යස්වන්ත සහ රුසිරු ඇතුල්ව සිටියේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් තුමාගේ දේහය තැන්පත් කර තිබූ රිදී මංජුසාව සහිත කරඬුව ඇති කුඩා කාමරයක් වැනි ශාලාවකටය. ඒ අසල වැඩි සෙනඟක් ගැවසුණ බැවින් වඩා වැඩි ආරක්ෂාවක් ඇතැයි දෙදෙනාම තීරණය කළේ හස්ත සංඥා භාෂාවෙන්ය.

ගෝවේ 

“නාකියා මෙහෙට එනවා.”

පැරණි ගොඩනැගිල්ලක් වෙත මහාචාර්යතුමා තල්ලු කරමින් තරමක් හැඩි දැඩි අප්‍රිකානු පෙනුම ඇති අයෙකු කියා සිටියේය.

“අපිට වැඩි වෙලාවක් මෙතන ඉන්න බැහැ ලොක්කා. අනික මට තමුන්නාන්සෙ වගේ කෙනෙකුට කරදරයක් කරන්න කිසිම උවමනාවකුත් නැහැ. අපිට ඕන දේවල් කිව්වොත් තමුසෙට යන්න දෙන්න පුළුවන්.”

පස් හය දෙනකුගේ කණ්ඩායමක් තමා වටකර සිටින බවත් යුරෝපියානු පෙනුමැති අයෙකු තමා හට පැහැදිලිව සෙමින් වුවත් චාටුවෙන් තර්ජනාත්මකව ඉල්ලීමක් සිදු කරන බව මහාචාර්යතුමාට පෙනී ගියේය.

“මම දන්න හැමදෙයක්ම කිව්වා. තවත් මොනවද දැනගන්න ඕන.”

“දන්න හැමදෙයක්ම කිව්වා කියලා අපිට බොරු කියන්න එපා. මොකක්ද මේ කොලේ තියෙන කතාවෙ තේරුම?”

“අහෝ බටහිර ලුසීටානා වෙරල තීරය,

ඔබ මත පවරා ඇති ආයුධ සහ බැරන්වරු….”

මේක මම හිතලා ලියපු දෙයක් නෙවෙයි. මම කැමති කවියන් විතරයි ඕක.”

“මහාචාර්ය එඩ්වඩ්, තමුසේ අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා. මගේ බොස් හොඳ මිනිහෙක් නෙවෙයි. මම තමුසෙට මෙච්චර හොඳට සැලකුවාට?”

“මට බොරුවක් කියන්න දෙයක් නැහැ. ඕක නිකන්ම නිකන් කවියක්. ලුසීටානා කියන්නේ පෘතුගාලයේ බටහිර පැත්තේ වෙරළ ප්‍රදේශයට ඉස්සර කියපු නම.”

“හොඳයි ඒක ගැන විස්තර ඉස්සරහට හොයාගන්නම්. තමුසෙගෙන් විස්තර ගන්න විදිහත් අපි හොඳට දන්නවා.”

“මගේ අක්කට කරදරයක් කරන්න එපා.”

“අක්කට කරදරයක් නොකරන්න නම් අපිට මේ උපකරණය ගෝවේ කොහෙද තියෙන්නේ කියලා ඉක්මනට හොයලා දෙනවා.”

“මම කිව්වේ. මේක මම ගොඩක් කල් තිස්සේ කරන පරීක්ෂණයක්, එහෙම එක පාර හොයන එක ලේසි නැහැ.”

“තමුන්නාන්සේ ඉල්ලපු හැම දෙයක්ම මම දැන් මෙතනට ගෙනත් දෙනවා. ඒ වගේම යන්න ඕන කැමති තැනකට සීමන්ස් එක්ක යනවා. පැය විසි හතරක් ඇතුලත අපිට උපකරණය කොහෙද තියෙන්නේ කියලා දැන ගන්න ඕනේ.”

“ඒත්…”

“මොනවද කියවන්නේ? ජිවිතේ අන්තිම වචන දැන්ම කියන්න ඕනේ නැහැ නේද?.”

දාමරිකයා මහාචාර්යවරයා වෙත හෙළුවේ දරුණු බැල්මක් ය.

“තමුසේ දන්නවනේ, අන්තිම වචන මොනවද කියලා මහත්තයා. ඒක තමයි “මට බෑ” කියන වචන දෙක.  ඉගෙනගත්ත මහාචාර්ය කෙනෙක් හැටියට ඔය වචන දෙක ජීවිතේ අන්තිම වචන වෙන්න ඕනෙ නැහැ. “මට බෑ.“

රැප් සංගීත තාලයට ගීයක් ගයන්නාසේ කියා ගිය අයුරින් මොහු බොහෝ දුරට ඇමරිකානුවෙක් විය හැකි බවට මහාචාර්යතුමා සිතෙන් සැක කළේය.

“මම හෙට මේ වෙලාවට එනවා. සීමන්ස්, මේ මිනිහා කොම්පියුටරෙන් වැඩකරද්දි වෙන මඟුල් කරනවද කියලා හොඳට බලාගෙන ඉන්න. එහෙම කලොත් මගෙන් අහන්න  ඕනෙ නැහැ, හොඳට සලකන්න.”

“මම දන්නවා සර් සලකන්න.”

මහාචාර්යතුමා අසලින්ම අසුන්ගත් හැඩි දැඩි අප්‍රිකානු පුද්ගලයා කියා සිටියේ ඔහුගේ ගිනි අවියෙන් මේසය මතට තට්ටු කරමිනි.

භීතියට පත්ව සිටියත් ඒ බව නොපෙන්වා මහාචාර්යතුමා නිහඬව පරිඝණකය සමඟ කටයුතු කරන්නට පටන් ගති.

සුඛෝපභෝගී චැම්පියන්ස් විනෝද බෝට්ටු සමාජය

“මේ බෝට්ටුවෙන් ගිය අය ගැන මොකක් හරි හෝඩුවාවක් තියෙනවද?”

“එහෙම හෝඩුවාවක් නම් දැනට නැහැ. මොකද රුසිරු දුන්න හදිසි පණිවිඩයත් එක්ක ලොකු විමර්ශනයක් කරන්න වෙලාවක් තිබුණෙ නැහැ. බෝට්ටුව විතරයි හොයා ගන්න පුළුවන් උනේ.”

ඉන්දියානු පුරා විද්‍යා සමීක්ෂණ නිලධාරියා කියා සිටියේය.

ඉන්දියානු සාගරයේ සිට තරමක් ඇතුලතට වන්නට මන්දෝවි ගඟ අසබඩ පිහිටා තිබූ සුඛෝපභෝගී චැම්පියන්ස් විනෝද බෝට්ටු සමාජයේ ජැටියේ සිටි රුසිරු ඇතුළු කිහිප දෙනා ජෝනා බෝට්ටුව පරික්ෂා කර බැලුවද එය කිසිඳු භාණ්ඩයක් නොමැතිව හිස් කර ඇති බව වටහාගන්නට වැඩි මොහොතක් ගතවූයේ නැත.

“සල්ලිකාරයන්ගේ බෝට්ටු මෙතැන ඇවිල්ලා නවත්තනවා සර්,  ගොඩක් වෙලාවට අපි මුකුත් කියන්නේ නැහැ, ඕන තරම් ඉඩ තියෙන නිසා.”

නිරීක්ෂණයට එක්වූ සමාජයේ කළමනාකාරවරයා සුහදව කියා සිටියේය.

“මේක අපි පරික්ෂා කළා කියලා කාටවත් කියන්න එපා. කවුරුහරි ආවොත් අපිට ඉක්මනට දැනුම් දෙන්න.”

“එහෙමයි. සර්ලට මොනවා හරි බොන්න අරන් එන්නද?”

“මට එපා, මේ මහත්වරුන්ගෙන් අහල කැමති දෙයක් දෙන්න. මම කන්තෝරුවට යනවා. රුසිරු, උවමනාවක් වුනොත් මට කෝල් එකක් දෙන්න.”

ASI නිලධාරියා පැවරී තිබූ වෙනත් රාජකාරී කටයුතු හේතුවෙන් සමුගත්තේය. නදිය අසබඩ නැව් ජැටිය සුන්දර ස්ථානයක් වුවද එහි සුන්දරත්වය විඳීමට තරම් කාලයක් නාස්ති කළ නොහැක.

“අපිටත් මොකුත් එපා, පොඩ්ඩක් ඉඩ දෙනවාද අපිට මෙතන ඉඳගෙන කතා කරන්න.”

“කිසිම ගැටළුවක් නැහැ මහත්මයා, කැමති වෙලාවක් ඉඳල යන්න.”

ජැටියේ කෙළවරටම වන්නට තිබූ පුටු පෙළක තිදෙනා වාඩිවූයේ කළමනාකාරවරයා ඔවුන්ගෙන් සමු ගත් පසුව ඉදිරිය පිලිබඳ සැලසුම් කිරීමටයි.

“රුසිරුට හිතෙන්නෙ නැද්ද අපි ලුවිස්ගේ කාලේ ගෝවේ ගැන හිතුවොත් හොඳයි කියලා?”

රීටා  පැවසුවාය.

“මටත් ඒක හිතුනා, කෝච්චියේ එනකොට. යස්වන්තට පුලුවන්ද ලුවිස්ගේ කාලේ ගෝවේ තිබුණු ගොඩනැගිලි ගැන ලැයිස්තුවක් හදන්න, විනාඩි පහෙන්?”

“හදන්න දෙයක් නෑ. පරණ ගෝවේට ගියොත් පරණ නගරයෙන් සම්පූර්ණ කොටසක් දැන් උනත් බලාගන්න පුලුවන්. ඔහොම ඉන්න මම ගොඩනැගිලි ලැයිස්තුව දැන්ම කියන්නම්.”

තම ජංගම දුරකථනය  ගෙන යස්වන්ත විමසා බැලුවේය.

“අහගන්න.”

“බෝම් ජේසු බැසිලිකාව, 

සේ ආසන දෙව්මැදුර,

ක්‍රිස්තියානි කලා කෞතුකාගාරය,

ශාන්ත අගෝස්තීනු පල්ලිය, 

ශාන්ත ෆ්‍රැන්සිස් අසීසි පල්ලිය සහ කන්‍යාරාමය”

“ශාන්ත ෆ්‍රැන්සිස් අසීසි?”

“ඔව් ශාන්ත ෆ්‍රැන්සිස් තුමා. ඇයි රුසිරු?”

“එතුමාගේ දේහය තාම තියෙන්නේ ගෝවේ නේද?” 

“නැහැ, ඒ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර්තුමාගේ නොදිරන දේහය. අවුරුදු දහයකට සැරයක් මහජනතාවට ප්‍රදර්ශනය කරනවා.”

“දැනට කොහෙද තැන්පත් කරලා තියෙන්නේ?” 

“බොම් ජේසු බැසිලිකාවේ.”

“ජර්මනියේ හොරකම් කරපු ස්ථූප උපකරණය මුලින් තිබිල තියෙන්නේ පෘතුගාලයේ සොහොනක. ඊජිප්තුවේ හම්බවෙච්ච උපකරණයත් මුල් කාලෙ තිබිලා තියෙන්නේ පිරමීඩයක, ඒ කියන්නේ සොහොනක්. මේවා අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන්. අපි ගිහින් බලමු බැසිලිකාවට.”

“වැඩි දුරක් නැහැ අපිට මෙතන ඉඳලා යන්න.”

“ඔයගොල්ලන්ගේ ඔලුවට වෙන අදහසක් ආවොත් මට කියන්න. අනිවාර්යයෙන්ම ගෝවේ  උපකරණයක් තියෙන එක තියනවාමයි. නැත්නම් මේ හොරු මෙහෙට එන්නෙ නැහැ. බැසිලිකාව ගැන මම හිතපු දේ වැරදි වෙන්න පුළුවන්. ඒත් අපි පොඩි උත්සාහයක් දාලා බලමු.”

බොම් ජේසු බැසිලිකාව

බොම් ජේසු බැසිලිකාව යනු 16වන ශත වර්ෂයේ ගොඩනැඟුණු පැරණි කතෝලික දේවස්ථානයකි. වන්දනාකරුවන් සහ සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයකි. ගෝවේ පැරණි නගරයේ පිහිටා ඇති මෙම බැසිලිකාව පැරැණි පෘතුගීසි ගෘහ නිර්මාණ ශිල්පය යොදා සිදුකළ විශිෂ්ට සරල නිර්මාණයකි. 

“රීටා දන්නවද ගෝවේට නිදහස ලැබුණේ කවදද කියලා පෘතුගීසීන්ගෙන්?”

“නැහැ යස්වන්ත.”

“මුලු ඉන්දියාවම ඉංග්‍රීසීන්ගෙන් 1947 නිදහස අර ගත්තත් 1961 වෙනකන් ගෝවේ පෘතුගීසි යටත් විජිතයක්.”

“මං හිතුවෙ ඉංග්‍රීසීන් මුළු ඉන්දියාවම  යටත් කරන් හිටියේ කියලා.”

“නැහැ ඉංග්‍රීසි කවදාවත් ගෝවේ යටත් කරගත්තේ නැහැ.”

“කවදා නිදහස ගත්තත් දැන් නං මට වැඩක් නැහැ, මාමා නිදහස් කරගන්නේ නැතුව.” 

බැසිලිකාවට තරමක් දුරට වන්නට නැවැත්වූ රථයෙන් බසින අතරතුර රීටා කියා සිටියාය.

“රීටා වාහනේම ඉන්න. අපි ගාව ආයුධයක්වත් නැහැ. මේ ගමන සමහරවිට භයානක වෙන්න පුළුවන්.”

“මම බය නැහැ.”

“බය නැති එක ඇත්ත. ඒත් රීටා දැක්ක ගමන් මේ මිනිස්සුන්ට රීටාව අඳුරගන්න පුළුවන්.” 

“මම විතරක්ද? ඔය දෙන්නවත් දැන් අඳුරනවානේ.”

අපි මේ වැඩ වලට පුරුදු පුහුණු වෙලා ඉන්න අය. හොඳයි එහෙනම්, ඔයාට පොඩි වැඩක් එකක් දෙන්නම්. මේක අපිට කරල දෙන්නකො.”

“මොකක්ද? මම බබෙක් නෙවෙයි.” 

“මේ උපකරණය ඔයාගේ කනේ ගහ ගන්න. මහාචාර්යතුමා හරි කවුරුහරි සැක සහිත කෙනෙක් දැක්කොත් අපි ඔයාට පණිවිඩයක් එවන්නම්, ඊළඟට කරන්න ඕන දේ ගැන. ඔයා ලෑස්ති වෙලා ඉන්න. හැබැයි කොහෙවත් ඈතට යන්න එපා. උපකරණයේ ඔයාගේ කටහඬ හරියට වැඩ කරන එකක් නැහැ, දුරත් එක්ක සිග්නල් නැති උනොත්.”

“බයවෙන්න එපා උපකරණය දුන්නත් නැතත් මම මේකටම වෙලා ඉන්නම්.”

රීටා පැවසුවේ දඬුවමක් ලැබූ අයකු සේ නෝක්කාඩුවෙන්ය. යස්වන්ත සහ රුසිරු සංචාරකයින් සහ වන්දනාකරුවන් සමඟ පැරණි ගෝවේ චතුරශ්‍රයට පිවිසියේය.

“මෙතන වටේටම පල්ලිනේ, මොකක්ද බැසිලිකාව?”

“අර එහා පැත්තේ ගඩොල් පාටට තියන ගොඩනැගිල්ල තමයි, බැසිලිකාව.”

“රීටා, ඔයාට අපිව ඇහෙනවද?”

“ඔව් පැහැදිලිව ඇහෙනවා.”

“ඔය උපකරණයේ කේබල් එකේ, මැද හරියේ බොත්තම් දෙකක් තියෙනවා. ඒකෙ අංක දෙක කියන එක ඔබන්න.”

 “හරි එබුවා.”

“දැන් ඔයාගේ ෆෝන් එකේ බ්ලුටූත් ඔන් කරලා, ෆෝන් එකයි ඔය උපකරණෙයි සම්බන්ධ කරගන්න. මම වීඩියෝ ඔන් කරනවා. ඔයාට, අපිට පේනවාට වැඩි දුරක් පිංතුර ලං කරලා බලන්න පුළුවන්. මොකක් හරි සැක සහිත දෙයක් දැක්කොත් අපිට කියන්න.”

“ඇයි අනේ ඕක කලින් කිව්වේ නැත්තේ.”

“මම හිතුවේ නැහැ ඕක ඕනේ වෙයි කියලා, මොකද මෙතන පරිසරය හිතුවට වඩා ජනාකීර්ණයි. ඒ වගේම ලොකුයි.” 

“වැඩේ හරි මට ඔයගොල්ලන්ගේ ඉස්සරහා හොඳට කැමරාවෙන් පේනවා. කවුරුහරි දැක්කොත් මම කියන්නම්.” 

“යස්වන්ත, අපිට ප්‍රධාන දොරටුවෙන් යන්න බැහැ. මට විනාඩියක් දෙන්න. මේකෙ සැලැස්ම අපි ගාව ඇති.”

CAG ප්‍රධාන තොරතුරු ගබඩාව සමඟ සම්බන්ධවූ රුසිරු, ස්ථානයේ තොරතුරු භාවිතා කර  ගොඩනැගිල්ලේ සම්පූර්ණ සැලැස්ම දුරකථනයට ලබාගත්තේය.

“මේක එච්චර සංකීර්ණ සැලැස්මක් නම් නෙවෙයි. ඒත් ශාන්ත සේවියර් මුනිතුමාගේ දේහය තියෙන රිදී මංජුසාව නම් ගොඩක් මැදට වෙන්නට තියෙන්නේ. අපිට ඒ කිට්ටුවට බලන්න යන්න පාරවල් දෙකයි තියෙන්නේ. ඒ ඇරෙන්න පිටිපස්සෙන් පොඩි හිඩසක් නම් පෙනෙන්න තියෙනවා. ඇතුළු වෙන්න පුළුවන්ද කියලා විශ්වාස නැහැ.”

“රුසිරු,  රුසිරු.”

රීටාගේ කලබල කටහඬයි.

“රීටා ඕකේ සද්දෙ පොඩ්ඩක් අඩු කරන්න යෝදියේ. මගේ මුළු කණ් දෙකම දෙදරුවා.” 

රුසිරු පැවසූයේ කණ අතින් අල්ලාගෙනය.

“සමාවෙන්න, මේක හදිස්සියක්.”

“ඔයාට කරදරයක් නැහැ නේද?”

“නෑ, නෑ, මට කිසිම කරදරයක් නැහැ. රුසිරු ඔයා චතුරශ්‍රය ගාවට පයින් එද්දී දැකපු අනිත් පැත්තේ ගොඩනැගිල්ලේ වීඩියෝ එක මම පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරගෙන ආපහු බැලුවා. එතැන එඩ්වඩ් මාමා වගේ කෙනෙක් ඉන්නවා.”

“මහාචාර්යතුමා වගේ?” 

“ඔව්, මාමා වගේමයි. තව එයත් එක්ක පිටිපස්සෙන් අප්‍රිකානු වගේ…..ඔළුව වහගෙන…..”

“රීටා, ඇයි ඔයාගේ කටහඬ මට පැහැදිලිව ඇහෙන්නේ නැත්තේ? මොකක්ද ඔයා කරන්න යන්නේ? ඔතනින් ඈතට යන්න එපා.. රීටා කථා කරන්න.”

පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් ඇසුනේ බීප් නාදයක් පමණි

“යස්වන්ත, මේ ගෑනි පිස්සුවක් නටන්න යන්නේ, අපි ඉක්මනට ඒ පැත්තට යමු.”

යස්වන්ත සහ රුසිරු හනි හනිකට නැවතත් චතුරශ්‍රය දෙසට පැමිණියේය. 

“රීටා ඔයාට අපි ඇහෙනවද? අපි දැන් ළඟට ඇවිල්ලා ඉන්නේ.”

උපකරණයේ බීප් නාදය නතරවී නැවත අපැහැදිලි හඬ ශබ්ද ඇසෙන්නට පටන් ගත් නිසා රුසිරු විමසා සිටියේය.

“ඔව් මට කැඩි කැඩි ඇහෙනවා. ඔයගොල්ලො කොහෙද? මම එඩ්වඩ් මාමාගේ පිටිපස්සේ ඉන්නේ, එයාගෙ ඔලුව ලොකු තොප්පියකින් වැහිලා තියෙන්නේ, ඒත් මම ඇවිදින විදිහට අඳුර ගත්තා.” 

“රීටා මෝඩ වැඩ නොකර පස්සට එන්න. මගෙන් කුණුහරප අහගන්නේ නැතුව.” 

“රුසිරු, රු…”

“ඔය, ආපහු සිග්නල් අවුල් යනවා. ඉන්න තැනම ඉන්න. ඔයා ඈතට යන වේගෙට අපිට පැත්ත හොයා ගන්න බැහැ.”

රුසිරු සහ යස්වන්ත, රීටා සිටින දිශාව වටහා ගැනීමට උත්සාහ කළේ චතුරශ්‍රය මැද සිටය. දුරකථනයේ ඇති ජංගම මෘදුකාංගය සමඟ සම්බන්ධවූ සිතියමෙන් පෙන්වන පරිදි වැඩි දුරක් ඈතින් රීටා නොසිටින බව පෙනේ.

“රුසිරු, රුසිරු..”

යස්වන්ත සෙමින් කොඳුරමින් රුසිරුගේ පිටට තට්ටු කළේය.

“ඇයි බං යස්වන්ත, පොඩ්ඩක් ඉඳපන් හරියටම තැන හොයා ගන්නකම්.”

“අප්‍රිකානු වගේ කෙනෙක් අපේ පැත්තට එනවා.”

“හොඳටම විශ්වාසද?”

තවමත් ජංගම දුරකථනය වෙතටම නෙත් යොමා සිටි රුසිරු ඇසුවේය.

“පොඩ්ඩක් බලහන්කො ඇස් ඇරලා.”

“අප්පා, මේ බෝට්ටුවේ හිටපු එකෙක් තමයි. ඉක්මනට අපි අනිත් පැත්තට යමු. බැසිලිකාව පැත්තට.”

“රුසිරු මාව ඇහෙනවද? “

“ඔව් රීටා. ඔයාව පැහැදිලිව ඇහෙනවා. කොහෙද ඉන්නේ.”

“මම ඉන්නෙ මාමා එක්ක. එයා ගාව හිටපු අප්‍රිකානුවා ඔයගොල්ලන්ගේ පැත්තට ආවා. පරිස්සම් වෙන්න.”

“ඔයා පරිස්සම් වෙන්න, අපි ගැන හිතන්න දෙයක් නැහැ. තව කට්ටිය ඉන්න පුළුවන්.”

“මම මාමා එක්ක ඉස්සරහට යනවා.”

“හරි, අපි මේ මනුස්සයා පුළුවන් තරම් අනිත් පැත්තට අරන් යන්න බලන්නම්.”

රුසිරු සහ යස්වන්ත දෙස එක එල්ලේ බලාගෙන මේ පුද්ගලයා ඔවුන් සිටින දිශාවට වේගයෙන් එනු පෙනේ.මේ මොහොතේ යා හැකි පහසුම මඟ බැසිලිකාව තුලට ගොස් ජනතාව අතර සැඟවී සිටීමයි. ආරක්ෂකයින්ද සිටින බැවින් කිසිඳු ප්‍රහාරයක් හෝ පැහැරගැනීමක් එය තුල සිදු නොවනු ඇතැයි දෙදෙනාම බලාපොරොත්තු විය. වහා ඒ දෙසට දිවගිය දෙදෙනා බැසිලිකාව තුලට ප්‍රධාන දොරටුවෙන් ඇතුල් විය.

“අපි මේක ඇතුලෙම වැඩි වෙලාවක් ඉඳලා හරියන්නෙත් නැහැ යස්වන්ත, ඉක්මනට රීටාට උදව්වක් කරන්න ඕන.”

යස්වන්ත සහ රුසිරු ඇතුල්ව සිටියේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් තුමාගේ දේහය තැන්පත් කර තිබූ රිදී මංජුසාව සහිත කරඬුව ඇති කුඩා කාමරයක් වැනි ශාලාවකටය. ඒ අසල වැඩි සෙනඟක් ගැවසුණ බැවින් වඩා වැඩි ආරක්ෂාවක් ඇතැයි දෙදෙනාම තීරණය කළේ හස්ත සංඥා භාෂාවෙන්ය. රීටා සහ මහාචාර්යතුමාට සහය වීමට අප්‍රිකානු ජාතිකයාට නොපෙනී පිටව යාම සඳහා පහසු මඟක් රුසිරු පරීක්ෂා කරන අතරතුර යස්වන්තගේ දෑස යොමු වී තිබුනේ වෙනත් දිශාවකටයි.

“රුසිරු ඔතන උඩ බලන්න.”

“මොන උඩද?”

“කරඬුව උඩ.”

“ඔව් මට පේනවා කුරුසයක් තියනවා.”

“නැහැ තව පොඩ්ඩක් පල්ලෙහා බලන්න.”

“යස්වන්ත, වැඩි වෙලාවක් නැහැ, අර මිනිහා කොයි වෙලාවේ එයිද දන්නේ නැහැ. ඉක්මනට කියන්න.” 

“කුරුසියටයි, ඊට පල්ලෙහා පෙට්ටගමක් වගේ තියෙන එකටයි පල්ලහින් තියෙන්නේ, ඉටිපන්දම් වගේ දේවල් එක්ක තුන්වෙනියට පොඩි ස්ථූපයක් නේද?”

“මොකක්? ස්ථූපයක්?”

“ඔව්, හොඳට බලන්න, ඔයා ස්ථූපෙ ඇස් දෙකටම දැක්කනේ.”

“ඒ වගේම එකක් තමයි.”

රුසිරු කරඬුවේ ආරක්ෂාවට යොදා තිබූ කුඩා කඹය පසුකර ඉදිරියට යාමට තැත් කළේය.

“මහත්මයා ඔතනින් ඉස්සරහට යන්න බැහැ.”

දේවස්ථානයේ සේවකයෙකු රුසිරුගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතරතුර ඉදිරි දොරටුව දෙසින් ඇසුනේ වෙඩි ශබ්දයෙකි. නිහඬව තිබූ මුළු බැසිලිකාවම විලාප දෙන්නට පටන් ගත් අතර මිනිසුන් ඒ මේ අත දිව යන්නට විය.

“යස්වන්ත මගේ පිටිපස්සෙන් වරෙන්.”

කඹයෙන් පැන කරඬුව මතට නැඟුණු රුසිරු කුඩා ස්ථූප උපකරණය කලබලය මැද අතින් වෙන්කරගෙන පිටුපස බිත්තියේ තිබූ කුඩා කවුලුවකින් තවත් කොරිඩෝවක් තුළට අඩි පහක පමණ පිම්මකින් පසුව පිවිසියේය.

“රුසිරු ඔය යන පාර විශ්වාසද?”

“ඔව්, මම ප්ලෑන් එක කලින් බැලුවානේ. මෙතනින් එලියට යන්න පුළුවන්. දිගටම මගේ පිටිපස්සෙන් එන්න.”

විශාල මැද මිදුලකට ඇතුළුවූ දෙදෙනා ඒ කෙළවර තිබූ කුඩා දොරටුවකින් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණියේය. ඈතින් පොලිස් සයිරන් නාද කිහිපයක් ඇසේ. තව සුළු මොහොතකින් එකී රථ මෙම ස්ථානයට පැමිණෙනු ඇත. 

“රීටා ඔයා කොතැනද ඉන්නේ?”

රුසිරු රීටාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

“මම හොඳින් රුසිරු, තව විනාඩි දහයකින් වාහනය නතර කරලා තියෙන තැන හම්බවෙමු.” 

“කෝ මහාචාර්යතුමා?”

“හරියටම විනාඩි දහයකින් එන්න. එතකොට මම ඔක්කොම කියන්නම්. එක පාර වාහනය ළඟට එන්න එපා. ඔය පැත්තේ පොඩි රවුමක් ගහන්න. අප්‍රිකානුවගෙන් බේරිලා. එයා තනියම ඉන්නෙ. වෙන කට්ටිය නැහැ.”

රීටා වේගයෙන් කියවගෙන ගියාය.

“පරිස්සමෙන් රීටා. වෙන කිසි දෙයක් ගැන හිතන්න එපා පරිස්සම ගැන හිතන්න.”

දුරකථනය ඇසිල්ලකින් විසන්ධි විය.

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
fly

CAG අටවන කොටස

“අපට කතා කර කර සිටීමට වෙලාවක් නෑ, මාගේ අසු සූදානම්. වහා ගොඩවන්න. මේ දැන්ම අප මාන්තොට වෙත පලාගොස් නෞකාවක් අතර සැඟවී භාරතයට අපගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් පලා යා යුතුයි.”
cag novel

CAG දහතුන්වන කොටස

කැටපත් පවුර සාක්ෂියක් මේ භාෂා වෙනස පුදුම ඉක්මනට මුළු රට පුරාම වෙලා තියෙන එකට. ඒ කාලේ ඉන්ටර්නෙට්වත් තිබුන නම් හිතන්න තිබ්බා. මෙච්චර ඉක්මනට තොරතුරු හුවමාරු වෙයි කියලා. අනික වෙනස් වුණු භාෂාවක්, මුළු රට පුරාම පැතිරෙන වේගය, ටිකක් ලොකු පුදුමයක් නෙවෙයිද?
Total
0
Share