සුළු මොහොතක් ගත විය. රීටා සිටි දෙසින් වෙඩි හඬවල් දෙකක් එක විට ඇසෙන්නට විය. වහා ස්ථූප උපකරණය ගලවා ගත් රුසිරු වහලය මත සිටම විමසා බැලුවේ රීටා හට කුමක් සිදුවීද යන්නයි.

ක්වාලාලම්පූර් අන්තර්ජාතික ගුවන්තොටුපොල 

පැය පහමාරක පමණ ගුවන් ගමනකින් පසුව මලින්ඩෝ එයාර් ගුවන් යානය උදෑසන හත පමණ වන විට ක්වාලාලම්පූර් අන්තර්ජාතික ගුවන්තොටුපොලට ගොඩබැස්සේය. රාත්‍රී 11.00ට පමණ මුම්බායි සිට ගමන් ඇරඹූ යානයේ සිටි තිදෙනා වැඩි කතාබහකින් තොරව කෙටි නින්දක යෙදුණේ දිනයේ මහන්සිය අමතක කිරීමට සහ රාත්‍රී නින්ද අපේක්ෂාවෙනි.

“නින්ද ගියාද හොඳට?”

ගුවන් යානය පර්යන්තයට සම්බන්ධ කරන අතරතුර පිටුපසම ආසනයක සිටි රුසිරු විමසා සිටියේ ඔහුට ආසන පේලි දෙකක පමණ ඉදිරියෙන් වාඩිවී සිටින රීටා ගෙන්ය.

“ඉස්සරහ පේලියේ යස්වන්ත ගොරවන කොට කොහේ නිදාගන්නද?”

රීටා කියා සිටියේ යස්වන්තට ඇසෙන්නටය.

හිසට ඉහලින් රැඳවු තම ගමන් මළු සෙවීම සඳහා නැගිට සිටි යස්වන්ත රීටා දෙස නෙත් යොමු කර බැලුවේ නිදි බරින් යුතු දෑසින්ය.

“හොඳට නින්ද ගියා නම් මෙහෙම ඉන්නවද?”

“මම නං කිසි කරදරයක් නැතුව හොඳට නිදාගත්තා. පිටිපස්සෙමනේ හිටියේ.  අනික නිකං හම්බ උන බියර් කෑන් වලට පින් සිද්ධ වෙන්න.”

“ඔන්න මගේ කිසිම වැරැද්දක් නැහැ. ඔයාමයි එපා කිව්වේ. ඒකයි අරන් දුන්නෙ නැත්තෙ.”

“මම විහිළුවට කිව්වේ. මුම්බායි වල බිව්වට පස්සේ තව බොන්න කොහෙද ඉඩක්. ඒවා ණය පොතට දාගමු.” 

රුසිරු කියා සිටියේ සිනාසෙමිනි.

“ණය නැහැ. ඔට්ටු නම් ඔට්ටු. ඒක ඉවරයි. ඔයාමයි එපා කිව්වේ.”

රීටා කියා සිටියේ ජයග්‍රාහී ලෙසය.

ගුවන් යානය ක්වාලාලම්පූර් ගුවන්තොටුපලේ ප්‍රධාන පර්යන්තය සමඟ ස්වයංක්‍රීය සෝපායනයෙන් සම්පූර්ණයෙන් සම්බන්ධවූ පසු මගීන් බැස යන්නට පටන් ගත්තේය. අවසාන ආසනයේ රැඳී සිටි රුසිරුගේ වාරය පැමිණෙන තුරු රීටා සහ යස්වන්ත තම ආසන ආසන්නයේම රැඳී සිටියේය.

“මම කලින් කිව්වා වගේ ඉස්සෙල්ලම මට පොඩි වැඩකට අපේ තානාපති කාර්යාලයට යන්න වෙනවා.” 

“මොකද්ද අනේ ඔයාගෙ පොඩි වැඩේ?”

ප්‍රධාන ගොඩනැගිල්ලේ ගුවන් මගීන් වෙනුවෙන් වේගයෙන් ඉදිරියට ගමන් කිරීම සඳහා ගුවන්තොටුපල පර්යන්ත බිමෙහි සවි කර තිබු විදුලි ගමන් මාර්ගයට එක්වෙමින් රීටා විමසුවාය.

“රීටා සද්ද කරන්න එපා. පුළුවන් තරම් ජනේල පැත්ත බලන්න. අනිත් පැත්ත බලන්න එපා.”

ඉතා සෙමෙන් කොඳුරමින් රුසිරු අතින් සංඥා කර කියා සිටියේය.

“ඇයි මොකක්ද වෙන්නෙ?”

“පස්සේ කියන්නම්. ඉක්මනට ඉස්සරහට ගිහින් දකුණු පැත්තේ සාප්පු වලට තියෙන පඩිපෙල දිගේ උඩට යන්න දෙන්නම. මේ දැන්ම යන්න”

“ඔයත් පිටිපස්සෙන් එනවනේ?”

රීටා විමසා සිටියේ සිය හිස රුසිරු කියූ දිසාව දෙසම හරවාගෙනය.

“මම විනාඩි පහකින් එන්නම්.”

යස්වන්ත සහ රීටා හනිකට ඉහළ මහලේ පිහිටි අවන්හල වෙත ගොස් පිටුපස හැරී බැලුවේ රුසිරු සෙවීමටය.

Book travel visa at iVisa.com

ආගමන කටයුතු සඳහා වන පිවිසුම අසල පුද්ගලයන් කිහිප දෙනෙකුට පිටිපසින් සැඟවී මෙන් සිටි රුසිරු දුටු යස්වන්ත, ඉහල සිට සොයා බැලුවේ ඔහු නැවතී විමසන දිශාව දෙසයි.

“අනූනවයෙන් අපි බේරිලා තියෙන්නේ.”

“ඇයි යස්වන්ත?”

“බලන්න අර පැත්ත දිහා.”

“බැලුවා, මොනවත් පේන්න නැහැනේ.”

“ඇයි බලන්නකෝ අර පෝලිමේ ඉන්නේ.. තව කෙනෙක් එක්ක අප්‍රිකානුවා.”

“මෙච්චර ඉක්මනට ඒගොල්ලො කොහොමද මෙහෙට ආවෙ? මාමා කිව්වානේ අපිට දවස් දෙක තුනක්වත් තියෙයි කියලා.”

“ඒ ප්‍රශ්නෙ මගෙන් අහල නම් වැඩක් නැහැ. අන්න රුසිරු මේ පැත්තට එනවා. අපි අහල බලමු.”

රුසිරු පිටුපස බලමින් ප්‍රවේශම් සහගතව රීටා සහ යස්වන්ත සිටි දෙවන මහලට අප්‍රිකානුවන්ට නොපෙනෙන පරිදි ගොඩ විය.

“අපි හිතනවට වැඩිය දෙයක් මේගොල්ලෝ දන්නවා.”

“රුසිරු කොහොමද ඒගොල්ලොව දැක්කේ?”

“අප්‍රිකානුවත් එක්ක ඉන්නේ ඊජිප්තු පොලිස් නිලධාරියා. මම දුර තියලම අඳුරගත්ත මිනිහව එතකොටයි අප්‍රිකානුවා දැක්කේ.”

“මට පොඩි දෙයක් කියන්න අමතක උනා.”

“මොකක්ද රීටා?”

“මේක පිටිපස්සේ ඉන්න අය.”

“ඒක ගැන නම් පස්සේ කතා කරමු. අපිට වැඩ ගොඩක් තියෙනවා. මේක පිටිපස්සේ මේ වෙනකොට අනිවාර්යෙන්ම ඉන්න මේ දෙන්නා නවත්තන්න.”

රුසිරු පවසා සිටියේ ආගමන පෝලිමෙන් මැලේසියාවට මේ දැන් ඇතුළුවූ ඊජිප්තු සහ අප්‍රිකානු ජාතිකයන් දෙදෙනා දෙස බලමිනි.

“අපේ දැන් මොකද කරන්නේ රුසිරු? ලොකු හෝඩුවාවක් නැහැ නේද ”

යස්වන්ත විමසා සිටියේය.

“මට ලංකාවේ තානාපති කාර්යාලයට යන්න වෙනවා. රීටා එන්න මාත් එක්ක. යන ගමන් මට විස්තරේ කියන්න. යස්වන්ත අර දෙන්න පිටිපස්සේ තේරෙන්නේ නැති විදිහට යන්න. මට දිගටම ෆෝන් එකෙන් ඉන්න තැන ගැන පණිවිඩ එවන්න.”

“හරි රුසිරු මම ඉක්මනට යන්නම් එහෙනම්.”

“කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මම ඉක්මනට ඔයා ඉන්න තැනකට එනවා. අනතුරුදායකයි වගේ නම් යන්න එපා. වීරයෙක් වගේ.”

රුසිරු කියා සිටියේ පිටත්ව යන මිතුරාගේ පිටට තට්ටුවක් දමමිණි.

රීටා සහ රුසිරු කලබලයකින් තොරව පහළ මාලයට පැමිණ ආගමන කටයුතු අවසන් කර කුලී රථයක් ලබා ගත්තේ තානාපති කාර්යාලය වෙතට යාමටයි.

“රුසිරු, මේ කතාවේ ඔක්කොම විස්තර මම හරියටම දන්නේ නැහැ.”

“කමක් නෑ ඔයා දන්න විදිහට කියන්න.”

“සමාවෙන්න මේ දේ හැංගුවාට.”

“ඔයාට හේතුවක් තියෙන්න ඇතිනේ. ඒක හින්ද මට ගැටලුවක් නැහැ.”

“ඔව් ඒක ඇත්ත. මේක අපේ පවුලේ ප්‍රශ්නයක්.”

“පවුලේ ප්‍රශ්නයක්?”

“ඔව්. ඇත්තටම අපි ඕස්ට්‍රේලියාවට ආවේ මේ ස්ථූප උපකරණ සම්බන්ධ වුණු සීගිරිය එක්ක තියෙන ගැටළුවක් නිසා.”

“ලංකාවේ ඉද්දි මේ ප්‍රශ්නෙ තිබ්බද?”

“ඔව්. තිබිලා තියනවා. මට අම්මා කියපු විදිහට අපේ පරණ නෑදෑයො පෘතුගීසි. ඔයා කිව්වා හරි. අපේ ඇත්ත නම් ක්ලාස් නෙවෙයි කබ්රාල්. සීයා හිතලම අපේ නම් වෙනස් කරලා. මේ ප්‍රශ්න නිසා.”

“ඇයි එහෙම කරලා තියෙන්නේ?”

“මේ ස්ථූප ගැන ඉස්සෙල්ලම දැනගෙන ඉඳලා තියෙන්නේ පෘතුගීසි ජාතිකයෝ. අපි හිතන්නේ සීගිරිය ගැන මුලින්ම විස්තර හොයා ගත්තේ ඉංග්‍රීසි ජාතික මේජර් ජොනතන් ෆොර්බ්ස් කියලනේ. ඒක වැරදියි.”

“හැබැයි සීගිරිය ගැන විස්තර පෘතුගීසි ජාතිකයෝ දැනගත්තට ඒගොල්ලන්ට තියෙන තැන හොයා ගන්න හම්බුනේ නැහැ. ඒක හොයාගත්තෙ මේජර් ජොනතන්. අදටත් ලංකාවේ මිනිස්සු විශ්වාස කරන දෙයක් තමයි විශාල වස්තුවක් ඉංග්‍රීසි ජාතිකයන් සීගිරියෙන් අරන් ගියා කියලා.”

“ඒ කතාව මමත් අහල තියනවා. ඒත් එහෙම වස්තුව අරන් ගියා නම් ඇයි මිනිස්සු ආපහු මේක ගැන උනන්දු වෙන්නේ?”

Take a food journey around the world

“අන්න එතන තමයි නියම ගැටළුව එන්නේ.”

“ඒ කිව්වේ?”

“දැන් සීගිරිය ගැන උනන්දු වෙන අය උනන්දු වෙන්නේ රත්තරන් මුතු මැණික් වගේ ධන නිධාන වස්තුවක් ගැන නෙවෙයි.”

“ඔයා කොහොමද ඒක කියන්නේ හරියටම. තව තියෙන්න පුළුවන් නේද?”

“අපිට ගොඩක් මරණ තර්ජන තිබ්බා කියලා අම්මා මට ටිකක් කියලා තියනවා. ඒ වගේම අම්මා මට ගොඩක් දේවල් හැංගුවා කියලත් මම දන්නවා. ඒත් මාමා ටිකෙන් ටික මට විස්තර කිව්වා.”

“ඉංග්‍රීසි ජාතිකයෝ ධන නිධාන ගොඩක් හොයාගත්තට එඩ්වඩ් මාමා කියන විදිහට ඒ කාලේ සීගිරිය වස්තුව තැන්පත් කරපු තැනක් විතරක් නෙවෙයි, ගොඩක් දේවල් ගැන විද්‍යාත්මක පර්යේෂණ කරපු තැනක්. ඒ තිබ්බ පර්යේෂණ අද කාලේ ඉහළ පහසුකම් ඇති පර්යේෂණාගාර වල කරන පරීක්ෂණ වලට සමානයි.” 

“ඒ කිව්වේ?”

“විදුලිය වගේ පහසුකම් තිබ්බේ නැති උනාට කෘෂිකර්මය ආශ්‍රිතව ශීත කල් තබාගැනීමේ තාක්ෂණය, වාරි කර්මාන්තය පිළිබඳ ජල තාක්ෂණය සහ පුදුම සහගත ලෙස ඒ වෙනකොට හිතලවත් තිබුණ නැති බැක්ටීරියා වගේ කුඩා අණු පිළිබඳ පර්යේෂණ සහ වෛද්‍ය තාක්ෂණය. අපිට තවමත් තේරුම් ගන්න බැරි අමුතු තාලයේ තාක්ෂණයක් හා විද්‍යාගාර පාවිච්චි කරලා විවිධ විවිධ පරීක්ෂණ කරලා තියෙනවා. විෂයන් කියන්න බැරි තරම් ගණනක්.”

“ඒ කතාව ඇත්ත වෙන්න පුළුවන්. මොකද තවමත් සීගිරිය උඩට වතුර අරන් ගිය හැටි අපිට හරියට විස්තර කරන්න බැහැ.”

“හරියට හරි ඒ කතාව.”

“ඉතින් කවුද මේක පිටිපස්සේ ඉන්නේ?”

“මේ පරීක්ෂණවල ලියවිලි ලෝකය පුරා ඒ කාලේ සංසරණය වෙලා තියෙනවා. එහෙම ලැබුණු තොරතුරු කාලයක් ගිහිල්ලා පෘතුගීසි ප්‍රභූ පවුල් කිහිපයකටත් ලැබිලා තියෙනවා.”

“ප්‍රභූ පවුල්?”

“ඔව් පහළොව දාසය ශත වර්ෂ වල ජිවත් වෙච්ච. මේ පවුල් ගොඩක් උනන්දුවෙන් මේක ගැන හොයලා තියෙනවා. ලුවිස්ගේ ජීවිත කතාව එදා නවදිල්ලියේ ඉන්න ගමන් කියවද්දී මම හිතන්නේ මෙයත් මේ වැඩේට සම්බන්ධ කෙනෙක් කියලා.” 

“ලුවිස් වාස් ද කැමොඑස්?”

“ඔව්. මෙයා කිහිප වතාවක් එක එක ප්‍රශ්නවලට මුහුණ දීලා සිරගත වෙලා තියෙනවා. ගෝවේ මෙයාව සිරගත කරන්න කලින් ආපු නැවේ ප්‍රධානියාගේ නම කබ්රාල්. මම හිතන්නේ අපේ නෑදෑයෙක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ලුවිස්, අපේ පවුලත් එක්කත් ගැටුම් ඇති කර ගන්න ඇති.”

“ඒක කොහොමද වැදගත් වෙන්නේ.”

“මාමා කියපු විදිහට කබ්රාල් පවුලයි, තවත් පවුල් කිහිපයකුයි තමයි මේ තොරතුරු හොයන්න මහන්සි වෙලා තියෙන්නේ. මොකද කබ්රාල් පවුල ඉස්සර ඉඳන්ම පෘතුගීසි අධ්‍යාපනයට සම්බන්ධ පවුලක් නිසා. ඒත් ලුවිස් මේකට සම්බන්ධයි කියලා එඩ්වඩ් මාමා කවදාවත් මට කිව්වේ නැහැ. එදා විස්තර හොයනකොට තමයි මට හිතුනෙ.”

“ඔයා කියන්නේ මේ අපරාධ පිටිපස්සේ ඉන්නේ කැමොඑස් පවුල කියලද?”

“අපෝ නෑ. ලුවිස් තමයි මේකෙ විස්තර හොයාගෙන ඒවා හංගල තියෙන්නෙ. රුසිරු අපරාධ විමර්ශන කරන නිසා දන්නවා ඇති, මාෆියා කල්ලි ඉන්නවා ලොකුවට නම ප්‍රසිද්ධ නැති.”

“ඔව් මම දන්නවා.”

“අපේ මාමා කියන විදිහට, මේ අපරාධ කල්ලියේ අරමුණ තමයි සීගිරියේ කරපු පරණ පරීක්ෂණ වෙනත් රටවලට විශාල මුදලකට විකුණන එක.”

“ඒ කිව්වේ බුද්ධිමය දේපළ විකුණනවා වගේ වැඩක් ද?” 

“හරියට හරි අලුත් තාක්ෂණයක්, නැත්නම් අලුත් චිත්‍රපටයක් ආවහම ඒකෙ හොර කොපියක් ගහන්නේ මුදල් හම්බ කරන්න බලාපොරොත්තුවෙන් වගේ. මේ වගේ තාක්ෂණයක් විකුණන්නේ ලොකු මුදලක් බලාපොරොත්තුවෙන්. මේ වැඩේ ගොඩක් ලේසියි. මොකද ඒ කාලේ කරපු පරීක්ෂණ පේටන්ට් වලින් ආරක්ෂා වෙන්නේ නැති නිසා.”

“ඒත් තාම කවුරුත් දන්නේ නැහැනේ, මෙතන ඒ වගේ තාක්ෂණයක් තියෙනවද නැද්ද කියලා?”

“සාමාන්‍ය ජනතාවයි, අපියි දන්නේ නැති උනාට, ලංකාවට පෘතුගීසි එන්න ඉස්සර කාලෙ ඉඳන් මේ ගැන උනන්දුවක් දක්වපු අය මේ ගැන හොඳට දැනගෙන හිටියා.”

“මට තේරෙනවා කියන දේ. එක එක වර්ගයේ පුරාවස්තු ගැන උනන්දු කල්ලි අපිටත් මේ වෘත්තියෙන් හම්බ වෙලා තියෙනවා. ඒත් මෙහෙම කතාවක් ලංකාවෙන් අහපු පළවෙනි සැරේ. ”

Logo 468x60

“අන්න හරි. ඒ වගේ කල්ලියක් තමයි මම දන්න විදිහට. ලංකාවේ සමහර පෘතුගීසි බර්ගර් පවුල් සම්බන්ධ ඇති. ලොකුවටම විස්තර දන්නේ නැහැ. ඒත් මේක පිටිපස්සේ ඉන්නේ ඔන්න ඔය වගේ කලිසම් කෝට් ඇඳ ගත්ත මාෆියා කල්ලියක් තමයි.”

කුලී රථය තානාපති කාර්යාලය ඉදිරිපිට නතර කළේය. රුසිරු තානාපති කාර්යාලයට යාමට අදහස් කළේ ආරක්ෂාව වෙනුවෙන් ආයුධයක් සහ තානාපති බලතල සහිත රථයක් ලබා ගැනීමටයි. සුළු මොහොතකට පෙර කෙටි පණිවිඩ මඟින් යස්වන්ත විසින් රුසිරු දැනුවත් කර තිබුණේ බටු ගුහා යනුවෙන්  හඳුන්වනු ලබන සංචාරක ප්‍රදේශය දෙසට දුම්රියෙන් ඉහත කී අපරාධකරුවන් දෙපල ගමන් කරන වගය.

බටු ගුහා

“ඔයාට මහාචාර්යතුමා කිව්වේ හින්දු කෝවිලක ස්ථූප උපකරණය තියෙනවා කියලා නේද?”

“ඔව්. හින්දු කෝවිලක තමයි.”

“බටු ගුහා කියන්නේ හින්දු කෝවිලක්.”

“දෙයියනේ, ඇත්ත නේන්නම්. එහෙනම් අපි ඉක්මනට යමු රුසිරු.”

තානාපති කාර්යාල තුල ඇති නවීන SUV රථයක් ලබාගත් රුසිරු, රීටාද සමඟ වහා බටු ගුහාව දෙසට රථය වේගයෙන් පැදවීමට පටන් ගති.

“කොච්චර වෙලා යනවද රුසිරු?”

“අපිට විනාඩි 15ක්වත් යන්නේ නැහැ. යස්වන්තට ඉක්මනට කෝල් එකක් ගන්න.”

තම දුරකථනය රීටාට ලබාදෙමින් රුසිරු කියා සිටියේය.

“යස්වන්ත, ඔතන මොකද වෙන්නේ?”

“මේගොල්ලෝ දැන් ඉන්නේ බටු ගුහාවේ. ඔයා කොහෙද?

“අපි එන ගමන්. විනාඩි පහළොවක් යන්න කලින් ඔතන.”

“මට පේන විදියට මේ මිනිස්සුන්ට මොකක්ද කරන්නේ කියලා ලොකු අදහසක් නෑ. සංචාරකයෝ වගේ ඒ මේ අත ඇවිදිනවා. දැන් ඉන්නේ උඩට පඩිපෙළ නගින ගමන්.”

“ඊට කලින් කොහෙද ඇවිද්දේ?”

“පල්ලෙහා කන්ද පාමුල තියෙන කෝවිල ඇතුලට ගිහින් උඩ බිම බල බල හිටියා.”

“ඔයා පරිස්සමෙන් ඉන්න. අපි ඔතනට ඉක්මනින් එනවා.”

පැවසූ ලෙසම තවත් විනාඩි කිහිපයක් ඇතුලත රථය යස්වන්ත සිටි ස්ථානයට පැමිණියේය.

“කෝ කට්ටිය?

“තාම උඩට ගිය ගමන්. මම ගියේ නැහැ එළියට බහින්න වෙන පාරක් නැති නිසා.”

බටු ගුහා යනු වසර මිලියන 400 කට වඩා පැරණි ගල් ගුහා සංකීර්ණයකි. ක්වාලාලම්පූර් නගර සීමාව අසලම පිහිටි ප්‍රධානතම සංචාරක සහ ආගමික වන්දනා ස්ථානයකි. එකී ස්ථානයේ පිහිටි අඩි 140ක් උසැති මුරුගන් දෙවියාගේ විශාල රන් ආලේපිත පිළිරුව ඉදිරිපිට පිහිටි කුරුම්බා කඩය අසල යස්වන්ත ඇතුළු පිරිස රැඳී සිටියේය.

“රීටා අපි දෙන්නා උඩට ගියොත් හොඳට පේනවා. ඔයාට පුලුවන්ද උඩට යන්න මුහුණ රෙද්දකින් වහගෙන, අර පේන ගැහැණු කෙනා වගේ.”

සංචාරය සඳහා පැමිණ සිටි මුස්ලිම් තරුණියක් පෙන්වමින් රුසිරු රීටාගෙන් ඉල්ලීමක් කර සිටියේය. 

“කිසිම ගැටළුවක් නැහැ. මම අර කඩෙන් එකක් ගන්නම්.”

“හැබැයි ඒ කට්ටිය ලඟටම යන්න එපා. පුළුවන් තරම් ඈතින් ඉන්න. වෙන දේ අපිට කියන්න”

රීටා මුහුණ ආවරණය කර පඩි 273කින් යුත් ප්‍රධාන ගුහා සංකීර්ණය දක්වා ඇති කන්දේ පියගැටපෙළ නැගීමට පටන් ගත්තේය.

“රුසිරුට හිතෙනවද මෙතන ස්ථූප උපකරණයක් තියෙනවා කියලා?”

යස්වන්ත විමසා සිටියේය.

“මම තාම කල්පනා කරනවා යස්වන්ත. අපි හිතල බැලුවොත් අනිත් ස්ථූප උපකරණ තිබ්බ තැන් ගැන, මෙතන සමානකමක් ඇති. ගෝවේ තිබ්බේ සාන්ත ෆ්‍රැන්සිස් සේවියර් තුමාගේ සොහොන ගාව.”

“ඔව්.”

“ඊජිප්තුවේ තිබ්බ එක තිබිලා තියෙන්නේ පිරමීඩ් එකක. ඒ කියන්නේ ඒකත් සොහොනක්.

“උඹ කියන කතාව හරි. ජර්මනිය හම්බ වුණ එකත් ලුවිස්ගේ සොහොනේ තිබිලා හම්බ උන එකක් කියලා නේද කිව්වේ?”

“ඒ විස්තරේ නං හරියටම සොහොනක් ගැන කියලා තිබ්බේ නැහැ. ඒත් ලුවිස්ගේ සොහොන තියෙන්නේ ඒ හම්බ වුණ බෙලෙම් වල තමයි.”

“දැනට තියන පොදු කුලකය සොහොන. ඔහොම ඉන්න මම බලන්නම් මෙතන සොහොනක් තියනවද කියලා.”

“ජංගම දුරකථනය අතට ගෙන යස්වන්ත තොරතුරු පිරික්සන්නට පටන් ගත්තේය.

“මේ දේවාලේ කැප කරලා තියන මුරුගන් දෙවියන් ගැනත් බලන්න.”

“ඔව් රුසිරු, ඒත් මුරුගන් දෙවියන් අමරණීයයි.”

“හ්ම්, ඒ කියන්නේ මුරුගන් දෙවියන්ගේ සොහොනකට සම්බන්ධ වෙන්න විදියක් නෑ.”

ප්‍රධාන පර්වතය පාමුල පහල වම් පැත්තට වන්නට පිහිටි දේවාලය අසල තිබෙන රූප විමසමින් රුසිරු පරික්ෂා කලේ යම් හෝඩුවාවක් ලබා ගැනීමටයි.

“මේක හොයා ගන්න අපිට හින්දු පුරාවෘත්ත ගැන දැනුමක් ඕනෙ වෙයි වගේ. මේ තියෙන සත්ව රූප, මිනිස් රූප සහ අනෙකුත් ලස්සන කලා නිර්මාණ ගැන මට නම් කිසිම තේරුමක් නැහැ.”

BB Primer to Perfection

“මට අම්මා ඉස්සර පොඩි පොඩි දේවල් කියලා දීල තියෙනවා. ඒත් මට දැන් ලොකුවට මතක නැහැ.”

“මොන වගේ දේවල්ද?”

“මුරුගන් කියන්නේ යුද්ධයට අධිපති දෙවියන්.”

“යුද්ධය.. ඒ කියන්නේ මරණය.”

“ඒ වගේම මුරුගන්ගේ වාහනය මොණරා.”

“පොඩ්ඩක් ඉන්න. යුද්ධය සහ මරණය. මුරුගන් දෙවියා. ඒ කියන්නේ අපි ඉන්නේ හරිම තැන වෙන්න ඕන.”

“ඒත් මුරුගන් දෙවියන් කවදාක්වත් මැරිල නැහැ.”

“ඔව්. දැන් එක පාරක් උඹ මට කිව්වා. දෙවියනේ..ඒ කතාවේ උඹට පොඩ්ඩක්වත් මතක නැද්ද කවුරු හරි මැරුණ විශේෂ කෙනෙක්?”

“එහෙම මතකයක් නැහැ බං. යුද්ධ වලින් නම් සෑහෙන්න මැරිල ඇති. මට ඒ අයගේ නම් මතක නැහැ. මුරුගන්ගේ වාහනය මොණරා උනේ සූරපදම් කියලා වගේ මතකයි.”

“සූරපදම්ට මොකද උනේ? මැරුණද?”

“නැහැ. මම දන්න විදියට එයා මොණරා වෙලා අමරණීය කෙනෙක් වුණා.”

“මට තේරෙනවා. ඉක්මනට මෙතන තියෙන මොණර රූප බලන්න.”

“ඇයි රුසිරු?”

“මොණරා හැටියට වාහනයට මුරුගන් දෙවියන් සූරපදම් එකතු කරහම සූරපදම් කියන චරිතය අවසන් වෙනවා.”

“ඔව් ඒත්.”

“ඒ කියන්නේ සූරපදම්ගේ සොහොන නැත්නම් අවසානය තමයි මොණරා. අපි ඉක්මනට උඩට යන්න ඕනේ.”

“මේ වෙලාවේ?”

“ඔයා පල්ලෙහා දේවාලෙ බලන්න. මම උඩ ප්‍රධාන දේවාල වලට යන්නම්.”

“තනියම යන්න එපා. අපි දෙන්නම එකට යමු.”

“අපිට වෙලාවක් නැහැ යස්වන්ත. මං ගාව පිස්තෝලයක් තියෙනවා. බයවෙන්න එපා. ඔයා පල්ලෙහා මොණර රූප බලන්න.”

රුසිරු වහ වහා පඩි පෙළ තරණය කරන්නට පටන් ගත්තේ කටු ගසා ගෙන ඉහළ නගමින් සිටි හින්දු භක්තිකයන් පිරිසකට මුවා වෙමිනි. ඉතා අලංකාරවූ සහ ලොව පුරා සුප්‍රසිද්ධ හින්දු සිද්ධස්ථානයක් බැවින් විශාල බැතිමත් ජනතාවක් වන්දනා කටයුතු වෙනුවෙන් රැස් කකා සිටියේය.

ප්‍රධාන දොරටුව අසල පිහිටි කෝවිල ආසන්නයේ රැඳී සිටි හිස් වසා ගත් කාන්තාවන් පිරිසක් අතර කහ පැහැති හිස් ආවරණය පැළඳ සිටින රීටා හඳුනාගැනීමට රුසිරුට වැඩි වේලාවක් ගත වූයේ නැත.

සෙමින් පිටුපසින් ගොස් රුසිරු රීටා ඇමතීය.

“රීටා.” 

තිගැස්සී පිටුපස බැලූ රීටා වහා රුසිරු සිටි පැත්තට හැරුනාය.

“කෝ අනිත් කට්ටිය?”

“පල්ලෙහාට බහින්න ලෑස්ති වෙනවා. අතන එහා පැත්ත බලන්න.”

“ඔව්. මට පේනවා.”

“රුසිරු, පොඩි දෙයක් කියන්න තියෙනවා.”

“මොකක්ද?”

“මොණරා.”

“ඔව්. මම හිතුවා. ඔයා මොකක් හරි හොයා ගත්තද?”

“ප්‍රධාන මුරුගන් දේවාලයේ තියෙන මොණර පිළිම දෙක දිහා බලන්න.”

“කෝ මට පෙනෙන්නේ නැහැ හරියට මෙතනට.”

“ෆෝන් එකේ කැමරාවෙන් ලඟට සූම් කරලා බලන්නකෝ. දකුණු පැත්තෙ මොණරාගේ ඔළුව උඩ ඔටුන්න. ඒක දිහා හොඳට බලන්න.”

“මට පේනවා. ස්ථූප උපකරණ වගේ එකක් නේද?”

“ඔව්. ඒත් අපි කොහොමද ඒක අරගන්නෙ?”

“අපිට ප්‍රශ්න දෙකක් තියනවා. එකක් අර මිනිස්සු. අනිත් එක මෙතන ඉන්න සෙනඟ. කරන්න තියෙන්නේ එකම දෙයක් විතරයි. පිස්තෝලයක් පාවිච්චි කරලා තියෙනවද?”

“පිස්තෝලයක් නම් පාවිච්චි කරලා නැහැ. ෂොට්ගන් එකකින් නම් කිහිප වතාවක් මම දඩයමේ ගිහිල්ලා කියනවා.”

“හොඳයි. ලොකු වෙනසක් නැහැ. ඔයා මගේ අතේ තියෙන පිස්තොලේ හොරෙන් ගන්න. ඊට පස්සේ ගිහින් අර දෙන්නට පේන්න ලඟට යන්න. දෙන්නා ලඟට ආවහම කෑගහන්න.”

“මට තේරෙනවා කරන්න ඕන දේ. අවධානය වෙන පැත්තකට ගන්නම්. උඩ ඉන්න ඔක්කොම අයගේ.”

“මම හිතන්නේ නැහැ ඒගොල්ලො ෆ්ලයිට් එකේ ආපු හින්දා ආයුධ ඇති කියලා. ඒත් පරිස්සමෙන්. ගැටළුවක් උනොත් විතරක් පිස්තොලේ පාවිච්චි කරන්න.”

රීටා සිය හිස පැළඳි ආවරණය ඉවත්කර අප්‍රිකානු සහ ඊජිප්තු ජාතිකයන් අසලට සෙමින් ගමන් කළාය.

“කෝ මහාචාර්ය එඩ්වඩ්?” 

රීටා කෑගසමින් විමසුවාය.

අප්‍රිකානුවා ඉදිරියට පැන රීටා අල්ලා ගැනීමට උත්සාහ කරන අතරතුර ඇය යටි ගිරියෙන් කෑගැසුවේ අතවරයකින් බේරා දෙන ලෙසය. ප්‍රධාන මුරුගන් දේවාලයේ සිටි පූජකයින් ඇතුළු සියලුම දෙනා වහ වහා සිද්ධිය වන ස්ථානයට දිව ආවේ උදවු ඉල්ලා කෑගසන කාන්තාවට පිහිට වීමටය. 

ලද සුළු අවසරයෙන් ඵල නෙලා ගත් රුසිරු ප්‍රධාන මුරුගන් දේවාලයේ වහලයට කැටයම් කළ කණු මතින් ඉහලට නගින්නට පටන් ගත්තේය.

සුළු මොහොතක් ගත විය. රීටා සිටි දෙසින් වෙඩි හඬවල් දෙකක් එක විට ඇසෙන්නට විය. වහා ස්ථූප උපකරණය ගලවා ගත් රුසිරු වහලය මත සිටම විමසා බැලුවේ රීටා හට කුමක් සිදුවීද යන්නයි.

රුසිරු සිතූ අයුරු තනිකරම වැරදිය. අප්‍රිකානුවා සහ ඊජිප්තු පොලිස් නිලධාරියා රීටා ප්‍රාණ ඇපයට ගෙන තිබුණි. ඔවුන් දෙදෙනාම අත ආයුධ විය.

ඈත සිටම මැරයන් දෙපල රුසිරු හට අතින් සංඥා කර කියා සිටියේ ඔවුන් අසලට පැමිණෙන ලෙසයි. අප්‍රිකානුවා අත රැඳී පිස්තෝලය රීටාගේ හිසට එල්ලවී තිබුණු අතර ඊජිප්තු පොලිස් නිලධාරියා හිස් ලූ ලූ අත මර හඬ දෙමින් දිවයන ජනතාව පැත්තට එල්ලකරමින් ගුහාවේ ඉහළට නැවත වෙඩි කිහිපයක් තැබුවේය.

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

Book travel visa at iVisa.com

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
cag novel

CAG දහහතරවන කොටස

“මේ කියන පද දෙකෙන් විස්තර කරන උපකරණය තමයි අනිත් උපකරණ පහේ ප්‍රධානියා කියලා. ඒක නිසා තමයි මේ උපකරණය හොයාගන්න එක මේ තරම් දුරට හංගලා තියෙන්නේ, කිසිම විස්තරයක් නැතිව.”
luxury boat

CAG හයවන කොටස

දෑස කිහිප වතාවක් පියවී ගියේය. නැවතත් මුහුදු රළ හේතුකොටගෙන තිගැස්සී අවදිවිය. හිසෙහි පැවති ඇම්ම කිහිප ගුණයකින් වේදනා දෙන්නට විය. මෙය නම් තම ජීවිතයේ අවසාන මොහොත බව රුසිරු නිගමනය කලේ තැන්පත්ව මරණයට මුහුණ දිය යුතු අදිටනෙන් යුතුවය.
fly

CAG අටවන කොටස

“අපට කතා කර කර සිටීමට වෙලාවක් නෑ, මාගේ අසු සූදානම්. වහා ගොඩවන්න. මේ දැන්ම අප මාන්තොට වෙත පලාගොස් නෞකාවක් අතර සැඟවී භාරතයට අපගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් පලා යා යුතුයි.”
Total
0
Share