ආලෝකය, උණුසුම ලබා දීමට අමතරව ඈත අතීතයේ සිට ඉර මිනිසාට පාර පෙන්වූ පැහැදිලිව තම ගමන දක්වන ස්වභාවික වස්තුවක් වශයෙන් හැඳින්විය හැකිය.

Hiking Navigation Skills (Sinhala)- Video 07

ඉර අපේ Hike එකේ දිශාව හොයා ගන්න?

මිනිසා විසින් සාදන ලද දේ භාවිතයෙන් ගමන් මඟ සොයා ගැනීම අද කාලයේ අතිශය පහසු කටයුත්තකි. නොදන්නා ප්‍රදේශයකට යාමට පෙර එකී ප්‍රදේශයට යාමට ඔබ භාවිතා කරන උපකරණ උපාංග සහ විධි ගැන සිතා බලන්න. දුරකථනය, බස් රථයේ නාම පුවරුව, මාර්ග, අන්තර්ජාලය සහ අප ඉගෙන ගත් මාලිමාව මෙන්ම ඉදිරියේදී ඉගෙන ගන්නා සිතියම….

මෙවැනි උපකරණ, උපාංග සහ විධි මිනිසා මේ ලෝකයට කෘතිමව හඳුන්වා දුන් ක්‍රමයන්වේ.

සිතන්න. නූතන ලෝකයෙන් මදකට මිදී ස්වභාව ධර්මය සමඟ උපකරණ උපාංග සහ ඉහත කී විධි නොමැති අවස්ථාවකදී අප සිටින ස්ථානය, දිශාව වටහා ගැනීම සිදු කළ හැකි ආකාර තිබේද?

ඔබේ පිළිතුර ඔව් නම් ඔබ නිවැරදියි.

මෙවන් ආකාර 04 ගැන අපි මෙතැන් සිට ඉගෙන ගමු.

ඉරෙන් පාර සොයමු.

ඉරෙන් දිශාව සොයා ගැනීම අතිශය පැරණි මෙන්ම සරල ක්‍රමයකි. ඔබ දැනටමත් ඉර උදාව සහ ඉර බැසීම පදනම් කර ගෙන දිශාව සොයා ගන්නා ආකාරය දන්නවා නේද?

ලෝකයේ ඔබ කොතැන ජීවත් වුවද ඉර උදාවන්නේ නැගෙනහිර දිශාවෙන් වන අතර බසින්නේ බස්නාහිර දිශාවෙන් වේ. මේ ගැන අවධානයෙන් සිටියහොත් ඔබට එකී දිශාවන් පහසුවෙන් සොයා ගත හැකි බව ඔබ අත්දැක ඇති බව නම් විශ්වාසයි.

එකී දිශා 02ක මත ඔබට අනෙකුත් දිශාවන් පහසුවෙන් සොයා ගත හැකිය. සෑම විටම දිශාවන් වෙනස් වන්නේ දක්ෂිණාවර්ථව බව මතක තබා ගන්න. ප්‍රධාන දිශා 04 වන පිළිවලින් උතුර(N), නැගෙනහිර(E), දකුණ(S) සහ බස්නාහිර(W) වශයෙන් වෙනස් වෙයි. මෙය පහසුවෙන් මතක තබා ගත හැකි පහසු ක්‍රම ඔබ දැනටමත් දන්නවා නේද?

නැගෙනහිර දිශාව දන්නේ නම් එයට මුහුණලා සිට ගත් විට මීළඟට ඔබගේ දකුණු අත පැත්තට ඇත්තේ දකුණු දිශාවයි. වම් අත පැත්තට උතුර සහ පිටුපසට වන්නට බස්නාහිර දිශාවයි.

නිවසක ජීවත් වන විට, කුඩාරමක දවස ගෙවන විට මෙකී ක්‍රමය ප්‍රයෝගික වුවද Hike එකකදී, කෙටි කාලයක් පමණක් අප නොදන්නා එක් ස්ථානයක රැඳී සිටින විට ඉරෙන් දිශාව සොයා ගැනීම කොහෙත්ම පහසු කටයුත්තක් නොවෙයි. 

දැන් අප විමසා බලන්නට උත්සහ කරන්නේ මෙවැනි අවස්ථාවකදී ඉර භාවිතා කර කෙටි කාලයකින් දිශා 04 නිවැරදිව සොයා ගැනීමේ ක්‍රමයක් පිළිබඳවයි. 

විනාඩි 15ක සිට 30ක කාලයක් ඇතුලත මෙම ක්‍රමය මඟින් වඩාත් නිවැරදි කියවීමක් ඔබට දිශා පිලිබඳ ලබා ගැනීමට හැකි වනු ඇත.

මෙකී ක්‍රමය වසර දහස් ගණනක සිට මිනිසුන් භාවිතා කර ඇති අතර මෙය උපයෝගී කරගෙන නිපදවූ සංකීර්ණ උපකරණ පවා ඇත. (කාලය සහ දිශාව සොයා ගැනීමට)

Hiking Navigation skills sinhala
ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි Jantar Mantarහි ඉර උපයෝගී කර ගත් පැරණි යන්ත්‍රයක්.

උපකරණයට සෑදීමට අවශ්‍ය දේවල්

ඉර එළිය

අඩි දෙකක පමණ ඍජු කෝටු 02කක්.

අඟල් 06ක් පමණ දිග කෝටු කැබලි 03ක් හෝ ගල් කැබැලි 03ක්.

සාදන ක්‍රමය

ඉර එළිය හොඳින් ලැබෙන තැනක සමතලා බිමක් තෝරා ගන්න. මෙකී බිමේ වෙනත් සෙවණැලි තිබේදැයි සැලකිලිමත් වන්න. එවන් සෙවණැලි නැති තැනක් තෝරා ගැනීම වඩාත් සුදුසුවේ.

ඉන්පසු එක් අඩි දෙකක කෝටුවක් ගෙන එය වෙනත් සෙවණැලි නොමැති තැනක ඉහත කී පරිදි වන තැනක පොළවේ සවි කර ගන්න.

මෙහෙදී ඔබට කෝටුවේ සෙවණැල්ල පැහැදිලිව පෙනිය යුතුය. 

සෙවණැල්ලේ අන්තිමට (සෙවණැල්ල අවසාන වන ස්ථානයට) ඔබගේ කුඩා කොටු 03න් එකක් හෝ කූඩාරම සවි කිරීමට ගන්න Stake එකක් ගසන්න. කෝටු සපයා ගත නොහැකි නම් ඒ වෙනුවට ගල් කැටයක් තැබිය හැකිය.

කෝටු හෝ Stake වඩාත් සුදුසු වන්නේ ප්‍රධාන කෝටුවේ සෙවණැල්ලේ සිට නැවත දිගුවක් ආකාරයට තවත් සෙවණැල්ලක් පෙනීම නිසාය. එය නිවැරදිව ස්ථානය ලකුණු කළ බව පෙන්වයි.

විනාඩි 10-15ක පමණක් කාලයක් මෙලෙස පළමු ස්ථානය ලකුණු කර බලා සිටින්න.

ගල් යොදා ගන්නේ නම් තරමක වැඩි කාල වෙලාවක් යොදාගෙන මෙම ක්‍රියාකාරකම කිරීම වඩාත් උචිත වේ.

අදාල කාලයට පසුව එක ඉරක් වශයෙන් තිබූ කුඩා සහ විශාල කෝටු වල සෙවණැලි වෙනස් වී ඇති බව ඔබට පෙනෙනු ඇති අතර වෙනස් වී ඇති විශාල කෝටුවේ අවසානයට ඔබගේ අනෙත් (02 වැනි) කුඩා කෝටුව ඉහත පළවෙනි කුඩා කෝටුව ගැසූ ආකාරයටම ගසන්න. නැතිනම් දෙවැනි ගල තබන්න.

මේ ආකාරයටම තුන්වෙනි කෝටුව, Stake එක හෝ ගලද නැවත කාලය ගත වීමෙන් පසුව සවිකර හෝ තබා ගන්න.

වැඩි කාල වෙලාවක් සහ ස්ථාන ප්‍රමාණයක් ඔබ මේ වෙනුවෙන් ලකුණු කරන්නේ නම් පැහැදිලි චිත්‍රයක් සාදා ගැනීම පහසු වන නමුත් කාල වෙලාව අනුව සහ අවශ්‍යතාවය අනුව ස්ථාන 02ක් ලකුණු කිරීමෙන් පවා මේ කාරණය සිදු කළ හැකිය.

ඔබට මේ කිසිඳු පහසුකමක් නැතිනම් සහ ගසක තිබෙන සෙවණැල්ලක් හෝ ඔබගේම සෙවණැල්ල භාවිතා කරද එය ලකුණු කරමින් මෙම ක්‍රියාකාරකම කරන්න.

සෑම විටම ඔබ ලකුණු කරන සෙවණැල්ලේ එකම ස්ථානය ගන්න අමතක කරන්න එපා. උදාහරණයක් වශයෙන් ගසක අත්තක් ගන්නේ නම් දිගටම එකම අත්තේ සෙවණැල්ල ගන්න. කෝටුවක කොණ ගන්නේ නම් එකම කොණ ලකුණු කරන්න.

දිශාව සොයා ගන්නා ආකාරය

ගතවන කාලය අනුව අවම වශයෙන් කෝටු දෙකක්වත් ගසා ගත් පසුව අනෙක් දිග කෝටුව හෝ (එසේ නොමැති නම්) පළමුව ගැසූ කෝටුව පහත රූපයේ පරිදි තබා ගන්න.

පළමු කුඩා කෝටුව ගැසූ දිශාව බස්නාහිර දිශාවයි. දෙවැනි කෝටුව ගසා ඇත්තේ නැගෙනහිර දිශාවටය.

ඉහත රූපයේ පෙනෙන පරිදි කෝටුවේ රේඛාව බස්නාහිර සිට නැගෙනහිරට සරල රේඛාවක්ය. දැන් අංශක 90 කෝණ සෑදෙන පරිදි තවත් කෝටුවක් තබන්න.

මේ කතිරයෙන් (දිග කෝටු 02 තබා සෑදුණු) ඔබට දිශා 04 පෙන්වයි. දිශා 04 මතක තබා ගත හැකි ක්‍රම ඔබට මතකද?

මා කුඩා කළ මේ ඉගෙන ගත් කවිය තවමත් මම දිශා 04 සොයා ගැනීමට භාවිතා කරන්නේ පහසුවෙන් මතක තබා ගත හැකි ක්‍රමයක් නිසාය. ඔබ භාවිතා කරන ක්‍රමය කුමක්ද?

උපුල් ඊළඟ නැවේ ගිහින් දම්මි නිදිද බලා වරෙන්.

මේ කවියේ සෑම වචනයකම පළවෙනි අකුරෙන් දිශාවක් පෙන්වයි. උදාහරණ වශයෙන් උපුල් යන්නේ උ අකුරෙන් උතුරද බලා යන වචනයේ බ යන්නෙන් බස්නාහිර දිශාවද පෙන්වා ඇත. මේ ආකාරයට අනිත් වචන වලද මුල් අකුරු වලින් පහත පරිදි දිශාවන් විස්තර කරනු ලැබේ.

උපුල් – උතුර

ඊළඟ – ඊසාන

නැවේ – නැගෙනහිර 

ගිහින් – ගිණිකොන 

දම්මි – දකුණ 

නිදිද – නිරිත 

බලා – බස්නාහිර 

වරෙන් – වයඹ

දිශාවන් සෑම විටම දක්ෂිණාවර්ථ වෙනස් වෙයි. මේ කවිය අනුව දිශා සොයන්නේ නම් පළවෙනි වචනයේ දැක්වෙන උතුරෙන් පසුව ඇති දිශාවන් ඔරලෝසුවක කටු කැරකෙන්නාසේ දක්ෂිණාවර්ථ පැත්තට වෙනස් වෙමින් පිහිටා ඇත. එනම් අංක 12 උතුර නම් අංක 03න් දැක්වෙන්නේ නැගෙනහිර දිශාවයි.

දැන් අපේ ක්‍රියාකාරකම නැවතත් බලමු. අප පළවෙනි කෝටුව ගැසූ පැත්ත බස්නාහිර බව ඔබ දැනටමත් දනී. ඊළඟට දක්ෂිණාවර්ථව ඇත්තේ උතුර පෙන්වන අංශක 90ක වෙනසින් යුතුව තැබූ දිගු කෝටුවයි. නැවත දක්ෂිණාවර්ථව අපේ පළමුව තැබූ කෝටුව නැගෙනහිර පෙන්වන අතර අවසාන දිශාව වශයෙන් කෝටුව පෙන්වනුයේ දකුණු දිශාවයි.

අපිට යාමට අවශ්‍ය වනුයේ දකුණු දිශාවට යැයි සිතමු. දැන් ඔබ කළ යුතු වන්නේ දකුණු දිශාව දක්වන කෝටුවේ පැත්තට මුහුණලා සිට ගැනීමයි. එකී මුහුණලා සිට ගත් පැත්තට ගමන සිදු කරන්නේ නම් ඔබ ගමන් කරනුයේ දකුණු දිශාව වෙතටයි. මේ ආකාරයටම අනෙකුත් දිශාවන්ද ඔබට තෝරා ගත හැකියි.

සෙවණැල්ල උපයෝගී කරගෙන දිශාව සොයා ගන්නා ක්‍රමය මෙය වන අතර ඔබගේ නිවසේ මිදුලේ මෙකී ක්‍රියාකාරකම අද හෙටම උත්සහ කර දිශාවන් හඳුනා ගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *