කැටපත් පවුර සාක්ෂියක් මේ භාෂා වෙනස පුදුම ඉක්මනට මුළු රට පුරාම වෙලා තියෙන එකට. ඒ කාලේ ඉන්ටර්නෙට්වත් තිබුන නම් හිතන්න තිබ්බා. මෙච්චර ඉක්මනට තොරතුරු හුවමාරු වෙයි කියලා. අනික වෙනස් වුණු භාෂාවක්, මුළු රට පුරාම පැතිරෙන වේගය, ටිකක් ලොකු පුදුමයක් නෙවෙයිද?

ගෝවේ 

“කෝ මහාචාර්යතුමා?”

විනාඩි පහළොවකට පමණ පසු රථය අසලට පැමිණ රීටාගෙන් රථය තුළ සිටි යස්වන්ත සහ රුසිරු දෙදෙනාම එකවර විමසා සිටියේය.

“මාමා මාත් එක්ක ආවෙ නැහැ.”

“මොකක්?”

“ඔව්. එන්න බෑ කියලා කිව්වා.”

“මොකක්ද ගැටලුව? රුසිරු අපි ඉක්මනට යමු බලන්න.”

යස්වන්ත රථයෙන් බසිමින් කියා සිටියේය. 

“යන්න එපා. එඩ්වඩ් මාමාගේ කැමැත්තෙන්මයි නතර උනේ.” 

“බහින්න එපා යස්වන්ත, ඇතුලට නගින්න රීටා ඉක්මනට.”

රථය පණ ගන්වන අතරතුර රුසිරු කියා සිටියේය.

“ඇයි කොහෙද යන්නෙ?”

“පිටිපස්ස බලන්න. අප්‍රිකානුවා එනවා. තව කිහිප දෙනෙක් එක්ක.”

පිස්තෝලයක් අමෝරාගෙන ඔවුන් දෙසට පැමිණෙන දාමරිකයන් දුටු රුසිරු වහා රථය මහ හඬින් පණ ගන්වාගෙන විදුලි වේගයෙන් ප්‍රධාන මාර්ගයට රථය පැදවීය.

“රීටා ඔළුව පහත් කරගන්න.”

වෙඩි හඬ කිහිපයක් ඇසුනද වාසනාවකටදෝ රුසිරු ධාවනය කළ රථයට කිසිඳු හානියක් සිදුවූයේ නැත. ප්‍රධාන මාර්ගයෙන් අතුරු පාරකට හැරවූ රුසිරු මාර්ගයේ වාහන තදබදය මඟහරිමින් අනතුරුදායක ලෙස ඉදිරියට රථය පදවාගෙන ගියේය.

“ටිකක් හිමිහිට යන්න., දැන් වෙඩි සද්ද ඇහෙන්නෙ නෑනේ.” 

හිස සෙමින් සෙමින් ඔසවමින් රීටා කියා සිටියාය.

“පහත් කරන් ගිහිල්ලා, මගේ ඔලුව වදිනවා හැමතැනම.”

“රීටා කෙල්ලේ, හිමීට නැගිටලා පිටිපස්ස බලන්න. මම යන වේගෙත් එක්ක මට පැහැදිලිව මේ කණ්ණාඩි වලින් පේන්නෙ නැහැ.”

රථයේ පිටුපස ආසනය මතට දණහිස් තබා නැගිටුණු රීටා, සෙමෙන් සෙමෙන් ජනේලයෙන් පිටත බැලුවේය.

“නැහැ, කිසිම වාහනයක් අපිව ලුහුබඳිනවා පෙන්නේ නෑ.”

“අපි ඉක්මනට ගෝවෙන් එලියට යමු.”

යස්වන්ත කියා සිටියේය.

“ගෝවෙන් එළියට ගිහිල්ලා කොහොමද? අපි මහාචාර්යතුමා බේර ගන්න ඕන. එහෙම නේද රීටා?”

රුසිරු කියා සිටියේ පිටුපස ආසනයේ සිටි රීටා දෙස කණ්ණාඩියෙන් විමසමිනි. තවමත් රීටා පිටුපසින් පැමිණෙන වාහන පිළිබඳ අවධානය යොමු කර ගත් විලාසයෙනි.

“රීටා…”

“සමාවෙන්න රුසිරු.”

“ඇයි ඔයා කිව්වේ මහාචාර්යතුමා එන්න කැමති නැහැ කියලා. අපි දැන් මොකද්ද කරන්න ඕනේ?”

“ඔව් ඒක ඇත්ත. මාමා මට ලොකු විස්තරයක් කිව්වා. අපි දැන් පුළුවන් තරම් ඉක්මනට ගෝවේ එයාර්පෝට් එකට යන්න ඕනේ.”

“ගොවේ එයාර්පෝට් එකට?”

“ඔව් ඒ පැත්තට හරවන්න. යස්වන්ත, ඔයාට ඉන්ටනෙට් යන්න පුලුවන්ද?”

“ඔව් රීටා. ඇයි?”

අතුරු මාර්ගයකට වහා රථය හැරවූ රුසිරු නොදන්නා පුද්ගලික නිවසක් ඉදිරිපිට වාහනය තරමක් ඇතුලට කර නතර කළේය.

Logo 468x60

“රීටා, මොකක්ද වෙන්නෙ කියලා අපිට පැහැදිලිව කියන්න.”

“මට එඩ්වඩ් මාමා උපදෙස් වගයක් දුන්නා. ඊළඟ උපකරණය තියෙන තැන ගැන. අපි මේ හොරු කණ්ඩායමට ඉස්සෙල්ලා එතනට යන්න ඕනේ. මම යන ගමන් සම්පූර්ණ විස්තරයම කියන්නම්.”

“ඇයි මහාචාර්යතුමා ඔයත් එක්ක ආවෙ නැත්තේ?”

යස්වන්ත විමසා සිටියේය.

“එඩ්වඩ් මාමා බයයි අක්කා ගැන, ඒත් මම පොඩි වැඩක් කළා.”

“මොකක්ද?”

“රුසිරු, ඔයා මට දීපු උපකරණය මාමාට දුන්නා.”

“දැන් ඕක අර මිනිස්සු දැක්කොත් මහාචාර්යතුමාට කරදරයක් කරයි.” 

“නැහැ නැහැ, ඒ මිනිස්සු කිසිම කරදරයක් කරලා නැහැ. ඒක හංගා ගෙන ඉන්න පුළුවන් කියලා මාමා කිව්වා. හැබැයි දුර ප්‍රශ්නෙ නිසා, අපිට කතා කරන්න බැහැ නේද?”

“ඔව් ඒක ඇත්ත. අපිට කතා කරන්න නම් බැරි වෙයි. ඒත් අපිට මහාචාර්යතුමා ඉන්න තැන දැනගන්න පුළුවන් වෙනවා. ඔයා කරල තියෙන වැඩේ හරි.”

අතුරු මාර්ගයේ දෙපස පරීක්ෂාකොට රථය නැවත මාර්ගය වෙතට ධාවනය කරන අතරතුර රුසිරු කියා සිටියේය.

“හොඳයි, අපි ඊළඟට කොහෙටද යන්න ඕන, මහාචාර්යතුමා කියන විදිහට.”

“අපි ඊළඟට යන්න ඕනේ මැලේසියාවට.”

“මැලේසියාවට?” 

“ඔව් එහෙ තමයි ඊළඟ උපකරණය තියෙන්නේ. අපි ඒකවත් කොහොමහරි ගමු.”

“ඒක විතරක් නෙවෙයි අපි ගාව තියෙන්නේ.”

“එහෙනම්?”

තම සාක්කුව පරීක්ෂාකර බැලූ රුසිරු එය තුලවූ බැසිලිකාවේදී ලබාගත් ස්ථූප උපකරණය රීටා වෙත ලබාදුන්නේය.

“මේකටද මේ මිනිස්සු මරා ගන්නේ?”

“ඔව්, ඕකට තමයි. මහාචාර්යතුමා තව මොනවද කිව්වෙ?”

“ගොඩක් විස්තර කිව්වා. මම ෆ්ලයිට් එකේදී කියන්නම්. අපි ඉක්මනට යමු. දවස් දෙක තුනක වාසියක් මාමා අපිට අරන් දෙයි.”

“දවස් දෙක තුනක වාසියක් කිව්වේ?”

Book travel visa at iVisa.com

“මාමා ගෝවේ කරන පරීක්ෂණ හිමිහිට කරයි. අනිත් අයට සැක නැති වෙන විදියට ඒත් මේ ස්ථූප උපකරණය අපි ගාව කියලා එඩ්වඩ් මාමා දන්නේ නැහැ. ඒක හොරු දැනගත්තහම ප්‍රශ්නයක් වෙයිද රුසිරු?” 

රථය පදවන අතරතුර රුසිරු නිහඬව කෙටි කල්පනාවකට වැටුණේය.

“රුසිරු මම කියපු  දේ ඇහුනද?”

“ඔව් රීටා, ඒ ගැන තමයි මම හිතුවේ.”

සියලු දෙනා නිහඬතාවයකය. අංක 66 මහා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබුණද වැඩි වාහන තදබදයක් වාසනාවකට තිබුණේ නැත. එම නිසා රථය සාමාන්‍ය වේගයකින් ගුවන්තොටුපල දෙසට සැකකටයුතු නොවන ආකාරයට ධාවනය කිරීමට රුසිරුට හැකිවිය. 

“ටිකට් වැඩේ හරිද යස්වන්ත?”

“මෙහෙ ඉඳන් නම් මැලේසියාවට ෆ්ලයිට් නැහැ. ලේසිම විදිය මුම්බායි ගිහිල්ලා යන එක. වැඩි වෙලාවක් නැති හින්දා අපිට මුම්බායි ෆ්ලයිට් එක නම් එයාර්පෝට් එකට ගිහින් තමයි බලන්න වෙන්නේ. වෙන් කරන්න දෙන්නේ නැහැ. ක්වාලාලම්පූර් ෆ්ලයිට් එක මම වෙන්කළා. ස්ථීර කළේ නැහැ තාම.”

පැය භාගයක් ගතවීමට පෙර තිදෙනා ගෝවා අන්තර්ජාතික ගුවන් තොටුපොළ හෙවත් ඩබොලිම් ගුවන්තොටුපොළට පැමිණියේය. මුම්බායි දක්වා ගුවන් ටිකට් පත වෙන් කරවා ගැනීම එතරම් අපහසු කාරණයක් නොවූයේ සංචාරක සමය හේතුවෙන් වැඩි පිරිසක් ගෝවේ වෙත පැමිණෙන කාලයක්වූ බැවිනි. ඒ හේතුවෙන් ගෝවේ සිට පිටවන යානයන්හි ඇති තරම් ආසන පහසුකම් තිබුණි.

ගෝවේ – මුම්බායි 

“හොඳයි රීටා. දැන් අපිට කියන්න මහාචාර්යතුමා මොනවද කිව්වේ කියලා?”

“මට ඊට ඉස්සෙල්ලා කියන්න ඕන එක දෙයක්. මාව වැරදියට තේරුම් ගනීද දන්නෑ.” 

“ඔයා කියන්න යන දේට කලින් මට දෙයක් අහන්න තියෙනවා. මම අන්තිමට ඔයාගෙන් අහන්න කියලා හිතාගෙන හිටියේ. ඒත් දැන්ම අහන්නම්.”

“අහන්න රුසිරු.”

“ඇයි ඔයාට එක පාරටම මේ උපකරණ ගැන උනන්දුවක් ආවේ? මෙච්චර කල් මහාචාර්යතුමා බේරගන්න නේද උනන්දුව තිබ්බේ?”

“මම හිතුවා ඕක අහයි කියලා. මම කියන්න හැදුවේ ඒක ගැනම තමයි.”

දිගු සුසුමක් හෙලමින් රීටා කියා සිටියේ පශ්චාත්තාපී ස්වරයකිනි.

“මම කලින් කියපු විදිහට එඩ්වඩ් මාමා කියලා තිබ්බා උපකරණ පහක් තියෙනවා කියලා. මේ උපකරණ  ඔක්කොම සම්බන්ධයි එක් විශේෂ යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න. ඒක ගැන ඉස්සර ඉඳන් ගොඩක් අය පරීක්ෂණ කරලා තියනවා. එහෙම පරීක්ෂණ කරපු එක්කෙනෙක් තමයි අපේ සීයා.”

“මම මේ කතාව කියන්න තිබ්බේ, රුසිරු ඔස්ට්‍රේලියාවේදි හම්බ වුන වෙලාවේ. සමාවෙන්න ඒක ගැන.”

ගුවන් සේවිකාව ආසන පටි පරීක්ෂාව සඳහා අසලට පැමිණි බැවින් කතාබහ සුළු මොහොතකට නතර විය. වැඩි මගී පිරිසක් ගුවන් යානය තුල වූයේ නැත. එබැවින් තිදෙනාම සිටියේ වැඩි තිගැස්මකින් හෝ කලබලයකින් නොවේ. සංචාරකයින් කිහිපදෙනකු හැරුණු කොට බහුතරයක් දේශීය ගුවන් මගීන් යානයේ අසුන්ගෙන සිටියේය. 

“මම කියන්න යන දේ එතරම් ලස්සන කතාවක් නම් නෙවෙයි.”

“ඒකට කමක් නෑ. අපිට කිසිම දෙයක් හංගන්නෙ නැතුව කිව්වොත් ඇති.”

“හොඳයි. අහගන්න. ඕස්ට්‍රේලියාවේදී නැතිවුණු සිතියම විශේෂ එකක්. ඒක තිබ්බෙ අපේ සීයා ගාව, අවුරුදු පන්සියයක් විතර තිස්සේ මම දන්න විදිහට මේ සිතියම තිබ්බේ අපේ පවුලේ. ඇත්තටම ඊට වැඩි කාලයක්ද කියලා මම හරියටම දන්නේ නැහැ. මේ සිතියම සහ තවත් වැදගත් පොත්පත් එක්ක බැඳුණු පරීක්ෂණ නිසා සීයට ගොඩක් ජීවිත තර්ජන තිබිල තියෙනවා. අන්තිමේදී අපේ සීයා පරීක්ෂණ ඔක්කොම නතර කරලා, තිබ්බ ලිපි ලේඛන සීයගෙ මල්ලිට දීලා තියෙනවා. ඒක අරන් වෙන රටකට යන්න කියලා. සීයගෙ පොඩි වයසෙ හිටපු දුවලා දෙන්නත් එක්ක.

“සීයගේ දුවල දෙන්නා?”

“ඔව්. ඒ කියන්නේ මගේ අම්මයි, අපේ අම්මගෙ අක්කයි. ගොඩක් පොඩි කාලේ තමයි දෙන්නම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තියෙන්නේ.”

“එතකොට සීයා?”

“මේ සිද්ධියෙන් පස්සේ, ඒ කිව්වේ අපේ අම්මලා ඕස්ට්‍රේලියාවට ආවට පස්සෙ සීයා අතුරුදහන් වෙලා. අපේ අම්මා සෑහෙන කාලයක් මහන්සි වුණා සීයා ගැන හොයන්න. එයාගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉවර උනහම ලංකාවටත් ආවා. ඒත් අවුරුදු විස්සක් විතර පරණ සිද්ධියක පැමිණිල්ලක් නිසා ලංකාවේ පොලීසිය එතරම් උනන්දු වෙලා නැහැ.”

“අතුරුදන් වුණා කියලා කවුරුත් පැමිණිල්ලක් දාලා නැද්ද?”

“නැහැ, සීයගෙ මල්ලි පැමිණිලි කරලත් නැහැ. ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා අවුරුදු හය හතකින් සීයාගේ මල්ලිත් නැතිවෙලා.”

“වෙන කවුරුවත් සීයගෙ නෑදෑයො නැද්ද?”

“ඒක ගැන අපි කවුරුත් දන්නේ නැහැ, කවදාවත් සීයා හරි සීයාගේ පවුල හරි ගැන විස්තරයක් සීයාගේ මල්ලිවත් අම්මලට කියලා නෑ. අපේ අම්මයි අම්මගේ අක්කයි ගොඩක් මහන්සි වුණා ක්ලාස් පවුල ගැන හොයන්න. අපි බර්ගර් නිසා හොයන්න තිබ්බ ප්‍රදේශත් අඩුයි. ඒත් කවුරුවත් අපේ ක්ලාස් පවුල ගැන අපිට තොරතුරු දුන්නෙ නැහැ.”

Matcha Green Tea by Purlisse

“සමාවෙන්න ඒ ගැන, සමහරවිට හිතලම හංගනවා වෙන්නත් පුළුවන්. නැත්නම් ඇත්තටම ක්ලාස් පවුලක් නැති වෙන්නත් පුළුවන්.”

“අපේ අම්මත් කිව්වෙ ඔය කතාවම තමයි. හංගනවා කියන එක. ඒත් කොහේ හරි අපේ පවුලට සම්බන්ධ නම තියෙන කෙනෙක් ඉන්න ඕනේ.”

“කොහොමද ඒක ස්ථීරවම කියන්නේ? සීයාගේ මල්ලි නම වෙනස් කළා වෙන්න පුළුවන්.”

“අපි ඔස්ට්‍රේලියාවේ ලේඛන පරීක්ෂා කළා. නම වෙනස් කරපු බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ.”

“සීයාගේ මල්ලි කොහොමද නැතිවුනේ?”

“අසනීප නිසා, ඒක සැක සහිත මරණයක් නම් නෙවෙයි. දියවැඩියාව එක්ක වකුගඩුවල තිබිච්ච ප්‍රශ්නයක් නිසා කාලයක් තිස්සේ අසනීපයෙන් ඉඳලා තියෙන්නෙ.”

ගුවන් සේවිකාව නැවතත් අසලට පැමිණ ආහාර පාන පිළිබඳ විමසා සිටියාය.  කෙටි ගුවන් ගමනක් වූ බැවින් කලු කෝපි කෝප්පයක් පමණක් රුසිරු ඉල්ලා සිටි අතර අනෙක් අය පලතුරු යුෂ ඇනවුම් කළේය.

“රීටා ඔයාගේ අදහස මොකක්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඒත් ඔයාට දෙයක් කියන්නම්. මමයි, යස්වන්තයි අපි දෙන්නම මේ කේස් එකේදී වැඩ කරන්නේ කාරණා දෙකක් සම්බන්ධව. මම CAG එකේ, යස්වන්ත ස්කොට්ලන්ඩ්යාඩ් එකේ පුරාවිද්‍යා අංශයේ. අපිට මෙතන පැවරිලා තියෙන රාජකාරි දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථූප උපකරණ හොයාගන්න එක. ලන්ඩන් වලදී නැති උන. අනිත් එක තමයි මහාචාර්යතුමා බේරගන්න එක. ඇත්තම කිව්වොත් අපේ මූලික අරමුණ පුරාවිද්‍යා උපකරණය සම්බන්ධව. මහාචාර්යතුමා බේරගන්න වැඩේ අපි අනිත් ආයතනත් එක්ක සහයෝගයෙන් කරන දෙයක් විතරයි.”

“මට තේරෙනවා, මට සමාවෙන්න. ආයේ මම කිසි දෙයක් හංගන්නෙ නැහැ.”

“අපිට ඔයා දන්න හැම තොරතුරක්ම කියන්න. විශේෂයෙන් මහාචාර්යතුමා කියපු ඒවා.”

“හොඳයි. මම කියන්නම්. මේ නැතිවුණු සිතියමයි, ස්ථූප උපකරණයි සම්බන්ධ වෙලා තියෙන්නෙ ලංකාවේ සීගිරියට.”

“සීගිරියට.. ඒ කොහොමද?”

“මාමා කිව්ව වගේ මේ ඔක්කොම එකම කතාවක කොටස්.”

“මොන වගේ කතාවක්ද රීටා, නිධානයක්ද?”

“රුසිරු හිතන්නේ මම නිධන් පස්සෙ යන කෙනෙක් කියලද?”

“නෑ මම තවම එහෙම හිතන්නේ නැහැ. ඒත් අපේ වෘත්තියේ හම්බවෙන ගොඩක් සිතියම් සම්බන්ධ වෙලා තියෙන්නේ නිධන් වස්තුව එක්ක.”

“ඔයා හිතන විදිහ වැරදියි. නිධානෙ ගැන උනන්දුවක් මට තියෙනවා.”

“මොන නිධානයක්ද?”

“නිධානයක් කිව්වේ ඔයාගෙ වචන වලින්. ඒත් මේක සල්ලි, රත්තරං සම්බන්ධ දෙයක් නෙවෙයි.”

“එහෙනම්?” 

“මේක දැනුම සම්බන්ධ දෙයක්. පොත්පත්වල තියෙන විදිහට.”

“මොන පොත්පත් ද?”

රුසිරු විමසා සිටියේ අවසන්වූ හිස් කෝපි කෝප්පය ගුවන් සේවිකාව වෙත නැවත පිරිනමන අතරතුරය. 

“මම රුසිරුට කිව්වා මතකද අපේ සීයාගෙ මල්ලි කැන්බරා පුස්තකාලයට පරිත්‍යාගයක් කරලා තියෙනවා කියලා.”

“ඔව් මතකයි. අර මාව ඔස්ට්‍රේලියාවේදී පැහැර ගත්ත දවසෙ නේද කිව්වේ?”

රුසිරු කියා සිටියේ යස්වන්ත දෙස බලා සිනාසෙමිනි.

“ඒ කියන්නේ රීටා ඉස්සර ඉඳන්ම අපරාධකාරියක්.”

කෙළවර අසුනේ සිටි යස්වන්ත මහ හඬින් සිනාසෙමින් කියා සිටියේය. 

“අනේ ඔය චිත්‍රපටි වල පෙන්නනවා වගේ මම නිධන් හොරෙක් නෙවෙයි. මම කියන කතාව තේරුම් ගන්න නම් ඔක්කොම අහගන්නකෝ.”

රීටා පැවසූයේ අමනාපයෙනි.

“හොඳයි හොඳයි. ඔක්කොම කියන්න. අපි බාධා කරන්නේ නැතුව ඉන්නම්.” 

“නැතිවුණ සිතියම සුවිශේෂ එකක්. ටොලමිගේ සිතියම් වලට සාමාන්‍යයෙන් ටොලමි සහ වෙනත් සිතියම් විශ්ලේෂකයින් කාලෙන් කාලෙට විශේෂ සටහන් දාලා තියෙනවා. සිතියමේ කොන් වලට වගේ වෙන්න. ඒත් මම දන්න විදිහට සිතියම් දෙකක් තියෙනවා, කිසිම සටහනක් නැති. එකක් තමයි ශුද්ධවූ දේශයේ සිතියම. අනෙක තමයි තැප්‍රොබානා එහෙමත් නැත්නම් නැතිවුණු සිතියම.”

“මෙහෙම සටහන් නොදමන්න විශේෂ හේතුවක් තියෙනවා. හැබැයි ඒක කොහෙවත් ප්‍රසිද්ධියේ කියලා නැහැ. ශුද්ධවූ දේශය කියන්නේ රටක් නෙවෙයි. ඒ වගේම තැප්‍රොබානා කියන්නෙත් අපි ලංකාව කියලා විශ්වාස කලාට රටක් නෙවෙයි.”

“ඔයා කොහොමද එහෙම කියන්නේ. මම දන්න තරමින් ඔයාගේ අම්ම කියපු විදියට මේ සිතියම ගැන විවාදය තිබ්බේ ඔය ගැන නම් නෙවෙයි. ලංකාවද සුමාත්‍රාවද කියලා.”

“ඔව්. ඒ කතාවත් ඇත්ත. ඔයා දන්නවද ඒ විවාදය පටන් ගත්තෙ කවුද කියලා?”

“නැහැ මම දන්නේ නැහැ.”

“අපේ සීයා තමයි ඒ විවාදය ආරම්භ කරලා තිබ්බේ. ඒකට හේතුව, ඇත්ත කතාව හංගන්න ඕන නිසා.”

“ඔයා කොහොමද දන්නෙ? කවදාවත් ඔයාට සීයා හම්බ වෙලා නැහැනේ.”

“මම කලින් කියපු විදිහට සීයාගේ මල්ලි පරිත්‍යාග කරපු පොත්පත් වල එකතුවේ, අපේ සීයා අතින් ලියපු පොතක් තිබුණා. ඒකේ තිබ්බ විස්තර තමයි මම මේ කියන්නේ. ඒ පොත එච්චර වැදගත් පෙනුමක පොතක් නෙවෙයි. ඒ නිසා ඒක කවදාවත් පුස්තකාලයේ ලබාගන්න පුළුවන් වෙලා තිබ්බ පොතකුත් නෙවෙයි. කිසිම වර්ගීකරණයක් කරන්නේ නැතුව පැත්තක දාලා තිබිච්ච එකක්.  මම පොඩි කාලේ අම්මා එක්ක පුස්තකාලෙ ගියාම අම්මා මට පොත් වගයක් පෙන්නලා කිව්වා මේ තියෙන්නෙත් ඔයාගේ සීයා කෙනෙක් දීපු ඒවා කියලා. මම ඒවා නිකන් බලනකොට තමයි මේ පොත දැක්කෙ. මම ඒක කියවලා අම්මට දුන්නා. ඊට පස්සේ  පොතට මොනවා වුනාද කියලා මම දන්නේ නැහැ.” 

“මොනවද ඒ පොතේ තිබ්බේ?”

“ඒකෙ කියන විදිහට ටොලමිගේ සිතියම ලංකාවේ සිතියම නෙවෙයි. සීගිරියේ සිතියමක්.”

“සීගිරියේ සිතියමක්.”

“ඔව්. ශුද්ධවූ දේශය වගේ විශේෂ තැනක් හැටියට ටොලමි සලකපු සීගිරියේ සිතියමක්.”

“ඒත්.. ඒ සිතියම කොහෙත්ම සීගිරියට සමාන නැහැනෙ. මට මතක විදිහට.”

“ඒක ඇත්ත. ඒ සිතියම සීගිරිය පර්වතයට සම්පූර්ණයෙන්ම සමාන නැහැ. මොකද ඒක සීගිරියේ කෘතිමව හදපු පර්වත උද්‍යානයේ පිහිටීමක් දැක්වෙන සිතියමක්.”

“පර්වත උද්‍යානයේ?” 

“ඔව්. ජල උද්‍යානයට පස්සේ තියෙන උද්‍යානය.”

“මම පර්වත උද්‍යානය දන්නවා ළමයො. සීගිරිය කියන්නේ මම යන්න කැමතිම තැනක්. ඔයා කියන්නෙ ඒ උද්‍යානය, පරිසරයේ ස්වාභාවිකව තියෙන විදිහට ගල්  වලින් හදපු උද්‍යානයක් නෙවෙයිද?”

Blue Lotus SPF 30 Moisturizer

“කොහෙත්ම නැහැ. සීගිරියේ ජල උද්‍යානය ගොඩක් සැලසුම් කරලා ලස්සනට හදපු අය, ජල උද්‍යානයයි සීගිරිය ප්‍රධාන පර්වතයයි අතර තියෙන පර්වත උද්‍යානය සැලසුම් කළේ නැහැ කියලද ඔයා කියන්නේ?” 

“මම එහෙම කියන්නේ නැහැ. ඒත් මම හිතුවේ පරිසරයට විශාල වෙනසක් කරන්නෙ නැතුව ස්වාභාවික තත්වයෙන්ම තියන්න කාශ්‍යප අදහස් කළා කියලා.”

“මේ කතාව හරියට ඔයාට තේරුම් කරන්න ටොලමිගේ සිතියම වගේම සීගිරියේ අලුත් සිතියමක් ඕනේ. ඒ වගේම මතක තියා ගන්න. පර්වත උද්‍යානයට කාශ්‍යපගේ නිර්මාණයක් නෙවෙයි. කාශ්‍යප ඔය ගොල්ලො වර්ණනා කරන තරම් සීගිරිය ගොඩ නගන්න වැදගත් චරිතයක් නෙවෙයි.

“මම CAG එකෙන් ගෙන්න ගන්නම්. මුම්බායි වලින් බැස්ස ගමන්. ඇයි කාශ්‍යප වැදගත් නැත්තේ?”

“මම කිව්වේ ඔයා හිතන අදහසින් නෙවෙයි. ඒක දිග කතාවක්. තව දෙයක්, කාශ්‍යප කොහෙත්ම නරක රජ කෙනෙක් නෙවෙයි. තාත්තා මරපු.”

“මම දන්න ඉතිහාසය නම් ඒක තමයි.”

“ඉතිහාසයේ හොඳම හරිය ඔයා දන්නේ නැහැ රුසිරු.”

“මොකක්ද ඉතිහාසයේ හොඳම හරිය?”

“මම එක උදාහරණයක් කියන්නම්. ඔය ගොල්ලෝ දන්නවා නේද සීගිරිය කැටපත් පවුර?” 

“ඔව් මම දන්නවා.”

“ඔව් ඉතින්, ඔයා CAG එකේ මොළ කාරයනේ. කැටපත් පවුරේ භාෂාව මොකක්ද කියලා දන්නවද?”

රුසිරු තනිව මහ හඬින් සිනහ විය.

“මොළ කාරයා?”

“ඔව්. කියන්න බලන්න මම අහපු දේට උත්තරය.”

“හරියට කිව්වොත් මොනවද දෙන්නේ?”

“ෆෝන් එක බලන්න එපා ඉතින්.”

රීටා රුසිරුගේ දුරකථනය උදුරා ගත්තාය. 

“මොන ෆෝන්ද? මොනවද දෙන්නෙ කියන්නකො.”

“ෆෝන් එක ආපහු දෙනවා.” 

තිදෙනාම සිනාසුනේ රීටාගේ ඔට්ටු කොන්දේසියටය. 

“මට ඊළඟ ෆ්ලයිට් එකේදී බියර් කෑන් තුනක් අරන් දෙන්න ඕන.”

“හරි ඔට්ටුයි.”

රීටා පවසා සිටියේ දුරකථනය නැවත රුසිරු වෙත ලබා දෙමිනි.

“රීටා ඔයා මේ ඔට්ටුව පරදිනවා. ඔයාට අමතක උනා මේ ටිකට, CAG එකේ මහ මොළ කාරයා එක්ක ඔට්ටුව දැම්ම කියලා.”

“ඒක නම් ඇත්ත යස්වන්ත, මට අමතක උනානේ. කමක් නෑ බියර් කෑන් තුනයිනේ. සල්ලි තියෙනවා ඒ වැඩේට.”

රීටා ඇසක් වසමින් යස්වන්තට කියා සිටියාය.

“හොඳයි එහෙනම් අහගන්න. කැටපත් පවුරේ ගොඩක් ගීත ලියලා තියෙන්නේ සිංහල භාෂාවෙන්. හරියටම කිව්වොත් පල්ලව ක්‍රමයට. සංස්කෘත ශ්ලෝකත් තියෙනවා ටිකක්.”

“හරියටම හරි. මං පරාදයි.” 

“ඉතින් මොකක්ද ඕකෙ විශේෂත්වය?”

“පල්ලව ක්‍රමයට ඉස්සෙල්ලා සිංහල භාෂාව ලියවුනේ කොහොමද?”

“ඊට කලින් බ්‍රාහ්මී අක්ෂර.”

“කොයි කාලෙද මේ වෙනස උනේ?”

“ඒක නම් මට පාඩම් කරන්න බැරි වුණා. මම විභාගේ ෆේල්ද?”

“ඔව් මහත්මයා, ඔබ විභාගය ෆේල් සහ ඔබව ජොබ් එකෙනුත් අයින් කරනවා මේ දැන්ම.”

නැවතත් තිදෙනා අතරම පැතිරුණු සිනහවකි.

“මේ වෙනස වුණේ 8 වෙනි ශත වර්ෂයේ විතර රුසිරු, හැබැයි මෙතන විශේෂත්වය තමයි කැටපත් පවුරේ ගී ලියපු අය, ලංකාවේ එහෙම නැත්නම් ඒ කාලේ තම්බපණ්ණියේ හැම පලාතකින්ම ආපු අය. කැටපත් පවුර සාක්ෂියක් මේ භාෂා වෙනස පුදුම ඉක්මනට මුළු රට පුරාම වෙලා තියෙන එකට. ඒ කාලේ ඉන්ටර්නෙට්වත් තිබුන නම් හිතන්න තිබ්බා. මෙච්චර ඉක්මනට තොරතුරු හුවමාරු වෙයි කියලා. අනික වෙනස් වුණු භාෂාවක්, මුළු රට පුරාම පැතිරෙන වේගය, ටිකක් ලොකු පුදුමයක් නෙවෙයිද?”

“ඔයා කිව්වා වගේ ඒක නම් ඉතිහාසය හොඳම හරියක් තමයි. ගොඩක් අය හිතන්නේ නැති. මමත් වැඩිපුර හිතුවේ නැහැ ඒක ගැන. කොහොමද වුනේ ඒක?”

 “ඒක උනේ අන්තර්ජාලයකින්.”

“අනේ බොරු කියන්නේ නැතුව ඉන්න රීටා.”

“බොරු නෙවෙයි. ඇත්ත. හැබැයි අද කාලේ වගේ අන්තර්ජාලයක් නෙවෙයි ඒක.”

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

Book travel visa at iVisa.com

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *