“සිංහ පර්වතය?”
“ඔව්. සිංහ පර්වතය.”
“ඒත් කාශ්‍යප කුමරුනි. අප අයවරුන්ට කුමක් සිදුවේද?”
“මා ඒ ගැන බොහෝ දුර සිතා බලා තීන්දු තීරණයක් ගනු ලැබුවා.”
කාශ්‍යප කියා සිටියේ උපතිස්ස පඬිවරයාගේ මුහුණෙහි ඇතිවූ හදිසි වෙනස මනාව වටහා ගෙනය.
“බිය නොවන්න පඬිතුමනි. මා මෝඩයෙකු නොවෙයි. අප සිංහ පර්වතයට වරදක් වන තීන්දුවක් මේ මොහොතේ ගන්නට.”
“මා එය දන්නවා කාශ්‍යප. කෙසේ වෙතත් මේ සිදුවූ සිදුවීම් අනුව ඔබ හට රජකම බරක් නම් එය බාර නොගෙන සිටින්න.”
කාශ්‍යපගේ මුවගට සිනහවක් නැගුනේ සෑහෙන දවසකට පසුවය.
“ඔබ එසේ පැවසූවේ සිංහ පර්වතය මගේ රාජධානියක් බවට පත්කරනු පැවසූ නිසාද?”
“නැත කාශ්‍යප. එවන් අදහසකින් නොවේ.”
“එසේ නම්?”
“මා හොඳින් දන්නවා කුඩා කල පටන් ඔබ රාජකීය දේශපාලනයට අකමැති බව. එහෙත් අපට වෙනත් කිසිඳු විකල්පයක් මේ මොහොතේ පෙනෙන්නට නොමැති බැවින් මා එය ඔබට යෝජනා කළේ. කෙසේ වෙතත් ඔබගේ කැමැත්ත බාර නොගැනීම නම්, රෝහණ පඬිවරයා පැවසූ අයුරින් එකඟව සිංහ පර්වතය විසුරුවා දමමු.”
“කලබල නොවන්න පඬිතුමනි. ඔබගේ කැමැත්ත සිදුවනු ඇති.”
“මාගේ කැමැත්ත?”
“ඔව්. සිංහ පර්වතය මගේ රාජධානිය කර ගැනීමට පෙර කටයුතු කිහිපයක් කිරීමට අවශ්‍යයි.”
“මට කිසිවක් නොවැටහේ. මාගේ කැමැත්ත සහ පෙර කටයුතු කිමක්ද?”
“ඔබට මතකද මා හට ඔබ ගුරුකම් දෙන අවදියේ පැවසූ විෂය නොවන කාරණාව?”
“විෂය නොවන කාරණාව?”
“ඔව්. අමතක නම් එයින් කම් නැත. දෙවැනි කටයුත්ත නම් දැනට තිබෙන රාජ සභාව විසුරුවා හැරීමයි.”
උපතිස්ස පඬිතුමා නිහඬ ලෝකයක සිටියේ කාශ්‍යප පැවසූ ගුරුකම් දෙන අවදියේ පැවසූ විෂය නොවන කාරණාව සිහි කරන්නට වෑයම් කරමිනි.
“පඬිතුමනි?”
“සමා වෙන්න… රාජ සභාව නේද? එය අපහසු කාරණයක් නොවනු ඇති. ඔබ රජකම බාරගත් පුවත් අඬබෙරකරුවන් හරහා තම්බපන්ණියේ පැතිර ගිය විට ඔවුන් ඔබ සම්මුඛ වීමට පැමිණෙනු නිසැකය. එවිට ඔබේ රාජ ආඥාව නැවත විමසා සිදු කරන්න.”
“ඔවුන් මා සොයා පැමිණිය යුත්තේ සිංහ පර්වතයට.”
“එය ගැටලුවක් නොවේද කුමරුනේ? අප මෙහි සෑහෙන කාලයක් තිස්සේ සිදු කළ රහසිගත කටයුතු ලොවට හෙළිදරව් වනු ඇති.”
කාශ්‍යප මොහොතක් නිහඬව ආලින්දයේ ඒ මේ අත ඇවිද්දේය.
“අප හට බැරිද මේ පිරිසට, මා සමීපයට නොපැමිණෙන ලෙස අණ කර සිටින්නට?”
“පවතින සම්ප්‍රදාය එයයි. එසේ අණ කළ හැකි නමුත් ඔබට විරුද්ධව සතුරන් සෑහෙන ප්‍රමාණයක් එක් රැයින් ඇතිවූ බවට ඉතිහාසය සාක්ෂි දරාවි.”
“මට එය ගැටලුවක් නැහැ පඬිතුමනි. මා එය දන්නවා.”
“ඔබ කෙලෙසද රාජ සභාවක් නොමැතිව මේ රාජ්‍යය පාලනය සිදු කරන්නේ?”
“ඒ ගැන නම් මම තීරණය කර තිබෙන්නේ?”
“කුමක්ද කුමරුනි?”
“සම්පූර්ණ අය සභාවම මාගේ රාජ සභාව බවට පත් කරනු ලබනවා.”
“ඉතා යහපත් තීන්දුවක්. එහෙත් විශාල අඩුපාඩුවක් තිබෙනවා කුමරුනි.”
“කිම?”
“අය සභාවේ බහුතරයක් විවිධ විද්‍යාවන් පිළිබඳ දක්ෂයන් වුවද රාජ්‍ය පාලනය සහ හැසිරවීම පිලිබඳ මනා දැක්මක් හෝ දැනුමක් නැත කාශ්‍යප.”
“මා දනිමි. ඒ ඔබටත් නැත මටත් නැත. එලෙසම ඔබ පැවසූ පරිදි වෙනත් කිසිඳු විකල්පයක්ද නැත.”
කාශ්‍යප සිටියේ පවසා සිටියේ අපේක්ෂා විරහිත ස්වරයකින් වුවද සිනහ මුසුවය. උපතිස්ස පඬිවරයාණන් තවමත් සිටියේ ප්‍රශ්නාර්ථයකිනි.”
“පඬිතුමනි, අප රාජ්‍ය පාලනය පිලිබඳ කිසිවක් නොදන්නා බව සත්‍යයයි. එයට හේතුව මෙහි සිටින කිහිප දෙනෙක් හැර බහුතරයක් අයවරුන් රාජ සභාව සමඟ කටයුතු කිරීම හෙලා දැකීමයි. ඔවුන් රාජ්‍ය පාලනය සහ රාජ සභාවේ සිදුවන අකටයුතුකම් දැඩිව විවෙච්ච්නය කරනවා. මේ ලැබුණු අවස්ථාවෙන් ඇයි අපිට බැරි නව රාජ්‍ය පාලනයක් පිළිබඳ කරුණු කාරණා සැකසීමට?”
“නව රාජ්‍ය පාලනයක්?”
“ඔව්. නව ක්‍රමවේදයක්?”
කාශ්‍යප කියා සිටියේ නව පණක් ලද අයෙකු මෙනි.
“උපතිස්ස පඬිතුමනි. ඔබ පැහැදිලිවම දන්නවා සිංහ පර්වතයේ දියුණුවට හේතුව. මම එය ඔබට පැහැදිලි කරන්න තරම් දෙයක් නෙවෙයි. එහෙත් අද අපගේ තම්බපන්ණිය කෙතරම් පිරිහී තිබේද යන්නත් ඔබට අමුතුවෙන් වටහා දිය යුතු නොවේයැයි මම කල්පනා කරමි. මෙයට අපිත් වගකීම ගත යුතුයි.”
“මට නොවැටහේ ඔබගේ හිත.”
“හිත?”
කාශ්‍යප අසුනින් නැගිට නිහඬව කවුළුවෙන් ඉවත බැලීය.
“මගේ සිත හෝ මම යන චරිතයෙන් කිසිඳු යහපතක් නැත.”
“කාශ්‍යප කුමරුනේ, ඔබ රජකමට නියම උරුම තැනැත්තා නොවන නිසාද මේ අපවාදය?”
නැවතත් කාශ්‍යප පඬිතුමා දෙස බලා සිනහ විය.
“ඔබට මතක නැද්ද ඔබ මට ගුරුහරුකම් කළ කාරණා? ඔබ නිතර දෙවේලේ පැවසූ දෙයක් තමයි සිත සහ මම අමතක කර තාර්කිකව බලන්න කියන දේ.”
කාශ්‍යප සෙමින් ඇවිදවිත් උපතිස්ස පඬිවරයා ඉදිරිපිට නතර වී මදක් හිස පහත් කර ඔහුගේ දෑස් දෙස බලමින් පඬිවරයා ඇමතීය.
“පඬිතුමනි මතකද ඔබ කුඩා කල මා හට කියා දුන්නා. සිංහ පර්වතයෙන් එපිට ලෝකය තම බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන බව. තම සොයුරිය සොයුරා, සැමියා බිරිඳ මරා දමන රජ තනතුර, විවිධ නිකායවලට කැඩී බිඳී විනාශ කරන බුදු සසුන, රාජ සභාවේ සිට පහල අන්තිම පුරවැසියා දක්වා ජීවිත තීරණ කරන හෙලා දැකිය යුතු භාරතයෙන් පැමිණි කුල වාදය. සහ.. එකී කිසිඳු භේදයක් නොමැති අප සිංහ පර්වතයේ කරන කටයුතු සහ ඒ සමඟ ලබා ගත් ජයග්‍රහණ.”
“ඔබ පවසන සියලු දේ ඇත්ත. එය අප දැන සිටියා. නමුත් කිමක්ද ඔබේ අදහස? රජ වීමට නොවේද? එයයි මට නොතේරෙන්නේ? රාජ්‍ය පාලනයට ඔබට මේ සියලු දෙනාගේ සහය අවැසි නොවේද?”
“සහය?”
“ඔව්. සහය.”
“මට කියා දෙන්න ඔබ කියන සහය?”
“ඔබ දන්නවා රටකට නායකයෙක් සිටිය යුතු වග?”
“නායකයෙක් ඔව්. ඔබ අදහස් කරන්නේ රජ කෙනෙක්ද?”
“ඔව්. රජ කෙනෙක්.”
“උපතිස්ස පඬිතුමනි, විමසා බලන්න. ඔබ දන්නවා පසුගිය ශත වර්ෂය තුල ලෝකයේ සිදුවූ වෙනස. අප විමසන විද්‍යාව කලාව පමණක් නොව රාජ්‍යයන් පාලනය කිරීමත් වෙනස් වෙලා. රෝමය බලන්න. රජ පාලනය ඉවත් කරලා ජනතාවගේ රජයක් වෙලා. අලුත් ක්‍රමයක්. හෙලසය භාරතයේ සමහර තැන්, මේ සියලුම තිබූ රාජධානි අද පාලනය කරන්නේ රජවරු නෙවෙයි. ඇයි අපිට එහෙම වෙනස් වෙන්න බැරි?”
“ඔබ කියන දේ ඇත්ත. එහෙත් අපට මේ පිළිබඳ සොයා බලන්න. ඉගෙන ගන්න සිදුවෙනවා.”
“අපි යවමු දූතයින් රෝමයට සහ භාරතයට සහ අනෙකුත් රාජධානි වලට. ඒ අතරතුර තම්බපන්ණියේ මේ විෂය ගැන දක්ෂයින් සොයා බලන්න. අපට ගැලපෙන අපට සුදුසු ක්‍රමයක් වසර කිහිපයක් ඇතුලත සකස් කරමු.”
“වසර කිහිපයක්?”
“ඔව්. රාජ්‍යයක් වෙනස් කරන්න වසර කිහිපයක් මදි වෙයි. සමහර විට අවුරුදු විස්සක් තිහක් අපිට බලන් ඉන්න වෙයි.”
“මගේ ප්‍රශ්නේ එක නෙවෙයි. අවුරුදු සිය ගණනකට එහා තිස්සේ පවතින මේ ක්‍රමය ඔය කියන ලේසියට වෙනස් වෙයිද?”
“අවුරුදු සිය ගණනකට පස්සේ මහා අයවරයා රජ වෙන්න යනවා. පලවෙනි පාරට. ඒකම වෙනසක් නෙවෙයිද?”
“ඒක ඇත්ත. ඒත් ඔබ කරන්න යන වෙනස ඊට වඩා ගොඩක් ලොකු එකක්. හොඳට හිතන්න. ඔබ කිව්වා වගේ වරප්‍රසාද භුක්ති විඳින රාජ සභාව. එහි සිටින පවුල් නඩත්තු වෙන්නේ කොහොමද?”
“නඩත්තු වෙන්නේ? අසරණ රාජ්‍යවාසීන්ගේ එකතු කරන දුප්පත් අහිංසක අසරණ මිනිස්සුන්ගෙන් හැමදාම සූරා කන අස්වැන්නෙන් හයෙන් එකකින් ලබා ගන්න දෙකපති බෝජකපති වලින්. ඒත් ඒ බත සපයන මිනිස්සුන්ට මොනවද ලැබිලා තියෙන්නේ? බොරු රැකවරණය.”
“එහෙම නැත්නම් රටක් රාජ්‍යක් ගෙනියන්නේ කොහොමද කුමරුනි?
“රටක් රාජ්‍යයක්ද? පවුල් කිහිපයක්ද? හිතලා බලන්න. මම රජ කම භාර ගන්නම්. අවුරුදු පහකට. අපි අලුත් විදිහකට රාජධානිය ගෙනියමු. රාජ සභාව විසුරුවා දමා, නිකාය භේද, කුල භේද තහනම් කරවා. ඇයි බැරි අපිට සිංහ පර්වතයේ අද තිබෙන සාමය සහ ක්‍රමය මුළු රාජධානියේම ඇති කරන්න? අපිට අතට පයට සේවකයන් නැහැ. කුලය ගැන තැකීමක් නැහැ. මෙහි කටයුතු වෙනුවෙන් ශ්‍රමය අතින් අපි හැමෝම ස්වයං පෝෂිතයි. අපේ රහස් භාවය රැකිය යුතු නිසා.”
උපතිස්ස පඬිවරයා දිගු සුසුමක් හෙලා කල්පනාවේ වැටුනේය.
“මම අය සභාව කැඳවන්නම්. ඔබ රජකම බාර ගැනීම හොඳ ආරංචියක්. සියලු දෙනාම සතුටු වෙයි. නැවත තම්බපන්ණියේ නතර වන්නට. එහෙත් අප තීරණය කල යුතු නොවේද ඔවුන් සමඟ ඉදිරිය ගැන. ඔබ සුදානම්ද කුමරුනි?”
“අන් කවරදාටත් වඩා මම සුදානම්. මා සතුව ඔබ සිතනවාට වඩා කලක පටන් සැලසුම් කල සැලැස්මක් තිබෙනවා. බිය නොවනු.”
කාශ්‍යප කුඩා කල පටන් රාජ්‍ය යන්ත්‍රය පිලිබඳ සිටියේ කලකිරීමකිනි. මෙකී සිතුවිලි වලට ඇතැම් විටක උපතිස්ස පඬිවරයාගේ යටි සිතේ පැවති අදහස්ද හේතු වන්නට ඇති අතර අය සමාජයට බඳවා ගනු පිණිස පඬිවරයා විසින් සමාජයේ මෙකී විෂම ස්වභාවය නිතරම ඉස්මතු කර පෙන්වීය. දක්ෂ සිසුවෙකු වූ කාශ්‍යපද මෙකී කාරණා වැඩි වශයෙන් එදා සොයා බැලුවේ වෙනත්ම කෝණයකිනි.
රජකමට මුගලන්ට පසු හිමිකම් කීවද කාශ්‍යප රජ කුලයක නොවන මවකගේ දරුවෙකි. “ඔබ රජකමට නියම උරුම තැනැත්තා නොවන නිසාද?” යන ප්‍රශ්නය උපතිස්ස පඬිතුමා ඇසුවේ මේ කුල ප්‍රශ්නය නිසා සහ මුගලන් තවමත් ජීවතුන් අතර සිටින නිසාය. විවිධ නොපෙනන කෙනෙහිලිවලට කාශ්‍යප මුහුණ දුන්නේද අයවරුන්ගේ සමාජය සමඟ තරුණ කාලයේම එක්වූයේද මෙකී කාරණා නිසාය.
පැහැදිලිව රාජකීය සමාජයේ නිසි ස්ථානයක් කාශ්‍යපට ලැබී තිබුණේ නැත. මවගේ කුලය හේතුවූ මේ කාරණය කුඩා කාශ්‍යපගේ සිතට තදින්ම බලපෑ හැඟීමකි. මේ ක්‍රමය වෙනස් කරන සිතුවිල්ලක් සිත් කොණක තිබුණද අද වනතුරම කිසිඳු ස්ථිර වැඩ පිලිවෙලක් නොතිබිණි. මීට පෙර සිංහ පර්වතයට පෙර අපරදිගෙන් පැමිණි විවිධ ශ්‍රාස්ත්‍රවේදීන් සහ පඬිවරයන් හරහා මේ පිලිබඳ නිරන්තරයෙන් සෙවීමට සහ විමසීමට කාශ්‍යප උනන්දු විය. එබැවින් කාලීනව රෝම අධිරාජ්‍යයේ ඇතිවූ වෙනස්කම් සහ භාරතයේ ඇතැම් රාජධානිවල මෙන්ම ග්‍රීසයේ ඇතැන්ස් නුවර සහ අනෙකුත් නගරවල ව්‍යවස්ථා මඟින් ඇතිව තිබූ රජ පාලනයෙන් තොර මහජන නියෝජිත පාලනය පිලිබඳ යම් අවබෝධයක් කාශ්‍යප වෙත විය. ඒ හරහා ගොඩ නගා ගත් සැලැස්මක්ද විය.
“මාගේ ඉල්ලීම පිළිගෙන මෙහි පැමිණි සියලුම මා හිතවත් අයවරුන්ට මාගේ ස්තුතිය ලබා දෙනවා. විශේෂයෙන්ම මේ මොහොතේ මා සමඟ ඉදිරියට යාමට තීරණය කිරීම ගැන.”
බාසුර සහ රෝහණ පඬි දෙපලම එකවර නැගිට සිටියේය.
“ඔබ දෙපලටම අදහස් දැක්වීමට අවස්ථාව ලබා දෙන්නම්. මදක් ඉවසන්න පඬිතුමෙනි.”
“මා හට අදහස් දැක්වීමක් කිරීමට නැත කුමරුනි. නැතහොත් අපගේ රාජකීය මහා අයවර රාජෝතමයාණන් වහන්සේ… හුදෙක්ම මාගේ සහ මා සිතනා පරිදි මෙහි සිටින සියලුදෙනාගේ සතුට සැල කිරීමටයි මා නැගිට සිටියේ.”
බාසුර පඬිතුමා ඉල්ලීමද නොතකා කියා ගෙන ගියේය.
“ඇති බාසුර පඬිතුමනි. ඔබ පැවසූ කිසිවක් නොගැලපේ.”
“නොගැලපේ?”
“මදකට වාඩිවන්න. මාගේ මේ කතාබහ අවසන් කරන තෙක්. එවිට ඔබට අවබෝධ වෙනු ඇති මා කියන කාරණා.”
කාශ්‍යප බාසුර පඬිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය. සභාවේ කුසුකුසුවක් පැතිරී ගියද කාශ්‍යපගේ හස්ත සංඥාව සමඟ සියලුදෙනා නිහඬ විය.
“බොහොම යහපත්. ඔබට මාගෙන් ඕනෙම ගැටළුවක් විමසිය හැකියි, තව සුළු මොහොතකින්.”
කාශ්‍යප කියා සිටියේ තැන්පත් ස්වරයකින්ය.
“පළමුව මා දිගටම මහා අයවරයා ලෙස පිළිගන්නා මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ නිසා කිසිඳු රාජකීය නාම පට්ටම් අවැසි නොවේ. මා තවමත් කාශ්‍යප පමණයි.”
“දෙවනුව, මේ පදවිය මා දරනුයේ ඉතා සීමිත කාලයකට පමණයි.”
කිහිප දෙනෙක් නැගිට සිටිමුත් හස්ත සංඥා යොදා ගනිමින් කාශ්‍යපයන් නැවතත් ඔවුන් වෙත හිඳ ගන්නා ලෙස සැල කර සිටියේය.
“මා තීරණය කරනු ලැබුවා මාගේ රාජ්‍යයේ අගනගරය ලෙස සිංහ පර්වතය තෝරා ගන්නට. එලෙසම මා දන්නවා දැනටමත් බාසුර පඬිතුමා ඇතුළු කිහිප දෙනෙක් රාජ සභිකයන් බව. ඔවුන් සමඟ මෙහි සිටින පරිණත අයවරුන් සියලුදෙනා ඉදිරි අනාගතයේ රාජ සභිකයන් කරන්නට මම තීන්දු තීරණය කළා.”
“මම දන්නවා. මෙහි සිටින බහුතරයක් මා විසින් පෙර දින යවන ලද සංදේශයට පිළිතුරු වශයෙන් රාජ සභිකත්වය ප්‍රතිෂේප කළ වග. එනමුදු.. මා කියන්නට යන කාරණය සමඟ ඔබේ සහය එකී ඉදිරි අනාගතයේදී ඔබගේ කැමැත්ත මත මා වෙත ලැබෙනු ඇතැයි මා සිතනවා.”
“අප විවිධ විද්‍යාවන් පිළිබඳ ශ්‍රේෂ්ඨයින්, විවිධ කලා හැකියාවන් පිළිබඳ ශ්‍රේෂ්ඨයින්… අපගේ විස්කම් පෙර අපරදෙදිගම දැනුවත්. කරුණු කාරණා පරසිඳු නැතිමුත් තම්බපන්ණියටද අප කර ඇති සේවය ඉමහත්. දැනට කාලයකට පෙර දවස අප මහා අයවරිය මිය පරලොව ගිය මොහොතේ ඔබ සැම එක්ව කියා සිටි කරුණු කාරණා මගේ සිත් තුලද කාලයක් පැල පදියම් වී තිබූ දේ. සුදුස්සාට සුදුසු තැන.”
“මා රාජකීය වූයේ මාගේ පියාණන් නිසා. මාගේ මව වෙනත් පෙලවහක් කර ගත්තේ නම් මා නිකන්ම නිකමෙක්. බාසුර පඬිතුමනි, ඔබ රාජ සභාවේ සිටින්නෙත් ඔබේ පරපුර නිසා මිස…”
කාශ්‍යප මොහොතක් නිහඬ විය.
“මා සිතන්නේ මා කියන කරුණු ඔබට තේරුම් යන්න ඇති කියා. රජකමෙන් මට ඇති පලක් නැත. එහෙත් අප මේ රාජ්‍යයේ තීරණ ගැනීමේ බලය මාගේ මවගේ කුසින් ඉපදුනු රාජකීය නොවන වෙනත් කුලයක පියකුගේ දරුවකුට වුව දැරිය හැකි ක්‍රමවේදයක් සැකසිය යුතුයි .”
“අපගේ සිංහ පර්වතයේ කුල භේදයක් නැත. ඕනෑම දසයෙකුට තම ඥාණ ශක්තිය මත අප සභාවට දස දෙසින් එක්විය හැකි නොවේද? කිම මා රාජකීය කුලය රැකීමට රජ විය යුත්තේ? අයවරුනි, මා කෙටි කලක් රජ වනුයේ මේ අයුතු පාලනය වෙනස් කිරීමටයි. එකී වෙනසේ රාජ සභිකයන් නැතහොත් නායකයන් වන්න පමණයි මගේ මේ ඉල්ලීම”
“ඔබ සැමගේ සහය මට ඉතා ඇවැසියි. සුවිශේෂයෙන් දැනටමත් රාජ සභාවේ සිටින බාසුර, පණ්ඩු සහ සුරතිස්ස ඇතුළු පඬිවරුන්ගෙන් මා විශේෂ දූත කාර්යයක් අපේක්ෂා කරනවා.”
“දූත කාර්යයක්?”
බාසුර විශ්මිතව විමසා සිටියේය.
“ඔව්. ඔබ පිරිස රෝහණ පඬිතුමාගේ නායකත්වයෙන් රෝම අධිරාජ්‍යයේ සහ මා කියනා දේශ දේශාන්තරයේ දූත කාර්යයක වහා යා යුතුයි.”
“ඔබේ අරමුණ කිමද රාජෝත්… සමාවන්න කාශ්‍යප, මේ දූත කාර්යය ගැන? මා හට සිංහ පර්වතයේ සහ මාගේ ගම්නියම්ගම්හි නියම කර ඇති එදිනෙදා රාජකාරී සිදුකළ යුතුව තිබෙනවා. ඔබට හැකි නොවේද රාජසභික අප හැර අනෙකුත් අයවරුන් මේ දූත කාර්ය වෙනුවෙන් යොදවන්න.”
පණ්ඩු පඬිතුමා කලබලයකින් තොරව ඉල්ලා සිටියේ ඔහු සමඟ අසුන් ගෙන සිටි අනෙකුත් රාජ සභිකයින් හිස් වනමින් කළ අනුමත කිරීමත් සමඟය.
“මාගේ මේ දූත කාර්යය රාජ්‍ය පාලනය පිළිබඳවයි. එයට ඔබ පිරිස හැර සුදුස්සන් නොමැත.”
මහාතිස්ස පඬිතුමා නැගිට සිටියේය.
“සිංහ පර්වතය විසුරුවා දැමීමටයි මීට සුලු කල දවසකට පෙර අප කථිකා කළේ. එසේ තිබියදීත් ගත නොහැකි අකැමැති තීන්දු තීරණයක් කාශ්‍යප කුමරු විසින් ගෙන තිබෙනවා. එනිසා මේ කාරණයට කිසිඳු කොන්දේසියකින් තොරව සහය ලබා දිය යුතු බවයි මගේ යෝජනාව. මා කැමැතියි මේ පිළිබඳ සභාවේ මතය විමසා සිටීමට.”
රාජ සභිකයන් කිහිප දෙනා හැරෙන්නට බහුතරයක් අයවරුන් නැගිට සිට මෙකී යෝජනාවට තම පක්ෂතාවය පලකරන ලදී. බාසුර පඬිතුමා ඇතුලු අනෙකුත් අයද ඒ අනුව සෙමෙන් නැගිට සිටියේය.
“මාගේ යෝජනාවට බාසුරයන් කැමැති වූයේ අවංක සිතෙන්ද උපතිස්ස පඬිතුමනි?”
උපතිස්ස සහ රෝහණ පඬිතුමන් කාශ්‍යපද සමඟ සිංහ පර්වතය මුදුනේ සිට බටහිර අහසේ බැස යන මළ හිරු දෙස බලා සිටියේ සභාවේ කටයුතු අවසන්වූ පසුවය.
“කැමැත්ත හෝ අකමැත්ත අපට දැන් අදාල නැත. ඔබගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කාලයයි මේ.”
“ඔවුනට කුමන හෝ සැකයක් ඇති වුවහොත්?”
“ඒ ගැන මම වග බලා ගන්නම්. ඔබ සිත කලබල කල යුතු නැත.”
රෝහණ පඬිතුමා කියා සිටියේය.
“මා හට අවැසි කළමනා සහ පිරිස රැස් කර අවසන්. අප සැලසුම් දන්නා වෙනත් අයවරුන් සිටීද?”
“නැත රෝහණ පඬිතුමෙනි. ඔබ සමඟ එන ඔබේ පිරිස කාලනුරූපීව දැනුවත් කරන්න.”
“එහෙමයි. මා දැන් පිටත්ව යා යුතුයි. ඔබට ජය.”
කල් යල් බලා කෙටි හමුවෙන් පසු රෝහණ පඬිතුමා සමුගත්තේය.
නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..
(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)