දෑස කිහිප වතාවක් පියවී ගියේය. නැවතත් මුහුදු රළ හේතුකොටගෙන තිගැස්සී අවදිවිය. හිසෙහි පැවති ඇම්ම කිහිප ගුණයකින් වේදනා දෙන්නට විය. මෙය නම් තම ජීවිතයේ අවසාන මොහොත බව රුසිරු නිගමනය කලේ තැන්පත්ව මරණයට මුහුණ දිය යුතු අදිටනෙන් යුතුවය.

අන්ධකාරය 

ඔළුව දෙකඩව යන තරමේ දරුණු වේදනාවක් ඇතිව රුසිරු අවදිවිය. කිසිවක් නොපෙනේ.  අන්ධකාරය තවමත් දෙනෙත් වෙලා ඇත. පිටුපසට කර අත් සමඟ කකුල්ද බැඳ දමා ඇති සෙයක් දැනේ. 

ඒ මේ අත හෙල වෙන්නට තැත් කළ ද පෙට්ටියක් වැනිවූ යමක් තුල තමා සිරවී ඇති බවක් රුසිරුට වැටහී ගියේය. විශාල වලවල් සහිත මාර්ගයක අපහසුවෙන් ගමන් ගන්නා වාහනයක් සේ එකී පෙට්ටිය සමඟ උඩ පහල යෑම රුසිරුට අතිරේක දැඩි අපහසුතාවයක් ඇති කළේය.

Book travel visa at iVisa.com

අවසන් වශයෙන් පැහැදිලි මතකයක් තිබුණේ ගුවන් යානයේ පළමු පන්තියට මිතුරකු සමඟ ඇතුළුවීම පමණි. කෙතරම් කාලයක් සිහි නොමැතිව සිටියේද යන්න ගැන අවබෝධයක් රුසිරුට තිබුණේ නැත.

දෑස් විවර කරන්න උත්සාහ කළ මුත් විවර කළ නොහැකි මේ අන්ධකාරය ඇත්තේ දෑස් වසමින් යමක් ගැට ගසා ඇති නිසාදෝ යැයි රුසිරු කල්පනා කළේය. පළමුව කළ යුතුව ඇත්තේ තම තත්ත්වය මනාව වටහා ගැනීමයි. එනමුදු උත්සහය අතරතුර ශබ්දයක් ඇති වුවහොත් අවට පරිසරය වඩාත් අනතුරුදායක වෙතැයි රුසිරු කල්පනා කළේය. 

උඩ පහල විසි වන වාරයක් පාසා ඔහු සෙමින් එක පැත්තකට පෙරලීමට තැත් කළේය. කුමන වටපිටාවක කුමන පරිසරයක සිටීද යන්න නොදැන කරන මෙම උත්සාහය කොයිතාක් දුරක සුබ ප්‍රතිඵලයක් ගෙන දේ දැයි හරියටම රුසිරු දැන සිටියේ නැත.

විනාඩි පහළොවක් පමණ කාලයක් සෙමින් සහ සංයමයෙන් රුසිරු කළ උත්සාහයකින් පසු හඬක් නගමින් අඩි දෙකක පමණ බිමකට ඔහු ඇද වැටුණි.

“රුසිරු.”

අසා පුරුදු කට හඬක් ඉතා කිට්ටුවෙන් සිහින් ශබ්දයෙන් රුසිරුට ඇසෙන්නට විය.

“මහාචාර්යතුමා නේද?”

“ඔව් රුසිරු. මට ඔයා පේනවා. මම හිතුවේ ඔයාට සිහිය නැහැ කියලා.” 

“අපි මේ කොහෙද ඉන්නේ?”

“ඉන්න තැන නම් මම හරියටම කියන්න දන්නේ නැහැ. ඒත් අපි ඉන්නේ බෝට්ටුවක.”

“මහාචාර්යතුමා හොඳින්ද?”

“ඔව් රුසිරු. මට නම් ගොඩක් නරක විදිහට නම් සැලකුවේ නැහැ. ඒත් මගේ ලංකාවේ ඉන්න අක්කාව මේ ගොල්ලෝ ප්‍රාණ ඇපයට අරන්. මට බය මගේ අක්කා ගැන.”

“මහාචාර්යතුමාවත් මාව වගේම බැඳලද ඉන්නේ?”

“මාව මේ පුටුවට තියලා ඇත දෙක බැඳලා තියෙන්නේ. ඒත් රුසිරුගේ වගේ ඇස් නම් බැඳලා නෑ. මේ රැල්ලට බෝට්ටුව උඩ පහල යන එක තමයි ඉවසන්නම අමාරු”

“කවුද මේ දේ කරන්නේ? ඒගොල්ලන්ට මොනවද ඕනේ?”

“මාව පැහැර ගත්තට පස්සේ මේ ගොල්ලෝ ප්ලේන් එකෙන් මාව කුවේට් වලට ගෙනාවා. මම හිතන්නේ හොර පාස්පෝට් එකකින්. ඊට පස්සේ මේ බෝට්ටුවට දාලා මාව ගැට ගැහුවා. ඊට ටික වෙලාවකට පස්සේ තමයි රුසිරුව මේකට ගෙනත් දැම්මේ.”

“මගේ අක්කට මොනවා හරි වෙයි කියලා මම මොනවත් කරන්න ගියේ නැහැ, අක්කා මට ලන්ඩන් ඉන්න කොටයි බෝට්ටුවට ආවට පස්සෙයි කතා කළා. දැනට නම් ප්‍රශ්නයක් නැතුව හොඳින් ඉන්නවා මම නම් හිතන්නේ.”

සුළු නිහඬතාවයකින් පසුව නැවත මහාචාර්යතුමා හඬ අවදි කළේය.

“මේ වැඩේ කරන කට්ටිය කවුද කියලා මට නම් තාම හිතාගන්න බැහැ. හැබැයි මේ බෝට්ටුවේ තියෙන්නේ ඇමරිකානු කොඩිය. භාෂා කතා කරන විදිහට එක එක රටවල් වල කට්ටිය ඉන්නවා වගේ”

මහාචාර්යතුමා දිගු විස්තරයක් රහසෙන් මෙන්ම කෙටියෙන් රුසිරුට පවසා සිටියේය.

“අපි මේ ඉන්නේ බෝට්ටුවේ කොයි හරියෙද?”

“අපි ඉන්නේ බෝට්ටුවේ යට තට්ටුවක. පොඩි ගබඩා කාමරයක වගේ එකක්.”

“මොනවත් උපකරණයක් ළඟට මහාචාර්යතුමාට යන්න බැරිද අත් දෙක ලෙහා ගන්න පුළුවන්?”

“මට පේන්න නම් ලණු බාල්දි ඇරුණහම කිසිම උපකරණයක් නැහැ. ඒත් මට පුටුව එක්ක රුසිරු ඉන්න තැනටම වැටෙන්න පුළුවන්.”

Take a food journey around the world

“ඔබතුමාගේ වයසත් එක්ක ඒක ටිකක් භයානකයි මහාචාර්යතුමා.”

“මම බය නැහැ කොලුවො. ගොඩ වෙලාවකින් කවුරුත් යටට ආවෙ නැහැ. ඒ ගොල්ලො තාම හිතනවා ඇති ඔයාට සිහිය නැහැ කියලා. වැඩි වෙලාවක් යන්න කලින් එයි බලන්න. ඒක නිසා කරන දෙයක් ඉක්මනට කරමු.”

මහාචාර්යතුමා පුටුවද සමඟ රුසිරු බිමට වැටී සිටි පැත්තට බරවී වැටුණේය. ඉන්පසු ඔහුගේ අත බැඳි ලණු පට රුසිරුගේ මුව අසලට ලං කළේය. සෑහෙන උත්සාහයකින් පසු එකී ලණුව අසීරුවෙන් වුවත් කටින් හපා ගලවා දමන්නට රුසිරුට හැකි විය.

නිදහස් වූ මහාචාර්යතුමා වහ වහා රුසිරුගේ අත් සහ කකුල් බැඳී ලණු පට සහ දෑසද නිදහස් කළේය.

අවට බලමින් රුසිරු නිරීක්ෂණය කළේ ඉතා කුඩා කාමරයක දෙදෙනාම රඳවා ඇති වගයි. ඉහලට යාමට කුඩා පඩි පෙලක් ඉදිරියෙන් තිබූ අතර මෙය පහසුවෙන් සිට ගෙන සිටීමටත් අපහසු ඉඩක් සහිත කුඩා ගබඩා කාමරයකි. 

විශාල රල පහරවල් සහිත මුහුදක හෝ වැවක ගමන් කරන බවක් නම් සිතිය හැකිය. එකී ගමන් ගන්නා රළු ජල මතු පිට හේතුවෙන් මේ කාමරයේ මෙන්ම බෝට්ටුවේ රැඳී සිටීමද ඉතා අපහසු කාරණයක් බව නම් විශ්වාසය.

“අපි මේකෙන් ඉක්මනටම එළියට යන්න විදිහක් හොයාගන්න ඕන මහාචාර්යතුමා.”

“මම හිතන්නේ මාත් එක්ක ඔයාට ටිකක් ඒ වැඩේ අමාරු වෙයි. මේ වෙලාවේ හොඳම දේ ඔයා තනියම පිටත් වෙන එක රුසිරු. අනික මට මගේ අක්කා ගැන බයයි.”

මහාචාර්යතුමා පවසන දෙය නිවැරදි යැයි මොහොතක් කල්පනා කළ රුසිරු තීරණය කළේය. මේ පුද්ගලයන් හට මහාචාර්යතුමා අවශ්‍ය වුවද තමා අවශ්‍ය වීමට හේතුවක් නැත. අනෙක් අතට මේ කාමරයෙන් පිටත කුමන තත්වයක් තිබේද යන්නත් එකී පරිසරය මහාචාර්යතුමාගේ වයසට ඔරොත්තු දේද යන්නත් නිසැකව කිව නොහැක.

“ඒක ඇත්ත මහාචාර්යතුමා. මම ඔබතුමාව කලින් හිටිය විදිහට ආපහු ගැට ගහන්නම්. එතකොට මේ අය උදවු කළා කියලා සැක කරන එකක් නැහැ. අපි බලමු පල්ලෙහාට කීදෙනෙක් එයිද කියලා. මට චාන්ස් එකක් ගන්න. උඩ කී දෙනෙක් ඉන්නවා වගේ දැක්කද?”

“උඩ උනත් වැඩි ඉඩක් නෑ, මේක පොඩි සංචාරක බෝට්ටුවක් වගේ එකක්. මම ඇතුලට එනකොට තුන් හතර දෙනෙකුට වැඩිය දැක්කේ නැහැ.”

“ඒක හොඳයි, කොයි වෙලාවෙ හරි පහලට එයිනේ. අපි එතකොට ලෑස්ති වෙලා කලින් හිටියා වගේ ඉමු.”

“මේ මිනිස්සු හොයන දේවල් ගැන පොඩි ඉඟියක්වත් නැද්ද මහාචාර්යතුමා?”

“රුසිරු දැන ගන්න ඕන දේවල් කිහිපයක් තියනවා. මගෙන් මේ මිනිස්සු අහන.”

සොරුන් සොයන ස්ථූප පිළිබඳ තොරතුරු කිහිපයක් මහාචාර්යතුමා හැකිතාක් කෙටියෙන් සහ සෙමින් රුසිරු වෙත විස්තර කරන අතරතුර දෙදෙනාම නිහඬ වූයේ ඔවුනට ඉහලින් අඩි ශබ්දයක් සහ දොරෙහි අගුලු හරින හඬක් ඇසීමෙනි.

රුසිරු වහා නැවත පෙට්ටියටවූ අතර සිහි නොමැති බව අඟවා සිටින්නට පටන් ගති. නොතේරෙන බසක් දොඩමින් පැමිණි අයෙකු මහාචාර්යවරයා දෙස බලා රුසිරුගේ පෙට්ටිය පරික්ෂා කළේය. ගැටළුවක් පෙනෙන්නට නොමැති බැවින් ඔහු නැවතත් බෝට්ටුවේ ඉහලට යාමට පිටත් විය. 

එකී පුද්ගලයා දොර ඉහලට විවෘත කිරීමට උත්සහ කරනවාත් සමඟ වේගයෙන් නැගී සිටි රුසිරු ඔහුගේ පිටුපසින් පැමිණ ශබ්ද නැගීමට නොහැකි වන සේ මුවෙන් අල්ලා පහලට ඇද දැමීය. හිස වෙතට වැරෙන් පහරක් එල්ල කළ පසු දඟලමින් සිටි ඔහුගේ සිහි නැතිවී ගොස් රුසිරුගේ අත් මතින් සෙමින් බිමට ඇද වැටුණි.

“මට වැඩි වෙලාවක් නෑ මහාචාර්යතුමා, මම යනවා. ඔබතුමාට තව මොනවා හරි දෙයක් කියන්න තියනවද?”

“රුසිරු දන්නවා නේද සිතියම ගැන?”

“ඒ කිව්වේ ටොලමිගේද මහාචාර්යතුමා?”

“ඔව්.” 

ඉහලින් නමක් කියා කෑගසන ශබ්දයක් ඇසේ. වැඩි මොහොතක් නැත. සුළු මොහොතකින් අනිත් අයද මේ තැනැත්තා සොයා මෙතැනට පැමිණෙනු ඇත.

“ඉක්මනට කියන්න මහාචාර්යතුමා.”

“ඒකෙ දිය සලකුණු…..”

“මොකක්?”

ඉහලින් දැන් වඩාත් සැර හඬකින් කෑගසා කතා කරන ශබ්ද ඇසෙයි.

“මම හිතන්නේ නැහැ අපිට කතා කරන්න වෙලාවක් තියනවා කියලා. රුසිරු යන්න.”

මහාචාර්යතුමා තවත් මොනවාදෝ මුමුණනු පඩිපෙල අසල සිටි රුසිරුට සෙමින් අපැහැදිලිව ඇසිණි. මහාචාර්යතුමා පැවසූ සේ බලා සිටිය හැකි වෙලාවක් නොවේ. වහා පිටත්ව යා යුතුයි. බෝට්ටුවේ බඳට වතුර වදින ශබ්දය අනුව බෝට්ටුවේ එක් මායිමක් දොර පිහිටා ඇති ස්ථානයට ඉතා ළඟින් පිහිටා තිබිය යුතුය. 

අනතුරුදායක වුවද කළ යුත්තේ සෙසු පුද්ගලයන් ක්‍රියාත්මක වීමට මත්තෙන් එක් විටම බෝට්ටුවෙන් ජලයට පැනීමයි. එය කොතරම් දුරට සාර්ථක වේදැයි නිශ්චිත අදහසක් රුසිරුට තිබුණේ නැත. එලෙසම කුමන ආකාරයක බෝට්ටුවක්ද? කෙතරම් විශාල මුහුදක්, සාගරයක් හෝ වැව් වටපිටාවක බෝට්ටුව ගමන් කරන්නේද? යන්න රුසිරු නොදනී.

මෙය ජීවිතයත් මරණයත් අතර තීන්දුවක් වැනිය. කෙසේ වෙතත් මෙහි සිටීමට වඩා සුළු ප්‍රතිශතයකින් හෝ වැඩිපුර ජීවත්වීමට අවස්ථාව ඇති ජලය වෙත පැනීම මේ මොහොතේ වඩාත් සුදුසු බව රුසිරු අවසානයේ තීරණය කළේ බිම වැටී සිටින පුද්ගලයා ඇඳ සිටි තොප්පිය පැළඳ ගනිමින්ය. 

පඩි පෙල අවසානයේ ඉහල පිහිටි දොර තල්ලු කර එළියට බසින රුසිරු දුටු මහාචාර්යතුමා දෑස පියා ගත්තේ කුමකින් කුමක් ඊළඟ මොහොතේ සිදු වේද යන්න සිතා ගනු නොහැකිවය. බෝට්ටුවේ ඉහල සිටින අය කිහිප දෙනෙක් කෑගසන ශබ්දය සහ මහ හඬින් යමක් මුහුදට ඇද වැටෙන ශබ්දය මහාචාර්යතුමාට ඇසිණි. ඊළඟ මිනිත්තු කිහිපයේ වෙඩි හඬක් වැනි භයානක ශබ්දයක් නොඇසීම හේතුවෙන් රුසිරු කිසිඳු කරදරයකින් තොරව පළමු පිම්ම පනින්නට ඇතැයි මහාචාර්යතුමා අනුමාන කළේය.

Logo 468x60

සාගරය 

සිතූ සේ හදිසි කරදරයක් සිදු නොවූයේ බොහෝ විට වෙඩි තැබීම් සිදු කළ නොහැකි ආරක්ෂිත ජලයක මේ බෝට්ටුව ගමන් කරන නිසා විය යුතුය. බෝට්ටුවේ සවි කර ඇති අඩි 3ක පමණ කුඩා බැම්මකින් පැන නියත පළමු මරණයෙන් දිවි ගලවාගත් රුසිරුගේ දැන් කල්පනාව නම් එකී වෙඩි පහර ගැන නොව හාත්පසින්ම වෙනත් එකකි. 

එක දිගට ඈතට පිහිනන අතරතුර සිටින දිශාවක් මෙන්ම සිටින්නේ මුහුදකද සාගරයකද වැවකද යන්න සහ මෝරුන් වැනි භයානක මුහුදු සතුන් සිටින ජලයක්ද යන්නවත් නොදැන මේ පිම්ම පැන්නේ තවත් මරණයක් වෙතටදැයි රුසිරු සැක කළේය.

කෙසේ වුවද වෙනත් විකල්පයක් නැත. වතුර යටින් පිහිනා ගොස් තත්පර කීපයක් එක තැන සිටි රුසිරු කිසිඳු වෙඩි උණ්ඩයක් හෝ වෙනත් ආකාරයක භයානක උපකරණයක් තමා කිට්ටුවෙන් නොපැමිණීමෙන් පසු තීරණය කළේ සෙමින් මතුව වටපිටාව සොයා බැලීමටයි.

රුසිරු දක්ෂ පිහිනුම් ශූරයෙකි. පාසැලේ පිහිණුම් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වශයෙන් තරඟ රැසකට සහභාගී වී ඇති අතර එක් වසරක අම්බලන්ගොඩ පැවැති මුහුදු මැරතන් තරඟයේ ලෝකඩ පදක්කමක් පවා දිනා සිටි තැනැත්තෙකි. කෙසේ වෙතත් මේ නොදන්නා ජලය අම්බලන්ගොඩට වඩා නම් හාත්පසින්ම වෙනත් මැරතන් එකක් වනු ඇත. 

ජලය යටින් සෑහෙන දුරක් රුසිරු පීනා ගොස් තිබුණි. අති නවීන සුඛෝපභෝගී බෝට්ටුවක් දකුණු පසින් ඇමරිකානු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජ සමඟ පෙනෙන්නට ඇත. මෙකී බෝට්ටුවේ පිටුපස කොටසට වන්නට හිරු ආලෝකය නිසා තරමක් අපැහැදිලිව තිදෙනකු හෝ ඊට වැඩි පිරිසක් සිටින බව පෙනෙන අතර වාසනාවකට මෙන් ඔවුන් සියලු දෙනා නෙත් යොමුකර සිටියේ රුසිරුට විරුද්ධ දිශාවටයි. 

මේ බෝට්ටුවට ඈතින් විශාල වෙළඳ සහ තෙල් නැව් කිහිපයක් පෙනෙන්නට තිබේ. ලුණු රස හේතුවෙන් මෙය සාගරයක් හෝ මුහුදක් බව තීරණය කළ කේසර ජලයේ ඇති උණුසුම හේතුවෙන් කුවේට් දේශයට කිට්ටු මැද පෙරදිග ප්‍රදේශයේ ඇති සාගරයක හෝ මුහුදක තමා සිටින බව වැඩිදුරටත් විශ්වාස කළේය. 

දෑසට පෙනෙන මානයක ගොඩබිමක් නම් නැත. ඈත සිතිජයේ පෙනෙන විශාල වෙළඳ හෝ තෙල් නැව් කීපය හේතුවෙන් එකී දිශාව අනිවාර්යයෙන්ම ගැඹුරු මුහුදක් විය යුතුය. 

නැව් තිබෙන දිශාවට යන්නට නම් සෙමෙන් ඉදිරියට ඇදෙන සුඛෝපභෝගී බෝට්ටුව හෙවත් ජෝනා නමින් බඳෙහි නම සඳහන් කර තිබෙන මහාචාර්යතුමා රඳවා ඇති බෝට්ටුව පසු කර පිහිනිය යුතුය. මේ මොහොතේ එය නිසැකවම ඉතා භයානක පියවරකි. නැවත මරු කටට යාමකි.

අවසානයේ රුසිරු තීරණය කළේ බෝට්ටුවට හා විශාල නැව් වලට විරුද්ධ දිශාව වෙතට ගොඩබිමක් සොයා පිහිනීමටයි. ජලයේ ඇති තරමක රළු බව හේතුවෙන් සහ වෙනස් වන සුළං වේගය නිසා මේ ක්‍රියාන්විතය සිතන තරම් පහසු පිහිනුමක් නම් නොවෙනු ඇත. එනමුදු සිය ජීවිතය ගලවා ගැනීමට වෙනත් විකල්පයක්ද නැත. 

තත්වය එසේ වුවද පවතින ජලයේ ස්වභාවය රුසිරු හට අමතර ආරක්ෂාවක් ලබා දී තිබුණේ අඩි දෙක තුනක් ඉහල නැගෙන රළ පහර හේතුවෙන් පැහැදිලිව කිසිවක් බෝට්ටුවේ සිටින අයට නොපෙනීම නිසා විය යුතුය.

Blue Lotus SPF 30 Moisturizer

ඊළඟ පැය කිහිපය ඇතුලත රුසිරුගේ ජීවිතය හෝ මරණය තීරණය වනවාට නම් කිසිඳු සැකයක් නැත. එලෙසින්ම මෙය ශරීර ශක්තියට වඩා මානසික ජවය පරික්ෂා කරන අවස්ථාවක් බව රුසිරු හොඳින් දැන සිටියේය. ඒ නිසා වැඩි වෑයමකින් තොරව සිත එක එල්ලේ සන්සුන්ව තබා ගෙන සුළඟ සමඟ එන රැල්ල ඔස්සේ ජලයේ පාවෙමින් ඇදී යන්නට රුසිරු උත්සහ කළේ බෝට්ටුවේ දසුනින් සෑහෙන දුරක් ඈතට තකහනියේ පීනා පැමිණි පසුවය

සිටින තැනට තරමක් දුරින් යමක් පාවෙනු පෙනේ. මිනිසුන් විසින් හෙලන ලද අපද්‍රව්‍ය හේතුවෙන් මිහිතලයට දරා ගත නොහැකි මට්ටමකට සාගරය දූෂණයවී මිය යමින් තිබුණද මෙකී පාවෙන දෙය රුසිරු හට නව ජීවයක් සහ ඉලක්කයක් මොහොතකට ගෙන දුනි. උපකරණයකින් ගැලවී ගිය විශාල ප්ලාස්ටික් පතුරක් වැනි දෙයකි. ඒ දෙසට පීනා ගිය රුසිරු එකී පතුර මතට නැග ඉතා පහසුවෙන් ඉඩ කඩ සහිතව දිගාවිය. 

මේ මොහොතේ කළ හැකි පහසුම දෙය නම් පාවෙන පතුර තම ආරක්ෂාව වෙනුවෙන් යොදා ගනිමින් වෙහෙස නිවා ගැනීමයි. වාසනාවකට රුසිරුගේ බර දරා ගැනීමට හැකි තරම් පතුර ශක්තිමත්ය. කමිසය ඉරා දැමූ රුසිරු පැළඳි කලිසමේ ඉන සමඟ කමිසය සම්බන්ධ කර ලණුවක් ආකාරයට පතුර වටා තමාවම බැඳ ගත්තේය. කුමන හෝ දිශාවක ගොඩබිමක් වෙතට සෙමින් මේ පතුර ඇදී යනු ඇතැයි රුසිරු අනුමාන කළේ ලැබූ සුළු විවේකයෙන් තෘප්තිමත් වෙමිනි. එසේ නොවුණහොත් වරින් වර ජලයට බැස මේ පතුර සමඟ ඉදිරියට පිහිනා යන්නට රුසිරු සැලසුම් කළේය.

යා යුතු දිශාව කුමක්ද යන්න නිවැරදිව දැන ගැනීමට කිසිඳු හැකියාවක් නැත. අත බැඳ තිබූ ස්මාර්ට් ඔරලෝසුවද පැහැර ගත් අය විසින් ගලවා දමා ඇත. අවම වශයෙන් දුරකථනයක් හෝ අන් ආකාරයකින් පිහිටක් විය හැකි විද්‍යුත් උපකරණයක් රුසිරු සන්තකයේ නොමැත. වෙනස් වන ඉර දිශාව පැවසුවද සිටින තැනක් හරියටම නොදැන පැහැදිලි තීරණයක් ගත නොහැකිය. මේ මොහොතේ ඇති එකම පිළිසරණ නම් අත් නොහරින බලාපොරොත්තුව පමණි.

හෝරා කිහිපයක් ගෙවී ගියේය. එක දිගට ගමනේ යෙදුණු නමුත් ගොඩබිමක සේයාවක් පෙනෙන තෙක් මානයක නැත. දරා ගැනීමට එන්න එන්නටම අපහසුවූ කාරණය කුසගින්න සහ පිපාසාවයි. මොහොතින් මොහොත තම ශරීර ශක්තිය පිරිහී යන බවක් රුසිරුට ක්‍රමයෙන් වැටහී ගියේය.

දෑස කිහිප වතාවක් පියවී ගියේය. නැවතත් රළ පහර හේතුකොට ගෙන තිගැස්සී අවදිවිය. බෝට්ටුවේ සිටම හිසෙහි පැවති ඇම්ම කිහිප ගුණයකින් වැඩිවී වේදනා ගෙන දෙන්නට විය. මෙය තම ජීවිතයේ අවසාන මොහොත බවට රුසිරු පසක් කළේ තැන්පත්ව මරණයට මුහුණ දිය යුතු අදිටනෙන් යුක්තවයි. 


නොදන්නා තැනක සිට ඇසෙන කට හඬවල් කිහිපයක ශබ්ද සමඟ රුසිරු අවදි වූයේ අඩ සිහියෙනි. මුහුදු වෙරළක් වැනිවූ ස්ථානයකි. වැලි මත තමා වැතිරී සිටින බවත් මිනිසුන් විශාල ප්‍රමාණයක් වටවී සිටින බවත් රුසිරු අවබෝධ කර ගත්තේ අපහසුවෙන් මෙන්ම මහත් වේදනාවක්ද සහිතවයි. නැවතත් මොහොතකින් සිහි නැතිවූ රුසිරු යලි අවදි වන විට සිටියේ කුඩා කාමරයක් වැනි ස්ථානයක ඇඳක් මතය. 

හෙදියක් අසලින්ම රැඳී සිටි අතර සේලයින් බෝතලයක් රුසිරුගේ දකුණු අත වෙතට සම්බන්ධ කර තිබුණි.

“ඔබේ නම කුමක්ද?”

අසල සිටි හෙදිය කැඩුණු ඉංග්‍රීසි බසින් විමසුවාය.

“මම රුසිරු ප්‍රනාන්දු.”

“වයස?”

“33”

“පදිංචි රට?”

“ශ්‍රී ලංකාව.”

හෙදිය නොනවත්වා ප්‍රශ්න අසන්නට වූවාය. රුසිරු හිස ඔසවා බලා අපහසුවෙන් ඇයව නවතා සිටින තැන පිළිබඳව ඇයගෙන් විමසා සිටියේය.

ක්‍රිෂ් දූපත 

“ඔබ ඉන්නේ ක්‍රිෂ් දූපතේ හදිසි වෛද්‍ය සේවා මධ්‍යස්ථානයේ. පැය දෙකකට විතර කලින් අපේ වෙරළාරක්ෂක නිලධාරීන් මුහුදු වෙරළෙ වැටිලා ඉන්නවා දැකලා ඔබව හොයාගෙන තිබ්බා.”

“ක්‍රිෂ් දූපත. කොහෙද මේ?”

“මේක ඉරානෙට අයිති දූපතක්. මම හිතන්නේ මගේ රාජකාරිය අවසන් මහත්මයා. ඔබව හම්බවෙන්න තව රජයේ නිලධාරියෙක් ඉන්නවා.”

හෙද නිලධාරිනිය තොරතුරු සටහන් පත්‍රය සමඟ නික්ම ගියේ තවත් පුද්ගලයෙකුට කාමරය තුලට පැමිණීමට දොර විවෘත කර දීමෙන් පසුවයි.

“හලෝ රුසිරු, මම සජිඩ් මොහමඩ්. මම ඉරාන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්. මේක පිස්සු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් රාජකාරීව ඇසිය යුතුයි. ඉරානයට ඇතුල් වෙන්න ඔබ සතුව කුමන හෝ ගමන් ලියවිල්ලක් හෝ බලපත්‍රයක් තිබෙනවාද?”

Matcha Green Tea by Purlisse

රුසිරු අපහසුවෙන් සිනා විය.

“මම හිතන්නේ මහත්මයා මා සතුව ඇත්තේ මේ ඇඳුම් පමණක් බව ඔබ දකින්න හෝ දැනගන්න ඇති නේද?”

“ඔව් රුසිරු මම දුටුවා. හොඳයි මට මොකක්ද වුනේ කියලා සිද්ධිය විස්තර කරන්න.”

නිලධාරියා කුතුහලයෙන් පිරුණු දෙනෙතින් මිත්‍රශීලීව විමසා සිටියේය.

ගුවන් යානයේ සහ බෝට්ටුවේ සිදුවූ සිදුවීම නිලධාරියා වෙත රුසිරු කෙටියෙන් විස්තර කළේය. ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට අදාල විස්තර ඒ මොහොතේම දුරකථනය ඔස්සේ ලබාදී රුසිරුගේ අනන්‍යතාවය පිළිබඳ සියලු තොරතුරු සජිඩ් විසින් සනාථ කර ගත්තේය.

“සමාවෙන්න රුසිරු මහත්මයා. ඔබ කියපු විදිහට ඒක ඇමරිකානු කොඩිය සහිත බෝට්ටුවක් නම් අපේ පාලනයට කිසිම දෙයක් කරන්නට බැහැ. තාවකාලික ගමන් බලපත්‍රයක් ඔබට හැකි ඉක්මනින් ලැබෙයි කියල හිතනවා. මා විසින් කළ යුතු වෙනත් උදව්වක් තිබෙනවාද?”

“ඔව් මහත්මයා. මට පුළුවන් ඉක්මනට දුරකථන ඇමතුමක් ගන්න පුලුවන්ද?”

“කිසිම ගැටළුවක් නැහැ.”

නිලධාරියාව ඔහුගේ ජංගම දුරකථනය රුසිරු වෙත ලබා දුන්නේය. 

කොළඹ CAG හා සම්බන්ධව යස්වන්තගේ දුරකථන අංකය ලබාගත් රුසිරු වහා ඔහු ඇමතීය.

“යස්වන්ත.”

“රුසිරු කොහෙද ඕයි, තමුසේ ඉන්නේ?”

“මම පොඩි නිවාඩුවක් ගත්තා මචං.”

“විහිලු කරන්න වෙලාවක් නෙමෙයි මේක. අපි දෙන්නා තාම ඩුබායිවල ඉන්නේ.”

රුසිරු නැවතත් කෙටියෙන් සිදුවූ සියල්ල තම මිතුරාට විස්තර කළේය.

“යස්වන්ත, ඔය ගොල්ලෝ ඊළඟට තියෙන ෆ්ලයිට් එකෙන් කැන්බරා යන්න. මහාචාර්යතුමා බෝට්ටුවේදී කියපු දේවලුත් එක්ක මට වෙන ගමනක් යන්න වෙනවා. ඒ වගේම “ජෝනා” කියන සුඛෝපභෝගී බෝට්ටුව ගැන හොයන්න කියලා ස්කොට්ලන්ඩ්යාඩ් එකට පුළුවන් තරම් ඉක්මනට පණිවිඩයක් යවන්න.”

“හොඳයි රුසිරු, ඔයා කොහෙටද යන්නේ?”

“අපි කලින් හිතුවට වැඩිය මේක දෙතුන් ගුණයක් බරපතල ලොකු පිරිසක් සම්බන්ධ වැඩක්. මෙතන ඉඳන් මේ දුරකථන වලින් විස්තර කියන එකත් ටිකක් භයානකයි. මම පස්සේ මගේ අලුත් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නම්.”

“හොඳයි එහෙනම් අපි ඊලඟ ප්ලේන් එකෙන් කැන්බරා ගිහින් කෝල් කරන්නම්. උඹට සනීපද?”

අවසාන ප්‍රශ්නය නොඇසුණාසේ දුරකථනය විසන්ධි කොට රුසිරු නැවතත් නිලධාරියා වෙතට ඔහුගේ දුරකථනය ලබා දුනි.

බදු රහිතව භාණ්ඩ මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ගේ වෙළඳ පාරාදීසයක්වූ ක්‍රිෂ් දූපත සම්ප්‍රදායික ඉරානයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්ථානයකි. ආගමන නිලධාරියා විසින් තාවකාලිකව ක්‍රිෂ් දූපතෙන් ඉරානයේ ප්‍රධාන භුමිය කරා යාමට ලියවිල්ලක් සකසා රුසිරු වෙත ලබා දුන්නේ තානාපති කාර්යාලයට ගොස් ඉතිරි ලේඛණ වැඩ කටයුතු සිදු කර ගැනීම පිණිසයි. 

රාජකාරී මට්ටමට එහා ගිය ආගන්තුක සත්කාරයක් දක්වා සමාජය වෙත යා හැකි මට්ටමේ ඇඳුම් කිහිපයක් වෙළද සංකීර්ණයෙන් තෝරාගන්නා ලෙස මිත්‍රශීලීව සජිඩ් රුසිරුගෙන් ඉල්ලා සිටියේය. මොහොතක් කල්පනා කර බැලූ රුසිරු අරාබි සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් සැකසුණු මිල අඩු ඇඳුම් කිහිපයකින් තෝරා ගත්තේය.

“මොකෝ මේ රුසිරු, මම හිතුවේ ලංකාවෙ මිනිස්සු කැමති යුරෝපියානු විදිහට කියලා. සල්ලි ගැන හිතන්න එපා.”

“මේ ගමන මතක හිටින්නත් එක්ක මම හිතුවේ ඉරානයේම නිමි ඇඳුම් ගන්න ඕනි කියලා.”

සිනහමුසුව සහ ලෙන්ගතුව සජිඩ්ගෙන් රුසිරු සමුගත්තේ දූපතේ සිට තානාපති කාර්යාලය වෙත යාමට අවශ්‍ය පහසුකම්ද ඔහු විසින්ම ඔහුගේ පුද්ගලික මුදලින් සපයා දීමෙන් අනතුරුවයි. තානාපති කාර්යාලය වෙතට ගිය රුසිරු CAG කොළඹ කාර්යාලය සමඟ සම්බන්ධවී ඉදිරි වැඩ කටයුතු සඳහා අවශ්‍ය සියලු උපකරණ, ලියකියවිලි සහ මිල මුදලින් සන්නද්ධ වූයේ ඉදිරි දින කිහිපයේ කළ යුතු වැඩ කටයුතු නැවත නැවතත් සැලසුම් කරමින්ය. මේ සියල්ල වෙනුවෙන් දිනයක පමණ කාලයක් අවිවේකිව කල් ගත වූයේ නොදැනුවත්මය.

Bookbaby.com helps independent authors bring their creative vision to the marketplace. Sell eBooks online in the biggest retail stores.

“රුසිරු අපි දැන් සිතියම අතට අරන් ඉන්නේ.”

“ඕක හොඳට එලිය තියෙන තැනකට ගිහිල්ලා බලන්න සිතියමේ වෝටර්මාර්ක් එකක් පේනවද කියලා?”

“වෝටර්මාර්ක්? විනාඩි දෙකක් දියන්. මෙතන කළුවරයි.”

“මේකෙ නම් එහෙම පේන්න වෝටර්මාර්ක් එකක් නැහැ. අපි මේක කෝකටත් ලැබ් එකට අරන් ගිහිල්ලා බලලා කෝල් එකක් ගන්නම්.”

“හොඳයි ඉක්මන්ට ගනින්.”

පැය බාගයක් පමණ ගතවිය.

“කියන්න තියෙන්නේ හොඳ ප්‍රවෘත්තියක් නම් නෙවෙයි රුසිරු. ලැබ් එකට ගෙනිහින් පරික්ෂා කරල බැලුවහම මේ තියෙන්නෙත් කොපියක්. ඔරිජිනල් එක වගේම හදපු කොපියක්. කිසිම වෝටර්මාර්ක් එකක් නෑ.”

“අප්පා. ඒ කියන්නේ හොරු අපිට වැඩිය ගොඩක් ඉස්සරහින් දැන් ඉන්නේ. මගේ වැඩේ කොයිතරම් දුරට හරි යයිද කියලා බලමු.”

“රුසිරු, ඒ වගේම තව දෙයක් ඔයාට කියන්න තියෙනවා.”

“මොකක්ද?”

“ඔයා එදා අපිට දීපු ෆයිල් දෙකෙන් එකක් හොරකම් කරලා. අපි දන්නෙත් ඩුබායි ගියාට පස්සෙ. මගේ ඔඩොක්කුවෙ තිබ්බ ෆයිල් එක බිමට වැටුනට පස්සේ ඒක මාරු කරලා. අනික රිච්මන්ඩ් ගෙදර හැම දෙයක්ම කවුරු හරි පිට ඉඳන් රෙකෝඩ් කරලා තියෙනවා කියලා ස්කොට්ලන්ඩ්යාඩ් එකෙන් මට කිව්වා.”

රුසිරු සිටි තැනම මොහොතක් නිහඬව සිට කල්පනාවක යෙදුනේය. මෙය නම් කිසිසේත්ම හොඳ තත්වයක් නොවේ. තොරතුරු වැඩි වශයෙන් සොරුන් විසින් දැන ගැනීම යනු මහාචාර්යතුමාගේ ජීවිතයට වැඩි තර්ජනයකි. කෙසේ වෙතත් පරීක්ෂණයේ මීළඟට යා යුතු මාර්ගය නිවැරදිව දැන ගත හැකි වනුයේ මහාචාර්යතුමා සිතන අයුරින් සිතීම මත පමණි. එයටත් මහාචාර්යතුමා පැවසූ සිතියමේ දිය සලකුණු ගැන කිසිඳු දැනුමක් නොමැතිව මේ කාර්යය වැඩිදුරටත් දුෂ්කර එකක් වනු ඇත.

“උඹ ඩුබායි වලට වරෙන් යස්වන්ත. අපි එහෙදි හම්බ වෙමු. ඊට කලින් මට පොඩි ගමනක් යන්න තියනවා.”

“මාත් එනවා රුසිරු.” 

රීටාගේ හුරු පුරුදු කටහඬයි.

“එපා රීටා. ඔයා ඕස්ට්‍රේලියාවේම ඉන්න. අපිත් එක්ක යනවට වඩා එහෙ ආරක්ෂාව හොඳයි ඔයාට.”

“මට බැහැ, එඩ්වඩ් මාමා බලා ගන්න එක මම හරියට කළේ නැහැ. මේකට උදවු කරන්නවත් මට චාන්ස් එකක් දෙන්න.”

රුසිරුගේ යටි හිත සතුටු වුවද මෙය හැඟීමට ඉඩ දිය හැකි මොහොතක් නොවේ. එපා කීවද ඇය එයට එකඟව කීකරු නොවන බව අත්දැකීමෙන් රුසිරු දනී.

“හොඳයි එන්න. හැබැයි අපි කියන විදිහට ඉන්න ඕනේ. බක පණ්ඩිත වැඩ කරන්නේ නැතුව.”

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
inside museum

CAG හත්වන කොටස

වහා සැලැස්ම වෙනස් කළ රුසිරු තම ගමන් මල්ලේ ආරක්ෂාවට යොදා සිටි ඉබ්බා ගෙන සැක කටයුතු පුද්ගලයා සැඟවී සිටි වැසිකිලියේ දොර පිටතින් අගුලු දැමීය. ඉන්පසු උපරිම ප්‍රමාණයට ජල කරාමය විවෘත කලේ හොඳින් හඬ ඇසෙන පරිදිය.
London Eye

CAG දෙවන කොටස

නැතිවුණු ස්ථූපය ධාතුසේන රජතුමාගේ කාලේ පුරාවිද්‍යා වස්තුවක් හැටියට තමයි සලකන්නේ. මේ ගැන පරීක්ෂණ කරපු මහාචාර්යතුමෙක් ඉන්නවා ලන්ඩන්වල රිච්මන්ඩ් නගරයේ.
inside flight

CAG හතරවන කොටස

“කොක්පිට් එකට පයිලට්ලා ඇරෙන්න වෙන කාටවත් යන්න දෙන්න තහනම් කරලා තියෙන්නේ. ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා. ඉස්සර වගේ දැන් යන්න බැහැ මහත්මයා.”
Total
9
Share