“පෙර රජ දවස අප වෙත විවිධ අකටයුතුකම් සිදු වුවද අපගේ ස්ථානෝචිත නුවණ කාලීනව යොදවා එවන් විපත් මඩලනු ලැබුවා. එහෙත් මෙවර නම් අපට විකල්පයන් දුර්ලභයි. මහා අයවරිය ඝාතනය කළ පිරිස අපගේ දැනුම සහ සම්පත් මංකොල්ල කනු ඇති. වහා අප අය පරපුර රැකිය යුතුයි.”
සිංහ පර්වතය හෙළ රාජධානිය පුරා ප්‍රචලිතව පැවතියේ භාවනාවට ලැදි තාපස භික්ෂූන් වැඩවසන සංඝාරාමයක් වශයෙනි. අවසර නොලද කිසිඳු පිටස්තරයකුට ඇතුළු වීමට හෝ දන් පිරිනැමීමට තහනම් කර තිබූ අතර එකී නියෝගය කඩ කිරීමට රාජකීයන් පවා උත්සාහ නොකළේය.
මහා විහාරවාසී සහ අභයගිරි විහාරවාසී භික්ෂු පෙළපතකට අයත් නොවූ ස්වාධීන තපස් දම් රකින භික්ෂු පරපුරක් මෙහි වැඩ වාසය කරන බැවින් එකී පරපුරට කිසිඳු අයුරකින් බාධා නොකළ යුතු බවට පුරාණ රාජාඥාවක් ශිලා ලිපි මඟින් සතර දිශාවේම බොහෝ කලකට පෙර සිටම ප්‍රදර්ශනය කර තිබුණි.
“ගජබාහු පඬිතුමණි, ධාතුසේන රාජෝත්තමයාණන්ට පවා පෙර රජ දවස පැනවූ රාජ ආඥා යලට මහට කඩ කළ හැකි වේද?”
සිංහ පර්වතය පහළ පිහිටි ශෛලමය සභා ශාලාවට රැස්වූ පර්වතවාසී අයවරුන් සැනසීමට කාශ්‍යපයන් සන්සුන්ව උත්සහ කළේය.
“එය සත්‍යයි. නමුත් අපට දෑස ඉදිරිපිට පෙනෙන්නට තිබෙන කාලීන කරුණු කාරණා වසන් කළ නොහැකියි කාශ්‍යප.”
සභා ශාලාව කෙළවර අසුන්ගෙන සිටි චූලාභය පඬිතුමා නැගිට සිට කියා සිටියේය. මහාතිස්ස පඬිවරයාද නැගිට අදහස් දක්වන්නට විය.
“අප විසින් නිරතුරුව රකින ලද භික්ෂු පරපුරේ ඕනෑ එපාකම් සහ ඔවුන් හරහා අප ලද පහසු ආරක්ෂාව නිවැරදිව තක්සේරුවී ඇද්ද යන ගැටලුව විමසා බැලිය යුතු සේම කිසිදා නොවූ මහා අයවරියගේ කෲර ඝාතනය හේතුකොටගෙන කෙටි අනාගතයේ වහා විය හැකි අනතුරු පිළිබඳවද අප අද හෙටම නිගමනය කළ යුතුය.”
එකී අදහස් දැක්වීමත් සමඟ අසල ඇති ජල උයන්වල වතුර බිඳෙන හඬ පමණක් ඇසෙන පරිදි දැඩි නිහඬතාවයක් සමස්ථ සභාව තුලම මොහොතකට ඇති විය.
මෙවන් තත්ත්වයකට සිංහ පර්වතය අද මුහුණ දීමට හේතු පාදක වූයේ අයවරුන් විසින් ආදි කාලයේ සිටම යොදා ගත් විශේෂ ආරක්ෂක උපක්‍රමයකි. පෙර පැවසූ පරිදි මෙම පර්වතය සුප්‍රසිද්ධවී තිබුණේ තාපස සංඝාරාමයක් වශයෙන්වූ අතර එකී සංඝාරාමයේ භික්ෂු පරපුර වෙනුවෙන් තෝරා ගන්නා ලද්දේද අයවරුන්ගේම පවුල්වල දරුවන්ය.
විද්‍යා සහ ගණිත විෂයයන් කෙරෙහි වැඩි උනන්දුවක් නොදක්වන සහ දස්කම් නොපාන දරුවන් අසල පිහිටි පිදුරංගල පිරිවෙන වෙත යොමු කළ අතර පිරිවෙන් අධ්‍යාපනයෙන් පසුව ඔවුන්ගේ කැමැත්ත පරිදි මහණ කරන ලදී. එකී මහණුන් වැඩ වාසය කළ සංඝාරාම සීගිරි පර්වතය වටකොට පිහිටා තිබුණි.
එලෙසම මහණ වීමට අකැමැති දරුවන් සිංහ පර්වතයෙන් එපිට ඒ අසලම පිහිටි සාමාන්‍ය ජන සමාජය වෙත කුඩා කාලයේදීම යොමුකරන ලදී. එකී අසල්වැසි ජන සමාජයේ දෙවැනි නිවහන් පිහිටුවා තාවකාලිකව එහි ජීවත්වූ සිංහ පර්වතයේ අයවරුන් සමඟ සාමාන්‍ය පවුල් මෙන් එකී දරුවන් ජීවත් වන ලදී.
ඉහත පළමුව කී මහණ දම් රකින පරපුරද අතිශය විශිෂ්ට දහම් දැනුමකින් හෙබි පඬිවරුන්වූ අතර හුදෙක්ම ලෞකික වස්තු සම්භාරයෙන් ඈත්ව දිවි ගෙවීමට ප්‍රිය කළ පූජ්‍ය පක්ෂයක් ලෙසට සැලකිය හැක.
ඒ අනුව සිංහ පර්වතවාසීන්ගේ එක් පරපුරක් එකල නූතන විද්‍යා දැනුමේ විශිෂ්ටයන් වන විට තවත් පරපුරක් බෞද්ධ දර්ශනය තුල නිවන් මග සොයා යන පින්වන්තයන් පිරිසක් විය. එකී දෙවිධියම ප්‍රිය නොකළ දරුවන් තම දෙමවුපියන්ද සමඟ සාමාන්‍ය ජන ජිවිතයක් සිංහ පර්වතයට කිසිඳු ප්‍රවේශයක් හෝ ඒ පිළිබඳව දැනුමක් නොමැතිව ගත කරන ලදී.
ඉහත කී මහණ දම් රකින පින්වන්ත පරපුරද සිංහ පර්වතය තුල ජීවත්වූ අයවරුන් සමඟ අත්‍යවශ්‍ය කටයුත්තකදී හැර සම්බන්ධ නොවූ අතර පිදුරංගල සහ පිට දිය අගලට එපිට පිහිටි උතුරු හා බටහිර දිශාවන්ගේ පිහිටවූ සංඝාරාම තුල වැඩ වාසය කළේය.
සත්‍ය කරුණු මෙසේ වූ නමුත් බහුතරයක් සෙසු රටේ ජනතාව සිතා සිටියේ සම්පූර්ණ සිංහ පර්වතයම තපස් දම් රකින භික්ෂූන්ගේ සංඝාරාමයක් බවයි. ඒ හේතුව මත මනා ආරක්ෂාවක් සිංහ පර්වතය මත පිහිටි සැඟවුණු නගරයට නැතහොත් අයවරුන්ගේ ස්ථිර වාසස්ථානයට ඉහත කී පරිදි එදා දවස ලැබී තිබුණි.
අසල්වැසි ගම් දනව් කරා නිතර දෙවේලේ අයවරුන් සාමාන්‍ය පරිදි ජිවත් වීමට ආගිය බැවින් සෙසු සමාජය ගැනද ඔවුනට හොඳ අවබෝධයක් තිබුණි.
සිංහ පර්වතයට යාබදව පිහිටි කඳු ගැටයක් වන පිදුරංගල පිහිටි සංඝාරාමයේ වැඩ වාසය කළ දික්සඳ මහානාම තරුණ හිමියන්ද මෙවන් විශිෂ්ට අය පවුලක දරුවෙකි. මෙකී දරුවාද ළමා අවදියේ විද්‍යා විෂය ධාරාවන් පිළිබඳව එතරම් උනන්දු දැක්වූ අයකු නොවූ බැවින් පිදුරංගල පිරිවෙන වෙත ඔහුගේ මාපියන් විසින් යොමු කරන ලදී.
කල් යත්ම මහණවූ මේ පින්වත් දරුවා බුදු දහමට පමණක් නොව සොබා දහමටද දැඩිව ඇලුම් කළ හිමිනමක් විය. සොබාදහම වෙත දැක්වූ මෙකී ඇල්ම කෙතරම් වැඩි වූයේද කිවහොත් සංඝාරාමයෙන් පිටත්ව පිදුරංගල කන්ද සමීපයෙහි පිහිටි වන ලැහැබ් වෙත පලාගොස් පක්ෂීන්, වන සතුන් සහ තුරුලතා නැරඹීමේ සිරිතක් පුරුද්දක් වශයෙන් කාලයක් තිස්සේ මහානාම හිමියන් සිදු කරන ලදී.
බුද්ධ චීවරය අසල කන්දක් මත පිහිටි ගුහාවක සඟවා ගැමියකු මෙන් සැරසී ඇතැම් විට දින කිහිපයක කාලයක් පවා හිමියන් රහසිගතව වනගත විය.
මෙලෙසින් වසර කිහිපයක් ගත වීමෙන් පසුව මෙකී රහස නායක හිමියන් විසින් දැන ගන්නා ලදී. දැඩි ලෙස අවවාද කළ මුත් කිසිඳු දඬුවමක් ලබා නොදුන් අතර එකී අවවාදයන් මෙම ඇබ්බැහිය සම්පූර්ණයෙන් නවත්වන්නට සමත් නොවූයේ නූතන කාලයේ අපගේ ජංගම දුරකථන ඇබ්බැහිය ලෙසටයි.
කෙසේ වෙතත් මහානාම හිමි පෙර මෙන් දින ගණනක් ගිහියකු ලෙස සංචාරයේ නොයෙදුණු අතර පිදුරංගල හා සිංහ පර්වතය ආසන්න වනාන්තර තුල පමණක් භාවනාවේ යෙදෙන භික්ෂුවක් ලෙස දිනකට හෝරා කිහිපයක් සොබා දහම සමඟ ගත කරන්නට පුරුදු විය.
කල් යත්ම තව දුරටත් තම නොසිඳෙන ආශාවන් පාලනය කර ගත නොහැකිවූ මහානාම හිමියන් සිංහ පර්වතයට හෝරා කිහිපයක දුරින් පිහිටි මින්නේරි වැව සමීපයට වැඩම කළේ සංචාරක විදෙස් පක්ෂීන්ගෙන් පිරී ඉතිරී යන ආගමන සමය උදාව තිබූ බැවිනි. නායක හිමියන් දුන් අවවාදයන්ගෙන් එකක්වූ චීවරය ඉවත් කිරීම සිදු නොකළ හිමිනම වැව් ඉස්මත්තේ සිට විවිධ පක්ෂීන් නිරීක්ෂණය කරන්නට වූයේ තම සිතැඟි උපරිමයෙන් සනසාලමිනි.
තරමක පාළු වන ලැහැබක් අසල පිහිටා තිබූ වැව තාවුල්ලේ සිටි හිමියන් හට දහස් ගණන් සියොතුන්ගෙන් පිරී ඉතිරී ගිය නොගැඹුරු වැව් දිය සැබෑ දෙව් ලොවක සුන්දර දසුනක් විය. මෙකී දසුනෙන් වශීකෘතව වෙනත් ලෝකයක තනිවී සිටි මහානාම හිමියන් හට තමා අසලටම අසරුවකු පැමිණෙන තුරුම හාංකවිසියකවත් දැනුවත් කමක් තිබුණේ නැත.
“අවසරයි හිමියනි.”
යාබදව ඇසුණු කාන්තා හඬින් වහා තැති ගත් හිමි නම තම කළමනාද රැගෙන පිටත්ව යාමට සැරසුනේ කාන්තාව දෙසවත් නොබලාය.
“සමාවනු මා හට ඔබ වහන්සේගේ දැහැන බිඳුණේ නම්.”
මිහිරිවූ තරුණ කාන්තා හඬ ඇසුණු තැන ඒ දෙස නෙත් යොමා බැලීමට සිතක් පහලවූ නමුඳු කුතුහලයෙන් පිරි එකී අදහස අතහැරිය හිමිනම ඉවතට නෙත් යොමා ගෙනම කාන්තාව ඇමතීය.
“උපාසිකා මම තපස් රකින බුද්ධ පුත්‍රයෙක් වෙමි. මාගේ සමීපයෙන් වහා ඉවත් වනු.”
එකී බසට කීකරුවූ තරුණිය අසු පිටින් පිටවූයේ ආචාරශීලීව හිමියන්ගෙන් සමුගෙනය. පිටව වැඩි මොහොතක් ගතවන්නට පෙර උදව් ඉල්ලා කෑගසන ඒ කාන්තාවගේ හඬ ශබ්දය හිමියන්ට සිටි තැනට පිටුපසින් තරමක දුරින් පැහැදිලිව ඇසෙන්නට විය.
කළ යුත්තේ කුමක්දැයි සුළු මොහොතකට සිත දෙගිඩියාවෙන් පසුවූ මහානාම හිමියන් ප්‍රාණියකුට උදව් කිරීම බුද්ධ දර්ශනයේ වළක්වා නොමැති බව සිහිපත් කරමින් වහා වහා ශබ්දය ඇසුණු දෙසට වඩින්නට විය.
මාර්ගය වෙතට නැවී තිබූ ගසක කැඩුණු අත්තක් හිස දැවටී තරුණිය අසල පිහිටි කටු ලැහැබක් තුලට ඇද වැටී සිටියාය. ඇඟ පුරා සීරීම් තුවාල තිබූ අතර වේදනා මුඛයෙන් ඇය ලතෝනි දෙමින් සිටියේ තවදුරටත් සෙමින් කටු ලැහැබේ ගැඹුරටම කිඳා බසිමින් සිටි නිසාය.
“උපාසිකා සන්සුන් වනු. මා තොපට පිහිට වන්නම්.”
හිමියන් තරුණිය වටා තිබුණු කටු වෑයමෙන් ඉවත් කර මාර්ගය වෙතට ඇය ඔසවා තබන ලදී.
කටු ඇනී ලේ ගලන සුළු සීරීම් තුවාල පිට තරුණිය සිටියද වෙනත් කිසිඳු බරපතල තුවාලයක් හෝ සිහිමද ගතියක් නොමැති බව මහානාම හිමියන් නිරීක්ෂණය කළේය.
“කළ පිහිටට බොහොම පින් හිමියනි. දැන් මා හට නැවත අසු පිටින් යා හැකියි. මට ඔබේ නාමය සහ වැඩවසන ආරාමය පැවසිය හැකිද? ප්‍රති පිහිටක් කරනු වස්.”
මහානාම හිමියන් ඇයගේ ප්‍රතිඋපකාර ප්‍රතික්ෂේප කළ අතර තරුණිය හට කිසිඳු තොරතුරක් ලබාදිය නොහැකි බව පමණක් කාරුණිකව පවසා තරුණිය අසු මතට ගොඩවී නැවත යන තෙක් විමසා සිට ලහි ලහියේ ආපසු වඩින්නට පටන් ගත්තේය.
නැවත වඩින හිමියන් හට වැඩිදුරක් යන්නට හැකි වූයේ නැත. අසරුවන් කිහිපදෙනෙක් සහ අශ්ව රථයක් පැමිණ හිමිනමගේ මඟ අවුරා වට කර ගත්තේය.
“මහණනි. මදකට නවතින ලෙස ධාතුසේන රාජෝත්තමයාණන්ගේ නාමයෙන් මා ඔබට මේ මොහොතේ තරයේ අණ කර සිටිනවා.”
හදිසි සිදුවීමෙන් බිය භ්‍රාන්තවූ මහානාම හිමියන් හිටි තැනම ගල් ගැසී සිටියේ සිදුවන්නේ කුමක්ද යන්න නොදන්නා වෙවුලන මනසේ වහා ඇතිවූ සැක සංකාද සමඟිනි.
“ඔබ කවුද? කොහේ සිට පැමිණියේ ද?”
“මම තපස් දම් රකින මහණෙකි.”
“මා මේ රාජ්‍යයේ මහා සෙනවි මිගාර. සත්‍ය පවසනු. ඔබ මහණ වේශයෙන් ඔත්තු බැලීමට පැමිණි තැනැත්තෙක් ද?”
සත්‍ය පවසා සිටියහොත් මේ සෙනවියන් නායක හිමියන් වෙත තොරතුරු දන්වා නැවතත් පෙර වරද කර අසුවීම හේතුවෙන් තමා හට දඬුවම් ලැබෙනු ඇතැයි මහානාම හිමියන් බියපත් විය.
“මම මහානාම හිමියන්. වඩින්නේ මලය රටේ සිටයි.”
තම ජීවිතයේ පැවසූ පළමු මුසාව මහානාම හිමියන් විසින් මිගාර මහ සෙනවි වෙත කියා සිටින ලදී. පෙර ඇතිවූ සිද්ධියේදී නායක හිමියන් වෙත පවා කිසිඳු මුසා බසක් හිමියන් නොපැවසූ අතර සත්‍යම පවසා සිට සමාව අයැද තිබුණි. මෙතෙක් රැක පැමිණි ශීලයෙන් පිරි ජීවිතය කඩා වැටුණු සෙයක් මහානාම හිමියන් හට දැනුනත් මහා සෙනවි ඉදිරියේ වෙවුලන මනස හේතුවෙන් හිමි නම සිටියේ වෙනත් මානයකය.
“මා හට සමාව දෙනු හිමියනි. මාගේ අඹුව මා හට නොදන්වා තනිවම දඩ කෙළියේ ගොස් සිටියා. ඇය පසු පස සිට පැමිණි මාගේ ඔත්තුකරුවන් ඔබ වහන්සේ මාගේ අඹුව අසල සිට වැඩිය බවත්, කොහෙන්ද පැමිණියේ කවුරුන්ද යන්න තෙපලුයේ නැති බවත්, නැවත ලහි ලහියේ පිටත්වූ බවත් පැවසුවා. ඒ හේතුවෙන් ඔබ දක්ෂිණ භාරතයේ ඔත්තුකරුවෙක්ද යන වග මා සැක කරනු ලැබුවා. අද ඔබවහන්සේ වඩින්නේ කොයිබටද?”
සුසුමක් හෙලූ මහානාම හිමියන් වෙත නව පැනයට ක්ෂණික පිළිතුරක් නොමැති විය. මේ තැනැත්තා වෙත දෙවන මුසාවද පැවසීමට සිදුවන අතරතුර මහානාම හිමියන්ට සිහි වූයේ නායක හිමියන් නිතර දෙවේලේ දේශනා කළ එක් මුසාවක් ඔබගේ ජීවිතයම මුසාවක් කරනු ඇතැයි කී අවවාදයයි.
“මම වඩින්නේ අභයගිරියට.”
“මහසෙන් දෙවියනේ. කොතරම් දුරක් ද? බොහෝ රෑ බෝ වනු ඇති හිමියනි. මගේ රථයට වඩින්න. ඔබ වහන්සේ අද රාත්‍රියට පෙර අභයාරාමය වෙතට රැගෙන යන්නට උත්සහ කරන්නම්. ”
කළ හැකි කිසිවක් නොවූ තැන හිමියන් අස්රියට ගොඩ වූයේ නැවත කිසිමදාක පිදුරංගල නොයන පශ්චත්තාපී චේතනාවෙන්ද මහා සෙනවි වෙත ඇතිවූ බිය සහ නාහිමිගේ අවවාද නොසැලකූ ශෝකයද සමඟය.
රාත්‍රි කාලය වේගයෙන් උදාවිය.
“අභයගිරි විහාරයෙහි හිමිවරුන් නම් මේ මොහොතේ සැතපෙනවා ඇති. ඔබ වහන්සේට මනාප නම් පමණක් මාගේ වාසස්ථානයේ ඇති කුටියක සැතපෙන්න. හෙට හිමිදිරියේ දන් වළඳා අභයගිරිය වෙත වඩින්න.”
අසරණ මහානාම හිමියන් හට වෙනත් සැලකිය යුතු විකල්පයක් තිබුණේද නැත. කටට ආ පලියට පැවසුවද අභයගිරියේ දන්නා කිසිවෙකුත් නැත. දෙවරක් නොසිතා හිමියන් මිගාර හට සිය කැමැත්ත ප්‍රකාශ කර සිටින ලදී.
“ඔබ වහන්සේට බොහොමත් පිං.”
ගිලන්පසද රැගෙන මහානාම හිමි වෙත පැමිණ සිටියේ අසුපිටින් බිමට වැටුණු තරුණියයි.
“ඔබ හිමියන් නොසිටින්න මා හට බොහෝ තුවාල වන්නට තිබුණා. ඔබ වහන්සේ මලය රට සිට වැඩිය බව මාගේ ස්වාමිපුරුෂයා මා හට පැවසුවා.”
“ඔබ කවුද උපාසිකා?”
“මම මිගාර මහා සෙනවිගේ බිරිඳ සහ මුගලන්ගේ නැගණිය රෝහිණී. ඔබ වහන්සේ අභයගිරියට වඩින්නේ කවර කටයුත්තක් නිමිත්තෙන්ද?”
“විශේෂ කටයුත්තක් නොමැත. මා තනිව වන්දනාවේ සහ ධර්ම අධ්‍යන කටයුතු වල යෙදෙමි.”
“මගේ මළණුවන් රාජකාරී කටයුතු සඳහා හෙට දින හිමිදිරි ජාමයේ මලය රට හරහා රෝහණ දේශය බලා යන්නට නියමිතයි. ඔබ වහන්සේ හට අභයගිරි යාම අත්‍යාවශ්‍ය නොවේ නම් පමණක් මාගේ මළණුවන් සමඟ මලය රට බලා නැවත වැඩිය හැකියි.”
මහානාම හිමියන්ගේ සිත වහා වෙනස් මගකට යොමු විය. පිදුරංගලින් හැකිතාක් ඉවතට යාම වඩාත් සුදුසුය.
“ඔබගේ මළණුවන් හට එය බාධා නොවේ නම් එය කදිම යෝජනාවක් උපාසිකා. දැනටමත් මා හට මේ ගමන බොහෝ වෙහෙසයි. නැතහොත් නුදුරු දිනක නැවත මා හට දුෂ්කර කඳු මඟක් පා ගමනින් තරණය කළ යුතු වනවා.”
“ඔබගේ කැමැත්ත සිදුවේවි හිමියනි. ඔබ වෙත ප්‍රතිපිහිටක් කිරීමට හැකිවීම පිළිබඳව මා හට බොහෝ ප්‍රීතියි.”
හිමියන් වෙත දණ්ඩ නමස්කාරය පුද කර රෝහිණී සමුගත්තේය.
“ඔබ වහන්සේ පවසන්නේ සත්‍යයක්ද මහානාම හිමි?”
මුගලන් විමසුවේ පුදුමයෙනි.
“මා හට මෙතරම් උපකාරයක් සිදු කළ රාජවංශික ඔබ හට කිමද මා මුසා බස් පවසන්නේ? මා පැවසූ සියල්ල මා දන්නා තරමින් සත්‍යයයි.”
“ඔබවහන්සේ කිසියම් දවසක හෝ සිංහ පර්වතය මත පිහිටි ඔය කියන සැඟවුණු නගරයට මහණ වූ පසු වැඩියේද?”
“මා පෙර පැවසූ ලෙසම මා ඉපදුනේ සහ මූලික බස් වහර මාගේම පියා සමඟ හැදෑරුවේ එහිදී. එලෙසම මහණවූ පසු ආදාහන උත්සව වෙනුවෙන් සහ ආගමික කටයුතු සඳහා එහි ගොස් තිබෙනවා. නමුත් වෙනත් කටයුතු වෙනුවෙන් නිදහසේ සිතැඟි සේ එහි යන්නට කිසිවෙකුට අවසරයක් නැත.”
“ඔබ පැතූ ලෙස මා ඔබ වහන්සේ වෙත සංඝාවාසයක් පූජා කරන්නම් හිමියනි. ඉතින් මට කියන්න ඒ නගරය සතු බලය සහ ඔබ කියන දැනුම මා වෙත ලබා ගත හැකිද?”
“මා දන්නා පමණින් මේ නගරයේ දැනුම සහ බලය පිළිබඳ යතුර දැනට ඇත්තේ ගංගා දේවියන් සතුවයි. ඔබද රජකම අත හැරියහොත් ඇයට පසුව මහා අයවරයා වී ඒ දැනුම ලබා ගත හැකියි. ඉන්පසු ඔබට එකී රහසිගත දැනුම උපරිමයෙන් යොදවා රාජ්‍යය දියුණු පමුණුවිය හැකියි.”
“ගංගා දේවියන්, මගේ පිය රජුගේ නැගණිය?”
“මම ගිහි අයවරයකු නොවන බැවින් දන්නා විස්තරයන් සීමිතයි කුමරුනි, නමුත් ඇය නිතරම අප සංඝාවාසය අසලින් යන බව නම් මා දැක තිබෙනවා.”
“ඔබවහන්සේ කෙලෙසද ඇය ගංගා දේවිය බව දන්නේ?”
“ඇගේ නාමය සහ තනතුර සහිත නාම පුවරුවක් සමඟ ජීවමාන ප්‍රමාණයේ රූපයක් සිංහ පර්වතයේ සිත්තම් කර තිබුණා. එලෙසම ඇය නිතර දෙවේලේ අප සංඝාවාසය අසලින් ගමන් කරනු මම දැක තිබෙනවා.”
“මේ තොරතුරු වහා මා පිය රජතුමා වෙත පැවසිය යුතුයි.”
“එපා මුගලන් කුමරුනි. ඔබේ පිය රජු කෝපවී සිංහ පර්වතය විනාශ කළහොත් මගේ නෑදෑ පරපුර වැනැසී යනු ඇත. ඔබ මා වෙත මේ කරන උපකාරයට ප්‍රතිඋපකාරයක් වශයෙන් මා ඔබට සිංහ පර්වතයේ දැනුම හා බලය ලබා ගැනීමට හැකි පමණින් පිහිට වන්නම්. ඔබ දිනක ඒ බලය යොදා රාජධානිය දියුණු කරන්න.”
රෝහණ දේශයට යන ගමන අත්හල මුගලන් මහානාම හිමියන් වෙත හිතවත් විහාර ස්ථානයක සැතපීමට අවශ්‍ය පහසුකම් සපයා දුන්නේ නැවත පැමිණෙන පොරොන්දුව පිටය. මහානාම හිමියන්ගේ අවවාදානුශාසනා පිළිගැනීමට තරම් මුගලන් හීලෑ වූයේ නැත. ගංගා දේවියගේ මාලිගය වෙත මුගලන් අශ්ව රථය පැදවූයේ තවත් තොරතුරු සොයා ගනු රිසියෙන් සහ කපටි සිතකින්ද යුක්තවයි.
වටින් ගොඩින් ආගිය තොරතුරු විමසා සිංහ පර්වතය පිළිබඳ ගංගා දේවියගෙන් සෘජු නොවන ප්‍රශ්න කිහිපයක් චාටු බසින් විමසුවද එකී ප්‍රශ්න ගංගා දේවිය හිතාමතාම මඟ හරින බව මුගලන් හොඳින් තේරුම් ගත්තේය.
ගංගා දේවියද කලබල නොවී පිළිතුරු ලබාදුන් අතර වහා ඇගේ දාසිය හරහා මුගලන්ට නොදැනෙන සේ පෙර පුහුණු වී තිබූ සංඥා මාර්ගයෙන් සිංහ පර්වතය වෙත පණිවුඩයක් පිටත් කර යැවුවාය. සිංහ පර්වතයේ සිටි අයවරුන් විසින් එවකට දෙවන මහා අයවරයාවූ කාශ්‍යප කුමරුන් වෙත මෙකී පණිවිඩය වහා දැනුම් දෙන ලදී.
තම අරමුණු පැතූ අයුරින් ඉටු නොවූ මුගලන් කෝප සිතින් යුතුව ගංගා දේවියගේ මාලිගයෙන් පිටත්ව ගොස් මහානාම හිමියන් පැවසූ රහසිගත තොරතුරු සියල්ලම පිය රජුට දන්වා සිටියේය.
ගංගා දේවිය හෙවත් මහා සෙනවි මිගාරගේ මව රජු වෙතට වහාම කැඳවූ අතර ඉන්පසු සිදුවූ අවාසනාවන්ත සිද්ධි කතාව ඔබ දැනටමත් දන්නේ යැයි සිතමි.
“මේ කාරණා සිදුවීමට හේතුව පිදුරංගල සංඝාරාමයේ වැඩ වාසය කළ හිමිනමක් බව ඔබ කෙලෙසද හරියටම අනුමාන කරන්නේ?”
කාශ්‍යප නැවත සභාවෙන් විමසා සිටියේ බැරෑරුම් අයුරිනි.
“හිමිනමක් අතුරුදහන්වූ පලියට එවන් තීරණයක් සනාථ නොවන බව අප පිළිගන්නවා. නමුත් කාශ්‍යප මෙවන් අතුරුදහන් වීමක් මීට පෙර සිදුව නොමැත. එලෙසම බුද්ධඝෝෂ නාහිමිද විස්තර කළේ මේ හිමියන් තරමක මුරණ්ඩු සිත් ඇත්තකු ලෙසයි.”
චුලාභය පඬිවරයාණන් දිගින් දිගටම සභාව ඇමතීය.
“මහා අයවරයා ඇතුළු සෙසු අය නායකයිනි, කලිනුත් කතිකාවූ සැටියට පහල සහ ඉහල උද්‍යානයේ ඇති සියලු උපකරණ, පරේෂණ හා දැනුම් පුස්තක ආරක්ෂක සැලසුම් අනුව සුදුසු තැන්පත් කිරීමට ගෙන යාම වඩාත් උචිත නොවේද? ඉන්පසු ඉහල නගරයේ සෝපානද ගිනි දල්වා අය පරපුරේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් තාවකාලිකව අප විසිර යා යුතු බවයි මාගේ අවසන් යෝජනාව.”
කාශ්‍යප දිගු සුසුමක් ගෙන මොහොතක කල්පනාවකින් පසු නැවත හඬ අවදි කළේය.
“ආරක්ෂක සැලසුම් කටයුතු සිදුකිරීම ආරම්භ කළාට නම් කම් නැත. කිසි දෙයක් විනාශ නොකරන්න. දැන් විසිර යන්න. ස්ථිර අවසන් පිළිතුරක් හැකි විගස අද හෙටම මම ලබා දෙන බවට ගිවිසමි.”
සිංහ පර්වතයම කම්පා කරමින් හෙළ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ මහ අයවරියගේ කුප්‍රකට ඝාතනය සම්බන්ධව එක රැස්වූ සාධාරණ ජිවිත බියෙන් සලිතව සිටින අයවරුන්ගේ සභාව අවිනිශ්චිත හෙට දවස හේතුවෙන් විසිර ගියේ වෙනදා මෙන් සතුටු සිතින් නම් නොවේ.
නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..
(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)