Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the absolute-reviews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/devuanle/singleelephant.com/wp-includes/functions.php on line 6114

Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the advanced-popups domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/devuanle/singleelephant.com/wp-includes/functions.php on line 6114

Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the canvas domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/devuanle/singleelephant.com/wp-includes/functions.php on line 6114

Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the updraftplus domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/devuanle/singleelephant.com/wp-includes/functions.php on line 6114

Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the wordpress-seo domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/devuanle/singleelephant.com/wp-includes/functions.php on line 6114
CAG පළවන කොටස - Single Elephant
මධ්‍යම පුරාවිද්‍යා කණ්ඩායම(CAG) යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ඔබ අප හොඳින් දන්නා ජනප්‍රිය ආයතනයක් නම් නොවේ. ඉතා අඩු කාර්ය මණ්ඩලයකින් යුක්තව වැඩි තාක්ෂණික බුද්ධිය සහිත මෙවලම් සහ නවීන ක්‍රමෝපාය යොදා ගන්නා, අනෙකුත් අන්තර්ජාතික පුරාවිද්‍යා ආරක්ෂාව සම්බන්ධ විදේශ ආයතනයන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වා ගෙන ඒ හරහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නාවූ රහසිගත ආයතනයක් ලෙසට පැවතෙන මෙකී කණ්ඩායම පිළිබඳව අද ඔබට විශේෂ හේතුවක් පිට හෙළිදරවු කරන තෙක් නිල වශයෙන් දැනගෙන සිටියේ ජනාධිපති, අගමැති හැරුණු කොට විෂය බාර ඇමති සහ ලේකම්වරයා පමණකි.

මෙල්බර්න් ටුල්මරීන් ගුවන්තොටුපල

ප්‍රධාන පිවිසුමේ සිටි ඕස්ට්‍රේලියානු ආගමන නිලධාරියා සුපුරුදු පරිදි විමසනු ලබන කෙටි ප්‍රශ්න කිහිපයකින් සහ ගමන් බලපත්‍ර පරීක්ෂාවෙන් පසුව, කඩිමුඩියේ රුසිරු පියමැන්නේ ඕස්ට්‍රේලියානු රේගුව දෙසටයි.

ලැබ්‍රඩෝ සුනඛ නිලධාරියකුගේ (බලු සුරතලෙකුගේ) පහස ලැබෙන පෝලිමක තවත් විනාඩි කිහිපයක් සෙසු ගුවන් මගීන්ද සමඟින් පෙලට සිට ගත් ඔහු අසලින් පුහුණුවලත් නිල සුනඛයා කිහිපවතාව ඉවකර ඉදිරියට ඇවිද ගියේ සැක සහිත කිසිවක් ගමන් මලු තුල නොමැති බවට තහවුරු කරමිනි.

මෙල්බර්න් ගුවන්තොටුපලේ අන්තර්ජාතික ගුවන් ගමන් සඳහා වෙන්වුන දෙවන පර්යන්තයේ සිට අභ්‍යන්තර ගමන් සඳහා වෙන්කර ඇති තුන්වන පර්යන්තය දක්වා හනි හනිකට රුසිරු පා තැබුවේ, තම අවසන් ගමනාන්තය යෙදී ඇති කැන්බරා යානය වෙත ප්‍රවේශය ලබා ගැනීම පිණිසයි.

ගුවන්යානය නියමිත වෙලාවට ගුවන්ගත වන බව තහවුරු කරගත් රුසිරු, අසල පිහිටි අවන්හලක් කරා පියමැන්නේ දිගු ගුවන් ගමනේ මහන්සිය තාවකාලිකව නිවා දමන කෝපි කෝප්පයක් මේ මොහොතේ අත්‍යාවශ්‍යවී තිබූ නිසාය.

රුසිරු තිස්තුන් විය ඉක්මවූ තරුණයෙකි. සංචාරය කිරීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශය නොවූවත් වත්මන් රැකියාවේ සුවිශේෂී ස්වභාවය හේතුවෙන් වෙනත් විකල්ප ඔහුට නොමැති තරම්ය. 

වසර ගණනාවකට පසුව අද දින නැවතත් ඕස්ට්‍රේලියාවේ අගනගරය වන කැන්බරා වෙත රුසිරුගේ ගමනාන්තය යෙදුනේ ඉහත කී රැකියාවේ නිල රාජකාරී කටයුත්තක් වෙනුවෙනි. 

මධ්‍යම පුරාවිද්‍යා කණ්ඩායම(CAG) යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්ව ඇති ඔබ අප හොඳින් දන්නා ජනප්‍රිය ආයතනයක් නම් නොවේ.

ඉතා අඩු කාර්ය මණ්ඩලයකින් යුක්තව වැඩි තාක්ෂණික බුද්ධිය සහිත මෙවලම් සහ නවීන ක්‍රමෝපාය යොදා ගන්නා, අනෙකුත් අන්තර්ජාතික පුරාවිද්‍යා ආරක්ෂාව සම්බන්ධ විදේශ ආයතනයන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වා ගෙන ඒ හරහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නාවූ රහසිගත ආයතනයක් ලෙසට පැවතෙන මෙකී කණ්ඩායම පිළිබඳව අද ඔබට විශේෂ හේතුවක් පිට හෙළිදරවු කරන තෙක් නිල වශයෙන් දැනගෙන සිටියේ ජනාධිපති, අගමැති හැරුණු කොට විෂය බාර ඇමති සහ ලේකම්වරයා පමණකි.

අවම තරමින් රුසිරුගේ දෙමවුපියන් හෝ  කිට්ටු හිතමිතුරන් ඔහුගේ රැකියාව පිලිබඳ විස්තර නොදැන සිටි අතර ඔවුන් විශ්වාස කළේ අන්තර්ජාතික සංචාරක නියෝජිත ආයතනයක කාර්ය බහුල රැකියාවක නිරත වන අයෙකු බවයි. 

මෙකී කාරණය හේතු කොට ගෙන තම වෘත්තීය වපසරිය හරහා රුසිරුට විශාල නිදහසක් පෙනෙන්නට තිබුනද එකී මතුපිටින් පෙනෙන නිදහස ඔහුට එදිනෙදා පැවරී ඇති රහසිගත රාජකාරී හේතු කොටගෙන වැලි කතරක මිරිඟුවක් වැනි එකකි.

රුසිරු කවදත් ප්‍රිය කරන අඩු සීනි සැර කළු කෝපි කෝප්පය හනිකට අවසන් කළේ කැන්බරා ගුවන් ගමන සඳහා වන අංක 09 ගේට්ටුව විවෘතවී ඇති බවට ගුවන් මඟීන් වෙත දැනුම් දුන් හේතුවෙනි.

තවත් සුළු මොහොතකින් පිටත්වන ගුවන් ගමනෙන් පසුව සිදුවීමට නියමිත, කලින් වෙන්කරගත් කිසිඳු ඉඟියක් නොදන්නා හමුවීමේදී කුමකින් කුමක් සිදුවේද යන්න ගැන රුසිරුගේ සිත තුල වැඩි දෙගිඩියාවක් නොවූයේ මෙවන් ක්ෂණික ආරාධනාවන් රැකියාවේ රාජකාරී කටයුතු සමඟ කිසිසේත් අහඹුවක් නොවන නිසාය. 

CAGහි ප්‍රධානතම කාර්යබාරය වූයේ ශ්‍රී ලංකාව තුල සිදුවන සහ ශ්‍රී ලංකාව සම්බන්ධ වන පුරාවිද්‍යා සොරකම්, මංකොල්ල සහ ඒ සමඟ එකට බැඳුණ දූෂණ ක්‍රියා පිලිබඳ “සාක්ෂි” රහසිගතව සොයා ගැනීමයි. මෙකී කාරණයේදී අන්තර්ජාතික ආයතනයන්හි සහයෝගය අත්‍යවශ්‍ය වූයේ වටිනා කෞතුක වස්තු සම්බන්ධව සිදුවන අවක්‍රියාවන් දේශීය පුරවැසියන් සහභාගිත්වයෙන් පමණක් සිදු නොවන නිසා මෙන්ම රටවල් අතර තොරතුරු හුවමාරුව පරීක්ෂණ ඉදිරියට ගෙන යාම සම්බන්ධව අතිශය වැදගත් කාරණයක් වන නිසාවෙන්ය.

රුසිරුගේ නිල රාජකාරී පරාසය නිර්මාණය වන්නේ මෙවන් අවස්ථාවකයි. ඔහුගේ සැබෑ අනන්‍යතාවය සඟවා ක්‍රියා කිරීම තුලින් සහ දේශීය, විදේශීය පුරාවිද්‍යා සොරකම් රැසක නිල නොවන අතරමැදියා වීම තුලින් ලංකාව සහ වෙනත් විදේශීය රටවල සිදුවූ අපරාධ රැසක් නීතියේ රැහැනට අසු කර දීමට රුසිරු සමත්ව ඇත. 

දැලි පිහියෙන් කිරි කන්නාසේ අතිශය භයානක කාර්යයක් වන මෙය ඉතා දක්ෂ, නිර්භීත සහ බුද්ධිමත් නිලධාරියකුට හැරෙන්නට වෙනත් සාමාන්‍ය පුද්ගලයෙකුට නම් රැකියාව වහා අතහැර දමා යන්නට පැහැදිලි හේතු සාධක ඇති කරන්නාවූ වගකීම් සමුදාවකි. 

මෙකී නොකී සියලු විවිධ සහ කටුක වගකීම් දැරීම මත වසර දහයක පමණ කාලයක සිට යෙදෙන මෙකී වෘත්තීයෙන් නිරන්තරයෙන් ලැබෙන නව අත්දැකීම් මත මුවහත් වී තරුණ රුසිරු ඉදිරියට ගොස් ඇති අතර ඔහුගේ පන්නරය සහ කැපවීම් හරහා ජයග්‍රහණ රාශියක් නිහඬවම ලාංකීය සහ ගෝලීය ජන සමාජ වෙත දායක කර දී ඇත.

මෙවන් මෙහෙයුම් සඳහා දක්ෂකම, නිර්භීතත්වය සහ බුද්ධිමත් බව හැරුණු කොට රුසිරු යොදා ගන්නා තවත් එක් අවියක් නම් ඔහුගේ සිත් ගන්නා සුළු කඩවසම්බවයි. ඕනෑම තරුණියකට කිහිප වතාවක් නැවත බැලීමට තරම් පෙනුමක් සහ දෙනෙතක් රුසිරු සතුවූ අතර රහසිගත මෙහෙයුම් වලදී උපතින්ම ලද මෙකී දායාදය උපකාරී වූයේ වරක් දෙවරක් නම් නොවේ.

කැන්බරා ගුවන්තොට වෙත ගොඩ බස්වන බැවින් ආසන පටි පැළඳ සූදානම් වන ලෙසට ගුවන් නියමුවා විසින් නිවේදනය කිරීම සමඟම නැවත පියවි ලොවට පැමිණි රුසිරු ඔහු අත රැඳි ජංගම දුරකථනයේ සඳහන්ව ලිපිනය නැවත වතාවක් පරික්ෂා කර බැලුවේ කුලීරථ රියදුරකු වෙතට ලබා දීමටයි.

ඕස්ට්‍රේලියා ජාතික පුස්තකාලය

පාර්ක්ස් PI W 

කැන්බරා ACT 2600

නිතර දෙවේලේ පුරාවිද්‍යා ආයතන හරහා ලැබෙන රහසිගත ඉල්ලීමකට වඩා වෙනස් ඇරයුමක් වූ මෙය පුස්තකාලයකින් ලැබුණු පණිවිඩයකි. සුපුරුදු පරිදි කාරණය කුමක්ද යන්න විස්තර කර නොතිබුණු අතර ඕස්ට්‍රේලියානු පුරාවිද්‍යා ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා මෙකී හදිසි ඉල්ලීම CAG වෙතට දන්වා එවා තිබුණි.

කැන්බරා ගුවන් තොටුපලේ ප්‍රධාන පිටවීමේ දොරටු වෙතට පැමිණි රුසිරු දුටුවේ ඔහුගේ නියම නම සහිත පුවරුවක් ඔසවා ගෙන සිටින තරුණියකි. මේ ගමන පිළිබඳ කිසිඳු පෙර දැනුම් දීමක් සිදු කර නොතිබුණු අතර ලැබුණු එකම වාචික උපදෙස වූයේ කාර්යාලීය පැය තුල පුස්තකාලය වෙතට කුලී රථයකින් පැමිණීමටයි. 

දෙලොවක් අතර අතරමංවූ රුසිරුගේ තියුණු සිහිබුද්ධිය වහා තීරණය කරනු ලැබුවේ තරුණියට නොපෙනී ගුවන් තොටුපලෙන් වහාම පිටත්ව යා යුතු බවයි. ඒ අතර ක්ෂණිකව එකී තරුණියගේ ඡායාරූපයක් ගැනීමට ඔහුගේ නවීන ජංගම දුරකතනයට නම් අමතක වූයේ නැත.

කෘතිමව සාදන ලද වැවක් ඉදිරිපිට නවීන වාස්තු විද්‍යාව යොදා ඉදිකළ සුවිශේෂී සෘජුකෝණි ගොඩනැගිල්ලක් වන ඕස්ට්‍රේලියානු ජාතික පුස්තකාලයේ පහත මාලයේ පිහිටි අධ්‍යක්ෂක ජනරාල්ගේ කාමරයට රුසිරු ඇතුලු වූයේ, පිළිගැනීමේ නිලධාරිනියගේ නිසි අවසරය ලැබූ පසුවය.

පුස්තකාල අධ්‍යක්ෂක ජනරාල්තුමිය තම අසුනින් නැගිට උණුසුම්ව රුසිරු පිලිගත්තේ කෙටි සුසුමක් සමඟ ශෝකයෙන් යුතුවය.

“බොහොම ස්තුතියි රුසිරු ආවට. කොහොමද ගමන?”

“ගැටලුවක් නැහැ මැඩම්. ඔබතුමිය මම එන බව කාට හරි කිව්වද?”

“නැහැ, රුසිරු ඇයි මොකද උනේ?”

“මම එයාපෝර්ට් එකෙන් එලියට එනකොට මගේ නම තියන බෝර්ඩ් එකක් අරන් කෙල්ලෙක් හිටියා.”

“නැහැ, නැහැ, ඒක වෙන්න බැහැ, සමහරවිට ඔයාගේ නම තියන වෙන කෙනෙක් එනකන් බලන් ඉන්නවා වෙන්න ඇති, මොකද මට ඔයාගේ ආයතනයෙන් උපදෙස් දීපු විදිහට කවුරුත්ම එව්වේ නැහැ.”

එකී දෙබස එලෙසින් අවසන්වූ නමුත් රුසිරුගේ සිතුවිලි වහා දිව ගියේ ඔහුගේ සම්පූර්ණ නම සමඟ ගැලපෙන බොහෝ පිරිසක් නොමැති බවත්, එසේ වූයේ නම් එය ඉතා කලාතුරකින් විය හැක්කක් යන කාරණාව වෙතටයි. අනෙක මෙවන් සංචාර වලදී නිල ගමන් බලපත්‍රය භාවිතයේදී සහ රාජකාරි ආයතන ප්‍රධානින් සමඟ හැරුණු කොට ඔහුගේ “නියම නම” භාවිතා කිරීම ඉතා කලාතුරකින් සිදුවන්නකි.

කෙසේ වෙතත් සුළු මොහොතකට සිද්ධිය අමතක කර දැමූ රුසිරු අධ්‍යක්ෂක ජනරාල්තුමියගෙන් විමසා සිටියේ පැමිණි කටයුත්ත පිළිබඳවයි.

“මේ පුස්තකාලය හදලා දැන් අවුරුදු පනහක් විතර වෙනවා. කවදාවත් අපිට මෙහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ, අපි මේක කැන්බරා පොලිසියට දැනුම් දුන්නහම ඒ ගොල්ලෝ මේක භාර දුන්නා ඕස්ට්‍රේලියානු පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට. ඒ ගොල්ලෝ පරීක්ෂණ කරන ගමන් මේකට ලංකාවත් සම්බන්ධ හින්දා තමයි ඔය ගොල්ලෝ සම්බන්ධ කර ගන්න කිව්වේ.”

“ඒත් මම දන්නේ නැහැ රුසිරුගේ සේවය මේකට අවශ්‍ය වෙයිද නැද්ද කියලා තවම?”

රුසිරු නිහඬව සහ සාවධානව ලිපි ගොනුව දෙස නෙත් යොමු කරමින් ඇයට ඇහුම්කන් දී සිටියේය.

Map Old Sri Lanka
නැතිවුණු සිතියම.

“අපේ පුස්තකාලයේ විශාල සිතියම් එකතුවක් තියනවා. ඒකෙ ලක්ෂ ගණනක සිතියම් ප්‍රමාණයක් තියනවා. ඒ අතර විශේෂ එකතුවක තිබ්බ සිතියමක් තමයි ලංකාවේ ටොලමිගේ සිතියම, මං හිතන්නේ රුසිරු මේ සිතියම ගැන කලින් අහල ඇති.”

“ගිය සතියේ මේක බලන්න කියලා කියලා ආපු කෙනෙක් ඒකේ පිටපතක් ගන්න කියලා සල්ලි බැඳලා තියනවා. අපි සාමාන්‍යයෙන් බලන්න දෙන්නේ මුල් පිටපත නෙවෙයි. අපි ඒ පිටපත දුන්න වෙලාවේ මේ පුද්ගලයා ඉල්ලලා තියෙනවා, මුල් පිටපතම බලන්න දෙන්න කියලා ඡායා පිටපත එක්ක සංසන්දනය කරලා බලන්න. සාමාන්‍යයෙන් අපි එහෙම නොකලත් මේ පුද්ගලයාගේ විශේෂ ඉල්ලීම නිසා මුල් පිටපත අර ගන්න ගබඩා කරපු තැනට ගියහම ඒක අතුරුදහන් වෙලා. අපිට තාමත් හිතා ගන්න බැහැ ඒක කොහොමද උනේ කියලා.”

“එතකොට මැඩම්, ඡායා පිටපත් ගන්නේ මුල් පිටපතෙන් නෙවෙයිද?”

“අපෝ නැහැ, අපි ඡායා පිටපත් මුල් පිටපතෙන් ගන්නේ නැහැ. මුල් පිටපතට හානි වෙන හින්දා. ඇත්තම කිව්වොත් ඔය වගේ විශේෂ ඉල්ලීමක් ආවේ නැත්නම් මාස තුනකට විතර පාරක් තමයි අපි මුල් පිටපත් පරික්ෂා කරලා ඒකේ වැඩිදුරටත් සංරක්ෂණය කරන්න ඕන වැඩ කරන්නේ.”

“අන්තිම පාරට කවදද ඒ පිටපත දැකලා තියෙන්නේ?”

“මාස දෙකහමාරකට විතර කලින්. පැරණි ලේඛණ සංරක්ෂණය කරන්න පරික්ෂා කරණ දවසේ, අපි හැම මාස දෙකකටම වගේ සැරයක් මේ පරික්ෂාව කරනවා. ඊට පස්සේ ඊළඟ පරික්ෂාව තියෙන්නේ හෙට.”

“මොකක්ද මේ සිතියමේ වටිනාකම?”

“අනේ මන්දා රුසිරු, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇරුණහම මේ සිතියම ලංකාවේ හැඩයවත් හරියට පෙන්වන සිතියමක් නෙවෙයි. මේක ලංකාව නෙවෙයි සුමාත්‍රාව කියලත් කියපු කට්ටියක් ඉන්නවා. ඒ හින්දා මම දන්නේ නැහැ මේකේ ඇත්ත වටිනාකම මොන වගේද කියලා. මොකද මේ සිතියම ගැන ඉස්සර ලොකු විවාදයක් තිබුණා. එත් දැන් ගොඩක් දෙනා විශ්වාස කරන්නේ මේක ලංකාව තමයි කියලා.”

“එත් මැඩම්, මේ සිතියමේ තැප්‍රෝබානා කියල තියනවා නේද? මම දන්න විදිහට නම් තැප්‍රෝබානා කියන්නේ ලංකාවට.”

“ඒක ටිකක් දුරට ඇත්ත, එත් සමහර පරණ ඉතිහාස ආචාර්යවරුන් ඔය නම සුමාත්‍රාවටත් පාවිච්චි කරලා තියනවා.”

“දැනට කිසිම හෝඩුවාවක් නැද්ද?”

“නැහැ, අපි යමුද එකතුව තිබ්බ තැන බලන්න.”

අධ්‍යක්ෂක ජනරාල්වරිය අසුනින් නැගිට විශේෂ එකතුව වෙතට රුසිරු කැඳවා ගෙන ගියේය. විශේෂ පුද්ගල ආරක්ෂාවක් සපයා නොතිබුණත් කැමරා මඟින් සහ ස්වයංක්‍රියාත්මක පරිඝණක තාක්ෂණය මඟින් සම්පූර්ණ ගොඩනැගිලි කොටසම ආරක්ෂා කර ඇති බවක් පෙනේ.

අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඇඟිලි සලකුණු මඟින් විවෘත වූ දොරෙන් ඇතුලුවූ රුසිරු හට, ඇය විසින් පෙර සිතියම ගබඩා කර තබා තිබූ ස්ථානය පෙන්වා සිටින ලදී.

මෙය නම් අනිවාර්යයෙන් සොරකමකට පහසු ක්‍රීඩා පිටියක් නොවේ.

“මෙන්න මෙතන තමයි රුසිරු සිතියම තිබ්බේ. මේ සිතියම දාල තියන පෙට්ටිය අරින්න යතුරක් ඕනේ. ඒ වගේම රහසිගත ඉලක්කම් පේලියක් ඕනේ. මම දන්නේ නැහැ ඒක කොහොම දැන ගත්තද කියලා. අනික ගත්ත කෙනා ඇරලා සිතියම අරගෙන ගිහින් පෙට්ටිය වහලා දාලත් තියනවා. සිතියම නැතුව මේ පෙට්ටිය ලොක් වෙන්නේ නැහැ. මට තවම හිතා ගන්න බැහැ මේක ලොක් උනේ කොහොමද කියලා?”

රුසිරුගේ තියුණු ඇස විනාඩි කිහිපයකට සිතියම තිබූ පෙට්ටිය සහ ඒ අවට වෙතට නිහඬව යොමු විය. 

“මේ හරියේ කැමරා නැද්ද?”

“නැහැ රුසිරු, අපි කැමරා දාන්නේ ඇතුල් වෙන තැන් වලට විතරයි. මෙතන කැමරා හයි කරලා තිබ්බත් වැඩ කරන්නේ නැහැ.”

තවත් පැය කාලක පමණ කාලයක් අධ්‍යක්ෂ ජනරාල්තුමිය සමඟ කතාබහ කර අවශ්‍ය අතිරේක තොරතුරු ලබාගත් රුසිරු ඇයගෙන් සමුගත්තේ දීර්ඝ ගුවන් ගමනින් පසුව ඇතිවූ විඩාවට සුළු විවේකයක් ලබා ගෙන හෙට දින නැවත පැමිණෙන පොරොන්දුව පිටයි.

ප්‍රධාන දොරටුවෙන් පිටතට පැමිණි රුසිරු ප්‍රධාන මාර්ගය අසලට පිවිසියේ කුලී රථයක් බලාපොරොත්තුවෙනි. ඇසිල්ලකින් නවීන පන්නයේ කාර් රථයක් රුසිරු ඉදිරියේ නතර කල අතර රුසිරුගේ ඇඟ කිලිපොලා ගියේ කිසිසේත් අපේක්ෂා නොකළ සිදුවීමකිනි.

“නගින්න රුසිරු මහත්තයා.”

පැහැදිලි සිංහල භාෂාවෙන් වීදුරුව පහත් කරන අතරතුර ඔහුව ඇමතුවේ ගුවන් තොටුපලේ රුසිරුගේ නාම පුවරුව ඔසවා සිටි රූමත් යුවතියයි. සිතින් කලබල වී සිටියත් ඒ බව නොපෙන්වා සිටීමට රුසිරු දැරූ උත්සාහය එතරම්ම අසාර්ථක වූයේ නැත.

“ඔයා කවුද?”

“මම රීටා, ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මම ඔයාව හෝටලයට ගිහින් දාන්නම්. නගින්න.”

වාහනයේ වම් පස දොරේ ජනේලයෙන් එබෙමින් එහි සිට ඉවත බලමින් යුවතිය රුසිරු ඇමතුවාය.

“බොහොම ස්තුතියි රීටා. මම ටැක්සියක් ගන්නම්. ඒක මට ලේසියි.”

රථයේ එන්ජිම නතර කළ තරුණිය එයින් බැස රුසිරු අසලට ඇවිද පැමිණියාය.

“මම දන්නවා ඔයා ආවේ ඇයි කියලා. බය වෙන්න දෙයක් නැහැ.”

රුසිරු තරමක් තිගැස්සී ගියේ ක්ෂණයකිනි. කිසිඳු රහස් මෙහෙයුමක ඇතුලාන්ත තොරතුරු මෙලෙස හෙළිදරවු වීම සම්බන්ධ අත්දැකීමක් මතක පමණින් මීට පෙර ඔහු අත්විඳ තිබුණේ නැත. කෙසේ වෙතත් තම තිගැස්සම සඟවා ගත් රුසිරු තවදුරටත් තරුණියව නිහඬව නිරීක්ෂණය කළේය.

“මගේ සීයාගේ මල්ලි මේ පුස්තකාලයට ලොකු පරිත්‍යාගයක් කරලා තියන ලංකාවේ කෙනෙක්. එයාගේ නම ක්ලාස්. මේ පුස්තකාලේ එයාගේ නමින් එකතුවක් තියනවා. ඉතින් මම ගොඩක් උනන්දුයි මේ පුස්තකාලේ වෙන දේවල් ගැන.”

“ඇයි ඉතින් රීටාට මාවම හම්බ වෙන්න ඕනේ?”

“මගේ සීයාත් ලංකාවෙනේ. ඉතිං ලංකාවෙන් ආපු මනුස්සයෙකුට රෑ කෑමක්  දෙන්න තමයි හම්බ වෙන්න ආවේ. ඒක වරදක්ද?”

රථයේ වම්පස දොර විවෘත කර සිටි රීටා එක ඇසක් වසමින් ඉඟි කරමින් කියා සිටියාය. 

අගක් මුලක් නොදැන අතරමංව සිටි රුසිරු ඒ බැල්මෙන් පෙර ඇතිවූ තිගැස්සම පසෙකලා සිය නිර්භීතකම තවත් අඩියක් ඉදිරියට තැබීමට තීන්දු කළේය.

“හ්ම්. හොඳයි එහෙනම් මාව ටවුමේ හොඳම තැනට අරන් යන්නකෝ.”

රුසිරු ඇයට කියා සිටියේ දෙවරක් නොසිතා රථයට ගොඩ වෙමින්ය

පියාලිගෝ වත්ත කැන්බරා

“හොඳම තැන නේද? මෙල්බර්න් වල වගේ ඔය ගොල්ලො කැමති මාතර බත් කඩ නම් නැහැ මෙහෙ” 

රියදුරු අසුනට ගොඩවූ රීටා සිනාසෙමින් හුරුබුහුටි ලෙස පිළිතුරු දී සිටියාය.

වේලාව සවස පහට ආසන්නය. 

විසල් මිදි වතු මැදිවූ නෙත් ඇදගන්නා පෙනුමැති උද්‍යානයක් සමඟ පැරණි යුරෝපීය ගෘහ නිර්මාණ තාක්ෂණයට ඉදිකරන ලද තානායමක් වෙතට රීටා, රුසිරුව රැගෙන එන ලදී. මෙකී අලංකාර පියාලිගෝ වත්ත මැද පිහිටා තිබුණු අවන්හලේ සේවය කරන සේවකයන් හැරුණු කොට වෙනත් කිසිඳු ආගන්තුකයකු නම් මේ මොහොතේ දක්නට සිටියේ නැත.

“රෑ කෑමට තව වෙලා තියන නිසා කට්ටිය තවම නැහැ මෙතන. ඔයා මොනවද බොන්නේ?”

“මට රතු වයින් වීදුරුවක් ඇති.”

රුසිරු තවමත් සිටිනුයේ චීන තේරවිල්ලක් තෝරන්නාසේ කෙළවරක් පාදා ගැනීමේ සිතුවිල්ලෙන් සහ ඕනෑම හදිසි තත්වයකට වහා මුහුණ දීමේ සූදානමින් යුක්තවයි.

“හොඳයි රුසිරු, අපි එහෙනම් කෙලින්ම කතා කරමු. මම රීටා ක්ලාස්. මගේ අම්මා තමයි පුස්තකාලේ අධ්‍යක්ෂක ජනරාල්. ඔයා එනවා කියලා මම දැන ගත්තේ අම්මගේ ඊ-මේල් එකකින්.”

රුසිරු තම අත රැඳි වයින් වීදුරුව පානය නොකර මේසය මත තැබුවේ ක්ෂණිකව පැමිණි සිනහවද සමඟය.

“අම්මා දන්නවද දුව කරන වැඩ?”

“අපෝ නැහැ, අම්මා දැන ගත්තොත් මම ඉවරයි.”

“ඇයි ඉතින් මගේ පස්සෙන් ආවේ?”

“පොඩි කාලේ ඉඳලම මම හැදුනේ ඔය පුස්තකාලෙත් එක්ක. අපේ සීයාගේ මල්ලි ලංකාවේ හින්දා ඉස්සර ඉඳන් මට පුස්තකාලේ ගැන විස්තර ගොඩක් දේවල් ටික ටික කියලා දීලා තියෙනවා. සීයාගේ එකතුවෙත් ලංකාවේ සිතියම් සෑහෙන ගාණක් තිබ්බා.”

“ඉතින්.”

“මේක නැති උන දවසෙ ඉඳන් අම්මා හිටියේ ගොඩක් අවුලෙන්. හරියට කෑමක්වත් ගත්තේ නැහැ. අම්මා වගේම මාත් අවුලෙන් හිටියේ. ඉතින් මේ වෙන දේවල් ගැන මම පොඩ්ඩක් හෙව්වා. එච්චරයි.”

“ඕක කියන්නද මාව මෙතනට අරගෙන ආවේ?”

රුසිරු විමසා සිටියේ වයින් වීදුරුව අවසන් කරමිනි.

“නැහැ රුසිරු, අම්මට කියන්න බැරි දේවල් ටිකක් තියනවා. ඔයාව හම්බ වෙන්න හැදුවේ ඒ නිසා.”

අත රැඳි හිස් වීදුරුව පසෙකින් තැබූ රුසිරු, රීටාගේ කථාව වෙතට සිය අවධානය මුළුමනින්ම යොමු කර සිටියේය.

“එදා ඔය සිද්ධිය උන දවසට පස්සේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කිහිපයක් ආවා. ඒවා ඔක්කොම පිටරට අංක. ඒ හැම එකකින්ම ගියේ රෙකෝඩින් එකක්. අම්මා ගෙදර හිටියත් සනීප නැති නිසා මම තමයි ෆෝන් එක ඉස්සුවේ. අම්මගේ අසනීපේ වැඩිවෙයි කියලා මේ කතාව මම කාටවත්ම කිව්වේ නැහැ.”

“මොකක්ද රීටා ආපු කෝල් එක?”

“එකම පණිවිඩයයි කිව්වේ. කලබල කරන්න එපා, කරදර වෙන්න එපා, පරිස්සමින් ඉන්න. තව ටික කාලයයි.”

“මේ පණිවිඩේ එදා තුන් පාරක් ආවා. මම හලෝ කිව්වත් කවුරුත් කතා කලේ නැහැ. එකම විදිහට ආපු නිසයි මම හිතන්නේ රෙකෝඩින් එකක් කියලා.”

“ඒ දවසින් පස්සේ කෝල් ආවේ නැද්ද?”

“නැහැ. එදා විතරයි ආවේ?”

“ඔයාට මතකද ඒ අංක?”

“ඔව්. මම ලියලා තියා ගත්තා. මේ තියෙන්නේ.”

රීටා ලබා දුන් අංක සියල්ලක්ම +44 අංකයෙන් ආරම්භවී තිබුණි. එනම් සියලු ඇමතුම් ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය දුරකතනයකින් විය යුතුය.

“හොඳයි රීටා. මම මේක බලන්නම්. ඔක්කොටම ඉස්සෙල්ලා අපි දැන් බඩ පුරවගෙන ඉමු. මට බඩගිනියි හොඳටම. ”

රාත්‍රී ආහාරයෙන් පසුව රීටාගෙන් සමුගත් රුසිරු සිය නැවතුම් වෙනුවෙන් වෙන් කරන ලද හෝටලය කරා පැමිණ ලැබුණු නව හෝඩුවාව ගැන සිත් යොමු කළේය.

ලබා දුන් සියලු අංක විශ්ලේෂණය සඳහා කොළඹ කාර්යාලයට ආරක්‍ෂිත ඊ-මේල් ගිණුමෙන් යොමු කළ පසු උදෑසන 8ට අවදි කරන ලෙසට හෝටලයේ පිළිගැනීමේ අංශයට දැනුම් දී හනික නින්දට වැටුනේ වයින් මතද, දිගු ගමනේ විඩාව සහ රීටාගේ දීප්තිමත් දෑසද සිහි කරමිනි.

ට්‍රිරිං ට්‍රිරිං……..

ඇඳ අසලවූ දුරකථන නාදයෙන් අවදිවූ රුසිරු සිතා සිටියේ උදෑසන 8 කියා වුවද ඒ අසල තිබූ ඩිජිටල් ඔරලෝසුවේ රතු පැහැයෙන් වෙලාව සටහන්ව තිබුනේ උදෑසන 7.02 යනුවෙනි. ශ්‍රී ලංකාවේ වෙලාව පාන්දර 2.30 පමණ වීම හේතුවෙන් රුසිරු හට දැඩි නිදමත ගතියක් සමඟ කේන්තියක්ද ඇති විය. 

“ඇයි මේ?”

“සමා වෙන්න සර්. සර්ට කෝල් එකක්. ගොඩක් හදිස්සියි කියපු නිසා සම්බන්ධ කරන්නද?”

හෝටලයේ පිළිගැනීමේ නිලධාරිණියගේ කටහඬයි.

“හා, සම්බන්ධ කරන්න.”

අමනාපයෙන් හෝ රුසිරු අවසර දුන්නේ හදිසි ඇමතුමක් යැයි කියා සිටි බැවිනි.

“රුසිරු, සමාවෙන්න. මේ වෙලාවේ කතා කලාට. මම පුස්තකාලේ අධ්‍යක්ෂක ජනරාල්, සිතියම හම්බ උනා.”

“මොකක්? සිතියම හම්බ උනා!”

නිදා සිටි ඇඳෙන් රුසිරු එකවරම නැගිට සිටියේ විමතියට මෙන්ම සතුටට පත්වය. 

“ඔව්. අද උදේ 6ට විතර මට කෝල් එකක් ආවා. පාන්දර පිරිසුදු කරන ටීම් එකේ නායකයා මට කතා කලා. අද අපේ සංරක්ෂණය කරන දවස නිසා පිරිසුදු කරන කණ්ඩායම විශේෂ එකතුවේ කාමරේට යවනවා. සිතියම නැති වෙලා කියපු හිස් පෙට්ටිය මම අයින් කරලා තිබ්බේ. එතනට අලුත් පෙට්ටියක් ඇවිල්ලා නිසා කට්ටිය කලබල වෙලා මට කෝල් කලා. ගිහින් බලද්දී පෙට්ටියත් තියනවා. සිතියමත් තියනවා.”

“එතකොට අයින් කරපු පෙට්ටිය.”

“ඒක මගේ කාර්යාලේ තියනවා. මං හිතන්නේ හොරු පෙට්ටිය පිටින් අරන් ගිහින් බොරු පෙට්ටියක් දාලා. හැබැයි යතුරටයි, ඉලක්කම් වලටයි හරියන විදිහට වැඩේ කරලා තියෙන්නේ. මට තවමත් හිතා ගන්න අමාරුයි මොකක්ද ඇත්තටම උනේ කියලා.”

“මං එන්නම්. අපි බලමු.” 

රුසිරු සිය දුරකථනය විසන්ධි කළේය.

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

2 comments
  1. බස හැසිරවීම ප්‍රශංසනීයයි👌, ඊටත් වඩා විශිෂ්ටත්වය නම් තරුණ පරපුරට කියවීමට උනන්දුව ඇති වන ආකර්ෂණීය කතා තේමාවක් වීමයි. ඊළඟ එපිය එනතුරු නොඉවසිලි වෙමි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *