කලබල නොවනු කාශ්‍යප. කලබලයෙන් කිසිවක් නොවිසඳේ. ධාතුසේනට අවැසිව තිබුනේ ඔහුගේ මෞර්ය වංශය ද්‍රවිඩයන්ට පෙර රජ කළ ලම්බකර්ණ වංශයට වඩා උසස් බව පෙන්වීමටයි.

ඇතුළු නුවර හදිසි මහා කලබලයකි. ප්‍රධාන වීදියේ අශ්ව රථ කිහිපයක් ඉතා වේගයෙන් ඒ මේ අත ගමන් කරනු පෙනේ. නගර සීමාවේ මුර කපොලු තුල සේවයේ යෙදී සිටි සෙබළු පවා විමතියට පත්ව සිටියේ කිසිඳු විපතක සේයාවක් පසුගිය සමයේ දක්නට නොතිබූ බැවිනි.

Purlisse Loves Your Skin!

“අද නම් හරිම කලබල දවසක් වගේ සේන.”

නගරයේ දකුණු ප්‍රදේශයට වන්නට පිහිටි උප මුර අට්ටාලයක් මත සිටි සෙබළා අනෙක් සගයා හට පවසා සිටියේ තරමක් විපරිතවූ බැල්මකින්ද යුක්තව අවට නරඹමින්ය. 

“ඇත්ත දම්මුල, මා හටත් තවමත් කල්පනාවක් නැහැ. අර ඈතින් මෙහි එනුයේ අභය උපසෙනවිතුමා, විමසා බලමු ඔහුගෙන් කිමක් සිදුවී ඇත්ද වග.”

වහා අට්ටාලයෙන් බිමට බැසගත් සේන සහ දම්මුල සෙබළුන් විසින් අභය උපසෙනවි හට සංඛේතාත්මකව සමාචාර දක්වා සිටින ලදී.

“අවසරයි උපසෙනවි තුමෙනි, කිමද මේ හදිසි කලබලය?”

“මමත් එතරම් දැනුවත්ව නොමැත සෙබළ සේන, මාලිගාවෙන් අද උදේ ලැබුණ කට කතා හැටියට නම් අප නිරිඳු ධාතුසේන රාජෝත්තමයාණන් වහන්සේ, මිගාර මහසෙනවිතුමන්ගේ මව් වහන්සේ සිරගත කර ඇති හැඩයි.”

“මිගාර මහා සෙනවිතුමාගේ මව් වහන්සේ? එසේ සිදු වෙන්නට බැහැ නොවැ උපසෙනවිතුමෙනි. මිගාර සෙනවිතුමාගේ මව් යනු අප රාජ්‍ය උත්තමයාණන් වහන්සේගේ නැගණි දේවියන් වහන්සේනේ?”

“තතු එලෙසයි, සෙබළ සේන. මටත් තවමත් සනාථ කළ නොහැකියි. කෙසේ වෙතත් මා වෙත අද පාන්දර ජාමේ ලැබුණු ආරංචිය එයයි. මම දැන් විගස යන්නේ එකී පණිවිඩය ස්ථීර කර ගැන්මටයි. කෙසේ නමුත් මේ ලැබුණු ආරංචි සත්‍ය නම් භයානක සිදුවීමක් වහා විය හැකියි. එ නිසා ආරක්ෂක ස්ථානවලම මනා සිහියෙන් යුතුව රැඳී සිටීම යහපත්. අප මහා සෙනෙවිතුමන් පහසුවෙන් මෙය අත්හරිනු ඇතැයි මා නම් කිසිසේත් කල්පනා නොකරමි.”

Book travel visa at iVisa.com

සේන සහ දම්මුල ආචාර දක්වා නැවතත් අට්ටාලය මතට ගොඩ විය.

“සේන, මට නම් හිතක් නොමැත, අප මහා නිරිඳු රාජෝත්තමයාණන් වහන්සේ මෙතරම් අනුවණ ක්‍රියාවක් කරන වග.”

“කට කට දම්මුල.”

නිහඬව මොහොතක් ගතවිය. හඬ නගමින් සුළං කපා පැමිණි ඊතලයක් සේනගේ තරබාරු ශරීරයට අඩියක් පමණ ඈතින් ගොස් අට්ටාලයේ කණුවක දැවටී නතර විය. බියපත් වූ සේන සහ දම්මුල තව තවත් ඊතල පැමිණේ යැයි බියෙන් මහා හඬින් කෑගසමින් බිමට පහත් විය. මෙකී හඬ ඈත සිට ඇසුණු අභය අට්ටාලය පාමුල අසලට වහා දිව ආවේය.

“මොකෝ, තොපි ජෝඩුව බෙරිහන් දෙන්නේ? කිමද ඉහල සිදු වන්නේ?”

“කවුරුන් හෝ අපට පහර දෙනවා. හීයක් මගේ ඇඟ ඇතුළෙන් ගමන් කළා උපසෙනෙවියනි.”

“තොපිට පෙනේද පහර දෙන අයවලුන්?”

අභය උපසෙනවි විමසා සිටියේ වහ වහා අට්ටාලයට ගොඩවන අතරතුරය.

“නොපෙනේ උපසෙනවිතුමනි.”

සේන සහ දම්මුල තවමත් මුර අට්ටාලයේ බිම දිගාවූ ගමන්ය.

“කෙලෙස පෙනේද තොපි බිම වාඩිලා සිටියදී? දුනු අතට ගෙන සූදානම්ව මා පිටු පසින් සිටගනු වහාම.”

අභය තම දුන්නද සීරුවෙන් තබා ගෙන සෙබළුන්ට අණ දුන්නේය. අසල වන ලැහැබේ පෙනෙන්නට කිසිවක් තිබුණේ හෝ පෙනෙන්නට කිසිවෙකු සිටියේ නැත. තවමත් පිටුපස අට්ටාල කණුවේ රැඳී තිබුණු ඊතලය දෙස නෙත් යොමු කළ අභය දුටුවේ එහි යම් කිසි වෙනසක් ඇති බවයි. ඊතලයේ මැද කොටසේ තල්පතක් අලවා ඇති බවත් එයින් යම්කිසි පණිවිඩයක් ලබා දී ඇති බවත් වටහා ගැනීමට උපසෙනවි හට වැඩි කාල වෙලාවක් ගත වූයේ නැත.

“අහකට වෙයව්. මට තොපි දෙදෙනාගේ සද්ධන්ත ශරීර පලා ගිය හීය ගන්නට.”

අභය ඊතලය ගෙන එහි රඳවා ඇති තල්පත එයින් වෙන් කළේය.

මෙහි ඇති දේ ඇස ගැටීම මහා බල අප නිරිඳු ධාතුසේන රාජ උත්තමයා වෙත පමණයි. රහසිගතයි. වෙනත් පරාණයක ඇස ගැටුනොත් රාජ උදහස. වහා රාජ උත්තමයා වෙත ලබා දෙනු.

මුද්‍රා තබා තිබුණු තල් කොළයේ පිටත කවරයේ සඳහන් කර ඇති පණිවිඩය දුටු අභයගේ සිත කුතුහලයෙන් පිරී ගියද එය කඩා කියවා බැලුවහොත් රාජ උදහසට ලක්වේ යැයි සිතට ඇතිවූ බිය හේතුවෙන් අට්ටාලයෙන් බැස හනි හනිකට රාජ මාලිගය දෙසට ගමන් කළේ සඟවාගත් තල් පතද සමඟය.

ප්‍රධාන මාර්ගය ඔස්සේ වැඩි දුරක් පියවර තැබීමට අභයට හැකිවූයේ නැත. අතුරු මාර්ගයක සිට ඉතා වේගයෙන් පැමිණි අශ්ව රියක ගැටුණු උපසෙනවි අඩි කිහිපයක් අහසට විසිවී ගොස් අසල තිබූ කාණුවකට පෙරළී ගියේය.

“කොහිද උපසෙනවි, මේ කඩිමුඩියේ යන්නේ දෙපසවත් නොබලා?”

අශ්ව රියෙන් නික්මුණ කටහඬ අභයට ඇසුණේ සිහිනයකින් ඇසෙන්නාක් මෙනි. අභයගේ පාදයක් තදින්ම කාණු ගැට්ටේ වැදී තිබුණු අතර දකුණු අතේ සහ මුහුණේ ඇති සිරීම් තුවාල හේතුවෙන් ලේ වැගිරෙන්නට පටන් ගෙන තිබුණි.

Logo 468x60

“මහ සොහොන් දෙවියනි, ඔබ හට සෑහෙන බරපතල වගයි.”

ඉතා අපහසුවෙන් රියදුරා සමඟ අභය ඔසවාගත් අශ්ව රථයෙන් පැමිණි ප්‍රභූ පුද්ගලයා උපසෙනවි රථය තුලට ගෙන එහිවූ මගී ආසනය මත තැබීය.

“ඔබට උපස්ථාන කළ යුතුමයි. වහා හරවනු මාගේ රථය නැවත මන්දිරය දෙසට. මා ඔබව මාගේ සේවකයින් වෙත බාර කර දී නැවත පිටත්ව යන්නම්.”

“මි.. මිගාර.. මහා සෙනෙවි තුමෙනි.”

අභය ඉතා අපහසුවෙන් තම කට හඬ අවදි කලේය.

“පවසන්න අභය, මම කාරණා සිතා සිටියේ ඔබ සිහිමුර්ජාවී ඇති ලෙසයි.”

“මා හට තරමක් අපහසුයි. නමුත් හදිසි කාරණාවක් ඇත ඔබට වහා පැවසිය යුතු මහා සෙනවිතුමනි.”

“ඔබට පහසු නම් පමණක්, කියනු උපසෙනවි.”

අභය සිදුවූ සිද්ධිය සැකවින් කියා සිට, තල්කොළ පත මිගාර මහා සෙනෙවි වෙත බාර දුන්නේය. මිගාර, අභය උපසෙනවි තම වාසස්ථානය වෙත ගොස් උපස්ථානය පිණිස හැර දමා නැවත රජ මාලිගය වෙත යාමට පිටත් වූයේ තම ආදරණීය මව සිරගත කලේ මන්ද යන්න සොයා බැලීමටයි. 

අභය වෙත ලැබී තිබූ තල්කොළ පත මිගාරගේද දැඩි කුකුසට හේතු කාරණාවී තිබුණද වත්මන් වාතාවරණයත් සමඟ තවදුරටත් මෙය රජුගේ දෝෂ දර්ශනයට ලක් වීමට සුදුසු මොහොතක් නොවේ යැයි අභය සිතුසේම මිගාර කල්පනා කළේය.

කෙසේ වෙතත් මාලිගයට යාමට පෙර කාශ්‍යප කුමරුන් මුණගැසීම සුදුසුයැයි වැඩිදුරටත් කල්පනා කළ මිගාරයන් රථය පසෙකලා අශ්වයකු ගෙන තම මුල් ගමන වෙනස් කරමින් ඇතුළු නුවරින් පිටතට අසු මෙහෙය වීය.

රුවන්වැලි මහා සෑය පසුකරමින් ඉදිරියට පිහිටා ඇති මාර්ගයේ බසවක්කුලම වැව් සමීපයට අසු පිටින් පැමිණ කුමරුන් පිළිබඳව එහි රැඳී සිටි පුද්ගලික රැකවලුන් ගෙන් විමසූ මිගාර හට කාශ්‍යපයන් සොයා ගැනීමට වැඩි වෙහෙසක් දැරීමට සිදු වූයේ නැත.

“මාගේ කුමරුනි.”

“මිගාර, කිමද ඔබ තකහනියේම මෙහි පැමිණියේ?”

“කුමරුනි, මාගේ මව් සිරගත කර.”

“මම දනිමි මිගාර, මා වෙත එකී පණිවුඩය අද පාන්දර ජාමයේ දැන ගන්නට ලැබුණා.”

“කිමද එලෙස කරන්නට කාරණා කුමරුනි? මා හට නොවැටහේ. මාගේ අසරණ අහිංසක මව්තුමිය කළ අපරාධය?”

මිගාර විමසා සිටියේ හැඟුම්බරව සහ තරමක කේන්තියෙන්ද යුක්තවයි.

“තොපගේ මව්තුමිය කිසිඳු වරදක් සිදුකර නොමැත සොයුර. කලබල නොවව්. ඔබේ මව නිදහස් කරනු වස් සුවිශේෂ ඉල්ලීමක් මා පියාණන් වහන්සේ වෙත යොමු කළා. අද දිනයේ අවසානයට පෙර මා සිතනා සුබ පුවත ලැබේවි. මාගේ සේවකයකු මේ වන විටත් රාජ මාලිගයේ රැඳී සිට මෙහි පැමිණීමට යුහුසුළුව සිටිනවා.”

“කරුණු එසේ නම්, මා බිය විය යුතු නැතිද කුමරුනි?”

මිගාර දිගු සැනසුම් සුසුමක් සමඟ නැවත ප්‍රශ්න කර සිටියේය.

“ඔබට මා වරක් පැවසුවා නොවේද සොයුරු මිගාර. බිය පහ කර ගන්න. කලබල සිඳ සන්සුන් වන්න. මා මේ මොහොතේ හදිසි හමුවීමක් වෙනුවෙන් තරමක දුර බැහැරකට ගමන් කළ යුතුව තිබෙනවා. අද රාත්‍රී භෝජනය සඳහා මාගේ ගිම්හාන නවාතැනට පැමිණෙනු.”

“එසේමයි, මාගේ කුමරුනේ.”

රජ මාලිගයේ ගමන අතහැර දැමූ මිගාරයන් කාශ්‍යප කුමරුගේ වචනය විශ්වාස කරමින් කලාවැව දෙසට අසු මෙහෙය වූයේ පෙර දවස ඔහු වෙත බාරදී තිබූ රාජකාරී කිහිපයක් නැවත විමසා බැලීමටයි.

වැඩ බිම් සමීපයේ සිට කාශ්‍යප කුමරුගේ ගිම්හාන නවාතැන වැඩි දුරක් නොවූ අතර මිගාර තම කර්තව්‍යයන් කඩිමුඩියේ අවසන් කළේ මව පිළිබඳ තොරතුරක් හැකි ඉක්මනින් දැනගනු නොඉවසිල්ලෙනි.

Watermelon

සෙමින් සවස් කාලය උදාවිය.

මිගාර මහා සෙනවියන් දිනයේ වැඩ රාජකාරී අවසන් කර කාශ්‍යප කුමරුගේ ගිම්හාන නවාතැන වෙත පැමිණියේය. කාශ්‍යපගේ සෙබළුන් අමුතු බැල්මකින් බලන බව තේරුම් ගැනීමට මිගාරට වැඩි වේලාවක් ගත වූයේ නැත. කාශ්‍යප කුමරු තවමත් නවාතැන වෙත පැමිණ නැත. නාන තටාකය අසල පිහිටි ශෛලමය ආසනයක් වෙත පිට දුන් මිගාර නිහඬව කල්පනාවේ යෙදුනේ තම ආදරණීය මවට කුමක් සිදුවී ඇත්ද යන්නයි.

ප්‍රධාන පිවිසුමේ සිටි සෙබළුන්ගේ පිළිගැනීමේ හඬ ඇසූ මිගාරයන් කාශ්‍යප කුමරු පැමිණ ඇති බවට සැක පහල කළේය. දහඩියෙන් පිරුණු නළලතින් සහ කලබල දෙනෙතින් යුතුව තමා දෙසට තවමත් නිල වස්ත්‍ර සහ ආයුධ පැළඳ ඇවිද එන කාශ්‍යප කුමරු දුටු මිගාරගේ සිතද තිගැස්සුණේ සුබදායක නොවන හැඟීමක් වෙලාගත් හේතුවෙනි. 

වහා ශෛලමය අසුනින් නැගිට ඉදිරියට පැමිණ මිගාරගේ දෑත් දැඩිව අල්ලා ගත් කාශ්‍යප සුපුරුදු සුභ පැතීමටත් පළමුව මිගාර ගෙන් සමාව අයැද සිටියේය.

“මට සමාවන්න මිගාර, අප සැම නොසිතූ නොපැතූ යමක් සිදුව තිබෙනවා.”

“කියන්න කුමරුනි, කුමක්ද සිදුව තිබෙන්නේ. මට තතු නොසඟවා පවසා සිටින්න.”

“ඔබට කෙලෙස මේ කාරණය පැවසිය යුතුද යන්න පිළිබඳ මාගේ සිත කකියනවා සොයුර, මා සමඟ ඉහල මාලය වෙතට ගමන් කරමු. මට පොරොන්දු ගිවිසුම් ලබා දෙන්න. ඔබ මා විශ්වාස කරන වග.”

“තවත් කුමන කාරණාද කුමරුනි. ඔබ මාගේ ඥාති සොයුරු. ඔබ හැර වෙනත් තැනැත්තෙක් ඇසුරින්  මේ මොහොතේ මට පිහිටක් නැත.”

ඉහල මාලයට දිවෙන පියගැටපෙළ වෙතට මිගාර ඇවිද ගියේ හිමිදිරි පාන්දර අමතකව ගිය බියකරු සිහිනයකින් අවදිවූ අයකු මෙන් නොදන්නා ලොවක සැරිසරමින්ය.

“පවසන්න කුමරුනි මාගේ දයාබර මව් හට කුමක් සිදුවීද?”

“ඔබගේ මව් මාගේ පියාණන් විසින් සිරගත කරනු ලැබුවා.”

“එය මා දනිමි කුමරුනි. මාගේ මව් තවම සිරකුටියේද?”

“සමාව ලබා දෙනු මා වෙත සොයුර. ඔබගේ මවගේ යහපත් නාමය ජීවතුන්ගේ පුස්තකයෙහි තවදුරටත් සඳහන්ව නොමැත.”

මිගාරයන් ළදරුවෙකු සේ කාශ්‍යප හට තුරුලුව ඉකි ගසා හඬන්නට පටන් ගත්තේය. කුමරුද බසක් නොදොඩා මිගාර වැළඳ සිටියේ සිතෙහි වූ වේදනාව පහ වනතුරු හඬන්නට ඉඩ දෙමිනි.

“කිමද කුමරුනි මාගේ මව සිදු කළ මහා අපරාධය? ඇයි… ඇයි, මාගේ මාමා. ධාතුසේනයා, මෙවන්  කෲර ක්‍රියාවක් සිදු කළේ? කුමක්ද ඇය කළ වරදෙහි වග?”

මිගාර කෑගසමින් කේන්තියෙන් යුතුව කඳුළු පිරි දෙනෙතින් විමසා සිටියදී කාශ්‍යප කුමරුන්ගේද දෙනෙත් තෙත්ව ගියේය.

“ඔබගේ මව යනු ඔබ විසින් දැන සිටිනවාට වඩා ශ්‍රේෂ්ඨ කාන්තා රත්නයක්. ඇය සිදු කළ කිසිඳු වරදක් නොමැත. මා පියාණන් වැරදි වැටහීමක් හේතුවෙන් ඇය මරණ දණ්ඩනයට පමුණුවා තිබෙන්නේ. මා විසින් අද හිමිදිරියේ එකී වැටහීම දුරු කරනු වස් ඉල්ලීමක් අභය නම් උපසෙනෙවියකු හරහා යොමු කළද එකී තල්පත් පණිවිඩයට කුමක් සිදුවී ඇත්දැයි තවමත් මම නොදනිමි.”

“අහෝ කුමරුනි, ඔබ අභය උපසෙනවිට ලියවිල්ලක් දුන්නා. අයියෝ මගේ මව්. අහෝ මගේ මව්.”

මිගාරගේ වැලපීම එක්වරම දරුණු වූයේ මන්දැයි කාශ්‍යප දැන සිටියේ නැත.

“කිමද මිගාර කුමක් නම් සිදුවීද?”

උදෑසන සිදු වූ අනතුර විස්තර කළ මිගාර එතෙක් තම සන්තකයේ ගෙන පැමිණි තල්පත කුමරුට පෙන්වූයේය.

“අහෝ ඛේදයකි මිගාර. මෙය නම් පෙරකල කර්මයකි. ඇයි නුඹ මේ වගක් මට වැව් වැඩ භූමියේ මුණ ගැසුණු මොහොතේ නොකීවේ?”

“අනේ මාගේ කුමරුනි, අභය ඔබ ලබා දුන් වගක් දෙඩුවේ නෑ. මා කල්පනා කළේ රාජකාරි ලියවිල්ලක් යැයි කියායි. මාගේ මව්තුමිය හේතුවෙන් මා පියවි සිහියකින් සිටියේ නෑ කුමරුනි.”

“තල්පත මාගේ බවට අභය දැනුවත් නැහැ. කෙසේ වෙතත් සිදුවන්න තිබූ නරකම කාරණාව දැන් සිදුව හමාරයි.”

“මාගේ වරද කුමරුනි, මාගේ වරද. කිමක්ද මේ තල්පත? කෙලෙසද මා මවගේ මරණය මේ ලියවිල්ලෙන් වැලකෙනුයේ?”

“ඔබට මේ මොහොතේ පහදා දිය නොහැකි කරුණු කාරණා ගණනාවක් තිබෙනවා සොයුර. මේ ලියවිල්ල දැන් අප දෙදෙනා එක්ව විනාශ කළ යුතුයි. ලබා දෙන්න එය මා වෙත.”

කාශ්‍යප විමසුවේ මිගාර දෙසට අවධානාත්මක බැල්මක් රහසින් යොමු කරමිනි.

මිගාර කිසිඳු පැකිලීමකින් තොරව තල්පත කාශ්‍යප වෙත ලබා දුන්නේය. කල් යල් නොබලා ඒ මොහොතේම කාශ්‍යප විසින් ලියවිල්ල ගිනිබත් කරන ලදී.

“මා දයාබර සොයුර මිගාර, කලබල නොවනු. කලබල වීමෙන් ඔබ සිදු කරනු ලබන්නේ ඔබගේ මව්තුමියගේ කීර්තිනාමය කෙලසීමයි. මෙකී මරණයට එකම සහ මූලික හේතු සාධකය ධාතුසේන පිය රජු පමණක් නොවේ.”

“මොනවා! මාගේ මවගේ මරණයට ධාතුසේනයා හැර වෙනත් කවර අය එක්ව ඇත්ද? වහා පවසන්න මා වෙත කුමරුනි.”

“නැවත නැවතත් මා ඔබ වෙත පවසා සිටිනුයේ කලබල නොවන ලෙසටයි. ධාතුසේන රජු මාගේ පියා බව සත්‍යයි. එහෙත් මේ වන විට මා හට ලැබී තිබෙන තතු අනුව මෙය විශාල උගුලක් සහ වෙනත් පාර්ශවයක් නොදැනුවත්ව පවසන ලද කේලම් බස් මත හනික කිපී සිදු කරන ලද ඝාතනයක්. රජුගේ ක්‍රියාව හුදෙක්ම වෙනත් විකල්පයක් නොමැති නිසා සිදුවූ දෙයක් මිස ඔහුගේ සම්පූර්ණ කැමැත්ත නොවෙයි. ඔබට හැකිද රහසක් රකින්න මිගාර?”

“ඔබට මා අවිශ්වාස හැඩයි, කාශ්‍යප කුමරුනි?”

“මට කුමරු යැයි නොපවසන්න, මා ඔබගේ ඥාති සොයුරා මිගාර.”

“එහෙමයි.”

Bookbaby.com helps independent authors bring their creative vision to the marketplace. Sell eBooks online in the biggest retail stores.

“නැවත, නැවත මා ඔබ හට පවසන්නේ ඔබගේ මව ශ්‍රේෂ්ඨ කාන්තාවක්. එබැවින් මා පවසන තතු කිසිවක් පිටට යා නොදිය යුතුයි. සැබෑ සත්‍ය නම් ඔබට මේ තොරතුරු පවසනවාද නැද්ද පිළිබඳව මම තවමත් දෙගිඩියාවෙන් සිටින්නේ. මා හට තවත් හෝරා කිහිපයක් ලබාදෙන්න සොයුර, මාගේ දක්ෂිණ ජල තටාක වෙත ගොස් මා පැමිණෙන තෙක් ස්නානය කරන්න. ඉන්පසු අපි ඉදිරිය ගැන පිළිසඳරක යෙදෙමු. මා හට යම් උපදෙස් කිහිපයක් ලබා ගත යුතුව තිබෙනවා. මේ කෙටි ගමනින් පසුව පැමිණි ඔබ වෙත සියලු තොරතුරු පැවසීමට හැකිවනු ඇතැයි මා අදහනවා.”

“මට ඔබ පවසන කිසිවක් නොවැටහේ.”

“මා එය දනිමි මිගාර. බිඳක් ඉවසනු. ඔබ කැමතිද රෝම පුරයෙන් පැමිණි රක්ත පානයක රස බලන්නට? ඔබගේ ගැටලුකාරී මනසට යම් හෝ සහනයක් ලැබේවි. මා පිටත්ව යාමට පළමුව මාගේ නාන තටාක දෙසට යමු.”


අයවරු වනාහි ආදී රජ දවස (ධාතුසේන රජු සමය වන විටත්.) ලංකා ඉතිහාස කථාවේ සැඟවී ජීවත් වූ සුවිශේෂී බුද්ධිමතුන්ගේ සමාජයකි. මෙම කතාවේ තවදුරටත් ඔබ ඉදිරියට යාමට නම් අයවරු යනු කවුරුන්ද යන්න මනාව වටහා ගත යුතුමය.

මහාවංශයේ නිතරම දක්නට ලැබෙන වචනයක් වන “අය” යන්න මෙකී පුද්ගල සමූහයේ පිරිස හැඳින්වීමට භාවිතා කළේද යන්න තවමත් ඉතිහාසඥයින් ස්ථිර කර නැති නමුදු පෙර රජ දවසේ සුවිශේෂී සේවයක් ඉටු කළ ගණිතය, වෛද්‍ය, තාරකා හා තාක්ෂණය ඇතුළු සියලු විද්‍යාවන්ද කාලීන කලාව සහ දැනුම අතින් විශේෂඥයන්වූ පුද්ගලයන්ගෙන් සමන්විත රහසිගත සමාජය අයවරුන්ගෙ සමාජය ලෙසට සරලවම හැඳින්විය හැක. පෙර රජ පණ්ඩුකාභයගේ යුගයෙන් ඇරඹුණු අයවරුන්ගේ වංශ කතාව විවිධ සමයන්හි විවිධාකාරයෙන් ඉතිහාසය තුල විටින් විට ලිඛිතව සහ අලිඛිතව ඉදිරියට මතුවී පැමිණෙයි.

බොහෝවිට රජකමට සුදුසුකම් නොලද රාජ වංශිකයෙකු නායකත්වය දරන මේ සැඟවුණු සමාජයෙහි අනාදිමත් කාලයේ සිටම රහසිගත මූලස්ථානය වූයේ වත්මනේ සීගිරිය යනුවෙන් හඳුන්වනු ලබන සිංහ පර්වතයයි. අයවරුන් රජු වෙත නිරන්තරයෙන් රාජ්‍යයේ ඉදිරි උන්නතියට අත්‍යාවශ්‍යවූ ඉංජිනේරුමය ඉදිකිරීම් සම්බන්ධ තාක්ෂණය ලබාදීමට සහ වාරි කර්මාන්තය ඇතුළු විවිධ විෂයන් පිළිබඳ උපදෙස් දීමට නිතරම ස්වෙච්ඡාවෙන් විවිධ ස්වරූපයෙන් ඉදිරිපත් විය. 

අයවරුන්ගේ නායකත්වය සඳහා තෝරා ගනු ලබන පුද්ගලයා කිසිඳු දිනක රජ විය නොහැකි බවට නීතියක් මෙම උත්තරීතර සමාජය තුල වූ අතර රජු හා සමීපව සිටිමින් රජුගේ සියලු ක්‍රියාවන් සඳහා උපදෙස් සහ දැනුම ලබා දීමට මැදිහත් වීම ඔහුට හෝ ඇයට පැවරුණු එකම පිළිගත් කර්තව්‍යයයි. වෙනත් ආකාරයකින් කිවහොත් අය සමාජය සහ රාජ්‍ය පාලනය අතර රහසිගත සම්බන්ධතාවය අය නායකත්වයේ වගකීමයි.

අය නායකත්වය පරපුරෙන් පරපුරට නොගිය අතර පරිණත අයවරුන් විසින් නායකත්වයට සුදුසු  පුද්ගලයින් ඔවුන්ගේ කැමැත්ත පරිදි  රහසිගතව තරුණ වියේදීම තෝරාගන්නා ලදී. 

මෙකී සමාජය පිළිබඳ අල්ප දැනුමක් පමණක් බලයේ සිටි රජු වෙතවූ අතර තම අවශ්‍යතාවයන් නොදැනුවත්වම මනා ලෙස ඉටු කර දුන් බැවින් රජවරුන් පවා මෙම හරි හැටි නොදන්නා සැඟවුණු සමාජය වෙත අනිසි බලපෑම් කිරීමට කිසි දිනක උත්සාහ නොකරන ලදී.

ගංගා කුමරිය හෙවත් මිගාරගේ මව යනු ධාතුසේන රජුගේ නැගණියයි. ඉහත විස්තර කී පරිදි ධාතුසේන රජුගේ සමයේ හදිසි මරණ දණ්ඩනය නියම වනතුරු අයවරුන්ගේ නායකත්වය දැරුවේ ගංගා කුමරියන් වන අතර අයවරුන්ගෙන් නායකයෙකු රජු අතින් මරණයට පත්වූ පළවෙනි ඉතිහාසගත අවස්ථාවද මෙයයි.

අයවරුන්ගෙ ප්‍රධාන අප්‍රසිද්ධ මූලස්ථානය වන සිංහ පර්වතය මේ කාලය වන විටත් අය සමාජයෙන් පිටස්තර කිසිඳු පුද්ගලයකුගේ පහස නොලැබූ වාස භූමියකි. ධාතුසේන රජ දවස තෙක් බොහෝ කාලයක සිට පිටත ලෝකය සිංහ පර්වතය සැලකුවේ තාපස භික්ෂු නවාතැනක් ලෙසයි.

විශ්වකර්ම විද්‍යාත්මක පර්යේෂණ, කලා කටයුතු, වෛද්‍ය විද්‍යාව ඇතුළු අයවරුන්ගෙ විශේෂඥ විෂය පථයවූ ජලය පිළිබඳ තාක්ෂණයේ එකල විශ්වවිද්‍යාලය හා පර්යේෂණාගාරය වූයේ සිංහ පර්වතයයි. අයවරුන් සතුව රැස් කරගන්නා ලද සුවිශාල ධන සම්පතක් තිබූ අතර පෙර අපර දෙදිග වාසීන් සමඟ විද්‍යාත්මක දැනුම හුවමාරුව පිළිබඳව ඉතා ඉහල ගණයේ දැනුම් සම්බන්ධතා සහ වාණිජ සම්බන්ධතා ඇති කරගෙන තිබුණි.

ධාතුසේන රජුට පෙර ලංකා ඉතිහාසය ගතහොත් අයවරුන්ගේ නායකත්වය දරා සිට ඇත්තේ බහුතරයක් කුමාරිකාවන් විසිනි. මීට හේතුව නම් රජකමට කිට්ටු සුදුසුකම් ඇති කුමරුන් අය සමාජයේ පැවති සම්ප්‍රදාය අනුව රහස හෙළිදරවු වීමට ඇති බිය හේතුවෙන් බඳවා ගැනීමක් සිදු නොකළ බැවිනි. 

එලෙසම බොහෝ බිහිවූ උගතුන් තම පියා හෝ මව අයවරයෙකු වීම තුලින් සිංහ පර්වතය වාසස්ථානය කරගත් අතර උපතින් ලද ජානමය හැකියාවත්, ශ්‍රේෂ්ඨ පරපුරක ආභාෂය සහ නිරවුල් අධ්‍යාපනයත් හේතු කොට ගෙන නිතැතින්ම වැඩකරුවෝ  වූහ.

මහා අයවරයා හෝ අයවරිය හෙවත් මෙම සමාජයේ නායකත්වය දරන අයගේ රූපය සිංහ පර්වතයේ  බිත්ති මත කලාකාමී අයවරුන් විසින් සිත්තම් කර තිබුණේ අනෙකුත් අයවරුන් හට තම නායකත්වය පහසුවෙන් හඳුනා ගැනීමටයි. බොහොමයක් අයවරුන් දේශපාලනය ගැන වැඩි උනන්දුවක් නොදැක්වූ තම විෂය පමණක් ප්‍රගුණ කරන පුද්ගලයන් වීම හේතුවෙන් ඔවුන්ගේ දැන ගැනීම පිණිස මෙලෙස ප්‍රසිද්ධ කර තිබුණේ සම්ප්‍රදායක් වශයෙනි.

Book travel visa at iVisa.com

අද දවස සීගිරි බිතු සිතුවම් ලෙසින් දැක්වෙන මෙම රූප රාශියෙන් දැනට ඉතිරි ව ඇත්තේ එකී සමාජයේ එකල නායකත්වය දැරූ කුමරියන් කිහිපදෙනෙකුගේ අලංකෘත රූපයන් කීපයක් පමණි.

අයවරුන් සතු විශිෂ්ට ඥාණය සහ දැනුම ඉදිරියට නාවේ මන්ද යන්න අදටත් විශාල පැනයකි. ඔවුන් සතු ඉංජිනේරු ඥාණ ශක්තිය පිටසක්වලින් ලැබූ දෙයක් ලෙසට ඇතැම් පුරාවිද්‍යාඥයන් අද කාලයේ විස්තර කර ඇති නමුත් එකී පෙර රජ දවස තිබූ දැනුම් සම්භාරයේ ඉදිරි ගමනට තිත වැටීම පිළිබඳව කිසිඳු පුරාඇදුරෙකු නිවැරදි නිර්වචනයක් ඉදිරිපත් කර නැත.


“මෙය කළ නොහැකියි කාශ්‍යප. අප සමාජය විද්‍යාවෙන්, ගණිතයෙන් සහ කලාවෙන් දස්කම් පාමින් ඉදිරියට පැමිණියා හැරෙන්නට යුධකාමී ලේ ඇති අය කිසි දිනක අප පරපුර ඉදිරියට ගෙන ගොස් නැහැ.”

“එය සත්‍යයි මහාතිස්ස පඬිතුමනි, ඔබ මට පවසන දෙය ඉතාමත් පැහැදිලියි. නමුත් දැනට පවතින තත්වය පැවති ඉතිහාස වාතාවරණයට වඩා වෙනස් නොවේද? අපේ මහා අයවරිය ඝාතනය කරලා. කිසි දිනක මෙවන් අකටයුත්තක් අප පර්වත් වාසීන්ට සිදුවී නැත.”

“ඔබ පවසන කාරණා සම්පූර්ණයෙන් නොගැලපේ යැයි මම නොපවසමි, නමුත් මහා අයවරිය මියයාම අප සිංහ පර්වතයේ ආරක්ෂාවට තර්ජනයක් වේ යැයි එක එල්ලේ සැක හැර ඔබට කිව හැකිද කාශ්‍යප?”

“මේ වන විට පිය රජතුමන් අප විසින් සැඟවූ විද්‍යාවන් ඇති බවට සැක පහල කරගෙන තිබෙනවා. මහා අයවරිය මරා දමනු ලැබුවේ අප සියලු දෙනාටම කරන ලද හදිසි අනතුරු ඇඟවීමක් ලෙසයි. ගුණමකුවා, කෙලෙසද ඔහු අමතක කරන්නේ ඇය හරහා ගොඩනැගිලි, වාරි කර්මාන්ත හා බුද්ධ දර්ශනය සුරැකීමට ඔබ පරපුර ලබාදුන් සහාය? මගේ මේ උත්සාහය ඔබේ පරපුර මාගේ පියාණන්ගේ වැඩි තණ්හාවෙන් සහ ආශාවෙන් විනාශ වී යාම වැළක්වීමටයි.”

“කලබල නොවනු කාශ්‍යප. කලබලයෙන් කිසිවක් නොවිසඳේ. ධාතුසේනට අවැසිව තිබුනේ ඔහුගේ මෞර්ය වංශය ද්‍රවිඩයන්ට පෙර රජ කළ ලම්බකර්ණ වංශයට වඩා උසස් බව පෙන්වීමටයි. නැතහොත් ද්‍රවිඩයන් සමඟ යුද්ධයක් අවසන් වූ වහාම කිසිඳු විවේකයක් නොගෙන මෙතරම් වාරි කර්මාන්තයේ යෙදුණු වෙනත් රජ කෙනෙක් සිටියේද කාශ්‍යප?”

මහාතිස්ස පඬිවරයාණන් කාශ්‍යප අස්වැසීමට තැත් කළේය.

Bookbaby.com helping independents – whether authors, publishers, musicians, filmmakers, or small businesses – bring their creative efforts to the marketplace.

“ඔබ පවසන කරුණු නිවැරදියි පඬිතුමනි. එහෙත් අපගේ දැනුම, කලාව සහ සිංහ පර්වතය මේ මොහොතේ රැක ගැනීමට නම් මා කල්පනා කරනුයේ මිගාර මහා සෙනවි වැනි රණකාමියෙකු අවශ්‍ය කර ඇති බවයි. නැතහොත් පිය රජු අප පර්වත සමාජය විනාශය කරා ගෙන යනු ඇති. පිට දේශ ආක්‍රමණයන්ගෙන් පවා රැකුණු අපේ පරපුරේ අවසන් මහා අයවරයා වන්න නම් මට නොහැකිය පඬිතුමනි.”

“ඔබගේ කැමැත්ත කාශ්‍යප. ඔබයි අපගේ නව මහා අයවරයා. මාගේ අදහස නම් ධාතුසේනට වඩා අප ප්‍රවේශම් විය යුත්තේ විනාශකාරී යුධ සිත උපදවා ගැනීමෙන් බවයි. රණයට ලැදි පුද්ගලයෙකු අප අතරට පැමිණීම තුලින් මෙතෙක් අප මෙහි ගෙවූ සාමකාමී ජීවිත රටාව වෙනස් වනු ඇති.”

“ඔබේ අවවාදය නොසලකන්නේ නැහැ මහාතිස්ස පඬිතුමනි. දෙන්න මා හට අවසර පිටත්ව යාමට. මිගාර තවමත් සිටින්නේ මගේ නවාතැනේ. පිය රජතුමා ඔහු සොයා එන බව සැලයි. ඊට පෙර සිදුවිය යුතු යහපත්ම කරුණ මා වහා තීරණය කළ යුතුයි.”

“ඔබත් දන්නා පරිදි අපගේ සම්ප්‍රදාය අනුව කැමති ඕනෑම අයකු අප පරපුරට පිළිගන්නට ඔබට බලය තිබෙනවා කාශ්‍යප. ඔබ ඒ බලය අයාලේ නොයවන බව මට විශ්වාසයි. කෙසේ වෙතත් ඔබේ බුද්ධිය හොඳින් විමසා සුදුසු ඉදිරි පියවරක් තබන්න. පර්වත්වාසි අප සියලු දෙනා ඔබ සමඟයි, ඔබට ජය.”

කාශ්‍යප විසින් මිගාර සිංහ පර්වතයට කැඳවීමට තීරණය කරනු ලැබුවේ හේතු කිහිපයක් මතය.

තම මව මිය යාමේ ශෝකයෙන් සිටින මිගාරයන් ධාතුසේනගෙන් පලිගැනීමට උත්සාහ කළහොත් එය රාජධානිය නැවත දකුණු ඉන්දීය ද්‍රවිඩයන් අතරට යාමට හේතු වනු ඇත.

නව දැනුම සහ විද්‍යාව අයාලේ සොයා යන ධාතුසේනයන් අයවරුන්ගේ රහස් රැඳී සීගිරිය ආක්‍රමණය කළ හොත් අයවරුන්ගේ පරපුර සදහටම විනාශ වී යනු ඇත.

උපායශීලීව රැකගත් අයවරුන්ගේ රහස් සහ රාජ වංශික පාලකයන් අතර පැවති සීමිත සම්බන්ධය හෙළිදරව්ව තුලින් අනාගත බලකාමී රජවරු අයවරුන්ගේ ඥාණය අයුතු දේශපාලනික ක්‍රියා සඳහා යොදා ගනු ඇත.

කලින් කලට පෙර සිටි මහා අයවරුන් විවිධ වෙනස්කම් සිදුකලාක් මෙන් කාශ්‍යපගේ වාරයද එළඹ ඇති බව ඔහු තදින් ඇදහීය. ඒ අනුව සිංහ පර්වතය ආරක්ෂා කර ගැනීම මූලික කර ගෙන මිගාර සෙනෙවිගේ පරපුරද සිංහ පර්වතය තුලම පිහිටුවිය යුතු බවට කාශ්‍යප අවසානයේ තීරණය කළේය.

ඔබ දන්නා ඉතිහාසය සමඟ මෙකී තීරණය අය පරපුරේ අනාගතය සම්පූර්ණයෙන් වෙනස් කළ එකක් බවට ඔබට නම් මේ වනවිටත් ඉඟි පහලව ඇති නොවේද?

 

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

Take a food journey around the world

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
CAG Novel

CAG දහහත්වන කොටස

“සිංහලෙන් කිව්වත් මැලේසියාවේ භාෂාවෙන් කිව්වත් ඔක්කොම දැනගත්තා මේ අසනීපකාරයා කරන්නේ විවාහ යෝජනාවක් කියලා. ඒකනේ කට්ටිය අත්පුඩි ගැහුවේ.”

CAG පළවන කොටස

මධ්‍යම පුරාවිද්‍යා කණ්ඩායම(CAG) යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ඔබ අප හොඳින් දන්නා ජනප්‍රිය ආයතනයක් නම් නොවේ. ඉතා අඩු කාර්ය මණ්ඩලයකින් යුත්, සුපිරි තාක්ෂණික බුද්ධියක් සහිත මෙවලම් සහ ක්‍රම යොදා ගන්නා, අන්තර්ජාතික පුරා විද්‍යා ආරක්ෂක ආයතන සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වා ගෙන ඒ හරහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන රහසිගත ආයතනයක් ලෙස පැවතෙන මෙම කණ්ඩායම පිළිබඳ අද ඔබට විශේෂ හේතුවක් පිට හෙළිදරවු කරන තෙක් නිල වශයෙන් දැන සිටියේ ජනාධිපති, අගමැති හැරුණු කොට විෂය බාර ඇමති සහ ලේකම්වරයා පමණී.
Total
6
Share