“අපට කතා කර කර සිටීමට වෙලාවක් නෑ, මාගේ අසු සූදානම්. වහා ගොඩවන්න. මේ දැන්ම අප මාන්තොට වෙත පලාගොස් නෞකාවක් අතර සැඟවී භාරතයට අපගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් පලා යා යුතුයි.”

කළ යුත්තේ කුමක්දැයි කිසිවකුට නිශ්චිත අදහසක් නැත. මුළු සභාවම කාලගෝට්ටියකි. කාශ්‍යප මුලසුනෙන් නැවත වතාවක් නැගිට සිටියේ කෝපයෙන් යුතුව නොව දුක්මුසුවය.

“සහෝදර අයවරුනි. මෙය බුද්ධියෙන් ක්‍රියා කළ යුතු මොහොතක් මිස අනිසි කලබල ඇති කරගත යුතු සමයක් නොවේ. අප පුරාණයේ පටන් පැහැදිලිව නියම කරගත් ආරක්ෂක ක්‍රියා විධි පරිදි අපගේ සුරක්ෂිතභාවය සැමදා තහවුරුයි. එනමුත් ඉදිරි අනාගතයේ මේ රාජ්‍යය කඩා වැටීම සක්සුදක් සේ සිදුවනු ඇති.”

“අපි උපන් මේ පින් බිම, කිහිපදෙනෙකුගේ අනියත බිය කිරීම් මත දමා යා යුතු නොවේ.’’

මහාතිස්ස පඬිතුමා මහ හඬින් කියා සිටියේය.

“අප මෙහි උපන් බව සත්‍යයි, එහෙත් අප විසින් සිදු කරන කාර්යභාරය පිළිබඳ නිසි කළගුණ සැලකීමක් නොමැතිනම්, කිමද අප තවදුරටත් තම්බපණ්ණියේ ලතවෙන්නේ?”

රෝහණ පඬිතුමා නැවත වතාවක් නැගිට අදහස් දක්වන්න පටන් ගත්තේය.

“පැහැදිලිම ගැටලුව නම් හුදී ජනයා සහ රාජකීයන් අප නිවැරදිව වටහා නොගැනීමයි. මේ ජන සමාජය තුල පැහැදිලිවම උගත් අපට නිසි තැනක් නැහැ. සමාව අයදිනවා මෙලෙස පවසනවාට කාශ්‍යප, අපගේ පිටපතෙන් සහ සහයෝගයෙන් රඟ දක්වන නළු භට්ටයන් වැනි රාජකීය නායකත්වයට පමණක් පහසුවෙන් ප්‍රසාදය සහ කීර්තිය දිනා ගත හැකියි. මදක් සිතා බලන්න කාශ්‍යප, අප කෙතරම් වාරි කර්මාන්ත, ගොඩනැගිලි කර්මාන්ත සහ වෙනත් නිර්මාණයන් සඳහා අපගේ දැනුම, කාලය මිඩංගු කර තිබේද? එහෙත් ඒ පිළිබඳ කිසිඳු ශිලාවක් හෝ ලේඛණයක් හෝ තිබේද? වන්දිභට්ටයන්ගේ සෑම සියලුම විස්තරයන්හි දැක්වෙන්නේ රාජකීය වර්ණනා පමණක් නොවේද?”

“රෝහණ පඬිතුමනි, අප ප්‍රසිද්ධ ගෞරවය පතන පිරිසක් නොවෙයි නේද? අප සතුට ලබන්නේ දැනුම් සම්භාරය තුල පමණක් නොවේද?”

“පිලිගනිමි, දැනුම සමානයි සතුට. එහෙත් වෙනත් සුවිශේෂ සතුටක් නොපැතුව අපගේ එදිනෙදා ජීවත් වීමේ සතුට පවා මොවුන් දැන් උදුරාගෙන.”

“එය මා පිළිගන්නවා පඬිතුමනි.”

ශාලාවේ රැඳී සිටි පඬිවරුන්ගෙන් විශාල පිරිසක් නැගිට රෝහණ පඬිතුමා වෙත සහයෝගය පළ කර සිටින ලදි. මහාතිස්ස පඬිතුමා ඇතුළු කිහිප දෙනෙක් ඒ අදහසට විරුද්ධව කරුණු දැක්වුවත් බොහෝ දෙනෙකුගේ අවසාන අදහස වූයේ තම්බපණ්ණියෙන් ජීවිත ආරක්ෂාව පතා වහාම පිටත්ව යාමයි.

කාශ්‍යප නැවතත් නැගිට සිටියේය.

“මට ඔබලා පවසන දේ පැහැදිලිය. ඒ ගැන කිසිඳු තර්කයක් ඇති කර ගත යුතු නැහැ. එහෙත් මෙතෙක් වෙලාවක් ඔබට නොපැවසූ යම් කාරණයක් තිබෙනවා.”

ගිනිගත් සභාව නැවතත් සුළු මොහොතකට සන්සුන් විය.

“ඔබ නොපැවසූ කරුණු කාරණා ඇත්නම් නොසඟවා අප වෙත පවසන්න. නැතහොත් අප තවදුරටත් මෙහි නම් වසන්නේ නැත.”

රෝහණ පඬිතුමා නැවතත් දැඩිව අවධාරණය කර සිටියේය.

“මා මිත්‍ර රෝහණ පඬිතුමනි, ඔබ සහ ඔබ පිරිස පසු ගිය දින කිහිපයේ තර්ක කළ කරුණු කාරණා මා හොඳින් දනිමි. මා එයට දොසක් නඟන්නේ නැහැ. එහෙත් මේ මොහොත, සිංහ පර්වතය තනි කළ යුතු මොහොතක් නොවේ. සත්‍යයි, අපට විදෙස් රැකවරණය තිබෙනවා. පිළිගැනීම තිබෙනවා ඒත් ඒ සහය තිබෙන්නේ අපේ දැනුම හේතුවෙන් පමණයි. අපගේ නිජබිම වන මේ තම්බපණ්ණියේ පමණයි, අපට අපේ නියම නිවහල් බව තිබෙන්නේ.”

“කාශ්‍යප ඔබගේ වචන පමණක් අපට වැදගත් නැහැ. ඔබ සිදු කරන්නට අදහස් කරන ක්‍රියාව පැවසුවොත් එය සලකා බලන්න අප සූදානම්.”

“දිගු කල්පනාවකින් සහ සාකච්ඡාවකින් පසුව මා තීරණය කරනු ලැබුවා, ධාතුසේන රජතුමා වහාම හමුවීමට.”

“ධාතුසේන හමුවීමට? ඔහු හමුවීමෙන් මේ ගැටළු විසඳීමක් සිදුවන්නේ කෙලෙසද?”

“අප මෙහි විවිධ තීන්දු තීරණවලට එළැඹියද අපගේ විරුද්ධ පක්ෂය සමඟ කිසිවිටක අදහස් හුවමාරුවක් මේ වන තෙක් සිදු කර ගත්තේ නෑ. ඇයි අපි එක් අවස්ථාවක් හෝ නොගන්නේ ධාතුසේන රජු හමුවීමට.”

“ඒ මිනීමරුවා හමු වූවා කියා අපට ලැබෙන වාසිය කුමක්ද?”

“කිසිම විශේෂ වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ. මම කාශ්‍යප, ඔහුගේ පුත්‍රයෙක්. මා කැමැතියි ඔහු වෙත සාධාරණ ඉල්ලීමක් සිදු කරන්න. ගංගා දේවියගේ මරණය වෙනුවෙන් වන්දියක් සහ සමාව සමඟ ප්‍රකාශයක් බලාපොරොත්තුවෙන්.”

සභාව තුළින් ඔච්චමට මෙන් සිනා හඬ කිහිපයක් තැනින් තැන මතු විය.

“කාශ්‍යප, ඔබගේ බලාපොරොත්තුවෙන් සිදුවනුයේ අපගේ ගමන දින කිහිපයක් කල් දැමීම පමණයි. එහෙත් ඔබට කරන ගෞරව දැක්වීමක් වශයෙන් එතෙක් රැඳී සිටින්නෙමු.” 

මේ වන විටත් රටින් පිටවිය යුතු බවට දැඩි තීරණයක් ගෙන සිටි රෝහණ පඬිතුමා සහ පිරිස කාශ්‍යපට දැනුම්දී සිටියේය.

මෙකී ගමන කෙලෙස සාර්ථක වේද යන්න කාශ්‍යප ඇත්ත වශයෙන්ම දැන සිටියේ නැත. කෙසේ වෙතත් අවංක උත්සහයක් මේ මොහොතේ දැරිය යුතු බව කාශ්‍යප දැනසිටියේය. එසේ සිදු නොවුණහොත් මේ උත්කෘෂ්ඨ සමාජය ඉතා කෙටි කාලයකදී ඔහුගේ නායකත්වය යටතේ විසිරී යනු ඇත.

මේ වන විටත් කාශ්‍යප පිය රජු හමු වීමට අවසර ඉල්ලා තිබුණි. එහෙත් පවතින තත්ත්වය මත ධාතුසේන රජතුමා රජ මාළිගයේදී රාජ සභාව ඉදිරියේදී සිය පුතු හමුවීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඉදිරි පැය කිහිපය ඇතුලත කොතැන හෝ තැනක කිසිඳු කොන්දේසියකින් තොරව ධාතුසේන රජතුමා හමුවීමට කාශ්‍යප අදහස් කළේය. ඉන් අනතුරුව ඉහත කී කොන්දේසි රජු වෙත ඉදිරිපත් කරන්නට කාශ්‍යප බලාපොරොත්තු විය. 

“අපේ මේ ගමන සාර්ථක වේද මහාතිස්ස පඬිතුමනි?”

“නොබියව සිටිනු කාශ්‍යප, පෙර දින රාජ සභිකයන්ගෙන් මා විසින් දැනගත් තොරතුරු අනුව ධාතුසේන අපගේ කොන්දේසි වලට අවනත වනු ඇති.”


ගංගා කුමරියගේ මරණය සමඟ මුලු තම්බපණ්ණියම අවිනිශ්චිත බාවයකින් වෙලී ගොස් තිබුණි. මේ අතරතුර මුගලන් සිටියේ මහා විහාරයේ ගිමන් නිවන දික්සඳ මහානාම හිමියන් බැහැ දකිමිනි.

“හිමියනි, මා පිය රජුට ඔබ මුණ ගැසිය යුතු බව කියා සිටිනවා.”

“එසේමයි කුමරුනි.”

“තවද මේ මොහොතේ පිය රජතුමා ඔබගේ කුටියට පිටතින් සිටිනවා. මා විසින් ඔහු ඔබ වහන්සේගේ කුටිය වෙත කැඳවාගෙන එන්නද?”

“එසේය කුමරුනි.”

ලැබූ නව නිදහසින් සහ බලයෙන් මහානාම හිමියන් සිටියේ වෙනත් ලෝකයකය. වෙනදා සොබා දහමට ඇලුම් කළ භාවනායෝගී, නිහඬ, චාම් පැවිදි චරිතය, සෙමෙන් සෙමෙන් මේ ලැබුණු නව බලය සහ නව සම්බන්ධතා සමඟ ඈත්ව යන බවක් පැහැදිලිව පෙනේ.

“මුගලන් ඔබ පිළිබඳ විස්තර පවසන විට මා මුලින් සිතුවේ ඔබ, අප වංශ ඉතිහාසය මා නියෝග මත රචනය කරන මහා මහානාම හිමියන් කියාය.”

“නැත රාජෝත්තමයාණනි, මා නිකම්ම දික්සඳ මහානාම.”

ධාතුසේන රජතුමා මිත්‍රශීලීව දික්සඳ මහානාම හිමියන් සමඟ කතාබහට එක්විය. හෝරාවක පමණ කාලයක් තිස්සේ මහානාම හිමි වැඩ සිටි කුටිය තුල සිට සිංහ පර්වතය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ රජු සහ මහානාම හිමියන් තොරතුරු හුවමාරු කරගන්නා ලදී.

“ඔබ පවසන තතු පරිදි මහානාම හිමියනි, මුළු තම්බපණ්ණි රාජ්‍යයට වඩා වැඩි වස්තුවක් සිංහ පර්වතය සතුව තිබේද?” 

“මා දන්නා ඉතා සීමිත කරුණු අනුව එය සත්‍යයි රාජෝත්තමයාණනි. රැස්කර ඇති ධනය පිළිබඳ නම් මා වැඩිපුර නොදනිමි. එහෙත් ලිඛිත දැනුම් සම්භාරය නම් මේ ඔබගේ රාජ්‍යය වස්තුවට සම කළ නොහැකි. එලෙසම මේ පුරයේ සිරියාව කිසිඳු නගරයකට සම කළ නොහැකියි.”

“කිමද ඔවුන් මේ වස්තුව සඟවන්නේ?”

“ඒ ගැන නම් මා හට ලොකු දැනුමක් නැත රජතුමනි. එහෙත් චාටුවෙන් ඔබට එකී කරුණු කාශ්‍යප කුමාරයාගෙන් දැනගත හැකියි. ගංගා කුමරිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයට කෝප නොවී, මා මෙහි පැවසූ කරුණු වල සත්‍යතාවය සන්සුන්ව පැහැදිලි කරගන්න.”

“මහානාම හිමියනි, ඔබගේ උදව්ව කිසිදා මා අමතක නොකරමි, වෙනත් ඔබට කිවයුතු දෙයක් ඇද්ද?”

“තව දෙයක්. මේ සියල්ල හැකිතාක් රහසින් සිදු කරන්න. ඔබ සිතනවාට වඩා මේ සමාජය තම්බපණ්ණිය පුරා පැතිර තිබෙනවා. ඇතැම්විට ඔබගේ රාජ සභාවේද මේ අය සිටිය හැකියි.”

“එහෙමයි හිමියනේ, ඔබ වෙනුවෙන් නව වෙහෙරක් ඉදි කිරීම මම මුගලන්ට පැවරුවා. වෙන කළ යුතු දෙයක් ඇත්නම් මා හට දැනුම් දෙන්න. කාශ්‍යප හමුවී ඔබ මුණගැසීමට නැවත පැමිණෙනවා. මේ මොහොතේ සිට ඔබ නිලයෙන් මාගේ නව රාජ සභිකයෙක්.”

මහානාම හිමියන් තමා වෙත ලැබුණු නව තනතුරු වරප්‍රසාද ගැන උද්දාමයෙන් කල්පනා කළා මිසක තමා අතින් නොදැනුවත්ව හෝ තම පෙර සමාජයට සිදුවූ හානිය පිලිබඳ අංශු මාත්‍රයක අදහසක් නොතිබිණි. මේ සියලුම ක්‍රියාකලාපයට හේතු වූයේ හදිසි ජීවිත වෙනස්වීමයි. එනමුත් අය සමාජයට අහිතක් සිදු කිරීමේ අදහසක් මහානාම හිමියන් තුළ තිබුණේ නැත. හිමියන් නොදැන සිටියද පැහැදිලිව ධාතුසේන රජුගේ සිතෙහි තිබුණේ ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ අදහසකි.

“මුගලන්, අප කාශ්‍යපගෙන් මේ තොරතුරු චාටු බසින් ලබාගත යුතුයි. හමුවීමට අවශ්‍ය කාරණා විමසා  ඔහුට පණිවිඩ බස් වහා යවන්න. තනිව හමු විය යුතු බව දන්වන්න.”

“එහෙත් පියතුමනි කාශ්‍යප තනිව හමුවීම මෙවන් මොහොතක යහපත් ද?”

“මා හට අවශ්‍ය මේ දැනුම හා වස්තුව ලබාගන්න. ඒ සඳහා කාශ්‍යපගේ විශ්වාසය අත්‍යවශ්‍යයි. කාශ්‍යප කීපවතාවක් මා හමුවිය යුතු බව දන්වා පණිවිඩ එවා තිබෙන බැවින් අවැසි කාරණය කිමෙක්දැයි අසා මාගේ කැමැත්ත දැනුම් දෙන්න.” 

“එහෙමයි පියතුමෙනි.”

කාරණා විමසීමෙන් පසු කාශ්‍යප විසින් ගංගා කුමරියගේ මරණය සම්බන්ධයෙන් වන්දියක් සහ ප්‍රසිද්ධ සමාවක් ඉල්ලා පිළිතුරු පත් එවන ලදී.

“මුගලන් බලව, මොහු මාගෙන් වස්තුව ඉල්ලනවා. ඔහු සතුව එතරම් වස්තුවක් තිබියදීත්.”

“කිමද අප දැන් කරන්නේ පිය රජුනි?”

“මම ඔහුගේ පියා. මා සිතනවා ඔහු මාගේ බස් අසාවි යැයි කියා. අද අපරභාගයේ කලා වැව අසබඩට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දෙනු, මාගේ වස්තුව කලා වැව් දියයි. එය පමණයි මට ඔහුට දිය හැක්කේ.” 

“ඔබ හට විශ්වාසද මේ කාරණය?”

සිහින ලෝකයක අතරමඟ සිටි ධාතුසේන රජතුමාගෙන් මුගලන් විමසා සිටියේය.

“මා ප්‍රිය පුත්‍රයා. මා හට ඇති මහඟු ආසාව නම් කලා වැව මෙන් තවත් නිර්මාණ රැසක් මිය යන්නට ප්‍රථම සිදුකිරීමයි මා පුත්‍රයා. වාරි කර්මාන්තය තරම් මා අගයන මා හට ප්‍රීතිය ගෙන දෙන වෙනත් වස්තුවක්, සම්පතක්, ක්‍රියාවක් තවත් මට නැත. ඒ නිසා මේ දැනුම සහ වස්තුව මට හැකි ඉක්මනින් අවැසියි. මා සිතනවා කාශ්‍යප එයට එකඟ වනු ඇති කියා.”

“එහෙත් කාශ්‍යප ඇතුළු පිරිස සිටින්නේ ගංගා කුමරියගේ මරණය පිළිබඳ කෝපයෙන් පියතුමනි. ඔබ තනිව යාම සුදුසු නොවේ.”

“නැවතත් මා පවසන්නේ මා ඔහුගේ පියා, තොප බිය නොවන්න.”

මුගලන්ගේ පණිවිඩය විස්තරද සමඟ කාශ්‍යප වෙත ලැබුණි.

“මහාතිස්ස පඬිතුමනි, සතුටුදායක පුවතක්. සභාවට මෙය දන්වන්න. මා තනිව යා යුතුයි. ධාතුසේන පිය රජුන් අප හට වන්දියක් සමඟ සමාව අයැදීමට සිය කැමැත්ත ලබාදී තිබෙනවා.”

“කාශ්‍යප කුමරුනි, මේ හදිසි වෙනස් වීම සහ එකවරම අපගේ ඉල්ලීමට එකඟ වීම උගුලක් විය හැකියි.”

“මා සිතන්නේ නැහැ පිය රජුන් මා හට වංචාවක් සිදු කරයි කියා.”

“එහෙත් කාශ්‍යප අප සිතුවේ නැහැ නේද කිසිඳු වරදක් නොකළ ඔහුගේම නැගණිය ඝාතනය කරයි කියලා? සිදු වන්නට හැකි නරකම දෙය අප මේ මොහොතේ බලාපොරොත්තු විය යුතුයි. අපගේ මතු ආරක්ෂාව වෙනුවෙන්.”

“නරකම දෙය සිදුවී අවසන් පඬිතුමනි.” 

කාශ්‍යප කියා සිටියේ සුපුරුදු සැහැල්ලුවෙනි.

“ඔබ ඔබගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මන්දයත් ඔබගේ අවසානයේ යනු මේ සමාජය සහ අපගේ කාර්යභාරයේ අවසානය වන බැවිනි. මේ සිටින බහුතරයට තම්බපණ්ණිය පිළිබඳ විශාල හැඟීමක් නෑ, එය නැවත ගොඩ නැගිය හැක්කේ ඔබට පමණයි. ඔබ නැති වුවහොත් දේශයට සහ සමාජයට විශාල හානි පාඩුවක් සිදුවෙනවා. ඒ නිසා ඔබ අපට අවශ්‍යම මොහොතයි මෙය.”

“ඔබ කුමක්ද පැහැදිලි කරන්නට උත්සහ කරන්නේ මහාතිස්ස?”

“මා අමුත්තෙක් කැඳවා පැමිණියා, මේ කතාබහට.”

“කවුද ඔහු?”

“බිය නොවන්න, ඔහුට අයවරයෙක්.”

“එලෙස නම් කැඳවන්න ඔහු, මට හෝරා කිහිපයකට වඩා නැහැ. ධාතුසේන පිය රජුන් මුණගැසීමට.” 

මේ වන විටත් මහාතිස්ස පඬිතුමාගේ නිවසේ වෙනත් කුටියක රැඳී සිටී මිගාර, සාකච්ඡාව සිදු කරමින් සිටි ආලින්දය වෙතට පණිවුඩය ලැබී පැමිණියේය.

“මහාතිස්ස පඬිතුමනි, ඔබගේ අදහස මට නොතේරේ.” 

“මිගාර සෙනවි අප දේශයේ සිටින හොඳම යුද සෙනෙවියා. ඔබගේ ආරක්ෂාවට වෙනත් අයෙකු ගැන මට කල්පනාවක් කළ නොහැක.”

“එහෙත් පඬිතුමනි මා නම් සිතන්නේ නැහැ, ධාතුසේන පිය රජු මේ මොහොතේ මිගාර මුණගැසීමට කැමති වේ කියා. අනික කොන්දේසිය…”

මිගාර කාශ්‍යපගේ කතාබහට බාධා කළේය.

“කාශ්‍යප, මගේ සහෝදරයා. ධාතුසේන මුණගැසීමට මා ඔබ සමඟ පැමිණෙන්නේ නැහැ. මා විසින් සිදුකරන එකම කාරණය ඔබගේ ආරක්ෂාව පිළිබඳ වග වීමසීම පමණයි.”

“එසේ නම් කම් නැත, නමුත් ඔබගේ කෝපය ඔබ විසින් පාලනය කර ගත යුතුයි.” 

“ඒ ගැන බිය නොවන්න සොයුර.”

මිගාරගේ වහා කිපෙන ස්වරූපය හොඳින් දන්නා කාශ්‍යප ආරක්ෂාව කෙසේ වෙතත් මෙම තත්වය ගැන සිත යොමුකලේ සැක මුසුවය. එලෙසම ධාතුසේන පිය රජු විසින් ලබාදුන් ඔහුට නියම කල කොන්දේසි කඩ කිරීම ගැන කාශ්‍යප නැවත නැවතත් කල්පනා කරන්නට විය. කෙසේ වෙතත් මහාතිස්ස පඬිතුමා පැවසූ ලෙස යම් ආකාරයක අකරතැබ්බයක් සිදුවුවහොත් වෙනත් විකල්පයක් නොමැතිබව කාශ්‍යප තීරණය කළේය.

“හොඳයි මම එකඟ වන්නම්, මා හට විශාල සැක සංකාවක් තිබෙනවා, ඇයි ධාතුසේන පිය රජු  මා රාජ සභාව ඉදිරියට නොකැඳවූයේ කියා. මෙකී කාරණය රාජ සභාව ඉදිරියේ සාකච්ඡා කළේ නම් බහුතරයක් මා අනුමත කරන බව මට විශ්වාසයි.”

“එකඟ වෙමි ඔබ සමඟ කාශ්‍යප. අපද මේ කාරණා කිහිපවිටක් ගැඹුරින් විමසා බැලුවා. මෙය අප විසින් කළ යුතු අත්‍යවශ්‍ය කාරණයක්. ආරක්ෂාවක් නොමැතිව ඔබ ධාතුසේන රාජෝත්තමයාණන් වෙත යැවීම මේ මොහොතේ අප හට නිර්දේශ කළ නොහැකියි කෙලෙසවත්.”

“හොඳයි මිගාර, නියමිත වේලාවට මාගේ උත්තර ලැගුම් පොලේදි මුණගැසෙන්න.” 

සැලසුම් පිලියෙල කරගනු ලැබුවේ කාශ්‍යප තනිව කලාවැව සමීපයේ පිහිටි ධාතුසේන රජුගේ කුටියට ප්‍රධාන මාර්ගයේ අසු මතින් යන අතර ඔහු අවට සැඟවී සිට කැලෑ මාර්ග තුළින් ආරක්ෂාව සැපයීමටය. මිගාර පැවසූයේ රජුගේ ආරක්ෂක භටයින් ඔහුට තොරතුරු ලබාදෙන බවත් යම්කිසි අමුත්තක් ආරංචි වුවහොත් එය වහා කාශ්‍යප වෙත දැනුම් දී පියවර ගන්නා බවත්ය. නැවත නැවතත් කාශ්‍යප මිගාර වෙත කියා සිටියේ කෝපයෙන් හෝ අවසරයකින් තොරව කිසිඳු තීරණයක් නොගන්නා ලෙසය. 

“කාශ්‍යප, මාගේ නව නිවහන වන සිංහ පර්වතයේ වසන අප සැමගේ බලාපොරොත්තුව ඔබයි. බිය නොවන්න, මා ඔබව උපරිමයෙන් ආරක්ෂා කරමි.”

“මගේ කිසිම බියක් නැත මිගාර, මට ඇති එකම බිය ඔබ විසින් යම් අනුවණ ක්‍රියාවක් සිදු කරයිද යන වගයි.”

“සමාවෙන්න කාශ්‍යප, ඔබගේ පියා වුවද ධාතුසේන යනු ඔබ සිතන ආකාරයේ යහපත් පුද්ගලයකු නොවේ, තමාගේ ආදරණීය නැගණිය මරා දැමූ ඔහුට තම පුතණුවන් ඝාතනය කිරීම කජ්ජක්ද මාගේ සහෝදරයා?”

“ඔබ නිසැකවම සිතන්නේ කෙලෙසද මේ උගුලක් බව?”

“මට තොරතුරු ලැබී තිබෙනවා, ධාතුසේන ඔබ හමුවට පැමිණෙන්නේ තනිවම නොවන බව.” 

“මිගාර මම මේ ගමන නතර කළහොත් අපට ලැබෙන අවසන් අවස්ථාවද අවසන් වනු ඇති.”

“මා ඔබට ගමන නතර කරන්නට නොපවසමි. මා සපථ කරනවා ඔබ සිංහ පර්වතයේ අවසාන අයවරයා නොවන බව. ඔබ මා අයවරයකු කළේ සිංහ පර්වතය ආරක්ෂාව වෙනුවෙන්. මා එය රාජකාරියක් ලෙස නොපිරිහෙලා ඉටු කරනවා.”

“මිගාර, ඔබ පවසන දේ සත්‍යයයි. එහෙත් ආරක්ෂාව සහ යුද්ධය දෙකක්.” 

“යුද්ධයක් අවශ්‍ය නැහැ කාශ්‍යප, එය සිදුවන්නෙත් නැහැ. මා දෙයක් විමසන්නම් ඔබෙන්, ඔබට හදිසි ප්‍රහාරයක් මේ ගමනෙදි සිදුවුවහොත් මා විසින් කුමක් කළ යුතුද?”

“ඇයි ඔබ එලෙස විමසන්නේ?”

“මට අවසර තිබේද ප්‍රහාරය නතර කරන්නට?”

“මිගාර, ගැටුම නතර කරන්නට පමණක් අවසර තිබේ.” 

මිගාර ආචාර දක්වා කාශ්‍යපගෙන් සමුගෙන පිටත් විය.


“හිමියනේ, හිමියනේ, අවදි වන්න අප වහාම භාරත දේශයට පලා යා යුතුයි.”

අවසරද නොගෙන කලබලයෙන් මහානාම හිමියන් වැඩ සිටි කුටියට පැමිණි මුගලන් සැතපී සිටි භික්ෂුව වහා අවදි කළේය.

“මුගලන් කුමරුනි, කුමක්ද සිදුව ඇත්තේ?”

“නොසිතූ යමක් සිදුව තිබෙනවා, ධාතුසේන රජතුමාගේ ආරක්ෂාවට සිටි සමහර සෙබළුන් ඝාතනය කරලා, එකී ගැටුමෙන් පලා ආ සෙබළකු මා හට තොරතුරු ලබා දුන්නා, ධාතුසේන පිය රජතුමන් සිර අඩස්සියට පත් කර ඇති බවක්.”

“කවුරුන්ද මේ දේවල් සිදු කරන්නේ?”

“වෙන කවුරුන්ද? මගේ  සොහොයුරා කාශ්‍යප මිස.”

“කාශ්‍යප?”

“අපට කතා කර කර සිටීමට වෙලාවක් නෑ, මාගේ අසු සූදානම්. වහා ගොඩවන්න. මේ දැන්ම අප මාන්තොට වෙත පලාගොස් නෞකාවක් අතර සැඟවී භාරතයට අපගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් පලා යා යුතුයි.”

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *