ඔබ මේ දෙය කළ යුතු වන්නේ ජිවිතයේ එක් වරක් පමණයි. (තවමත් උසින් වැඩෙන දරුවකු නොවේ නම්). ඒ නිසා තරමක් මහන්සි වී මේ කටයුත්තේ යෙදුනාට කමක් නැහැ.

Hiking Navigation Skills (Sinhala)- Video 03

පියවර මැනීම සහ අංශක 90 ගමන යනු Hiking සහ Back-Country කෑම්පින් වලදී අතරමං නොවීම සඳහා අපගේ අවබෝධය අනිවාර්යයෙන්ම තිබිය යුතුම කාරණාවක් ලෙසට හැඳින්විය හැකියි.

Take a food journey around the world

මෙකී කාරණාවේ ප්‍රායෝගික භාවිතය ගැන අපි මෙහි සඳහන් කරන මූලික කාරණා වලින් පසුව වැඩිදුරටත් විමසා බලමු.

ඔබ මේ දෙය කළ යුතු වන්නේ ජිවිතයේ එක් වරක් පමණයි. (තවමත් උසින් වැඩෙන දරුවකු නොවේ නම්) ඒ නිසා තරමක් සුදානම්ව මහන්සි වී මේ කටයුත්තේ යෙදුනාට නම් කමක් නැහැ.

මීටර් 100 ලකුණු කිරීම.

අපගේ පියවර මැනීමට පෙර ඒ සඳහා යා යුතු නිශ්චිත දුරක් ලකුණු කර ගත යුතුයි. ඔබට පුරුදු මෙට්‍රික්(Metric) ක්‍රමය නම් මීටර් ඒකකයෙන් මීටර් 100යක දුරක් පොළවේ ලකුණු කර ගැනීම වඩාත් සුදුසුයි.

ඔබට පුරුදු ඉම්පීරියල්(Imperial) ක්‍රමය නම් යාර ලකුණු කර ගත්තට කමක් නැත. නමුත් පහසුතාවය හේතුවෙන් සහ ලෝකයේ වැඩි වශයෙන් (ඇමරිකාව, මියන්මාරය වැනි රටවල් කිහිපයක් හැරුණු විට) භාවිතා කරන ඒකකය බැවින් මාගේ නිර්දේශය නම් වෙන්නේ මීටර් හෙවත් මෙට්‍රික්(Metric) ක්‍රමයයි.

මේ ලකුණු කිරීම ආකාර 02කකට කළ යුතුයි. 

01 සමතලා බිමක

02 කන්දක

මෙසේ මීටර් 100යේ අවසාන සහ ආරම්භක ස්ථානයන් ලකුණු කිරීමෙන් පසුව ඔබට පියවර මැනීම ආරම්භ කළ හැකියි.

Logo 468x60

පියවර මැනීම

මෙය ආකාර 03කට හෝ 04කට කළ හැකියි. 

වැඩි ආකාර ගණනකට කිරීම මඟින් ඔබට වඩාත් නිවැරදි අගයක් ලැබීමේ අවස්ථාව වැඩි වනු ඇත.

01 ආකාරය – සමතලා බිමේ 

02 ආකාරය – කන්ද නැගීම 

03 ආකාරය – කන්ද බැසීම 

04 ආකාරය (කැමති නම් පමණක්) – නැවත සමතලා බිමෙහි විරුද්ධ දිශාවට 

ඉහත සඳහන් පළමු ආකාර 03ට හෝ සම්පූර්ණ ආකාර 04ටම ලකුණු කර ගත් බිමෙහි  මීටර් 100ක දුරක් බැගින් ගමන් කර එකී දුර යාමට ඔබට ගතවන පියවර ගණන මැනිය යුතුය.

අගය ගණනය 

ඉහත සූදානම්වූ ආකාරයට මැනිය යුතු මේ අගය ගණනය කරන ආකාරය දැන් අපි විමසා බලමු.

මේ ගණනය ලබා ගන්නා අවස්ථාවේදී ඔබ Hike එකකට හෝ Backpacking ගමනකට සුදුසු ආකාරයට ඔබ භාවිතා කරන Backpack එක, Hiking ඇඳුම් සහ සපත්තු සමඟ සැරසී සූදානම්ව සිටිය යුතුයි. ඔබ Trekking poles/Hiking Poles භාවිතා කරන අයෙක් නම් ඒවාද සමඟ මේ ගණනය ගන්න අමතක කරන්න එපා. 

මෙලෙස සැරසුණු පසු ඔබ ලකුණු කර ගත් ආරම්භක ස්ථානයට යන්න. ඔබගේ ආරම්භක කකුල විය යුත්තේ ඔබට පුරුදු කකුලයි. උදාහරණයක් වශයෙන් මාගේ පුරුදු කකුල දකුණ බැවින් ආරම්භක ඉරේ මා දකුණු කකුල තබා ගෙන සිටිනවා. එකී ස්ථානය අපට 0 අගය වශයෙන් නම් කළ හැකියි.

ඉන්පසු ඔබගේ පුරුදු නැති කකුල (මගේ නම් වම් කකුල) ඉදිරියට තබා ගමන අරඹන්න. පුරුදු කකුල (මගේ දකුණු කකුල) ඉදිරියට තබන වාරයක් පාසා අංක එකේ සිට ඉහලට ගණන් කරන්න. 

මේ ක්‍රියාකාරකමේදී නුපුරුදු කකුලේ පියවර නොමනින බව මතක තබා ගන්න. 

මෙලෙස ඔබ ලකුණු කළ මීටර් 100 අවසන් වන ස්ථානය දක්වා පියවර මනින්න. ඉහත කී ආකාර සියල්ලටම (ආකාර 03කට හෝ 04කට) ඔබගේ ගණනය ලබා ගන්න. (සමතලා බිමක සහ කන්දක, උඩට සහ පහලට)

දැන් අපි උදාහරණයක් ආකාර 03ක ක්‍රමයට ගෙන විමසා බලමු.

ඉහත පළමුව සඳහන් කළ පරිදි සමතලා බිමක ඔබට මීටර් 100 ගමන් කිරීමට පියවර 65ක් තැබීමට සිදුවුණා යැයි සිතන්න.

දෙවනුව කන්දක් නැගීමට පියවර 74ක් තැබීමට සිදුවුණා.

අවසානයේ කන්ද බැසීමට පියවර 71ක් තැබීමට සිදුවුණා.

ඊළඟට අප කළ යුත්තේ මේ අගයන්ගේ සාමාන්‍ය ගැනීමයි. ඒ සඳහා ඔබ කළ යුත්තේ අගයන් 03 එකතු කර 03න් බෙදීමයි. ඉහත කී පරිදි ඔබ අගයන් 04ක් ගත්තේ නම් අගයන් 04ම එකතු කර 04න් බෙදිය යුතුය.

අපේ උදාහරණය නැවත බලමු.

65+74+71= 210

210/3=70

අපට ලැබුණ සාමාන්‍ය අගය 70කි. එනම් මේ උදාහරණය පරිදි මීටර් 100ක දුරක් යාම සඳහා උදාහරණයට අදාල පුද්ගලයා විසින් අඩි 70ක ප්‍රමාණයක් සාමාන්‍යයෙන් තබන බවයි. ඔබට මේ අගය දශම ස්ථාන සමඟ පැමිණියොත් ආසන්නම අගයට ගන්න. (උදා: 70.6 නම් 71, 67.49 නම් 67 වශයෙන්.) 

මේ පියවර ප්‍රමාණය (උදාහරණයට අනුව 70) ගමනේදී ගණනය කළහොත් මීටර් 100ක දුරක් ඇවිද ගිය බව බොහෝ දුරට අනුමාන කළ හැකියි.

තවදුරටත් ඔබට හැකි නම් පමණක් තැනිතලා බිමක අගය වෙනම මතකයේ තබා ගැනීමද වඩාත් ප්‍රායෝගික විය හැකියි. (අත්‍යවශ්‍ය නොවේ)

මෙකී ක්‍රියාකාරකම සිදු කර ඔබගේ අංකය (මීටර් 100යට අදාල පියවර ගණන) සොයා ගන්න.

මීට අමතරව ඔබගේ පාද තබන දුර අනුව මේ පියවර ගණන ගැනිය හැකියි. ඔබට හුරු පාදය පොළවේ තබා නැවත එකී පාදය පොළවේ තබන තැනට දුර මනින්න. මෙය පාදයේ ඇඟිලි තුඩු හෝ විලුඹ හෝ ඔබ කැමති ඕනෑම තැනකට කළ හැකිය. වැදගත් වනුයේ එකම ස්ථානය ගණනයන් දෙකම සඳහා යොදා ගැනීම පමණී.

උදාහරණ වශයෙන් මහපට ඇඟිල්ලේ කොණ ගන්නේ නම් නැවත එයම (මහපට ඇඟිල්ලේ කොණ) ගන්න. 

නමුත් මෙහි සඳහන් ගණනයන් වලට වඩා ඔබගේම අනන්‍ය අගය ඉහත ක්‍රියාකාරකම පරිදි සොයා ගැනීම වඩාත් සුදුසුය යන්න මාගේ අදහසයි.

මේ වගුවේ තිබෙන්නේ එකී පියවර දෙක අතර දුර අනුව ඔබ මීටර් 100කට තබන පියවර ගණන පිලිබඳ විස්තරයයි. ඔබට පුරුදු වම් කකුල නම් වම් පාද සඳහාද මේ දුරවල් මෙලෙසම අදාල වන බව සලකන්න.

pace count

මෙකී පියවර ගණන විවිධ වෙනත් හේතුන් මතද වෙනස් විය හැකිය. පොළවේ ස්වභාවය (මඩ සහිත පොළව, වැලි සහිත වෙරළ), Backpack එකේ බර, ඔබගේ ශරීර ශක්තිය, වෙහෙස සහ කාලගුණය මෙයට උදාහරණ කිහිපයකි.

මෙලෙස මීටර් 100 යන්නට ඔබ භාවිතා කරන පියවර ගණන දැන ගත් පසුව එය පහසුවෙන් ගණනය කිරීම සඳහා විවිධ උපක්‍රම සහ උපකරණ ඔබට භාවිතා කල හැකියි.

ගල් කැට, කුඩා ලීයක් සහ පිහියක් මේ සඳහා පහසුවෙන් සපයා ගත හැකි උපකරණ සහ උපක්‍රමයි.

රේන්ජර්ස් බීඩ්ස් 2.0 යනු මම මාගේ ගණනයන් සඳහා භාවිත කරන සරල යන්ත්‍රයයි. ඒ ගැන ඉදිරියේදී විස්තර සහිතව කතා කරමු. 

Matcha Green Tea by Purlisse

අංශක 90 ගමන

අප මීට පෙර කතා කළ සරල රේඛාවක ගමන් කිරීමත් මේ කොටසේ ඉගෙන ගත් පියවර මැනීමත් පරික්ෂා කළ හැකි සහ ප්‍රායෝගිකව යොදා ගත හැකි අවස්ථාවක් ලෙසට අංශක 90ක ගමන හැඳින්විය හැකිය. 

අංශක 90ක ගමන විශේෂයෙන් වැදගත් වනුයේ බාධක මඟ හැරීමට සහ ගමන් කිරීමට පහසුම මාර්ගයේ නොවැරදී ගමන් කිරීමටයි.

මෙයත් අපි සරල උදාහරණයක් සමඟ කථා කරමු. ඔබට A නැමති තැන සිට B කියන තැනට යාමට අවශ්‍යයි. නමුත් ඔබ ඉදිරිපිට පැහැදිලි බාධකයක් තිබෙනවා.

මෙය වැවක්, තරණය කළ නොහැකි කන්දක් හෝ බෑවුමක්, මඩ ගොහුරක් වැනි දෙයක් විය හැකිය.

මෙවැනි විටක ඔබ මෙතෙක් පැමිණි සරල රේඛාවේ තව දුරටත් යෑමට හැකියාවක් නැහැ. දැන් ඔබගේ ගමන අතරමං නොවන පරිදි වෙනස් කළ යුතුයි.

ඒ සඳහා සහ නැවත අප යා යුතු ගමන් මාර්ගයටම පිවිස අවසාන ඉලක්කය වෙත යාම පිණිස අංශක 90ක වෙනස අතිශයෙන් වැදගත් වේ.

පළමුව ඔබ ගමන ආරම්භ කළ A ස්ථානයේ සිට සරල රේඛාවක යා හැකි උපරිම ආරක්‍ෂිත දුර ගමන් කළ යුතුයි. මෙකී සීමාවන් වශයෙන් කන්දක් හෝ බෑවුමක් නම් එහි තරණය කළ නොහැකි තැන ආරම්භය, වැවක් නම් එහි ජල සීමාව, මඩ ගොහුරක් නම් පහසුවෙන් යා හැකි නොඑරෙන පොළව යනාදී වශයෙන් උදාහරණ දැක්විය හැකියි.

ඉන්පසු ඔබගේ දෑසට පෙනෙන පරිදි මේ මොහොතේදී කිනම් පැත්තට ඔබ යා යුතුද යන වග ඔබ තීරණය කළ යුතුයි. සමහරවිට ඔබට පෙනෙන සීමාවත් සමඟ මෙය පැහැදිලිව සහ නිවැරදිව තීරණය කිරීමට නොහැකි විය හැකියි.

නමුත් හැකි පමණින් බාධකය ඉක්මනින් අවසන් වන පැත්ත හෙවත් කෙටිම දුරින් බාධකය මඟ හැරිය හැකි පැත්ත ඉහත කී උපරිම ආරක්ෂක සීමාවේ සිට වම හෝ දකුණ දෙස බලා තීරණය කරන්න.  

උදාහරණයක් වශයෙන් වැවක් නම් ඔබට වැව ඉක්මනින් අවසන් වන පැත්ත බලා මේ තීරණය ගත හැකියි.

මෙලෙස තීරණය කළ පසුව ඔබ මෙතෙක් පැමිණි අංශකයට අංශක 90ක වෙනසක් ගත යුතුයි.

ඔබ තීරණය කළේ දකුණු පැත්තට යන්නට නම් (දකුණු දිශාව නොවේ. ඔබ බාධකය ඉදිරියේ සිට ගත විට ඔබගේ ශරීරයේ දකුණු පැත්ත.) දකුණට අංශක 90ක වෙනසක් ගත යුතුයි. ඔබ තීරණය කළේ වම් පැත්තට යන්නට නම් වමට අංශක 90ක වෙනසක් ගත යුතුයි.

90 change

නැවත අපි උදාහරණය බලමු. 

A ස්ථානයෙන් ඔබ ගමන කරනු ලැබුවේ අංශක 40ක කෝණයකින් යැයි සිතන්න. (මේ දල සටහනේ ඉහල උතුර නොපෙන්වයි)

ඔබ C ස්ථානය හෙවත් බාධකයේ සීමාව වෙතට පැමිණි විට දකුණු පැත්තට ගමන් කිරීම මඟින් වඩාත් පහසුවෙන් බාධකය පසු කිරීම සඳහා සුදුසු බවට ඇසට පෙනෙන්නට තිබෙන දුර අනුව තීරණය කරනු ලබනවා. 

දැන් ඔබ දකුණු පැත්තට අංශක 90ක වෙනසක් ගත යුතුයි. 

සෑම අවස්ථාවකදීම මෙම අගය නිවැරදිව ගැනීමට මාලිමාවේ අගයන් වෙනස් වන්නේ ඔරලෝසු කටු කැරකෙන ආකාරයට හෙවත්  දක්ෂිණාවර්ථව බව මතක තබා ගන්න.

ඒ අනුව දකුණට අංශක 90ක වෙනසක් ගැනීම සඳහා අප පැමිණි කෝණයේ නැත්නම් දිශාංකයේ අගයට අංශක 90ක් එකතු කළ යුතුයි.

වම් පැත්තට ගමන් කරන්නේ නම් අංශක 90ක අගයන් 03ක් නැත්නම් අංශක 270ක් එකතු කළ යුතුයි. 

දකුණු පැත්ත 40+90=130

වම් පැත්ත 40+270=310

compass 90 diversion

දකුණු පැත්තට හෙවත් අංශක 130ක දිශාංකයේ ගමන් කිරීම ආරම්භ කරන විට (C ස්ථානයේ) ඔබ පියවර මැනීමද ආරම්භ කළ යුතුයි. එනම් පියවර මැනීමේ ආරම්භක ස්ථානය වන්නේ C ස්ථානයයි.

දැන් ඔබ ගමන් කරන්නේ අංශක 130ක සරල රේඛාවක වන අතර බාධකය අවසන් වන තෙක් පියවර මනිමින් සරල රේඛාවේ ගමන් කළ යුතුයි. (වෙනත් බාධකයක් හමු නොවේ නම්.)

මේ උදාහරණයට අනුව අප C සිට D ස්ථානයට ඇවිද ගිය පියවර අනුව ගණනය කළ දුර මීටර් 200ක් යැයි සිතමු.

passing obstruct with compass

බාධකය අවසන්වූ පසුව එනම් D ස්ථානයට පැමිණි පසුව ඔබට නැවතත් අංශක 40 සරල රේඛාවක් හෙවත් A සිට C දක්වා ගමන් කළ දිශාංකයේ අගය ගත හැකියි. 

D ස්ථානයේ සිට 40 දිශාංකයේ බාධකය පසු වන තෙක් දිගටම ගමන් කරන්න. 

මෙලෙස බාධකය පසු කරන විට පියවර මැනීම අත්‍යවශ්‍ය නොවේ. නැවතත් මතක් කරන්නේ මෙය(අංශක 40) උදාහරණයක් පමණයි. ඔබ ගමන් කළ කෝණය අනුව මෙහි සඳහන් අගයන් වෙනස් විය යුතුයි.

තවත් ආකාරයටකට මේ උදාහරණය විස්තර කළහොත් ඔබ පැමිණියේ 0 හෙවත් 360 අංශකයේ නම් ඔබේ දකුණු පැත්තට ගත යුතු කෝණය අංශක 90කි. මේ අනුව නැවත D ස්ථානයේ සිට යා යුතු කෝණය 0 හෙවත් 360වේ.

මේ ආකාරයට බාධකය පසු කර E ස්ථානයට පැමිණි පසුව ඔබ වම් පැත්තට අංශක 90ක වෙනසක් ලබා ගත යුතුයි.

එනම් මුලින් පැමිණි කෝණයට දක්ෂිණාවර්ථව ගතහොත් අංශක 90ක කෝණ 03ක (අංශක 270ක) වෙනසක් ලබා ගත යුතුය.

compass 90 change

දැන් E ස්ථානයේ සිට පියවර මනිමින් මීටර් 200ක දුරක් F ස්ථානය දක්වා ගමන් කරන්න.

ඔබ දැන් නැවත සිටිනුයේ ගමන ආරම්භ කළ A ස්ථානයට කෙළින් වන අතර පළමු උදාහරණයේ පරිදි අංශක 40ක රේඛාවක හෝ ඔබ මුලින් පැමිණි දිශාංකයේ හෝ ගමන් කළහොත් B හෙවත් ගමන අවසන් කළ යුතු තැනට යෑමට කිසිඳු ගැටළුවක් ඇති නොවෙනු ඇත.

How to pass obstruct with compass

පියවර මැනීමේ සහ අංශක 90 ගමනේ ඇති වැදගත්කම මෙයයි. බාධක කිහිපයක් හමු වුවද එකී ස්ථාන වලදී සුදුසු පරිදි අංශක 90ක වෙනස්කම් ගෙන කෝණ අගයන් සහ පියවර ගණනය සටහන් තබා ගන්න. ඒ අනුව ඔබට අවසාන ඉලක්කයට යා යුතු මාර්ගය තීරණය කිරීම පහසු වනු ඇත.

වැඩි දුර පුහුණුව වෙනුවෙන් මේ ගණනය කිරීම් සිදුකර බලන්න. 

අංශක 63ක දිශාංකයකින් සරල රේඛාවක පැමිණි ඔබ ගිය දිනවල පැවති අධික වර්ෂාව නිසා සිදුවූ නාය යාමක් හේතුවෙන් ගමන් කිරීම භයානක කඳු බෑවුම් කොටසකට පැමිණෙනවා. දකුණු පැත්තට තවමත් වතුර පහරක් ගලා ගෙන යන නිසා ඔබ අදහස් කරනවා නාය යාම ඒ දෙසට නැවත සක්‍රීය විය හැකි බව.

මේ හේතු නිසා ඔබ වම් පැත්තට ගමන් කරන්න තීරණය කළේ නම් ඔබ ගත යුතු දිශාවේ අගය නැත්නම් කෝණය කීයද?

නාය ගිය කඳු බෑවුම් කොටස පසු කළ විට ඔබ ලබා ගත යුතු කෝණය කීයද?

බාධකය පසු කර නැවත ඔබගේ මාර්ගය සමඟ සම්බන්ධ වීමට ඔබ ගත යුතු කෝණයේ අගය කීයද?

Logo 468x60
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *