ඔබ රැගෙන පැමිණි සියල්ල නැවත රැගෙන යන්න. ඊට පෙර එකී ස්ථානයේ වෙනත් අය දමා ගිය දේවල් ඇත්නම් හැකි පමණ ඒවා සුදුසු පරිදි රැගෙන යන්න. ඔබට සොබා දහම නිහඬව ආශීර්වාද කරනු ඇත.

Hiking හෝඩි පොතේ දහවන පිටුව

ඔබ කෑම්ප් කිරීම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු රාශියක් තිබේ. මෙකී කාරණා ගැන කතා බහ කරන විට පළපුරුදු Hiker කෙනෙක් නම් ඔබ දැනටමත් දන්නවා ඇති වඩාත් සුන්දරම ස්ථානය කෑම්ප් කිරීම සඳහා සුදුසුම ස්ථානය නොවන බව.

නමුත් බොහොමයක් නවක බහුතරයක් වඩාත් සුදුසුම ස්ථානයකට වඩා අලංකාරම ස්ථානයක් සොයා වෙහෙසෙනවා නොවේද?

අලංකාර ස්ථානයක් සෙවීමට වඩා ඔබගේ කූඩාරම සවි කරන තැන සොයා ගැනීමේදී සැලකිය දේවල් එකින් එකට විමසා බලමු. මෙහිදී ඔබ සිටින ප්‍රදේශය මත මෙකී කරුණු අදාළ නොවීමට හෝ නුසුදුසු වීමට වුවද පුළුවන. උදාහරණයක් වශයෙන් කැනඩාවේ වඩාත් උණුසුම් ස්ථානයක් රාත්‍රිය ගත කිරීමට විමසන විට ලංකාව තුල ඇති උණුසුම හේතුවෙන් සීතල වැඩි ස්ථානයක් සුවබර නින්දකට වඩාත් සුදුසු විය හැකිය.

01. වතුර

වැවක් අසල, දිය ඇල්ලක් කිට්ටුව ඔබගේ කූඩාරම ඉදිකර ගෙන රාත්‍රීය ගත කිරීම සුන්දර අත්දැකීමක් ලෙසට ඔබ විසින් තීරණය කිරීමට ඇති සම්භාවිතාවය කීයද?

ඉහත ප්‍රශ්නයට ඔබගේ පිළිතුර ඉහල අගයක් ගත්තද ඔබට සුවබර නින්දකට ඇති සම්භාවිතාවය නම් ඉතා පහල අගයක් වේ. මේ සඳහා හේතු කිහිපයක් බලපානු ලබයි.

වැවක්, පොකුණක් වැනි තැන්පත් ජලය සහිත ස්ථානයක් නම් එකී මුලාශ්‍ර මදුරුවන්, මකුණන් වැනි කරදරකාරී සතුන්ගේ උපන් බිම් විය හැකිය. මේ නිසා මෙවැනි කුඩා සතුන්ගේ වැඩි කරදරයක් දවස පුරා අපේක්ෂා කළ හැකි වනු ඇත.

ඔබ නවාතැන් ගන්නා ස්ථානය හරහා සතුන්ගේ වතුර සොයා යන මංපෙත් වැටී තිබෙනු ඇත. විශේෂයෙන් රාත්‍රී කාලයේ ඔබගේ නින්දට සතුන්ගේ ශබ්ද සහ හැසිරීම් බාධාවක් වන්නා සේම සතුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයටද ඔබගේ ක්‍රියාකාරකම හේතුවෙන් බාධා ඇතිවී තිබේ.

වතුර බොහෝ විට රැඳෙන්නේ පොළවේ පහල ස්ථානයක වන අතර ගලා බසින්නේද පහළටය. ජලය අසල ඔබ කූඩාරම ඉදි කළේ නම් එය බොහෝ විට නිම්න ප්‍රදේශයක් විය හැකිය. ලංකාවේ මධ්‍යම කඳුකරයේ කාලගුණය උණුසුමෙන් අඩුය. උණුසුම යනු සුවබර නින්දකට අඩු වැඩි වශයෙන් නොව එක් ප්‍රමාණයකට තිබිය යුතු අගයකි.

ඔබ සිටින ස්ථානය අධික ලෙස සීතල නම් නින්ද ඔබ වෙත පැමිණෙන්නේ නැත. ජල මුලාශ්‍ර ආශ්‍රිත පොළව වැඩි සීතලක් ගන්නේ ජලය නිසා පමණක් නොව පහත් ස්ථානයක් නිසාය.

ජලය අසල සිටීමෙන් වඩාත් පහසුවෙන් පහසුකම් ලැබේයැයි ඔබ සිතන්නට පුළුවන්. ආහාර පිස ගැනීමට, බීමට සහ වෙනත් ජල අවශ්‍යතාවයන්ට ඔබට ලැබෙන පහසුකම ඇතැම් විට ප්‍රයෝජනවත් විය හැකියි.

ශ්‍රී ලංකාව තුල කෙසේ වෙතත් (මේ පිලිබඳ නීතියක් තිබේද යන්න හරියටම දන්නේ නැත.) බොහෝ රටවල් වල ජල මුලාශ්‍රයකට අවම වශයෙන් අඩි 200ක් වත් ඈතින් කඳවුරු ගැසිය යුතු යැයි නීති ඇත.

ජලයේ පවිත්‍රතාවයට මිනිසාගෙන් සිදුවිය හැකි හානි වැලක්වීමට සහ ජල දූෂණය අවම කිරීමට මෙවැනි නීති පනවා ඇත.

මෙකී කාරණය ඇතැම් විට ප්‍රයෝගික නොවුනත් ජල දූෂණය අවම කිරීම සඳහා ඔබගේ යුතුකම ඉටු කරන්න.

02. සුළඟ

කූඩාරම ඉදිකරන ස්ථානය තෝරා ගැනීමට මෙය කිහිප ආකාරයකින් වැදගත් වන සාධකයකි. විශේෂයෙන් සුළං කපොලු යැයි අප කියන ප්‍රදේශ සහ ගස් රහිත ක්‍රීඩා පිටියක් වැනි එළිමහන් ප්‍රදේශයක කුඩාරම් ඉදි නොකරන්න.

සුළඟ ඔබගේ කූඩාරමට හානි සිදු කරනවා සේම විශේෂයෙන් රාත්‍රී කාලයේ ඔබ සිටින ස්ථානයේ උණුසුම අඩු කරයි. මෙය ඇතැම් විට ලංකාව වැනි රටක වියලි ප්‍රදේශයකදී සුව නින්දකට උදවු විය හැකිය. එසේ වුවද සුළඟින් ආරක්ෂා වීමට ඔබගේ කූඩාරම දිගු Stake යොදා ගෙන සවි කර ගන්න අමතක කරන්න එපා.

සුළඟේ ආරක්ෂාවට සුළං බාධක වැදගත්වේ. ගස්, කඳු සහ පර්වත මෙකී බාධකයන්ට උදාහරණ වේ. ඔබගේ කූඩාරම මෙවැනි බාධකයක් අසල සුදුසු ස්ථානයක පිහිටුවා ගන්න.

සුළං හමන දිශාවද ඔබගේ කූඩාරම ඉදිකරන ස්ථානයට වැදගත් වේ. විශේෂයෙන් ඔබ විකල්පයක් නොමැති නිසා එළිමහන් බිමක කඳවුරු බඳින්නේ නම් මේ ගැන සිතා බලන්න. ඔබ ගිනි මැලයක් දල්වන්නේ නම් එකී ගිනි මැලය සහ කූඩාරම පිහිටිය යුතු දිශාව තෝරා ගැනීමට මෙය වැදගත්වේ. නැතහොත් ඔබට දුම මඟින් අපහසුතා ඇති විය හැකිය.

03. ගස්

ඉහත විස්තර කළ ආකාරයට ගස් ඔබට සුළං බාධකයක් වශයෙන් ප්‍රයෝජනවත් වනවා සේම ඔබගේ ජීවිතයට අනතුරක් සිදුවීම සඳහාද හේතු විය හැකිය.

ඔබ කඳවුරු බඳින ප්‍රදේශයේ දිරාපත් ගස් සහ අතු තිබේදැයි සැලකිලිමත් වන්න. පළපුරුදු කඳවුරු බඳින අය මෙවැනි කඩා වැටීමට ආසන්න ගස් මුදුනෙහි රැඳී ඇති ගස් අතු හඳුන්වන්නේ Widow Maker (වැන්දඹුවන් සාදන්නා) යනුවෙනි.

මෙකී වැන්දඹු සාදන අතු වලින් තොර ස්ථානයක් සොයා ගන්න.

වතුර අසල කඳවුරු බඳිනවා සේම දිරාපත් ගස් අසල කූඩාරම ඉදි කිරීම මඟින් ඔබට පහසුවෙන් දර අවශ්‍යතාවය සපුරා ගැනීමට උදවු වනු ඇතැයි ඔබ සිතනවා විය හැකිය. නමුත් එවැනි පහසුතවයකට ඔබගේ ජිවිතයෙන් මිල ගෙවිය යුතු නැත.

එලෙසම අතුපතර විහිදුණු වැන්දඹු සාදන අතු නොමැති ගස් පිහිටීම ඔබට තද වැස්සකින් මෙන්ම තද අවු රශ්මියෙන් ආරක්ෂා වීමට කූඩාරමේ වහලයට අමතරව උදවු කරනු ඇත.

04. පොළව

කූඩාරම ඉදිකිරීම සඳහා සුදුසු පොළවක් තෝරා ගැනීම වැදගත් කරුණකි. මම මෙන්ම ඔබද සමතලා බිමක් කඳවුරු බඳින්නට ප්‍රිය කරන බව නම් සැක රහිතව කියන්නට පුළුවන්. නමුත් සෑම විටම අපට තැනිතලා බිමක් තෝරා ගැනීමට ලැබෙන්නේ නැහැ. මෙවන් විටක සහ පොළව තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

පොළව තෝරා ගැනීමේදී මූලිකව සොයා බැලිය යුත්තේ වතුර බසින සහ එකතු වන පැත්තයි. එවැනි බසින හෝ එකතු වන ස්ථානයක කූඩාරම ඉදිකළහොත් අපේක්ෂා නොකරන හදිසි ජල ගැලීමකට ඔබ ලක් විය හැකියි.

ඒ නිසා බෑවුම ඔබට බලපාන ආකාරය ගැන විමසන්න. පැරණි ජලය ගලා ගිය කුඩා වියළි මාර්ගයන් ඔබගේ කඳවුරු භූමිය හරහා ගමන් කරනු පෙනේ නම් සහ බේසමක් වැනි පොළව පිහිටා ඇති ස්ථානයක් නම් හැකි සෑම විටම වර්ෂාව පෙනෙන්නට තිබුණද නැතිවුවද එකී ස්ථාන මඟ හරින්න.

ඔබ තෝරා ගන්න පොළව තද රළු පොළවක් නොවේ නම් වඩාත් සුදුසු වේ. එය ඔබගේ නින්දට පවා උදවු වනු ඇත. විශේෂයෙන් කඳුකරයේ කඳවුරු බඳින්නේ නම් තද පොළව රාත්‍රී කාලයේ උණුසුම රඳවා ගැනීමට උදවු නොවෙනු ඇත.

ඔබ කූඩාරම ඉදිකිරීමට පෙර පොළවේ ඇති ගල්, කුඩා දර කෝටු, Pine Cone වැනි දේ ඉවත් කරන්න. නැතහොත් මේවා ඔබගේ කූඩාරමට හානි ගෙන දිය හැකිය.

කූඩාරම යට පොළවේ ඇති දිරුණු කොළ ඔබගේ නින්දට පහසුවක් විය හැකි නමුත් සර්පයන් වැනි සතුන් හට පහසු නවාතැන් පොලක් විය හැකිය.

තරමක බෑවුමක ඔබ කූඩාරම ඉදිකර ඇත්නම් ඔබගේ හිස සෑම විටම කන්ද දෙසට තබා ගන්න අමතක කරන්න එපා. නැතහොත් ඔබට උදෑසන අවදිවීමට සිදුවනුයේ ඔලුවේ කැක්කුමක්ද සමඟය.

සතුන්ගේ අඩි සලකුණු සහිත කුඩා පාරවල් පොළවේ දක්නට ලැබේ නම් එකී පොළවද ඔබගේ කූඩාරම සවි කිරීමට සුදුසු ස්ථානයක් නොවේ.

ඒ පිළිබඳව විපරම් කර බලන්න. අප ගමන් කළ ප්‍රධාන Trail එකේ කූඩාරම පිහිටුවන්නේ නැති සේම මෙවැනි කුඩා පාරවල් සතුන්ගේ ගමනාගමනයට වැදගත් වේ.

05. මිනිසා

මිනිසා අපගේ කූඩාරම ඉදිකරන කඳවුරු භූමිය තෝරා ගැනීමට බලපාන සාධකයකි. ඔබ කූඩාරම ඉදිකරන්නේ මීට පෙර කඳවුරු බඳින්නට භාවිතා කළ ස්ථානයක් නම් එය තෝරා ගැනීම පහත හේතු මත සුදුසු හෝ නුසුදුසු විය හැකිය.

කෙසේ වෙතත් පහත දැක්වෙන අවාසි තිබුණද ප්‍රදේශයේ වටිනා කුඩා පැල වර්ග තිබේ නම් මීට පෙර භාවිතා කළ ජනප්‍රිය ස්ථානයක්ම තෝරා ගැනීම වඩාත් සුදුසු බව මතක තබා ගන්න.

එලෙසම මෙවැනි ස්ථානයක් සෙවීමට වඩාත් කල්යල් බැලිය යුතු නොවේ. ඒ නිසා කාලය වුවද ඉතිරි කර ගත හැකි වනු ඇත. ගිනි දැල්විය හැකි ස්ථාන සහ ජලයට ප්‍රවේශය ආදී පහසුකම් සූදානම්ව තිබීම අමතර වාසියක් විය හැකිය.

බොහෝ පිරිසක් භාවිතා කර ඇති නිසා ගල් කැබලි, දර කෝටු සහ Pine Cone වැනි කුඩා දේවල් තිබීමේ හැකියාවද අඩුය.

කෙතරම් පහසුකම් තිබුණද මෙහි ඇති අවාසිද තිබේ.

බොහෝ පිරිසක් භාවිතා කර තිබීම නිසා පොළව තද ස්වභාවයක් ගනු ඇත. එනිසා අප ඉහත පොළව නමැති අනුමාතෘකාව යටතේ කතා කළ අවාසි මෙම ස්ථානයේදී ඔබට බලපානු ඇත.

ඊට අමතරව පස් තදවීම නිසා ගස් වල මුල් ආදිය ඉහලට මතුවී තිබිය හැකිය. එය සුව පහසු නින්දකට උදවු නොදෙයි.

තවද මිනිසා විසින් ඉවතලන අපද්‍රවය නිසා කුඩා සතුන් මෙවැනි ස්ථාන වලට බොහෝ විට පුරුදු වී සිටී. ඒ නිසා රාත්‍රී කාලයේ ඔබගේ සැප දුක විමසන්න පැමිණෙන උගුඩුවන්, ඉත්තෑවන්, මීයන් වැනි සතුන් ගැන පරිස්සම් වන්න.

ඔබගේ කූඩාරමේ ඇති සුවඳෙන් ආරාධනා කරනු ලබන කෑම කඩයක් ළඟ පාත තිබියදී වෙනත් ආකාරයට ආහාර සපයා ගැනීමට සතුන් වෙහෙස වන්නේ නැත.

ඔබගේ කූඩාරම තුල ආහාර තබා ගැනීම නුසුදුසු වුවද වලසුන් වැනි භයානක සතුන් නොසිටී නම් සුවඳ පිටතට නොයන සේ හොඳින් වැසූ භාජන වල ඉතිරි ආහාර තබා ගන්න.

මෙවැනි තත්වයක් තුල ආහාර තබා ගත යුතු ආකාරය ගැන වැඩිදුරටත් අපි ඉදිරියේදී කතාබහ කරමු.

ඔබ දින කිහිපයක් තිස්සේ Hike කරන අයකු නම් සුවබර නින්දක් අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය වේ. මෙවැනි විටකදී බීමත් පිරිසක් හෝ ඝෝෂා නගන අසල්වැසියන් අසල සිටීම ඔබට සුදුසු වන්නේ නැත.

ඒ නිසා ජනප්‍රිය කඳවුරු භූමියක සිටීමට වඩා සැඟවුණු ස්ථානයක (Stealth Camping) කූඩාරම ඉදිකිරීම හෝ නවාතැන් ගැනීම වඩාත් සුදුසුවේ. මේ ආකාරයේ කඳවුරු බැඳීම් පිලිබඳ ඇතැම් කරුණු මේ ලිපියේ සඳහන්ව ඇති අතර වැඩිදුරටත් ඒ ගැන ඉදිරියේදී විස්තර සහිතව කතා කරමු.

තවද ඔබ කූඩාරම ඉදිකිරීමට පෙර එකී භූමිය එවැනි ක්‍රියාකාරකම් සඳහා අවසර ඇතිදැයි සොයා බැලීමට සැලකිලිමත් වන්න.

එසේ නැත්නම් ඔබට මිනිස් කරදරවලට මුහුණ දීමට සිදුවනු ඇත.

06. වෙනත් කරුණු

කූඩාරම ගසන ස්ථානය අවම වශයෙන් ඉර බැසීමට පැයකට පෙර තීරණය කරන්න. එකී ස්ථානය පහසුකම් ලබා ගැනීමට පහසු ස්ථානයක් වුවද ඉහත විස්තර කරන කරුණු ගැන අවබෝධයක් ඇතිව කටයුතු කරන්න.

හැකිනම් ගමන යාමට පෙර ඔබ නතරවන ස්ථාන සැලසුම් කරන්න. දිනකට Hike එක යන දුර අනුව එකී ස්ථාන වෙනස් විය හැකි බැවින් ඒ සඳහා සූදානමින් සිටින්න.

හැකි සෑම විටම කන්දක උස් භූමියක ඔබේ කඳවුර පිහිටන්න. මෙය ඉහත කී හේතු සමඟ ගැනෙන කාරණා කිහිපයක් නිසා වැදගත් වේ.

පළමු වැන්න නම් මදුරුවන් වැනි සතුන් අවම වීමයි. දෙවැන්න වාතයේ සිසිල් බව පහත් බිමකට සාපේක්ෂව අඩු වීමයි. ඊට අමතරව අලංකාර දර්ශනය සහ ඉක්මන් හිරු උදාවද සැලකිය යුතු හේතු ලෙසට දැක්විය හැකිය.

නැගෙනහිර පැත්තට හැකි සෑම විටම කූඩාරමේ දොර තබා ගන්න. මෙය ඔබට හිමිදිරියේ හිරු එළිය සමඟ අවදිවීම පහසු කරනු ඇත.

ඔබ රැගෙන පැමිණි සියල්ල නැවත රැගෙන යන්න. ඊට පෙර එකී ස්ථානයේ වෙනත් අය දමා ගිය දේවල් ඇත්නම් හැකි පමණ ඒවා සුදුසු පරිදි රැගෙන යන්න.

ඔබට සොබා දහම නිහඬව ආශීර්වාද කරනු ඇත.

Article Photo : Near Saint John, New Brunswick, Canada (Crown Land Camping )

Other Photos: Fundy National Park, Murry Beach Camp & Shire Camping

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *