මාලිමාවක් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම.

Hiking Navigation Skills (Sinhala)- Video 02

වැදගත්කම 

Hiking සහ Back-Country කෑම්පින් කරන අපි පෙර කොටසෙන් මාලිමාව ගැන ලබාගත් මූලික අවබෝධය ඇතිව එහි ක්‍රියාකාරීත්වය, අවශ්‍යතාවය සහ භාවිතය ගැන හොඳ වැටහීමක් ලබා ගනිමු.

ඒ සඳහා මේ කොටසේ අප කතා බහ කිරීමට සැරසෙන්නේ මාලිමාව භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ මාලිමාව උපයෝගී කරගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම යන මාතෘකාවයි.

Take a food journey around the world

මේ මාතෘකාවේ ඉදිරි අන්තර්ගතය පිලිබඳ කතා කරන්නට පෙර ඇයි අපිට සරල රේඛාවක් දිගේ ගමන් කිරීම වැදගත් වන්නේ යන්න පළමුව සොයා බලමු. 

අප අවට සැරිසරන පරිසරය හොඳින්ම දන්නා අවස්ථාවකදී මෙන්ම ඉරත් සමඟ දිශාව සොයා ගත හැකි මොහොතකදී අප යා යුතු මාර්ගය හෝ දිශාව සොයා ගැනීම ඔබට මෙන්ම මටත් එතරම්ම අපහසු කාරණයක් නොවේ. 

එහෙත් එලෙස පහසු තත්වයකදී වුවද ලංකාවේ ඇති ඉහල ස්ථරයේ ඝණත්වයෙන් වැඩි (අතු පතර විහිදුණු විශාල ගස් සහිත) වනාන්තර හේතුවෙන් පැහැදිලිව එකම දිශාවකට ගමන් කිරීමත් පාර සොයා ගැනීමත් හිතන තරම් පහසු කටයුත්තක් නොවනු ඇත.

වලාකුළු සහිත අහසකදී මෙන්ම රාත්‍රී කාලයේ මඟ කියන තරු නොමැති අහසක (තරු මඟින් පාර සොයා ගැනීමේ පළපුරුද්දක් ඇත්නම්) මේ කටයුත්ත අපට තවත් අසීරු වෙනවා නොවේද?

සරල උදාහරණයක් ගමු.

මඩකලපුව ප්‍රදේශයේ සිට ඉන්දියන් සාගරයට සමාන්තරව දිවෙන මහ පාරකින් ඔබ බස්නාහිර පැත්තේ කැලෑවකට ඇතුල් වෙනවා. මේ විදිහට ඇතුල්වූ පසු නැවතත් මඩකලපුව පාර සොයා ගන්න අවශ්‍ය නම් අප නැවත යා යුතු වන්නේ මුහුද දෙසටයි. වෙනත් ආකාරයකට විස්තර කළොත් නැගෙනහිර දිශාව දෙසටයි. 

ඉර පායන දවසක් නම් මෙය විශාල ගැටළුවක් වන්නේ නැහැ. ඉර ගමන් කරන දිශාව මත අපට යා යුතු දිශාව සොයා ගත හැකි බැවින් නැගෙනහිර සහ බටහිර කොහෙද යන්න තීරණය කිරීම පහසුයි.

එහෙත් එලෙස නොවන දවසකදී සහ පෙර සඳහන් කළ පරිදි ලංකාවේ වනාන්තරයන්හි ස්වභාවය සහ කාලගුණය සමඟ නැගෙනහිර දිශාව සොයා ගැනීම හිතන තරම් අපට ලේසි පහසු කටයුත්තක් වන්නේ නැහැ.

පාරට බස්නාහිර පැත්තට වන්නට පිහිටි වනාන්තරයකට ඇතුළුවූ බව අප හොඳින්ම දන්නවා. ඒ නිසා පාර නැවත සොයා ගැනීමට තිබෙන පහසුම ක්‍රමය නම් එක එල්ලේම නැගෙනහිර දිශාවට ගමන් කිරීම. තවත් ආකාරයකට කිවහොත් එකම සරල රේඛාවක නැගෙනහිරට ගමන් කිරීම.

එසේ පහසුවෙන් එකම සරල රේඛාවක යෑම සඳහා වැදගත් වන උපකරණය මාලිමාවයි.

පාර වැරදී නැවත සිටි තැනටම පැමිණි අත්දැකීම් ඇවිදින ඔබට ඕනෑ තරම් තිබෙන්නට පුළුවන්. ඒ නිසා වෙනත් විදිහකට කියනවා නම් සරල රේඛාවක ගමන් කිරීම නැමති ක්‍රියාකාරකම යනු අතරමං නොවී එක දිගට ඉලක්කය වෙතට මාලිමාව උපයෝගී කරගෙන යන්නට හැකි ක්‍රමය හැටියට හඳුන්වන්නත් පුළුවන්. 

මේ ගැන වැඩිදුරටත් කියන්නට පෙර අපි මාලිමාවේ කොටස් පිළිබඳව කලින් කොටසේ  කතා කරපු ප්‍රධානම කොටස් 04ට අමතරව තවත් කොටසක් ගැන දැන ගෙන සිටිමු.

මේ කොටස දෙයාකාරයකට අප කතා කළ මාලිමා වර්ග දෙකෙහි (Base Plate සහ Mirror) පිහිටා තිබෙනවා. ඒ වගේම ඉංග්‍රීසියෙන් ජනප්‍රිය නම් දෙකක් මේ කොටස ගැන විස්තර කරන්නට භාවිතා කරනවා.

මාලිමාවේ කොටස් සම්බන්ධව අප ඉගෙන ගන්නා 05 වෙනි කොටස හැටියට මෙය හඳුන්වා දිය හැකියි.

Linkad

05. ගමන් දිශාව පෙන්වන ඉර/ඊතලය Index Line/ Travel Arrow (Direction of Travel Arrow)

Base Plate මාලිමාව ගැන අපි ප්‍රථමයෙන් විමසා බලමු. 

ඔබට මේ පින්තූරයේ පැහැදිලිව ඊතලයක් බෙසල් එකේ අනිත් පැත්තට (ඉහලට) වන්නට බේස් ප්ලේට් එකේ පෙනෙනවා නේද? ඒ ඊතලයෙන් විස්තර කරනුයේ Travel Arrow එක හෙවත් ගමන් දිශාවයි. මේ කොටස Hiking කරන අප යා යුතු දිශාව දැක්වීමට සහ කෝණයේ අගය සොයා ගැනීමට අනෙකුත් කොටස් සමඟ භාවිතා කරනු ලබනවා.

Base Plate Compass
Base Plate Compass

තවත් ආකාරයකට විස්තර කළහොත් අප මේ මාලිමාව භාවිතා කරන අවස්ථාවකදී ඊතලය දක්වන පැත්තට ගමන් කළ යුතුයි.

මේ රූපයේ තිබෙන Magnifying කණ්ණාඩිය අසලින් මේ ඊතලය අවසන්වී තිබෙන බව ඔබට පෙනෙනවාද? එසේ අවසන්ව තිබුනද නැවතත් එකම පේලියට බෙසල් එක දක්වා මේ ඉර කුඩාවට තිබෙන බව ඔබට පෙනෙනවා ඇති. (කුඩා ඉර සහ ඊතලය වශයෙන්)

මෙකී කුඩා ඉර Index Line එක යනුවෙන් හඳුන්වනු ලැබේ. Index Line එක සහ Travel Arrow එක එකම පේලියේ පිහිටා තිබෙන අතර මේ කොටස් දෙකෙන්ම සිදු කරනුයේ එකම කාරණයයි. 

ඇතැම් විට ඔබ මිලදී ගත් මාලිමාවේ මේ ආකාරයටම Index Line එක පිහිටා නොතිබිය හැකියි. එකම ඉරක් ආකාරයට හෝ එක දිගට ඊතලයක් ආකාරයට, ඊතල හිසක් ලෙස, රාත්‍රී කාලයේ පෙනෙන ලුමිනස් පාට රේඛාවක් ලෙසට ආදී විවිධ ආකාරයෙන් මෙකී කොටස දක්වා තිබිය හැකියි.

ඒ නිසා කලබල නොවන්න. මේ පින්තූරයේ තිබෙන ආකාරයටම Index Line එක තිබිය යුතු නැත. ඔබගේ මාලිමාවේ Index Line එක විපරම් කර මනාව හඳුනා ගන්න.

වැඩිදුරටත් බලන්න. පහත රූපයේ දැක්වෙන Mirror මාලිමාවේ ඊතලයක් දක්නට නොමැති අතර එකී ඊතලයෙන් සිදු කරන කාර්ය කිහිප විදිහකට එහි තිබෙන වෙනත් රේඛා සහ උපාංග මතින් සිදුවේ.

Mirror Compass

ඉහත කී Base Plate මාලිමාවේ Index Line පරිදි ඉරක් බොහෝමයක් Mirror මාලිමා වල කණ්ණාඩියේ පිහිටා තිබෙනු දැකිය හැක.

එලෙසම ඇතැම් Mirror මාලිමාහි කණ්ණාඩියේ පහලට වන්නට හිඩසක් පිහිටා තිබේ. එය ඔබට කණ්ණාඩියේ ඉර සමඟ ඉදිරිය බැලීම පහසු කරවයි.

බොහෝමයක් Mirror මාලිමා වල එකී පහල හිඩසත් සමඟ ඇති බෙසල් එක අතර බැලුවහොත් ලුමිනස් රේඛාවක් ලෙසට පිහිටා ඇති කුඩා ඉරක් දැක ගන්නට හැකි වේවි. (සමහර Brand වල නිකන්ම ඉරක් විය හැක.)

මෙකී ඉරි මඟින් (කණ්ණාඩියේ ඉර සහ ලුමිනස් රේඛාවෙන්) සිදු කරනුයේ Index Line එකේ කාර්යයමවේ.

එලෙසම කණ්ණාඩියේ ප්ලාස්ටික් කවරයේ ඉහල ත්‍රිකෝණයක ආකාරයේ හිඩසක්  පිහිටා ඇති අතර එහි පතුල නැතහොත් උල් කෙලවර අපට Index Line එක නැත්නම් Direction of Travel Arrow එක යනුවෙන් විස්තර කළ හැකියි.

Index line
Index Line
ත්‍රිකෝණයකින් පේනවා ඇති කොළ පාට රේඛාවේ මෙකී ලුමිනස් Index Line එක පිහිටා ඇත.

මතක තබා ගන්න. Mirror මාලිමාවේ කණ්නාඩිය අපට බෙසල් එකේ රූපය දර්ශනය කරමින් පහසුවෙන් කියවීම් ලබා දීම සිදු කරයි.

වැඩිදුරට නැවතත් කිව යුත්තේ මෙහි සඳහන් කළ ආකාරයට ඔබගේ මාලිමාවේ අදාල උපාංග සහ රේඛා පිහිටා නැති වුවද එහි තිබෙන Index Line එක නැත්නම් Travel Arrow එක කුමක්ද යන්න ඔබ තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවයි. 

මෙහි සඳහන් කළ පිහිටීම් විමසා ඒ හා සමාන ලක්ෂණ සොයා ගන්න. විවිධ මාලිමාවන්හි විවිධ ආකාරයට මෙකී Index Line එක නැතහොත්  Direction of Travel Arrow එක පිහිටා ඇත.

භාවිතයේ සාමාන්‍ය කරුණු

Hiking සහ Back-Country කෑම්පින් සඳහා බහුලව පාවිච්ච් කරන Base Plate සහ Mirror මාලිමා වර්ග 02ක සම්බන්ධව භාවිතයේදී අප සලකා බැලිය යුතු සාමාන්‍ය කරුණු කිහිපයක් ඇත. මෙහි විස්තර වන කරුණු සාමාන්‍ය කරුණු වුවත් මාලිමාව භාවිතයේදී ඔබ ආධුනිකයෙකු නම් සහ මෙහි විස්තර කරන සරල රේඛාවක ගමන අධ්‍යනය සඳහා මෙකී කාරණා ඉතා වැදගත්වේ.

එලෙසම ඔබ දැනට භාවිතා කරන මාලිමා වර්ගය වෙනස් කිරීමට සිතනවා නම් සහ  මාලිමාව භාවිතයේදී ඔබට නිවැරදි කියවීමක් ලැබෙන්නේ නැති නම් මේ කරුණු නිවැරදිව පිළිපදිනවාදැයි දෙවරක් සිතා බලන්න.

පහසුවෙන් ප්‍රවේශය.

ඔබගේ මාලිමාව සෑම විටම පහසුවෙන් ලබා ගත හැකි තැනක තබා ගන්න. Base Plate හෝ Mirror මාලිමාව යනු වැඩි බරක් හෝ ඉඩක් වැය වන උපකරණයක් නොවේ.

සාමාන්‍ය Mirror මාලිමාවක බර ග්‍රෑම් 100ක් පමණ විය හැකි අතර Base Plate මාලිමාව එයින් බාගයක පමණ බරක් විය හැකිය.

එකී අඩු බර බව සහ මාලිමාවේ පැතලි හැඩය හේතුවෙන් ඔබගේ Backpack එකේ පිටත ඉඩක හෝ ඔබගේම ඇඳුමේ සාක්කුවක මාලිමාව රඳවා තබා ගැනීම විශාල අපහසුවක් වන කාරණයක් නොවේ.

එලෙසම ඔබ හට මේ මඟින් ඉක්මනින් යා යුතු දිශාව තීරණය කිරීමට හැකියාව ලැබෙන නිසා ගමනට ගතවන කාලයද යම් වශයෙන් ඉතුරු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ලෝහ සහ විද්‍යුත් උපකරණ

මාලිමාව අසල ලෝහ සහ විද්‍යුත් උපකරණ භාවිතය අප අනිවාර්යෙන් සැලකිල්ලට ගත යුතු සුවිශේෂ කාරණයක්. අප විසින් මාලිමාව ඇසුරින් තීරණය කරනු ලබන කියවීම් ලෝහ සහ විද්‍යුත් උපකරණ මඟින් ඇති කරනු ලබන චුම්භක ආකර්ෂණ සහ විකර්ෂණ  හේතුවෙන් නිවැරදි නොවිය හැකියි.

මාලිමාව ක්‍රියා කරනු ලබන්නේ පෘතුවියේ චුම්බක ආකර්ෂණ බල ක්ෂේත්‍ර තුල වන අතර එකී චුම්බක ආකර්ශණ හෝ විකර්ෂණ බල මෙන් කුඩා බල ක්ෂේත්‍ර ලෝහ සහ විද්‍යුත් උපකරණ මඟින් එය පිහිටි ආසන්න පරිසරය තුල ඇති කරනු ලබයි. 

ඔබ විදේශගතවූ අයෙක් හෝ ගුවන් මඟියකු නම් ගුවන් යානයක් ගමන ආරම්භ කරන්නට පෙර විද්‍යුත් උපකරණ ක්‍රියා විරහිත කිරීමට නිවේදනය කිරීමට බලපාන හේතුව වන මෙකී සිද්ධිය ගැන දැනුවත් ඇති නේද?

විශාල දුරක් ලෝහමය සහ විද්‍යුත් උපකරණයන්ට ඔබ ඈතින් සිටිය යුතු බවට මෙයින් අදහස් කරන්නේ නැහැ. අවම වශයෙන් අඩි 2-3ක් ඈතින් තබා සිටීම ප්‍රමාණවත්වේ. කුඩා පෑනක්, කැමරාව, ඔබේ දුරකථනය සහ පිහිය වැනි දේ මෙකී බලපෑම ඇති නොවීමට ඈතින් තැබිය යුතු දේවල් වලට උදාහරණ ලෙසට හඳුන්වා දිය හැකියි.

මෙවැනි භාණ්ඩ නිවසේදී ඔබගේ මාලිමාව වෙතට කිට්ටු කර කොයි තරම් වෙනසක් චුම්භක උතුරට ඇති වෙනවද සහ වෙනස් නොවීමට අදාල දුර ගැන සොයා බලන්න.

පොළවට සමාන්තර

සෑම විටම අගයන් ගණනය කිරීමේදී අප මෙහි කතාබහ කරන මාලිමා වර්ග දෙකම පොලවට සමාන්තරව තබා සිටිය යුතුයි. නැත්නම් ඔබට ලැබෙන අගය තරමක් වෙනස් විය හැකියි.

එලෙසම Mirror මාලිමාව භාවිතා කරන්නේ නම් ඇස් මට්ටමට තුවක්කුවකින් ඉලක්කය ගන්නා ආකාරයට තබා ගන්න. එය ඔබට අගයන් කියවීම වඩාත් පහසු කරයි. Base Plate මාලිමාව ඊට වඩා (ඇස් මට්ටමට) තරමක් පහලින් තැබීම වඩාත් සුදුසුයි. කණ්නාඩියක් නොමැති බැවින් මේ පිහිටීම Index Line එක සහ Travel Arrow එක එක පෙලට බෙසල් එකේ අගය සමඟ දැකීම පහසු කරනු ලබනවා.

Matcha Green Tea by Purlisse

කණ්නාඩිය

Mirror මාලිමාවේ තිබෙන විශේෂම ලක්ෂණයක් ලෙසට පහසු කියවීම හඳුන්වා දිය හැකියි. එහි පිහිටි කණ්ණාඩියෙන් මේ පහසුව අපට ලැබේ. ඉහත කී පරිදි ඇස් මට්ටම ඉලක්ක කරගෙන කණ්නාඩිය අංශක 45ක කෝණයකින් තබා ගැනීම මඟින් කියවීම පැහැදිලිව කණ්ණාඩියේ දර්ශනය වීම පහසු කරනු ලබනවා.

ඔබ Hiking හෝ Back Country කෑම්පින් යෙදෙන විට හිසට හෝ ශරීරයේ නොපෙනෙන තැනක සිදුවූ අනතුරක් හෝ වෙනත් යම් උපද්‍රවයක් නිරික්ෂණයටද කණ්නාඩිය යොදා ගත හැකියි.

ඉලක්කය

බොහෝමයක් අවස්ථා වලදී අප යා යුතු ඉලක්ක (අවසාන) කරන දෙය අපට නොපෙනෙනවා විය හැකියි. එවැනි අවස්ථාවකදී කළ යුතු වැදගත්ම දෙය නම් අපට පෙනෙන ඒ දෙසට (අවසාන ඉලක්කය) තිබෙන දෙයක් ඉලක්ක කිරීමයි. (උදා: ඉලක්කය දිගට ඉදිරියේ තිබෙන ගසක්) මේ සඳහා වැදගත් වනුයේ ඉහත කී Index Line එක හෙවත් Travel Arrow එකයි.

එයට (පෙනෙන ඉලක්කයට) හරියටම කෙලින් ඉහත විස්තර කළ සියලුම සාමාන්‍ය භාවිතයේ අදාල වන කරුණු නිවැරදිව පිලිපැද මාලිමාවේ Index Line එකට එන අගය අප ගත යුතුයි.

සරල රේඛාවක් දිගේ යන්න අවශ්‍ය සියලුම පෙර සෝදිසි අපි මේ වෙනකොට කතාබහ කර අවසන් බැවින් ඊළඟ පියවර හෙවත් ඉහත කී අගය ගන්නා ආකාරය Hike කරන අපට ගැලපෙන ආකාරයට විමසා බලමු.

හිතන්න. ඔබ මේ වෙලාවේ සිටිනුයේ රාත්‍රිය ගත කරන්න තීරණය කරපු නවාතැන් පොලේ කියලා. කූඩාරම සවිකර ලෑස්ති වූ පසු රාත්‍රියේ ගිනි මැලයේ ගින්දරෙන් වැඩිදුර ආරක්ෂාව වෙනුවෙන් වතුර බාල්දියක් කූඩාරම අසල තබා ගන්න අවශ්‍ය වෙනවා. (බොහෝ රටවල ග්‍රීෂ්ම කාලයේ හදිසි ලැව් ගිනි ඇතිවීම වලක්වන්න කරන වැඩක්.)

ළඟ පාත වතුර පෙනෙන්නට නැහැ.

තරමක් උස් බිමක සිට බැලූ විට ඈතින් දිය සීරාවක් පෙනෙනවා. යා යුතු දිශාව නැතහොත් දිය සීරාව තිබෙන පැත්ත දැන් අප දන්නවා.

කුමක්ද අපි කල යුතු පළවෙනි දේ?

යා යුතු දිශාවට ඇති මාලිමාවේ අගය නැත්නම් දිශාංකය ගත යුතුයි කියා ඔබ සිතුවා නම් එය හරියටම හරි.

කොහොමද අප මේක කරන්නේ.. අප දන්නවා චුම්බක කටුවෙන් පෙන්නන්නේ උතුරු දිශාව කියලා. හරියටම කිව්වොත් චුම්බක උතුර. (චුම්බක උතුර ගැන වැඩිදුරටත් ඉදිරියේදී ඉගෙන ගන්නවා.)

මේ උතුර අප යන කුඩා දුර ඇතුලත බොහෝ විට වෙනස් වන්නේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් එකම දිශාවක් අපට චුම්භක කටුවෙන් පෙන්වනවා. එලෙසම අප සිතියමක් භාවිතා නොකරන නිසා උතුරු අතර වෙනස කියන ඉදිරි මාතෘකාව ගැන දැන්ම සිතා බැලිය යුතු නැහැ.

අප යා යුතු කෝණය සොයා ගැනීම සඳහා භාවිතා කරනුයේ මේ නොවෙනස් වන මාලිමාවෙන් පෙන්වන උතුරයි.

ඔබ දැන් කළ යුතුව තිබෙනුයේ ඉතාම සරල කටයුත්තක්.

අපි පියවරෙන් පියවර බලමු.

පළමුව අප යා යුතු දිශාවට ඉලක්කයක් ගත යුතුයි. දිය සීරාව පිහිටි දිශාවේම පිහිටා තිබෙන පහසුවෙන් පෙනෙන ගසක් ඒ සඳහා තෝරා ගන්න.

ඉන්පසු ඔබ දන්න ෂෙඩ් එක එහෙමත් නැත්නම් Orienting Arrow එක ඇතුලට උතුර පෙන්වන චුම්බක කටුව (Magnetic Needle) ගෙන ආ යුතුයි.

ඔබ මේ දේ කළ යුත්තේ බෙසල් එක කර කැවීම මඟින්. අමතක කරන්න එපා. මෙසේ සිදු කරන විට ඔබ ඉලක්කය වෙතට දිගටම ඉහත කී පරිදි මාලිමාව ඉලක්ක කරගෙන සිටිය යුතුයි.

Rotate the bezel
ෂෙඩ් එක ඇතුලට Needle එක එනතුරු කැමති පැත්තකට බෙසල් එක කැර කැවිය හැක.

ෂෙඩ් එක ඇතුලට චුම්භක කටුව(Needle) පැමිණි පසුව Base Plate මාලිමාවක් නම් අප බැලිය යුත්තේ Traveling Arrow එක දෙසට ඇති Index Line එක වෙතටයි. Mirror මාලිමාවක් නම් කණ්නාඩිය දෙසට ඇති Index Line එක දෙසටයි.

දැන් අපි මේ මාලිමාවේ Index Line එකේ ඇති දිශාංකය නැත්නම් කෝණයේ අගය ගත යුතු අතර එකී අගය දිය සීරාවට යා යුතු අගය වේ.

මේ කෝණයේ එක දිගටම අප ගමන් කරන්නේ නම් කොහෙත්ම අපට දිය සීරාව මඟ ඇරෙන්නේ නැත.

ඉහත මාලිමාවේ පින්තූරය සේම මේ පින්තූරයද බැලුවහොත් ඔබට පැහැදිලි වෙනවා ඇති මාලිමාවේ චුම්බක කටුව නැත්නම් Magnetic Needle එක ෂෙඩ් එක තුල නැත්නම් Orienting Arrow එක තුල ඇති බව. ෂෙඩ් එක බෙසල් එක කරකැවීම සමඟ වෙනස් වන අතර චුම්භක කටුව නොවෙනස්ව එකම දිශාව පෙන්වයි.

40 Azimuths
අංශක 40 හෙවත් Index Line එක කෙලින් ඇති අගය.

මාලිමාවේ කොටස් නැමති මාතෘකාවේ අප කතා කළ Put Needle in the Dog House, Red in the Shed කියන වාක්‍ය මඟින් විස්තර වන පිහිටීම ලෙසට මෙය හැඳින්විය හැකියි.

ඉංග්‍රීසි භාෂාවෙන් මේ සම්බන්ධව ඉගෙන ගතහොත් (වීඩියෝ නැරඹුවොත්) මේ ආකාරයේ විවිධ අනුවර්තන නම් සහ වාක්‍ය ඇසෙන්නට පුළුවන්. එකී හැම දෙයින්ම කියන්නේ ඉහත රූපයන්හි තිබෙන චුම්බක කටුවේ සහ ෂෙඩ් එකේ පිහිටීම ගැනයි.

ඔබ දකින්න ඇති පහත සහ ඉහත රූප 02කෙහිම Index Line එකේ සහ Travel Arrow එක දෙසට හරි කෙළින් දැක්වෙන අගය අංශක 40 බව.

එයින් අදහස් කරනු ලබන්නේ මේ මාලිමාවේ බෙසල් එක නැවත වෙනස් නොකර ෂෙඩ් එක තුල චුම්භක කටුව තිබෙන තුරු අප දිගටම ගමන් කළහොත් ආරම්භයේ සිට අප යන්නේ අංශක 40 අගය තිබෙන සරල රේඛාවක බවයි.

දැන් අපි බලමු නැවත පැමිණීම ගැන.

මෙය සොයා ගැනීම ඉතාම පහසුයි. අප නැවත පැමිණිය යුතු දිශාංකය නම් Index line එකට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් දැක්වෙන දිශාංකය හෙවත් අංශක 180ක වෙනසක් දැක්වෙන අගයයි. ඉහත උදාහරණයට අදාල රූපය අනුව 40ට ප්‍රතිවිරුද්ධ අගය අංශක 220 වේ.

නැවත එන විට අපි කළ යුත්තේ අංශක 220 අගය Index Line එකට දමා ගෙන Needle එක Orienting Arrow එකට නැත්නම් ෂෙඩ් එකට දමා ගැනීමයි. ඉන් පසු අපි Index Line එකේ හෝ Travelling Arrow එකේ පෙන්වන දිශාව(220) දිගටම පැමිණියහොත් නැවත පෙරලා සිටි තැනටම පහසුවෙන් පැමිණිය හැකියි.

Base plate compass
Index Line එකට ප්‍රතිවිරුද්ධ අගය බලන්න.
Logo
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *