මා ඔබ ගැන දන්නේ කුඩා කල සිට කාශ්‍යප, රාජකීයන් සියලුම දෙනාට වඩා ඔබ කලාකාමී ශ්‍රේෂ්ඨ නායකත්වයක් ඇති චරිතයක්.

“කිමෙක්ද තොප මේ සිදු කළේ?”

කලාවැව අසබඩ මිගාරගේ අශ්වාරෝහක සෙබළුන් වට කර සිටි කාශ්‍යප කුමරුන් පිටතින් පෙනෙන්නට ඇති පරිදි පසින් සහ මඩින් පිරී තිබුණු විනාශවී ගිය ධාතුසේන රජුගේ තාවකාලික නවාතැනේ පිවිසීමේ උමං මාර්ගය දෙස බලමින් අසා සිටියේය.

“මා සිදු කළ කිසි දෙයක් නොමැත කාශ්‍යප කුමරුනි.”

මොහොතකට පෙර සිදුවූ විශාල ශබ්දයෙන් තවමත් තැති ගැන්වී සිටින තම අශ්වයා පාලනය කර ගන්නා අතරතුර මිගාර කියා සිටියේය.

“සිදු කළ කිසි දෙයක් නොමැතිනම් කෙලෙසද උමග කඩා වැටී පිය රජු අතුරුදහන් වන්නේ?”

“මං දැනටමත් පණිවිඩකරුවකු පිටත් කර යවා ඇත්තේ සොයුර, තව සුළු මොහොතකින් වැඩකරුවන් මෙතනට පැමිණෙනු ඇති උමග පිලිසකර කිරීමට.”

“නුඹ නොවේද මේ සියල්ල සැලසුම් කළේ?”

“කුමන සැලසුමක්ද?”

“උමග කඩා වැටීමට?”

“ඔබගේ බස් මට නොතේරේ කුමරුනි, අඩුම තරමින් ධාතුසේන රාජෝත්තමයාණෝ උමග තුල සිටීද වත් අප නොදනී.”

“ඔබයි මේ වැඩපළ භාරව සිටියේ?”

“මා අවිශ්වාස නොකරනු සොයුර, එවන් කිසිඳු සැලසුමක් මා සිදු නොකළෙමි.” 

“එසේ නම් මා මේ මොහොතේ බලාපොරොත්තුවූ පිය රජු කොහෙද?” 

“ඔබ එන මඟ ධාතුසේන රජතුමාගේ සෙබළු කිහිප දෙනෙක් රැඳී සිටියා. ඔබේ උපදෙස් පරිදි මා ඔවුන් පලවා හැරියා. ඔබ වෙත අනතුරක් සිදු කරාවි යැයි බියෙන් සහ සැකයෙන්.”

“ඔබ කියන්නේ ඒ සෙබළුන් මේ අනතුර සිදුකල බවද?”

“නැහැ සොයුර, පලවා හැරි බව ඔවුන් විසින් ඔබේ පිය රජුට පවසන්න ඇති. රජු බියපත්ව නැවත ගියා විය හැකියි.”

“මා  ඔබගේ  බස් අදහන්නේ නැහැ මිගාර.”

“ඔබගේ කැමැත්තක් කාශ්‍යප කුමරුනි, රජු මෙහි ඇත්නම් කෙලෙස හෝ මම පිය රජුගේ දිවි බේරාගන්නට කටයුතු කරන්නම්. දැන් ඔබ මෙතනින් පිටත්ව යන්න.” 

“කිමද මා යා යුත්තේ?”

“ධාතුසේන රජුගේ පලා ගිය සෙබළුන් සේනාවන්ද සමඟ මෙහි පැමිණිය හැකිය.”

“මා ඔහුගේ පුත්‍රයා. ඔවුන් මා හට හානි සිදු නොකරනු ඇති.”

“ඔබගේ ආරක්ෂාව සහතික කිරීම මගේ රාජකාරිය. ඔබට හානි නොකරන්නේ නම්, තනිව පැමිණෙනවා යැයි පැවසූ ධාතුසේන රාජෝත්තමයාණන් කිමද සෙබළුන් සමඟ පැමිණියේ? මා හට මේ කටයුත්ත අවසන් කරන්නට භාරදී වහා මාගේ සෙබළු සමඟ පිටවන්න.”

“ඔබ පොරොන්දු වෙනවාද ධාතුසේන පිය රජු මෙහි සිටී නම් ගලවා ගන්නා බව.”

එය කාශ්‍යපගේ සුපුරුදු අණ කිරීමකට වඩා සානුකම්පිත ඉල්ලීමක් විය.

“මා පොරොන්දු වෙනවා, කළ හැකි උපරිමය සිදුකරන බව.”

“මුගලන් හට වහා පණිවිඩයක් යවන්න.”

“එකී සියලු කාරණා පිළිබඳ මා වග බලා ගන්නම් කුමරුනි. මා තවමත් නිල බලයෙන් මහ සෙනව්, ඔබ වහා සිංහ පර්වතය වෙත යන්න.”

“මිගාර, මාගේ විශ්වාසය කඩ නොකරනු.”

“බිය නොවනු කාශ්‍යප, කිසිඳු සටනක් හෝ යුද්ධයක් ඇති නොවන්නට මා වග බලා ගන්නවා.”

“යුද්ධයක්?”

“ඔව්, කිසිඳු යුද්ධයක්.”

“මා අදහස් කලේ යුද්ධයක් පිළිබඳව නොවේ. මා පිය රජුගේ ජීවිතය ගැන?”

කාශ්‍යප මිගාරගෙන් විමසා සිටියේ කුතුහලයෙන් සහ තරමක විමතියෙන්ද යුතුවය. සිදු නොවිය යුතු යමක් සිදුවන බවට කාශ්‍යප හට ඉඟි පහලවී තිබුණි. 

“මා ඔබට සුළු මොහොතකට පෙර පොරොන්දු වූවා කුමරුනි උපරිමය සිදුකරන බව, දැන් යන්න, ඉක්මනට යන්න. චන්න සහ දීඝ, කාශ්‍යප කුමරුන් අසලින්ම සිට ආරක්ෂාව ලබා දෙව.” 

සෙබල අශ්වරෝහකයන් දෙදෙනෙකුට අණ දුන් මිගාර උමග අසලට ගමන් කලේ අනෙකුත් සෙබල පිරිසද කැටුවය. කාශ්‍යප තරමක දෙගිඩියාවෙන් වුවද තවදුරටත් තම සිත සමඟ වාද නොකරමින් මිගාරගේ සෙබළුන් දෙපල පිරිවරා අසු පිටතට මෙහෙයවීය.


සවස් කාලය උදා විය. සිංහ පර්වතයේ පිහිටි කාශ්‍යපගේ ලැගුම් පොළ හෙවත් මහා අයවරයාගේ නිවස්නයේ පැවතියේ දැඩි නිහඬතාවයකි. උපතිස්ස පඬිතුමා සහ කාශ්‍යප ඈතින් ඇසෙන සියොතුන්ගේ නාදය අසමින් කල් මැරූ අතර අවසානයේ කාශ්‍යප නිහඬතාවය බිඳින්නට තීරණය කළේය.

“උපතිස්ස පඬිතුමනි, මා හට දැනුම් තේරුම් නැත. කිමක්ද මිගාර පවසන යුද්ධය?” 

“කලබල නොවනු කාශ්‍යප.”

“කලබල නොවී කෙලෙසද? තවමත් මා පියතුමා පිලිබඳ කිසිඳු හෝඩුවාවක් නොමැත.”

“ඒ පිළිබඳ මා සොයා බලනවා. සියලු විස්තර නිසි කලට ඔබ වෙත දන්වන්නම්.”

කාශ්‍යපගේ මුහුණ දෙසවත් එක එල්ලේ නොබලා උපතිස්ස පඬිතුමා පිළිතුරු ලබා දුන්නේ සංයමයෙනි.

“මුගලන් ගෙන් පණිවිඩයක් තිබේද?”

“තිබෙනවා කාශ්‍යප.”

“කුමක්ද එය?”

“ඔබ කලබල විය යුතු නැහැ ඒ පිලිබඳ.”

“සියලු දෙනාම මවෙත කරුණු කාරණා වසන් කරන බවක් මා හට හැඟෙන්නේ.”

කාශ්‍යප කලකිරුණු ස්වභාවයෙන් ආසනයෙන් නැගිට නැවත මැද මිදුලෙහි ඇවිදින්නට පටන් ගත්තේ අපේක්ෂා විරහිත මුහුණකින් යුක්තවය.

“ඔබට වසන් කරන්නට කිසිම දෙයක් නැහැ කාශ්‍යප.”

“එසේ නම් කොහිද මුගලන්?”

“මුගලන් භාරතයට පලාගොස්.”

“කුමක්..? කිම ඔහු පලායන්න හේතු කාරණා?”

හදිසි විමතියට පත් උස් හඬ ස්වරයකින් සහ විශාලව ගිය දෑසින් යුතුව කාශ්‍යප විමසා සිටියේය.

“අපට තවමත් ඒ ගැන හරි ආරංචියක් නැහැ.”

“වහා පණිවුඩකරුවන් යවා ඔහුගේ ගමන නතර කරනු. ධාතුසේන පිය රජු හට අකරතැබ්බයක් සිදු වුවහොත් අපට ඇති එකම බලාපොරොත්තුව ඔහුයි.”

“මා ඔබ නම් ඔහුව නතර කරන්නේ නැහැ කාශ්‍යප කුමරුනි.”

“ඇයි උපතිස්ස පඬිතුමා, කුමක්ද කාරණය? නොසඟවා පවසනු.”

“මුගලන් පලාගොස් ඇත්තේ දික්සඳ මහනාම හිමියන් සමඟින්.”

“එයින් ඔබ අදහස් කරන්නේ කිමද?”

“ධාතුසේන රාජෝත්තමයාගේ මරණයට වගකිව යුතු වන්නේ මේ දෙපල බවයි.” 

“ධාතුසේන පියතුමන්ගේ මරණය?”

“ඔබ වෙත තවදුරටත් සත්‍ය වසන් කරන්න මගේ අදහසක් නැහැ කාශ්‍යප කුමරුනි.”

දන්නා කාලයක පටන් උපතිස්ස පඬිවරයා කාශ්‍යප කුමාරයා ඇමතූයේ කාශ්‍යප යන කෙටි නමින් පමණි. අද දින ප්‍රථම වතාවට කාශ්‍යප කුමරුගේ ගුරුවරයාවූ උපතිස්ස මෙසේ කුමරු යනුවෙන් ඇමතීම පිටුපස ඇති සම්පූර්ණ යටි අදහස කාශ්‍යපයන් තවමත් දැන සිටියේ නැත.

“කුමක්ද සත්‍යය? වහා පවසනු. එලෙසම මා හට කුමරු යැයි පැවසීම නවතන්න පඬිතුමනි.”

“උමඟ කඩාවැටීමෙන් එහි තිබූ පස් වලට යටවී ධාතුසේන රජතුමා මිය පරලොව ගොස් සිටිනවා.” 

කාශ්‍යප ඔහු සක්මන් කරමින් සිටි මැද මිදුලේ ආලින්දයේ බිම වාඩිවිය. දෑසින් කඳුළු ගලා ගියත් ඔහුගේ මුහුණ හෝ හඬ ශබ්දය මඟින් පිටතට දුක් ශෝකයක් පෙන්වා සිටියේ නැත. කතාබහ නතර කළ කාශ්‍යප උපතිස්ස පඬිවරයා වෙතින් සමුගන්නා බව හෝ නොපවසා සිටි තැනින් නැගිට සිය නිදන කුටියට ගමන් කර දොර වසා ගත්තේය. 

කාශ්‍යපගේ නිදන කුටිය ආසන්නයට ගිය උපතිස්ස පඬිවරයාණන් මෙහෙකරුවකු ලවා ආසනයක් පමුණුවාගෙන එහි රැඳෙන්නට අසුන් ගත්තේ, කාශ්‍යප දුක් ශෝකය පාලනය කරගත් තැන ඔහු හා ඉදිරිය පිලිබඳ සාකච්ඡා කිරීමටය. සිංහ පර්වතය පමණක් නොව මුළු තම්බපණ්ණියම විස්තර කළ නොහැකි අවිනිශ්චිත බාවයකට පසුගිය දින කිහිපය තුළ සිදුව ඇති සිදුවීම් හේතුවෙන් ඇද වැටී ඇති බව උපතිස්ස පඬිවරයා දනී. 

දැන් දැන් කාශ්‍යපගේ හැඬුම් විලාපය ඉකි ගසන හඬින් පැහැදිලිව ඇසේ.

මේ අතරතුර සියලු ප්‍රධාන අයවරුන් කාශ්‍යපගේ නවාතැන වෙත කැඳවීමට උපතිස්ස තීරණය කළේය. පවතින තත්වය මත හදිසි තීරණ කිහිපයක් ගත යුතුව ඇත. කාශ්‍යප කුමරුගේ ශෝකය අඩුවූ පසු එකී තීරණ ස්ථිර කර ගැනීම සඳහා සහ මේ දුක්බර මොහොතේ ඔහු තනි නොකළ යුතුයි යන අදහසින් වහ වහා හමුවක් කැඳවිය යුතු බව දන්වා උපතිස්ස විසින් මිගාරගේ ආධාරයෙන් පණිවිඩකරුවන් රැසක් වහා පිටත්කර හැරියේය.


හෝරා කිහිපයකට පසු ප්‍රධාන අයවරුන්ගේ හමුව ආරම්භ විය. කාශ්‍යප තවමත් සිටියේ පියවි සිහියකින් නම් නොවේ.

“මා හිතාදර අයවරුනි, කඩිනමින් මේ රාත්‍රී ජාමයේ ඔබ සියල්ලන් හට ලබාදුන් හදිසි ආරාධනාව පිළිබඳ මාගේ සමාව නැවත ඉල්ලා සිටිනවා. සිදුවී ඇති කණගාටුදායක සිදුවීම් පිළිබඳ ඔබ සැම දැනටමත් දැනුවත් ඇතැයි සිතනවා.”

උපතිස්ස පඬිවරයා සභාවේ වැඩ කටයුතු ආරම්භ කළේය.

“වෙන කවරදාටත් වඩා මේ ඇතිවී ඇති තත්වය එක් කාරණාවක් හේතු කොටගෙන සුවිශේෂයි.”

මුළු සභාවම මීයට පිම්බා සේ නිහඬය. 

“අප තම්බපණ්ණියේ ධාතුසේන රජුගේ ඇවෑමෙන් පසු ඔටුන්න හිමි කුමරා වනුයේ මුගලන්. අවාසනාවකට අප තනි කර මුගලන් මේ වන විටත් භාරතයට නැව් නැඟ අවසන්. ඉතිහාසයේ කිසිඳු දිනක සිදු නොවූ අයුරින් අප අය සමාජය පිළිබඳ රාජකීයයන් දැනුවත් වී ඇත. ඒ හේතුවෙන් මුගලන්ගේ පළායාම අප හට සිදුවූ අහිතක් ලෙස මා දකින්නේ නැහැ.”

සභාව තුළ සුළු කසුකුසුවක් ඇති විය.

“නිහඬ වනු.” 

මිගාර නැගිට කියා සිටියේය.

සියලු දෙනා ඔහුගේ විධානාත්මක හඬින් තරමක ගැස්මකින් සහ භීතියකින් යුතුව නිහඬ විය. රෝහණ පඬිතුමා අසුනෙන් නැගිට සිටියේය.

“කවදා සිටද මිගාර අපට අණ දෙන්නට පටන් ගත්තේ?”

නැවතත් වැඩි ශබ්දයෙන් කසුකුසුවක් ඇති වන්නට පටන් ගත්තේ රෝහණ පඬිතුමාගේ ගැටළුවත් සමඟය. මිගාර නැවත නැගිට සිටියේය. සංඥාවකින් මිගාරට අසුන් ගන්නා ලෙස කියා සිටි උපතිස්ස පඬිවරයා නැවත සභාව අමතන්නට පටන් ගති.

“සමාවන්න මා මිත්‍ර අයවරුනි, මිගාර තවමත් අය සමාජයට අලුත් අයෙක්. ඔහු අපගේ සම්ප්‍රදායන්ට තවමත් හුරුපුරුදු වී නැහැ. මිගාර ඔබගේ දැනගැනීම සඳහා මා පවසන්නේ අප බොහෝ තීන්දු තීරණ ගන්නේ සාකච්ඡාකර බවයි. ඒ නිසා මේ සමාජයේ සෑම දෙනාගේම මතය අතිශය වැදගත්.”

මිගාර හිස නමා සමාව අයැද සිටියේය.

“හොඳයි, අපි කතා බහ නැවත ආරම්භ කරමු.”

කාශ්‍යප මේ මොහොතේ සිටියේ හැඟුම් විරහිතවය. සභාවේ සිදුවන කිසිවක් ගැන අවධානයක් ඔහුට තිබුණේ නැත.

“කාශ්‍යප කුමරුනි, ඔබ මා පවසන දේ වෙත ඇහුම්කන් දෙනවා නේද?”

මේ මොහොතේ නින්දෙන් අවදිවූ අයකුසේ හිස වනා කාශ්‍යප ඔහුගේ අවධානය ලබා දෙන බව සැලකර සිටියේය.

“ඔබගේ පියාගේ හදිසි අභාවය පිළිබඳ අප සියලුම අයවරුන්ගෙ ශෝකය පලකරන්න කැමතියි මේ වෙලාවේ.”

කාශ්‍යප නැගිට ස්තුතිය පළ කර සිටියේ හිස නමා ආචාර කිරීමෙන්ය. කිසිඳු වචනයක් නොදෙඩූ කාශ්‍යප නැවතත් සිය අසුනෙහි අසුන් ගත්තේය.

“මුගලන්ගේ පලා යාම සමඟ අප සහ තම්බපණ්ණි රාජ්‍යය පැහැදිලි ගැටලුවකට මුහුණ දී සිටිනවා.”

“තම්බපණ්ණි රාජ්‍යය නම් ගැටලුවකට මුහුණ දෙනවා ඇති. අප මුහුණ දෙන ගැටලුව කිමද?”

කෙළවරම ආසනයක වාඩි වී සිටි බාසුර පඬිවරයා නැගිට විමසුවේය.

“බාසුර පඬිතුමනි, ඔබ දන්නවා ඇති අප හා රටේ රාජ්‍ය තන්ත්‍රය අතර ඇති සම්බන්ධතාවය. අප සමාජයේ පැවැත්ම පිළිබඳ කිසිඳු අදහසක් ඔවුනට හෝ සාමාන්‍ය ජනයාට නැත.” 

“මම දනිමි. සමාව අයදිනවා කාශ්‍යප කුමරුනි, ඔබෙන් මේ ගැටළුව ඇසීමට පෙර. පඬිතුමනි, අප පිලිබඳ දැනුවත්වූ ධාතුසේන රාජෝත්තමයාණන් සහ මුගලන් කුමරුවන් රාජ්‍ය පාලනයේ නොමැති තැන අපට ඇති ගැටලුව කිමද?”

“වටිනා පැනයක්. අපට ඇති ගැටලුව කාශ්‍යප කුමරුන්.”

“මම?”

කාශ්‍යප විසල්ව ගිය දෑසින් යුතුව උපතිස්ස පඬිතුමාගෙන් විමසා සිටියේය.

“ඔව් කාශ්‍යප, අමතක නොකරන්න. ඔබ ඊළඟට ඔටුන්න හිමි කුමරු.”

“මම මීට පෙරත් පැහැදිලිව ප්‍රකාශ කර සිටියා, රජකම මට අනවශ්‍ය බව. එකී ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් ඇතිවී නොමැත. ඇති වන්නෙත් නැත”

“අපි සැම ඔබගේ ස්ථාවරය අගය කරනවා කුමරුනේ. ගොඩනැගිලි නිර්මාණ ශිල්පය සහ කලාව ඔබේ තේරීම බව අප දන්නවා.” 

“එසේනම් කිමද මෙලෙස මා ගැන තැවෙන්නේ. රජකම සඳහා වසභ කුමරා සිටිනවා. මා හට පසුව උරුමකරුවෙකු ලෙස. ඔහුට පෙර මෙන් අපගේ සහයෝගය රහසිගතව ලබා දෙමු.”

“කාශ්‍යප කුමරුනි, ඔබට නොවැටහේද අප සමාජය තිබෙන තැන?”

“තිබෙන තැන මා හට මනාව වැටහේ. සියවස් ගණනාවකින් වෙනස් නොවුනු අපගේ සම්ප්‍රදායන් වෙනස් කළ යුතු නැත. එසේ වෙනස් කරන්නට හේතුවක් නම් මා හට නොවැටහේ.” 

“නැවත නැවතත් පෙර දුන් වචනයක් වෙනස් නොකරන පුද්ගලයකු වශයෙන් ඔබට අප සියලුම දෙනා ගරු සරුව පුද කරනවා. එහෙත් කාශ්‍යප, ඔබ පැවසූ ලෙසම සියවස් ගණනකින් සිදු නොවූ යමක් සිදුවී තිබෙනවා නොවේද?”

“එයින් අදහස් නොවේ, අප වෙනස්විය යුතු බව.”

“කාශ්‍යප කුමරුනි, ඔබ රජකම භාර ගත යුතුයි.”

සමස්ත සභාවම ඇසිපිය නොහෙලා උපතිස්ස පඬිවරයා සහ කාශ්‍යප අතර සිදුවන විවාදය දෙස නිහඬව ඇහුම්කන්දී සිටියෝය.

“මා හට ගණන් ගත යුතු එක් හේතුවක් පවසන්න. එය සාධාරණ නම් පමණක් මා සලකා බලන්නම්.” 

“එක් හේතුවක් පමණක් නොවේ ඇත්තේ කුමරුනි, හේතු රාශියක් තිබේ.”

“පවසන්න.”

“මේ වන විටත් අය සමාජය රාජකීයත්වයට විවෘත වී අවසන්. අප අලුත් ක්‍රම උපායන් භාවිතා කළ යුතු කාලයයි මෙය. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වනු ඇති. ඔබ නොමැතිව වෙනත් අයකු රජ වුවහොත් සිංහ පර්වතය විසිර යනු ඇති.”

“වසභ කුමරුන් අප සිංහ පර්වතය පිළිබඳ කිසිවක් නොදනී.”

“ඔබ කෙලෙසද සැකහැර පවසන්නේ?”

“උපතිස්ස පඬිතුමනි, වසභ තවමත් නව යෞවනයේ. මා සිතන්නේ නැහැ ඔහු දැනුවත් වග.”

Logo 468x60

“කාශ්‍යප කුමරුනි, ඔබේ වචන තුලම ඇත්තේ අවිනිශ්චිතතාවයක්.”

“මා එය පිළිගන්නවා පඬිතුමනි, කෙසේ වෙතත් මා හට යම් කාලයක් ලබා දෙන්න මාගේ අවසාන තීරණය දැනුම් දෙන්නම්.”

“ඒ පිළිබඳ ගැටලුවක් නොමැත කුමරුනේ.”

කාශ්‍යප කුමරු නැඟිට පිටත්ව යාමට සැරසුනි. සභාවේ සිටි සෙසු  පිරිසද නවාතැන් වෙත යාමට නැගිට සිටි අතර උපතිස්ස පඬිවරයාණන් කාශ්‍යප වෙත ගොස් ඔහුගේ අතින් අල්ලාගෙන රහසින් මෙසේ පැවසීය.

“ඔබට දින කිහිපයක් ලබාදෙන්නම්. මතක තබාගන්න, මෙහි සිටින ඇතැම් පිරිස් අප සමාජයේ කර්තව්‍ය ගැන කල්පනා කළද තම්බපණ්ණිය ගැන කිසිඳු කැක්කුමක් නොමැති බව.”

උපතිස්ස පඬිවරයා සහ කාශ්‍යප කුමරුන් යන දෙදෙනාම ශාලාවේ කෙළවර දෙස නෙත් යොමු කර බැලුවේ තවමත් කසුකුසුවක යෙදෙන රෝහණ පඬිවරයා ඇතුළු පිරිස වෙතටයි.


දින කිහිපයක් ගත විය. කාශ්‍යප කුමරුන් උපතිස්ස පඬිවරයාණන් මුණගැසීම සඳහා සිංහ පර්වතය වෙත පැමිණියේ මිගාරගෙන් රාජ්‍යයේ පැවැත්ම පිළිබඳ තොරතුරු විමසීමෙන් අනතුරුවයි.

“පඬිතුමනි ඔබ පැවසූ ලෙස මා විසින් තීරණයක් ගනු ලැබුවා.”

“මාගේ සිතැඟි පරිදි තීරණයක්ද කාශ්‍යප?”

පඬිවරයාණන් ඔහුගේ ආලින්දය මතවූ ආසනයක අසුන් ගන්නා ලෙස හස්ත සංඥාවෙන් පෙන්වමින් අසා සිටියේය. 

“මෙය මා කැමැත්තෙන් ගත් තීරණයක් නොවේ. නමුත් අය සමාජයේ සහ තම්බපණ්ණියේ උන්නතිය වෙනුවෙන් ගත් තීන්දුවක්.”

“මා ඔබ ගැන දන්නේ කුඩා කල සිට කාශ්‍යප, රාජකීයන්  සියලුම දෙනාට වඩා ඔබ කලාකාමී ශ්‍රේෂ්ඨ නායකත්වයක් ඇති චරිතයක්. එකල වුවද මා කිහිප වතාවක් කල්පනා කළා ඔබ මේ සමාජයට බඳවාගැනීමට පෙර. ඔබගේ ඇති සුදුසුකම් රටේ නායකත්වයට උචිත නිසා” 

“අතීතයෙන් වගක් නැත පඬිතුමනි, කෙසේ වෙතත් කොන්දේසි කිහිපයක් තිබෙනවා. එයට එකඟ නම් පමණක් මා රජකම දැරීමට සූදානම්.”

“කුමන කොන්දේසිද?”

“පළමුවන කොන්දේසිය නම් මාගේ රාජධානියේ අග නගරය සිංහ පර්වතය විය යුතු බවයි.”

“සිංහ පර්වතය?”

“ඔව්, සිංහ පර්වතය.”

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

Book travel visa at iVisa.com

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
inside flight

CAG හතරවන කොටස

“කොක්පිට් එකට පයිලට්ලා ඇරෙන්න වෙන කාටවත් යන්න දෙන්න තහනම් කරලා තියෙන්නේ. ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා. ඉස්සර වගේ දැන් යන්න බැහැ මහත්මයා.”
cag novel

CAG දහතුන්වන කොටස

කැටපත් පවුර සාක්ෂියක් මේ භාෂා වෙනස පුදුම ඉක්මනට මුළු රට පුරාම වෙලා තියෙන එකට. ඒ කාලේ ඉන්ටර්නෙට්වත් තිබුන නම් හිතන්න තිබ්බා. මෙච්චර ඉක්මනට තොරතුරු හුවමාරු වෙයි කියලා. අනික වෙනස් වුණු භාෂාවක්, මුළු රට පුරාම පැතිරෙන වේගය, ටිකක් ලොකු පුදුමයක් නෙවෙයිද?
inside museum

CAG හත්වන කොටස

වහා සැලැස්ම වෙනස් කළ රුසිරු තම ගමන් මල්ලේ ආරක්ෂාවට යොදා සිටි ඉබ්බා ගෙන සැක කටයුතු පුද්ගලයා සැඟවී සිටි වැසිකිලියේ දොර පිටතින් අගුලු දැමීය. ඉන්පසු උපරිම ප්‍රමාණයට ජල කරාමය විවෘත කලේ හොඳින් හඬ ඇසෙන පරිදිය.

CAG පළවන කොටස

මධ්‍යම පුරාවිද්‍යා කණ්ඩායම(CAG) යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ඔබ අප හොඳින් දන්නා ජනප්‍රිය ආයතනයක් නම් නොවේ. ඉතා අඩු කාර්ය මණ්ඩලයකින් යුත්, සුපිරි තාක්ෂණික බුද්ධියක් සහිත මෙවලම් සහ ක්‍රම යොදා ගන්නා, අන්තර්ජාතික පුරා විද්‍යා ආරක්ෂක ආයතන සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වා ගෙන ඒ හරහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන රහසිගත ආයතනයක් ලෙස පැවතෙන මෙම කණ්ඩායම පිළිබඳ අද ඔබට විශේෂ හේතුවක් පිට හෙළිදරවු කරන තෙක් නිල වශයෙන් දැන සිටියේ ජනාධිපති, අගමැති හැරුණු කොට විෂය බාර ඇමති සහ ලේකම්වරයා පමණී.
Total
0
Share