“මට වැඩි වෙලාවක් ඊජිප්තුවෙ හැංගිලා ඉන්න බැහැ ඩොක්ටර් වසීම්, මම ඉක්මනට ඉන්දියාවට යන්නට ඕනෑ.”

කයිරෝ අන්තර්ජාතික ගුවන්තොටුපල 

“ගීෂා කෞතුකාගාරයේ හදිසි ගින්නක්. කිසිඳු ප්‍රදර්ශන භාණ්ඩයකට හානියක් සිදුවී නොමැති අතර මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ඊජිප්තු ජාතික පොලිසිය ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පවසයි. අති නවීන තාක්ෂණය භාවිතාකොට ඉදිකරන මේ නව කෞතුකාගාරය තුල ගින්නක් ඇති විය නොහැකි බව…….”

කයිරෝ අන්තර්ජාතික ගුවන් තොටේ සෑම රූපවාහිනී තිරයකම දැක්වනුයේ ඊජිප්තු ගීෂා කෞතුකාගාරයේ ගින්න පිළිබඳ විශේෂ පුවතයි.

“යස්වන්ත මම කියපු දේවල් හොයාගත්තද?”

“ඔව් රුසිරු, මම රීටාගේ අපි ගාව ඉතුරු උන ෆයිල් එක බැලුවා. මහාචාර්යතුමා කියන විදිහට මේ වගේ උපකරණ කිහිපයක් තියෙනවා. හරියටම කිව්වොත් පහක්.”

“පහක්?”

“ඔව්. පහක් තියනවා.” 

“මොනවා හරි ඉඟියක් මහාචාර්යතුමා දීලා තියෙනවාද? ඉතුරු තුන තියෙන තැන් ගැන?”

“ඔව් ඉඟි කිහිපයක්ම දීලා තියෙනවා. මහාචාර්යතුමා කියන විදිහට ජර්මනියේ කෞතුකාගාරයක තියෙද්දි එක උපකරණයක් හොරකම් කරල තියෙනවා. නැගෙනහිර ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරයේ ග්‍රීන් වෝල්ට් කියන කෞතුකාගාරයේ.”

“එහෙනම් ඒක ගැන හොයලා වැඩක් නැහැ.”

“ඔව්, තව එකක් ඉන්දියාවේ තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ උනාට ලොකු විස්තරයක් නෑ.”  

“අනිත් එක.”

“ඒක ගැන නම් කිසිම සඳහනක් නැහැ. මම කිහිප වතාවක්ම බැලුවා. පහක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා ඇරෙන්න, පස්වෙනි එක කොහෙද තියෙන්නෙ කියලා කිසිම විස්තරයක් කොහෙවත් නැහැ.”

“පුදුමයි, මහාචාර්යතුමා කියලා තියෙනවද පහක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා?”

“ඒක ගැනත් ලොකු පැහැදිලි කිරීමක් නෑ. මටත් ඒක පොඩ්ඩක් අමුතුයි වගේ. මොකද සමහර අනවශ්‍ය දේවල් මහාචාර්යතුමා ලස්සනට දිගට විස්තර කරලා තියෙනවා. ඒත් පහක් තියෙන්නෙ කොහොමද සහ පස්වෙනි උපකරණය ගැන ඇරෙන්න. ඒක නිකං හිතලම මඟ ඇරලා වගේ. මුකුත් වැඩිපුර කියලා නැහැ”

“මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ගීෂා කෞතුකාගාරයේ ඇතිවූ හදිසි ගින්නට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට. මේ පුද්ගලයන් දෙදෙනා සැකකටයුතු ලෙස ගීෂා කෞතුකාගාර භූමියේ පෙර දින තුලදී ගැවසී ඇති බවත්, මීට ඔවුන්ගේ සම්බන්ධයක් ඇත්ද යන්න තවදුරටත් වීඩියෝ පට හරහා පරීක්ෂණ සිදුකරන බවත් ඊජිප්තු ජාතික පොලිසිය පවසයි. මෙන්න ඒ පුවත නැවතත්…”

රුසිරුගේ කල්පනාව වහා යොමු වූයේ රූපවාහිනී තිරයට එක්වූ නවතම හදිසි පුවත වෙතයි. නව අවස්ථාවක් ලැබී ඇති බවට ඇතිවූ සැකය මත රුසිරු විසින් වහා වෙනස් තීරණයක් වෙත එළඹෙන ලදී.

“යස්වන්ත, කථා කර ගත්ත විදිහිට උඹලා කෙලින්ම නවදිල්ලියට යන්න. මම පුළුවන් තරම් ඉක්මනට පොඩි වැඩක් කරලා එන්නම්. දිගටම කෝල් කරන්න කරන්න. පරක්කු උනොත් කරන්න ඕන දේවල් මම හිතලා බලලා කියන්නම්.”

“උඹගෙ ෆ්ලයිට් එක තව ටිකකින් එනවනේ? අපි එකට යමු.”

“නැහැ මම ඊජිප්තුවේ තව ටික වෙලාවක් ඉන්නවා. පොලිසිය සැකපිට දෙන්නෙක්ව අත්අඩංගුවට  අරන් තියෙනවා. මම මේ ෆ්ලයිට් එක කැන්සල් කරලා පොඩ්ඩක් ගිහින් බලන්නම්. පරක්කු වෙන්න එපා. ඔය දෙන්නා ඉක්මනට ඉන්දියාවට යන්න.”

ගුවන් ගමන කල් දමා ගත් රුසිරු පැයක කාලයක් ඇතුලත CAG කොළඹ කාර්යාලය අමතා එය හරහා ඊජිප්තු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පරීක්ෂණය හා සම්බන්ධ වීමට විශේෂ අවසරයක් ලබාගත්තේය. 

කයිරෝ පොලීසිය 

“සමාවෙන්න මහත්මයා, ඔබට අවසර දෙන්න බැහැ.”

“ඇයි බැරි? මට ඔබගේ ජාතික පොලිස් මූලස්ථානයෙන් අවසර දීලා තියෙනවා.”

“මූලස්ථානයෙන් අවසර දුන්නත් මේ පොලිසියේ ලොක්කා මම. මට ඕන විදිහට මෙතන වැඩ කරන්නේ.”

“හරි මම අමාත්‍යතුමාට දැන්ම කතා කරන්නම්.”

“කතා කරන්න අවශ්‍ය නෑ.”

“එහෙනම් මේ ඊ-මේල් එක බලලා මට අවසර දෙන්න බැරි මොකද කියලා මට කියන්න?” 

අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙන බව පැවසූ වහාම නිලධාරියාගේ මුහුණේ සිදුවූ වෙනස රුසිරුට වහා වැටහුණි. වසර පනහක් පමණ වයසැති උඩු රැවුල දෙපැත්තෙන් දිගට වවා සිටි ගමේ චණ්ඩියකු වැනි මේ නිලධාරියාගේ ඇත්ත ක්‍රියා කලාපය පිළිබඳ ඔහුගේ කාර්යාලයේ මෙතෙක් වාඩිවී සිටි රුසිරුගේ තියුණු සිතට සාධාරණ සැකයක් ඇතිවීමට වැඩි මොහොතක් ගත වූයේ නැත.

“කවුරු අවසර දුන්නත් මේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති මම. ඒක හින්දා මෙතන වැඩ කෙරෙන්නෙ මට ඕන විදියට. තමුසේ මෙතනම වාඩිවෙලා ඉන්නවා විනාඩි දහයක්. අමාත්‍යතුමා කියපු නිසා හිරකාරයෝ දෙන්නා බලන්න මම ලෑස්ති කරන්නම්. වැඩිය දඟලන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේක ඊජිප්තුවේ ප්‍රශ්නයක් මිසක් ලංකාවේ ප්‍රශ්නයක් නෙවෙයි.”

අපහසුතාවයක් දැනුනද මේ මොහොතේ කළ හැකි පහසුම දේ මොහුට කීකරුවී අවශ්‍ය විස්තර ලබාගැනීමයි. නිළධාරියා රුසිරු තනි කර දමා කාමරයෙන් පිටව ගියේය. ඒ අතරතුර පොලිස් නිලධාරියාගේ පරිඝණකයේ විවෘත කර ඇති තිරයේ දැක්වුණු ධාවනය කිරීම තාවකාලිකව නවතා ඇති සීසීටීවී දර්ශන වීඩියෝ දැක වහා ක්‍රියාත්මකවූ රුසිරු විවෘත කර ඇති වීඩියෝ දත්ත ඔහු සතු ජංගම දත්ත ගබඩාවට හනි හනිකට බාගත්තේ වටපිටාව ගැන සැලකිලිමත් වෙමිනි.

“මොකක්ද තමුසේ කරන්නෙ ඔතන?”

දත්ත බාගැනීම තත්පර කිහිපයකට පෙර අවසන් කර පරිඝණකය අසල සිටගෙන සිටි රුසිරුගෙන් නිලධාරියා කේන්තියෙන් විමසා සිටියදී රුසිරු තිගැස්සී ගියේය. 

“නැහැ මේ මුකුත් නෑ, මේ වීඩියෝව එදා රෑ එකද?”

“තමුසෙ අවසර ඉල්ලුවේ හිරකාරයො බලන්න මිසක් වීඩියෝ බලන්න නෙවෙයි නේද?”

මොහුගෙන් මේ පරීක්ෂණයට කිසිඳු සහයෝගයක් නොලැබෙන බව ස්ථිරය.

“මම අවසර ඉල්ලලා තියෙන්නේ පරීක්ෂණයට සම්බන්ධ වෙන්න.”

“ගිහින් හිරකාරයෝ හම්බ වෙනවා. ඊට පස්සේ පරීක්ෂණයට සම්බන්ධ වෙන්න පුළුවන්.”

පරිඝණකය වහාම වසා දැමූ නිලධාරියා කාර්යාලයේ දොරටුව විවෘත කර රවමින් රුසිරු දෙස බලා සිටියේ යායුතු දිශාව එක අතකින් පෙන්වමිනි.

මඟ දක්වමින් සිරකරුවන් රඳවා සිටි ස්ථානයට රැගෙන ගිය නිලධාරියා, එහි සිටි භාෂා පරිවර්තක වෙත රුසිරු හඳුන්වා දුන්නේ සිරකරුවන් හට ඉංග්‍රීසි කතා කළ නොහැකි බව පවසමිනි. රුසිරු තම දුරකථනයේ හඬ පටිගත කිරීමේ මෙනුව රහසේ විවෘත කර සඟවා නැවත සාක්කුවට දමා ගත්තේය.

“අහන්න මේ අයගෙන්, කීයටද කෞතුකාගාරයට ගියේ කියලා?”

රුසිරු භාෂා පරිවර්තක වෙත දන්වා සිටියේය.

“දවල් දෙකට විතර කියලා කියනවා සර්.” 

“ගිනි තියන්න සම්බන්ධ වුණාද?”

“ඔව් කියලා පිළිගන්නවා.”

“ඇයි ගිනි තිබ්බේ?”

“ආණ්ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න.”

“ඇයි ඒකට කෞතුකාගාරයට ගිනි තිබ්බේ?”

“පිළිතුරක් නැත සර්.” 

පරිවර්තකයා කියා සිටියේය.

“මං මේ දෙන්නගේ පින්තූරයක් ගත්තට කමක් නැද්ද?”

“ගැටලුවක් නැහැ සර්.” 

අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ ඡායාරූප ලබාගත් රුසිරු පොලිස් ස්ථානයෙන් පිට වූයේ කිසිඳු වැදගත් හෝඩුවාවක් නොමැතිවය. ‍ප්‍රධාන පොලිස් ස්ථානාධිපති නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳ ඇතිවූ සැකය හේතුවෙන් ඔහු ලුහු බැඳීමට රුසිරු තීරණය කළේ වෙනත් හෝඩුවාවක් ලැබේදෝ යන නොදන්නා සැකයෙන් යුක්තවය. පොලිස් ස්ථානය අසල ගාල් කර තිබුණු කුලී රථයකට රුසිරු ගොඩවිය.

“මට ගමනක් යන්න තියෙනවා. ඒත් කෙනෙක් එනකන් ඉන්න ඕනේ.”

“කොහෙටද සර්?” 

“මම තව ටිකකින් කියන්නම්. මීටරේ දාගන්න. මීටරේ තියෙන ගාන වගේ දෙගුණයක් ගෙවන්නම්. ගමන අවසන් කළහම.”

“සර් එහෙම ගෙවනවා නම් කිසි ගැටලුවක් නැහැ. දවසම උනත් ඉන්නම්.”

හෝරාවකට අඩු කාලයක් රස්තියාදුවූ පසු රුසිරු දුටුවේ පොලිස් නිලධාරියා පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් පිටතට පැමිණ එහි ඉදිරිපිට නවතා තිබූ පුද්ගලික රථයක නැගී ප්‍රධාන ගේට්ටුවෙන් පිටත් වන ආකාරයයි.

“අන්න අර වාහනේ පිටිපස්සෙන් යන්න.”

රුසිරු කුලී රථ රියදුරාට අණ කළේය.

“හොඳමයි සර්.”

දැඩි තදබදයෙන් යුත් කයිරෝ නුවර මාර්ග මේ මොහොතේද සුපුරුදු ලෙස වාහන නළා ශබ්දයෙන් සහ දුහුවිල්ලෙන් පිරී ඉතිරී තිබුණි. වැඩි වාහන සංඛ්‍යාවක් මාර්ගයේ එක දිගට පෝලිමටවූ බැවින් එකී රථය ලුහුබැඳීම අපහසු වූයේ නැත. තරුණ කුලී රථ රියදුරාද දක්ෂයෙකි. කෙසේ හෝ අවට වාහන වලට බැන වදිමින් කෑගසමින් ඉලක්කය කරා ගියේ ලැබෙන මුදල සිහි කර විය යුතුය. 

මේ කලබල මැද රුසිරුගේ ජංගම දුරකථනය නාද වන්නට පටන් ගති.

“හලෝ ඉක්මනට කියන්න.”

“හෙලෝ රුසිරු ඔයා කොහෙද?”

“කවුද මේ?”

“මම ඩොක්ටර් වසීම්.”

“ඩොක්ටර් මම පොඩි වීදි සංචාරයක් යන ගමන්. තාම කයිරෝ වල.” 

“මම හිතුවේ මේ වෙද්දී ඩුබායි වල වෙන්න ඇති කියලා.”

“හදිස්සියක්ද කතා කලේ?”

“නැහැ අලුත් විස්තර මොනවා හරි තියෙනවද කියල බලාගන්න?”

“ඔව් ඩොක්ටර්, එහෙම හෝඩුවාවක් පස්සේ මම දැන් යන ගමන්. මට ඩොක්ටර්ව හම්බ වෙන්නත් ඕනේ. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. දැන් නම් ලොකු හදිස්සියක මම ඉන්නේ. පස්සේ ගන්නම්.”

“කිසිම ප්‍රශ්නයක් නෑ, ඕන වෙලාවක මම ලෑස්තියි, මේ ෆෝන් නම්බර් එක රුසිරුගේ නේද?”

“ඔව්.”

“මේක දිගටම ඔන් එකේ තියාගන්න. මම හම්බවෙන්නම්.”

“හොඳයි ඩොක්ටර්. පස්සේ ගන්නම්.”

රුසිරු පිළිතුරු දුන්නේ කලබලයෙන් සහ වේගයෙනි.

කයිරෝ 

අතුරු පහරවල් කිහිපයකින් හැරවූ රථය, ජනාකීර්ණ බවින් අඩු පෙදෙසක පිහිටි එකම ආකාරයක පෙනුම සහිත නවීන නිවාස පද්ධතියක් වෙත ඇතුළුවිය. දෙමහල් නිවාස ආකාරයට එකම හැඩයකින් යුක්තව පිහිටා තිබුණු වීදි රැසක පිහිටා ඇති මෙම නිවාස අනිවාර්යෙන්ම කයිරෝ නුවර මිල අධික නිවාස සංකීර්ණයක් තුල පිහිටා ඇති බව විශ්වාස කල හැකිය. අක්කර විශාල ප්‍රමාණයක පැතිරී ඇති මේ නිවාස සංකීර්ණයේ එක් හරස්වීදියකින් ඇතුළත් කෙරුණු රථය මංසන්ධියක් ආසන්නයේ පිහිටි නිවසක් ඉදිරිපිට නතර කරන ලදී. ඊට කිට්ටුවෙන් රථය නතර කල රුසිරු පොරොන්දුවූ පරිදි මුදල් ගෙවා කුලී රථ රියදුරා පිටත් කර හැරීය.

මෙහි නිවාස එකිනෙකට යාබදව නිවුන් ගොඩනැගිලි පරිදි ගොඩනඟා තිබූ අතර පැරණි ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා කර විශාල ගෙවත්තක් නොමැති බිම් කඩක් තුල නාගරික පෙනුමෙන් ඉදි කර තිබුණි. 

නාද වුවහොත් ශබ්ද නොනැගෙන ආකාරයට ජංගම දුරකථනය නිහඬ කළ රුසිරු තමන් සතු කුඩා බෑගය පිටේ එල්ලාගෙන, සැඟවී නිවස තුළට ඇතුලත් විය හැකි ආකාරයක් සොයා ගැනීමට ඈත සිට අවට නිරීක්ෂණය කළේය.

නිවස ඉදිරිපිට ඇති තරමක් විශාල පඳුරක් වැනි ගසකින් සඳලුතලයට ගොඩවිය හැකි නමුත් එහි කවුරු හෝ සිටීනම් එකී උත්සාහය ඉතා භයානක විය හැක. පොලිස් නිලධාරියෙකු හේතුවෙන් අනිවාර්යෙන් ඔහු සතුව ආයුධ තිබිය හැකි අතර සුපුරුදු තාක්ෂණික උපකරණ කීපයක් හැරුණු කොට රුසිරු සතුව කිසිඳු ආයුධයක් නොතිබිණි.

නිවස වෙත පොලිස් නිලධාරියා පැමිණි මෝටර් රථයට අමතරව නිල පොලිස් රථයක්ද ඉදිරිපිට නවත්වා ඇත. මෙය ඔහුගේ නිල වාහනය විය යුතුයි. වැඩි කල් මැරීමක් සිදු කළ නොහැක. මෙකී සිද්ධි කාරණා සඳහා මේ පොලිස් නිලධාරියා සම්බන්ධ නම් අද සිදුවූ සිදුවීම හේතුවෙන් මේ පිලිබඳ මොහු අනිවාර්යෙන් අනිකුත් කණ්ඩායම් සමඟ සාකච්ඡා කරනු ඇතැයි රුසිරු කල්පනා කළේය.

ඉක්මනින්ම කළ යුතු හොඳම දේ නිවස තුළ පටිගත කිරීමේ උපකරණයක් තැන්පත් කිරීමයි. යම් අවදානමක් දරා හෝ නිවස තුලට ඇතුලුවී මේ උපකරණය තබා පැමිණියහොත් වඩාත් පැහැදිලි හෝඩුවාවක් හෝ ඉදිරි තත්ත්වයක් දැනගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි රුසිරු නිගමනය කළේය. මෙය මේ පරීක්ෂණය සම්බන්ධව ඔහුට දැනට ලැබී ඇති හොඳම අවස්ථාවයි. 

මේ නිවසට සමාන්තරව පිටුපසින් ඇති නිවාස පේලිය සමඟ ඇති මාර්ගය වෙත ගොස් පරීක්ෂාකළ රුසිරු දුටුවේ පොලිස් නිලධාරියාගේ නිවස සමඟ අනික් පැත්තේ බද්ධව ඇති නිවසේ විකිණීම සඳහා පුවරුවක් දමා ඇති බවයි. එහිද පොලිස් නිලධාරියාගේ නිවසේ මෙන්ම සඳලුතලයක් දෙවන මහලේ තිබූ අතර එකී සඳලුතලයට පහසුවෙන් ගොඩ වීමේ හැකියාව තිබුණේ එකම ආකාරයට එය ඉදිරිපිට වවා තිබූ ගස් කිහිපයක් හේතුවෙනි.

දෙවන මහලට සඳලුතලයෙන් ගොඩවූ රුසිරු එහි පිවිසුම දොර යතුරු දමා වසා තිබුණු බැවින් වීදුරුවකට අතින් පහර දී කඩා දමා ජනේලයේ අගුල ඇතුළතින් විවෘත කර නිවස තුලට ඇතුල්විය.

දූවිල්ලෙන් පිරී ගිය මුළු නිවසම පාළුවට ගිය එකකි. සෑහෙන කාලයකින් කිසිවකු වාසය කර ඇති බවක් නම් නොපෙනේ. දැන් සොයාගත යුතුව ඇත්තේ නිලධාරියාගේ නිවසට ඇතුළුවීමට මගකි. නමුත් එය පැහැදිලි සහ පහසු කාරණයක් ලෙස නම් නොපෙනේ.

සිවිලිම තුලින් ඇතුළුවී වහලය උඩට පැමිණ බද්ධවූ අනිත් නිවස හෙවත් පොලිස් නිලධාරියාගේ නිවසට වහලෙන් ඇතුළු වීමට මගක් සෙවීම වඩාත් සාර්ථක උත්සාහය බව නිවාස වෙන් කෙරෙන පහල බිත්ති පරික්ෂා කල රුසිරු තීරණය කළේය. වාසනාවකට මෙන් පැරණි ගෘහ නිර්මාණ ශිල්පයන් අනුගමනය කර ඇති නිසා වහලට යොදා තිබුනේ මැටි වලින් සෑදූ උළු වැනි නිර්මාණයකි. 

තීරණය කල අයුරින්ම අපහසුවෙන් කුඩා ඉඩක් සහිත සිවිලිමෙන් වහලට ඇතුල්වී උළු කිහිපයක් ඉවත් කර සෙමින් සහ ප්‍රවේශමෙන් අසල නිවාසයේ වහල වෙතට රුසිරු ගොඩ විය. එකී නිවසේ සඳලුතලය පිහිටා ඇති දෙසට බඩගා ගමන්කළ රුසිරු එහි කෙලවර ආසන්නයේ උළු කැට කිහිපයක් ඉවත්කලේ ඇතුළත ශබ්දයන් වඩාත් විමසිලිමත්ව ඇහුම්කන් දීමටයි. කිහිපදෙනෙකුගේ හඬ ශබ්ද අරාබි බසින් තරමක උස් හඬින් කිට්ටුවෙන් ඇසෙයි. ඒ අනුව සඳලුතලය නම් පිවිසීමට ආරක්‍ෂිත නැත.

මෙකී නිවස සහ රුසිරු ඇතුළුවූ නිවස එක හා සමාන සැලසුමකට අනුව ගොඩනඟා ඇතැයි රුසිරු කල්පනා කළේය. නැවත පැමිණ බද්ධ නිවස වෙත ගොස් එහි ඇති කාමර නැවතත් පරීක්ෂාකොට ගබඩා කාමරයක් වැනි භාවිතයේ නොමැති කාමරයකින් නිවසට ඇතුළත් විය යුතු යැයි රුසිරු තීරණය කළේය.

මෙය ඇඟ කිලිපොළා යන බටහිර චිත්‍රපටි දර්ශනයක් නොවේ. කිසිඳු සූදානමක් හෝ දැනුමක් නොමැතිව, නොදන්නා රටක, නොදන්නා නිවසක කිසියම් වාසියක් හෝ නොමැතිව, අනීතිකව සිදුකරන ලබන ඇතුළුවීමකි. සුළු හෝ වැරැද්දක් සිදු වුවහොත් මරණය හෝ ඒ හා සමාන දඬුවමක් ලැබීම අනිවාර්යය..කිහිප විටක් නැවත හැරී යාමට සිතුනද මහාචාර්යතුමාගේ දිවි ගලවාගැනීමට සහ ඒ පිලිබඳ තොරතුරු දැන ගැනීමට මෙතෙක් ලැබූ එකම අවස්ථාව මෙය බව සිතා, සිතෙහි පැවති බය සහ සැක සංකා දුරු කරගෙන නිවසට ඇතුළුවීමට රුසිරු අධිෂ්ඨාන කර ගත්තේය.

ගබඩා කාමරය යැයි සිතා නිවසේ උළු ගලවා දැමූ නමුත් රුසිරුට පෙනෙන්නේ සිවිලිම පමණි. එය පය තැබීමට තරම් සවිමත් එකක් නොවේ. නමුත් සඳලුතලය කිට්ටුව ඇසූ ආකාරයේ කිසිඳු ශබ්දයක් මේ කාමරයෙන් නොඇසේ. යමෙකු නිදා නොසිටියහොත් මෙය සාර්ථක ඇතුල්වීමක් වනු ඇතැයි රුසිරු විශ්වාස කළේය.

පළමුවෙන් හිස ඇතුලත් කර රුසිරු විමසා බැලුවේ සිවිලිමට පහතින් ඇතුළුවීම සඳහා ඉඩ තබා ඇති පුවරුව සොයා ගැනීමටයි. අඩි තුනක් පමණ ඈතින් එකී පුවරුව ඇති බව වටහාගත් රුසිරු නැවත ඒ කිට්ටුවට පැමිණ පුවරුවට කිට්ටුවෙන් ඇති උළු ඉවත්කර වහලය මත දිගාවී තම අතින් සෙමින් එකී සිවිලිමේ පුවරුව ඉහලට ගත්තේය. 

කුඩා නිදන කාමරයකි. කිසිවෙකුත් එකී කාමරයේ පෙනෙන්නට නැත. දොරද වසා තිබෙන බවක් පෙනේ. වහලයේ ලීය තනි අතින් අල්ලාගෙන සෙමෙන් සෙමෙන් රුසිරුගේ ශරීරය පහළට ගෙන ආවේ ජිම්නාස්ටික් ක්‍රීඩකයකු මෙන් ක්‍රීඩාශීලීවය. සුලු හඬක් නගමින් ඇඳ මතට ඇදවැටුණු රුසිරු වහා නැගිට ඇඳ යටට ගොස් කිසිවකු හෝ එකී ශබ්දය අසා පැමිණේද යන්න පිලිබඳ පළමුව විමසිලිමත් විය.

විනාඩි කිහිපයක් ඇඳ යට සිටි රුසිරු ආපදාවක ලකුණු නොතිබූ බැවින් ගැහෙන හදින් යුතුව සෙමෙන් එළියට පැමිණ දොර අසල සිටගෙන ඇහුම්කන් දෙන්නට විය. දැනට නම් කිසිඳු ශබ්දයක් ඉහළ මාලයෙන් හෝ සඳලුතලයෙන් නොඇසේ. පහතින් කිහිපදෙනකුගේ කටහඬවල් තවමත් ඇසේ.

ශබ්ද නොනැගෙනසේ අගුළු නොදැමූ කාමරයේ දොර විවෘත කළ රුසිරු අවට නිරීක්ෂණය කර බැලුවේය. විවෘත සාලයකි. ප්‍රධාන නිදන කාමරය වම් පැත්තේ පෙනේ. පැහැදිලිව සම්පූර්ණයෙන් කාමරය ඇතුළත නොපෙනුනත් කිසිවෙකු එහි සිටින වගක් පෙනෙන්නට නැත. සාලයේ කෙළවර සඳලුතලයට විවෘත වී ඇත. සඳලුතලයත් සාලයත් අතර පඩිපෙළ ලී කැටයම් සහිතව පහතට රවුමට සාදා ඇත. මෙය සහ බද්ධ නිවාසය එක හා සමාන වීම රුසිරුට මහත් වාසියක් සහ අනගි පෙර සුදානමක් විය. 

දුරකථනය සහිත මේසයක් පඩිපෙළ ආසන්නයේ පෙනෙන්නට ඇත. පටිගත කර සවන් දිය හැකි කුඩා උපකරණය එහි සවි කළ යුතු බව රුසිරු තීරණය කළේය. සෙමෙන් සෙමෙන් ශබ්ද නොනැගෙනසේ එය වෙත ගමන් කළ රුසිරු උපකරණය රඳවා සඳලුතලය දෙසට යාමට උත්සහ කළේ පිටත පෙනෙන්නට තිබෙන ගසින් පහළට බැස සැඟව යාමටයි. 

සඳලුතලයට ඇතුළු වනවාත් සමඟම කිහිප දෙනෙක් කෑගසමින් පඩිපෙළ නැග එන අයුරු රුසිරු දුටුවේය. ඉදිරියේ තිබූ වීදුරු මේසයද පෙරලාගෙන රුසිරු ගසට නැගුනා නොව පැන්නාය. පොලිස් නිල ඇඳුම් ඇඳ ගත් දෙදෙනකු සමඟ සිවිල් ඇඳුමින් සිටි පොලිස් ප්‍රධානියා සඳලුතලයේ සිට වෙඩි කිහිපයක් ගස වෙත තැබුවත් පෙර වාසනාවකට හෝ සහ ගසේ විශාලත්වය සමඟ ඇති පඳුරු ස්වභාවය හේතුවෙන් රුසිරු ඉලක්ක වූයේ නැත.

“නගින්න රුසිරු ඉක්මනට නගින්න.”

විදුලි වේගයෙන් නිවස ඉදිරිපිටට පැමිණි නවීන මෝටර් රථයේ ඇසුණු කටහඬ ආචාර්ය වසීම්ගේය. 

වෙඩි වරුසාවක් මැද රුසිරු මුවාවී සිටි ගසින් පැන දිවගොස් රථයට ගොඩවිය.

“කොහොමද ඩොක්ටර් දන්නෙ මම මෙහේ කියලා?” 

අනූනවයෙන් දිවි ගලවා ගත් රුසිරු දිගු සැනසුම් සුසුමක් හෙලා ප්‍රශ්න කළේය.

“රුසිරු කෝල් එක දුන්න වෙලාවේ මම ඒක ආවෙ කොහෙන්ද කියල GPS තාක්ෂණයෙන් හොයා ගත්තා. ඊට පස්සේ ඔයා ඉන්න තැන හොයාගෙන මම කිව්වා වගේ ආවා. ෆෝන් එක ඔෆ් කරන්න එපා කිව්වේ ඒක නිසා.”

“හරිම වෙලාවට තමයි ඩොක්ටර් ආවෙ. නැත්නම් මම හිතන්නේ නැහැ මට එතනින් බේරෙන්න පුළුවන් වෙයි කියලා.”

රුසිරු පිටුපස බලමින් විමසූයේ පොලිස් රථ හෝ පොලිස් නිලධාරියාගේ පුද්ගලික රථය පසුපසින් ලුහුබඳිනවාද කියාය.

“ඔය නිලධාරියා මම දන්නවා. දූෂිතම පොලිස් කාරයෙක්. මම බය උනා එහෙට යනවා දැක්කහම.”

ආචාර්ය වසීම්ගේ රියදුරා ඉතා වේගයෙන් රථය ඉදිරියට පදවමින් අතුරු පාරවල් කිහිපයකට වාහනය යොමු කළේය. තුන්වන අතුරු පාරට යොමු කළ වහාම ඉදිරියට පැමිණියේ තවත් පොලිස් රථ කිහිපයකි. හඬනගමින් වාහනය පිටුපසට ධාවනය කළ රියදුරා ප්‍රධාන මාර්ගයට නැවත ගෙන අධිවේගයෙන් පලායන්නට පටන් ගත්තේ පසු පසින් ලුහුබඳින පොලිස් සයිරන් නලා සහිත පොලිස් රථ මඟහැරීමටයි.

“හයියෙන් අල්ලගන්න රුසිරු, අපි ළඟ පාරකින් යන්න හදන්නේ.”

කෙටි පඩිපෙළක් සහිත කුඩා පාරකින් දකුණට හැර වූ රථය කිහිප වතාවක් විසිවී ගොස් පහළට වැටී තවත් අතුරු මාර්ගයකින් වමට හැරවීය. විනාඩියක් යාමට පෙර කම්හලක් වැනි ගොඩනැගිල්ලකට ඇතුළුවූ රථය එහිවූ ගරාජයකට ඇතුළත් කර එන්ජිම නිවාදමා ගරාජයේ දොර වසා දමන ලදී.

“දැන් බයවෙන්න දෙයක් නැහැ. මෙතන ආරක්ෂිතයි. අපි වාහනෙන් එලියට ඇවිල්ල හිමිහිට සෙනඟ එක්ක යමු. මෙතන ඉඳන් කිලෝමීටර් දෙකක් විතර පයින් යන්න වෙනවා. නවතින්න පුළුවන් තැනකට. මගේ වාහනේ පිටිපස්සෙ තියෙන ඇඳුම් ඇඳගන්න. ඒවා නිසා රුසිරු අඳුරගන්න බැරි වෙයි.” 

“මට වැඩි වෙලාවක් ඊජිප්තුවෙ හැංගිලා ඉන්න බැහැ ඩොක්ටර් වසීම්, මම ඉක්මනට ඉන්දියාවට යන්නට ඕනෑ.”

“මම හිතන්නේ නැහැ ඒක හොඳ වැඩක් කියලා. ඒ පොලිස් ස්ථානාධිපතිවරයා මේ නගරයේ ගොඩක් බලගතු කෙනෙක්.”

“එහෙනම් කයිරෝවල එයාපෝර්ට් යන එක මේ වෙලාවේ භයානකයි. මම වෙන එයාපෝර්ට් එකකින් හරි ඉන්දියාවට යන්න ඕනේ.”

“ළඟම තියෙන ඊළඟ එයාර්පෝට් එක ඇලෙක්සැන්ඩ්‍රියාවේ. කිලෝමීටර 200ක් වගේ. අපි එතනට යමු. ඉන්දියාවට නම් කෙලින්ම ෆ්ලයිට් නැතුව ඇති. බැරිවෙන එකක් නෑ වෙන රටකට ගිහිල්ලා යන්න.”

“අපි එහෙනම් එහෙම කරමු ඩොක්ටර්.”

“මම වැඩිවෙලාවක් යන්න කලින් ගමන ලෑස්ති කරන්නම්. ආරක්ෂාවට තව කීපදෙනෙකුත් එක්ක.”

“මට තව දේවල් කිහිපයක් කරලා ඕනේ.”

“මොකක්ද කියන්න. ස්ථූපය හොයා ගන්න ඕන උදවුවක් කරන්න අපි ලෑස්තියි.”

“මගේ මේ පෙන් එකේ තියනවා වීඩියෝ එකක්. ඒක පොඩ්ඩක් බලන්න. මේ ෆොටෝ දෙකේ ඉන්න කට්ටිය ඒකෙ ඉන්නවද කියලා. ඒ වගේම මම පටිගත කිරීමේ උපකරණයක් ස්ථානාධිපතිගේ ගෙදර හයිකරලා තියෙනවා. මට කණ්ඩායමක් ඕනේ ඒක දිගටම පරික්ෂා කරන්න. තව මේ දෙන්නා කතාකරන එකේ තේරුම මට කියන්න.” 

රුසිරු විසින් පටිගත කරන ලද පොලිස් ස්ථානය තුල සැකකරුවන් සමඟ සිදුවූ කතාබහ ඩොක්ටර් වසීම්ට ඇහුම්කන් දෙන්නට සැලැස්සුවේය.

“මේ කතාබහේ රුසිරු අහන කිසිම ප්‍රශ්නයක් භාෂා පරිවර්තකයා අහන්නේ නැහැ. වෙන වෙන දේවල් අහන්නේ. අන්තිම ප්‍රශ්නේ ඇහුවහම පරිවර්තකයා කියනවා කතා නොකර කටවහගෙන ඉඳපං කියලා.”

“මම හිතුව හරි.”

රුසිරු සිය දුරකථනය නැවත සාක්කුවට දමා ගන්නා අතරතුර කියා සිටියේය.

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *