“පේන්න ලස්සන තිබ්බට මුම්බායි වල ඇත්ත කතාව පේනවට වැඩිය දුකක්. මේ නගරයේ ප්‍රමාණය නිව්යෝක් නගරය වගේ ඒත් මුළු නිව්යෝක් ප්‍රාන්තෙ තරම් ජනතාවක් මේ නගරයේ ජීවත් වෙනවා. ඒ වගේම ලෝකෙ ලොකුම මුඩුක්කු වලින් එකක් තියෙන්නෙත් මේ නගරේ.”

“අහෝ බටහිර ලුසීටානා වෙරල තීරය,

ඔබ මත පවරා ඇති ආයුධ සහ බැරන්වරු,

කිසිදාක යාත්‍රා නොකෙරූ මුහුදු මතින්,

ඔවුන් තැප්‍රෝබානාවටත් එපිටට යාත්‍රා කලෝය.

අසීරුවූ යුධයන් සහ අන්තරා මැදත්,

කැලෑවැදි මිනිස් සමාජ අතරෙහි,

බලාපොරොත්තුවූ මිනිස් ශක්තීන් ඔබබවා,

ඔවුන් අති උත්කෘෂ්ටයි සැලකුණු නව රාජධානියක් පිහිට වූවෝය.”

“මොකක්ද මේ කතාවේ තේරුම යස්වන්ත?”

නවදිල්ලිය

“මටත් හරියට හිතාගන්න බැහැ, උඹ පොඩ්ඩක් විවේක ගනින්. ආවා විතරයිනේ.”

ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට සාජා හරහා නවදිල්ලියට පැමිණි වහාම විවේකයක් ද නොගෙන යස්වන්තගේ ඥාතියකුට හිමි මහල් නිවසක සිට රුසිරු සිය රාජකාරි ආරම්භ කළේය.

“මේ කථාව මහාචාර්යතුමා තැන් කීපයකම කියලා තියෙනවා. මට තේරෙන්නෙ නැහැ මේකේ අදාලත්වය මොකක්ද කියලා?”

“මම මහාචාර්යතුමාගේ ෆයිල් එක රුසිරු ඇලෙක්සැන්ඩ්‍රියා ඉද්දි ඊ-මේල් කරනකොටත් ඕක මොකක්ද කියලා හොය හොය හිටියෙ.”

“අනේ මහ ලොකු ස්කොට්ලන්ඩ්යාඩ් එකයි, CAG එකයි, පොඩ්ඩක් අයින් වෙන්න. ජනේලේ වහලා මේසේ ගාවින් ඉඳගන්න.”

ඉන්දියානු සාරියකින් සැරසුණු රීටා සිය ලැප්ටොප් එකද රැගෙන රුසිරු සහ යස්වන්ත සාකච්ඡා කරමින් සිටි ස්ථානයට පැමිණියාය. මෙය නවදිල්ලි නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි මධ්‍යම පාන්තික තට්ටු නිවාස සංකීර්ණයකි. ප්‍රධාන මාර්ගයකට යාබදව පිහිටා නොතිබුණද තෙවන මහලේ පිහිටි මේ නිවසට පහළ රථවාහන වල ශබ්දය සහ නොනවතින නලා හඬ තදින්ම ඇසුණි.

“හොඳයි හොඳයි ඕස්ට්‍රේලියානු ජාතික පුස්තකාලය, අපිට විස්තර කියන්නකො.”

කෑම මේසයේ රීටා සමඟ දෙදෙනාම වාඩිවූයේ ජනේලය වසා දමාය.

“ඔය දෙන්නා ගොඩක් දේවල් ගැන විශේෂඥයෝ වෙන්න ඇති. ඒත් සාහිත්‍ය කියන්නේ මගේ උසස් පෙළ විෂයක්.”

“හරි හරි ඔයා සාරියට ලස්සනයි. දැන් වැඩිය ගණන් උස්සන් නැතුව අපිට කියන්නකො.”

රුසිරුගේ වැඩි උනන්දුවට යස්වන්තට සිනහ ගියේය.

“බටර් ගාලා හරි වැඩේ කරගන්න නේද යන්නේ. වෙන අඳින්න මේ ගෙදර ඇඳුමක් නැති නිසා මම ඕක ඇන්දේ.”

“නැතුව කොහොමද ඔයා ශේක්ෂ්පියර්නේ.” 

“ශේක්ෂ්පියර් වගේ එක්කෙනෙක් තමයි මේ කවිය ලියලා තියෙන්නේ මෝඩයො.”

“මොන කවියද?”

“ඔය බක පණ්ඩිතයෝ දෙන්නා පැය ගාණක් තිස්සේ ඔය කතාවක් කියලා කියවන්නේ පෘතුගීසි කවියක ඉංග්‍රීසි පරිවර්තනයක්.”

“ඇත්තටම?”

රුසිරු විමසුවේ විමතියෙනි.

“ඔව්. මේක එච්චර මමත් දන්න කවියක් නෙවෙයි. ඉංග්‍රීසි සාහිත්‍යය නොවන නිසා, ඒත් පෘතුගීසි සාහිත්‍යයේ ශේක්ෂ්පියර් වගේම එක්කෙනෙක් තමයි ලුවිස් වාස් ද කැමොඑස් කියන්නේ.”

“ලුවිස් වාස් ද කැමොඑස්?”

“ඔව්. ලුවිස් ජීවත් වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ එක්දහස් පන්සිය ගණන් වල. එයාගේ ලුසියාඩ්ස් කියන සුප්‍රසිද්ධ පොතේ එන කවියක් මේක.”

“ඇයි මෙහෙම කවියක් කිහිප සැරයක් මහාචාර්යතුමා පෙන්නලා තියෙන්නේ? රීටා දන්න විදිහට මහාචාර්යතුමාට සාහිත්‍යය ගැන ඇල්මක් තිබ්බද?”

“විශේෂයෙන් කියන්න දන්නේ නැහැ. හැබැයි කිසිම සාහිත්‍යය පොතක් එඩ්වඩ් මාමාගේ ගෙදර නම් දැකල නැහැ මම.” 

“අපිට ලුවිස් ගැන පොඩ්ඩක් විස්තර හොයලා කියන්න. මේ කවියෙ තේරුමත් පොඩ්ඩක් බලන්න. ඔයාගේ විෂයනේ. ලංකාවට ආපු දවසක හොඳ සාරියක් අරන් දෙන්නම්.”

“අනේ ඔයාගේ සාරි නම් වැඩක් නෑ. මං මේක හොයල දෙන්නම්.”

මේසයෙන් නැගිට රීටා නැවත කාමරය වෙත ගියාය.

“අපිට කොහෙන් හරි කොනක් අල්ල ගන්න වෙනවා යස්වන්ත. ASI එකෙන් මොකද කිව්වේ? 

“මම විස්තර ටික ඔක්කොම කියලා රුසිරු කියපු විදිහට පණිවිඩයක් යැවුවා, දැනට කිසිම හෝඩුවාවක් නැහැ. හෙට ඒ ගොල්ලෝ බෝට්ටුව ගැනයි, මහාචාර්යතුමා ගැනයි, බුද්ධි අංශවලට දැනුම් දෙන්නම් කියලා කිව්වා. මට තියන ලොකුම ගැටලුව කිසිම ඉදිරියට යන්න ඕන විස්තරයක් මට හිතාගන්න බැරි එක. ඉන්දියාවේ කොතනටද යන්න ඕනේ කියලා.”

“ස්කොට්ලන්ඩ්යාඩ් එකෙන් කිසිම පණිවිඩයක් නැද්ද?”

“දැනට නැහැ. බෝට්ටුව ගැන නම් කිව්වා. ඒක කුවේට් වල ලියා පදිංචි වෙච්ච එකක්. බෝට්ටුවේ GPS සිග්නල් වැඩ කරන්නේ නැහැ.”

“GPS එක හිතලම ඕෆ් කරලා ඇති තැන හොයාගන්න බැරිවෙන්න.”

“මමත් හිතන්නේ එහෙමයි. ඒත් ස්කොට්ලන්ඩ්යාඩ් එකෙන් මැදපෙරදිග බුද්ධි අංශ වලටත් දැනුම් දුන්නා කියලා කිව්වා.”

“ඒ හරියෙ මේ දවස් වල තියෙන ප්‍රශ්නත් එක්ක මේකට නම් ලොකු තැනක් හම්බ වෙන එකක් නෑ.” 

“ඒක නම් ඇත්ත.”

“ඇයි මේ කණ්ඩායම බෝට්ටුවක් තෝරගන්න ඇත්තේ? ලන්ඩන් වලින් ෆ්ලයිට් එකේ ඇවිල්ලා ඒගොල්ලන්ට දිගටම ගමනාන්තයට එන්න තිබ්බා නේද?”

“මේකෙ අපි දකිනවට වැඩිය ලොකු සෙල්ලමක් තියෙනවා.”

“මම හිතන විදිහට ගොඩබිම විතරක් නෙවෙයි ජලයත් සම්බන්ධ දෙයක්.”

“වෙන්න පුළුවන්.”

“ඒ වගේම වැඩි වෙලාවක් ගුවනේ මහාචාර්යතුමා හිටියොත් අඳුර ගනියි කියලා, හැංගෙන්න ලේසිම ‍ප්‍රවාහන ක්‍රමය තෝරගත්ත වෙන්නත් පුළුවන්.”

“ඒකත් වෙන්න පුළුවන්.”

“අපි පොඩ්ඩක් බලමු. මුහුදු මාර්ග ගැන, ක්‍රිෂ් දූපත කිට්ටුවෙන් අනිවාර්යයෙන්ම බෝට්ටුව ගිහිල්ලා තියෙනවා. මොකද මම ලොකු දුරක් පාවෙලා එන්න විදිහක් නැති නිසා. මුහුදෙ හිටපු කාල සීමාවත් එක්ක.” 

තම දුරකථනයෙන් ගූගල් සිතියම් ගෙන රුසිරු සහ යස්වන්ත අවට මුහුදු මාර්ග විමසීය. 

“බලන්න මේ සිතියමේ හැටියට පර්සියන් බොක්කේ තමයි ක්‍රිෂ් දූපත තියෙන්නේ. බෝට්ටුවකින් යනව නම් මම හිතන්නේ නැහැ මේ ගොල්ලෝ ආපහු කුවේට් පැත්තට ඒ කියන්නේ ක්‍රිෂ් දූපතෙන් ඉහල පැත්තට යයි කියලා.” 

“ඔව් රුසිරු, එහෙම වුනොත් ඔයා කියන විදිහට ඒගොල්ලන්ට බෝට්ටුවෙන් යන්න පුළුවන් එක පාරයි තියෙන්නෙ.” 

“හරියටම හරි. ඒගොල්ලො එන්න ඕනේ ඕමාන් බොක්කෙන් අරාබි මුහුදට. එහෙම ආවොත් ලඟම වරායක් තියෙන ලොකුම ඉන්දියානු නගරය තමයි මුම්බායි. ඒ වගේම තව පල්ලෙහාට යන්න ගෝවා, කෝචි වගේ නගර තියෙනවා. තව පොඩි පොඩි ගම් නගර වරායවල් සිය ගානක් තියෙනවා.” 

කල්පනා සහගතව තවමත් සිතියම දෙස බලා සිටි රුසිරු කියා සිටියේය.

“දැන් අපිට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි මොන වරායටද මේගොල්ලො එන්නේ කියලා.”

“ජෝනා නැත්නම් මේ බෝට්ටුව හරියටම ඉන්දියාවටම එනවා කියලා රුසිරුට විශ්වාසද?”

“ඔව් මට සියයට අනූවක් විශ්වාසයි. මේ මිනිස්සු වැඩ කරන්නේ මහාචාර්යතුමාගේ උපදෙස් අරගෙන. එතුමා තමයි මට උපදෙස් දුන්නේ කයිරෝ යන්න. හැබැයි මම පරක්කු වුනා වැඩියි. මට උන කරදර එක්ක. ඒ වගේම ඊළඟ එක ඉන්දියාවේ තියෙනවා කියලා මහාචාර්යතුමා ලියලා තියනවා අපි බලපු ලියවිලි වල පැහැදිලිවම.”

“ඒ කියන්නේ මේ ගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉන්දියාවට එනවා.”

“ඔව් ඒත් මහාචාර්යතුමා මට හරි විස්තරයක් කිව්වේ නැහැ. ඇත්තම කිව්වොත් කියන්න තරම් වෙලාවක් තිබ්බේ නැහැ”

“කොහොමද අපි හෝඩුවාවක් හොයාගන්නෙ, ඉන්දියාවේ කොහෙද තියෙන්නෙ කියලා. මොකද මේක ලොකු රටක්.”

“ඔය කියන විදියට මේක අවුරුදු දාහකට එක්දහස් පන්සියයකට වගේ ඉස්සර ගානකට කලින් සිද්ධ වෙච්ච එකක්. අපි පොඩ්ඩක් බලමු එතකොට ඉන්දියාවේ රාජධානි තිබ්බ විදිහ මොකක්ද  කියලා.”

“ඒක ලේසි වෙන එකක් නැහැ.”

යස්වන්ත බැරෑරුම් හඬින් කියා සිටියේය.

“ඔව්. මට තේරෙනවා. ඒත් යස්වන්ත වෙන මොනවද අපිට තියෙන ලේසි ක්‍රම?”

“ඉන්දියාව කියන්නේ ගොඩක් පැරණි ශිෂ්ටාචාර රාශියක් තිබ්බ රටක්. ඒ වගේම හැම තිස්සෙම ලංකාව එක්ක ඉන්දියාව සම්බන්ධකම් තිබිලා තියෙනවා. කයිරෝ වල විදිහට ඒ වගේ උපකරණයක් ඉන්දියාවට එව්වොත් හංගන්න තියෙන තැන් අනන්තයි, අප්‍රමාණයි. අපිට පුළුවන් ඊජිප්තුවේ වගේ සිංහල භාෂාව කතා කරන විශේෂ පිරිසක් ඉන්නවද කියල හොයලා බලන්න. මොකද හිතන්නේ?”

“ඔව් ඒ කතාවත් හරි.”

රුසිරුගේ ජංගම දුරකථනය නාද වන්නට පටන් ගති.

“පොඩ්ඩක් ඉන්න යස්වන්ත. මට කෝල් එකක් එනවා. ඩොක්ටර් වසීම්ගෙන්.”

“හලෝ ඩොක්ටර් වසීම්.”

“හෙලෝ රුසිරු, කොහොමද, ඉන්දියාවට ගියා නේද වෙලාවට?”

“ඔව් ඔව්, මම දැන් ඉන්දියාවේ. මොනවා හරි තොරතුරක් තියෙනවද ඩොක්ටර්?”

“මම දන්නේ නැහැ මම කියන්න යන දෙය වැදගත්ද නැද්ද කියලා. ඔයාගේ උපකරණෙන් එන තොරතුරු ගොඩක් සාමාන්‍ය ඒවා. විශේෂ දෙයක් නම් කතා කළේ නැහැ.”

“එහෙනම් වැදගත්ද නැද්ද කිව්වේ මොකක්ද?”

“මේ පොලිස් නිලධාරියා එයාගේ වාර්ෂික නිවාඩුව ගන්න හදන්නේ. අපි ආයතනය ඇතුලත දන්න කෙනෙක් ලවා හොයල බැලුවා. ඒක සාමාන්‍ය දෙයක්. විශේෂ හදිසි දෙයක් නෙවෙයි. ගොඩක් කාලෙකට කලින් නිවාඩුව වෙන් කරලා තියෙන්නේ.”

“කොච්චර කාලෙක නිවාඩුවක් ද?”

“සති දෙකක වගේ.”

“එහෙනම් මම හිතන්නේ නැහැ විශේෂයක් ඇති කියලා.”

“ඔව් අපිත් හිතන්නේ නැහැ, එහෙම විශේෂයක් ඇති කියලා. ඒත් පොඩි දෙයක් කියන්න ඕනේ. මෙයා නිවාඩුව ගන්න එන්නෙ ඉන්දියාවේ ගෝවෙට.”

“ඉන්දියාවේ ගෝවේ?”

“ඔව් අපි එයාගේ පුද්ගලික විස්තර හොයලා බැලුවා. ඒකට අපේ අය පොලිසිය ඇතුලේ ඉන්නවා. හෙට හවස නිලධාරියා ඉන්දියාවට එනවා. රුසිරුත් ඉන්දියාවේ නිසයි මේක පොඩ්ඩක් වැදගත් කියලා හිතුවේ.”

“මම පොඩි සම්බන්ධයක් හොයා ගත්තා.”

කෑගසමින් කාමරයේ සිට රුසිරු සහ යස්වන්ත සිටි ස්ථානයට පැමිණියේ රීටාය.

“පොඩ්ඩක් ඉන්න රීටා. මම කෝල් එකක්.”

“හා හා පණ්ඩිතයෝ දෙන්නා, කෝල් එක ඉවර කරලා ඉන්නකෝ.”

අමනාපයෙන් මෙන් රීටා කියා සිටියේ මොහොතකට පෙර දෑසේ තිබූ උනන්දුවේ දීප්තිය අඳුරු කර ගෙනය.

“ඩොක්ටර් වසීම්, එහෙනම් මම පස්සෙ කතා කරන්නම්. බොහොම ස්තුතියි තොරතුරු වලට. දිගටම හොයලා බලන්න. අපි මේක ගැන මෙහෙ හොයල බලන්නම්.”

රුසිරු දුරකථනය විසන්ධි කළේය.

“අපි වැදගත් කෝල් එකක හිටියෙ. මොනවද සාහිත්‍ය ගැන හොයාගත්තේ. ටක් ගාලා සමා වෙලා කියන්නකෝ. අපිට තව කෝල් දෙක තුනක් ගන්න තියෙනවා.”

රීටාගෙන් අනුකම්පාව අයදින ස්වරයෙන් රුසිරු කියා සිටියේය.

නැවතත් රීටාට පණ ලැබුණේ ක්ෂණිකයෙනි. ඒ ඇයගේ විදිහය.

“මම ලුවිස් ගැන ගොඩක් විස්තර හොයලා බැලුවා. එයා අමුතු චරිතයක්. මම සම්පූර්ණ විස්තර පස්සෙ කියන්නම්, ඒත් වැදගත්ම දේ තමයි එයා ජීවත් වෙලා ඉඳලා තියෙනවා කාලයක් ඉන්දියාවේ ගෝවේ.

“මොකක් ගෝවේ?”

යස්වන්ත සහ රුසිරු මුහුණට මුහුණ බැලුවේ විමතියෙනි.

“මේ ප්‍රශ්නෙ ඉන්දියාවට ඇවිල්ලා තියෙන හින්දා මම වැඩිපුර හොයලා බැලුවේ මෙහෙත් එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා.”

“එහෙනම් අපිට කෝල් ගන්න වෙලාවක් නෑ. පුළුවන් තරම් ඉක්මනට ලෑස්ති වෙමු යන්න.” 

“කොහේ යන්නද? තව මට ගොඩක් දේවල් බලන්න තියෙනවා. තවම ඉවර නැහැ.”

“අනේ රීටා මේක අපිට වෙලාව අරන් කරන්න පුළුවන් සාහිත්‍ය විභාගයක් නෙවෙයි රත්තරන්. අපි යන ගමන් බලමු. යස්වන්ත, යන්න පුළුවන් ඉක්මන්ම විදිහ හොයාගන්න.”

සියලු දෙනා විසිර ගියේ ගමනට වහා වහා සූදානම් වීමටයි. ඒ අතරතුර ඉතා ඉක්මනින් ගෝවා බලා යා හැකි ක්‍රමයක් යස්වන්ත විමසා බැලුවේය.

“හෙට රෑ වෙනකම් එක ෆ්ලයිට් එකකවත් ඉඩ නැහැ. නවදිල්ලි ඉඳන් ගෝවා යන්න. මොකද ගෝවා වල කානිවල් එකක් තියෙනවා සෙනසුරාදා. ඒක නිසා.”

“කානිවල් එකක්?”

“ඔව් ඒක හින්දා තියන ෆ්ලයිට් ඔක්කොම ෆුල් වෙලා තියෙන්නේ. හෙට තියන එකත් වෙන නගරයක් හරහා ගිහින් යන එකක්. කෙලින්ම යන්න විදිහක් නැහැ.”

“කිසිම විදිහක් නැද්ද?”

“තියනවා කෝච්චියේ යන එක.”

“කෝච්චිය? කෝච්චියේ දවස් දෙකක්වත් යයි නේද?”

“ඔව්. අපි දිගටම මෙහෙ ඉඳන් කෝච්චියෙ ගියොත් දවස් එකහමාරක් විතර යනවා.”

“මොනවද වෙන විකල්ප?”

“අපි ෆ්ලයිට් එකක් ගමු මුම්බායි වලට. එතනින් කෝච්චියේ පැය අටක් වගේ තමයි යන්න තියෙන්නේ. දවසට කෝච්චි කිහිපයක්ම තියෙනවා. මම ඔක්කොම ටිකට් වෙන් කරන්නම්. විනාඩි දහයක් දෙන්න.”

පරිඝණක තිරයේ තොරතුරු විමසමින් යස්වන්ත කියා සිටියේය.

“හොඳයි ඒ අතරතුර මම බලන්නම්. අර බෝට්ටුව කොච්චර වෙලාවක් ගනීද කියලා ගෝවා වලට එන්න.” 

“රුසිරුට හිතෙන්නේ නැද්ද මේක අපි කලබලේට ගන්න තීරණයක් කියලා. මේ කියන විදිහට ගෝවා වල තියෙන කානිවල් එකට මේ පොලිසියේ නිලධාරියා එනවා වෙන්නත් පුළුවන්.”

“මටත් ඒක හිතුනා යස්වන්ත. ඒත් අපිට වෙන ලේසි විදිහක් නැහැ. මේ හෝඩුවාව ඇරෙන්න. අනික රීටා කිව්ව වගේ මේ කවියට සම්බන්ධ පුද්ගලයා ගෝවෙට සම්බන්ධයි. එතන අපිට පොඩි සැකයක් මේ යන තැනට එකතු කරන්න පුළුවන් නේද? අපි මෙතනින් පටන් ගමු. වෙන විකල්පයක් එනකන්.”

“එහෙම කරමු. පාන්දර 2.40ට තියෙන්නේ ෆ්ලයිට් එක. නිදා ගනින් දැන්. අපි උදේ කතා කරමු.”

සුළු නින්දකින් පසු නැගිට සූදානම්වූ තිදෙනා වහා වහා නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපොල කරා පිටත් වූයේ පැය දෙක හමාරක ගුවන් ගමනකින් මුම්බායි නගරය වෙත ලඟාවීමටයි.

නවදිල්ලි – මුම්බායි – ගෝවේ

“ඔන්න මේ පාර නම් උඹ ෆ්ලයිට් එලවන්න යන්න එපා.”

කුලී රථයෙන් ගුවන්තොට වෙත යන අතරතුර යස්වන්ත ඔච්චමට මෙන් කියා සිටියේය.

“ඒක නෙමේ මචං මම කල්පනා කලේ, මම ගණන් බලපු විදිහට පැය 70කින් වගේ මම හිටපු මුහුදු සීමාවේ ඉඳන් ජෝනා බෝට්ටුවට ගෝවේ එන්න පුළුවන්. අපි එහෙට යන කාලෙයි මම ඊජිප්තුවේ හිටපු වෙලාවත් එක්ක බැලුවොත් අපිට දවසකට දෙකකට විතර කලින් ඒ ගොල්ලො ඇවිල්ල ඉන්න ඕනේ. ඒක හින්දා මම හිතන්නේ අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ බෝට්ටුව හොයාගන්න එක.”

“ඒක නම් එච්චර අමාරු වෙන එකක් නෑ. ඔය වගේ බෝට්ටුවක් නවත්තන්න පුළුවන් තැන් වැඩිය තියෙන්න විදිහක් නෑ.”

“එහෙම වුනොත් හොඳයි.”

“ඇයි අපිට බැරි මේක ASI එකට බලන්න දෙන්න.”

“මම හිතන්නේ නැහැ ඒක හොඳ අදහසක් කියලා. එහෙම වුනොත් මෙතන කලබලයක් වෙලා මහාචාර්යතුමාගේ අක්කට කරදරයක් උනොත්. අපිම ගිහින් බලමු.” 

“ඒත් අපිට මේ වෙලාවේ ඒගොල්ලන්ගෙ පොඩි හරි උදව්වක් ගත්තොත් ලේසි වෙන්නෙ නැද්ද? කාලෙත් ඉතුරුයි. අඩුම ගානේ බෝට්ටුව තියන තැන විතරක් බලන්න. රුසිරු කියන විදිහට දැනටමත් ඒගොල්ලෝ ඇවිල්ල නම්.”

“ඒකත් ඇත්ත තමයි. මම පණිවිඩයක් යවන්නම්. බෝට්ටුව හොයල දෙන්න කියලා.”

ගෝඑයාර්2501 ගුවන් ගමනෙන් පසුව මුම්බායි චාත්‍රපති ෂිවාජි මහරාජා ගුවන්තොටුපොලේ සිට පිටතට පැමිණි යස්වන්ත වහා ඇවිද ගියේ අසල තිබූ පොලිස් මුරපොළක් වෙතටයි.

“ඒ මචං යස්වන්ත, ඔය පොලිස් මුරපොළට කියලා වැඩක් නැහැ. ASI එකෙන් වැඩේ කරනවා කියලා මට ඊ-මේල් එකක් එවලා තියනවා.” 

“නෑ නෑ, මම මේ උදව් ගන්න නෙවෙයි යන්නෙ, ටැක්සියක් අර ගන්න.”

මෙය ඉන්දියාවේ බොහෝ ගුවන්තොට කුලී රථ වල වැඩි මුදලට සිදුකෙරෙන මාෆියාව නතර කිරීම සඳහා යෙදූ සාර්ථක උපක්‍රමයකි. පොලිස් මුරපොළකට තරමක පෝලිමක සිට ඇතුළුවූ යස්වන්ත මුම්බායි මධ්‍යම දුම්රිය නැවතුමට යාම සඳහා කුලී රථ රිසිට් පතක් ලබාගත්තේය.

“දැන් මචං මේක දුන්නහම ඒ ගානට වැඩිය ටැක්සි රියදුරුට ගන්න බැහැ.”

“උඹ මේ හදිසියේ සල්ලිත් ඉතුරු කරන්නද හදන්නේ?”

“එහෙම නෙමෙයි ඉතින්, මේක මහ ලොකු වෙලාවක් යන දෙයක් නෙමෙයි නේ.”

බටහිර අධිවේගී මාර්ගයට ඇතුළුවූ කුලී රථය මුහුද මතින් ඉදිකර ඇති අලංකාර බන්ද්‍රා වොර්ලි පාලම හරහා ගොස් මධ්‍යම දුම්රිය ස්ථානයට පැමිණියේ හිරු උදාවත් සමඟය.

“මම හිතුවේ නැහැ මුම්බායි මෙච්චර ලස්සනයි කියලා.”

මෙතෙක් වේලා අවට සිරි නරඹමින් පැමිණි රීටා ඇයගේ නිහඬතාවය බින්දාය.

“පේන්න ලස්සන තිබ්බට මුම්බායි වල ඇත්ත කතාව පේනවට වැඩිය දුකක්. මේ නගරයේ ප්‍රමාණය නිව්යෝක් නගරය වගේ ඒත් මුළු නිව්යෝක් ප්‍රාන්තෙ තරම් ජනතාවක් මේ නගරයේ ජීවත් වෙනවා. ඒ වගේම ලෝකෙ ලොකුම මුඩුක්කු වලින් එකක් තියෙන්නෙත් මේ නගරේ.”

අතිශය කාර්ය බහුල විශාල දුමිරිය ස්ථානයක් වූ මුම්බායි මධ්‍යම දුම්රිය ස්ථානයේ ඇතුළුවීමේ කවුළු වෙත අන්තර්ජාලයෙන් වෙන් කෙරුණු අදාල ටිකට් පත් පෙන්වා 17 වන වේදිකාවේ නවතා ඇති දුම්රිය අසලට පැමිණියේය. 

“මම ටිකක් බයෙන් හිටියෙ, අපිට කෝච්චිය අල්ලගන්න බැරි වේවි කියලා. මේක තමයි ගෝවා යන්න තියෙන වේගවත්ම කෝච්චිය, දවල් දෙක වෙද්දි අපි එහේ.”

වේදිකාවේ නවතා තිබූ කහ පැහැති අලංකාර මෝස්තරයන්ගෙන් යුත් ටේජාස් එක්ස්ප්‍රස් 22119 දුම්රිය පෙන්වා යස්වන්ත කියා සිටියේය.

“ලෝකේ හතරවෙනියට විශාලම දුම්රිය සේවයට සාදරයෙන් පිළිගන්නවා.”

“අපි කන්න මොකුත් අරගන්නේ නැද්ද? ඊයෙ සාහිත්‍ය පාඩම් කරලා හොඳටම බඩගිනියි.”

“ඒක නම් මාර බඩගින්නක් තමයි. බයවෙන්න එපා. ඔක්කොම කෑම කෝච්චියේදී හම්බවෙයි.”

දුම්රිය හරියටම උදෑසන 6 වන විට පිටත් වන්නට පටන්ගති. දුරකථන ඇමතුම් ලබාගත් රුසිරු අදාල ආයතනයන් වෙත සම්බන්ධීකරණයවී උපදෙස් ලබා දුන්නේ ඔවුන් එහි පැමිණෙන අතරතුර සිදුකෙරන බෝට්ටුව සම්බන්ධ විමර්ශනය පිළිබඳවයි.

“බලමු. අපි දෙකට යන්න කලින් මේ කෙල්ල මොනවා හරි හොයා ගනීද කියලා. පාඩම් වැඩ පටන් ගන්නේ නැද්ද අනේ?”

“මේ කෝච්චිය හිතුවට වඩා ගොඩක් සැපයි අප්පා. අනික මේ මිනිස්සු කන්න දුන්නා වැඩියි. මට නම් නිදිමතයි වගේ දැන්.”

රීටා පැවසුවේ සිනාසෙමිනි.

“අනේ මෙයාගේ ගණන්.”

“හොඳයි, හොඳයි. ළමයි ටික අහගන්න.”

“මේ කවිය කොහොම සම්බන්ධ වෙනවාද කියලා මට තාම හරියටම කියන්න බැහැ. තැප්‍රොබානා කියලා ලංකාව ගැන මෙයා සඳහන් කරලා තිබ්බට කවදාවත් මෙයා ලංකාවට ගිහිල්ලා නම් නැහැ. හැබැයි මෙයා වස්කෝ ද ගාමා එක්ක ගමන් කරලා තියනවා. පෘතුගීසි සාහිත්‍යයේ ඉහළම කෙනෙක් හැටියට තමයි මෙයාව සලකන්නෙ. මම කලින් කියපු විදිහට මේ කවිය ලියලා තියන පොතේ සෑහෙන කවි ප්‍රමාණයක් තියෙනවා. ඒත් වෙන එක කවියක්වත් මාමා විස්තර කරලා පෙන්නලා නෑ. මේක ඇරෙන්න.”

“මම මේ කවියේ තේරුම මොකක්ද කියලා සෑහෙන්න කල්පනා කළා. මෙයා ඒ කාලේ ප්‍රසිද්ධම කවියෙක් උනාට මිය ගිහිල්ලා තියෙන්නේ ගොඩක් දුප්පත් අසරණ පුද්ගලයෙක් හැටියට. මේ කවිය තිබ්බ පොත ලියන්න පටන් අරන් තියෙන්නේ ගුහාවක් ඇතුලෙ ඉඳලා. කවුරුත් දන්නෑ ඇයි එයා එහෙම කළේ කියලා.”

“කොහෙද මෙයා නැති වෙලා තියෙන්නේ? ගෝවේද?”

“නැහැ, ලිස්බන් වල.”

“ලිස්බන්? බෙලෙම් වලද?”

“ඔව්. කොහොමද රුසිරු දන්නේ? ඔයත් හෙව්වද? අපරාදේ මගේ කාලේ. නිදා ගන්න තිබ්බ.”

රීටා කියා සිටියේ නෝක්කාඩුවෙන්ය.

“නැහැ රීටා, මම හෙව්වේ නැහැ ලුවිස් ගැන, ඔයාට හොඳටම විශ්වාසයි නේද බෙලෙම් කියලා?”

“ඔව්. එයාගේ සොහොන තියෙන්නත් තාම බෙලෙම් වල. වස්කෝ ද ගාමා එක්ක.”

“ඇයි රුසිරු? මොකක් හරි අවුලක්ද?”

යස්වන්ත විමසා සිටියේය.

“අවුලක් නෙවෙයි. අර නැගෙනහිර ජර්මනියේ ග්‍රීන් වෝල්ට් කෞතුකාගාරයේ හොරකම් කරපු බඩු ලැයිස්තුවක් මම ඉල්ලලා යැවුවා. ඒකෙ තියනවා බෙලෙම් ලැබුණු ආභාරණයක් කියලා දෙයක්. ඒ කියන්නේ මේක ගිහිල්ලා තියෙන්නේ ලිස්බන් බෙලෙම් වල ඉඳලා.”

“ලුවිස් අපි හිතනවට වඩා දෙයක් දන්නවා වගේ.”

“අනිවාර්යෙන්.”

“ඔය කවියේ තේරුම හිතන්න ඔක්කොම වැඩ නතර කරලා රීටා.”

රුසිරුගේ ජංගම දුරකථනය නැවත නාද විය. ඇමතුමත් සමඟ රුසිරු නැවතත් ප්‍රාණවත් වනු අනිත් දෙදෙනාම දුටුවේය.

“මොකෝ රුසිරු?”

රීටා අසා සිටියේ දුරකථනය තබා තත්පරයක් ගතවීමටත් පෙරය.

“කාලෙකට පස්සේ හොඳ පණිවිඩයක්. බෝට්ටුව හොයා ගෙන.”

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *