“කොක්පිට් එකට පයිලට්ලා ඇරෙන්න වෙන කාටවත් යන්න දෙන්න තහනම් කරලා තියෙන්නේ. ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා. ඉස්සර වගේ දැන් යන්න බැහැ මහත්මයා.”

තේම්ස් නදී තීරය 

“දැන් අඬලා තේරුමක් නැහැ රීටා, අපි කරන්න පුළුවන් දෙයක් බලමු.”

නොනවත්වා හඬා වැලපෙන රීටා සනසන්නට රුසිරු උත්සාහ කළේ මහාචාර්යතුමා සොයා ගැනීම පිළිබඳව සැලැස්මක් වහා සැලසුම් කරන අතරතුරයි.

Book travel visa at iVisa.com

“ඒක ඇත්ත රුසිරු, ඒත් මේ මනුස්සයා මට තාත්තා කෙනෙක් වගේ. ලන්ඩන් ආපු හැම සැරේම මම නැවතුනේ මෙහෙ. මගේ ජීවිතේටත් ගොඩක් කිට්ටු වෙලා හිටිය කෙනෙක්.”

සයිරන් නලා හඬ කිහිපයක් නිවස ඉදිරිපසින් ඇසෙන්නට විය.

“ඔව් ඒක මට තේරෙනවා. අන්න රිච්මන්ඩ් පොලිසියෙන් ඇවිත් වගේ. මම ස්කොට්ලන්ඩ්යාඩ් පුරාවිද්‍යා කණ්ඩායමට ආපහු කෝල් එකක් අරන් එන්නම්. බය වෙන්න දෙයක් නැතිවෙයි. ඔයා අර කට්ටිය එක්ක ගිහින් කතා කරන්න.”

රීටා කඳුළු පිස දමමින් නිවසේ ඉදිරිපසට ඇවිද ගියාය. බය නොවන ලෙස රීටා හට පැවසුවත් සිදුව ඇතැයි සැක සිතන මේ සිදුවීමේ බරපතලකම රුසිරු හොඳින් වටහා ගෙන සිටියේය.

රුසිරුගේ පළමු කාර්යය වූයේ අද දින රීටා හට පණිවිඩය ලැබුණු දුරකථන අංක සමඟ ඕස්ට්‍රේලියාවේදී පණිවිඩ ලැබූ දුරකථන අංක සසඳා බැලීමයි. අංකයක් දෙකක් වෙනස් වුවද ඉතා කිට්ටු දේශීය අංක සම්බන්ධතා ඇති බව තේරුම් ගැනීමට රුසිරුට වැඩි අපහසුවක් ඇති වූයේ නැත. දුරකථන අංක නැවත විශ්ලේෂණය ස්කොට්ලන්ඩ්යාඩ් පුරාවිද්‍යා අංශය වෙත යොමු කළ රුසිරු උද්‍යානයේ කෙළවරක පිහිටි තේම්ස් නදී තීර සීමාව අසල ඒ මේ අත ඇවිද ගියේ අද දින සිදුවූ සිද්ධි පෙල හා අනෙකුත් සැකයන් නැවත නැවතත් විමසා බලා කෙසේ හෝ කොණක් පාදා ගැනීමේ අරමුණ ඇතිවය.

මේ වන විට රුසිරුට ඇතිවී තිබූ විශාලතම සැකය වී තිබුණේ මහාචාර්යතුමා පැහැර ගැනීම පිටුපස ඇති නොදන්නා හස්තයේ ඉලක්කය වන්නේ ලන්ඩන් බෞද්ධ විහාරයේ නැතිවූ ස්ථූපය පිළිබඳ මහාචාර්යතුමාගේ දැනුම ලබා ගැනීමද යන්නයි.

මේ ඇතිවූ සැකය හේතුවෙන් වැඩිදුරටත් විස්තර සොයා ගැනීම පිණිස රිච්මන්ඩ් පොලීසිය වෙත දුරකථන ඇමතුම ගැන විස්තර කියා අවසන් කර පැමිණි රීටාද සමඟ රුසිරු ඇතුළු වූයේ මහාචාර්යතුමාගේ අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන පුද්ගලික කාමරය වෙතටයි.

“ඔයත් එක්ක මහාචාර්යතුමා නැතිවුණු ස්ථූපය ගැන මොනවද කිව්වෙ?”

“විශේෂයෙන් දෙයක් කිව්වේ නැහැ රුසිරු. ඇත්තටම මට ස්ථූපය ගැන ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. ඒක හින්දා මම වැඩිය ඒ ගැන ඇහුවෙත් නැහැ. හැබැයි, ප්‍රවෘත්ති වලදි මේ ගැන කියන හැම වෙලාවෙම එඩ්වඩ් මාමා ඒක බලන්න උනන්දු වුණා.”

“ස්ථූපය ගැන මොනවා හරි එකතු කරපු ලියවිලි තියෙනවද කියලා අපි පොඩ්ඩක් මෙතන හොයලා බලමු.”

පැයක පමණ කාලයක් රීටා සහ රුසිරු මහාචාර්යතුමාගේ මේස, පොත් රාක්ක සහ අල්මාරි පරික්ෂා කර බැලූ නමුත් ස්ථූපය සම්බන්ධ කිසිඳු ලේඛනයක් හෝ සටහනක් දක්නට නොලැබිණි. දෙදෙනාගෙන් කිසිවකුට හෝ මහාචාර්යතුමාගේ පරිගණකය වෙත පිවිසීමට හැකියාවක් නොතිබුණේ ඔහු විසින් යොදා තිබුණු පරිගණක ආරක්ෂක උපක්‍රම හේතුවෙනි.

“රීටා, මහාචාර්යතුමා වැඩිය ලියන්න කැමැති කෙනෙක් නෙවෙයි ද?”

“නැහැ රුසිරු, මම දන්න විදිහට මාමා කතා කරද්දී ලියැවෙන සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කළා. මම හිතන්නේ මේ තියෙන ලැප්ටොප් එක ඉස්සරහ තමයි ගොඩක් වෙලාවට වාඩිවෙලා කතා කර කර වගේ හිටියේ.”

“ඒ කියන්නේ, හැමදාම එහෙම කරනවද?”

“ඔව්. ගෙදර උයන වැඩ කරන සාරා කියන විදිහට හැමදාම මාමා පැයක් විතර ලැප්ටොප් එකට දේශනා කරනවා. ඒ වෙලාවට කාටවත් කාමරයට එන්න තහනම්. අපේ සාරා නම් කියන්නේ ලොකු මහත්තයට පිස්සු කම්පියුටරේ දිහා බලන් කියවනවා කියලා. ඒත් මං නං හිතන්නේ ලියනවා වෙනුවට මම කිව්වා වගේ විශේෂ සොෆ්ට්වෙයාර් එකක් එඩ්වඩ් මාමා පාවිච්චි කරන්න ඇති කියලා.”

“මොනවා කරන්නත් කලින් අපිට මේ පරිගණකය ඇතුලට යන්න විදිහක් හදාගන්න වෙනවා. ඔයාගේ විරුධත්වයක් නැත්නම් මේ වැඩේ අපි ස්කොට්ලන්ඩ්යාඩ් එකේ මගේ යාලුවෙකුට බාරදෙමු.”

“මම මොකට විරුද්ධ වෙන්නද? අනේ කොහොම හරි මට මාමාව හොයලා දෙන්න.”

යස්වන්ත යනු ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය අනුබද්ධ පුරාවිද්‍යා කණ්ඩායමේ සේවය කරන රුසිරුගේ සමකාලීන මිතුරෙකි. එංගලන්තයේ ඉපිද ජීවත්වන ඉන්දීය සම්භවයක් ඇති පවුලක දරුවකුවූ යස්වන්ත හා රුසිරු සමඟ බැඳුණු මිතුදම අඩ දශකයකට වඩා පැරණිය. වසර හයකට පමණ පෙරදී ලන්ඩන් නුවර පැවති නවීන තාක්ෂණය හා පුරාවිද්‍යාව පිළිබඳ පුහුණු පාඨමාලාවකදී මුණගැසුණ යස්වන්ත හා රුසිරු දෙරටේම අප්‍රසිද්ධ කීර්තියක් දරා සිටින පුරවැසියන් යැයි පැවසීම වඩාත් සුදුසු වේ.

“යස්වන්ත, මට ඉක්මනට මේ වැඩේ කරලා දෙන්න ඕනේ.”

විශේෂම අවස්ථාවක හැර රුසිරු මෙලෙස ඉල්ලීමක් නොකරන බව යස්වන්ත හොඳින්ම දැන සිටි කාරණයකි.

“කියන්න රුසිරු, මට ආරංචි උනා උඹ ස්කොට්ලන්ඩ්යාඩ් එකට ඇවිත් ගියා කියලා.”

“අනේ මට සමාවෙයන්, හම්බවෙන්න බැරි උනාට.”

“ආ. ඒකට අවුලක් නෑ. මම එන්නම් තව ටිකකින්, මොකක්ද වෙලා තියෙන්නේ? මේ දවස් වල මමත් නිවාඩු පිට ඉන්නේ.”

රුසිරු සිදුවූ සිදුවීම සහ ඔහුගේ සැකය කෙටියෙන් යස්වන්ත වෙත විස්තර කළේය. හෙට දිනයේ සිට ස්කොට්ලන්ත කඳුකරයේ තම වාර්ෂික නිවාඩුව ගත කිරීමට සිතා සිටි යස්වන්ත හට දැනුනේ සිය නිවාඩුව දින කිහිපයකින් කල් යන බවයි. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී මිතුරාට උදව් කිරීමේ විකල්පය තෝරා ගැනීමට ඔහු පසුබට වූයේ නැත.

Blue Lotus SPF 30 Moisturizer

ලන්ඩන් නුවර හොන්ස්ලෝ ප්‍රදේශය පදිංචිය කර ගත් යස්වන්ත හට සූදානම්වී තම නවීන SUV රථයෙන් මහාචාර්යතුමාගේ නිවෙස වෙත පැමිණෙන්නට පැයක පමණ කාලයක් ගත විය.

“මට මේ ලැප් එකට ඇතුල් වෙන්න පැය භාගයක් විතර යයි. එතකං ඔයාගේ මිතුරියට සිලෝන් තේ ඉඟුරු කෑල්ලක් එක්ක සීනි හැඳි එකක් දාලා හදන්න කිව්වොත් ලොකු දෙයක්.”

රුසිරු සිනහවකින් මිතුරාගේ ඉල්ලීම පිළිගත්තේය.

“මම හිතුවෙ නෑ ඉන්දියාවෙ චායි තේ තියෙද්දි සිලෝන් තේ ඉල්ලයි කියලා.”

“වවුලාගේ ගෙදර ආවහම වවුලා කන විදිහට කන්න ඕනේ රුසිරු. නැතුව මට ඉන්දියානු තේ අමතක වෙලා නෙවෙයි.”

දෙදෙනාම සිනාසෙන අතරතුර යස්වන්ත මහාචාර්යවරයාගේ පරිඝණකය විදුලියට සම්බන්ධ කර, පැමිණි කාරණය ආරම්භ කළේය.

විනාඩි 15ක පමණ උත්සාහයකින් පසුව මහාචාර්යවරයාගේ පරිගණකය වෙතට ඇතුළු වීමට යස්වන්ත හට හැකි විය. ඒ අතරතුර සාරා තිදෙනාටම තේ රැගෙන ගෙන ආවාය. තේ පානය අතරතුර රීටා සහ රුසිරු අතර ඇති බැල්මෙහි තේරුම වටහා ගැනීමට පරිගණකයට ඇතුළුවූ තරම්වත් යස්වන්ත හට අපහසු වූයේ නැත.

“ලංකාව දාලා ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවා කියලා රුසිරු මට ෆේස්බුක් එකේ පණිවිඩයක් එවලා තිබුණේ.”

රුසිරු ලැජ්ජාවෙන් සිනාසුනේ සිය මිතුරා හට එවන් පණිවිඩයක් යවා නොතිබුණත් එහි යටි අර්ථය මනාව තේරුම් ගිය නිසාය.

“ඔව් බං, මම බෝට්ටුවෙන් යන්න ඉන්නේ.”

සියලු දෙනා මහ හඬින් සිනාසුනේ පැවති තත්වය සුළු මොහොතකට අමතක කර දමාය.

“මේ ඒක නෙවෙයි, මහාචාර්යතුමාගේ දිනපතා වාර්තා කියලා ගොනුවක් තියෙනවා. මම හිතන්නේ උඹ හොයන එක මේකෙ තියෙන්න පුළුවන් කියලා, මෙතැනට ඇවිත් ඉඳගෙන බලපං.”

රුසිරු යස්වන්ත සිටි ආසනය වෙත පැමිණියේ පතලකින් ගොඩට ගත් ඉල්ලම් පස් අතර මැණිකක් සොයන පතල් කරුවෙකු වැනි උනන්දුවකිනි.

“මට ටික වෙලාවක් දියන් යස්වන්ත. හැබැයි, උඹ එහෙම ඕස්ට්‍රේලියාවේ SUV එකෙන් යන්න ලෑස්ති වෙන්න එපා හරිද?”

නැවත සිනාසෙමින් තම මිතුරාගෙන් මොහොතකට සමුගත් රුසිරු පැය කිහිපයක් ගත කළේ මහාචාර්යතුමාගේ ලෝකය හෙවත් සාරාගේ වදනින් ලැප්ටොප් එකට කරන දේශනා සමඟය.

රුසිරු නිහඬව පරිගණකය සමඟ ඔට්ටු වන අතරතුර යස්වන්ත සහ රීටාගේ කතාබහ වෙන් වූයේ ඉන්දියානු සහ ශ්‍රී ලංකාවේ තේ සංස්කෘතිය ගැනයි. චීනයට පසු ලෝකයේ දෙවැනි විශාලතම තේ නිෂ්පාදකයා වන ඉන්දියාවේ මසාලා නමින් හඳුන්වන තේ, කහට කිරි සමඟ කරදමුංගු, ඉඟුරු, කරාබුනැටි, ගම්මිරිස්, කොත්තමල්ලි සහ ඇතැම් විට මිරිස්ද දමා සාදන පානය යස්වන්ත ඉහලින් අගය කළේය. රීටාගේ තර්කය වූයේ නියම කළු පැහැති කහට පමණක් සහිත තේ නොවන්නට අනෙකුත් එක් කිරීම් මගින් නියම තේ රස නැතිවී යන වගයි. ඇයගේ ප්‍රියතම පානය ලෙස රීටා නම් කළේ නියම කළු සිලෝන් තේ රසයයි.

අදිමදි කිරීමකින් පසුව වුවද යස්වන්ත ඇගේ මතය අවසානයේ පිළිගත්තේය.

“යස්වන්ත, මම ගොඩක් දේවල් හොයා ගත්තා. මම හිතන්නේ අපිට දිග ගමනක් යන්න වෙනව යාළුවා. ඔයාට දවස් කීයක් නිවාඩුද?”

“මට සති දෙකක් නිවාඩු තියෙනවා. කොහෙද එක පාරටම යන්න හදන්නේ? මහාචාර්යතුමා හොයන්නේ නැද්ද ලන්ඩන් ඉඳන්?”

“මෙහෙ මහාචාර්යතුමා හොයන වැඩේ පොලිසියෙන් සිද්ධ වෙනවා. අපි යද්දි කතා කරමු. පරක්කු නොවී දැන්ම අපි යන්න ඕනි.”

“හොඳයි එහෙනම්, ඕන දුරක් යන්න මගේ වාහනේ ලෑස්තියි.”

“මං හිතන්නේ අපිට වාහනෙන් යන්න වෙන්නෙ ටික දුරයි.”

“ඇයි කොහෙද යන්නෙ? හංගන්නේ නැතිව කියහන්කෝ.”

“අපිට ඕස්ට්‍රේලියාවට යන්න වෙනවා. ඉක්මනට ලෑස්ති වෙමු. හැබැයි බෝට්ටුවෙන් නං නෙවෙයි. ප්ලේන් එකෙන්.”

Book travel visa at iVisa.com

ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපොළ

රීටා සහ යස්වන්ත පුදුමයෙන් මෙන් එකිනෙකාගේ මුහුණු බලා ගත්තෝය.

“හොඳයි රුසිරු, මං එන්නම්. කොහොමත් මම මගේ නිවාඩුවට එළියට යන්න හිටියේ.”

“රීටා, ඔයත් අපිත් එක්ක එන්නම ඕනේ.”

රුසිරු රීටාට කීවේ අණක් ලෙසිනි.

“ඒත් රුසිරු, එඩ්වඩ් මාමාට කරදරයක් වෙලා තියෙන වෙලාවේ මේ ගෙදර දාලා මං කොහොමද යන්නේ? ඔයා අඩුම ගානේ ඇයි අපි යන්නේ කියලවත් කියන්නකො?”

“ඔක්කොම විස්තර මම ප්ලේන් එකේදි කියන්නම්. පුළුවන් තරම් ඉක්මනට ලෑස්තිවෙලා හීත්‍රෝ යමු. මහාචාර්යතුමා අපිට හොයාගන්න වෙන්නේ මේ ගමන ගියොත් තමයි.”

රීටාගේ කලබලවූ සිතට කුඩා අස්වැසිල්ලක් ලැබුණේ එවිටය. පැය දෙකක පමණ කාලයක් තුල අත්‍යවශ්‍ය සියලුම කළමනාද සමඟ හීත්‍රෝ ගුවන් තොටුපල වෙත පැමිණි තිදෙනා අධි මිලක් ගෙවා අවසන් විනාඩියේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඩුබායි සහ මෙල්බර්න් හරහා කැන්බරා යන ගුවන් යානයක ආසන වෙන්කරවා ගැනීමට සමත් විය. 

රාත්‍රී 8.40ට පිටත් වීමට නියමිත ගුවන් යානය පසුදින උදෑසන 6.35 වනවිට ඩුබායි වෙතත් නැවත ඩුබායි සිට පිටත්වීම උදෑසන 10.15 ලෙසත් ටිකට් පතේ විස්තරයේ සඳහන්ව තිබුණි. මෙල්බර්න් නගරයට උදෑසන 05.25ට ලඟාවන ගුවන් යානය සම්පූර්ණ පැය 28ක ගමනකින් පසු කැන්බරා කරා ළගා වීමට නියමිතය. ලැබුණු හොඳම අවස්ථාව මෙය වුවද ටිකට් පතේ සඳහන් කාලය රුසිරුට නම් දැනුනේ කල්පයක් ලෙසිනි.

“ඉතින් රුසිරු දැන්වත් අපිට කියන්න මොකක්ද මේ වෙන්නේ? ඇයි අපි ඕස්ට්‍රේලියා යන්නේ කියලා?”

ආසන පටිය සුදුසු පරිදි සකසමින් සහ ගුවන් යානයේ වයි-ෆයි ජාලය සමඟ එක් වෙමින් යස්වන්ත විමසා සිටින ලදී.

“මේක දිග කථාවක්. හොඳට අහගන්න, මේ ගමන කොයිතරම් සාර්ථකද කියන එක තියෙන්නෙ, අපි පුළුවන් තරම් ඉක්මනට ගැටලුවේ මුල හොයාගන්න එක හැටියටයි. මට හිතෙන විදියට අපි දන්නෙ නැති, තවම අපිට හිතා ගන්න බැරි කණ්ඩායමක් එක්ක තමයි අපිට හැප්පෙන්න වෙලා තියෙන්නේ.”

දිගු කතාවකට රුසිරු මුල පිරීය.

“මහාචාර්යතුමා පරීක්ෂණ ගොඩක් කරලා තියෙනවා. ස්ථූප, සිහිවටන ගැන. මේ ස්ථූපය ආගමික භාණ්ඩයක් හැටියට බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විස්තර කරලා තිබ්බත් මහාචාර්යතුමා නම් කියන්නේ, ඒක අතීත බුද්ධිමත් විද්‍යාඥයන් පිරිසකගේ හුරුබුහුටි නිර්මාණයක් කියලා. ගොඩක් තැන්වල විස්තර වල මහාචාර්යතුමා මේක යතුරක් කියලත් කියලා තියෙනවා. ඔය කියන යතුරෙන් ඉතාම වටිනා යමක් ආරක්ෂා කරන්න ඇති කියල තමයි එතුමා හිතන්නේ. ඒ ගැන තියන සමහර විස්තර මට එච්චරම පැහැදිලි මදි.”

“ඉතින් ඇයි මාමාව පැහැරගත්තේ, ස්ථූපය හොරුන්ට හම්බ වුණාට පස්සේ?”

හැඟුම්බරව රීටා විමසුවාය.

“මටත් තවම හරියටම හිතාගන්න බැහැ. ඒ උනාට මට හිතෙන්නේ මහාචාර්යතුමාගේ දැනුම උපදෙස් වගේ දේවල් ලබා ගන්න කරපු වැඩක් හැටියට, ඒක නිසා දැන් හොරු යන පාරෙම අපිත් යන්න නම් මහාචාර්යතුමා හිතන විදිහටම හිතන්න වෙනවා. එක තැනක මහාචාර්යතුමා කියලා තියෙනවා ටොලමිගේ සිතියම ගැන, ඒ වගේම මේ සිද්ධි දෙකේම දුරකථන අංක ගොඩක් කිට්ටු හින්දත් මහාචාර්යතුමාගේ කතාවේ තිබ්බ විස්තර නිසාත් මම නම් හිතන්නේ මේ සිද්ධියේ මුල තියෙන්නේ කැන්බරා වල කියලා.”

“මොනවා උනත් මහාචාර්යතුමා කියලා තියෙන මේ දේවල් මුල ඉඳන් හරියටම හොයා ගන්න අපිට ටොලමිගේ සිතියම බලන්නම වෙනවා.”

“කොයි කාලේ වගේද මේ ස්ථූපය හදලා තියෙන්නේ?”

යස්වන්ත විමසා සිටියේය

“ස්ථූපය හදල තියෙන්නෙ ධාතුසේන රජතුමාගේ කාලේ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ හාරසිය පනහෙ වගේ.”

“එතකොට ටොලමි හිටියේ?”

“ක්‍රිස්තු වර්ෂ එකසිය ගණන් වල.”

“ඉතින් රුසිරු මේ කාල පරාසයත් එක්ක බලද්දී මම නම් හිතන්නෙ නෑ ඔය දෙක අතර සම්බන්ධයක් ඇති කියලා.”

යස්වන්ත සැක මුසුව කියා සිටියේය.

“මටත් ඕකම හිතුනා. ඒ ගැන තොරතුරු ගොඩක් මහාචාර්යතුමා කියලා තියෙනවා. තවත් මට කියවන්නත් තියෙනවා. ඒ හින්දා මම ඒ ඔක්කොම පිටපත් කරගෙන ෆයිල් තුනක් හැදුවා. ඩුබායි යනකං කම්මැලිකම යන්නත් එක්ක කියවන්න ඕගොල්ලන්ටත් එක ගානේ මෙතැන තියෙනවා. කොහෙන් හරි පොටක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ.”

“අනේ මං ඕව කියවන්න කම්මැලියි. එඩ්වඩ් මාමා හම්බවුණොත් මට ඇති, මම නිදාගන්නවා.”

රීටා පැවසුවේ ගුවන් සේවිකාව විසින් ලබාදුන් ඇතිරිලි පොරවා ගනිමිනි.

“මේ ස්ථූපය ගැන මේ විදිහේ මතයක් කරලා තියෙන්නෙ මහාචාර්යතුමා විතරයි. අනික් වෙන කවුරුවත් මේ ගැන සුවිශේෂ පරීක්ෂණයක් කරල නැහැ, ඒක නිසා මම නම් හිතන්නේ නැහැ කවුරු වුණත් දැනුම නිසා මහාචාර්යතුමාගේ ජීවිතයට හානියක් කරයි කියලා.”

Take a food journey around the world

“හරි පාරට වැටෙන්න නම් අපි ගිහින් මහාචාර්යතුමා කියලා තියෙන විදිහට මේ සිතියම බලලා ඉමු. මම හිතන විදිහට හොරු දැනටමත් සිතියම බලලා ඉවර නිසා දැනටත් අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ.”

නැවත ලිපිගොනුව දෙසට නෙත් යොමු කරන අතරතුර රුසිරු වැඩිදුරටත් කියා සිටියේය.

“ඇයි අපිට ඔය සිතියම ඊ-මේල් කරගෙන බලන්න බැරි?” 

යස්වන්ත විමසා සිටියේය.

“ඒකෙ රහස් දිය සලකුණු කිහිපයක් තියෙනවා. ඊ-මේල් එකකින් පේන එකක් නැහැ. සම්පූර්ණ ෆයිල් එක කියවන්න, මහාචාර්යතුමා කියපු ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම තේරුම් ගන්න අමාරු කතා කීපයකුත් තියෙනවා. අපි තුන් දෙනෙක්ම ඉන්න නිසා කොහේ හරි පොටක් අහුවෙයි.”

අවධානය නැවතත් ලිපිගොනුව දෙසට යොමන අතරතුර රුසිරු පිළිතුරු දුන්නේය.

ලන්ඩන් – ඩුබායි 

ගුවනේ පැය කිහිපයක් නිහඬව ගෙවී ගිය අතර රීටා සහ යස්වන්ත දෙදෙනාම නිදි දෙව්දුව සමඟ දිගු නිහැඬියාවකය.

සංචාරක සමයවූ නිසාදෝ ගුවන් යානය සම්පූර්ණයෙන්ම පාහේ පිරී තිබුණි. මුහුණ ආවරණ කර ගත් කාන්තාවන් සමඟ අරාබි ජාතිකයන් විශාල ප්‍රමාණයක්ද ගුවන් යානයේ විය. ගුවන් සේවිකාවක් වෛද්‍ය උපකරණයක්ද සමඟ ගුවන් යානයේ ඉදිරිපසට දිව යන ශබ්දයට අවදිවූ යස්වන්ත තවමත් ලියකියවිලි සමඟ ඔට්ටු වන රුසිරුට එය අතින් සංඥා කර පෙන්වීය.

“කවුරු හරි වයසක අරාබි කාරයකුට පපුවේ අමාරුවක් හැදිලා වගේ. අර ගෑණු ළමයා ඉස්සරහට අරන් දිව්වෙ පපුවේ අමාරුව අඩු වෙන්න ගන්න ස්ප්‍රේ එකක්.”

යස්වන්ත කියා සිටියේ අසුන් ගෙන සිටි ආසනයෙන් දකුණට නැවී ඉදිරිපස බලමිනි. පිටුපස සිට වේගයෙන් පැමිණි තවත් අරාබි ජාතිකයකු යස්වන්තගේ දණහිසේ වැදුණේ එතෙක් ඔඩොක්කුවේ තබා ගෙන සිටි මහාචාර්යතුමාගේ ලිපිගොනුව සහ එය තුල පිහිටි සියලු ලේඛන දසතේ විසුරුවමින්ය.

කැඩුණු ඉංග්‍රීසි භාෂාවෙන් මහ හඬින් සමාව ඉල්ලනු ලබන අතර කුමක්දෝ අරාබි භාෂාවෙන්ද කියා සිටිමින් එකී තැනැත්තා කලබලයෙන් මෙන් ලේඛන එකතු කිරීමට වූයේ උදව් අවශ්‍ය නොමැති බවට ඔහුට කියා සිටි යස්වන්තගේ ඉල්ලීමද නොසලකා හරිමින් සහ යස්වන්තට සිය ආසනයෙන් හෝ නැගිටීමට හෝ ඉඩ නොදෙමින්ය. 

සුළුවෙන් දන්නා අරාබි බසින් මෙය ගණන් ගත යුතු නොවන බව යස්වන්ත කියා සිටියද අරාබි ජාතිකයාගේ මේ උත්සාහය අවසන් පිටුව එකතු කර ලිපිගොනුවට දමා දෙන තෙක්ම නතර වූයේ නම් නැත.

හදිසි කලබලය අවසන් වීමට විනාඩි කිහිපයක් ගත විය. ගුවන් යානයේ ප්‍රධාන නියමුවා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අසනීප වූ රෝගියෙකු හේතුවෙන් යානය කුවේට් ගුවන්  තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්වන වගයි.

රුසිරු සහ යස්වන්ත මුහුණට මුහුණ බලා සුසුම් හෙළුවේ ඉදිරි ගුවන් ගමන සඳහා මෙම ප්‍රමාදය කෙලෙස බලපානු ඇත්දැයි කතිකා කරන අතරතුරය.

ආසන පටි පැළඳගෙන ගොඩ බෑම සඳහා සූදානම් වන ලෙසට ගුවන් නැවේ නියමු කුටියෙන් නිවේදනය කරන ලදී. ඒ අතරතුර ගුවන් යානයේ පිටුපස සිට ඇවිද පැමිණි නියමු නිල ඇඳුමකින් සැරසීගත් ලාංකීය පෙනුමක් සහිත තැනැත්තෙකු රුසිරු දැක විමතියෙන් මෙන් නතර විය.

“ඔයා රුසිරු ද?”

“ඔව්. මම රුසිරු තමයි.”

රුසිරු විමතියට පත්ව සැකයෙන් යුතුව පිළිතුරු දුනි.

“මම තරංග, උඹට මතක නැද්ද  මාව? උඹ නං ඉස්සර වගේමයි.”

“තරංග.” 

සම වයසේ තරංග යන නම ඇති කීප දෙනෙක් මතක් වුවද මේ මුහුණ නම් පැහැදිලි නැත.

“ඔව් තරංග තමයි, මේ ජෝසප් එකට ඉස්කෝලේ ගිය රුසිරු නේද? මතක නැද්ද?”

රුසිරු උඩ බිම බැලීය. පාසැල් අධ්‍යාපනය අවසන් කර වසර දහ තුනකට පමණ වැඩි කාලයකින් හමුවූ මිතුරාගේ සිත තම අවමතකය හේතුවෙන් කඩා බිඳ දැමීමට රුසිරුට අවැසි වූයේ නැත.

“ආ. තරංග, කොහොමද ඉතින්?”

“මම දැන් එමිරේට්ස් එකේ වැඩ කරන්න පටන් අරන් අවුරුදු පහක් විතර වෙනවා. වරෙන් මචං ඉස්සරහට කොක්පිට් එකට යමු. ප්ලේන් එක ගොඩ බහින හැටි බලන්න. යාළුවො නම් එක්ක යන්න විදිහක් නෑ. ගොඩක් ඉඩ නැහැනේ.”

Logo 468x60

තරංග ඉතා මිත්‍රශීලී ලෙසට නියමු කුටියට පැමිණෙන්නට රුසිරු හට ඇරැයුම් කළේ ප්‍රතික්ෂේප කළ නොහැකි අයුරිනි.

“කමක් නෑ තරංග යාලුවොත් ඉන්නවනේ.”

“මොන පිස්සුවක්ද රුසිරු, මගේ ඉස්කෝලේ යාලුවෙකුට මෙහෙම චාන්ස් එකක් අරන් දෙන්න ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. අනිත් එයාපෝට් වලදී ඔයාගේ යාලුවොත් මම අරන් යන්නම් යමු. යමු ඉක්මනට.”

තරංගගේ පෙරෙත්තය ඉවසිය නොහැකි තැන රුසිරු තම දෙමිතුරන්ට සමුදුන්නේ වැඩි කැමැත්තකින් නම් නොවේ. 

“මට නම් කොක්පිට් එකට තරම් දුර යන්න ඕනේ නැහැ, පළවෙනි පන්තියට යන්න තිබ්බා නම් හොඳටම ඇති.” 

පළමු පන්තියේ ආවරණයට වැසී ගිය රුසිරු දෙස බලා සිනාසුනු යස්වන්ත තවමත් අඩ නින්දේ සිටි රීටා වෙත කියා සිටියේය.

හදිසි තත්වය හේතුවෙන් ගුවන් යානය කුවේට් ජාත්‍යන්තර ගුවන් තොට වෙත ගොඩ බැස්වූ අතර රෝගියා රෝහල වෙත පිටත් කර යැවීමටත් නැවත ඉන්ධන පුරවා ගැනීමටත් පැයකට වැඩි කාලයක් මිඩංගු විය. සියලු ගුවන් මගීන් ගුවන් යානය තුලම රඳවා සිටි අතර ගුවන් යානය නැවත පිටත්වන බව ප්‍රධාන ගුවන් නියමුවා දැනුම් දෙන ලදී.

“මේ මනුස්සයා තාම නැහැ, කැප්ටන් මෙයාට ප්ලේන් එක අරන් යන්න උගන්වනවද මන්දා?”

රීටා පැවසූවේ කනස්සලු ස්වරයකිනි.

රීටා පැවසූවේ කනස්සලු ස්වරයකිනි.

යස්වන්තගේ සිතද සැකයෙන් පිරී යන්නට විය. නැගිට ගොස් පරික්ෂා කිරීම වඩාත් සුදුසු යැයි සිතූ යස්වන්තට වහා බාධා කළේ රූමත් ගුවන් සේවිකාවක්ය.

“මහත්මයා කරුණාකරලා සමාවෙන්න. අපි ගුවන්ගත වෙනවා, ආසන පටිය දාගෙන ආසනයේම ඉන්න.”

මිත්‍රශීලී ලෙස ගුවන් සේවිකාව අණ දුන්නාය.

“ඔයගොල්ලන්ගේ කැප්ටන් කෙනෙක් මගේ යාළුවව කොක්පිට් එකට අරන් ගියා. තාම නෑ, ඒකයි මම බැලුවේ.”

Bookbaby.com helping independents – whether authors, publishers, musicians, filmmakers, or small businesses – bring their creative efforts to the marketplace.

“දැන් නම් පයිලට්ලා ඇරෙන්න කවුරුත් කොක්පිට් එකේ ඉන්න විදිහක් නෑ සර්. ඒත් මම ආපහු හොයල බලන්නම්. කලබල නොවී වාඩිවෙලා ඉන්න.”

යස්වන්තගේ සිත තුල ක්ෂණිකව සැකයක් සහ බයක් පැන නැගුණු අතර තවත් ප්‍රශ්නයක් ඇසීමට ගුවන් සේවිකාව සෙවූ නමුදු ඇයද ගුවන් ගත වීමට සූදානම් වීම පිණිස අදාල ස්ථානයට ලහි ලහියේ පිටත්ව යමින් සිටියාය.

ආසනයට ඉහලින් දිස්වන ආසන පටි සංඥාව ගුවන් නියමුවන් විසින් නිවා දැමූ වහාම යස්වන්ත නැගිට යානයේ ඉදිරිය වෙත ඇවිද ගියේ රුසිරු පිළිබඳ විපරම් කිරීමටයි. නියමු කුටි පිවිසුම් දොරට ආසන්න වන තෙක් රුසිරු පෙනෙන්නට නොසිටි අතර අදාල පිවිසුම් දොර අසල සිටි ගුවන් සේවකයෙකු දුටු යස්වන්ත වහා ඔහු වෙත ඇවිද ගියේ කලබල වූ සිතකින් යුක්තවයි.

“මහත්මයා මේ වෙලාවේ කවුරු හරි කොක්පිට් එකේ ඉන්නවද?”

“ඔව් මහත්මයා. පයිලට්ලා තුන් දෙනාම ඉන්නවා.”

ගුවන් සේවකයා සිනහවෙමින් පැවසුවේ ගුවන් මගියා විමසන්නේ විහිළුවට යැයි සිතමිනි.  

“සමා වෙන්න. මම ඇහුවේ පයිලට්ලා ඇරෙන්න.”

“කොක්පිට් එකට පයිලට්ලා ඇරෙන්න වෙන කාටවත් ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා යන්න දෙන්න තහනම් කරලා තියෙන්නේ. ඉස්සර වගේ දැන් අනිත් අයට යන්න බැහැ මහත්මයා.”

ඒ වචන කිහිපය යස්වන්තට ඇසුණේ හදිසි විදුලියක් වැදුනාසේය.

“මේකෙ පයිලට්ලා මොන රටවල් වල අය ද?”

“එක් කෙනෙක් එමීර් රාජ්‍යයේ, අනිත් දෙන්නම ඕස්ට්‍රේලියාවේ. ඇයි සර් මොකක්ද ප්‍රශ්නේ?”

“තරංග කියලා පයිලට් කෙනෙක් හරි මේ ප්ලේන් එකේ වැඩ කරන ලංකාවේ කවුරු හරි ඉන්නවද?”

“ලංකාවේ කවුරුත් මේ ප්ලේන් එකේ වැඩ කරන්නේ නැහැ සර්.”

වෙව්ලන මනසින් හා ගතින් යුතුව හිස්ව තිබූ පළමු පන්තියේ ආසනයක් මත යස්වන්ත සෙමින් වාඩි විය.

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

Book travel visa at iVisa.com

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *