“රුසිරු…”
විවිධ ආකාරයේ ඡායාවන් කිහිපයක් බොඳවී අපැහැදිලිව පෙනේ. නොනැවතී නාද වන බීප් හඬ ඇසෙන්නේ යම් විද්‍යුත් උපකරණයකින් විය යුතුය.
“රුසිරු, රුසිරු. ඔයාට මාව ඇහෙනවද?”
“කවුද මේ? මම කොහෙද ඉන්නේ?”
අපහසුවෙන් නිදා සිටි තැනින් නැගිටින්නට උත්සහ දරමින් රුසිරි විමසා සිටියේය.
“දැන්ම නැගිටින්න එපා. ඔයාට ඔයා ඉන්නේ ඉස්පිරිතාලේ ඇඳක. සිහිය නැතුව තිබිලා දැන් ආවා විතරයි. ඉන්න මම ඔයාගේ යාළුවන්ට කතා කරන්නම්.”
නවලෝක රෝහල
කට හඬ ඇසුණු දෙසට නෙත් යොමා බැලූ රුසිරුට සුදු ඇඳුමකින් සැරසුණු කාන්තාවක් සෙමින් සෙමින් ඈතට ඇවිදි ගොස් ඉදිරිපස පිහිටි දොරකින් පිටත්ව යනු අයුරු අපැහැදිලිව පෙනී ගියේය. තරමක වේදනා ගෙන දෙන කැක්කුමක් හිසෙන් දැනෙන අතර එය රෙදි පටියක් වැනි දෙයකින් වෙලා ඇති සෙයක් දැනේ. අතට සහ පපුවට යම් කිසි වයර කිහිපයක් හෝ නාලයක් සවි කර ඇත. නොනැවතී ඇසෙන බීප් හඬ එකී වයර සවි කර ඇති උපකරණයෙන් විය යුතුය.
මෙලෙස රෝහල් ගත වන්නට තමා හට කුමක් සිදු වූයේද යන්න කල්පනා කළද මතකය අවදි වීමක් සිදු නොවේ. අවසාන වතාවට බටු ගුහාවේ නැතිනම් මැලේසියාවේ සිටි බව නම් හොඳින් මතකය. මැලේසියාවේ රෝහලක කොහෙද සිංහලෙන් කතා කරන නර්ස් කෙනෙක්?
කෙමෙන් කෙමෙන් සිය දෑස බැඳි අපැහැදිලිත්වය හෙවත් ඉදිරිය පැහැදිලිව නොපෙනෙන වලාකුළු වැනි ස්වභාවය අඩු වන බවක් රුසිරුට දැනේ. කාමරයේ දොර විවෘත විය.
“රුසිරු කොහොමද උඹට?”
“යස්වන්ත?”
“ඔව්. මම තමයි. අඳුර ගත්තා නේද?”
“උඹව අඳුරගන්න ඇයි මට බැරි? මම මැරිලා ඉපදුනේ නැහැනේ. කොහෙද මේ ඉන්නේ? මට මොකක්ද උනේ කියහන්. ඒවා නම් මට මතක නැහැ.”
“ඒක දිග කතාවක්. දැන් පොඩ්ඩක් ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව සනීප වෙන්න බලහන්.”
“මට හොඳටම සනීපයි. කෝ රීටා? මොකක්ද උනේ කියහන්කෝ.”
රුසිරු ඇඳෙහි ඉඳ ගැනීමට අපහසුවෙන් උත්සහ කරන අතරතුර යස්වන්ත එයට සහයෝගය දැක්විය.
“අපි දැන් ඉන්නේ කොළඹ. රීටා මෙහෙ ඉන්නවා. පොඩ්ඩක් එලියට ගියා. තව ටිකකින් මෙතැනට එයි. මම මේ දැන් උඹේ සිහිය ආවා කියලා පණිවිඩේ කිව්වා. ගිය දවස් ටිකේම රීටයි සුජීයි තමයි මාරුවෙන් මාරුවට මේ ඉස්පිරිතාලේ කාමරේ හිටියේ. මම ලංකාවට ආවේ අද උදේ.”
“දවස් ටිකේ කියන්නේ කොච්චර කාලයක්ද?”
“මැලේසියාවෙන් උඹලා ඇවිල්ලා අදට දවස් තුනක් වෙනවා.”
“දවස් තුනක්?”
“ඔව්.”
“මම දිගටම මේ වගේ සිහිය නැතුවද හිටියේ?”
“අපෝ නැහැ. මම කියන්නේ ලංකාවට එද්දී සිහිය තිබ්බා. ඒත් බටු ගුහාවල වෙච්ච දෙයින් පස්සේ උඹ හිටියේ හරි හමන් සිහියක නෙවෙයි.”
“බටු ගුහා වල?”
“උඹට මුකුත්ම මතක නැද්ද?”
“මට මතකයි උන් දෙන්නා වෙඩි තියනවා. රීටාව අල්ලගන්නවා.”
“එච්චරද මතක?”
“ඔව්. එච්චරයි.”
“හ්ම්. ඊට පස්සේ එතන ලොකු සිද්ධියක් උනා.”
“නලවන්නේ නැතුව කියහන්කෝ. මට මොකක්ද උනේ කියලා.”
“ඉස්සෙලාම උඹ සනීප වෙලා හිටහන්. ඊට පස්සේ අපි ඒ ගැන විස්තර කතා කරමු. සුජීටත් ලොකු කතාවක් කියන්න තියෙනවා කිව්වා.”
“සුජීට?”
“ඔව්.”
“මට දැන් හොඳටම සනීපයි. මේ පොඩි ඔළුවේ කැක්කුමක් ඇරෙන්න. වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ.”
යස්වන්ත කට කොනකින් සිනහසෙන අතරතුර කාමරයේ දොර හැර ගෙන ඇතුළු වූයේ රීටා සහ සුජී දෙපලයි.
“මේ ඉන්නේ අපේ වීරයා”
සුජී කියා සිටියේ වෙනදා මෙන්ම වෙනසක් නොමැති සුපුරුදු ප්‍රාණවත් ස්වරයෙන්ය.
“වීරයා නෙවෙයි කුමාරයා. වීරකම බලන්න තිබ්බා මඟ දිගට මට කියපු දේවලුත් එක්ක.”
නෝක්කාඩුවෙන් මෙන්ම සුජී සහ යස්වන්ත සමඟ එකතුව මහ හඬින් සිනහ සෙමින් රීටා පවසා සිටියදී කේන්ති ස්වරයෙන් රුසිරු නැවතත් ඇයව ඇමතීය.
“හංගන්නේ නැතුව මට හැමදේම ඉක්මනට කියන්න.”
රුසිරුගේ නොඉවසිල්ල සහ කුතුහලය සීමාව පිට පනිමින් තිබුණි.
“රුසිරුට මතකද හොරු දෙන්නා මාව අල්ල ගත්තා?”
රීටා සිනහව පාලනය කර ගනිමින් කියා සිටියාය.
“ඔව් මට හොඳට මතකයි. ඊට පස්සේ මොකක්ද උනේ?”
“ඊට පස්සේ එතනට එක පාරටම ක්වාලාලම්පුර් පොලිසියෙන් කඩා ගෙන පැන්නා. හොරු දෙන්නා එතැනම මාව දාලා පැනලා දිව්වා. මම ඔයාට මොකද උනේ කියලා හොයලා බලන කොට ඔයා බිම වැටිලා. සිහිය නම් තිබ්බා. ඒත් කථා කළේ විකාර දේවල්.”
“විකාර දේවල්?”
“ඔව්. අපි දෙන්නා කසාද බඳින හැටි. වෙන වෙන ඕනේ නැති දේවල් ගොඩක්. හැබැයි හොඳම දේවල් කථා කළේ ලංකාවට ෆ්ලයිට් එකේ එද්දී. ඒවා පස්සේ කියන්නම්. තව ඕනෙද අහගන්න?”
රීටා සිනහසෙමින් විමසන විට රුසිරු යස්වන්ත දෙස බැලුවේ ගුරුතුමෙකුගෙන් දඬුවම් ලැබූ පාසැල් සිසුවෙකු ලැජ්ජාවට ඉවත බලන්නා සේය.
“පිටිපස්සෙන් මොකක් හරි වැදුනා වගේ කියලා මට පොඩි මතකයක කොණක් තියෙනවා. ඒත් මට හරියටම ෂුවර් නැහැ. ඒක නිකන් හරියට හීනයක් වගේ.”
“පිටි පස්සෙන් මොකක් හරි වැදුනා කියලා? ඔයාට හොඳටම විශ්වාසද?”
රීටා නැවත විමසා සිටියාය.
“ඔව් රීටා. මට සෑහෙන්න විශ්වාසයි. ඇයි?”
“ඒ කියන්නේ මම හිතපු විදිහ වැරදියි.”
“ඔයා හිතපු විදිහ?”
“ඔව්. මම හිතුවේ ඔයා දේවාලේ වහලෙන් ඇද ගෙන වැටුණා කියලා.”
“අපෝ නැහැ. ඒක නම් මට හොඳටම මතකයි. මම වහලෙන් බැහැලා ඔයා ඉන්න පැත්තට ඇවිදගෙන ආවා කියලා මේ දැන් වගේ මතකයි.”
“එහෙනම් යස්වන්ත කියපු දේ හරි නේද?”
“යස්වන්ත කියපු දේ?”
“වෙඩි සද්ද ඇහුණ ගමන් මම උඩට දුවගෙන ආවා. ඒ එන ගමන් මම දැක්කා අනිත් ඔක්කොම මිනිස්සු පල්ලෙහාට පිස්සුවෙන් වගේ දුවගෙන එද්දී එක මනුස්සයෙක් විතරක් මැද පඩිපෙලේ ඉඳන් පොරකාලා පඩිපෙළේ අයිනට ගිහින් කාවඩි නටන්න ගන්න ලී රවුමක් වගේ එකක උඩ කෑල්ල කැලෑවට විසි කළා. ඒක එතැන හිටපු වඳුරෝ උස්සන් ගියා”
“මම ඒ වෙලාවේ වැඩිය දුරට හිතුවේ නැහැ. ඒත් පස්සේ ඇයි මේ මිනිහා කලබල අස්සේ එහෙම කළේ කියලා මම කල්පනා කරලා බැලුවා. ඒ වගේම උඹ වැටිලා හිටිය තැන බිම පොඩි ලී කෑල්ලක් තිබ්බා. දැන් තමයි හිතෙන්නේ ඒක අර මනුස්සයා විසි කරපු කාවඩි නටන එකෙන් කඩා ගත්ත කෑල්ලක් වෙන්න ඕනේ කියලා. අනික එතන තිබ්බ ලොකු කලබලේ එක්කයි, උඹ වැටිලා හිටපු විදිහයි එක්ක මට ලොකු දෙයක් බලන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ලී කෑල්ල හොඳටම මතක උඹව උස්සදී ඒක මගේ කකුලේ පැටලිලා වැටෙන්න ගිය නිසා.”
“ඊට පස්සේ මොකක්ද උනේ?”
“ඊට පස්සේ තවත් දේවල් ගොඩක් උනා. මට ඊට කලින් කියන්න අමතක උනා. මේ පහු කරන් ගිය මනුස්සයා අනිත් කාවඩි නටන අය වගේ උඩ කමිසෙ ගලවලා හිටියේ නැහැ. ඒකත් මගේ ඔලුවට පස්සේ සැකයක් එන්න හේතුවක්. ඇඳ ගෙන හිටියේ ඔෆිස් එකක වැඩ කරනවා වගේ ඇඳුම්.”
“ඉතින් ඕක ගැන පොලිසියට කියලා කවුද ඒ කෙනා කියලා හෙවුවේ නැද්ද?”
රුසිරු විමසා සිටියේ විස්තර නොදැන අතරමන්වූ ස්වරුපයකිනි.
“ඉඳහන්කෝ ඉවසලා. කතාව ඔක්කොම කියනකන්.”
යස්වන්ත රුසිරු මොහොතකට අස්වැසීය.
“මම උඹව අරන් පල්ලෙහට ආවා. ඇම්බියුලන්ස් ගොඩක් ඇවිල්ලා තිබ්බා. එතැන හිටපු කෙනෙක්ට උඹව බලන්න බාර දීලා මම රීටාව හොයන්න ගියා. රීටා පොලිසියත් එක්ක හිටියා. කිසි අවුලක් වෙලා තිබුණේ නැහැ. අප්‍රිකානුවා පොලිසියෙන් අල්ලලා කාර් එකකට දා ගන්නවා මම දැක්කා.”
“ඊජිප්තු පොලිස් කාරයා?”
“ඒ මනුස්සයා නම් දැක්කේ නැහැ.”
“රීටාට අවුලක් උනේ නැහැ නේද? මට සමා වෙන්න ඔයාව මරු කටට යැවුවට.”
රුසිරු රීටා දෙස බලමින් අනුකම්පා සහගතව සමාව ඉල්ලා සිටියේය.
“මටද? මට ලොකුම අවුල උනේ පොලීසියෙන් මාව බේර ගත්තට පස්සේ.”
රුසිරු හැර සියලු දෙනාම නැවතත් මහ හඬින් සිනාසෙන්නට විය.
“ඇයි? මේ තරම් හිනා වෙන්න මොකක්ද උනේ රීටා?”
“යස්වන්ත කියාගෙන ආපු කතාවේ ඉතුරු ටික මම කියන්නම්. “
රීටා ඇයව රුසිරුට පැහැදිලිව පෙනෙන සේ ඇඳ ඉදිරියට පැමිණියාය.
“යස්වන්ත මාව හොයා ගෙන ආවට පස්සේ අපි දෙන්නා ඔයා වාහනේ නතර කරපු තැනට ගියා. මොකද ඒ වෙලාවේ ඇම්බියුලන්ස් එකේ හිටපු අය අපිට ඔයා ළඟට බලන්න එන්න ඉඩ දුන්නේ නැහැ. කරන්න දෙයකුත් නැති නිසා අපි වාහනේ බලන්න ගියේ. යද්දී ඒක එතන තිබුණේ නැහැ.”
“තිබුණේ නැහැ. ඒකටද හිනා ගියේ?”
“ටිකක් ඉවසලා ඉන්නකෝ රුසිරු. ඔක්කොම කියන්නම්. ප්‍රශ්න අහලා කරදර කරන්න එපා.”
රීටා බොරු නෝක්කාඩුවෙන් සිනහ මුසුව පවසා සිටියාය.
“ඊට පස්සේ අපි ආපහු ආවා ඔයා ඉන්න තැනට යතුර අර ගන්න. එතකොට අපිට යතුරෙ තියන එලාම් එක ඔබලා නතර කරපු තැන හොයා ගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා. මට ඔයා වාහනේ නතර කරපු තැන අමතක වෙලා කියලා තමයි අපි හිතුවේ, නැත්නම් ඔයා වෙන තැනක පස්සේ ගිහින් පාර්ක් කරන්න ඇති කියලා. අපි එනකොට ඔයාට සිහිය ඇවිල්ලා.”
“දැන් තමයි නාට්‍යයේ හොඳම හරිය පටන් ගන්නේ.”
යස්වන්ත රීටාට බාධා කර සිටියේ රුසිරු හට ඇසින් ඉඟි කර ඉවත බලන අතරතුරය.
“දැන් මැදට පනින්නේ නැතුව ඉන්නවා යස්වන්ත. මම කියලා ඉවර කරන්නම්. ඔයා මගෙන්.ඔයා..”
රීටා ගොත ගසන්නට වූවාය.
“කොහෙද. මම කියාගෙන ආපු එක ඉවර කරන්න දුන්නේ නැහැනේ. මේ බූරුවා. දැන් ඉතින් ඔයාම කියන්න. මට බැහැ..”
රීටා ලජ්ජාවෙන් කියා සිටියේ යස්වන්ත ඉදිරියට තල්ලු කරමින්ය.
“හොඳයි කුමරියනි.”
යස්වන්ත සිනහ සෙමින් රුසිරු දෙස බලා කතාව නැවත ආරම්භ කළේ රාජකීයන් ඉදිරිපිට එක් දනිස්සක් නමා වැටී කෙටි ආචාරයක් කරන්නා සේ රීටාගෙන් අවසර ලබා ගෙනය.
“අපි ඉතින් මේකට හිනා උනාට හිනා වෙන්න හොඳ දෙයකුත් නෙවෙයි. රුසිරුට සිහිය ඇවිත් තිබ්බා. මමයි රීටායි ඉස්සරහට එද්දී රුසිරු අපිව අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරලා හොඳට අඳුර ගත්තා. හැබැයි සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට. ඔයා රීටාට කිව්වේ මාගේ කුමාරිකාව කියලා. පරණ ශේක්ෂ්පියර් නාට්‍යයක් වගේ කෑ ගහගෙන අපි දෙන්නා ඉස්සරහට ආවා. අර අතේ ගහලා තිබ්බ ප්‍රෙෂර් එක මනින උපකරණෙත් බිම දිගේ ඇද ගෙන.”
“ඇවිල්ලා දණ ගහගෙන ලොකු කතන්දරයක් කිව්වා. ඒක කියපු විදිහට වටේ හිටපු මිනිස්සුත් හොල්මන් වෙලා යන්න ඇති. සමහරු අත්පුඩි ගැහුවා. සිංහල නිසා මට නම් පොඩ්ඩක්වත් තේරුණේ නැහැ. හැබැයි රීටා මට පස්සේ කතාව පරිවර්තනය කළා. මොනවා උනත් වෙලාවට ඒ කතාව සිංහලෙන් කිව්වේ.”
“සිංහලෙන් කියපු හින්දා හොඳයි.”
රුසිරු පිළිතුරු වශයෙන් කියා සිටියේ ලජ්ජාවෙනි.
“සිංහලෙන් කිව්වත් මැලේසියාවේ භාෂාවෙන් කිව්වත් ඔක්කොම දැනගත්තා මේ අසනීපකාරයා කරන්නේ විවාහ යෝජනාවක් කියලා. ඒකනේ කට්ටිය අත්පුඩි ගැහුවේ.”
යස්වන්ත සිනහසෙන අතරතුර රීටා සිංහලෙන් තම හඬ පිරිමි ස්වරයකින් අවදි කළේ ඇඳ ඉදිරිපිට දණින් වැටී සිට රුසිරු දෙස බලා අත් ඉහලට ඔසවා ගෙනය.
“මාගේ ප්‍රිය කුමාරිකාව, මෙහි සිටින සතුරන් විසින් මා අතපය බැඳ දමා විලංගුවේ දැමුවත් ඔබ අත මා අත් නොහරමි. මාගේ දෑත ගන්න. මධුසමය ගතකරන්නට මාගේ මාලිගයේ යහන් ගැබ….”
“ඇති ඇති.”
රුසිරු බාධා කළේය.
සියලුදෙනාම නැවත මහ හඬින් සිනහ විය.
“යස්වන්ත දිහා බලලා ඔයා එයාට කිව්වේ මහා කළු සිංහලයා කියලා. ඒත් එංගලන්තේ බුද්ධි අංශෙ වැඩ කරන ඉන්දියානු මහ කළු සිංහලයාට බැරි උනා ඔයාට ගහපු සතුරු සේනාව අල්ල ගන්න.”
“මේ කට්ටිය රුසිරු උඩකින් වැටුණා කියන කොටත් මම පස්සේ ගිහින් මැලේසියාවේ පොලිසියට මට හිතුන දේ ගැන ඔත්තුව දුන්නානේ. හැබැයි ඒකෙන් ගැහුවේ කවුද කියලා හොයා ගන්න බැරි උනාට වාහනේට වෙච්ච දේ නම් හොයා ගත්තා.”
“වාහනේට?”
“ඔව්. රුසිරුට මොන වාහන සිහියක්ද? ඒ වෙලාවේ කිය කිය හිටියේ අශ්ව කරත්තෙයි, ඔයාගේ දඬු මොණරයි ගැන. දෙවියනේ ලංකාවට එනකන් මට ප්ලේන් එකේදී දීපු වධයක්.”
“සමාවෙන්න ඉතින්. හිතලා සිහියෙන් කළේ නැහැනේ..”
රුසිරු සෙමින් සෙමින් පාදයක් එලියට ගෙන ඇඳෙන් නැගිට සිටීමට උත්සහ කළේය.
“පොඩ්ඩක් ඔහොම හිටහන් ඉඳගෙන අඩුම ගානේ මගේ කතාව ඉවර කරනකන්වත්.”
යස්වන්ත නැවත කතාව ආරම්භ කළේය.
“මම පඩි පෙලේදී දැක්ක සැක සහිත දේ ගැනයි ඒ පුද්ගලයා කරපු දේ ගැනයි මම ගිහින් පොලිසියට කිව්වා. මමයි පොලිසියයි එකතු වෙලා පඩිපෙළ හරියේ තිබ්බ සීසීටීවී කැමරා හොයලා බැලුවා. ඒ මනුස්සයා ඇත්තටම මොකද කරන්නේ කියලා බලන්න. ලංකාවට එන්න පරක්කු උනේ ඒ පරීක්ෂණ වලට උදවු වෙන්න හිටපු නිසා.”
“මොනවද දැක්කේ?”
“ඒ මනුස්සයා තමයි රුසිරුගේ වාහනේ අරගෙන එලව ගෙන යන්නේ?”
“මම ආපු SUV එක?”
“ඔව් ඒක තමයි. අපි මුලින් හිතුවේ ඔයාගේ යතුරු හොරකම් කරලා කියලා. එහෙම කරලත් නැහැ. ඔයාගේ යතුර සාක්කුවේම තිබ්බා කියලා ඇම්බියුලන්ස් එකේ අය අපිට කිව්වා. SUV එක එයා ළඟ තිබ්බ යතුරකින් කඩන්නේ නැතුව අරිනවා. ඊට පස්සේ එයා එලවාගෙන යන්නේ ලංකාවේ එම්බසි එකට.”
“ලංකාවේ එම්බසි එකට?”
“ඔව් රුසිරු. තානාපති බලතල නිසා ඒ පරීක්ෂණේ අපිට ඊට වඩා ඉස්සරහට ගෙනියන්න බැහැ කියලා ක්වලාලම්පූර් පොලිසියෙන් කිව්වා. ඒක හින්දා එතනින් එහාට දෙයක් ගැන විස්තර අපිට දැන ගන්න බැරි උනා.”
“මට හම්බ උන පළවෙනි ස්ථූප උපකරණය තිබ්බේ වාහනේ. අනිත් ගත්ත එක මගේ සාක්කුවේ. ඒත් මේ ඇඳුම් නෙවෙයි මම ඇඳ ගෙන හිටියේ. එහෙම නේද?”
“මට රීටාට ඔයාගේ ඇඳුම් බලන්න කියලා කිව්වා. ඒත් ඔයාගේ සාක්කු බලනකොට වාහනේ යතුර ඇරෙන්න කිසිම ස්ථූප උපකරණයක් නම් අහු වුණේ නැහැ.”
“ඒ කියන්නේ එම්බසි එකට ගිය මනුස්සයා ගන්න ඇති.”
“මම හිතුවා. ඒත් අපි කළෙත් හොරකමක් නිසා ඒක පොලිසියට කියන්නේ කොහොමද? යතුර නැති වෙලා නම් කියන්න තිබ්බා. ඒ වගේම මම ඒක පස්සේ වැඩිපුර පැන්නුවේ නැත්තේ රුසිරු වහලෙට නගින ඒවා දකියි කියලා. මම නම් හිතන්නේ මේ මනුස්සයා හිතලමයි යතුර අරන් නැත්තේ.”
“ඒක වෙන්න පුළුවන්. මම ලංකාවට ඇවිල්ලා මේ ඉස්පිරිතාලෙට ආවේ කොහොමද? මට සිහිය දැන් හොඳට තියනවනේ.”
“මීට වඩා සිහිය තිබ්බා. දඬු මොණරෙන් ඇවිල්ලා මීගමු රාජධානියේ සිරි අසිරිය බලාගෙන අශ්වරියෙන් නගර සංචාරය කරද්දි.”
“මොකක්?”
“නැහැ නැහැ. අපි ලංකාවට ඇවිල්ලා කටුනායකින් බැහැලා. ටැක්සියෙන් මීගමුවේ හෝටලේට යද්දී ඔයා කියපු දේ. මම ඉතින් ටිකක් වැඩි කරලත් එක්ක කිව්වේ.”
රීටා නැවතත් සිනහ විය.
දැන් මුළු CAG එකම දැන ගන්නවා. මට වෙච්ච දේවල්. “
රුසිරු කියා සිටියේ සුජී දෙස බලමින් සිනහ සෙමිනි.
රුසිරු හැරුණු කොට අන් අයගේ සිනහ හඬ මොහොතකට නතර විය. සුජී ඇඳ පත්ත ඉදිරියට පැමිණියාය.
“CAG එකක් නැහැ රුසිරු.”
“CAG එකක් නැහැ. මොකක්ද ඒකෙ තේරුම?”
“පොඩ්ඩක් ඉන්න රුසිරු අපි ඒ විස්තර ඔක්කොම කියන්නම්. ඊට කලින් අපිට කියන්න ඔයා ලංකාවට ආවට පස්සේ සිද්ධ උන මොනවා හරි මතකද?”
“නැහැ. මට කිසිම මතකයක් නැහැ. ඉස්සරහට මොනවා හරි මතක් උනොත් මම කියන්නම්. මට ගහන කෙනා දැක්කේ නැද්ද?”
“උඹ වැටිලා හිටිය තැන කැමරා නැහැ. ඒ හින්දා මම කියපු දේ කවුරුත් පිළිගත්තේ නැහැ. ඔක්කොම කිව්වේ උසකින් වැටිලා කියලා.”
“මොකක්ද මේ CAG කතාව?”
“අපි දෙන්නා ෆ්ලයිට් එකට නගින්න ඉස්සෙල්ලා සුජී මට කෝල් එකක් දීලා කිව්වා ඔයාව අස් කළා කියලා.”
“මාව අස් කළා?”
“ඔව් රුසිරු. ඒ ගැන ඔයාට වහාම දැනුම් දෙන්න කියලා ලේකම්තුමා මට ලියුමක් දුන්නා. ඒකට අත්සන් කරලා තිබ්බේ ඉහලින්ම.”
“ඉහලින්ම.”
“ඔව්.”
“අපි මේ දේවල් ඔයාට කියන්න උත්සහ කළේ නැහැ. ඔය හිටපු තත්වෙත් එක්ක ලංකාවට ඇවිත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න තමයි අපි ප්ලෑන් කළේ.”
“ඔව් ඉතින් කිව්වත් මට තේරෙන එකක් නැහැ නේද කුමරිය?”
රුසිරු නැවතත් ඇඳෙන් නැගිටීමට උත්සහ කරමින් කියා සිටියේය.
“ඒක ඇත්ත කුමරුනි. අනිත් දවසේ හම්බ වෙන්න කියලා ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරලා මීගමුවේ ජෙට්වින්ග් හොටේල් එකේ තමයි අපි හිටියේ. ඒ වෙලාවේ සිද්ධ වෙලා තිබ්බ දේවල් එක්ක රුසිරුගේ ගෙදරටවත් වැඩි විස්තර කියන්න බයෙන් හිටියේ.”
“ඉතින් ඊට පස්සේ?”
“සැක හිතෙන මුකුත් උනේ නැහැ. මම වොෂ් එකක් දාගන්න කියලා ගිහින් එද්දී කුමාරයා කාමරේ නැහැ.”
“මම?”
“ඔව්. මම හොඳටම බය උනා. සුජීට කෝල් එකක් දීලා එන්න කියලා හෝටලේටත් දැනුම් දීලා හැම තැනම හෙවුවා. හම්බ උනේ නැහැ. හෝටලේ කැමරා බැලුවහම ඔයා කවුරු හරි එක්ක කතා කර කර එලියට යනවා පේන්න තිබ්බා. හොඳට දන්න කෙනෙක් එක්ක වගේ. හැබැයි ඔයා ඒ වෙලාවේ හිටපු විදිහට මම නම් හිතන්නේ දන්නෙම නැති අමුත්තෙක් වෙන්න ඇති පුළුවන් කියලා. ඒක දැක්කට පස්සේ හෝටලේ කට්ටිය මේක ගැන හොයන්න වැඩිය උනන්දු වුනෙත් නැහැ. මොකද මම ඔයාගේ ඇත්ත තත්වේ කියලා තිබ්බේ නැති නිසා.”
“සුජී පැය කාලක් යන්න කලින් හෝටලේට ආවා. මේ වෙනකොට ආණ්ඩුවෙන් ඔයාව කිසිම හේතුවක් නැතුව අස් කරලා තිබ්බ හින්දා එක පාරටම පොලිසියට නොකියා ඉමු කිව්වේ සුජී. පැයකට විතර පස්සේ අපි හොයා ගත්තා ඔයා මීගමුව බ්‍රවුන්ස් බීච් එකේ වැටිලා ඉන්නවා. ඔයා ළඟම වැටිලා හිස් අරක්කු බෝතලේකුත් තිබ්බ නිසා කවුරුත් වැඩිය ගණන් අරන් නැහැ. ඒත් අපි බලනකොට ඔයා සිහිය නැතුව වැටිලා හිටියේ පොඩ්ඩක්වත් බීලා නෙවෙයි.”
“බීලා නැතුව?”
“ඔව්. අපි ඒ වෙලාවේම ඔයාව කොළඹ අරන් ආවා. නවලෝක ඉස්පිරිතාලෙට. ඔයාව බලපු ඩොක්ටර් කිව්වා ඔයාගේ ඔලුවට කවුරු හරි තද පහරක් දීලා තියෙනවා කියලා.”
“ඔය ගොල්ලෝ පොලිසියට ගියාද?”
“රෝහල් පොලිසියෙන් ආවා. කවුරු හරි නමක් නැති කෙනෙක් මීගමුවෙදී පොලීසියට කෝල් කරලා කියලා තියනවා මිනිහෙක් බීලා වැටිලා ඉන්නවා කියලා. අපිත් ඒකම කිව්වා. ජොබ් එක නැති උන නිසා ඒ දුකට බීලා වැඩි වෙලා කියලා.”
“නමක් නැති මනුස්සයෙක්?”
ඔව් රුසිරු. මං ගාව තියනවා පොලිසියට කෝල් එක ආපු අංකේ.“
“අංකෙ මොකක්ද සුජී?”
“සනීප වෙන්නකෝ. ඊට පස්සේ අංක ගැන විස්තර කියන්නම්.”
“සුජී කෙල්ලේ?”
රුසිරු විස්තර ඉල්ලා සිටියේ ඇඳෙන් බිමට බැස ආයාචනාත්මකවය.
නවකථාවේ මුද්‍රණය සඳහා සංස්කරණ කටයුතු සිදු කෙරෙන බැවින් ඊලඟ කොටස පලවන්නේ 2021 ජූලි මාසයේ බව කාරුණිකව සලකන්න.
(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)