වහා සැලැස්ම වෙනස් කළ රුසිරු තම ගමන් මල්ලේ ආරක්ෂාවට යොදා සිටි ඉබ්බා ගෙන සැක කටයුතු පුද්ගලයා සැඟවී සිටි වැසිකිලියේ දොර පිටතින් අගුලු දැමීය. ඉන්පසු උපරිම ප්‍රමාණයට ජල කරාමය විවෘත කලේ හොඳින් හඬ ඇසෙන පරිදිය.

කයිරෝ ඊජිප්තු කෞතුකාගාරය 

මහාචාර්යතුමා කල්පනා කරන අයුරින් සිතා ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීම කොයි තරම් දුරට සාර්ථකවේද යන්න රුසිරු හරි හැටි නොදනී. මන්දයත් එසේ කිරීම හේතුවෙන් මේ පරීක්ෂණය අවසානයේ යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඇති සම්භාවිතාවය හරි හැටි නොදන්නා බැවිනි. එහෙත් රුසිරු ඇතුළු කණ්ඩායමට මේ වන විට ඇති එකම මාර්ගය සහ විකල්පය නම් මහාචාර්යතුමා පැවසූ ඉඟි සහ ඔහුගේ ලේඛන වෙත සිත යොමු කර ඉදිරියට යාම පමණකි.

Book travel visa at iVisa.com

එලෙස දැනුවත්වූ තොරතුරු අනුව යස්වන්ත සහ රීටා ඕස්ට්‍රේලියාවේ සිට ඩුබායි බලා පැමිණෙන  අතරතුර රුසිරු නැවත සිය ගමන ආරම්භ කළේ ඊජිප්තුවේ කයිරෝ නුවර බලා පිටත් වීමටයි. බෝට්ටුවේ හමුවූ කෙටි කාලය තුල මහාචාර්යතුමා දැනුවත් කළ විස්තරය අනුව කයිරෝ කෞතුකාගාරයේ තවත් ස්ථූපයක් ඇති බව කියා සිටියද තොරතුරු අතින් වඩාත් සන්නද්ධ මේ නොදන්නා සොර කණ්ඩායම දැනටමත් එකී ස්ථූපය නැතහොත් ස්ථූප උපකරණය ඔවුන් සන්තකයට ගෙන ඇතැයි රුසිරු සැක පහල කළේය.

මහාචාර්යතුමා සමඟ විෂයානුබද්ධව දිගු කතා බහක නියැලීමට බෝට්ටුවේදී හෝ නිවසේදී කොහෙත්ම කාල වේලාවක් තිබුණේ නැත. එලෙසම මේ තොරතුරු සොර කණ්ඩායම කොයි මට්ටමකට දන්නේදැයි සහ කළ යුතු නිවැරදිම පියවර කුමක්දැයි පැහැදිලිව විමසීමටද රුසිරුට අවස්ථාවක් ලැබුණේ නැත.

කැපී නොපෙනෙන නිසා කිසිවෙකුට පහසුවෙන් සැක සිතීමට නොහැකි ආකාරයට ක්‍රිෂ් දූපතේදී මිලදී ගත් අරාබි සම්ප්‍රදායානුකූල ඇඳුමකින් සැරසුණු රුසිරු කයිරෝ නුවර බලා ගුවනින් පිටත් විය. මේ වන විටත් ස්ථූපය සොරකම් කර ඇත්නම් මේ ගමනේ ඇති ඵලක් නොමැත. එහෙත් ස්ථූපය තවමත් සොරකම් නොකර එය ඇති බවට සොර කණ්ඩායම අදාල ලේඛන හරහා හෝ මහාචාර්යතුමා හරහා දැනටමත් දැනුවත්ව ඇත්නම් මේ ගමන අතිශය භයානක එකක් වනු ඇත.

“රුසිරු, උඹ කියපු විදිහට අපි ටිකට් වෙන් කළා. අනිද්දා අපි ඩුබායි එනවා.”

“හොඳයි යස්වන්ත. ස්කොට්ලන්ඩ්යාඩ් එකේ මොනවත් අලුත් තොරතුරු ලැබුණේ නැද්ද?”

“විශේෂයක් නැහැ. බෝට්ටුව ගැන හොයනවා. උඹව ප්ලේන් එකෙන් එලියට අරන් ගිය හැටි නම් කිව්වා.”

“මොකක්ද මට උනේ? මට කිසිම දෙයක් මතක නැහැ.”

“ප්ලේන් එකේදි වයසක කෙනෙකුට අසනීප උන එක රඟපෑමක්. ඊට පස්සේ ඒ වෙලාවෙම උඹව ඉස්සරහට එක්ක ගිය කෙනා ඒ අරාබි කෙනා වෙනුවට උඹේ සිහිය නැති කරලා අරාබියේ විදිහට රෙද්දකුත් පොරවලා ගිලන් රථයට දාලා තියෙනවා. ඒ ගිලන් රථය ඉස්පිරිතාලෙට යන අස්සේ අනතුරක් වෙලා රියදුරා එතනම නැති වෙලා. උඹත් එක්කම පිටිපස්සේ හිටපු අයත් අතුරුදහන් වෙලා.”

“අපි හිතුවා වගේ මේක ගොඩක් සංවිධානය වෙලා කරන වැඩක්. මිනී මරන්න උනත් මේ කණ්ඩායම පසු බහින්නේ නැහැ වගේ.”

“ඔව්. ඒක ඇත්ත.”

“මට තියෙන බය රීටා අපිත් එක්ක එන එක ගැන.”

“බයවෙන්න එපා. මට පුළුවන් උපරිම විදිහට බලාගන්නම්.”

“මම මේ වැඩේ ඉවර උන ගමන් ඩුබායි එනවා. අතරමගදී විශේෂ දෙයක් ආරංචි උනොත් මට කතා කරන්න.”

පැය දෙක හමාරක පමණ ගුවන් ගමනකින් පසුව රුසිරු රැගත් යානය කයිරෝ නගරයේ ගුවන වෙතට ලඟා විය. වසර දහස් ගණනක සිට අද දක්වාම ලෝක ඉතිහාස කථා පොතේ ප්‍රධාන චරිත රඟපෑ ගෙසිරා දූපත මැදි කර ගලා යන නයිල් නදී කුමරියන් ගුවනේ සිට බැලූ කළ හිරු එලියට බැබලෙමින් අලංකාරව පෙනේ.

“අස් සලාමු අලය්කුම්.” 

“වඅලය්කු මුස්සාලම්.”

පැළඳ සිටි අරාබි ඇඳුම හේතුවෙන් ආගමන නිලධාරියා රුසිරුට සුබ පැතුවේ සම්ප්‍රදායික අරාබි ක්‍රමයටයි. කිසිඳු අමතර ගැටලුවකින් තොරව ගුවන් තොටෙන් පිටතට පැමිණි රුසිරු නිරීක්ෂණය කළේ පෙර තරම් විදේශ සංචාරකයන් කයිරෝ නුවරට පැමිණෙන්නේ නැති බවයි. වසර ගණනාවකට පෙර ඊජිප්තුවේ සිදුවුණු විප්ලවය මෙයට අනිවාර්යයෙන්ම හේතු සාධකවී තිබෙන්නට පුළුවන. කෙසේ නමුත් තදබදයකින් සහ දිගු පෝලිම් වලින් තොර සංචාරයකට නම් මෙය කදිම සමයකි.

නිවාඩු පාඩුවේ නැරඹීම සඳහා දහසකුත් දේ කයිරෝ නුවර තිබුණද අද දින රුසිරු පැමිණියේ ආගමන නිලධාරියාට දැනුම් දුන් පරිදි සංචාරය සඳහා නම් නොවේ. විනාඩි කිහිපයක් මිල ගණන් වාද විවාද කිරීමෙන් පසුව සේවය ලබා දීම සඳහා පොර කමින් සිටි කුලී රියදුරන්ගෙන් එක් අයකු තෝරා ගත් රුසිරු වාහන තදබදයෙන් සහ දූවිල්ලෙන් පිරී ගිය කයිරෝ නුවර මාර්ගයන් තරණය කිරීමට කුලී රථයට ගොඩ වූයේය.

සංචාරකයින්ගේ හිඟ බව හේතුවෙන් දෝ පෙර දවස පැවති කයිරෝ නගරයේ දීප්තිමත් කඩිසර ස්වභාවය වෙනස් වී තරමක් අඳුරු මලානික පෙනුමක් ගෙන ඇත. 

කළු සහ සුදු පැහැති වර්ණයෙන් හැඩ ගැන්වූ මෙම කුලී රථය ධාවනය කරන රියදුරා අරාබි භාෂාවෙන් කුමක් හෝ දිගින් දිගටම මුමුණන නමුත් රුසිරුට කිසිවක් නොතේරේ. වහා සිය දුරකථනය හා රුසිරු සම්බන්ධ වූයේ රියදුරාගේ නොනවතින කරදරයෙන් නිදහස් වීමටයි.

“හලෝ සුජී. ඔයා මම කිව්වා වැඩ ටික කළාද?”

“ඔව් රුසිරු. ඔයා කියපු විදිහට ඊජිප්තු කෞතුකාගාරයේ නිලධාරීන්ට මම දැනුම් දීලා තියෙන්නේ.”

වෙනදා දුරකථන ඇමතුමක් ගත් විට විහිළු තහළුවෙන් පිරුණු රුසිරු අද දින රාජකාරිව පමණක් ඇමතීම සුජීට ප්‍රශ්නයකි.

“ඔයා හොඳින්ද?”

“ඔව් සුජී.”

දුරකථන ඇමතුම විසන්ධි කළත් කෙතරම් අවංකව එකී ප්‍රශ්නයට සිය පිළිතුර දුන්නේද යන්න ගැන නම් රුසිරු නැවත සිතා බැලුවේ නැත.

පැයකට වඩා ගතවූ ගමනින් පසු කයිරෝ කෞතුකාගාරය වෙතට රුසිරු රැගත් කුලී රථය ලඟා විය. පැවැති වාහන තදබදය හේතුවෙන් පොරොන්දු මුදලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටි රියදුරාගෙන් රුසිරු ගැලවුණේ සංචාරක පොලිස් නිලධාරියකු ළඟ පාතක සිටි නිසාය.

Take a food journey around the world

පාරාවෝ පිළිරූ වලින් සැරසුණු අලංකාර දිය පොකුණු සහිත උද්‍යානය පසු කරමින් කයිරෝ නුවර ඊජිප්තු කෞතුකාගාරයේ ඉදිරිපස මහේශාක්‍ය පෙනුමැති සුවිශාල ප්‍රධාන දොරටුවෙන් රුසිරු ඇතුළු වූයේ කෞතුකාගාරයේ කාර්යාලය වෙතට ඇති පිවිසුම දෙසටයි. 

සිතූ අයුරින් වෙනදා දකින දිගු පෝලිම් නැත. මෙකී හේතුවෙන් විශාල තදබදයක් කෞතුකාගාරය තුල දක්නට නොලැබිණි. කෙසේ වුවද එකී කාරණය රුසිරුගේ අවාසියට හේතු වූයේ අඩු පිරිසක් මැදින් වඩාත් පරික්ෂාවෙන් ගමන් කළ යුතු නිසාය. එයට හේතුව නම් ලන්ඩන් සිට පැමිණි ගුවන් යානයේදී මෙන් අනෙකුත් කණ්ඩායම මෙහි සිටීද හෝ නොසිටීද යන්න නිශ්චිතවම රුසිරු නොදන්නා බැවිනි.

“මම රුසිරු.”

“ඔව් අපිට ඔබ එන වග දැනුම් දුන්නා. වාඩි වෙන්න. ඒ වගේම අපි ඔබගේ ආයතනය අහපු විදිහෙ උපකරණයක් ගැන හොයලා බැලුවා. ඒත් තවමත් ඒ ගැන ගැලපෙන හෝඩුවාවක් කෞතුකාගාරයේ භාණ්ඩ සටහන් එක්ක හොයා ගන්න අමාරුයි.”

රුසිරු ඉදිරිපස ආසනයේ ඉඳ ගන්නා අතරතුරද නිලධාරියා පරිගණකය දෙස නෙත් යොමමින් එය නොනවත්වාම ක්‍රියාත්මක කරමින් කියා සිටියේය.

“මේ කෞතුකාගාරයේ භාණ්ඩ එක්ලක්ෂ විසිදාහකට වැඩිය තියෙනවා. ඒ හැම එකක්ම අපි පරිගණක ගත කරලා තියෙන්නේ. විවිධ ආකාර වලට ඔය කියපු දේ අපිට හොයන්න පුළුවන්. පින්තූර, හැඩය, කාලය සහ බර වගේ. ඒත් තාම අපිට ඒ කියපු විස්තර වලට සමාන දෙයක් පේන්න ලැබුණේ නැහැ.”

“මට පුළුවන්ද පොඩ්ඩක් පරිගණකයට ඇතුල් වෙන්න?”

“කිසිම ගැටලුවක් නැහැ රුසිරු. උත්සහ කරලා බලන්න.” 

ඊජිප්තු කෞතුකාගාර නිලධාරියා නැගිට ඔහු සිටි ආසනය රුසිරු වෙත ලබා දුන්නේය. පැයකට වැඩි කාලයක් පුරා පරිගණකයේ තිබෙන දත්ත සහ ඡායාරූප පරීක්ෂාකර බැලූ නමුත් මහාචාර්යතුමාගේ ස්ථූපය හා සමාන කිසිවක් මෙහි පෙනෙන්නට නොමැති බව රුසිරුට වැටහුණි. මෙහි විස්තර නොගැලපේ නම් අදාල තොරතුරු මහාචාර්යතුමා කෙලෙස ලබා ගන්න ඇතිද?

රුසිරු පරිගණකයත් සමඟ ඔට්ටු වන අවස්ථාවේ සම්ප්‍රදායික අරාබි ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු කිහිප වතාවක් ඔහු සිටි කාමරය තුලටම පැමිණ රුසිරු පිළිබඳ රහසේ විමසිලිමත් වන අයුරු ඔහුගේ තියුණු දෙනෙතේ සටහන් විය. අනතුරක සේයාවක් පැහැදිලිව නොපෙනුණු නමුත් රුසිරු වඩාත් ප්‍රවේශම් වූයේ කොයි මොහොතක කොයි ආකාරයට මෙම කණ්ඩායම ක්‍රියාත්මක වේදැයි නොදැන සිටි නිසාවෙනි.

“මේ පරිගණකයේ කෞතුකාගාරයේ තියෙන හැම භාණ්ඩයකම දත්ත තියෙනවද?”

“ඔව් රුසිරු. මේ ඊජිප්තු කෞතුකාගාරයට අයිති සියලුම භාණ්ඩ වල විස්තර ඔය පරිගණකයේ තිබෙනවා.”

“කොයි කාලෙද මේකට දත්ත ඇතුලත් කරලා තියෙන්නේ?”

“වැඩි කාලයක් නැහැ, ඒ වගේම අපි නිතරම මේ දත්ත එක්ක අපේ ගබඩාව පරීක්ෂා කරලා බලනවා.”

“මේකේ දත්ත වෙනස් වෙන්නේ කොහොමද?”

“මේ භාණ්ඩ වෙනත් තැන් වලට අරගෙන යන්නේ නැත්නම් ලොකු වෙනස්කමක් වෙන්නේ නැහැ.”

“ඒ කිව්වේ?”

“ගීෂා පිරමීඩ කිට්ටුව අපි අලුත් කෞතුකාගාරයක් හදනවා. ඒකෙ වැඩ දැන් ගොඩක් ඉවරයි වගේම සමහර කොටස් දැනටමත් ප්‍රදර්ශනයට විවෘත කරලා තියෙන්නේ. හදලා ඉවර උනහම ලෝකෙ ලොකුම කෞතුකාගාරය වෙන්නේ ඒක තමයි.”

ඊජිප්තු ජාතිකයන්ටම ආවේනිකවූ සාඩම්බර උස් ස්වරයකින් යුතුව නිලධාරියා රුසිරුට පවසා සිටියේය.

“අපි ඒ කෞතුකාගාරයට මේ කෞතුකාගාරයේ තියෙන ඔක්කොම දේවල් ඉස්සරහට අරගෙන යන්න සැලසුම් කරලා තියෙන්නේ. එච්චරටම හිතා ගන්න බැරි තරම් ලොකුයි ඒක. දැනටමත් සෑහෙන දේවල් ප්‍රමාණයක් අරන් ගිහිල්ලා තියෙනවා.”

“ඒ අරන් ගිය දේවල් මේ පරිගණකයේ විස්තර ලේඛන වල තියෙනවද?”

“නැහැ. දැනට මෙහෙ ඉතුරු වෙලා තියෙන භාණ්ඩ විතරයි මෙහෙ පරිගණක ගත කරලා තියෙන්නෙ. අරගෙන ගිය අනිත් දේවල් සුපිරිම තාක්ෂණයට එහෙ පරිගණක ගත කරලා තියෙනවා.”

“ඒ කෞතුකාගාරයත් පාලනය වන්නේ ඔබගේ දෙපාර්තමේන්තුවෙන්ද?”

“ඔව් රුසිරු. ඒකට යන්න විශේෂ අවසරයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.”

“කොච්චර දුරද ගීෂා කෞතුකාගාරයට මෙතන ඉඳන්?”

“ගඟෙන් එහා පැත්තේ. ටැක්සියකින් විනාඩි තිහකින් වගේ යන්න පුළුවන් වෙයි. වැඩි දුරක් නෑ.”

කලින් දුටු සැක කටයුතු පුද්ගලයා නැවතත් කාමරයේ දොර අසල සැරි සරන බව පෙනේ. 

“මම ඒ කෞතුකාගාරයට හෙට එනවා කියලා දැනුම් දෙන්න පුළුවන්ද මහත්මයා.”

“කිසිම ගැටළුවක් නැහැ රුසිරු මම අදම දැනුම් දෙන්නම්. ඔයාගේ ඔය තියන අවසර පත්‍රයෙන්ම යන්න පුළුවන්.” 

රුසිරු නැවත අවට විමසමින් නිලධාරියා වෙතින් සුහදව සමු ගත්තේය. මෙතෙක් රැඳී සිටි විශේෂ කාර්යාලයේ සිට ප්‍රධාන ගොඩනැගිල්ලෙන් පිටතට යාම පිණිස සෑහෙන දුරක් ප්‍රදර්ශන කුටි හරහා යා යුතුව ඇත.

ප්‍රදර්ශන කුටි නරඹන සංචාරකයකු සේ සෙමෙන් ඉදිරියට ඇවිද ගිය රුසිරු දුටුවේ සිතූ පරිදිම ඉහත කී පුද්ගලයා තමා පසු පස එන වගයි. තීරණයක් ගත යුතුව ඇත. 

රුසිරු වහාම සිය දිශාව වෙනස් කරමින් එකී පුද්ගලයා පැමිණෙන දෙස වෙතටම යන්නට පටන් ගත්තේ කෞතුකාගාරය තුල ඇති ආරක්ෂාව විශ්වාස කරමින් සහ මේ පැමිණෙන පුද්ගලයා කවුරුන්දැයි කිට්ටුවෙන් හොඳින් දැක බලා ගැනීමටය.

තමා දෙසට හනි හනිකට පැමිණෙන රුසිරු දුටු සැක කටයුතු පුද්ගලයාද වහා ඔහුගේ දිශාව වෙනස් කරමින් සනීපාරක්ශක පහසුකම් ඇති පෙදෙස් කරා දිව ගොස් නොපෙනී ගියේය.

“පුරුෂ” 

අරාබි සහ ඉංග්‍රීසි භාෂාවෙන් නම් කර ඇති කාමරය තුලට ඇතුළුවූ රුසිරු වඩාත් විමසිලිමත් වූයේ හදිසි ගැටුමකටයි. මන්දයත් මේ පරිශ්‍රයේ ආරක්ෂක කැමරා සවි කර නොමැති නිසා එකී වාසිය අනෙක් තැනැත්තා ලබා ගනු ඇතැයි සිතූ බැවිනි. එසේ පෙර සූදානම් වුවද මේ පුද්ගලයා ගැටුමකට නොපැමිණ සිය අනන්‍යතාවය සඟවන අටියෙන් එක පෙලටවූ වැසිකිලි අතරින් එකක දොරද වසා ගෙන සිටින බව රුසිරු වහා තේරුම් ගත්තේය.

වහා සිය සැලැස්ම වෙනස් කළ රුසිරු තම ගමන් මල්ලේ ආරක්ෂාව වෙනුවෙන් යොදා සිටි ඉබ්බා රැගෙන සැක කටයුතු පුද්ගලයා සැඟවී සිටි වැසිකිලියේ දොරට ශබ්ද නොනැගෙන සේ පිටතින් අගුලු දැමීය. ඉන්පසු උපරිම ප්‍රමාණයට වැසිකිලි පේලියට විරුද්ධ පැත්තේ ඇති කිට්ටුම ජල කරාමය විවෘත කළේ හොඳින් හඬ ඇසෙන පරිදිය.

“දෙවියනේ මේ ඊජිප්තු බාල වැඩ. මුළු කලිසමම තෙතයි.”

පිරිසිදු කරන භාණ්ඩ තබා තිබූ කෙළවර කුටියේ ඇති කොස්සක් ගෙන විදුලියෙන් අත වියලන යන්ත්‍රය දිගටම නොනැවතී ක්‍රියා කරන සේ එය යටින් තැබුවේ තවමත් මෙහි රැඳී සිටින බව වැසිකිලිය තුල සිටින පුද්ගලයාට හැඟවීමටයි. මේ කාලය ප්‍රයෝජනයට ගෙන හැකි තාක් දුරක් ආරක්ෂිතව මොහුගෙන් ඉවතට යාම රුසිරුගේ හදිසි තීරණයයි.

දිව යමින් කෞතුකාගාරයෙන් එළියට පැමිණි රුසිරු ප්‍රධාන මාර්ගයේ  තදබදයට හසුව තිබූ රතු පැහැති බස් රථයක් වෙතට ගොඩවී බසයේ ජනේලයෙන් නැවතත් කෞතුකාගාරයේ දොරටුව දෙස බැලුවේ කලබලයක සේයාවක් ඇතිදැයි සොයා බැලීමටයි.

ගීෂා කෞතුකාගාරය

බස් රථයේ රියදුරු අරාබි භාෂාවෙන් කෑගසනු ඇසේ. අසල ආසනයේ සිටි පුද්ගලයා රුසිරුට ටිකට් ලබා ගන්නා ලෙස හස්ත සංඥාවෙන් පෙන්නා සිටියේය. ටිකට් ලබා ගැනීමට යා යුතු බස් නැවතුම් පොලක්වත් රුසිරු දන්නේ නැත.

“ගීෂා කෞතුකාගාරය.”

රියදුරා අරාබි භාෂාවෙන් මොන මොනවාදෝ කියනු ඇසේ. එය නොතේරෙන බව හස්ත සංඥාවෙන්ම රුසිරු කියා සිටියේය.

“එම් 7.”

හිස් ටිකට් පතක ලියූ අකුර සහ අංකය සමඟ බැස ගැනීමට අසල ඇති බස් නැවතුම්පොල රියදුරු විසින් රුසිරුට පෙන්වා සිටින ලදී. මෙය ලබාගත යුතු බස් රථ අංකය විය යුතුය. බස් රථයෙන් බැස රුසිරු ළඟම නවතා තිබූ කුලී රථයකට ගොඩ වූයේ කයිරෝ කෞතුකාගාරය පිහිටි ප්‍රදේශයෙන් වහාම ඉවත්ව යාමටයි.

සොරුන් මේ වන විටත් කයිරෝ නුවර නම් ගීෂා කෞතුකාගාරය වෙත යාම හෙටට කල් දැමිය නොහැක. ඒ හේතුවෙන් රුසිරු කුලී රථ රියදුරු වෙත දැනුම් දුන්නේ ගීෂා කෞතුකාගාරය වෙතට යන ලෙසටයි. මේ වන විටත් ඊජිප්තු කෞතුකාගාර නිලධාරියා විසින් තමා එහි එන බව දැනුම්දී ඇති බැවින් කිසිඳු ගැටලුවක් ඇති නොවේ යැයි වැඩිදුරටත් රුසිරු කල්පනා කළේය.

පැය භාගයක පමණ ගමනින් පසුව නවීන පෙනුමැති විශාල ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිරිපිට කුලී රථය නතර කරන ලදී. රියදුරු වෙත මුදල් ගෙවා බැසීමට පෙර රුසිරු අවධානයෙන් වටපිට නෙත් යොමා බැලුවේ කිසියම් හෝ සැක කළ හැකි අනතුරුදායක ලකුණක් ඇත්දැයි විමසිලිමත් වෙමිනි.

නවීන ගොඩනැගිල්ලට පිටුපසින් අත්‍යාලංකාරයෙන් බැබලෙන ගීෂා පිරමීඩයන් අතිශය දැකුම්කළු සේම සියවස් ගණනක් තිස්සේ ඊජිප්තු ජාතිකයන් හට සැබවින්ම ආඩම්බර විය හැකි විශිෂ්ඨ දසුනකි. ඈත අතීතයේ ඊජිප්තු රාජ්‍යය පාලනය කළ පාරාවෝ පරපුරේ මෙකී ශ්‍රේෂ්ඨ නිර්මාණය තවත් වසර දහස් ගණනක් ලොව පුරා සංචාරකයන්ගෙන් නෙත් සිත් පිනවනු නොඅනුමානය. 

මෙම කෞතුකාගාරය ඇතුලතද විස්තර කළ අයුරින්ම අති නවීන පෙනුමකින් යුත් සුවිශාල නිර්මාණයකි. ආලින්දයක තරමක් දිගු පා ගමනකින් පසු විවෘත කාර්යාල ප්‍රදේශයකට ඇතුළුවූ රුසිරු ආයතනයේ ප්‍රධාන නිලධාරියා මුණ ගැසීමට එහි ඇති පිළිගැනීමේ මේසයෙන් අවසර ඉල්ලා සිටින ලදී. මේසය ඉදිරිපිට කාර්යබහුල අනාරක්ෂිත පරිසරයේ ගත වන සෑම තත්පරයක්ම රුසිරුට දැනුනේ කල්පයක් ලෙසයි. 

විනාඩි පහළොවක පමණ කාලයකට පසු ප්‍රධාන නිලධාරියා මුණ ගැසීමට රුසිරුට අවසර ලැබුණ අතර මේ වන විටත් කයිරෝ ඊජිප්තු කෞතුකාගාරයේ නිලධාරියා විසින් රුසිරු පිළිබඳ සියලු විස්තර මෙම කෞතුකාගාරයට වෙතට දැනුම් දී තිබූ බැවින් අනන්‍යතාවය ඉදිරිපත් කිරීම හැරෙන්නට වෙනත් අලුත් අවශ්‍යතාවයක් නම් ඇති වූයේ නැත.

“කයිරෝ ඊජිත්තු ප්‍රධාන කෞතුකාගාරය වගේ අපි තවමත් ලොකුවට සංවිධානාත්මක නෑ. මේ වෙනකොට සම්පූර්ණ පද්ධතියම එකට පරිගණක ගත කරලත් නැහැ, ඒත් වෙන වෙනම විස්තර ඒ ඒ ප්‍රදර්ශන කුටි සහ පර්යේෂණ පවතින තැන්වල පරිගණක ගත කරලා තියෙනවා. ඒක නිසා මේක ටිකක් වෙලා යන වැඩක් වෙයි. රුසිරු කැමති තැනකින් පටන් ගන්න. දැනට ඒ විස්තර අපේ පරිගණක 14ක තියෙනවා.”

“පරිගණක 14ක්?”

“ඔව්. මේ කෞතුකාගාරයේ ගොඩනැගිලි විතරක් වර්ග අඩි ලක්ෂ පනහකට එහා. සම්පූර්ණ භූමියම අක්කර එකසිය විස්සක්. ඔක්කොම එකම පද්ධතියකට එක පාර ගන්න එක ලේසි නැහැ. වැඩ ඉවර වෙනකොට අපිට තව අවුරුදු දෙක තුනක්වත් යයි.”

“මම කොහෙන්ද පටන් ගන්න හොඳ?”

“10 වෙනි ශාලාවේ ඊජිප්තු නොවන නමුත් පාරාවෝ කාලයට සම්බන්ධව ඊජිප්තුවෙන් සොයාගත් භාණ්ඩ පිලිබඳ අපේ එකතුවක් තියනවා. මේවා ගොඩක් වෙලාවට ජාත්‍යන්තර වෙළඳ සබඳතා නිසා පාරාවෝ මිලදී ගත් හෝ තෑගි හැටියට ලැබුණු දේවල්. එතනින් පටන් ගන්න.”

“ශාලා අංක 10?”

“ඔව්. ඒක බාරව ඉන්නේ ඩොක්ටර් වසීම්. අපේ ආයතනයේ ඉන්න පරණම සේවකයෙක්. මම දැනුම් දෙන්නම්.”

“බොහොම ස්තුතියි මහත්මයා.”

Book travel visa at iVisa.com

ශාලා අංක 10

ප්‍රධාන නිලධාරියා විසින් ලබා දුන් විස්තර අනුව ශාලා අංක 10 සොයා ගැනීම සිතූ තරම් අපහසු වූයේ නැත. තවමත් කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන බැවින් විශාල කම්කරුවන් ප්‍රමාණයක් සේවයේ යෙදී සිටියේය. සැක කටයුතු කිසිවෙකු දැනට නම් පෙනෙන්නට නැත. අංක 10 යනුවෙන් සටහන් ඇති විශාල නාම පුවරුවක් සහිත ගොඩනැගිල්ල පැහැදිලිව පෙනේ. ගොඩනැගිල්ලට ඇතුළු වන ස්ථානයේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙක් සමඟ පුද්ගල ස්කෑන් යන්ත්‍ර 02ක් පෙනෙන්නට ඇත. 

“ඩොක්ටර් වසීම් හම්බ වෙන්න.”

දුරකථන ඇමතුමක් ලබා ගත් ආරක්ෂක නිලධාරියා ඔහු දැනට කාමරයේ නොමැති බවත් පැය බාගයක පමණ කාලයකින් ආචාර්යවරයා මුණ ගැසිය හැකි බවත් කියා සිටියේය. ශාලා අංක 10 වෙත ඇතුළුවූ රුසිරු එහි ප්‍රදර්ශනයේ තබා ඇති භාණ්ඩ පරික්ෂා කළේ ආචාර්යතුමා පැමිණෙන අතරතුර යම් කිසි හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවේදැයි යන බලාපොරොත්තුව ඇතිවය.

“සුබ සන්ධ්‍යාවක් රුසිරු.”

පැහැදිලි සිංහල බසින් තමාට සුබ පැතු පුද්ගලයා දුටු රුසිරු තිගැස්සී ගියේය.

“බය වෙන්න දෙයක් නැහැ. මම ඩොක්ටර් වසීම්.”

රුසිරු ඉදිරිපිට සිටිනුයේ ඊජිප්තු කෞතුකාගාරයේ වැසිකිලිය තුල මීට පැය කිහිපයකට පෙර ඔහු විසින් සිර කර දැමූ පුද්ගලයාය. 

“පොඩි කරදරයක් උනා. ඒකයි පරක්කු උනේ.”

ආචාර්ය වසීම් හෝ ඔහු නමින් පෙනී සිටින පුද්ගලයා සිනහ වෙමින් කියා සිටියේය. රුසිරු සිටියේ කෝකටත් සූදානමින්ය. පරිපාලන කාර්යාලය දෙසට ගිය ආචාර්ය වසීම් ඔහුගේ ඇඟිලි සලකුණු උපයෝගී කරගෙන දොර විවෘත කළේය. මේ නම් ආචාර්ය වසීම් විය යුතුමය. රුසිරුගේ සැක සංකා සියයට සෑහෙන ප්‍රමාණයකින් අඩු වුවත් සම්පූර්ණයෙන්ම පහව ගියේ නැත. 

“ඉඳගන්න රුසිරු.”

“ඩොක්ටර් වසීම්?”

“ඔව්. මම තමයි ඩොක්ටර් වසීම්.”

“සිංහල කතා කරන්නේ, ඔබතුමා ලංකාවේද?”

“ඒක දිග කතාවක්. ඒ වගේම රහසක්. ඉස්සෙල්ලාම රුසිරු ඊජිප්තුවට ආවේ ඇයි කියලා මට කියන්න පුළුවන් නම් මගේ කතාව කියන එක ගැන සලකා බලන්නම්.”

පරීක්ෂණය ඉදිරියට ගෙන යාමට නම් මේ පුද්ගලයා සම්පූර්ණයෙන් විශ්වාස කළ යුතුය. එහෙත් තවමත් රුසිරුට මේ පුද්ගලයා කවුරුන්ද යන්න සියයට සියයක් විශ්වාස නැත.

“සමාවෙන්න ඩොක්ටර් වසීම් මෙහෙම කියනවට. ඔබ තුමාගේ හැඳුනුම්පතක් ළඟ තිබෙනවද?”

ආචාර්යවරයා සිනහසෙමින් සිය රාජකාරි හැඳුනුම්පත රුසිරුට ඉදිරිපත් කළේය. රුසිරුගේ සිත හරියටම සැනසුනේ මෙවිටයි.

සම්පූර්ණ විස්තරය ටොලමිගේ සිතියම පිලිබඳ සඳහනක් නොමැතිව රුසිරු විසින් කෙටියෙන් ආචාර්ය වසීම් හට විස්තර කර සිටියේ කයිරෝහි සිදුවූ සිදුවීමට සමාව අයදිමිනි.

“ඇයි ඔබතුමා මගේ පස්සෙන් ආවේ?”

“ඒක දිග කතාවක් රුසිරු, මම ඉතාම කෙටියෙන් කියන්නම්. මම ඊජිප්තු ජාතිකයෙක් වුණාට අපේ මුල් පරම්පරාව ජීවත් වෙලා තියෙන්නෙ ලංකාවේ. අවුරුදු සෑහෙන ගණනකට, ඒ කියන්නේ අවුරුදු එක්දහස් පන්සීයකට වගේ කාලෙකට කලින් සිදුවුනු විශේෂ සිදුවීමක් නිසා අපේ පරම්පරා කිහිපයක් ඒ දවස් වල රෝම අධිරාජ්‍යයේ කොටසක් වෙලා තිබුණු ඊජිප්තුව හෙවත් මිසරයට ආවා. ඇවිත් පදිංචි උනා. ඒ වගේම රුසිරු ඔයා හොයන ස්ථූපය අපි ආරක්ෂිතව මෙහෙ තියාගෙන ඉන්නවා. ඒක තමයි අපිට අවුරුදු එක්දාස් පන්සියයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට පැවරිලා තියෙන රාජකාරිය.”

“1835 අවුරුද්දේ ඊජිප්තු කෞතුකාගාරය හැදුවාට පස්සේ අපි ඒ උපකරණය කෞතුකාගාරයට භාර දීලා, පුරා විද්‍යාව පිළිබඳව හදාරලා, කෞතුකාගාර සේවකයන් වශයෙන් සේවයට බැඳුණා.”

“අපි ලොකු විස්තරයක් දන්නේ නැහැ. ඇයි මේ ස්ථූපය ආරක්ෂා කරන්න ඕනි කියලා. ඒත් අනිකුත් ඊජිප්තු ජාතිකයන්ට වඩා අපි වෙනස් නිසා සහ වෙනස් භාෂාවක් කතා කරන්න දන්නා නිසා, මේ චාරිත්‍රය අපි කවදාවත් වෙනස් කරල නැහැ.” 

“මම ආවහම ඇයි ඔබතුමන්ලා කලබල උනේ?”

“විවිධ කාලවල මේ ස්ථූපය හොරකම් කරන්න ගොඩක් අය උත්සහ කලා. ඒක නිසා මේ සම්බන්ධව කවුරුහරි උනන්දු වෙනවා නම් අපි හැම වෙලාවෙම හොයල බලනවා. ඒ වගේම ගිය දවස් වල මේ වගේම උපකරණයක් නැතිවෙලා කියලා එංගලන්තෙන් ලැබුණු ආරංචියක් එක්ක අපි ගොඩක් ලෑස්ති වෙලා හිටියේ.”

“ඔබතුමා මහාචාර්ය එඩ්වඩ් අඳුරනවා ද?”

“ඔව්, ඔහු මගේ හොඳම යාළුවෙක්.”

“එතුමා කිව්වද ඇයි මේ ස්ථූපය ආරක්ෂා කරන්න ඕනේ කියලා.”

“නැහැ. එහෙම කියලා නැහැ. ඒත් කීප වතාවක්ම එතුමා ඇවිල්ලා පරීක්ෂණ කළා. පැහැදිලි විස්තරයක් අපිට දුන්නේ නැහැ. එතුමා නිසා තමයි අපි දැනගත්තේ මේ වගේ තව ස්ථූප තියෙනවා කියලා.”

“මට ස්ථූපය බලන්න පුලුවන්ද?”

“කිසිම ගැටළුවක් නැහැ රුසිරු. අපි යමු.”

බැංකුවක මෙන් දැඩි ආරක්ෂාවක් සපයා තිබූ සේප්පු පෙලක් වෙතට, ආචාර්ය වසීම් විසින් රුසිරුව රැගෙන යන ලදී.  

“ඔය අංක 13-ඩී කියලා තියෙන සේප්පුවේ තමයි ස්ථූපය තියෙන්නේ අපි මේක ප්‍රදර්ශන භාණ්ඩයක් විදියට කලින් කලට පෙන්නනවා. ඒත් ස්ථීර ප්‍රදර්ශන භාණ්ඩයක් විදියට නම් තියන්න දෙන්නෙ නැහැ. ඒ වගේම ලැයිස්තු ගත කරලත් නැහැ.”

ආචාර්ය වසීම් විසින් සේප්පුව විවෘත කොට ස්ථූපය රුසිරු හට පෙන්වා සිටින ලදී. මහාචාර්යතුමා පැවසූ ලෙසම මෙය උපකරණයක කොටසක් ලෙස පෙනෙන බව රුසිරුට වහා වැටහී ගියේය. නමුත් පිටතින් උඩුකුරුව තැබූ විට එය බෞද්ධ ආගමික වස්තුවකට සමාන බව පැහැදිලිව පෙනේ.

“ඔබතුමා හිතන්නේ මේකට තියන ආරක්ෂාව ඇති කියලද?”

“ඔව් රුසිරු, අපි මේක අවුරුදු එක් දහස් පන්සියයක් තිස්සේ ආරක්ෂා කළා නම්, තවමත් අපිට ඒක කරන්න පුළුවන්. අනික මම විතරක් නෙවෙයි, මේ කණ්ඩායමේ ඉන්නවා සිංහල කතා කරන මම වගේ, අපේ පරම්පරාවට අයිති තව ඊජිප්තු ජාතිකයෝ සියයකට කිට්ටුව. මේ ස්ථූපය ආරක්ෂා කර ගන්න. හැම අලුත් පරම්පරාවකම කිහිප දෙනෙක් අපි තෝරගෙන ඔවුන්ට සිංහල භාෂාවත් අපේ චාරිත්‍රයත් කියලා දෙනවා. ඒ විදිහට තමයි අපි මේ දෙය නොකැඩී මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන ආවේ.” 

ආචාර්ය වසීම් විස්තර කළේ ස්ථූපය නැවත සේප්පුව වෙත දමා එය අගුලු දමන අතරතුරය.

“අපි හොයා ගන්න ඕනේ නැද්ද ඇයි මේක ආරක්ෂා කරන්නේ කියලා ඩොක්ටර් වසීම්?”

“ඒ ගැන ගොඩක් පරණ පුස්කොළ පොතක් තිබ්බා අපි සතුව. ඒත් ඒක කියවන්න බැරි තරම් දිරාපත් වෙලා තියෙන්නේ. මම හිතන විදිහට තවත් පුස්කොල පොත් හරි වෙනත් ලියකියවිල්ලක් හරි අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක ගැන තමයි මහාචාර්යතුමා මෙහෙට ආවහම ගොඩක් හොයල බැලුවේ.”

ගිනි අනතුරු ඇඟවීමේ සීනුව නාද වනු ඇසේ. 

“පුහුණුවක් වෙන්න ඇති රුසිරු, බය වෙන්න දෙයක් නෑ. අපි මෙහෙම ඉමු.”

මොහොතක් ගතවීමට පෙර ආරක්ෂක නිලධාරීන් කාර්යාලය වෙත දිව පැමිණියේය.

“සර්, එහා පැත්තේ ගොඩනැගිලි කොටසේ ගින්නක්, ඉක්මණට එළියට යමු.” 

සියලුම ආරක්ෂක විධිවිධාන සේප්පු වෙත යොදා ඇති බව තහවුරු කරගත් ආචාර්යත වසීම් රුසිරුද සමඟ ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණියේය.

“පුහුණු වීම් උනාට, ගින්නක් ගැන ඇහුවමයි රුසිරු, මට පොඩි සැකයකුත් හිතට දැනෙනවා.”

“සමහරවිට ඉදිකිරීම් කටයුතු හින්දා වෙන්න ඇති ඩොක්ටර්.”

“ඒක ඇත්ත. කෝකටත් මම නම් වැඩිය ඈතකට නම් යන්නේ නැහැ. ඒ වගේම අනිත් අයටත් මම පණිවිඩයක් යවන්න ඕනේ.”

කයිරෝ නගරයේ ගිනි නිවන හමුදාව ඇතුළු පොලිස් රථ විනාඩි කිහිපයක් ගතවීමට පෙර  කෞතුකාගාරය වෙත පැමිණියේය. තත්ත්වය පාලනය කිරීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. වාසනාවකට මෙන් කිසිඳු ප්‍රදර්ශන භාණ්ඩයකට හානියක් සිදුව තිබුණේ නැත. ගින්න පාලනය කොට විනාඩි දහයකට පහළොවකට පමණ පසු නැවත ගොඩනැගිල්ලට ඇතුළුවීම සඳහා අවසර ලැබුණි.

ලැබුණු අවසරයෙන් ආචාර්ය වසීම් වහාම ඇවිද ගියේ ඒ වන විට පැමිණ සිටි සගයන් කීප දෙනෙකු සමඟ සේප්පු කාමරයටයි. රුසිරු ආචාර්ය වසිම්ගේ කාර්යාලයේම රැඳී සිටියේය.

සේප්පු කාමර දෙසින් පිරිසක් අරාබි බසින් කෑගසනු ඇසේ. රුසිරු වහා සේප්පු දෙසට ඇතුල්වීමේ දොර විවෘත කරගෙන කාමරය දෙසට දිව ගියේය.

“ඇයි, ඩොක්ටර් වසීම්, මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“ඔව් රුසිරු ලොකු ප්‍රශ්නයක්. මං හිතුවා හරි, කවුරුහරි ස්ථූපය හොරකම් කරලා.”

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

Logo 468x60

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *