මධ්‍යම පුරාවිද්‍යා කණ්ඩායම(CAG) යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ඔබ අප හොඳින් දන්නා ජනප්‍රිය ආයතනයක් නම් නොවේ. ඉතා අඩු කාර්ය මණ්ඩලයකින් යුත්, සුපිරි තාක්ෂණික බුද්ධියක් සහිත මෙවලම් සහ ක්‍රම යොදා ගන්නා, අන්තර්ජාතික පුරා විද්‍යා ආරක්ෂක ආයතන සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වා ගෙන ඒ හරහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන රහසිගත ආයතනයක් ලෙස පැවතෙන මෙම කණ්ඩායම පිළිබඳ අද ඔබට විශේෂ හේතුවක් පිට හෙළිදරවු කරන තෙක් නිල වශයෙන් දැන සිටියේ ජනාධිපති, අගමැති හැරුණු කොට විෂය බාර ඇමති සහ ලේකම්වරයා පමණී.

මෙල්බර්න් ටුල්මරීන් ගුවන්තොටුපල

ඕස්ට්‍රේලියානු ආගමන විගමන නිලධාරියා විසින් සුපුරුදු පරිදි විමසනු ලබන කෙටි ප්‍රශ්න කිහිපයකින් පසුව අනන්‍යතාවය තහවුරු කිරීම පිණිස ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය සමඟ තම ඇඟිලි සළකුණු ගුවන්තොට පිවිසුමේ ඇති යන්ත්‍රය වෙත ලබා දුන් රුසිරු ඉන්පසුව කඩිමුඩියේ පියමැන්නේ ඕස්ට්‍රේලියානු රේගුව වෙතටයි.

ලැබ්‍රඩෝ බලු සුරතලකුගේ (සුනඛ නිලධාරියකුගේ) පහස ලැබෙන පෝලිමේ විනාඩි කිහිපයක් සෙසු ගුවන් මගීන්ද සමඟ සිට ගත් රුසිරු අසලින් පුහුණුව ලත් රේගුවේ නිල සුනඛයා කිහිප වරක් ඉවකර ඉදිරියට සිව් පයින් ඇවිද ගියේ සැක සහිත කිසිවක් ඔහුගේ ගමන් මලු තුල නොමැති බව තහවුරු කරමිනි.

Take a food journey around the world

මෙල්බර්න් ගුවන්තොටුපලේ අන්තර්ජාතික ගුවන් ගමන් සඳහා වෙන් කළ දෙවන පර්යන්තයේ සිට අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයවන තුන්වන පර්යන්තය දක්වා හනි හනිකට රුසිරු ඇවිද ගියේ ඔහුගේ අවසාන ගමනාන්තයවූ කැන්බරා දක්වා වන කෙටි ගුවන් ගමන ලබා ගැනීමටයි. ගුවන්යානය නියමිත වෙලාවට ගුවන්ගත වන බව තහවුරු කරගත් රුසිරු අසල පිහිටි කුඩා අවන්හලක් වෙත පිය මැන්නේ දිගු ගුවන් ගමනේ මහන්සිය තාවකාලිකව නිවා දමන කෝපි කෝප්පයක් මේ මොහොතේ අත්‍යාවශ්‍යවී තිබූ හේතුවෙනි.

රුසිරු තිස්තුන් විය ඉක්මවූ තරුණයෙකි. සංචාරය කිරීම ප්‍රියතම විනෝදාංශය නොවූවත් ඔහුගේ සුවිශේෂී රැකියාවේ ස්වභාවය මත වෙනත් විකල්පයක් නම් ලැබී නොතිබිණි. වසර ගණනාවකට පසුව අද දින නැවතත් ඕස්ට්‍රේලියානු අගනගරය වන කැන්බරා වෙත මෙම ගමන යෙදුනේ ඉහත කී රැකියාවේ තවත් නිල රාජකාරී කටයුත්තක් වෙනුවෙන්ය.

මධ්‍යම පුරාවිද්‍යා කණ්ඩායම(CAG) යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ඔබ අප හොඳින් දන්නා ජනප්‍රිය රජයේ ආයතනයක් නම් නොවේ. ඉතා අඩු කාර්ය මණ්ඩලයකින් යුක්තව සුපිරි තාක්ෂණික බුද්ධියක් සහිත මෙවලම් සහ ක්‍රම යොදා ගනිමින් අන්තර්ජාතික පුරා විද්‍යා ආරක්ෂක ආයතන සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වා ගෙන ඒ හරහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන රහසිගත ආයතනයක් ලෙස පැවතෙන මෙම කණ්ඩායම පිළිබඳ අද ඔබට විශේෂ හේතුවක් සහ අවසරයක් පිට හෙළිදරවු කරන තෙක් නිල වශයෙන් දැන සිටියේ ජනාධිපති, අගමැති හැරුණු කොට විෂය බාර ඇමති සහ ලේකම්වරයා පමණී.

අවම තරමින් රුසිරුගේ දෙමවුපියන් හෝ රැකියාව පිළිබඳ විස්තර නොදැන සිටි අතර රුසිරුගේ ඉතා කිට්ටු මිතුරන් පවා විශ්වාස කලේ ඔහු අන්තර්ජාතික සංචාරක නියෝජිත ආයතනයක කාර්ය බහුල රැකියාවක නිරත වන පුද්ගලයෙකු බවයි.

මෙකී කාරණා හේතු කොට ගෙන නොපෙනෙන වෘත්තීය වපසරිය හරහා ඉතා විශාල නිදහසක් පෙනෙන්නට තිබුනද එකී මතුපිටින් පෙනෙන නිදහස රුසිරු හට පැවරී තිබෙන රහසිගත රාජකාරී හේතුවෙන් වැලි කතරක මිරිඟුවක් වැනිය.

රුසිරු කවදත් ප්‍රිය කළ අඩු සීනි කළු සැර කෝපි කෝප්පය හනිකට අවසන් කලේ කැන්බරා ගුවන් ගමන සඳහා වන අංක 09 ගේට්ටුව විවෘතවී ඇති බව ගුවන් මඟීන් වෙත දැනුම් දුන් නිසාය. තවත් කෙටි මොහොතකින් පිටත්ව පැයක පමණ ගුවන් ගමනෙන් පසුව සිදුවන විශේෂ හමුවීමේදී කුමකින් කුමක් සිදුවේද යන්න පිළිබඳ රුසිරුගේ සිත තුල වැඩි දෙගිඩියාවක් නොවූයේ මෙවන් ක්ෂණික ආරාධනාවන්  රාජකාරී කටයුතු සමඟ නිතර දෙවේලේ සිදුවන බැවිනි.

CAGහි ප්‍රධානතම කාර්යබාරය වූයේ ශ්‍රී ලංකාව තුල සිදුවන සහ ශ්‍රී ලංකාව සම්බන්ධ වන පුරාවිද්‍යා සොරකම්, මංකොල්ල සහ ඒ සමඟ එකට බැඳුණු දූෂණ ක්‍රියා පිළිබඳව සාක්ෂි රහසිගතව සොයා ගැනීමයි. මෙකී කාරණයේදී අන්තර්ජාතික ආයතනයන්හි සහයෝගය CAG වෙත අත්‍යවශ්‍ය වූයේ වටිනා කෞතුක වස්තු සම්බන්ධව සිදුවන අවක්‍රියාවන් දේශීය පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් පමණක් සිදු නොවන නිසා සහ රටවල් අතර තොරතුරු හුවමාරුව මෙවැනි පරීක්ෂණ ඉදිරියට ගෙන යාම සම්බන්ධව ඉතාමත් වැදගත් වන නිසාය.

Book travel visa at iVisa.com

රුසිරුගේ නිල රාජකාරී වපසරිය නිර්මාණය වන්නේ මෙවන් පරීක්ෂණ අවස්ථාවලදීය. ඔහුගේ සැබෑ අනන්‍යතාවය සඟවා ක්‍රියා කිරීම තුලින් සහ දේශීය විදේශීය පුරා විද්‍යා සොරකම් රැසක අතරමැදියා වීම හරහා ලංකාව සහ වෙනත් විදේශීය රටවල සිදුවූ අපරාධ රැසක් නීතියේ රැහැනට අසු කර දීමට පසුගිය කාල පරාසය තුල රුසිරු සමත්ව ඇත.

දැලි පිහියෙන් කිරි කන්නාසේ අතිශය භයානක කාර්යයක් වන මෙය ඉතා දක්ෂ, නිර්භීත සහ බුද්ධිමත් නිලධාරියකු වන රුසිරු වැන්නෙකුට හැරුණු කොට වෙනත් සාමාන්‍ය පුද්ගලයෙකුට නම් රැකියාව වහා අතහැර දමා යන්නට වුවද පැහැදිලි හේතු සාධක ඇති කරන්නාවූ වගකීම් සහ රාජකාරී සමුදාවකි.

මෙකී නොකී ත්‍රාසජනක, කටුක සහ හදිසි වගකීම් දැරීම් මත දශකයකට කිට්ටු කාලයක සිට යෙදෙන මෙම වෘත්තීයෙන්, නිරන්තරයෙන් ලැබෙන නව අත්දැකීම් මත මුවහත් වෙමින් තරුණ රුසිරු ඉදිරියට ගොස් ඇති අතර මෙකී වෘත්තීය පන්නරය සහ කැපවීම් තුල ජයග්‍රහණ රාශියක් නිහඬව ලාංකීය සහ ගෝලීය ජන සමාජ වෙත දායක කර දී ඇත.

දක්ෂකම, නිර්භීතත්වය සහ බුද්ධිමත් බව හැරුණු කොට රුසිරු යොදා ගත් තවත් එක් අවියක් විය. එය නම් සිත් ගන්නා සුළු කඩවසම් බවයි. ඕනෑම තරුණියකට කිහිප වතාවක් නැවත බැලීමට තරම් පෙනුමක් රුසිරු සතුවූ අතර රහසිගත මෙහෙයුම් වලදී මෙකී උපතින්ම ලද දායාදය ප්‍රයෝජනවත් වූයේ වරක් දෙවරක් නම් නොවේ.

කැන්බරා ගුවන්තොට වෙත ගොඩ බස්වන බැවින් ආසන පටි නැවත තද කර සූදානම් වන ලෙසට සාම්ප්‍රදායික ස්තූතිය සමඟ ගුවන් නියමුවා නිවේදනය කිරීම නිසා නැවත පියවි ලොවට පැමිණි රුසිරු ඔහු අත රැඳි ජංගම දුරකථනයේ සඳහන්ව ඇති ලිපිනය නැවත වතාවක් පිරික්සා බැලුවේ කුලී රථ රියදුරු වෙත ලබා දීමටයි.

ඕස්ට්‍රේලියා ජාතික පුස්තකාලය

පාර්ක්ස් PI W 

කැන්බරා ACT 2600

නිතර දෙවේලේ පුරාවිද්‍යා ආයතනයන්ගෙන් ලැබෙන රහසිගත ඉල්ලීමකට වඩා වෙනස් පණිවිඩයක්වූ මෙය පුස්තකාලයකින් ලැබුණු හදිසි ඇරයුමකි. සුපුරුදු පරිදි කාරණය කුමක්ද යන්න විස්තර කර නොතිබුණු අතර ඕස්ට්‍රේලියානු පුරාවිද්‍යා ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා මෙකී හදිසි ඉල්ලීම CAG වෙත දින කිහිපයකට පෙර දන්වා ලබා දී තිබුණි.

කැන්බරා ගුවන් තොටුපලේ ප්‍රධාන පිවිසීමේ දොරටු වෙත පැමිණි රුසිරු දුටුවේ ඔහුගේ නම සහිත පුවරුවක් ඔසවා ගෙන සිටින රූමත් තරුණියකි. මේ පිළිබඳ කිසිඳු පෙර දැනුම් දීමක් සිදු කර නොතිබුණු අතර හුවමාරුවූ එකම වාචික උපදෙස වූයේ පුස්තකාල කාර්යාලය වෙතට කුලී රථයකින් පැමිණීමටයි.

දෙලොවක් අතර අතරමංවූ රුසිරුගේ තියුණු බුද්ධිය වහා තීරණය කළේ තරුණියට නොපෙනී ගුවන් තොටුපලෙන් වහා පිටත්ව යාමයි. ඒ අතරතුර ක්ෂණිකව තරුණියගේ ඡායාරූපයක් ගැනීමට රුසිරුගේ නවීන ජංගම දුරකථනයට නම් අමතක වූයේ නැත.

මිනිසා විසින් සාදන ලද වැවක් ඉදිරිපිට නවීන වාස්තු විද්‍යාව යොදා ඉදිකළ සුවිශේෂී සෘජුකෝණී ගොඩනැගිල්ලක් වන ඕස්ට්‍රේලියානු ජාතික පුස්තකාලයේ පහත මාලයේ පිහිටි අධ්‍යක්ෂක ජනරාල්ගේ කාර්යාලයට රුසිරු ඇතුල් වූයේ පිළිගැනීමේ නිලධාරිනියගේ ක්ෂණික අවසරය ලැබූ පසුවයි. පුස්තකාල අධ්‍යක්ෂක ජනරාල්තුමිය තම අසුනින් නැගිට උණුසුම්ව රුසිරු පිළිගත්තේ සුසුමක් සමඟ ශෝකයෙන් යුතුවය. 

“බොහොම ස්තුතියි ආවට රුසිරු. කොහොමද ගමන?”

“ගැටලුවක් නැහැ මැඩම්. ඔබතුමිය මම එන බව කාට හරි කිව්වද?”

“නැහැ, රුසිරු ඇයි මොකද උනේ?”

“මම එයාපෝර්ට් එකෙන් එලියට එනකොට මගේ නම තියන බෝර්ඩ් එකක් අරන් කෙල්ලෙක් හිටියා.”

“නැහැ, නැහැ, ඒක වෙන්න බැහැ, සමහරවිට ඔයාගේ නම තියන වෙන කෙනෙක් එනකන් බලන් ඉන්නවා වෙන්න ඇති, මොකද මට ඔයාගේ ආයතනයෙන් උපදෙස් දීපු විදිහට කවුරුත්ම එව්වේ නැහැ.”

එකී දෙබස එලෙසින් අවසන්වූ නමුදු රුසිරුගේ සිතුවිලි වහා දිව ගියේ ඔහුගේ නම තිබෙන බොහෝ පිරිසක් නොමැති බව සහ එසේ වූයේ නම් එය විශාල අහඹුවක් විය හැකි යන කාරණාව වෙතටයි.

කෙසේ වෙතත් සුළු මොහොතකට සිද්ධිය අමතක කර අධ්‍යක්ෂක ජනරාල්තුමියගෙන් විමසා සිටියේ පැමිණි කටයුත්ත පිළිබඳවයි.

Blue Lotus SPF 30 Moisturizer

“මේ පුස්තකාලය හදලා දැනට අවුරුදු පනහක් විතර වෙනවා. කවදාවත් අපට මෙහෙම දෙයක් වෙලා නැහැ, අපි මේක කැන්බරා පොලිසියට දැනුම් දුන්නහම ඒ ගොල්ලෝ මේක භාර දුන්නා ඕස්ට්‍රේලියානු පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට. ඒ ගොල්ලෝ පරීක්ෂණ කරන ගමන් මේකට ලංකාවත් සම්බන්ධ හින්දා තමයි ඔය ගොල්ලෝ සම්බන්ධ කර ගන්න කිව්වේ.”

“ඒත් මම දන්නේ නැහැ රුසිරුගේ සේවය මේකට ඕනේ වෙයිද නැද්ද කියලා තවම?”

රුසිරු නිහඬව සහ සාවධානව ඔහුට ලබා දුන් ලිපි ගොනුව දෙස නෙත් යොමු කරමින් ඇහුම්කන් දී සිටියේය.

Map Old Sri Lanka
නැතිවුණු සිතියම.

“අපේ පුස්තකාලයේ ලොකු සිතියම් එකතුවක් තියනවා. ඒකෙ ලක්ෂ ගාණක සිතියම් තියනවා. ඒ විශේෂ එකතුවක තිබ්බ සිතියමක් තමයි ලංකාවේ ටොලමිගේ සිතියම, මං හිතන්නේ රුසිරු මේ සිතියම ගැන කලින් අහල ඇති.”

“ගිය සතියේ මේක බලන්න කියලා කියලා ආපු කෙනෙක් ඒකේ පිටපතක් ගන්න සල්ලි ගෙවලා තියනවා. අපි සාමාන්‍යයෙන් බලන්න තියලා තියෙන්නේ මුල් පිටපත නෙවෙයි. පිටපත දුන්න වෙලාවේ මේ කෙනා ඉල්ලලා තියෙනවා, මුල් පිටපතම දෙන්න කියලා ඡායා පිටපත එක්ක සංසන්දනය කරලා බලන්න. සාමාන්‍යයෙන් එහෙම නොකළත් මේ පුද්ගලයා විශේෂ ඉල්ලීමක් අපෙන් කරපු නිසා මුල් පිටපත අර ගන්න කියලා මගෙන් අවසර අරන් ගබඩා කරපු තැනට ගියහම ඒක අතුරුදහන් වෙලා. අපිට තාම හිතා ගන්න බැහැ කොහොමද උනේ කියලා.”

“එතකොට මැඩම්, ඡායා පිටපත් ගන්නේ මුල් පිටපතෙන් නෙවෙයිද?”

“අපෝ නැහැ, අපි ඡායා පිටපත් මුල් පිටපතෙන් ගන්නේ නැහැ. මුල් පිටපතට හානි වෙන හින්දා. ඇත්තම කිව්වොත් ඔය වගේ විශේෂ ඉල්ලීමක් ආවේ නැත්නම් මාස තුනකට විතර සැරයක් තමයි අපි මුල් පිටපත් පරික්ෂා කරලා ඒක වැඩිදුරටත් සංරක්ෂණය කරන්නේ.”

“අන්තිම පාරට කවදද ඒ පිටපත දැකලා තියෙන්නේ?”

“මාස දෙකහමාරකට විතර කලින්. පරණ වටිනා ලේඛණ සංරක්ෂණය කරන කණ්ඩායම පරික්ෂා කරණ දවසේ, ඊට පස්සේ ඊළඟ පරික්ෂාව තියෙන්නේ හෙට.”

“මොකක්ද මේ සිතියමේ වටිනාකම?”

“අනේ මන්දා රුසිරු, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇරුණහම මේ සිතියම ලංකාවේ හැඩයවත් හරියට පෙන්වන සිතියමක් නෙවෙයි. මේක ලංකාව නෙවෙයි සුමාත්‍රාව කියලත් කියපු කට්ටියක් ඉන්නවා. ඒ හින්දා මම දන්නේ නැහැ මේකේ ඇත්ත වටිනාකම මොන වගේද කියලා. මොකද මේ සිතියම ගැන ඉස්සර ලොකු විවාදයක් තිබුණා. එත් දැන් ගොඩක් දෙනා විශ්වාස කරන්නේ මේක ලංකාව කියලා.”

“එත් මැඩම්, මේ සිතියමේ තැප්‍රෝබානා කියල තියනවා නේද? මම දන්න විදිහට නම් තැප්‍රෝබානා කියන්නේ ලංකාවට.”

“ඒක ටිකක් දුරට ඇත්ත, එත් සමහර පරණ ඉතිහාස ආචාර්යවරුන් ඔය නම සුමාත්‍රාවටත් පාවිච්චි කරලා තියනවා.”

“දැනට කිසිම හෝඩුවාවක් නැද්ද?”

“නැහැ, අපි යමුද එකතුව තිබ්බ තැන බලන්න.”

අධ්‍යක්ෂක ජනරාල්වරිය අසුනින් නැගිට විශේෂ එකතුව වෙතට රුසිරු කැඳවා ගෙන ගියාය. විශේෂ පුද්ගල ආරක්ෂාවක් සපයා නොතිබුණත් කැමරා මඟින් සහ ස්වයංක්‍රියාත්මක පරිඝණක තාක්ෂණය මඟින් සම්පූර්ණ ගොඩනැගිලි කොටසම ආරක්ෂා කර ඇති බවක් පෙනේ.

මෙය නම් අනිවාර්යයෙන් සොරකමකට පහසු ක්‍රීඩා පිටියක් නම් නොවේ. අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඇඟිලි සලකුණු මඟින් විවෘත වූ දොරෙන් ඇතුලුවූ රුසිරු හට සිතියම ගබඩා කර තැබූ ස්ථානය ඇය විසින් පෙන්වා සිටින ලදී.

“මෙන්න මෙතන තමයි රුසිරු සිතියම තිබ්බේ. මේ සිතියම දාල තියන පෙට්ටිය අරින්න යතුරක් ඕනේ. ඒ වගේම රහසිගත ඉලක්කම් පේලිය ගැලපෙන්න ඕනේ. මම දන්නේ නැහැ ඒක කොහොම දැන ගත්තද කියලා. අනික ගත්ත කෙනා ඇරලා සිතියම අරගෙන ගිහින් පෙට්ටිය වහලා දාලත් තියනවා. සිතියම නැතුව මේ පෙට්ටිය ලොක් වෙන්නේ නැහැ. මට තවම හිතා ගන්න බැහැ මේක ලොක් උනේ කොහොමද කියලා?”

රුසිරුගේ තියුණු ඇස විනාඩි කිහිපයකට සිතියම තිබූ පෙට්ටිය සහ ඒ අවට වෙතට නිහඬව යොමු විය. 

“මේ හරියේ කැමරා නැද්ද?”

“නැහැ රුසිරු, අපි කැමරා දාන්නේ ඇතුල් වෙන තැන් වලට විතරයි. මෙතන කැමරා හයි කරලා තිබ්බත් වැඩ කරන්නේ නැහැ.”

Book travel visa at iVisa.com

තවත් විනාඩි විස්සක පමණ කාලයක් අධ්‍යක්ෂ ජනරාල්තුමිය සමඟ කතාබහ කර අවශ්‍ය අතිරේක තොරතුරු ලබාගත් රුසිරු ඇයගෙන් සමුගත්තේ දීර්ඝ ගුවන් ගමනින් පසු ඇතිවූ විඩාවට සුළු විවේකයක් ලබා ගෙන හෙට දින නැවත පෙරලා පැමිණෙන පොරොන්දුව පිටයි.

ප්‍රධාන දොරටුවෙන් පිටතට පැමිණි රුසිරු ප්‍රධාන මාර්ගය අසලට පිවිසියේ කුලී රථයක් බලාපොරොත්තුවෙනි. ඇසිල්ලකින් නවීන පන්නයේ කාර් රථයක් රුසිරු ඉදිරියේ නතර කළ අතර රුසිරුගේ ඇඟ කිලිපොලා ගියේ කිසිසේත් අපේක්ෂා නොකළ සිදුවීමකිනි.

“නගින්න රුසිරු මහත්තයා.”

පැහැදිලි සිංහල භාෂාවෙන් වීදුරුව පහත් කරන අතරතුර ඔහුව ඇමතුවේ ගුවන් තොටුපලේ රුසිරුගේ නාම පුවරුව ඔසවා සිටි රූමත් යුවතියයි. සිතින් කලබල වී සිටියත් ඒ බව නොපෙන්වා සිටීමට රුසිරු දැරූ උත්සාහය එතරම්ම අසාර්ථක වූයේ නැත.

“ඔයා කවුද?”

“මම රීටා, ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මම ඔයාව හෝටලයට ගිහින් දාන්නම්. නගින්න වාහනේට.”

වාහනයේ වම් පස දොරේ ජනේලයෙන් එබෙමින් ඉවත බලමින් එහි සිටි යුවතිය රුසිරු ඇමතීය.

“බොහොම ස්තුතියි රීටා. මම ටැක්සියක් ගන්නම්. ඒක මට ලේසියි.”

රථය නතර කළ තරුණිය එයින් බැසවිත් රුසිරු අසලටම පැමිණියාය.

“මම දන්නවා ඔයා ආවේ ඇයි කියලා. බය වෙන්න දෙයක් නැහැ.”

රුසිරු තිගැස්සී ගියේ ක්ෂණයකිනි. කිසිඳු රහස් මෙහෙයුමක ඇතුලාන්ත තොරතුරු මෙලෙස හෙළිදරවු වීම සම්බන්ධ අත්දැකීමක් මීට පෙර ඔහු අත් විඳ තිබුනේ නැත. කෙසේ වෙතත් තම තිගැස්සම සඟවා ගත් රුසිරු තරුණිය තවදුරටත් නිහඬව නිරීක්ෂණය කළේය.

“මගේ සීයාගේ මල්ලි මේ පුස්තකාලයට ලොකු පරිත්‍යාගයක් කරලා තියන ලංකාවේ කෙනෙක්. එයාගේ නම ක්ලාස්. මේ පුස්තකාලේ එයාගේ නමින් එකතුවකුත් තියනවා. ඉතින් මම ගොඩක් උනන්දුයි මේ පුස්තකාලේ වෙන දේවල් ගැන.”

“ඇයි ඉතින් රීටාට මාවම හම්බ වෙන්න ඕනේ?”

“මගේ සීයාත් ලංකාවෙනෙ. ඉතිං ලංකාවෙන් ආපු මනුස්සයෙකුට රෑ කෑමක්  දෙන්න තමයි හම්බ වෙන්න ආවේ. ඒක වරදක්ද?”

රථයේ වම්පස දොර විවෘත කළ රීටා එක් ඇසක් වසමින් ඉඟි කරමින් කියා සිටියාය. අගක් මුලක් නොදැන අතරමංව සිටි රුසිරු ඒ බැල්ම හේතුවෙන් තම තිගැස්සම පසෙකලා අවදානමට මුහුණ දීමට තීරණය කළේය.

“හ්ම්. හොඳයි මාව ටවුමේ හොඳම තැනට අරන් යන්නකෝ එහෙනම්.”

රුසිරු කියා සිටියේ දෙවරක් නොසිතමින් රථයට ගොඩ වෙමින්ය.

පියාලිගෝ වත්ත කැන්බරා

“හොඳම තැන නේද? මෙල්බර්න් වල වගේ ඔය ගොල්ලො කැමති මාතර බත් කඩ නම් නැහැ මෙහෙ.” 

රියදුරු අසුනට ගොඩවූ රීටා සිනහසෙමින් හුරුබුහුටි ලෙස සිංහලෙන් පිළිතුරු දුන්නාය.

සවස පහ පසුවෙමින් තිබුණ අතර නෙත් පිනවන විසල් මිදි වතු මැදින් පැරණි තාලයේ උද්‍යානයකින් වටවූ යුරෝපීය ගෘහ නිර්මාණයට ඉදි කරන ලද තානායමක් වෙතට රීටා සිය රථය පදවා ගෙන පැමිණියාය. අලංකාර පියාලිගෝ වත්ත මැද පිහිටා තිබුණු අවන්හලේ සේවකයන් හැර වෙනත් කිසිඳු ආගන්තුකයකු නම් මේ මොහොතේ සිටියේ නැත.

“රෑ කෑමට තව වෙලා තියන නිසා කට්ටිය නැහැ මෙතන. ඔයා මොනවද බොන්නේ?”

“මට රතු වයින් වීදුරුවක් ඇති.”

රුසිරු තවමත් සිටින්නේ චීන තේරවිල්ලක් තෝරන්නාසේ කෙළවරක් පාදා ගැනීමට අවස්ථාවක් ලැබෙන තෙක් සහ ඕනෑම හදිසි තත්වයකට මුහුණ දීමේ පෙර සූදානමින්ය.

“හොඳයි රුසිරු, අපි එහෙනම් කෙලින්ම කතා කරමු. මම රීටා ක්ලාස්. මගේ අම්මා තමයි පුස්තකාලේ අධ්‍යක්ෂක ජනරාල්. ඔයා එනවා කියලා මම දැන ගත්තේ අම්මගේ ඊ-මේල් එකකින්.”

රුසිරු තම අත රැඳි වයින් වීදුරුව උගුරට නොගෙන මේසය මත තැබුවේ ක්ෂණිකව පැමිණි සිනහවද සමඟය.

“අම්මා දන්නවද දුව කරන වැඩ?”

“අපෝ නැහැ, අම්මා දැන ගත්තොත් මම ඉවරයි.”

“ඇයි ඉතින් මගේ පස්සෙන් ආවේ?”

“පොඩි කාලේ ඉඳලම මම හැදුනේ ඔය පුස්තකාලෙත් එක්ක. අපේ සීයාගේ මල්ලි ලංකාවේ හින්දා ඉස්සර ඉඳන් මට එක එක දේවල් ටික ටික කියලා දුන්නා. සීයාගේ එකතුවෙත් ගොඩක් ලංකාවේ සිතියම් තියනවා.”

“ඉතින්.”

“සිතියම නැති උන දවසෙ ඉඳන් අම්මා හිටියේ ගොඩක් අවුලෙන්. හරියට කෑමක්වත් ගත්තේ නැහැ. අම්මා වගේම මාත් අවුලෙන් හිටියේ. ඉතින් මේක ගැන මොනවද වෙන්නේ කියල මම පොඩ්ඩක් හෙව්වා. එච්චරයි.”

“ඕක කියන්නද මාව මෙතනට ගෙනාවේ?”

රුසිරු විමසුවේ වයින් වීදුරුව අවසන් කරමිනි.

“නැහැ රුසිරු, අම්මට කියන්න බැරි දේවල් ටිකක් තියනවා. ඔයාව හම්බ වෙන්න හැදුවේ ඒ නිසා.”

අත රැඳි හිස් වීදුරුව පසෙකින් තැබූ රුසිරු, රීටාගේ කථාව වෙතට සිය අවධානය මුළුමනින්ම යොමු කළේය.

“එදා ඔය සිද්ධිය උන දවසට පස්සේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කිහිපයක් ආවා. ඒවා ඔක්කොම පිටරට අංක. ඒ හැම එකකින්ම ගියේ රෙකෝඩින් එකක්. අම්මා ගෙදර හිටියත් සනීප නැති නිසා මම තමයි ෆෝන් එක ඉස්සුවේ. අම්මගේ අසනීපෙ වැඩිවෙයි කියලා මේ කතාව මම කාටවත්ම කිව්වේ නැහැ.”

“මොකක්ද රීටා ආපු කෝල් එක?”

“එකම පණිවිඩයයි කිව්වේ. කලබල කරන්න එපා, කරදර වෙන්න එපා, පරිස්සමින් ඉන්න. තව ටික කාලයයි.”

“මේ පණිවිඩේ එදා තුන් පාරක් ආවා. මම හලෝ කිව්වත් කවුරුත් කතා කලේ නැහැ. කෝල් තුනම එකම විදිහට ආපු නිසයි මම හිතන්නේ රෙකෝඩින් එකක් කියලා.”

“ඒ දවසින් පස්සේ කෝල් ආවේ නැද්ද?”

“නැහැ. එදා විතරයි ආවේ?”

“ඔයාට මතකද ඒ අංක?”

“ඔව්. මම ලියලා තියා ගත්තා. මේ තියෙන්නේ.”

රීටා ලබා දුන් අංක සියල්ලක්ම +44 අංකයෙන් ආරම්භවී තිබුණි. එනම් සියලු ඇමතුම් ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය දුරකථනයකින් විය යුතුය.

“හොඳයි රීටා. මම මේක බලන්නම්. අපි දැන් ඔක්කොටම ඉස්සෙල්ලා බඩ පුරවගෙන ඉමු.”

Bookbaby.com helps independent authors bring their creative vision to the marketplace. Sell eBooks online in the biggest retail stores.

ආහාරයෙන් පසුව රාත්‍රී නැවතුම් වෙනුවෙන් වෙන් කළ හෝටලය කරා පැමිණ රීටාගෙන් සමුගත් රුසිරු ලැබුණු නව හෝඩුවාව ගැන සිත් යොමු කළේය. ලබා දුන් සියලු අංක විශ්ලේෂණය සඳහා කොළඹ කාර්යාලයට ආරක්‍ෂිත ඊ-මේල් ගිණුමෙන් යොමු කළ පසුව උදෑසන 8ට අවදි කරන ලෙසට හෝටලයේ පිළිගැනීමේ අංශයට දැනුම් දී හනික නින්දට වැටුනේ වයින් මත, දිගු ගමනේ විඩාව සමඟ රීටාගේ දීප්තිමත් දෑසද සිහි කරමිනි.

ට්‍රිරිං ට්‍රිරිං……..

ඇඳ අසලවූ දුරකථනයේ නාදයෙන් අවදිවූ රුසිරු සිතා සිටියේ වේලාව උදෑසන 8 කියා වුවද අසල පෙනෙන ඩිජිටල් ඔරලෝසුවේ රතු පැහැයෙන් දක්වා සිටියේ උදෑසන 7.02 යනුවෙනි. ශ්‍රී ලංකාවේ වෙලාව තවමත් පාන්දර 2.30 පමණ වීම හේතුවෙන් රුසිරු හට දැඩි නිදිමත ගතියක් සමඟ කුඩා කේන්තියක්ද ඇති විය. 

“ඇයි මේ?”

“සමා වෙන්න සර්. සර්ට කෝල් එකක්. ගොඩක් හදිස්සියි කියපු නිසා සම්බන්ධ කරන්නද?”

හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියගේ කටහඬයි.

“හා, සම්බන්ධ කරන්න.”

අමනාපයෙන් හෝ රුසිරු අවසර දුන්නේ හදිසි ඇමතුමක් යැයි පැවසූ බැවිනි.

“රුසිරු, සමාවෙන්න. මේ වෙලාවේ කතා කළාට. මම පුස්තකාලේ අධ්‍යක්ෂක ජනරාල්, සිතියම හම්බ උනා.”

“මොකක්? සිතියම හම්බ උනා!”

නිදා සිටි ඇඳෙන් රුසිරු එකවරම නැගිට සිටියේ විමතියට පත්වය. 

“ඔව්. අද උදේ 6ට විතර මට කෝල් එකක් ආවා. පාන්දර පිරිසුදු කරන ටීම් එකේ නායකයා මට කතා කළා. අද අපේ සංරක්ෂණය කරන දවස නිසා පිරිසුදු කරන කණ්ඩායම විශේෂ එකතුවේ කාමරේට පාන්දර යවනවා. සිතියම නැති වෙච්ච තැන තියපු හිස් පෙට්ටිය මම අයින් කරලා තිබ්බේ. එතැනට අලුත් පෙට්ටියක් ඇවිල්ලා නිසා කට්ටිය කලබල වෙලා මට කෝල් කලා. ගිහින් බලද්දී පෙට්ටියත් තියනවා. සිතියමත් තියනවා.”

“එතකොට අයින් කරපු පෙට්ටිය.”

“ඒක මගේ කාර්යාලේ තියනවා. මං හිතන්නේ හොරු පෙට්ටිය පිටින් අරන් ගිහින් බොරු පෙට්ටියක් දාලා. හැබැයි යතුරටයි, ඉලක්කම් වලටයි හරියන විදිහට වැඩේ කරලා තියෙන්නේ. මට තවමත් හිතා ගන්න අමාරුයි මොකක්ද උනේ කියලා.”

“මං එන්නම්. අපි බලමු.” 

රුසිරු සිය දුරකථනය විසන්ධි කළේය.

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

Logo 468x120

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

2 comments
  1. බස හැසිරවීම ප්‍රශංසනීයයි?, ඊටත් වඩා විශිෂ්ටත්වය නම් තරුණ පරපුරට කියවීමට උනන්දුව ඇති වන ආකර්ෂණීය කතා තේමාවක් වීමයි. ඊළඟ එපිය එනතුරු නොඉවසිලි වෙමි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
CAG Novel

CAG දහහත්වන කොටස

“සිංහලෙන් කිව්වත් මැලේසියාවේ භාෂාවෙන් කිව්වත් ඔක්කොම දැනගත්තා මේ අසනීපකාරයා කරන්නේ විවාහ යෝජනාවක් කියලා. ඒකනේ කට්ටිය අත්පුඩි ගැහුවේ.”
Indian train

CAG දහවන කොටස

“පේන්න ලස්සන තිබ්බට මුම්බායි වල ඇත්ත කතාව පේනවට වැඩිය දුකක්. මේ නගරයේ ප්‍රමාණය නිව්යෝක් නගරය වගේ ඒත් මුළු නිව්යෝක් ප්‍රාන්තෙ තරම් ජනතාවක් මේ නගරයේ ජීවත් වෙනවා. ඒ වගේම ලෝකෙ ලොකුම මුඩුක්කු වලින් එකක් තියෙන්නෙත් මේ නගරේ.”
London Eye

CAG දෙවන කොටස

නැතිවුණු ස්ථූපය ධාතුසේන රජතුමාගේ කාලේ පුරාවිද්‍යා වස්තුවක් හැටියට තමයි සලකන්නේ. මේ ගැන පරීක්ෂණ කරපු මහාචාර්යතුමෙක් ඉන්නවා ලන්ඩන්වල රිච්මන්ඩ් නගරයේ.
in side church

CAG එකොලොස්වන කොටස

යස්වන්ත සහ රුසිරු ඇතුල්ව සිටියේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් තුමාගේ දේහය තැන්පත් කර තිබූ රිදී මංජුසාව සහිත කරඬුව ඇති කුඩා කාමරයක් වැනි ශාලාවකටය. ඒ අසල වැඩි සෙනඟක් ගැවසුණ බැවින් වඩා වැඩි ආරක්ෂාවක් ඇතැයි දෙදෙනාම තීරණය කළේ හස්ත සංඥා භාෂාවෙන්ය.
Total
3
Share