නැතිවුණු ස්ථූපය ධාතුසේන රජතුමාගේ කාලේ පුරාවිද්‍යා වස්තුවක් හැටියට තමයි සලකන්නේ. මේ ගැන පරීක්ෂණ කරපු මහාචාර්යතුමෙක් ඉන්නවා ලන්ඩන්වල රිච්මන්ඩ් නගරයේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය

කෙටි ඕස්ට්‍රේලියානු ගමන අවසානයේ මතකයේ රැඳුණු කාරණාවන් දෙකක් ඉතිරි කරගෙන රුසිරු නැවත ශ්‍රී ලංකාව බලා පැමිණියේය. පළමු වැන්න නම් ටොලමිගේ සිතියමයි. දෙවැන්න රීටාය. මෙකී කාරණා යුගලම මනසේ තැන්පත්ව කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලෙන් රුසිරු සමඟ දිවයිනට ගොඩ බැස පැමිණියේය.

Logo 468x120

විවිධ රාජකාරී කටයුතු සමඟ සති කිහිපයක් කාර්යබහුලව ගත විය. දිගු සති අන්තයක් බැවින් කෙටි නිවාඩුවක් අනුමත කරගත් රුසිරු සුන්දර වෙරළබඩ නිවාඩු ගමනාන්තයක්වූ උණවටුන බලා යාමට පිටත් වූයේ වහා අවශ්‍යව තිබූ විවේකී කාලය දකුණේ සුන්දර වෙරළ තීරයක ගත කිරීමටයි.

කඩුවෙල පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට සිය නවීන මෝටර් රථය ඇතුලත් කළ වහාම රුසිරුගේ නවීන ජංගම දුරකථනය නාද වන්නට පටන් ගති.

“අප්පා. ඔෆිස් එකෙන්. මේ මොන කරදරයක්ද?”

දුරකථනය විසන්ධි කිරීමට පැමිණි සිතුවිල්ල ඉතා අපහසුවෙන් යටපත් කරගත් රුසිරු, බ්ලුටූත් තාක්ෂණය හරහා සිය දුරකථනය රථයට සම්බන්ධ කළේය.

“අනේ..රුසිරු හදිස්සියක්. සමාවෙන්න.”

“කියන්න සුජී. ඔයා ඉතින් මට වධ දෙන්නමනේ ඉන්නේ සුදූ.”

“අනේ මම නෙවෙයි ඔයාට වධ දෙන්නේ, මට බනින්න එපා. ලේකම්තුමා දැන් මට කතා කරලා කිව්වා, ඔයාට පුලුවන් තරම් ඉක්මනට හම්බවෙන්න එන්න කියලා.”

“මොන කරදරයක්ද? කියන්න මම කොළඹ නැහැ කියලා. මම දැන් හයිවේ එකටත් දාල තියෙන්නෙ වාහනේ.”

Book travel visa at iVisa.com

“ලේකම්තුමා ටිකක් කලබලෙන් වගේ තමයි කතා කළේ. මොකක් හරි ලොකු දෙයක් වගේ රුසිරු. ඔයා පුළුවන් තරම් ඉක්මනට අමාත්‍යාංශයට යන්න. හොඳ ළමයා වගේ.”

කඩුවෙලින් අධිවේගී මාර්ගයට ඇතුලත් කළ රථය නැවත කොළඹ දෙසට හැරවිය හැක්කේ අතුරුගිරියෙනි. වෙනත් කළ හැකි කිසිවක් නොමැත. මේ රැකියාවේ හැටි එලෙසය. වෙන් කළ හෝටලයට දුරකථන ඇමතුමක් ලබා දී එය අවලංගු කළ රුසිරු අතුරුගිරිය පිවිසුමෙන් පිටතට රථය ධාවනය කළේ කොළඹ බලා ගොස් ඇමති ලේකම් මුණ ගැසීමටයි.

“රුසිරු මට සමාවෙන්න. සුජී මට කිව්වා, ඔයා නිවාඩුවකට යන ගමන් කියලා. මේක ටිකක් අමුතු තත්වයක් ඒකයි මම කතා කළේ.”

“කියන්න, ලේකම්තුමා.”

මුහුදු වෙරළට සුදුසු බතික් කමිසයකින්, කොට කලිසමකින්ද සහ සෙරෙප්පු යුවලකින්ද සැරසී සිටි රුසිරු සුපුරුදු සිනහවෙන් විමසා සිටියේ අව්කණ්නාඩිය ගලවා එය ඇමති ලේකම්ගේ මේසය මත තබමින්ය.

“ඔයාට ලන්ඩන් යන්න වෙනවා. අපේ මහ කොමසාරිස්තුමා ඊයේ මට කතා කළා. ලංකාවේ කොමසාරිස් කාර්යාලයේ ඉල්ලීමකට අපේ බෞද්ධ ඉතිහාසයට අයිති ප්‍රදර්ශනයක් ලන්ඩන් බෞද්ධ විහාරයේ තිබිලා තියනවා. ඒකෙ ප්‍රදර්ශනයට ගෙනාපු පොඩි පන්සලක් වගේ කිරිගරුඬෙන් හදාපු භාණ්ඩයක් ප්‍රදර්ශනයට ඉස්සෙල්ලා දවසේ රෑ නැතිවෙලා. ඒ තරම් වටින දෙයක් නොවුනත් පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේයි, කොමසාරිස්තුමායි දෙන්නම මගෙන් ඉල්ලුවා ලංකාවේ හොඳම නිලධාරියා එවන්න කියලා. ස්කොට්ලන්ඩ්යාඩ් එකත් පරීක්ෂණයක් කරනවා. මං නං හිතන්නේ කියන තරම් ලොකු සිද්ධියක් වෙලා නැතිව ඇති. සමහර විට ඔයා ප්ලේන් එකෙන් බහිද්දී ඕක හොයා ගනියි. ඒත් අපි උදවු කළා කියලා පෙන්නන්න එපැයි. නැද්ද රුසිරු?”

ලේකම්වරයා දිගින් දිගටම විස්තර කළේ රුසිරුගේ කැමැත්ත පිළිබඳව හෝ නොවිමසාය.

“මෙන්න රුසිරු ඔයාගේ ටිකට් එක. ඔයාගේ වීසා හෙට උදේම දෙන්නම් කියලා කිව්වා. දවල් 1.05 වෙද්දී කටුනායකින් ප්ලේන් එක යනවා. ඔයාට සුභ ගමන්.”

රුසිරුට ඉතිරිව ඇත්තේ හා මම යන්නම් කියන්න පමණී. මෙම රැකියාවේ හැටි එලෙසය. වහා රුසිරුගේ මනසට දිව ආවේ රීටා එංගලන්තයේ නිවාඩුවකට පැමිණෙන බවට කී කතාවය.

රීටාගේ දුරකථනයට වට්ස්-ඇප් පණිවිඩයක් රුසිරු තැබුවේ තමාද නිවාඩුවට ලන්ඩන් එන බව දන්වමිනි.

ලන්ඩන් බෞද්ධ විහාරය 

දීර්ඝ ගුවන් ගමන් රුසිරු කෙසේවත් ප්‍රිය කළේ නැත. පැය එකොළහමාරක් ගුවන්යානයක ගත කිරීම යනු සිරගෙදර දින කිහිපයක් ගත කළා වැනිය. වාසනාවකට ශ්‍රී ලංකන් UL503 ගුවන් යානයේ ආසන සම්පූර්ණයෙන්ම පිරී තිබුණේ නැත. රුසිරු තමා ලද ජනේලය අසල ආසනයෙන් නැගිට හිස්ව තිබූ මැද පේලියක ආසන හතරක් එක් කොට නිදන්නට වූයේ ලයන් බියර් කෑන් කිහිපයක් හිස් කිරීමෙන් පසුවය.

ලන්ඩන් නගරය රුසිරුට හුරුපුරුදු ස්ථානයකි. මීට පෙරද අවස්ථා කිහිපයකදීම විවිධ පරීක්ෂණ කටයුතු සඳහා රුසිරු ලන්ඩන් නුවරට පැමිණ තිබුණි. හීත්‍රෝ ගුවන්තොටුපලේ පැවැති කාර්යබහුලත්වය හේතුවෙන් විනාඩි පහළොවක් පමණ අහස්කුස රැඳුණු යානය රාත්‍රි 8.12 පමණ වනවිට තුන්වන පර්යන්තය කරා ගොඩ බස්වන ලදී. සුපුරුදු පරීක්ෂාවන් අවසන් වීමෙන් පසුව රුසිරු ගමන් කළේ පර්යන්තයේ පිහිටි ලන්ඩන් උමං දුම්රිය සේවා නැවතුම වෙතයි.

Blue Lotus SPF 30 Moisturizer

පිකර්ඩලි උමං දුම්රිය මාර්ගයේ දුම්රියක නැගුණු රුසිරු හට ලන්ඩන් බෞද්ධ විහාරය අසල පිහිටි ටර්නහම්-ග්‍රීන් දුම්රිය ස්ථානයට යෑමට ගතවූයේ පැය බාගයකටත් අඩු කාලයකි. රාත්‍රී කාලය නිසාදෝ දුම්රිය ස්ථානයට  පිටතින් පිහිටා තිබුණු මල් විකිණීමේ කඩය වසා තිබුණු අතර මීටර් 150ක් පමණ දුර පයින් ඇවිද ගිය රුසිරු ලන්ඩන් බෞද්ධ විහාරයේ සීනුව නාද කර සිටියේ බුදුන් පුදන්නට මලක් හෝ රැගෙන ඒමට නොහැකි වූ සිතුවිල්ලෙන්ද යුක්තවය.

ලන්ඩන් පන්සලේ නායක හිමියන්ම පැමිණ දොර විවෘත කළේය.

“ආ. රුසිරු මහත්තයා, සෑහෙන්න කාලෙකින් නේද මේ පැත්තේ ආවේ?”

පසුගිය වාර කිහිපයකදීම ලන්ඩන් නුවර පැමිණි අවස්ථාවලදී ලන්ඩන් බෞද්ධ විහාරය රුසිරුගේ අනිවාර්ය ගමනාන්තයක් වී තිබුණි. උගත් නායක හිමිනම රුසිරුට ඉතා හිතවත් කිට්ටු මිතුරකුවූ අතර ලන්ඩන් බෞද්ධ විහාරය ලන්ඩන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මුණගැසීමටද කදිම ස්ථානයක් බව රුසිරු හොඳින් දැන සිටියේය.

“එහෙමයි හාමුදුරුවනේ, මොනවා හරි දෙයක් වෙන්නම ඕනේ මේ පැත්තට එන්න.”

සුපුරුදු සිනහමුසු මුහුණින් යුතුව රුසිරු පිළිගත් හිමි නම, කිතුල් හකුරු සමඟ කහට තේ කෝප්පයක් ඔහුට පිළිගැන්වීය.

“මේ හොඳම කිතුල් හකුරු රුසිරු මහත්තයා, ලංකාවේ කිතුල්ගලම හදාපුවා. බය නැතුව කන්න. සීනි දාලා නැහැ.”

නායක හිමිනමගේ ආගන්තුක සත්කාරය නම් එංගලන්තය පුරා නම ගිය එකකි. 

“ඉතිං හාමුදුරුවනේ, පොඩි කරදරයක් වුනා නේද?”

“ඒක නේන්නම් රුසිරු මහත්තයා, මම කවදාවත් හිතුවෙ නැහැ ඒ වගේ පොඩි දෙයක් මෙතනින් හොරකම් කරයි කියලා. අපේ ආරක්ෂාවට එදා ලන්ඩන් පොලිස් මහත්වරු හිටියා. ඒත් තවම මට හිතාගන්න බැහැ මේ පොඩි කිරිගරුඬ ස්ථූපය නැති උනේ කොහොමද කියලා.”

නායක හිමිනම එදා සිදුවූ සම්පූර්ණ සිද්ධිය රුසිරුට විස්තර කළේ සන්සුන් ස්වරයකිනි. ඒ නායක හිමි නමගේ හැටිය. 

“නැතිවුණු ස්ථූපය ධාතුසේන රජතුමාගේ කාලේ පුරාවිද්‍යා වස්තුවක් හැටියට තමයි සලකන්නේ. මේ ගැන පරීක්ෂණ කරපු මහාචාර්යතුමෙක් ඉන්නවා ලන්ඩන්වල රිච්මන්ඩ් ටවුමේ. මම හිතන්නේ වෙලාවක් තිබුනොත් මහත්තයා ගිහින් මහාචාර්යතුමා හම්බ උනොත් හොඳයි. මේ විසිටින් කාඩ් එක එතුමාගේ. මේක තියාගන්න, ගෙදරට යන පාර හොයාගන්න.”

“හෙට හාමුදුරුවනේ, මම ස්කොට්ලන්ඩ්යාඩ් එකට යන්න හිතාගෙන ඉන්නේ, බලමු වෙලාවක් තිබුණොත් මම ගිහින් මහාචාර්යතුමා හම්බවෙන්නම්.”

සුළු සතුටු සාමිචියකින් පසු රුසිරු නායක හාමුදුරුවන්ගෙන් සමු ගත්තේ දිගු ගුවන් ගමනේ විඩාව සංසිඳුවා ගැනීම පිණිස නවාතැන වෙතට යාමටයි.

මැයි මස යනු එංගලන්තයේ වසන්ත සමයේ දෙවන මාසයයි. උදෑසන පහ වීමටත් ප්‍රථම හිරු උදාවන අතර රාත්‍රී අටත් පසුවී හිරු බැසීම සිදුවේ. කාමරයේ ජනේලයේ තිර රෙද්ද විවෘතව තිබූ හේතුවෙන් සහ පැය පහමාරක් ඉදිරියේ සිටින ලාංකිය කාලපරාසය හේතුවෙන් රුසිරු උදෑසන පහ පමණ වන විට සිටියේ නින්ද නොයන මනසකිනි. 

තිරරෙදි වසා දමා නින්ද ලබා ගැනීමට උත්සාහ කළද අහලකටවත් නින්ද පැමිණියේ නැත. හෝටලයේ වයි-ෆයි ජාලය සමඟ එකතුවූ රුසිරුගේ ජංගම දුරකථනයට වට්ස්-ඇප් සමඟ සම්බන්ධවූ වහාම පණිවිඩ රාශියක් ගලා එන්නට පටන් ගති

“රීටා ක්ලාස්.”

“ෂර්ලොක් හෝම්ස්, මම ඉන්නේ ලන්ඩන්, ආවහම කෝල් කරන්න. ඔයාගේ වොට්සන්.”

රීටා පිළිතුරු වට්ස්-ඇප් පණිවුඩයක් එවා තිබුණි. තිබුණු ලා-නිදිමත රුසිරුට සම්පූර්ණයෙන් අමතක විය. රීටාගේ වට්ස්-ඇප් ගිණුමද සක්‍රිය වී තිබූ අතර ඇය දැනටමත් අවදිව ඇතැයි සිතමින් රුසිරු වහා දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

“හලෝ රුසිරු.”

ඒ හුරු පුරුදු කටහඬ නම් රුසිරුගේ සිත කිති කවන සුළු එකක්ය.

“හලෝ බොරුකාරී, සුභ උදෑසනක්.”

රුසිරු පිළිතුරු දුන්නේය.

“බොරුකාරී.. මම කාටද බොරු කළේ?”

“ඇයි ඔයාගේ අම්මට?”

රීටා මහ හඬින් සිනාසුනාය.

“මොකෝ රීටා ඔයාටත් නින්ද යන්නේ නැද්ද?”

“මොන නින්දක්ද රුසිරු? මේ පිස්සු ලන්ඩන් වෙලාවයි. ඉර එළියයි එක්ක. දැන් ඔස්ට්‍රේලියාවේ වෙලාව හවස තුනයි. ඒ මදිවට ඉර පායලා උදේ පහට.”

“මටත් එහෙමයි, අපේ වෙලාව 10.30යි. මට නින්ද යන්නෙත් නෑ. ඔයා කවදද ආවෙ? කොහෙද ඉන්නේ?”

“මම ආවේ දවස් තුනකට කලින්, මේ දවස් ටිකේ මම ඉන්නේ ලන්ඩන් රිච්මන්ඩ් වල, අපේ සීයට දුරින් නෑදෑ වෙන මහාචාර්ය මාමා කෙනෙක්ගේ ගෙදර.”

“මහාචාර්යතුමෙක්? රිච්මන්ඩ් වල?”

“ඔව්. ඇයි රුසිරු? මහාචාර්ය එඩ්වඩ්.”

රීටා විමසුවේ විමතියෙන් සහ කුතුහලයෙනි.

“මට ඔය මහාචාර්යතුමා හම්බවෙන්න කියලා ලන්ඩන් පන්සලේ හාමුදුරුවෝ කිව්වා.”

“අනේ හොඳයි. එඩ්වඩ් මාමා දැන් නැගිටලා ඉන්නේ. අද දවල් වෙලා කොහෙද යනවා කිව්වා. ඔයා දැන් ආවට කමක් නැද්ද කියලා මම අහලා බලන්නම්. විනාඩියක් දෙන්න.”

රීටා පිළිතුරු දුන්නේ විදුලි වේගයෙනි.

ගතවූයේ නිමේෂයකි. වට්ස්-ඇප් පණිවිඩයක් සිනහ මුහුණක්ද සමඟ රුසිරුගේ දුරකථනයට ලැබිණි.

“දැන්ම එන්න. :)”

රිච්මන්ඩ් 

තවමත් හිමිදිරි උදෑසන බැවින් එතරම්ම වාහන තදබදයක් ලන්ඩන් නුවර තිබුණේ නැත. ලන්ඩනයට ආවේණික කලු ටැක්සි රථයක නැගුණු රුසිරු පෙර දිනයේ නායක හිමිනම ලබාදුන් කාඩ්පත රියදුරු වෙත පෙන්වා සිටියේය. ටොම්-ටොම් සිතියම් සන්නිවේදන උපකරණයට තොරතුරු දත්ත ඇතුලත් කළ රියදුරු සිය ගමන ආරම්භ කළේය. 

විශාල ගෙවත්තක් මැද පිහිටි පැරණි පන්නයට ගොඩ නැගූ දෙමහල් නිවසකි. ඉදිරිපස ගේට්ටු කණුවේ සවිකර ඇති විදුලි සීනුව නාද කළ සැණින් ගේට්ටුව ස්වයංක්‍රියව විවෘත විය. ගෙවත්ත පුරා විවිධ ආකාරයේ පුරාවිද්‍යාත්මක පිළිම සහ සිහිවටනය. එක් මායිමකින් සුන්දර තේම්ස් නදිය ගලා යයි. මෙය නම් ඉතා වටිනා ලන්ඩන් දේපලක් බව නම් ස්ථිරය.

“සුභ උදෑසනක් රුසිරු මහත්මයා.”

මැදිවිය අවසන්වූ සුදු ජාතික මහත්මයෙකු රුසිරුට සුබපතමින් ඉදිරියට පැමිණියේය.

“සුබ උදෑසනක් මහාචාර්යතුමා.”

“මම මහාචාර්යතුමා නෙවෙයි මහත්මයා. මම ඔහුගේ සේවක ජෝන්. මහාචාර්යතුමා සහ රීටා නෝනා ඔබව පිළිගන්න මාව ඉදිරියට එව්වා. අපි යමු නිවසට, උදෑසන තේ පානය සඳහා සියල්ල සූදානම්.”

රුසිරු නිවසක දුටු විශාලතම තේ මේසය එය විය. තවමත් රීටා හෝ මහාචාර්යතුමා තේ මේසය වෙත පැමිණ සිටියේ නැත.

“සුභ උදෑසනක් රුසිරු, මම මහාචාර්ය එඩ්වඩ්.”

ඉතා පැහැදිලි සිංහල බසින් සුබපතමින් ඉදිරියට පැමිණි මහාචාර්යතුමා දුටු රුසිරු හට සිහි වූයේ පැරණි ජනප්‍රිය ටෙලි සිත්තමක්වූ දූ දරුවෝහි රඟ පෑ සුදු සීයාය. 

“ඔබතුමා ලංකාවෙද?”

“ඔව්. මම ඉපදුනේ ලංකාවේ, අම්මා සිංහල. පියා ස්කොට්ලන්ත ජාතිකයෙක්. ඒක නිසා මම වැඩිදුර අධ්‍යාපනයට එංගලන්තයට ආවා. තවමත් මගේ අම්මගේ නෑදෑයො හම්බවෙන්න සහ මගේ පර්යේෂණ වැඩවලට මම නිතරම ලංකාවට යනවා.”

මහාචාර්යවරුන් සමඟ කටයුතු කිරීම බොහෝ අවස්ථාවලදී පහසු නොවූවද මෙම පුද්ගලයාගේ වාග් විලාශය මෙන්ම උණුසුම් පිළිගැනීමද රුසිරුට මහත්වූ සුවපහසුවක් ගෙන දුනි.

“කෝ රීටා?”

මෙකී සුවපහසුව මත රුසිරු විමසා සිටියේ ඇය දකිනු රිසියෙනි.

“රීටා රුසිරු එනවා කියපු වෙලාවේ ඉඳන් ලෑස්ති වෙනවා. ඉවරයක් නැහැ. තව ටිකකින් තේ බොන්න එයි.”

Book travel visa at iVisa.com

මහාචාර්යතුමා කියා සිටියේ නිහඬ සිනහවක් සමඟ උඩු මහලටද ඇසෙන පරිදි උස් හඬින්ය.

“ඉතිං රුසිරු, හාමුදුරුවෝ මං ගැන කිව්වා කියල මට දැනගන්න ලැබුණා. මොනවද ඔයාට දැනගන්න ඕනේ?”

“මම ඔබතුමා හම්බ වෙන්න ඉස්සෙල්ලා ස්කොට්ලන්ඩ්යාඩ් එකට යන්න හිටියේ, ඒත් රීටා කතා කරපු නිසා තමයි මෙතනට ආවේ. ඇත්තටම ඔය නැතිවෙලා තියෙන ස්ථූපය ගොඩක් වටිනවාද මහාචාර්යතුමා?”

“මේ ස්ථූපය වටිනවාද නැද්ද කියලා හරියටම කියන්න බැහැ. මගේ පුද්ගලික අදහස නම් මේක ආගමික භාණ්ඩයක් නෙවෙයි කියලා. පිටත කිරිගරුඬෙන් හදල තිබ්බට මේක ඇතුලෙ තියෙන්නෙ විවිධ ලෝහ රාශියක එකතුවක්. ස්ථූපයක් ඇතුලට මේ තරම් විවිධ වර්ගයේ ලෝහ වර්ග ඇතුලත් කරපු වගක් නම් මම කොහෙවත් අහල නැහැ. අනික ඒ ලෝහ ස්ථූපය ඇතුලෙම කොටස් දෙකකට වෙන් වෙලා තියෙන්නෙ සියුම්, ඒත් සවිමත් පටි දෙකකින්. ඒ පටි දෙක අතර හිඩස එළියට විවෘත වෙලා තියෙනවා. ඔහොම ඉන්න මම පින්තූරයක් පෙන්වන්නම්. හරියට මොකක් හරි ඇතුලත් කරන්න පුළුවන් විදිහට. බලන්න මේක.”

මහාචාර්ය එඩ්වඩ් සිය ජංගම දුරකථනයේ ඇති ඡායාරූප පෙලක් රුසිරුට පෙන්වා සිටියේය.

“ඒ කියන්නේ මහාචාර්යතුමනි, මේක උපකරණයක්.”

“ඔව් රුසිරු, ඔයා හරි. උපකරණයක් නැත්නම් උපකරණයක කොටසක් වෙන්න පුළුවන්. මට හරියටම තවම කියන්න බැහැ. කොහෙත්ම පූජා භාණ්ඩයක් නම් නෙවෙයි.”

මහාචාර්යතුමා පිළිතුරු දෙනවාත් සමඟ ලීයෙන් නිම කළ සොල්දර නිවසේ ඉහල මාලයේ සිට පහළට අඩි ශබ්දයක් ඇසෙන්නට විය. සුන්දර රීටා ඉංග්‍රීසි පන්නයට තවත් හැඩ වී ඇත. 

“මට සමාවෙන්න රුසිරු, ටිකක් පරක්කු උනාට.”

ලී පඩිපෙළ බසිමින් හනි හනිකට පැමිණි රීටා කලබලයෙන් කියා සිටියාය.

“ළමයි, මට මගේ ඔස්කා එක්ක පොඩි රවුමක් ගහල එන්න තියෙනවා. මම තේ බිව්වා. ඔය දෙන්නත් බොන්න. ගිහින් එන්නම්.”

මහාචාර්යතුමා සමුගත්තේ රුසිරු හට ඇසකින් රහසේ ඉඟි මරමින්ය.

“ඔස්කා කියන්නේ එඩ්වඩ් මාමාගේ බල්ලා. ඉතින් රුසිරු, කොහොමද ඔයාට?”

රීටා සහ රුසිරුගේ තේ පානය අවසන්වීමට තේ කෝප්ප කීපයක් සහ හෝරාවක පමණ කාලයක් ගත විය. 

“මහාචාර්යතුමා, මම දැන් ස්කොට්ලන්ඩ්යාඩ් එකට ගිහින් එන්න යනවා. මම හවස් වෙලා ඔබතුමා නැවත මුණ ගැසෙන්නට එන්නම්.”

උදෑසන ආහාරය අවසන් කළ රුසිරු මහාචාර්යතුමා වෙත පවසා සිටියේ දිනයේ සැලසුම් කරගත් ඉදිරි වැඩ කටයුතු රාශියක් අවසන් කළ යුතුව ඇති බැවින් මිස යාමට නම් කැමැත්තකින් නොවේ.

“හවස මම නැහැ පුතා, මම දැන් යනවා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට. වසන්ත කාලය නිසා මම එන්න ටිකක් විතර රෑ වේවි. පුතා කැමති වෙලාවක ඇවිත් යන්න. රීටා ඉන්නවානේ.”

දෙදෙනාගෙන්ම සමුගත් රුසිරු ස්කොට්ලන්ඩ්යාඩ් මූලස්ථානය වෙත ගියේ පරීක්ෂණයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා විමසීමටයි. 

ස්කොට්ලන්ඩ්යාඩ් විසින් සිදුකරන පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණත් වැදගත් තොරතුරක් අනාවරණය වී නොතිබිණි. පුදුමයට කාරණය වී තිබුණේ ලන්ඩන් බෞද්ධ විහාරයට සොරුන් ඇතුළු වූ ස්ථානයක් හෝ සොයා ගැනීමට නොහැකි වීමයි. සුපුරුදු ලෙස නීත්‍යානුකූල සහ අනීතික ලෙස කෞතුක භාණ්ඩ වෙන්දේසි කරන වෙබ් අඩවි සහ පුද්ගලයින් විමර්ශනයට රහස් පරීක්ෂක නිලධාරීන් යොදවා තිබුණත් මෙවන් භාණ්ඩයක් තවමත් ලැයිස්තුගත වී තිබුණේද නැත.

ශ්‍රී ලංකාව තුලට මෙම භාණ්ඩය පැමිණ විකිණීමට ඉදිරිපත් කළහොත් තොරතුරු ලබාගත හැකි දත්තයන් අදාල අංශ වෙතට ලබා දුන් රුසිරු, ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය මඟින් දැනට එකතුකර ඇති දත්තයන් නැවත නැවතත් පරීක්ෂා කර බැලීය.

නොදැනීම සවස් කාලයේ උදාවී තිබුණි. රීටා හට කෙටි දුරකථන ඇමතුමක් ලබා දුන් රුසිරු පැයක පමණ කාලයකින් රිච්මන්ඩ් නිවසට පැමිණෙන බව දැනුම් දුන්නේ නැවත මහාචාර්ය එඩ්වඩ් මුණගැසී අලුතින් පැන නැගුණු ගැටළු කිහිපයකට පිළිතුරු සොයා ගැනීමේ බලාපොරොත්තුවද ඇතිවය. රුසිරුගේ තියුණු ඉවට මෙකී සොරකම එසේ මෙසේ සිදුවීමක් නොවන බවට හේතු සාධක එකතු වී තිබුණද කිසිවකුට ඒ පිළිබඳ මෙතෙක් නොපැවසූයේ තවදුරටත් එකතු කරගත යුතු සහ සලකා බැලිය යුතු කරුණු කාරණා රාශියක් තිබූ බැවිනි.

Bookbaby.com helps independent authors bring their creative vision to the marketplace. Sell eBooks online in the biggest retail stores.

රිච්මන්ඩ් බලා යන දිස්ත්‍රික් උමං දුම්රිය මාර්ගයට පැමිණි රුසිරු සිය විද්‍යුත් තැපෑල පරික්ෂා කළේ ශ්‍රී ලංකාවේ සිට CAG වෙතින් දෛනිකව යොමු කරන රාජකාරී පුවත් පරීක්ෂාවටයි. පෙර පැවති අවසන් නොවූ පරීක්ෂණ කිහිපයක වැදගත් නොවූ සුපුරුදු යාවත්කාලීන කිරීම් හැරුණුකොට වෙනත් කිසිඳු පුවතක් එය තුල නොවීය.

ප්‍රධාන විද්‍යුත් තැපැල් පිටුවට අයත් නොවන තීරුවක ස්කොට්ලන්ඩ්යාඩ් විසින් එවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩයක් සුජී විසින් දින දෙකකට පෙර නැවත ඇයගේ පුද්ගලික ගිණුමකින් එවා තිබුණාය. 

රුසිරු විසින් විවෘත කරන ලද විද්‍යුත් තැපැල් පණිවිඩයේ සඳහන්ව තිබුණේ ඕස්ට්‍රේලියානු ගමනේදී රීටා ලබාදුන් දුරකථන අංක පිළිබඳ විස්තරයයි. දැනටමත් එකී පරීක්ෂණ ලිපිගොනුව අවසන් කර වසා දමා ඇති බැවින් සුජී මෙම විස්තර වෙනත් ගිණුමකින් එවන්නට ඇත්තේ තොරතුරු එතරම් වැදගත් නොවේ යැයි සිතමින් විය යුතුය.

මෙම දුරකථන ඇමතුම් සියල්ල ලබාගෙන ඇත්තේ පොදු දුරකථන හරහා වන අතර සියලු ඇමතුම් සම්ප්‍රේෂණය වී ඇත්තේ රිච්මන්ඩ් නගරයේ පිහිටි දුරකථන හුවමාරු මධ්‍යස්ථානය හරහාය.

“රිච්මන්ඩ්” යන නම දුටු විගස රුසිරුගේ මනස වහා දිව ගියේ රීටා සහ මහාචාර්යතුමා වෙතයි. වහා රීටාගේ දුරකථනයට ඇමතුමක් රුසිරු ලබා ගත්තේ හදිසි තිගැස්මකින්ද යුක්තවය.

“රීටා ඔයා හොඳින්ද?”

“ඔව් රුසිරු, ඇයි මොකද වෙන්නේ. දැන් විනාඩි 10කටත් ඉස්සෙල්ලා අපි කතා කළේ?”

“නැහැ පොඩ්ඩක් මේ.. දන්නේ නැද්ද? පරිස්සමින් ඉන්නකෝ.”

ගොත ගැසූ ස්වරයකින් පිළිතුරු දුන් රුසිරුගේ වචන වල අර්ථය පවසන දෙයට වඩා වෙනස් බව රීටා ක්ෂණිකව තේරුම් ගත්තාය.

“කියන්න රුසිරු, ඔයා මොනව හරි මට හංගනවා ද?”

“එහෙම ලොකු දෙයක් නැහැ රීටා, මම ඇවිත් විස්තර කියන්නම්. එතකන් පොඩ්ඩක් පරිස්සමින් ඉන්න. මහාචාර්යතුමා ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න.”

රුසිරු දුරකථන ඇමතුම විසන්ධි කළේ සැනසුම් සිතකිනි. සති කිහිපයකට පෙර සිදුවූ දැනටමත් අවසන් කරන ලද ලිපි ගොනුවක අහඹු සිද්ධියකින් අනිසි බියක් ඇති කරගත් බවක් දැනුනද මෙකී සිද්ධිය සිතන තරම්ම අහඹුවක් යැයි වහා ඉවත දැමීමට තරම් කල්පනාවක් රුසිරුට නම් පහල වූයේ නැත. 

රිච්මන්ඩ් නිවසේ ප්‍රධාන ගේට්ටුව අඩක් විවෘත කර තිබෙනු දැක රුසිරුගේ සිත නැවතත් සලිත විය. වහ වහා නිවස වෙත ඇවිද ගිය රුසිරුගේ සලිත වූ සිත මර බියෙන් බිරාන්ත වීමට වැඩි මොහොතක් ගත නොවූයේ ඔහු ඉදිරිපිටට හැල්මේ දිව පැමිණි ඔස්කා දුටු නිසාය.

විශාල ප්‍රමාණයේ රෝයල් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයකුවූ ඔස්කා ඉදිරියේ ගල් ගැසී නතරවූ රුසිරුගේ හදිසි ප්‍රාණ බිය තාවකාලිකව පහව ගියේ ඔස්කා සමඟ පිටුපසින් හැටට හැටේ දිව ආ රීටා දැකීමෙන් පසුවයි.

“අනේ සමාවෙන්න රුසිරු, ඔස්කා එක්ක ඇවිදින්න ගිහින් දැන් ආවෙ. අපිට ගේට්ටුව වහන්න අමතක උනා. බයවෙන්න එපා. මෙයා හොඳට හීලෑ ළමයෙක්.”

“බය? බය නෙවෙයි. තව පොඩ්ඩෙන් මම එතනම මැරෙනවා. ඒත් ඉතිං ඔයා දැක්කට පස්සේ නම් මගේ හදවත වැඩ කරන්න පටන් ගත්තා.”

“ඒ මොකෝ හදවත නතර වුණේ?”

“නතර උනේද? නතර උනේ ඔයාට කියලා බයිපාස් එකක් කර ගන්න.”

දෙදෙනාම මහ හඬින් සිනාසුනේ ඔස්කා සමඟ හුරතල් වෙමිනි.

රාත්‍රී නවය පසුවෙමින් තිබුණි. තේම්ස් නදියට වැටුණු රක්තවර්ණ මළ හිරුගේ ආලෝකය වියැකී යමින් අඳුර ගලන්නට පටන් ගෙන තිබිණි. මහාචාර්යතුමා තවමත් පැමිණ නැත. ඔහුගේ දුරකථනය ක්‍රියා නොකරන බව රීටා පැවසුවේ රුසිරු පැමිණි මොහොතේ විමසූ විටය. කෞතුකාගාරය වසන්ත සමයේ වසා දමන වේලාව පසුවී ඇති අතර සුප්‍රසිද්ධ වියපත් මහාචාර්යවරයකු මේ මොහොතේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුල තනිව සිටිනු ඇතැයි යන්න විශ්වාස කළ නොහැකි කාරණයකි.

නිවසේ දුරකථනය නාද වනු ඇසුණු අතර නිවසේ සේවක ජෝන් එයට පිලිතුරු දෙනු යාන්තමට ඈතින් ඇසේ. සුළු නිහඬතාවයකින් පසු අප අසුන්ගෙන සිටි තේම්ස් නදී තෙර ආසනය අසලට ජෝන් දිව ආවේ කලබලයෙනි.

“රීටා නෝනා පොඩ්ඩක් එන්න.”

මවගෙන් හෝ මහාචාර්යතුමාගෙන් දුරකථන ඇමතුමක් යැයි සිතා ස්ථාවර දුරකථනය තිබෙන නිවස වෙතට රීටා නැගිට ඇවිද ගියේ රුසිරු සහ ඔස්කා තනි කර දමාය.

“රුසිරු….”

මහ හඬින් හඬ නැගූ රීටාගේ බියපත් කටහඬ අසා රුසිරුද ආසනයෙන් නැගිට නිවස තුලට වහා දිව ආවේය.

“ඇයි මොකද රීටා?”

“මේ අර, ඔස්ට්‍රේලියාවේදී ආවා වගේ රෙකෝඩින් එකක් නතර වෙන්නේ නැතුව දිගටම යනවා. පොඩ්ඩක් බලන්න.”

රීටා දුරකථනය රුසිරු වෙත දුන්නේ කඳුළු පිරි දෙනතින් බියපත්වය.

“කලබල කරන්න එපා, කරදර කරන්න එපා, මහාචාර්යතුමා එනවා, තව ටික කාලයයි.”

“මහාචාර්යතුමාට කරදරයක්, දෙයියනේ මම හිතුවා හරි.”

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

Take a food journey around the world

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts

CAG පළවන කොටස

මධ්‍යම පුරාවිද්‍යා කණ්ඩායම(CAG) යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ඔබ අප හොඳින් දන්නා ජනප්‍රිය ආයතනයක් නම් නොවේ. ඉතා අඩු කාර්ය මණ්ඩලයකින් යුත්, සුපිරි තාක්ෂණික බුද්ධියක් සහිත මෙවලම් සහ ක්‍රම යොදා ගන්නා, අන්තර්ජාතික පුරා විද්‍යා ආරක්ෂක ආයතන සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වා ගෙන ඒ හරහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන රහසිගත ආයතනයක් ලෙස පැවතෙන මෙම කණ්ඩායම පිළිබඳ අද ඔබට විශේෂ හේතුවක් පිට හෙළිදරවු කරන තෙක් නිල වශයෙන් දැන සිටියේ ජනාධිපති, අගමැති හැරුණු කොට විෂය බාර ඇමති සහ ලේකම්වරයා පමණී.
inside museum

CAG හත්වන කොටස

වහා සැලැස්ම වෙනස් කළ රුසිරු තම ගමන් මල්ලේ ආරක්ෂාවට යොදා සිටි ඉබ්බා ගෙන සැක කටයුතු පුද්ගලයා සැඟවී සිටි වැසිකිලියේ දොර පිටතින් අගුලු දැමීය. ඉන්පසු උපරිම ප්‍රමාණයට ජල කරාමය විවෘත කලේ හොඳින් හඬ ඇසෙන පරිදිය.
inside flight

CAG හතරවන කොටස

“කොක්පිට් එකට පයිලට්ලා ඇරෙන්න වෙන කාටවත් යන්න දෙන්න තහනම් කරලා තියෙන්නේ. ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා. ඉස්සර වගේ දැන් යන්න බැහැ මහත්මයා.”
Total
12
Share