මෙහි විස්තර කරන වෙනස අද දවසට අදාලව නිවැරදිව ඔබ සිටින ස්ථානයට දැන ගැනීමට මේ ලිපියේ සඳහන් කර ඇති වෙබ් පිටු බලන්න.

Hiking Navigation Skills (Sinhala)- Video 12

සිතියම් ගැන ඉගෙන ගැනීමේදී අතිශයින් වැදගත් මාතෘකාවක් වනුයේ උතුරු 03නේ වෙනසයි. මේ වෙනස නිසි පරිදි ගණනය නොකළහොත් ඔබ මාලිමාවක් භාවිතා කරන අවස්ථාවකදී සිතියමේ ගමන් කළ යුතු දිශාව වෙනස් වීමට පුළුවන්.

සිතියමක දැක්වනුයේ Grid North(GN) හෙවත් ජාල උතුරයි. ඒ නිසා මේ ලිපියේ අප කතා කරන්නේ GN සිට චුම්භක උතුරට (MN) ඇති වෙනස පිළිබඳවයි. සිතියමක් නොමැති අවස්ථාවේදී ඔබ නියම උතුර (TN) සොයන්නේ නම් TN සිට MN දක්වා ඇති වෙනස ගැන සලකන්න.

GN හෙවත් Grid North සිතියමක කළු කොටුවක් ලෙස පෙන්වා දී ඇත. 

සමහර සිතියම් වල True North(TN) එකද විස්තර කර ඇති අතර එය තරුවක් ලෙස දක්වා ඇත.

චුම්භක උතුර(MN) පෙන්වා ඇත්තේ ඊතලයක් ලෙසය.

ලෝක ගෝලය ඇපල් ගෙඩියක් ලෙස සිතුවහොත් ඔබට මේ වෙනස පැහැදිලිව පෙනෙනු ඇති. Hiking කරන අපි මේ සම්බන්ධ ගැඹුරින් අධ්‍යනයක් සිදු නොකළත් සරලව මේ සිද්ධාන්තය දැන සිටීම වැදගත්.

ඇපල් ගෙඩියේ මුදුනේ ඇති නැට්ට නියම උතුර(TN) හැටියට සිතන්න.

මේ ලිපිය ලියන අවස්ථාව වන විට චුම්භක උතුර(MN) පිහිටා ඇත්තේ කැනඩාවට අයත් ආක්ටික් ප්‍රදේශයට වන්නටයි. එය වසරකට 50Km – 60Km අතර ප්‍රමාණයකින් රුසියාවට අයත් ආක්ටික් ප්‍රදේශය දෙසට වෙනස් වෙමින් පවතිනවා.

දැනට ආසන්න වශයෙන් මේ වෙනස 500Km ක් පමණ වෙනවා. දැන් ඔබ කැමති පැත්තකට නැට්ටට (TN) අඟලක් පමණ ඈතින් ඇපල් ගෙඩියේ කටුවක් ගසන්න. එය චුම්භක උතුර(MN) දක්වයි.

ඔබ ඇපල් ගෙඩිය හරවමින් විවිධ දිශාවලින් ඇස් මට්ටමේ සිට මුදුන දෙස බැලූ විට මේ වෙනස පැහැදිලිව පෙනෙනු ඇත. එහෙත් එක් අවස්ථාවකදී ඔබ ගැසූ කටුව නිසා නැට්ට නොපෙනී යනු ඇති. මේ පිහිටීම ඇති පෝලිම 0 රේඛාව ලෙසට හඳුන්වනු ලබනවා. 

ඔබ සිතියමක 0 රේඛාවේ සිටින විට මාලිමාවේ පෙන්වන උතුර(MN) සහ නියම උතුර(TN) එකම වේ. එවන් අවස්ථාවකදී කිසිඳු ගණනය කිරීමක් හෝ මාලිමාව සැකසීමක් සිදු කළ යුතු නැත.

තවත් ආකාරයකට කිවහොත් ඔබට මාලිමාවේ පෙන්වන දිශාවම භාවිතා කර සිතියම භාවිතා කළ හැකිය.

2015 වර්ෂයේ පැවති වෙනසට අදාළ සිතියම.

සිතියමේ කොළ පාටට දැක්වෙනුයේ 0 රේඛාව වන අතර නිල් පාටින් බටහිර පැත්තට වෙනස් වීමද රතු පැහැයෙන් නැගෙනහිර පැත්තේ වෙනස් වීමද දැක්වේ. 

Hiking සඳහා වැදගත් කාරණයක් නොවුනද 0 රේඛාව තනි ඉරක් ලෙස පිහිටා නොමැති බව ඉහත සිතියම බැලූ විට ඔබට පෙනී යනු ඇත. මෙයට හේතුව පෘතුවියේ ධන ඍණ චුම්භක ශක්තීන් සහ බලපෑම්ය.

ඇපල් ගෙඩිය රවුමට කරකවන විට ඔබට MN කටුව විටක නැට්ටට දකුණු පැත්තට වන්නටත් විටෙක වම් පැත්තට වන්නටත් පෙනෙනු ඇත. ඔබ මේ දෙක අතර ඇති අංශක ගණන සකසා නිවැරදි කළ යුතු වන්නේ මේ පිහිටීම අනුවයි.

එසේ නොකළහොත් මාලිමාව භාවිතා කරන විට ඔබ නියම උතුරට නොව චුම්බක උතුරට ගමන් කරනු ඇත.

මේ පින්තූරය(A-1) බලන්න.

මෙහි සඳහන් ආකාරයට GN එකට අංශක10ක වෙනසක් බස්නාහිර දිශාවට වන්නට ඇත. තවත් විදිහකින් කිවහොත් චුම්භක උතුර(MN) එක පිහිටා ඇත්තේ ඇපල් ගෙඩියේ වම් පැත්තට ඔබ සිටින තැන සිට බැලූ විට අංශක 10ක කෝණයකින් වන්නටය.

W declination
A-1

චුම්භක උතුර(MN) යනු 0 අංශකයයි. මෙවැනි විටකදී GN අගය ගණනය කිරීමට ඔබ අංශක 10ක් එකතු කළ යුතුය.

අපි උදාහරණයක් ගෙන බලමු.

A-B Map

පින්තුරයේ දැක්වෙන පරිදි මෙවැනි වෙනසක් ඇති විටක සිතියම මත මාලිමාව යොදාගෙන බැලූ විට ඔබ ගමනාන්තයට යායුතු සරල රේඛාව අංශක 40 අගයක් යැයි සිතන්න. (සිතියම ප්‍රයෝගිකව භාවිතය ඊළඟට සඳහන් කරන අතර මේ පාඩමේ අරමුණ වෙනස ගණනය කිරීමයි)

ඔබ සිතියම මත තබා මාලිමාවෙන් මේ අගය ගත විට එකී අගය නිවැරදි නැත. මන්ද ඔබගේ මාලිමාවේ උතුර පෙන්නනුයේ සිතියමේ උතුරට(GN) අංශක 10ක් බටහිරට වෙන්නටය. (A-1 අනුව)

declination

දැන් ඔබ අංශක 40ට ඉහත වෙනස එකතු කළ යුතුය. එනම් ඔබ අංශක 50ක රේඛාවකින් ගමන් කළ යුතුය. 

compass

බටහිරට මේ වෙනසම ඇති අවස්ථාවකදී(අංශක 10ක්) මාලිමාවේ අගයක් සිතියම මත ලකුණු කරන්න අදහස් කරන්නේ නම් මෙම අගය අඩු කළ යුතුය. 

උදාහරණයක් ලෙස ඔබට ඔබගේ සිතියමේ කුඩාරම ඇති තැන පාරේ සිට ලකුණු කරන්නට අවශ්‍යවී ඇති විටක ඔබ මාලිමාව උපයෝගී කරගෙන ගණනය කළ අගය 72 යැයි සිතමු.  සිතියමේ, ඔබගේ කුඩාරම දක්වා රේඛාව ලකුණු කළ යුතු වන්නේ අංශක 62 අගයකිනි.

දෙවැනි පින්තූරය (A-2) බලන්න.

Magnetic declination
A-2

මෙහි සඳහන් ආකාරයට GN එකට අංශක10ක වෙනසක් නැගෙනහිර දිශාවට වන්නට ඇත. තවත් විදිහකින් කිවහොත් GN එක පිහිටා ඇත්තේ ඇපල් ගෙඩියේ දකුණු පැත්තට ඔබ සිටින තැන සිට බැලූ විට අංශක 10ක කෝණයකින් වන්නටය.

මෙවැනි විටකදී GN අගය ගණනය කිරීමට ඔබ අංශක 10ක් අඩු කළ යුතුය.

එලෙසම මාලිමාවේ අගයක් සිතියම මත ලකුණු කරන්න අදහස් කරන්නේ නම් ඔබ මාලිමාවේ දැක්වෙන අගයට වෙනස එකතු කළ යුතුය. 

අපි දැන් මේ වෙනස් ආකාර 04 දෙස නැවත කෙටියෙන් බලමු.

  1. බටහිරට වෙනස. සිතියමේ සිට මාලිමාව – එකතු කළ යුතුය.
  2. බටහිරට වෙනස. මාලිමාවේ සිට සිතියමට – අඩු කළ යුතුය.
  3. නැගෙනහිරට වෙනස. සිතියමේ සිට මාලිමාව – අඩු කළ යුතුය.
  4.  නැගෙනහිරට වෙනස. මාලිමාවේ සිට සිතියමට – එකතු කළ යුතුය.

චුම්භක උතුරේ වෙනස්වීම හෙවත් Magnetic Declination අගය ඔබ සිටින තැනට සාපේක්ෂව සොයා ගත යුතුය. එලෙසම මේ අගය කාලය සමඟ වෙනස් වන බව මතක තබා ගන්න.  

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල මේ වෙනස බස්නාහිර පැත්තට (මේ ලිපිය ලියන 2021) අංශක 2ක් පමණ වේ. කුඩා රටක් බැවින් කුඩා වෙනසක් පමණක් රට තුල සංචාරය කරන විට දක්නට ලැබේ.

බොහොමයක් අවස්ථාවලදී මෙය නොසලකා හැරිය හැකි වෙනසක් වුවද මීට පෙර වීඩියෝවේ සඳහන් කළ ආකාරයට කුඩා ඉලක්ක (ඔබගේ කුඩාරම පිහිටි තැන වැනි) සොයා ගැනීමේදී මේ වෙනස ගැන අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුය.

මේ වෙනස බොහෝ සිතියම්හි පැහැදිලිව දක්වා ඇත. සිතියමේ TN වෙනස සමඟ GN වෙනසද දක්වා ඇත්නම් TN සහ GN අතර වෙනස Hiking කරන ඔබට බොහෝ විට නොසලකා හැරිය හැක.

සිතියම සමඟ ඔබට ගණනය සඳහා අවශ්‍ය වනුයේ MN සිට GN දක්වා ඇති වෙනසයි. සිතියමේ වර්ෂය පිළිබඳවද සැලකිලිමත් වන්න. සමහර සිතියම් වල වසරින් වසර වෙනස් වීමේ අංශක ගණනද සඳහන් කර ඇත.

උදාහරණයක් වශයෙන් වාර්ෂිකව අංශක 0.2ක් වෙනස් වේ නම් සිතියමේ සඳහන් වර්ෂයේ සිට අද දක්වා කාල සීමාවට වෙනස ගණනය කළ යුතුය.

මෙලෙස කරදර නොවී මේ වෙනස සොයා ගත හැකි පහසුම ක්‍රමය නම් අන්තර්ජාලයවේ. 

ඔබේ පිහිටීම හරියටම දන්නේ නම් මේ කැනේඩියානු රජයේ වෙබ් පිටුව භාවිතා කර වෙනස සොයන්න.

https://www.geomag.nrcan.gc.ca/calc/mdcal-en.php

පිහිටීම ආසන්න වශයෙන් දන්නේ නම් මේ වෙබ් පිටුව භාවිතය වඩාත් පහසු වේ.

https://www.magnetic-declination.com/

මෙලෙස ගණනය කිරීමෙන් තොරව මාලිමාවේ සිදු කරන කුඩා වෙනසක් මඟින් ඔබට Magnetic Declination එක කෙලින්ම සාදා ගෙන සිතියම සමඟ භාවිතා කළ හැකිය. මෙවැනි පහසුකම් ඇති මාලිමා ඇති අතර ඔබ මාලිමාවක් මිලදී ගැනීමේදී ඒ හැකියාව පිළිබඳව සැලකිලිමත් වන්න.

මේ පින්තූරයේ දැක්වෙන මාලිමාව එවැනි හැකියාවක් ඇති බේස් ප්ලේට් Mirror මාලිමාවකි. මේ මාලිමාවේ බෙසල් එක ඇතුලේ යට බලන්න. Orienting Arrow එක හෙවත් ෂෙඩ් එකේ රතු පැහැති ඊතලයට විරුද්ධ පැත්ත කළු පාටට ඇති අතර ඒ කොටසේ හරියටම මැද තවත් කුඩා කළු ඉරක් (01) දක්නට ඇත.

 

declination parts

මේ කළු ඉර අංශක 180 හෙවත් S අකුර(දකුණ) කෙලින් ඇත්නම් එහි අදහස මාලිමාවෙහි වෙනසක් සිදු කර නැති බවයි. මෙවන් හැකියාවක් නොමැති මාලිමාවක වුවද ෂෙඩ් එක 0 හෝ 360 අගයට කෙලින් හෙවත් N(උතුරු) සලකුණ කෙලින් ඇත්නම් එයින්ද අදහස් වන්නේ මෙම කාරණයම වේ. 

බෙසල් එක ඇතුලේ අංශක 90 දක්වා වමට හෝ දකුණට වෙනස් (02) කළ හැකිය. 

නැගෙනහිරට ඇති වෙනසකදී(Easterly Declination) මේ රූපයේ පරිදි වම් පැත්තටද (04) බස්නාහිරට ඇති වෙනසකදී(Westerly Declination) දකුණු පැත්තටද (03) කළු ඉර අදාළ අංශකයට වෙනස් කළ යුතුය.

මෙලෙස වෙනස් කිරීම සඳහා කුඩා ඇණයක්(05) මේ රූපයේ දැක්වෙන පරිදි ඉදිරිපස හෝ ඇතැම් මාලිමා වර්ග වල පිටුපස පිහිටා ඇත.

Declination Adjustment

ඉහත පින්තුරය බලන්න. එය නැගෙනහිර දිශාවට අංශක 10ක වෙනසකින් චුම්භක උතුර පිහිටා ඇති අවස්ථාවක මාලිමාව වෙනස් කළ පසු දැක්වෙන ආකාරයයි.

ප්‍රදේශයට අදාළ වන පරිදි මෙවැනි වෙනස් කිරීමක් මාලිමාවේ කළ පසුව නැවත ඔබ ගණනය කිරීම් කළ යුතු නැත. Index Line එක හෙවත් Travel Arrow එකේ දැක්වෙනුයේ ඔබ ගමන් කල යුතු කෝණය මෙන්ම සිතියමේ නිවැරදි අගයයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *