතැබ්බය Hike එකකදී ඕනෑ තරම් අත්දැක තිබෙනවා.

මෙයට විසඳුමක් වශයෙන් චන්ද්‍රිකා(Satellite) තාක්ෂණය සමඟ ක්‍රියා කරන GPS උපකරණ තිබුණත් ඒවා වල මිල අධික බව, මාසිකව හෝ වාර්ෂිකව සම්බන්ධතාවය සඳහා මුදලක් ගෙවීමට සිදුවීම සහ සමහරවිට සමහර තැන් වල නිසි පරිදි ක්‍රියා නොකිරීම (මෙය චන්ද්‍රිකා උපකරණ වල කලාතුරකින් සිදු විය හැකි දෙයක්) වගේම මෙකී සියලුම විද්‍යුත් උපකරණ වල සිදු විය හැකි බැට්රි බැසීම වැනි කාරණා හේතුකොට ගෙන අප නොසිතනා අනපේක්ෂිත ගැටලු ගමනේදී ඇති විය හැකියි.

Riverston
මාතලේ දිස්ත්‍රික්කයේ රිවස්ටන් ප්‍රදේශයේ පිහිටි සන්නිවේදන සංඥා කුළුණක්

භාෂාමය අපහසුතා

භාෂාමය අපහසුතා යන්න තවමත් දැනෙන ගැටළුවක් නොවුනද මධ්‍යම කඳුකරේ සහ විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල Hiking සහ Back-Country කෑම්පින් දියුණු සහ ජනප්‍රිය වන දවසකදී යම් ආකාරයකින් සන්නිවේදන අපහසුතා ඇති විය හැකියි.

අපට හුරුපුරුදු සිංහල භාෂාවට අමතරව දෙමළ පමණක් කතා කරන අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් පිරිසක් එකී පළාත්වල පදිංචිව සිටීම මෙකී කාරණයට හේතු පාදක වී තිබෙනවා. මේ ගැටලුව දෙමළ සහෝදර ජනතාවටත් Hiking ගමන් වලදී ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම අප ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ලංකාවේ පමණක් සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ නේද?

Hatton -Shortcut Bus
කඳුකරයේ තවමත් දෙමළ භාෂාව පමණක් දන්නා සහෝදර ශ්‍රී ලාංකිකයන් සිටිනවා.

බාධක

ලංකාවේදී මාලිමාවක් පාවිච්චි කරන්න අනිවාර්යයෙන් වැදගත් වන හේතු අතරින් එකක් ලෙසට Hike එකකදී නිතරම හමුවන බාධක වැඩි බව හඳුන්වා දිය හැකියි. ඇතැම් අවස්ථා වලදී නොසිතන බාධක අපට මඟ තොටේදි මුණ ගැසිය හැකියි. 

උදාහරණයක් හැටියට හදිසි නාය යාමක් ගැන සිතන්න.

මෙවැනි අවස්ථාවකදී නැවත මාර්ගය සොයා ගැනීම සඳහා අප අත තිබෙන කිසිඳු නවීන උපකරණයක් වැදගත් නොවෙන්නට පුළුවන් මෙන්ම ක්‍රියා නොකරන්නට පුළුවන්. මෙකී කුමන ගැටළුව පැන නැගුනත් ඕනෑම තත්වයක් යටතේ මාලිමාව ඔබට ප්‍රයෝජනයට ගත හැකියි.

අනෙකුත් නිතර හමුවිය හැකි බාධකයන්ට උදාහරණ ලෙසට සිතියමක දැක්වෙන විශාල හෙළක්, එතෙර වන්නට බැරි ගඟක්, මඩ ගොහුරක් වැනි දේ දැක්විය හැකියි. මෙවැනි අවස්ථාවලදී අපගේ දිශාව වෙනස් කර නැවත නිවැරදි දිශාව ලබා ගැනීමට මාලිමාව ඉතාම පහසුවෙන් යොදා ගත හැකියි.

Flood Gampaha District
ගංවතුරට වැසී ගිය හංවැල්ල කිරිඳිවැල පාරේ කුරුස කණුව හංදියේ අනතුරුදායක වංගුව

මාලිමා වර්ග

HIKING කරන අප භාවිතා කරන සහ අපට වැදගත් වන එකම පවුලකට අයත් ප්‍රධාන මාලිමා වර්ග 02ක් හඳුන්වා දිය හැකියි.

01. බේස් ප්ලේට් (Base Plate) මාලිමාව

02. මීරර් (Mirror) මාලිමාව

බේස් ප්ලේට් (Base Plate) මාලිමාව

මෙහි පින්තුරයෙන් දැක්වෙනුයේ Base Plate මාලිමාවකි. ලොව පුරා Hiking කරන අය අතර මෙකී මාලිමාව ඉතා ජනප්‍රිය වීමට හේතුව අඩු බරයි. තවද මේ මාලිමාවේ විනිවිද පෙනෙන කෝදුව සහ පදනම සිතියම් කියවීමේදී වඩාත් වැඩි පහසුවක් ලබා දෙයි.

මීරර් (Mirror) මාලිමාව

Base Plate මාලිමාවට වඩා ඉතා සුළු ප්‍රමාණයක් බර වැඩි නමුත් පහසුවෙන් කියවීම් ලබා ගත හැකි නිසා Mirror මාලිමාවද Hike කරන පුද්ගලයන් සහ කණ්ඩායම් අතර අතිශය ජනප්‍රිය උපකරණයකි. Base Plate මාලිමාවට වඩා බර වැඩි වීමට එකම හේතුව අතිරේකව එකතු කර ඇති කණ්ණාඩියයි.

මේ පින්තුරයේ දැක්වෙන මාලිමාවේ වර්ගය වන Silva මාලිමාව නිෂ්පාදනය කරන සමාගමේ මුල් අධිපතියකුවූ ස්වීඩන් ජාතික Bjorn Kjellstrom මහතා මෙකී මාලිමාව පිටුපස සිටින නිර්මාතෘ වේ.

Mirror Compass
Mirror Compass

මීට අමතරව සොල්දාදුවන් භාවිතා කරන බිම් බෝම්බ වලට පවා ඔරොත්තු දෙන මාලිමා වෙළඳ පොලේ මිලට ගැනීමට ඇති අතර ඔබගේ අවශ්‍යතාවය අනුව එකී තේරීම සිදු කරන්න.

නාවිකයන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් භාවිතා කරන විවිධ ආකාරයේ මාලිමා තිබෙන අතර ඒ පිලිබඳ කතා බහ Hiking සහ Back-Country කෑම්පින් කරන අපට එතරම් වැදගත් නොවේ.

හොඳ මාලිමාවක් මිලට ගැනීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් Hiking සහ Back-Country කෑම්පින් කරන අය අතර ජනප්‍රිය මාලිමා Brands කිහිපයක් සහ එකී  ඇතැම් මාලිමා සාදනු ලබන රටවල් පහතින් දැක්වේ.

Silva – ස්වීඩනය

Suunto – පින්ලන්තය

Brunton – ඇමරිකා එක්සත් ජනපදය

TurnOnSport

Cammenga – ඇමරිකා එක්සත් ජනපදය (හමුදා සොල්දාදුවන් අතර ජනප්‍රිය)

රුපියල් පන්සීයේ (500/-) සිට ඉහලට රුපියල් විසිදහස (20,000/-) පමණ දක්වා වන මුදලකට මෙකී මාදිලි Hiking සහ Back-Country කෑම්පින් වෙනුවෙන් මිලදී ගත හැකිය.

එලෙසම මාලිමාවක් මිලදී ගන්නා විට ඔබ ශ්‍රී ලංකාව තුල Hike කරන අයෙකු නම් උතුරු අර්ධගෝලයට උචිත වන කටුවක් සහිත මාලිමාවක් මිලට ගත යුතු බව මතක තබා ගන්න. සමකයට පහලින් වන රටක (උදා. ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව වැනි) ඔබ ජීවත් වන්නේ නම් සහ එහි Hike කිරීමට අදහස් කරන්නේ නම් දකුණු අර්ධ ගෝලයට ගැලපෙන මාලිමාවක් මිලදී ගත යුතුය.

තවද මුළු ලෝකයටම සුදුසු ආකාරයේ (Global) කටු සහිත Base Plate සහ Mirror මාලිමාද වෙළඳ පොලේ මිලට ගැනීමට තිබේ.

Back-Country කෑම්පින් සහ Hiking සම්බන්ධව භාවිතා කරන Base Plate සහ Mirror මාලිමා වර්ග වල විවිධ කොටස් විශාල ප්‍රමාණයක් Brand එක අනුව අඩු වැඩි වශයෙන් ඇත.

මේ සෑම කොටසක් ගැනම ඉගෙන ගැනීම වැදගත් විය හැකි අතර ඔබ මාලිමාවට නවකයෙක් නම් එකී කොටස් එකින් එකට පැහැදිලිව අධ්‍යනය කර බලමු.

මේ කොටසේදී අපි මාලිමාවේ තිබෙන ප්‍රධානම කොටස් 04 ගැන මුලින්ම ඉගෙන ගනිමු.

book

මාලිමාවේ ඇති ප්‍රධානම කොටස් 04

01. බේස් ප්ලේට් Base Plate

02. බෙසල් Bezel

03. චුම්බක කටුව Magnetized/Magnetic Needle

04. ෂෙඩ් එක Orienting arrow/Dog house

Main parts of compass

01. බේස් ප්ලේට් Base Plate

බේස් ප්ලේට් එක යනු අප කතා කරන මාලිමා වර්ග දෙකෙහිම මූලික අඩිතාලම (පදනම) ලෙසට හැඳින්විය හැක. මාලිමාවේ ඉතිරි සියලු කොටස් සියල්ල බේස් ප්ලේට් එක මත පිහිටා ඇත. බොහෝවිට මෙය මෙය විනි විද පෙනෙන ප්ලාස්ටික් නිමාවකින් යුක්තය. විවිධ ආකාරයේ කෝදු කිහිපයක්ද (විවිධ පරිමාණයන් දැක්වෙන) සමඟ සමහරක් බේස් ප්ලේට්වල විශාලක කාචද (Magnifying Glass) පිහිටා ඇත.

Base plate compass

විශාලක කාචය සාමාන්‍ය භාවිතයේදී අත්‍යවශ්‍ය නොවන අතර පහසුකමක් වශයෙන් සිතියම් වල ඇති කුඩා අකුරු ලොකු කිරීමටද ගිනි දැල්වීමටද භාවිතා කළ හැකිය. කෝදු වැදගත් වනුයේ සිතියමක පරිමාණය අනුව දුර ගණනය කිරීමටය.

ඔබ මාලිමාවක් මිලදී ගැනීමේදී ඔබට හුරු පුරුදු ඒකකය තිබේදැයි සොයා බලන්න.

උදාහරණයක් වශයෙන් ඇමරිකාව තුල වැඩිපුර භාවිතා කරන්නේ පැරණි ක්‍රමය හෙවත් සැතපුම් වන අතර කැනඩාව සහ ලංකාව මෙට්‍රික් ක්‍රමය හෙවත් කිලෝමීටර් භාවිතා කරයි.

02. බෙසල් Bezel

මෙය හඳුන්වන නම් කිහිපයක් ඇති අතර මාලිමාවේ පිහිටි වැදගත්ම කොටසකි. කැරකෙන බෙසල්(Rotating Bezel) එක, අංශක 360 මූණත (360 Dial) සහ නිවාසය (Housing) ඒ අතර ජනප්‍රියම නම්වේ. මෙය වටේට අංශක 1-360 හෝ අංක 1-36 දක්වා අගයන්ගෙන් විස්තර වන කෝණයන් සටහන් කර ඇත.

Compass bezel ring
1 සිට 360(0) දක්වා අගය දක්වා ඇති බෙසල් එකක් සහිත මාලිමාවක්..

එලෙසම 36 ඉලක්කම සහ 360 අංශකය 0 ලෙසද නම් කර තිබිය හැක. (එකී අගයන් දෙකම ගණන් කරනුයේ එකම රේඛාවකය.) මාලිමාවන්හි N අකුර ඇත්තේ 360 අංශකය කෙළින්ය. තව දුරටත් N, E, W සහ S අකුරු වලින් දිශා 4ද මෙහි සටහන් කර ඇත. 

දුර ඇවිදින අය (Hiker) අතර වඩාත් ජනප්‍රිය වන්නේ අංශක 1-360 දක්වා සටහන් කර ඇති මාලිමාවන්ය. සොල්දාදුවන් බොහෝ විට 1-36 අංක ඇති මාලිමා භාවිතා කරයි.

මෙහි මැද සම්පූර්ණයෙන්ම ද්‍රවයකින් පුරවා ඇති අතර නිවැරදි කියවීම් ලබා ගැනීමට එය අතිශයෙන් වැදගත් වේ. මාලිමාවක් මිලදී ගැනීමේදී සහ භාවිතයේදී එකී ද්‍රවයේ වායු බුබුළු තිබේද යන්න සොයා බැලීමට සැලකිලිමත් වන්න. 

එසේ වායු බුබුළු තිබේ නම් මාලිමාවෙන් නිවැරදි කියවීමක් ලබා ගත නොහැක.

03. චුම්බක කටුව Magnetized/Magnetic Needle (රෙඩ්/Red)

බෙසල් එක නැත්නම් නිවාසය නැමැති රවුමේ හරි මැදින් සවි කර ඇති ද්‍රවය තුල නිදහසේ චුම්භක ආකර්ෂණයට පාවෙන චුම්බක කටුව යනු අපට උතුර පෙන්වන උපාංගය වේ. බොහෝ විට රතු පැහැයෙන් සහ ඊතලයක හැඩයකින් උතුරු දිශාව දක්වා ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ ඊතලයේ අගින් දැක්වනුයේ දකුණු දිශාවය.

compass bezel
N අකුර දැක්වෙන චුම්බක කටුවක්.

මේ රූපයේ දැක්වෙන පරිදි ඇතැම් මාලිමාවන්හි චුම්බක කටුවේ N අකුරින් උතුර දක්වා ඇත. විශේෂයෙන් මතක තබා ගත යුත්තේ චුම්බක කටුවෙන් පෙන්වන්නේ චුම්බක උතුර (Magnetic North) බවයි.

සමහර මාලිමාවල නියම උතුර (True North) පහසුවෙන් දැන ගැනීම සඳහා සුළු වෙනස් කිරීමක් මඟින් ස්ථාන ගත කිරීමක් කළ හැකිය. (Declination adjustment) මෙහිදී වුවද චුම්භක කටුවෙන් පෙන්වන දිශාව වෙනස් වීමක් සිදු නොවේ.

ඔබ මිලදී ගන්නා මාලිමාවේ වෙනස් කිරීමක් කළ නොහැකි වුවද සුළු ගණනය කිරීමකින් නියම උතුර සොයා ගත හැක. (Declination Calculator) එහෙත් වැඩි පහසුව සඳහා ඔබ මිලදී ගන්නට යන මාලිමාවේ ඒ කියන හැකියාව තිබේද යන්න විමසා බලන්න. (මේ පිලිබඳ වැඩිදුර විස්තර උතුරු අතර වෙනස යටතේ.)

declination adjustment
Declination adjustment කළ හැකි මාලිමාවේ පිටිපස පිහිටීම. (මේ ගැන විස්තර ඉදිරියේදී)

04. ෂෙඩ් එක Orienting arrow/Dog house

මෙයට තරම් අනුවර්තන නම් සහිත වෙනත් උපාංගයක් මාලිමාවේ නැති තරම්ය.

ෂෙඩ් එක, ඔරියන්ටින් (Orienting) ඊතලය සහ බලු කූඩුව ඒ අතරින් භාවිතා කරන ජනප්‍රිය නම් වේ. මෙය බොහෝ විට බෙසල් එක නැත්නම් Housing එක ඇතුලතට වන්නට යටින්ම පිහිටා ඇති අතර සමහර මාලිමාවල උඩ වීදුරුවේද සවි කර තිබෙනු දක්නට ලැබේ.

baseplate compass bezel
ලුමිනස් කොළ පාටින් දැක්වෙන ෂෙඩ් එක (රාත්‍රී කාලයේ භාවිතය පහසුවේ.)

අගය ගණනය කිරීමේදී ෂෙඩ් එක සොයා ගෙන චුම්බක කටුව යා යුතුය. මෙකී ක්‍රියාවලියටද අලංකාර නම් තිබේ. (Put Needle in the Dog House, Red in Shed.)

Compass Bezel Ring
ෂෙඩ් එක ඇතුලට ගිය Needle එක. කටුවේ N නොව බෙසල් එකේ N අකුර එකම රේඛාවේ ඇති අයුරු බලන්න.

ෂෙඩ් එක සෑම විටම කැරකෙන බෙසල් එකද සමඟ තම පිහිටීම වෙනස් කරයි. 

බෙසල් එකේ N අකුර සටහන් කර ඇත්නම් එයත් සමඟ කෙලින් ෂෙඩ් එක පිහිටා තිබිය යුතුය. (වෙනස් කිරීමක් Declination adjustment කර නැතිනම්) ඊතලයක්, ඉරි දෙකක්, ප්ලාස්ටික් පතුරු දෙකක් ආදී විවිධ ආකාරයට ෂෙඩ් එක පිහිටා තිබිය හැක.

මේ කොටස යටතේ අප කතා කළේ මාලිමාවේ ප්‍රධානතම කොටස් කිහිපයක් පමණක් වන අතර අනෙකුත් කොටස් අදාල අවස්ථාවද සමඟ ඉදිරියේදී විස්තර කරනු ලැබේ.

එලෙසම මේ සඳහන් කළ තොරතුරු ඔබට මාලිමාවක් මිලදී ගැනීමට හෝ ඒ පිලිබඳ දල අදහසක් ලබා ගැනීමට වැදගත් වනු ඇතැයි සිතන අතර සෑම විටම ඔබගේ අවශ්‍යතාවය සහ Hike හෝ කෑම්පින් කරන ස්ථානය පරිදි එකී තෝරා ගැනීම සිදු කරන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *