ඔබ නියමිත පරිමාණය සහ දිශාව දන්නා බැවින් අවට පිලිබඳ මනා අවබෝධයක් සේම අතරමං වීමට තිබෙන අවස්ථාව අඩු වී පහසුවෙන් කුඩාරම කරා නැවත පැමිණීමට හැකි වනු ඇත. එලෙසම ආපදා තත්වයකට මුහුණ නොදී වැඩි කාලයක් සුරක්ෂිතව සිටීමට මෙකී කුඩා සටහන හෙවත් සිතියම ඔබට උදවු වනු ඇත.

මීට පෙර පාඩමේ පොළව මත සිතියම සෑදීම පිළිබඳව අප කතා බහ කළා. මේ පාඩමේ පරමාර්ථය එලෙස පොළව මත සිතියම කොළයකට නැත්නම් සටහනකට ගැනීමයි. මෙය අපට ප්‍රදේශයේ වඩාත් හොඳ ගවේෂණයක් සඳහා උපකාරී වන අතර පැහැදිලි චිත්‍රයක් මඟින් උපකාර රාශියක් ලබා ගත හැකි මඟකි.

උපකාරක

මේ සඳහා අවශ්‍ය වන්නේ මොනවාද යන්න අපි දැන් සොයා බලමු.

01. පැන්සලක් හෝ පෑනක් 

02. හිස් කොළයක් 

03. මාලිමාව 

04. සටහන් තැබූ පොත.

මීට අමතරව කොළය ඒ මේ අත යාම වැලැක්වීම සඳහා ටේප් හෝ බරක් තිබීමත් කෝදුවක් සමඟ කවකටු පෙට්ටියක් තිබීමත් ප්‍රයෝජනවත් විය හැකියි. (අත්‍යවශ්‍ය නොවේ)

උතුර ලකුණු කිරීම 

උතුර නිවැරදිව තීරණය කර ලකුණු කර ගැනීම අනිවාර්ය පළමු පියවරයි. මෙය ආකාර දෙකකට කළ හැකියි.

01. හිස් කොළයේ උතුර ඇඳීම

පැන්සල හෝ පෑන උපයෝගී කරගෙන කොළයේ ඕනෑම කොණකට ආසන්නව ඉහලට තනි ඉරක් ඊතල හිසක් සහිතව අඳින්න.

north

02. හිස් කොළයේම කොණ උතුරු ලෙස භාවිතය.

කිසිඳු රේඛාවක් ලකුණු නොකර ඔබට ඔබ භාවිතා කරන කොළයේම එක් කොණක් උතුර ලෙසට සැලකිය හැකියි. ඉරක් ඇඳීම අවශ්‍ය නැත.

මේ කුමන ආකාරයට ඔබ උතුර ලකුණු කළද මාලිමාවේ උතුර සමඟ ඉහත අඳින ලද තනි ඉරට සාපේක්ෂව හෝ කොළයේ කොණට සාපේක්ෂව හරවා සකස් කර චුම්භක උතුරට එකී ඉර හෝ කොණ සමාන්තර වන පරිදි තබා ගත යුතුයි.

මෙය කිරීමට පහසුම ආකාරය නම් ඔබ උතුර වශයෙන් ලකුණු කළ ඉර හෝ කොණ දිගට මාලිමාවේ කෝදුවේ පැත්තක් (කොළය මත) සමාන්තර වන්නට තබා ගැනීමයි. Index Line එක හෝ Travel Arrow එක වුවද අඳින ලද උතුර දිගට තබා ගත හැකිය.

ඊළඟට ඔබගේ මාලිමාවේ Index Line/Travel Arrow එක කෙලින් බෙසල් එක කරකවා ෂෙඩ් එක තබන්න.  

ෂෙඩ් එක ඇතුලට චුම්භක කටුව එන තෙක් මාලිමාව ඉහත කී පරිදි කොළය උඩ තබා ගෙන ඊට යටින් පිහිටි කොළයේ පිහිටීම සෙමින් වෙනස් කරන්න.

paper and compass

මෙලෙස කොළය සකසා ගත් පසුව ඊළඟ කටයුතු වෙනුවෙන් එය නොසෙල්වන පරිදි තබා ගත යුතුයි. 

ඔබ සුළඟ වැඩි ස්ථානයක සිටින්නේ නම් මේ ගැන සැලකිලිමත් වන්න. කොළයේ වෙනස් වීම් සිතියමේ ලකුණු කිරීම් වෙනස් කරයි. ඒ නිසා හැකි නම් ටේප් හෝ ගල් වැනි බරක් කොළය ඒ මේ අත නොයාමට භාවිතා කරන්න.

මෙය අප Back-Country කෑම්පින් කරන විට කියන තරම් (ඔබේ මේසය මත තබා අඳින ආකාරයට වඩා) පහසු කටයුත්තක් නොවේ. 

කොළයේ පිහිටීම වෙනස් වුවහොත් මාලිමාව තබා පෙර විස්තර කළ ආකාරයටම නැවත උතුර සමාන්තර කර ගන්න.

Take a food journey around the world

අගයන් ලිඛිතව පරිවර්තනය

මීළඟට අප සාදන සිතියමේ මීට පෙර කොටසේ සඳහන් කළ (අංක 04) වගුවේ අගයන් ලකුණු කර ගත යුතුය.

chart with transferring

ඔබ ඇවිද ගිය ප්‍රදේශයේ හැටියට සුදුසු වන ස්ථානයකින් සිතියම ඇඳීම ආරම්භ කරන්න. බොහෝ විට කොළයේ එක් කොණකින් මේ ඇඳීම ආරම්භ කිරීම වඩාත් සුදුසුවේ.

උදාහරණයේ දැක්වෙන අපි ගමන ආරම්භ කළ කුඩාරම C යනුවෙන් ලකුණු කරමු. මෙය සිතියමේ ආරම්භක ස්ථානයයි.

දැන් C ස්ථානයේ සිට අංශක 80 කෝණයකින් මීටර් 120ක දුරක් ලකුණු කර ගත යුතුය. දුර ලකුණු කිරීම සඳහා ඔබට මාලිමාවේම පිහිටි කෝදු භාවිතා කළ හැකිය. වඩා පහසුව සඳහා වෙනත් කෝදුවක් වුවද භාවිතා කළ හැක.

මාලිමාව භාවිතා කර අංශක 80 කෝණය C ස්ථානයේ සිට ගන්න. ඔබගේ කොළයේ ප්‍රමාණය සහ ඇවිද ගිය දුර අනුව සුදුසු වන පරිමාණයක් ගෙන පළමු රේඛාව අඹ ගස දක්වා අඳින්න.

මෙය සිදු කළ හැකි පහසුම ක්‍රමය නම් මාලිමාවේ Index Line එක කෙළින් අංශක 80ක් වන්නට බෙසල් එක කරකවා තබා ගෙන ෂෙඩ් එක ඇතුලට චුම්භක කටුව යන තුරු මාලිමාව කරකැවීමයි. උතුරට තබා ගෙන සිටින කොළයේ පිහිටීම වෙනස් නොවන්නට වග බලා ගත යුතු අතර මාලිමාවේ කෝදුවේ 0 අගය (පරිමාණය මැනීමට භාවිතා කරන මාලිමාවේ කෝදුව) අඹ ගස අසලින් තබා මෙකී කරකැවීම සිදු කිරීම වඩාත් සුදුසුය.

ඔබ ගන්නා පරිමාණය කොළයේ සටහන් කරන්න. මේ උදාහරණය සඳහා මා භාවිතා කළ පරිමාණය සෑම සෙන්ටිමීටර් එකකටම මීටර් විස්සකි. (1Cm = 20M) අතිරේක කෝදුවක් හෝ ඉහත කී පරිදි මාලිමාවේ කෝදුව යොදාගෙන මේ දුර නිවැරදිව අඹ ගහ දක්වා ලකුණු කර ගන්න.

malimawa මාලිමාව  reading in to map

පරිමාණය ගැන කෙටියෙන් වැඩිදුරටත් විස්තර කළහොත් මෙය ඔබට කැමැති ආකාරයකට සිතියම ඇඳීම සඳහා යොදා ගැනීමට තීරණය කළ හැකිය. 

ඔබ විශාල දුරක් සහිත ප්‍රදේශයක ගමන් කර ඇත්නම් වැඩි අගයක් (උදා. 1Cm  = 100M) ගත හැකි අතර මා ගත් අගයන්ට වඩා අඩු අගයන් සහිත කුඩා ප්‍රදේශයක් විස්තර කිරීමට කුඩා පරිමාණයක් (උදා. 1Cm = 10M) යොදා ගත හැකිය. මෙය ඔබගේ කොළයේ ප්‍රමාණය, විස්තර කිරීමට ඇති තොරතුරු මතද ඔබට කැමති අයුරින් වෙනස් කළ හැකිය.

අඹ ගස අසලට ගිය පසු ඔබ එහි සිට ඊළඟ අගය ගත යුතුයි. එනම් අංශක 118 ක කෝණයක් කළු ගල දක්වාය. මේ අගය සළකුණු කළ යුත්තේ අඹ ගස සඳහන් කළ ස්ථානයේ පෙර පරිදි මාලිමාව තබා ගෙනය.

සිතියම ඇඳීම ආරම්භ කිරීමට පෙර සහ ඉහත කී පරිදි සලකුණු කිරීමට පෙර මාලිමාව තබා දල ආකාරයට පරීක්ෂාවක් සිදු කළහොත් ඔබට සිතියමේ මාර්ගය අනුමානව සිතා ගත හැකි අතර මෙය ඔබට සුදුසු ස්ථානයකින් සිතියම ඇඳීම ආරම්භ කිරීමට පිහිට වනු ඇත.

උදාහරණයේ දැක්වෙන අපගේ අගයන් අනුව ඉහත රූපයේ පෙනෙන ආකාරයට මම සිතියම අඳින්නට තීරණය කළහොත් එකී ගමන් මාර්ගය කොළයේ සීමාවෙන් පහළට දිවයයි. ඒ නිසා අදාල තොරතුරු අනුව මාගේ සිතියම කොළයේ උඩින් වන්නට ආරම්භ කළ යුතුය. 

එලෙසම ඔබ පෙර කොටසේ විස්තර කළ පරිදි පොළවේ සිතියම ලකුණු කර ගත්තේ නම් ගමනේ හැඩය ගැන අදහසක් එයින්ද ලබා ගත හැකිය.

මෙලෙස ඔබ සටහන් තැබූ සෑම ස්ථානයක්ම (සෑම Waypoint එකක්ම) කොළයේ නිවැරදිව ඉහත කී ලෙස ලකුණු කර ගන්න.  නිවසේ සිට මේ කටයුත්ත කරන්නේ නම් කෝණ මානය ඇතුළු කව කටු පෙට්ටියේ ඇති බොහෝමයක් උපකරණ ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. එසේ පහසුකම් තිබුණද හැකි අවම උපකරණ ප්‍රමාණයකින් සහ පහසුකම් ඇතිව මේ කටයුත්ත කරන්නට සෑම විටම පුහුණු වන්න.

සියලු Waypoint නිවැරදිව ලකුණු කරගත් පසුව අවසානයේ ඔබට මෙවැනි පැහැදිලි සරල සිතියමක විස්තර සහිත දල සටහනක් ලැබෙනු ඇත.

malimawa details in to paper map Compass

ඔබට කැමති සළකුණු සහ වර්ණ, සිතියමේ සඳහන් වචන වෙනුවට යොදා ගත හැකිය. උදාහරණ වශයෙන් ගසක් පෙන්වීමට මෙහි දැක්වෙන පරිදි ගසක පින්තූරයක් සහ කළුගල් ප්‍රදේශය කළු පැහැයෙන් දැක්විය හැකිය.

ඔබ මාලිමාවේ කෝදුව පමණක් මාර්ගය දැක්වීමට භාවිතා කරන්නේ නම් ඇතැම් විට සම්පූර්ණ දුරම (වැඩි දුර ප්‍රමාණයක් Waypoint දෙකක් අතර ඇති අවස්ථාවකදී) ඇඳ අවසන් කිරීම සඳහා එය ප්‍රමාණවත් නොවිය හැකියි. එවිට හැකි උපරිමය ඇඳ එතැන් සිට නැවත අගය ගෙන ඉතිරි දුර සම්පූර්ණ කර ගන්න.

Blue Lotus SPF 30 Moisturizer

සිතියමක් සෑදීමේ වාසි

දින කිහිපයක් Back-Country කෑම්පින් කරන විට මෙම සිතියම අතිශය ප්‍රයෝජනවත් විය හැකිය. ඔබ වටිනා දත්ත රාශියකින් සන්නද්ධ වී සිටිනවා සේම එකී දත්ත වල වැදගත් කම සහ ප්‍රයෝජනය ගැන දැන් අපි කෙටියෙන් විමසා බලමු.

නැවත පහසුවෙන් පෙරලා පැමිණීමට.

පසුගිය පාඩමේ විස්තර කළ ආකාරයටම අප ගමන් කළ ගමන් මාර්ගයේ නැවත නොපැමිණ පහසු සහ ඉක්මන් පෙරලා පැමිණීමකට සහය වන මාර්ගයක් සොයා ගැනීමට සිතියම උපකාරී වේ. ඔබට මෙකී ගණනය මාලිමාව උපයෝගී කරගෙන ඉතා පහසුවෙන් ලිඛිත සිතියම සමඟද සිදු කළ හැකිය.

finding easy path

අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීමට.

කෑම්පින් කරන අතරතුර හෝ මිනිස් වාසයෙන් ඈත්ව සිටින විට විවිධ සැපයුම් අවශ්‍යතා අප හට මතු විය හැකිය. ආහාර සපයා ගැනීම, ජලය සහ දර එකතු කිරීම එකී අවශ්‍යතාවයන්ට සරලම උදාහරණ වේ. සිතියම ඔබට පහසුවෙන් එකී අවශ්‍යතාවයන්ට යා හැකි මඟ පෙන්වයි.  

එමෙන්ම එකී පහසුකම් ලබා ගැනීමට ඔබට ඇති කිට්ටුම මාර්ගයද පෙන්වයි.

රාත්‍රී කාලයේ ගිනි දැල්වීම සඳහා ඔබට දර එකතු කිරීමට අවශ්‍ය නම් ඔබ කලින් ගමන් කළ සම්පූර්ණ වටයම ගස් වැටිය සොයා යා යුතු නැත. මාලිමාව සහ ඔබ සෑදූ සිතියම සමඟ සුළු ගණනය කිරීමකින් දිශාංකය සහ දුර (පරිමාණයට අදාල) වහා සොයා ගත හැකිය. තවද එලෙස යෑම මඟින් කාලය ඉතුරු කරගෙන ඉක්මනින් අපගේ අවශ්‍යතා සපුරා ගත හැකිය. 

තීරණ ගැනීමේ පහසුව 

අප පෙර ගමන් කළ මාර්ගයේ අවසාන Waypoint එක වන අඩි පාර අසලට පැමිණෙන තෙක් අඩි පාරක් දකින්නට ලැබුණේ නැත. එනම් එකී අප පෙර පැමිණි දිශාවේ කිසිඳු පැත්තකට අඩි පාර ගමන් නොකරයි. 

ඔබ තව දුරටත් අඩි පාර ගැන සැලකිලිමත් වන්නේ නම් එය සම්බන්ධ වන දිශාව හෝ දිවෙන්නේ කොයි දෙසටද යන්න අඩු වෙහෙසකින් තීරණය කළ හැකිය. මෙලෙස පහසු තීරණ ගැනීමට සිතියම ඔබට උදවු වේ.

මීට අමතර වාසි ගැන අපි සිතියමේ වැඩි දියුණු කිරීම් සමඟ කතා කරමු.

සිතියමේ වැඩි දියුණු කිරීම් 

කෙටි සටහන් මඟින් වැඩි විස්තර 

ඔබ ඔබගේ සටහන් අතරට කෙටි විස්තර මඟින් විවිධ තොරතුරු එක් කළේ නම් එකී දත්තයන්ද සිතියමට එකතු කළ හැකිය. උදාහරණයක් වශයෙන් ඉහත කී සිතියමේ කළු ගලත් දිය පාරත් අතර තණ බිමක් ඇති සිතන්න. එය ඇරඹෙන ස්ථානයේ පියවරය (දුර) සහ අවසන් වන ස්ථානයේ පියවරය (දුර) ගැන අප පියවර ලකුණු කළ කටු සටහනට තොරතුරු ඇතුලත් කළේ නම් එකී ගස් රහිත තණ බිම සිතියමේ නිවැරදිවම ලකුණු කළ හැකිය.

මේ ආකාරයටම ගස් වැටිය ආරම්භ සහ අවසාන වන ස්ථානයද ලකුණු කළ හැකිය.

මෙම ලකුණු කිරීම් අපට නොසිතනා වාසි ගෙන දෙයි. ඔබ Hike එක අතරතුර අතරමං වූයේ නම් ඒ බව ඔබ සොයා එන අයට දැන්විය හැකි ලොවම පිළිගත් එක් ක්‍රමයක් ලෙස ගිනි මඟින් දුම් 03ක් පිලිවෙලින් දැල්වීම හැඳින්විය හැකිය. (මෙවැනි දුම් තුනක් පැහැදිලිව දර්ශනය වනවිට මඟී ගුවන් යානයක නියමුවන් වුවද ඒ ගැන අදාල අංශයන්ට දැනුම් දෙනු ලබයි)

ඔබ මෙකී ගිනි එළිමහන් පිටියක දල්වන්නේ නම් සුදුසු තත්වයකදී එය වඩා පහසුවෙන් සුදුසු පුද්ගලයන්ට (ගුවන් භටයින්, ගුවන් නියමුවන්) දැකීමට උදවු වනු ඇත. මෙය ඔබට මෙවන් තණ බිමකින් ලැබෙන එක් වාසියකි. වියලි දර සහිත ගොඩවල් ඔබට මෙහි පෙර සූදානම් කර තැබිය හැකිය.

එය වෙත යා හැකි කිට්ටුම පාරද ඔබ දනියි. ඔබ ඉක්මන් නොවූවොත් සහ එසේ සූදානමක් නැත්නම් ඔබ සොයමින් පැමිණෙන අය හට ඔබව මඟ හැරීමට වුවද සම්භාවිතාවක් ඇත.

මෙය සරල උදාහරණයක් වුවද සැබෑ ජීවිතයේදී ඔබට අවට මනා ලෙස දැන සිටීමේ වාසිය සහ සූදානම කියා දෙයි.

ඒ නිසා මෙවැනි සිතියමක් සාදන විට හැකි තරම් තොරතුරු එකතු කර ගෙන එකී විස්තර ඇතුලත් කරන්න.

සිතියමට තවදුරටත් වැඩි දියුණු කිරීම් කරන ආකාරයක් ගැන අපි විමසා බලමු.

මීට පෙර අප සටහන් කළ සිතියමේ දක්වා ඇති දිය පාර ඔබට මතකයි නේද?

එකී දිය පාර ඔස්සේ ගොස් ඒ පිලිබඳ ඉහත අප කටු සටහන් ගත් ආකාරයටම නව සටහන් ඇතුලත් කිරීමට ඔබට හැකියි. දිය පාර වෙනස් වන විට එතැනට ඇති මාලිමාවේ අගය සහ පියවර කිහිප ස්ථානයකින් සටහන් තබා ගන්න. එකී වෙනස් වන ස්ථාන හෙවත් Waypoint සිතියම මත ලකුණු කර හැඩයක් පැමිණෙන සේ යා කරන්න.

ඉන්පසු ඔබට පැහැදිලි දිය පාරක් ලකුණු කළ විස්තරයක් පහත රූපයේ පරිදි ඔබට ලැබෙනු ඇති අතර එය වඩාත් ඉක්මනින් ජලය ලබා ගැනීමට උදවු වනු ඇත.

using malimawa updating map compass මාලිමාව

මේ ආකාරයට ඔබ සිටින ප්‍රදේශයේ ඕනෑම විස්තරයක් ලකුණු කර ගන්න. 

ඔබ නියමිත පරිමාණය සහ දිශාව දන්නා බැවින් අවට පිලිබඳ මනා අවබෝධයක් සේම අතරමං වීමට තිබෙන අවස්ථාව අඩු වී පහසුවෙන් කුඩාරම කරා නැවත පැමිණීමට හැකි වනු ඇත. එලෙසම ආපදා තත්වයකට මුහුණ නොදී වැඩි කාලයක් සුරක්ෂිතව සිටීමට මෙකී කුඩා සටහන හෙවත් සිතියම ඔබට උදවු වනු ඇත.

Logo 468x60
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *